Skip to content

පටුනට යන්න

පාඨකයන්ගෙන් ප්‍රශ්න

පාඨකයන්ගෙන් ප්‍රශ්න

මේ පොළොවේ නැවත නැඟිටීමක් ලැබෙන්නේ කාටද? එයාලට ලැබෙන්නේ මොන වගේ නැවත නැඟිටීමක්ද?

ඒ ප්‍රශ්නවලට උත්තර බයිබලෙන් හොයාගන්න පුළුවන්.

ක්‍රියා 24:15 කියනවා “ධර්මිෂ්ඨ අය වගේම අධර්මිෂ්ඨ අයත් නැවත නැඟිටිනවා” කියලා. ධර්මිෂ්ඨ අය කියන්නේ මැරෙන්න කලින් දෙවියන්ගේ කැමැත්ත කරපු අයට. එයාලගේ නම් ජීවන ලියවිල්ලේ තියෙනවා. (මලා. 3:16) අධර්මිෂ්ඨ අය කියන්නේ මැරෙන්න කලින් දෙවියන්ව දැන හඳුනා ගන්න හරිහමන් කාලයක් ලැබුණේ නැති අයට. ඒ අයගේ නම් ජීවන ලියවිල්ලේ නැහැ.

යොහන් 5:28, 29 කතා කරන්නෙත් ක්‍රියා 24:15 කතා කරන කණ්ඩායම් දෙක ගැනමයි. යේසුස් කිව්වා “යහපත් දේ කරන අය ජීවනය සඳහා නැවත නැඟිටීමක් ලබන අතර පිළිකුල් දේවල් කරන අය විනිශ්චයක් සඳහා නැවත නැඟිටීමක් ලබනවා” කියලා. ධර්මිෂ්ඨ අය මැරෙන්න කලින් යහපත් දේවල් කරපු නිසා එයාලගේ නම් ජීවන ලියවිල්ලේ තියෙනවා. එයාලට ලැබෙන්නේ ජීවනය සඳහා නැවත නැඟිටීමක්. හැබැයි අධර්මිෂ්ඨ අය කළේ පිළිකුල් දේවල්. ඒ නිසා එයාලගේ නම් ජීවන ලියවිල්ලේ නැහැ. හැබැයි නැවත නැඟිට්ටාට පස්සේ දෙවියන් ගැන ඉගෙනගෙන ඔහු කැමති විදිහට ජීවත් වෙනවාද කියලා දෙවියන් එයාලව සෝදිසි කරනවා. එදාට එයාලගේ නම් ජීවන ලියවිල්ලට ඇතුළත් කරගන්න අවස්ථාව ලැබෙනවා. ඒ නිසයි එයාලට විනිශ්චයක් සඳහා නැවත නැඟිටීමක් ලැබෙනවා කියන්නේ.

එළිදරව් 20:12, 13 කියනවා නැවත නැඟිටින හැමෝම ‘ලියවිලිවල තියෙන දේවල්වලට’ කීකරු වෙන්න ඕනෙ කියලා. මොනවාද ලියවිලිවල තියෙන්නේ? ඒ තමයි දහස් අවුරුදු පාලනයේදී දෙවියන් දෙන අලුත් නීති. ඒවාට කීකරු වෙන්නේ නැති අයව දෙවියන් විනාශ කරනවා.—යෙසා. 65:20.

දානියෙල් 12:2 මෙහෙම කියනවා. ‘නැවත නැඟිටින සමහරුන්ට සදාකාල ජීවනය ලැබෙනවා. තවත් අයව නින්දාවට පත් වන අතර සදාකාලයටම පිළිකුල් කරනු ලබනවා.’ එතන කියන්නේ නැවත නැඟිටින අයට ලැබෙන අවසාන විනිශ්චය ගැන. දහස් අවුරුදු පාලනය අවසානයේදී සමහර අයට සදාකාල ජීවනයත් තවත් අයට සදාකාල විනාශයත් ලැබෙනවා.—එළි. 20:15; 21:3, 4.

නැවත නැඟිටින අය වෙන රටකට යන විදේශිකයන් වගේ. සමහර අයට ඒ රටේ රැකියාවක් කරන්න, පදිංචි වෙන්න වීසා එකක් ලැබෙනවා. ඒ නිසා එයාලට යම් පිළිගැනීමක් ලැබෙනවා. ඒ අය හරියට නැවත නැඟිටින ධර්මිෂ්ඨ අය වගේ. තවත් අයට ලැබෙන්නේ තාවකාලික වීසා එකක්. ඒ රටේ දිගටම ඉන්න නම් එයාලා ඒකට සුදුසුයි කියලා ඔප්පු කරන්න ඕනේ. එයාලා හරියට නැවත නැඟිටින අධර්මිෂ්ඨ අය වගේ. මොකද නැවත නැඟිටින අධර්මිෂ්ඨ අයත් යෙහෝවා දීලා තියෙන නීති පිළි අරන් එයාලා පාරාදීසයේ ජීවත් වෙන්න සුදුසු ධර්මිෂ්ඨ අය කියලා ඔප්පු කරන්න ඕනේ. විදේශිකයෙක් රටකට ඇතුල් වෙද්දී මොන වීසා එක ලැබුණත් කාලයක් යද්දී සමහරුන්ට ඒ රටේ පුරවැසිභාවය ලැබෙනවා, තවත් අයට රටින් යන්න සිද්ධ වෙනවා. ඒක තීරණය වෙන්නේ එයාලා ඒ රටේ නීති පිළි අරන් ඒවාට කීකරු වෙනවාද නැද්ද කියන එක මතයි. නැවත නැඟිටින අයටත් වෙන්නේ ඒ වගේම දෙයක්. එයාලටත් ජීවනය ලැබෙනවාද නැද්ද කියලා තීරණය වෙන්නේ එයාලා දෙවියන් කැමති විදිහට ජීවත් වෙනවාද නැද්ද කියන එක මතයි.

යෙහෝවා දයානුකම්පාවෙන් පිරුණු දෙවි කෙනෙක්. ඔහු හැම වෙලේම යුක්තිය, සාධාරණය ඉටු කරනවා. (ද්වි. 32:4; ගීතා. 33:5) ධර්මිෂ්ඨ වගේම අධර්මිෂ්ඨ අයවත් නැවත නැඟිට්ටන එකෙන් ඔහුගේ හිතේ අපි ගැන කොච්චර ආදරයක් තියෙනවාද කියලා පේනවා. ඒත් නැවත නැඟිටින හැමෝම, හරි වැරැද්ද ගැන ඔහු දීලා තියෙන නීතිවලට කීකරු වෙයි කියලා දෙවියන් බලාපොරොත්තු වෙනවා. ඒවාට කීකරු වෙලා දෙවියන්ට ඇත්තටම ආදරෙයි කියලා පෙන්නන අයට විතරයි හැමදාටම සතුටින් ජීවත් වෙන්න අවස්ථාව ලැබෙන්නේ.