Skip to content

පටුනට යන්න

යෙහෝවා දෙවි ඔහුව හැඳින්නුවේ “මාගේ මිතුරා” කියායි

යෙහෝවා දෙවි ඔහුව හැඳින්නුවේ “මාගේ මිතුරා” කියායි

“ඊශ්‍රායෙල්, ඔබ මාගේ සේවකයාය. යාකොබ්, මා තෝරාගත් තැනැත්තා ඔබය. ඔබ මාගේ මිතුරා වන ආබ්‍රහම්ගේ පුත්‍රයාය.”—යෙසා. 41:8.

ගීතිකා: 91, 22

1, 2. (අ) මිනිසුන්ට දෙවිගේ යාළුවන් වෙන්න පුළුවන් කියලා දන්නේ කොහොමද? (ආ) මේ ලිපියෙන් බලන්නේ මොනවා ගැනද?

ඉපදුණු දා ඉඳන් මිය යන මොහොත වෙන කල්ම අපිට අනිත් අයගේ ආදරේ ඕනෙමයි. සැමියාගෙන්, බිරිඳගෙන් ලැබෙන ආදරේ විතරක් නෙමෙයි කිට්ටු මිතුරන්ගේ සෙනෙහසත් අපිට ඕනේ. ඒ හැමෝගෙම ආදරේට වඩා අපිට වැඩියෙන්ම ඕනෙ යෙහෝවා දෙවිගේ ආදරෙයි. ඒ වුණත් දෙවිව පේන්නේ නැති නිසාත් ඔහු සියලු බලැති දෙවි නිසාත් ඔහුගේ කිට්ටු යාළුවෙක් වෙන්න බැහැ කියලා හුඟක් මිනිසුන් හිතනවා. ඒත් ඒක එහෙම නෙමෙයි කියලා අපි දන්නවා.

2 දෙවිගේ මිතුරන් වුණු අය ගැන බයිබලේ සඳහන් වෙනවා. ඒ අය ගැන ඉගෙනගන්න එක අපිට හුඟක් ප්‍රයෝජනවත්. මොකද දෙවිගේ කිට්ටු යාළුවෙක් වෙන එක තමයි අපිට කරන්න පුළුවන් හොඳම දේ. අපි දැන් ආබ්‍රහම් ගැන ඉගෙනගමු. (යාකොබ් 2:23 කියවන්න.) දෙවිගේ යාළුවෙක් වෙන්න එයාට පුළුවන් වුණේ කොහොමද? ඒ ආබ්‍රහම් තුළ තිබුණු විශ්වාසය නිසයි. “විශ්වාසය නිසා ධර්මිෂ්ඨයන් ලෙස ප්‍රකාශ කරනු ලබන සියලුදෙනාගේම පියා” කියලා එයාව හඳුන්වන්නේ ඒ නිසයි. (රෝම 4:11) ආබ්‍රහම් ගැන ඉගෙනගද්දී ‘ආබ්‍රහම්ට තිබුණා වගේ විශ්වාසයක් ඇති කරගෙන යෙහෝවා දෙවිගේ කිට්ටු යාළුවෙක් වෙන්න මට පුළුවන් කොහොමද’ කියලා හිතලා බලන්න.

දෙවිගේ මිතුරා වුණේ කොහොමද?

3, 4. (අ) ආබ්‍රහම්ගේ විශ්වාසය වැඩියෙන්ම සෝදිසියට ලක් වුණා කියලා හිතන්න පුළුවන් අවස්ථාව විස්තර කරන්න. (ආ) ආබ්‍රහම් ඊසාක්ව පූජා කරන්න කැමති වුණේ ඇයි?

3 මේ සිද්ධිය හිතින් මවාගන්න. අවුරුදු 125ක් විතර වුණු ආබ්‍රහම් පිහියකුත් අරගෙන හිමින් හිමින් මොරියා කන්ද නැඟගෙන යනවා. 25වෙනි වියේ හිටපු එයාගේ එකම පුතා වුණු ඊසාක් දර මිටියකුත් උස්සගෙන එයාගේ පිටිපස්සෙන් යනවා. පේන විදිහට ආබ්‍රහම් මේ යන්නේ එයාගේ ජීවිතේ එයා යන අමාරුම ගමනයි. මොකද ඒ ගමන අවසානයේදී එයාගේ එකම පුතාව පූජා කරන්න කියලා දෙවි ආබ්‍රහම්ගෙන් ඉල්ලලා තිබුණා.—උත්. 22:1-8.

4 ආබ්‍රහම්ගේ විශ්වාසය සෝදිසියට ලක් වුණු අමාරුම අවස්ථාව ඒක වෙන්න ඇති. පුතාව පූජා කරන්න කියලා දෙවි එයාට කියපු එක හරිම කෲර දෙයක් කියලා සමහරු කියනවා. තවත් අය කියන්නේ ආබ්‍රහම් ඒකට කැමති වුණේ පුතා ගැන එයාට කිසිම ආදරයක් තිබුණේ නැති නිසා කියලයි. ඒ අය එහෙම කියන්නේ විශ්වාසය කියන්නේ මොකක්ද කියලවත් විශ්වාසය තියෙන කෙනෙක් වැඩ කරන්නේ කොහොමද කියලවත් එයාලට කිසි අවබෝධයක් නැති නිසයි. (1 කොරි. 2:14-16) ආබ්‍රහම් දෙවිට කීකරු වුණේ හිතන්නේ බලන්නේ නැතුව අන්ධ විශ්වාසයකින් නෙමෙයි. එයාගේ විශ්වාසයට පදනමක් තිබුණා. සදහටම හානියක් වෙන දෙයක් කරන්න දෙවි තමන්ට කියන්නේ නැහැ කියලා එයා දැනගෙන හිටියා. දෙවිට කීකරු වුණොත් එයාටත් පුතාටත් ආශීර්වාද ලැබෙනවා කියලත් එයා දැනගෙන හිටියා. ඒ තරම් ශක්තිමත් විශ්වාසයක් ඇති කරගන්න ආබ්‍රහම්ට උදව් වුණේ මොනවද? ඒ දෙවි ගැන එයා ලබපු දැනුම සහ ජීවිතේ එයා ලබපු අද්දැකීම්.

5. ආබ්‍රහම් දෙවි ගැන දැනගන්න ඇත්තේ කොහොමද? ඒ දැනුම එයාට බලපෑවේ කොහොමද?

5 දැනුම. ආබ්‍රහම් ඇතිදැඩි වුණේ බොරු දෙවිවරුන්ට නමස්කාර කරපු ඌර් දේශයේ. එයාගේ තාත්තාත් ඒ දෙවිවරුන්ට නමස්කාර කළා. (යොෂු. 24:2) එහෙමනම් යෙහෝවා දෙවි ගැන ආබ්‍රහම් ඉගෙනගත්තේ කොහොමද? නෝවාගේ පුතෙක් වුණු ෂෙම් ආබ්‍රහම්ගේ නෑයෙක් කියලත් ආබ්‍රහම්ට වයස 150ක් විතර වෙන කල් ෂෙම් ජීවත් වුණා කියලත් බයිබලෙන් හොයාගන්න පුළුවන්. ශක්තිමත් විශ්වාසයක් තිබුණු ෂෙම් එයාගේ නෑයන්ට දෙවි ගැන හුඟක් දේවල් කියලා දෙන්න ඇති. ආබ්‍රහම් දෙවි ගැන ඉගෙනගන්න ඇත්තෙත් ෂෙම්ගෙන් වෙන්න පුළුවන්. දෙවි ගැන අහපු දේවල් නිසා ආබ්‍රහම්ගේ හිතේ දෙවි ගැන ලොකු ආදරයක් වගේම විශ්වාසයක් ඇති වුණා.

6, 7. ලබපු අද්දැකීම් නිසා ආබ්‍රහම්ගේ විශ්වාසය ශක්තිමත් වුණේ කොහොමද?

6 ලබපු අද්දැකීම්. අපි යම් දෙයක් ගැන හිතන්න හිතන්න ඒක අපේ හැඟීම්වලට බලපානවා. ඒ හැඟීම් තමයි අපිව ක්‍රියාවට පොලඹවන්නේ. දෙවි ගැන දැනගන්න ලැබුණු දේවල් ගැන හිතද්දී ආබ්‍රහම්ට දෙවි ගැන ලොකු ආදරයක් ඇති වුණා. ඒ ආදරේ නිසා “අහසත් පොළොවත් සෑදූ මහෝත්තම දෙවි වන යෙහෝවා” ගැන ලොකු ගෞරවයක් එයාගේ හිතේ ඇති වුණා. (උත්. 14:22) ඒ ගෞරවනීය හැඟීම බයිබලේ හඳුන්වන්නේ “දේවගරුබිය” කියලයි. (හෙබ්‍රෙ. 5:7) දෙවිට කීකරු වෙන්න ආබ්‍රහම්ව පෙලඹුවේ දේවගරුබියයි. දෙවිගේ යාළුවෙක් වෙන්න නම් අපි තුළත් දේවගරුබිය තියෙන්නම ඕනේ.—ගීතා. 25:14.

7 ඌර් දේශයේ තිබුණු තමන්ගේ ගේ දාලා වෙන රටකට යන්න කියලා දෙවි ආබ්‍රහම්ටයි සාරාටයි කිව්වා. මහලු වයසේ හිටපු ඒ දෙන්නට ඒක ලේසි දෙයක් නෙමෙයි. ජීවිතේ ඉතුරු කාලේ ගත කරන්න වෙන්නේ කූඩාරම්වල. හුඟක් අනතුරුදායක දේවලට මුහුණ දෙන්නත් සිද්ධ වෙනවා. ඒත් ආබ්‍රහම් යෙහෝවා දෙවිට කීකරු වුණා. එයාගේ කීකරුකම නිසා දෙවි එයාව ආරක්ෂා කළා වගේම ආශීර්වාදත් කළා. එක අවස්ථාවකදී රජ කෙනෙක් සාරාගේ ලස්සන දැකලා එයාව රජමාලිගාවට අරන් ගියා. ආබ්‍රහම්ගේ ජීවිතේ තිබුණෙත් අනතුරේ. ඒ වෙලාවේදී විතරක් නෙමෙයි තව අවස්ථාවලදීත් යෙහෝවා දෙවි මැදිහත් වෙලා ඒ දෙන්නව ආරක්ෂා කළා. (උත්. 12:10-20; 20:2-7, 10-12, 17, 18) ඒ අද්දැකීම් ආබ්‍රහම්ගේ විශ්වාසය තවත් ශක්තිමත් කළා.

8. දෙවි එක්ක තියෙන යාළුකම ශක්තිමත් කරගන්න උදව් වෙන දැනුම, අද්දැකීම් අපිට ලබන්න පුළුවන් කොහොමද?

8 ඔයාටත් පුළුවන්ද යෙහෝවා දෙවිගේ කිට්ටු යාළුවෙක් වෙන්න? ආබ්‍රහම් වගේ දෙවි ගැන ඉගෙනගත්තොත් ඒක කරන්න පුළුවන්. විශ්වාසය ශක්තිමත් කරන දැනුමෙන්, සැබෑ ජීවිත අද්දැකීම්වලින් බයිබලේ පිරිලා. ඇත්තටම ආබ්‍රහම්ට තිබුණට වඩා හුඟක් දේවල් අපිට තියෙනවා. (දානි. 12:4; රෝම 11:33) බයිබලේ පුරාම තියෙන්නේ “අහසත් පොළොවත් සෑදූ මහෝත්තම දෙවි වන යෙහෝවා” ගැන තොරතුරු. ඒවා ගැන ඉගෙනගද්දී දෙවි ගැන අපිට ඇති වෙන ආදරේ, ගෞරවය අපිව පොලඹවනවා ඔහුට කීකරු වෙන්න. දෙවිට කීකරු වෙද්දී ඔහු අපිව ආරක්ෂා කරන විදිහත් ආශීර්වාද කරන විදිහත් අද්දකින්න අපිට පුළුවන්. මුළු හදවතින්ම දෙවිට සේවය කරද්දී හිතේ සතුට, සාමය, තෘප්තිය අද්දකින්නත් අපිට පුළුවන්. (ගීතා. 34:8; හිතෝ. 10:22) දෙවි ගැන දැනුම ලබාගන්න තරමට, ඔහුගේ ආශීර්වාද අද්දකින තරමට දෙවි එක්ක තියෙන අපේ යාළුකම තවත් වැඩි වෙනවා.

මිත්‍රත්වය දිගටම තියාගත්තේ කොහොමද?

9, 10. (අ) ශක්තිමත් මිත්‍රත්වයක් ඇති වෙන්නේ කොහොමද? (ආ) දෙවි එක්ක තිබුණු මිත්‍රත්වය ආබ්‍රහම් අගය කළා කියන්නේ ඇයි?

9 කිට්ටු යාළුකමක් හරියට වටිනා වස්තුවක් වගේ. (හිතෝපදේශ 17:17 කියවන්න.) සමහර වටිනා දේවල් අපි ලොකු මිලක් දීලා අරගෙන ලස්සනට පේන්න තියලා තියෙනවා. ඒත් යාළුකමක් කියන්නේ ඒ වගේ දෙයක් නෙමෙයි. ඒක මල් පැළයක් වගේ වතුර දාලා හොඳට බලාගන්න ඕනේ. එතකොට තමයි ලස්සන මල් පිපෙන්නේ. ආබ්‍රහම් කළෙත් ඒ වගේ දෙයක්. එයා දෙවිත් එක්ක තියෙන යාළුකම වටිනා දෙයක් හැටියට සලකලා දිගටම ඒක රැකගන්න වෑයම් කළා.

10 ආබ්‍රහම්ට දෙවි ගැන ලොකු ගරුබියක් තිබුණා. නිතරම දෙවිට කීකරු වුණා. ඒත් ඒ ඇති කියලා එයා හිතුවේ නැහැ. දේවගරුබිය තව වැඩි කරගන්න, තව වැඩියෙන් දෙවිට කීකරු වෙන්න පුළුවන් විදි හොයලා ඒවාට අනුව ජීවත් වෙන්න වෑයම් කළා. කානාන් දේශය බලා යන ගමනේදී ලොකු පොඩි හැම තීරණයක්ම එයා ගත්තේ දෙවි කියපු විදිහටයි. උදාහරණෙකට ඊසාක් ඉපදෙන්න අවුරුද්දකට කලින් ආබ්‍රහම්ට වයස 99දී දෙවි කිව්වා එයාත් එක්ක ගිය පිරිස අතර හිටපු හැම පිරිමි කෙනෙක්වම චර්මච්ඡේදනය කරන්න කියලා. ඒ වෙලාවේ ආබ්‍රහම් දෙවිව සැක කළාද? ඒක නොකර ඉන්න හේතු හෙව්වද? නැහැ. එයා දෙවිව විශ්වාස කරලා “ඒ දවසේදීම” ඒක කළා.—උත්. 17:10-14, 23.

11. සොදොම් සහ ගොමෝරාවේ විනාශය ගැන ආබ්‍රහම් කනස්සලු වුණේ ඇයි? දෙවි එයාට උදව් කළේ කොහොමද?

11 හැම පුංචි දේකදීම ආබ්‍රහම් දෙවිට කීකරු වුණු නිසා එයාලා අතරේ තිබුණු යාළුකම තව වැඩි වුණා. ඒක කොච්චරද කියනවා නම් දෙවිත් එක්ක ඕනෙම දෙයක් කතා කරන්න පුළුවන් කියන නිසැකකම එයාට තිබුණා. උදාහරණෙකට සොදොම් සහ ගොමෝරා නගර විනාශ කරනවා කියලා දෙවි කිව්වම හොඳ අයත් විනාශ වෙයි කියලා ආබ්‍රහම් කනස්සලු වුණා. ඒකට හේතුව එයාගේ නෑයෙක් වුණු ලොත් සහ පවුලේ අය ඒ කාලේ ජීවත් වුණේ සොදොම් නගරේ නිසා වෙන්න ඇති. “මුළු පොළොවෙම විනිශ්චයකරු” වන යෙහෝවා දෙවි ගැන ආබ්‍රහම් විශ්වාසය තියලා හිතට ආපු හැම ප්‍රශ්නයක්ම දෙවිගෙන් ඇහුවා. තමන්ගේ යාළුවා ප්‍රශ්න අහද්දී දෙවි ඉවසීමෙන් අහගෙන ඉඳලා තමන් දයාන්විත කෙනෙක් කියලා එයාට පෙන්නලා දුන්නා. විනාශයක් ගේන අවස්ථාවලදී වුණත් යහපත් අයව හොයලා ඒ අයව ආරක්ෂා කරන්න තමන් පියවර ගන්නවා කියලා ආබ්‍රහම්ට පැහැදිලි කරලා දුන්නා.—උත්. 18:22-33.

12, 13. (අ) ලබපු දැනුම සහ අද්දැකීම් පසු කාලෙකදී ආබ්‍රහම්ට උදව් වුණේ කොහොමද? (ආ) ආබ්‍රහම්ට දෙවි ගැන ලොකු නිසැකකමක් තිබුණා කියලා ඔප්පු වෙන්නේ කොහොමද?

12 දෙවි එක්ක තිබුණු යාළුකම දිගටම ශක්තිමත්ව තියාගන්න දෙවි ගැන අහපු දේවල් සහ ලබපු අද්දැකීම් ආබ්‍රහම්ට උදව් වුණා කියලා පැහැදිලියි. ඊසාක්ව පූජා කරන්න කියලා කියපු අවස්ථාව වෙනකොට දෙවි ඉවසීමෙන් වැඩ කරන, දයාන්විත, විශ්වාසවන්ත, රැකවරණය සලසන දෙවි කෙනෙක් කියන දේ ගැන ආබ්‍රහම්ට ලොකු නිසැකකමක් තිබුණා. දෙවි හදිසියේ වෙනස් වෙලා කෲර විදිහට වැඩ කරන්න පටන්ගන්නේ නැහැ කියන විශ්වාසය එයාට තිබුණා. එහෙම කියන්නේ ඇයි?

13 පූජාව ඔප්පු කරන තැනට යන්න කලින් ආබ්‍රහම් එයාගේ සේවකයන්ට කිව්වේ “ඔබ බූරුවා සමඟ මෙතන ඉන්න. මම දරුවාත් සමඟ එතැනට ගිහින් නමස්කාර කර එන්නම්” කියලයි. (උත්. 22:5) ආබ්‍රහම් ඒ අයට කිව්වේ බොරුවක්ද? නැහැ. ඊසාක්ව පූජා කළත් එයාව මරණයෙන් නැඟිටුවන්න දෙවිට පුළුවන් කියලා ආබ්‍රහම් දැනගෙන හිටියා. (හෙබ්‍රෙව් 11:19 කියවන්න.) මහලු වයසේ හිටපු තමන්ටත් සාරාටත් දරුවෙක් ලබා දෙන්න දෙවිට පුළුවන් නම් දෙවිට කරන්න බැරි දෙයක් නැහැ කියන විශ්වාසය ආබ්‍රහම් තුළ තිබුණා. (හෙබ්‍රෙ. 11:11, 12, 18) එදා මොන වගේ දෙයක් වෙයිද කියලා එයා දැනගෙන හිටියේ නැහැ. ඒත් දෙවි දුන්න පොරොන්දු අනිවාර්යයෙන්ම ඉටු වෙනවා කියන විශ්වාසය එයාට තිබුණා. ඒ නිසා අවශ්‍ය නම් ඊසාක්ව නැවත නැඟිටුවන්න වුණත් දෙවිට පුළුවන් කියලා එයා හොඳටම දැනගෙන හිටියා. “විශ්වාසය නිසා ධර්මිෂ්ඨයන් ලෙස ප්‍රකාශ කරනු ලබන සියලුදෙනාගේම පියා” හැටියට ආබ්‍රහම්ව හඳුන්වපු එක පුදුමයක්ද!

14. දෙවිට සේවය කරද්දී ඔයා මුහුණ දෙන අභියෝග මොනවද? ආබ්‍රහම්ගේ ආදර්ශය ඔයාට උදව් වෙන්නේ කොහොමද?

14 ආබ්‍රහම්ට කරන්න කිව්වා වගේ දෙයක් කරන්න කියලා අද අපිට දෙවි කියන්නේ නැහැ. ඒත් ඔහුගේ ආඥාවලට කීකරු වෙයි කියලා නම් ඔහු අපෙන් බලාපොරොත්තු වෙනවා. සමහර ආඥා දීලා තියෙන්නේ ඇයි කියලා අපිට තේරෙන්නේ නැතුව ඇති. එහෙම නැත්නම් ඒවාට කීකරු වෙන්න අමාරුයි කියලා හිතෙනවා ඇති. ඔයාටත් එහෙම හිතෙනවද? සමහරුන්ට දේශනා සේවයේ යන එක අමාරු දෙයක්. ඒකට හේතුව එයාලා ලැජ්ජ නිසා වෙන්න ඇති. තවත් අය පාසැල, රැකියා ස්ථානය වගේ තැන්වලදී බයිබල් ප්‍රතිපත්ති රකින්න බයයි. (නික්. 23:2; 1 තෙස. 2:2) දෙවිට කීකරු වෙන්න අමාරුයි කියලා ඔයාට හිතෙන වෙලාවලදී ආබ්‍රහම්ව මතක් කරගන්න. ඒ වගේ විශ්වාසයක් තිබුණු අය ගැන හිතද්දී එයාලා වගේ වැඩ කරන්න අපි තුළත් ලොකු ආසාවක් ඇති වෙයි. ඒ වගේම අපේ හොඳම යාළුවා වන යෙහෝවා දෙවිට තව කිට්ටු වෙන්නත් අපි පෙලඹෙයි.—හෙබ්‍රෙ. 12:1, 2.

ආශීර්වාද ගෙන දෙන මිත්‍රත්වයක්

15. දෙවිට කීකරු වුණු එක ගැන ආබ්‍රහම් කවදාවත් පසුතැවුණේ නැහැ කියලා දන්නේ කොහොමද?

15 දෙවිට කීකරු වුණු එක ගැන ආබ්‍රහම් කවදා හරි පසුතැවුණා කියලා ඔයා හිතනවද? එයාගේ ජීවිතේ අවසාන මොහොත බයිබලේ වාර්තා කරන්නේ මෙහෙමයි. “ඔහු මිය යන තුරුම තෘප්තිමත් ජීවිතයක් ගත කළේය.” (උත්. 25:8) අවුරුදු 175ක් පුරා ආපු ඒ දිගු ගමන දිහා හැරිලා බලද්දී එයාට ලොකු තෘප්තියක් දැනුණා. මොකද ඒ කාලේ පුරාම එයාගේ ජීවිතේ වැදගත්ම දේ වුණේ දෙවි එක්ක තිබුණු යාළුකමයි. ඒත් “මිය යන තුරුම තෘප්තිමත් ජීවිතයක් ගත” කරපු නිසා අනාගත ජීවිතේ ගැන එයාට කිසි ආසාවක් තිබුණේ නැහැ කියලා අදහස් වෙන්නේ නැහැ.

16. පාරාදීසයේදී ආබ්‍රහම් මොන වගේ දේවල් නිසා සතුටු වෙයිද?

16 බයිබලේ ආබ්‍රහම් ගැන කියන්නේ “ඔහු බලා සිටියේ සැබෑ අත්තිවාරමක් ඇති නුවර පිහිටුවන තුරුය. ඒ නුවරෙහි නිර්මාතෘ සහ සැදුම්කරු දෙවි” කියලයි. (හෙබ්‍රෙ. 11:10) කවදා හරි දවසක දේවරාජ්‍යය කියන ඒ නුවර පිහිටුවලා ඒක මේ පොළොව පාලනය කරනවා දකින්න තමන්ටත් පුළුවන් කියලා ආබ්‍රහම් විශ්වාස කළා. එයාට ඒ අවස්ථාව අනිවාර්යයෙන්ම ලැබෙනවා. පාරාදීසයේ සදාකල් ජීවත් වෙන්න අවස්ථාව ලැබෙන එක ගැනත් දෙවි එක්ක තියෙන යාළුකම තව වැඩි කරගන්න පුළුවන් වෙන එක ගැනත් එදාට ආබ්‍රහම් කොයි තරම් සතුටු වෙයිද! දෙවිගේ සෙනඟට විශ්වාසවන්තව ඉන්න සියවස් ගාණක් තිස්සේ එයාගේ ආදර්ශය උදව් වුණා කියලා දැනගත්තම එයා කොච්චර සතුටු වෙයිද! මොරියා කන්දේදී එයා ඔප්පු කරන්න හදපු පූජාවෙන් වඩාත් ශ්‍රේෂ්ඨ දෙයක් නියෝජනය වුණා කියලා එදාට එයා දැනගනියි. (හෙබ්‍රෙ. 11:19) ඊසාක්ව පූජා කරන්න හදපු වෙලාවේ එයාට දැනුණු වේදනාව, තමන්ගේ එකම පුතාව පූජා කරද්දී දෙවිට කොච්චර වේදනාවක් දැනුණද කියලා තේරුම්ගන්න මිලියන ගාණක් දෙනාට උදව් වුණා කියලා එදාට එයා දැනගනියි. (යොහ. 3:16) ආදරේ වෙනුවෙන් එතෙක් මෙතෙක් කරපු ශ්‍රේෂ්ඨතම ක්‍රියාව යේසුස්ගේ ජීවිත පූජාවයි. ඒ ගැන අපේ හිතේ තියෙන අගය වැඩි කරගන්න ආබ්‍රහම්ගේ ආදර්ශය අපිට ලොකු උදව්වක්.

17. ඔයාගේ අදිටන මොකක්ද? ඊළඟ ලිපියෙන් බලන්නේ මොනවද?

17 ආබ්‍රහම්ව ආදර්ශයට ගන්න අපි හැමෝම අදිටන් කරගමු. දෙවි ගැන දැනුම ලබාගන්න තරමට ඔහුට කීකරු වෙන්න අපි පෙලඹෙයි. දෙවිට කීකරු වෙන තරමට ඔහු අපිට ආශීර්වාද කරන විදිහත් අපිව රැකබලා ගන්න විදිහත් අද්දකින්න අපිට පුළුවන් වෙයි. (හෙබ්‍රෙව් 6:10-12 කියවන්න.) යෙහෝවා දෙවිව සදාකාලයටම ඔයාගේ හොඳම යාළුවා කරගන්න. දෙවිව කිට්ටු යාළුවෙක් කරගත්ත තව 3දෙනෙක් ගැන අපි ඊළඟ ලිපියෙන් බලමු.