Skip to content

පටුනට යන්න

පාඨකයන්ගෙන් ප්‍රශ්න

පාඨකයන්ගෙන් ප්‍රශ්න

විවාහ වෙන්න කෙනෙක්ව හොයාගන්න ඩේටින් වෙබ් අඩවි සහ ඇප් පාවිච්චි කළාට කමක් නැද්ද?

විවාහ වෙන දෙන්නෙක් ආදරෙන් බැඳිලා හැමදාටම සතුටින් ජීවත් වෙනවා දකින්නයි යෙහෝවා දෙවියන් කැමති. (මතෙ. 19:4-6) ඔයා විවාහ වෙන්න ආසාවෙන් ඉන්න කෙනෙක්ද? එහෙනම් ඔයාට ගැළපෙන කෙනෙක්ව හොයාගන්න පුළුවන් කොහොමද? ගැළපෙන කෙනෙක්ව හොයාගන්න සහ විවාහ ජීවිතය සාර්ථක කරගන්න හොඳම ක්‍රමය දන්නේ යෙහෝවා දෙවියන්. මොකද ඔහු තමයි අපිව නිර්මාණය කළේ. යෙහෝවා දෙවියන් දීලා තියෙන ප්‍රතිපත්ති අපි අදාළ කරගන්නවා නම් අනිවාර්යයෙන්ම අපිට සාර්ථක වෙන්න පුළුවන්. ඒ වගේ ප්‍රතිපත්ති කීපයක් දැන් අපි බලමු.

බයිබලේ මෙහෙම කියනවා. “සියල්ලටම වඩා මිනිසාගේ සිත රැවටිලිකාරය. එබැවින් ඔහු උත්සාහ කරන්නේ කෙසේ හෝ තම ආශාව ඉටු කරගැනීමටය.” (යෙරෙ. 17:9) ඒ නිසා විවාහය ගැන තීරණයක් ගද්දී කවදාවත් හැඟීම්වලට වහල් වෙන්න එපා. මොකද හැඟීම්වලට වහල් වෙලා විවාහ වෙන අයගේ විවාහ ජීවිතේ සතුට වැඩි කල් රැඳෙන්නේ නැහැ. (හිතෝ. 28:26) ඒ නිසා විවාහ වෙන්න කෙනෙක්ව තෝරගද්දී හැඟීම්වලට වහල් වෙනවා වෙනුවට එයා ඇත්තටම ඔයාට ගැළපෙනවාද කියලා තේරුම්ගන්න උත්සාහ කරන්න.

හිතෝපදේශ 22:3 මෙහෙම කියනවා. “බුද්ධිමත් අය අවදානම දුර තියාම හඳුනාගෙන එයින් ඉවත් වෙති. නමුත් අද්දැකීම් අඩු අය ඒ දෙසටම ගමන් කර ප්‍රතිඵල විඳිති.” ඩේටින් වෙබ් අඩවිවල අනතුරක් තියෙනවාද? ඔව්. මොකද අනිත් අයගේ හැඟීම් එක්ක සෙල්ලම් කරන මිනිස්සු ඒ වෙබ් අඩවිවල සැරිසරනවා. ඒ වගේ අයට සමහරු රැවටිලාත් තියෙනවා. ඒ විතරක් නෙවෙයි සල්ලි ගසා කන අරමුණින් ඇවිත් ඉන්න අයත් ඒ වෙබ් අඩවිවල ඉන්නවා. මිනිසුන්ව රවට්ටන ඒ වගේ අය අතරේ තමන් සාක්ෂිකරුවන් කියලා මවාපාන අයත් ඉන්නවා.

ඔයා හිතලා බලන්න ඕන තවත් දෙයක් තියෙනවා. ඒ වගේ වෙබ් අඩවිවලින් සහ ඇප්වලින් කෙනෙක්ට ගැළපෙන සහකරුවෙක්ව හරි සහකාරියක්ව හරි හොයලා දෙන්නේ පරිගණකය හරහා විවිධ ගණිත ක්‍රම පාවිච්චි කරලයි. හැබැයි ඒ වගේ ක්‍රම සාර්ථකයි කියලා ඔප්පු කරන්න කිසිම සාක්ෂියක් නැහැ. විවාහය වගේ ජීවිතේ වැදගත් තීරණයක් ගද්දී මිනිසුන් හදන ගණිත ක්‍රම ගැන විශ්වාසය තියන එක ඥානවන්තයි කියලා ඔයා හිතනවාද? බයිබල් ප්‍රතිපත්තිවලට වඩා ඒ දේවල් විශ්වාසවන්තයි කියලා ඔයා හිතනවාද?—හිතෝ. 1:7; 3:5-7.

හිතෝපදේශ 14:15 කියන දේ බලන්න. “අද්දැකීම් අඩු තැනැත්තා අනුන් පවසන සෑම දෙයක්ම විශ්වාස කරයි. නමුත් සිහිබුද්ධිය ඇති අය තමන් ගත යුතු පියවර ගැන හොඳින් කල්පනා කරයි.” කෙනෙක් එක්ක විවාහ වෙන්න තීරණය කරන්න කලින් ඔයා ඒ කෙනාව හොඳට දැන හඳුනා ගන්න ඕනේ. අන්තර්ජාලය හරහා ඔයා එයාත් එක්ක කොච්චර වෙලා කතා කළත් පින්තූර, පණිවිඩ හුවමාරු කරගත්තත් ඒ දේවල්වලින් එයා ඇත්තටම මොන වගේ කෙනෙක්ද කියලා තේරුම්ගන්න ඔයාට පුළුවන් වෙයි කියලා ඔයා හිතනවාද? වෙබ් අඩවියක් හරහා තමන්ගේ නියම ආදරවන්තයාව හොයාගන්න පුළුවන් වුණා කියලා හිතන් හිටපු හුඟක් අය ඇත්තටම ඒ කෙනාව මුණගැහුණාම තමන් කොච්චර රැවටිලාද කියලා තේරුම් අරන් තියෙනවා.

ගීතිකාකරු මෙහෙම කියලා තියෙනවා. “වංක මිනිස්සුන් සමඟ හිඳ නොගත්තෙමි. තමන් කවුදැයි සඟවන අය සමඟ ඇසුරු නොකළෙමි.” (ගීතා. 26:4) ඩේටින් වෙබ් අඩවියක් හරහා අපි කෙනෙක්ව ආශ්‍රය කරනවා නම් ගීතිකාකරු කියපු ඒ දේ කියන්න අපිට පුළුවන් වෙයිද? මොකද ඩේටින් වෙබ් අඩවි හරහා තව කෙනෙක්ගේ හිත දිනාගන්න හිතාගෙන තමන් ගැන ඇත්ත වසන් කරන එක එහෙම නැත්නම් බොරු කියන එක අද සාමාන්‍ය දෙයක් වෙලා. ඒ වගේ අය තමන්ගේ නියම චරිතය පෙන්නන්නේ නැහැ. සමහර අය තමන් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක් කියලා කියන්නත් ඉඩ තියෙනවා. හැබැයි එයා ඇත්තටම බව්තීස්ම වුණ කෙනෙක්ද? එයා අවබෝධයෙන් වැඩ කරන කෙනෙක්ද? එයාට යෙහෝවා දෙවියන් එක්ක කිට්ටු බැඳීමක් තියෙනවාද? සභාවේ අය අතරේ එයාට හොඳ නමක් තියෙනවාද? එයා මට ‘නරක ආශ්‍රිතයෙක්’ වෙයිද? (1 කොරි. 15:33; 2 තිමෝ. 2:20, 21) බයිබල් ප්‍රතිපත්තිවලට එකඟව එයා විවාහ වෙන්න සුදුසු තත්වයක ඉන්නවාද? කෙනෙක් එක්ක ආදර සම්බන්ධයක් ඇති කරගන්න කලින් ඔයා ඒ තොරතුරු ගැන දැනගන්න එක හරිම වැදගත්. ඒත් ඩේටින් වෙබ් අඩවියක් හරහා ඒ දේ කරන්න පුළුවන් වෙයි කියලා ඔයා හිතනවාද? ඒ කෙනා ගැන ඇත්ත නැත්ත දැනගන්න නම් එයාගේ සභාවේ සහෝදර සහෝදරියන්ගෙන් ඒ ගැන අහලා දැනගන්න වෙයි. (හිතෝ. 15:22) අනිත් අතට, යෙහෝවා දෙවියන්ට නමස්කාර කරන්නේ නැති කෙනෙක් එක්ක ‘බැඳීමක් ඇති කරගන්න’ එක ගැන අපි කොහොමටවත් හිතන්නේ නැහැ.—2 කොරි. 6:14; 1 කොරි. 7:39.

ඩේටින් වෙබ් අඩවි සහ ඇප් කොච්චර අනතුරුදායකද කියලා අපි බලපු තොරතුරුවලින් පැහැදිලියි. එහෙනම් විවාහ වෙන්න ඔයාට ගැළපෙන කෙනෙක්ව හොයාගන්න පුළුවන් කොහොමද? රැස්වීම්, සමුළුවලදී අපේ සහෝදර සහෝදරියන් හුඟදෙනෙක්ව අපිට ආශ්‍රය කරන්න අවස්ථාව ලැබෙනවා. සමහරවිට ඒ අය අතරෙන් ඔයාගේ හිත ගිය කෙනෙක්ව ඔයාට හම්බ වෙන්න පුළුවන්.

කාලේ අරන් ආශ්‍රය කරද්දී ඔයාලගේ ඉලක්ක මොනවාද, දෙන්නාට දෙන්නා ගැළපෙනවාද කියලා තේරුම්ගන්න පුළුවන්

කෝවිඩ්-19 වසංගතය නිසා හරි වෙනත් හේතුවක් නිසා හරි ප්‍රසිද්ධියේ අපිට රැස් වෙන්න බැරි වුණත් ඉන්ටර්නෙට් එක හරහා අපිට රැස්වීම්වලට සහභාගි වෙන්න අවස්ථාව ලැබෙනවා. ඒ වගේ අවස්ථාවලදී අපිට තවත් තනිකඩ අයව දැන හඳුනා ගන්න අවස්ථාව ලැබෙනවා. එයාලා රැස්වීමේ කොටස් කරද්දී, අදහස් ඉදිරිපත් කරද්දී එයාලට කොච්චර විශ්වාසයක් තියෙනවාද කියලා ඔයාට දකින්න පුළුවන්. (1 තිමෝ. 6:11, 12) රැස්වීමෙන් පස්සේ බ්‍රේක්අවුට් රූම්වලට දැම්මාම ඔයාට පුළුවන් එයාලත් එක්ක කතාබහ කරන්න. ඒ වගේම ඔන්ලයින් හරහා කරන සුහද හමුවලදී එයාලා ඇත්තටම මොන වගේ අයද, එයාලා අනිත් අයට සලකන්නේ කොහොමද කියලා ඔයාට නිරීක්ෂණය කරන්න පුළුවන්. (1 පේතෘ. 3:4) කාලයක් තිස්සේ කෙනෙක්ව ආශ්‍රය කරද්දී එයාට තියෙන්නේ ඔයාට තියෙන ඉලක්කමද, ඔයාලා දෙන්නා ඇත්තටම ගැළපෙනවාද කියලා තේරුම්ගන්න ඔයාට පුළුවන්.

විවාහ වෙන්න කෙනෙක්ව තෝරගනිද්දී බයිබල් ප්‍රතිපත්තිවලට කීකරු වෙනවා නම් බයිබලේ කියන මේ දේ ඇත්තක් කියලා අද්දකින්න පුළුවන් වෙයි. “යමෙකුට හොඳ බිරිඳක් [හෝ සැමියෙක්] සොයාගත හැකි නම් ඇය ඔහුට [හෝ ඔහු ඇයට] වටිනා සම්පතකි. එය ඔහුට [හෝ ඇයට] යෙහෝවා දෙවිගෙන් ලැබෙන ආශීර්වාදයකි.”—හිතෝ. 18:22.