Skip to content

පටුනට යන්න

ජීවිත කතාව

යෙහෝවා දෙවියන් ගැන ඉගෙනගන්න, උගන්වන්න මං හුඟක් ආසයි

යෙහෝවා දෙවියන් ගැන ඉගෙනගන්න, උගන්වන්න මං හුඟක් ආසයි

මං හැදී වැඩුණේ පෙන්සිල්වේනියාවල. මට ඕනෙ වුණේ ඉහළටම ඉගෙනගෙන වැදගත් කෙනෙක් වෙන්න. ඉස්සර මං වැඩියෙන්ම ආස ගණන්වලටයි, විද්‍යාවටයි. 1956දී කලු ජාතික ශිෂ්‍යයන්ගෙන් ඒ විෂයන්වලට වැඩිම ලකුණු ගත්ත නිසා මට ඩොලර් 25ක තෑග්ගකුත් ලැබුණා. හැබැයි පස්සේ මගේ ඉලක්ක සම්පූර්ණයෙන්ම වෙනස් වුණා.

යෙහෝවා ගැන දැනගත්ත විදිහ

1940 ගණන්වලදී අම්මායි, තාත්තායි සාක්ෂිකරුවන් එක්ක බයිබලේ පාඩම් කළා. හැබැයි ඒක වැඩි දවසක් නම් කෙරුණේ නෑ. ඒත් අම්මාට සඟරා නම් දිගටම ලැබුණා. 1950දී සමුළුවක් තිබුණා නිව් යෝර්ක්වල. අපිටත් ඒකට ආරාධනාවක් ලැබුණා.

වැඩි දවසක් යන්න කලින් සහෝදර ලෝරන්ස් ජෙෆ්රීස් අපිව බලන්න ආවා. එයා මට සත්‍යය කියලා දෙන්න ගොඩක් මහන්සි වුණා. සාක්ෂිකරුවන් දේශපාලනයටයි, යුද්ධවලටයි හවුල් වෙන්නේ නැති එක ගැන මං මුලදී එකඟ වුණේ නෑ. මං එයාගෙන් ඇහුවා “ඇමරිකාවේ ඉන්න හැමෝම යුද්දෙට ගියේ නැත්තං හතුරෝ මේ රට අල්ලගනියිනේ” කියලා. හැබැයි එතකොට එයා හරිම ඉවසීමෙන් මගෙන් මෙහෙම ඇහුවා. “කවුරුත්ම යුද්ධවලට යන්නේ නැතුව යෙහෝවා කැමති විදිහට ජීවත් වුණොත් හතුරෝ එද්දී දෙවියන් ඔහේ බලන් ඉඳීද?” එදා එයා ඒ ගැන විතරක් නෙවෙයි තව ගොඩක් දේවල් ගැන කිව්වා. මට තේරුණා මෙච්චර කල් මං හිතාගෙන හිටපු විදිහ වැරදියි කියලා. ඒකෙන් පස්සේ තමයි බයිබලේ ඉගෙනගන්න මට ආස හිතුණේ.

මං බව්තීස්ම වුණ දවස

ගබඩා කාමරේ තිබ්බ ‘මුරටැඹ,’ ‘පිබිදෙව්’ සඟරා මං එකක් නෑර කියවන්න පටන්ගත්තා. ටික දවසක් යද්දී මට තේරුණා මේක තමයි සත්‍යය කියලා. ඉතින් මං සහෝදර ජෙෆ්රීස් එක්ක බයිබල් පාඩමක් පටන්ගත්තා. දිගටම රැස්වීම්වලටත් ගියා. ඒ වෙද්දී සත්‍යය ගැන මගේ හිතේ ලොකු ආදරයක් ඇති වෙලයි තිබුණේ. ඉතින් මං ප්‍රචාරකයෙක් වෙන්න තීරණය කළා. ‘යෙහෝවා දෙවිගේ මහත් දවස ළඟයි’ කියලා තේරුම්ගත්තාම මගේ හැම ඉලක්කයක්ම වෙනස් වුණා. (ශෙප. 1:14) මට ඕනෙ වුණේ විශ්වවිද්‍යාලයට ගිහින් මටම නමක් හදාගන්නවා වෙනුවට බයිබලේ තියෙන සත්‍යය ගැන අනිත් අයට කියන්න.

මං ඉස්කෝලේ ගිහින් ඉවර වුණේ 1956 ජූනි 13වෙනිදා. ඊට හරියටම දවස් තුනකට පස්සේ චාරිකා සමුළුවකදී මං බව්තීස්ම වුණා. ඒ තීරණය නිසා මගේ මුළු ජීවිතේම වෙනස් වුණා. මං කවදාවත් හිතුවේ නෑ යෙහෝවා ගැන ඉගෙනගන්න එකෙන්, ඔහු ගැන උගන්වන එකෙන් මෙච්චර ආශීර්වාද ලැබෙයි කියලා.

පුරෝගාමි ජීවිතේ

බව්තීස්ම වෙලා මාස හයකින් මං ස්ථාවර පුරෝගාමි පටන්ගත්තා. මට මතකයි 1956 දෙසැම්බර් ‘රාජ්‍ය සේවාවේ’ ප්‍රචාරකයන් අඩු පැත්තක සේවය කරන එක ගැන ලිපියක් ආවා. මට දැනුණේ ඒ ලිපිය මටමයි කියලා. මොකද මටත් ඕනෙ වෙලා තිබුණේ ඒ වගේ පැත්තකට ගිහින් සේවේ කරන්න.—මතෙ. 24:14.

ඉතින් මං සේවේ කරන්න දකුණු කැරොලිනාවල එජ්ෆීල්ඩ් කියන පැත්තට ගියා. එහේ සභාවේ හිටියේ ප්‍රචාරකයෝ හතරදෙනායි. අපි ඒ කාලේ රැස්වීම් තිබ්බේ සහෝදරයෙක්ගේ ගෙදර ඉස්සරහා තිබිච්ච පුංචි කාමරේක. ඒ දවස්වල මං හැම මාසෙකම පැය 100ක් විතර සේවේ කළා. මට සභාවෙත් ගොඩක් පැවරුම් තිබ්බා. නමස්කාරයේ දේවල් මහන්සි වෙලා කරන තරමටම යෙහෝවා ගැන තව වැඩියෙන් ඉගෙනගන්න වගේම අනිත් අයටත් උගන්වන්න මට අවස්ථාව ලැබුණා.

මං කාන්තාවක් එක්ක බයිබල් පාඩමක් කළා. එයාලට අවමංගල්‍ය ශාලාවක් තිබ්බා. ඒක තිබ්බේ මං හිටපු තැන ඉඳන් හැතැප්ම කීපයක් දුරින්. ඒ දවස්වල මට රස්සාවක් තිබ්බේ නෑ. ඉතින් එයා මට ඒකේ දවස් කීපයක් වැඩට එන්න කිව්වා. ඒ වගේම එයාලගේ බිල්ඩිමක රැස්වීම් තියන්නත් දුන්නා.

මාත් එක්ක පුරෝගාමි කරන්න බෘක්ලින්වලින් සහෝදරයෙක් ආවා. ඒ මට බයිබලේ පාඩම් කරපු සහෝදර ජෙෆ්රීස්ගේ පුතා. එයාගේ නම ජොලි. අපි දෙන්නා හිටියේ සහෝදරයෙක් අපිට දීපු කන්ටේනර් ගෙයක.

අපි හිටපු පැත්තේ දවසම වැඩ කළත් ඩොලර් දෙක තුනකට වඩා නම් හොයන්න අමාරුයි. දවසක් මං කෑම ගන්න කියලා කඩේකට ගියා. එවෙලේ මගේ පර්ස් එකටම තිබ්බේ කාසි දෙක තුනයි. මං කඩෙන් එළියට එද්දී පුදුම දෙයක් වුණා. කෙනෙක් ඇවිල්ලා ඇහුවා “ඔයා රස්සාවක් හොයනවාද? කැමති නම් මං රස්සාවක් දෙන්නං. පැයකට ඩොලර් එක ගාණේ මං ගෙවනවා” කියලා. එයා මට ඉදි කිරීම් කරන තැනක දවස් තුනක පිරිසිදු කිරීමේ වැඩක් දුන්නා. එදා මට තේරුණා මං එජ්ෆීල්ඩ්වල ඉන්න එක තමයි දෙවියන්ගේ කැමැත්ත කියලා. 1958 නිව් යෝර්ක්වල තිබුණු ජාත්‍යන්තර සමුළුවට යන්නත් මට පුළුවන් වුණා.

අපි විවාහ වුණ දවස

සමුළුවේ දෙවෙනි දවසේදී මට රූබි වැඩ්ලින්ටන්ව හම්බ වුණා. එයා ගැලටින්වල ස්ථාවර පුරෝගාමි සේවය කරපු සහෝදරියක්. අපි දෙන්නම මිෂනාරි කරන්න ආසාවෙන් හිටපු නිසා ඒ සමුළුවේ ගිලියද් පාසැල වෙනුවෙන් තිබ්බ රැස්වීමට ගියා. සමුළුවෙන් පස්සේ අපි ලියුම්වලින් කතාබහ කරන්න පටන්ගත්තා. ටික දවසකට පස්සේ මං ගැලටින්වල බයිබල් දේශනයක් දෙන්න ගියා. ලැබුණ අවස්ථාවෙන් ප්‍රයෝජන අරන් මං රූබිගෙන් ඇහුවා “මාව බඳින්න කැමතිද” කියලා. එයා කැමති වුණ නිසා මං රූබි ඉන්න සභාවට මාරු වුණා. අන්තිමේදී අපි 1959දී කසාද බැන්දා.

සභාවේ කරපු සේවය

ගැලටින් සභාවේ හිටපු කාලේ මාව සභාවේ සේවක විදිහට පත් කළා. (ඉස්සර වැඩිමහල් මණ්ඩලේ සම්බන්ධීකාරකව හැඳින්නුවේ ඒ නමින්.) එතකොට මට 23යි. ඒ දවස්වල සහෝදර චාල්ස් තොම්සන් චාරිකා සේවක විදිහට පත් වෙලා ඉස්සෙල්ලාම ආවේ අපේ සභාවට. එයාට ගොඩක් අද්දැකීම් තිබ්බා. හැබැයි අපේ සභාවේ අයට උදව් ඕනෙ මොන පැතිවලින්ද, කලින් චාරිකා සේවකයන් එයාලට උදව් කළේ කොහොමද කියලා එයා මගෙන් විස්තර ඇහුවා. ඒකෙන් මාත් වැදගත් දෙයක් ඉගෙනගත්තා. ඒ තමයි කොච්චර අද්දැකීම් තිබ්බත් තීරණයක් ගන්න කලින් අනිත් අයගේ අදහස් අහලා බලන එක කොච්චර වැදගත්ද කියලා.

1964 මැයිවල මට පත් කළ සහෝදරයන් සදහා පාසැලකට ආරාධනාවක් ලැබුණා. ඒක මාසයක් තිබ්බා. යෙහෝවා ගැන තව ඉගෙනගෙන ඔහුත් එක්ක තියෙන බැඳීම තව ශක්තිමත් කරගන්න ඒකේ උපදේශකයන් විදිහට හිටපු සහෝදරයෝ මගේ හිතේ ආසාවක් ඇති කළා.

චාරිකා සහ දිස්ත්‍රික් සේවේදී

රූබිටයි, මටයි 1965 ජනවාරිවල චාරිකා සේවය කරන්න පැවරුමක් ලැබුණා. අපිට තිබ්බ චාරිකාව හරිම ලොකුයි. අපි ගියේ කලු ජාතික සහෝදරයෝ ඉන්න සභාවලට විතරයි. මොකද ඒ කාලේ කලු අයටයි, සුදු අයටයි එකට රැස් වෙන එක රජයෙන් තහනම් කරලා තිබුණා. ඒ සභාවල සහෝදරයෝ හරිම දුප්පත්. ඒ නිසා අපි පුළු පුළුවන් විදිහට අපි ගාව තිබ්බ දේවල් එයාලත් එක්ක බෙදාගත්තා. මට මතකයි කාලයක් චාරිකා සේවය කරපු සහෝදරයෙක් මට කියපු දෙයක්. එයා කිව්වා “කවදාවත් සහෝදරයන්ට බොස් කෙනෙක් වෙන්න එපා. එයාලට සහෝදරයෙක් වෙන්න. එහෙම කළොත් විතරයි එයාලට උදව් කරන්න පුළුවන් වෙන්නේ.”

සැරයක් අපි එක සභාවකට චාරිකා ගිය වෙලාවේ කාන්තාවක් එක්ක රූබි බයිබල් පාඩමක් පටන්ගත්තා. එයාට අවුරුද්දක විතර පුංචි දුවෙකුත් හිටියා. පාඩම භාර දෙන්න කවුරුත් හිටපු නැති නිසා රූබිම තමයි ලියුම්වලින් ඒක කළේ. කොහොමහරි අපි ඊළඟ පාර ඒ සභාවට චාරිකා යද්දී එයා හැම රැස්වීමකටම ආවා. ඊටපස්සේ එහෙට විශේෂ පුරෝගාමි සහෝදරියන් දෙන්නෙක් ආපු නිසා එයාලට පාඩම භාර දුන්නා. වැඩි කල් යන්න කලින් එයා බව්තීස්ම වුණා. ඊට අවුරුදු 30කට විතර පස්සේ ඒ කියන්නේ 1995දී අපි පැටර්සන් බෙතෙල් එකේ ඉද්දී එක තරුණ සහෝදරියක් ඇවිල්ලා රූබිත් එක්ක කතා කළා. ඒ අර රූබි පාඩම් කරපු කෙනාගේ දුව. එයායි, එයාගේ මහත්තයායි 100වෙනි ගිලියද් පාසැලට තමයි එහෙට ඇවිත් හිටියේ.

අපි ඊළඟට චාරිකා ගියේ ෆ්ලොරිඩාවල. එහේ සේවේ කරන්න නං කාර් එකක් ඕනෙමයි. ඉතින් අපි අඩු ගාණකට හොඳ කාර් එකක් ගත්තා. ඒත් පළවෙනි චාරිකා සතියේදීම එන්ජිම ලෙඩ දුන්නා. එවෙලේ අතේ සල්ලි තිබ්බෙත් නෑ. ඉතිං මං සහෝදරයෙක්ට කෝල් කළාම එයා ගාව වැඩ කරන කෙනෙක් එක්ක එයා ආවා. වාහනේ හදලා දුන්නාට සතයක්වත් ගත්තේ නෑ. මං ඒ ගැන අහද්දී එයා කිව්වේ “හරි හරි ඒක හරි” කියලා. කාර් එක හදලා දුන්නා මදිවට එයා අපිට සල්ලි වගේකුත් දීලයි ගියේ. යෙහෝවා ඔහුගේ සේවකයන්ව බලාගන්න සහෝදරයන්ව පාවිච්චි කරන විදිහ අපි එදා දැක්කා. සහෝදරයෝ වෙනුවෙන් අපි තව කොච්චර දේවල් කරන්න ඕනෙද කියලා අපිට තේරුණා.

අපි චාරිකා යද්දී හිටියේ සහෝදරයන්ගේ ගෙවල්වල. ඒ නිසා අපිට ගොඩක් යාළුවෝ හම්බ වුණා. දවසක් මං චාරිකා වාර්තාවක් බාගෙට ටයිප් කරලා එහෙම්මම තියලා ගියා. අපි නැවතිලා හිටිය ගෙදර අවුරුදු තුනක පුංචි පුතෙක් හිටියා. මං එද්දී මිනිහා ටයිප්රයිටරේ ඔබලා ඔබලා ඒ ලියුම ඉවරම කරලා. සෑහෙන කාලයක් මං ඕක කියකිය එයාට විහිළු කළා.

1971දී මාව නිව් යෝර්ක්වල දිස්ත්‍රික් සේවකයෙක් විදිහට පත් කළා කියලා ලියුමක් ආවා. ඒක දැකලා මාව උඩ ගියා! මොකද එතකොට මට 34ක් විතරයි. මං එහෙට ගියාම සහෝදරයෝ එයාලගේ පළවෙනි කලු ජාතික දිස්ත්‍රික් සේවක විදිහට මාව ආදරෙන් පිළිගත්තා.

දිස්ත්‍රික් සේවකයෙක් විදිහට හැම සතියෙම චාරිකා සමුළුවල යෙහෝවා ගැන උගන්වන්න ලැබුණ එක ගැන මං ගොඩක් සතුටු වුණා. ඒ දවස්වල හිටපු චාරිකා සේවකයෝ හැමෝම මට වඩා අද්දැකීම් තිබ්බ අය. එයාලගෙන් කෙනෙක් තමයි මගේ බව්තීස්ම දේශනය දුන්නෙත්. ඒ කාලේ චාරිකා සේවේ කරපු සහෝදර තියඩෝර් ජැරස් පස්සේ කාලෙක පාලක මණ්ඩලෙත් සේවේ කළා. බෘක්ලින් බෙතෙල් එකෙත් හුඟක් අද්දැකීම් තිබුණ සහෝදරයෝ හිටියා. මුලදී මං බයෙන් හිටියේ. හැබැයි බෙතෙල් එකේ හිටපු අය, චාරිකා සේවකයෝ මට ආදරෙන් සැලකුවා. එයාලා කොච්චර ආදරණීය එඬේරුද කියලා මං දැක්කා. කොච්චර අද්දැකීම් තිබ්බත් එයාලා වැඩ කළේ බයිබලෙන් සහ සංවිධානයෙන් දෙන මඟ පෙන්වීම්වලට අනුව. එයාලගේ නිහතමානිකම නිසා මගේ පැවරුමත් සතුටින් කරන්න පුළුවන් වුණා.

ආයෙත් චාරිකා සේවේට

1974දී තවත් චාරිකා සේවකයන් කීපදෙනෙක්ව දිස්ත්‍රික් සේවකයෝ විදිහට පත් කළා. ඒ නිසා මට ආයෙත් චාරිකා කරන්න පැවරුමක් ලැබුණා. ඒ දකුණු කැරොලිනාවල. හැබැයි ඒ වෙද්දී කලු සුදු භේදයක් නැතුව හැමෝටම එකට එකතු වෙන්න පුළුවන් වුණා. ඒ නිසා සහෝදරයෝ හිටියේ හරිම සතුටින්.

1976 අග වෙද්දී අපි චාරිකා සේවය කළේ ජෝර්ජියා ප්‍රාන්තයේ. එහේ මැර පිරිසක් සහෝදරයෙක්ගේ ගෙදරකට ගිනි තිබ්බා. ඒකෙන් එයාලගේ ළමයි පස්දෙනෙක් මැරුණා. එයාලගේ අවමංගල්‍ය දේශනය දෙන්න වුණේ මට. ඒ සිද්ධියෙන් ඒ දරුවන්ගේ අම්මාට ගොඩක් තුවාල වෙලා තිබුණා. මට මතකයි එයාව ඉස්පිරිතාලේ ගෙනිච්ච වෙලාවේ කලු සුදු භේදයක් නැතුව අපේ සහෝදරයෝ එයාලව බලන්න ආපු විදිහ. එදා මං එයාලගේ ආදරේ දැක්කා. අමාරු දේවල් වෙද්දී සහෝදරයෝ පෙන්නන ආදරේ ඇත්තටම ලොකු ශක්තියක්.

බෙතෙල් සේවය

1977දී බෘක්ලින් බෙතෙල් එකෙන් අපිට මාස කීපයකට එන්න කිව්වා. පස්සේ පාලක මණ්ඩලයේ සහෝදරයෝ දෙන්නෙක් මගෙන් ඇහුවා “ඔයාලා දිගටම බෙතෙල් එකේ ඉන්න කැමතිද” කියලා. අපි එක පයින්ම හා කිව්වා.

අවුරුදු 24ක්ම මං වැඩ කළේ සේවා අංශයේ. ඒකෙන් තමයි සභාවලින් එන හුඟක් සංකීර්ණ ප්‍රශ්න විසඳන්නේ. ඒකට පාලක මණ්ඩලය ගොඩක් මඟ පෙන්වීම් දීලා තියෙනවා. සභාවලින් අහන ප්‍රශ්නවලට උත්තර දෙන්න වගේම චාරිකා සේවකයන්ව, වැඩිමහල්ලන්ව, පුරෝගාමීන්ව පුහුණු කරන්න ඒවා ගොඩක් උදව් වෙලා තියෙනවා. ඒ පුහුණුව නිසා සංවිධානයට හයියක් වෙන්න හුඟක් අයට පුළුවන් වෙලා තියෙනවා.

1995 ඉඳන් 2018 වෙන කල් මං කලාපීය සේවක විදිහට හුඟක් රටවල්වලට ගියා. දැන් ඒ පැවරුම කරන කෙනාට කියන්නේ මූලස්ථාන නියෝජිත කියලා. ඒ කාලේ මට පුළුවන් වුණා ශාඛා කමිටුවල, බෙතෙල්වල සහෝදරයෝ සහ මිෂනාරිවරු මුහුණ දෙන අභියෝගවලදී එයාලට උදව් කරන්න. ඒ වගේම එයාලා නිසා අපිත් ගොඩක් ශක්තිමත් වුණා. අපි 2000දී රුවන්ඩාවට ගියා. එහේ සහෝදරයෝ 1994 වෙච්ච සමූල ඝාතන නිසා හුඟක් පීඩා විඳලා තියෙනවා. ඒ කාලේදී එයාලා යෙහෝවාට විශ්වාසවන්තව හිටපු විදිහ අහද්දී අපිත් හුඟක් දිරිගැන්වුණා. ඒ හුඟදෙනෙක්ට එයාලා ආදරේ කරපු අය නැති වුණත් එයාලගේ විශ්වාසය, සතුට පොඩ්ඩක්වත් අඩු වුණේ නෑ.

අපේ 50වෙනි විවාහ සංවත්සරය

දැන් අපිට අවුරුදු 80ටත් වඩා වැඩියි. පහුගිය අවුරුදු 20 පුරාම මං එක්සත් ජනපදයේ ශාඛා කමිටු සාමාජිකයෙක් විදිහට සේවේ කළා. යෞවන කාලේදී විශ්වවිද්‍යාලයට ගියේ නැති වුණාට යෙහෝවා ඔහුගේ සංවිධානය හරහා උසස්ම අධ්‍යාපනය මට දීලායි තියෙන්නේ. ඒ කාලේ ඉහළට ඉගෙනගත්තා නම් ඒකෙන් ප්‍රයෝජන ලැබෙන්නේ මට විතරයි. ඒකත් ටික කාලෙකට. හැබැයි දෙවියන්ගේ අධ්‍යාපනය නිසා මට විතරක් නෙවෙයි තව හුඟදෙනෙක්ට ප්‍රයෝජන තියෙනවා. ඒකත් දවසකට දෙකකට නෙවෙයි, සදහටම. (2 කොරි. 3:5; 2 තිමෝ. 2:2) සත්‍යය නිසා ජීවිත හොඳ අතට හැරෙන විදිහ, එයාලා දෙවියන්ට ළං වෙන විදිහ මං දැකලා තියෙනවා. (යාකො. 4:8) මායි, රූබියි හැම තිස්සේම අනිත් අයට කියන්නේ “යෙහෝවාගෙන් ඉගෙනගන්න. ඒ ඉගෙනගන්න දේ අනිත් අයටත් උගන්නන්න” කියලා. මොකද ඊට වඩා වටින දෙයක් දෙවියන්ගේ සේවකයෙක්ට තවත් නෑ!