Skip to content

පටුනට යන්න

යෙහෝවා දෙවිගේ කිට්ටු යාළුවන්ව ආදර්ශයට ගමු

යෙහෝවා දෙවිගේ කිට්ටු යාළුවන්ව ආදර්ශයට ගමු

“යෙහෝවා දෙවිට සමීප විය හැක්කේ ඔහු කෙරෙහි ගරුබියක් ඇති අයටය.”—ගීතා. 25:14.

ගීතිකා: 106, 118

1-3. (අ) දෙවිගේ යාළුවන් වෙන්න අපිටත් පුළුවන් කියලා දන්නේ කොහොමද? (ආ) මේ ලිපියෙන් බලන්නේ මොන අය ගැනද?

ආබ්‍රහම්ව බයිබලේ හඳුන්වලා තියෙන්නේ දෙවිගේ මිතුරා කියලයි. (යෙසා. 41:8; යාකො. 2:23) ඒ විදිහට හඳුන්වලා තියෙන එකම කෙනා ඔහුයි. ඒ කියන්නේ යෙහෝවා දෙවිගේ යාළුවෙක් වෙන්න පුළුවන් වුණේ ආබ්‍රහම්ට විතරයි කියන එකද? නැහැ. දෙවිගේ කිට්ටු යාළුවන් වෙන්න අපි හැමෝටම පුළුවන් කියලා බයිබලේ කියනවා.

2 දෙවිට ගරුබිය පෙන්වපු, දෙවි ගැන විශ්වාසය තියපු, දෙවිගේ කිට්ටු යාළුවන් වුණු හුඟදෙනෙක් ගැන බයිබලේ සඳහන් වෙනවා. (ගීතාවලිය 25:14 කියවන්න.) ඒ හැමෝවම පාවුල් හැඳින්නුවේ ‘විශාල වලාකුළක් හා සමාන සාක්ෂිකරුවන් සමූහයක්’ හැටියටයි. විවිධ පසුබිම්වලට අයත්, විවිධ තත්වයන් අද්දැක්ක ඒ හැමෝටම දෙවිගේ යාළුවන් වෙන්න පුළුවන් වුණා.—හෙබ්‍රෙ. 12:1.

3 මෝවබ් ජාතික රූත්, යූදා දේශයේ රජ වුණු හෙසකියා සහ යේසුස්ගේ මව වුණු මරියා කියන්නේ ඒ අය අතරේ හිටපු දෙවිගේ කිට්ටු යාළුවන් 3දෙනෙක්. දෙවිගේ යාළුවන් වෙන්න ඒ අය කරපු දේවලින් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවද කියලා බලමු.

නොසැලෙන ආදරයක් පෙන්නුවා

4, 5. රූත්ට ගන්න වුණු අමාරු තීරණය මොකක්ද? ඒක අමාරු තීරණයක් වුණේ ඇයි? (ලිපියේ මුල් පින්තූරය බලන්න.)

4 මෝවබ් දේශයේ හිටපු නායොමි තමන්ගේ ලේලියන් දෙන්නත් එක්ක දුරු කතර ගෙවාගෙන මේ යන්නේ ඊශ්‍රායෙල් දේශයටයි. ගමන අතරතුරේදී ඕපා තීරණය කරනවා මෝවබ් දේශයේ හිටිය එයාගේ පවුලේ අය ළඟට ආයෙත් යන්න. මේ වෙලාවේ රූත් මොන වගේ තීරණයක් ගනියිද? එයාට ගන්න තිබුණේ හුඟක් වැදගත් තීරණයක්. ආයෙත් මෝවබ් දේශයට ගිහින් පවුලේ අය එක්ක ජීවත් වෙන්න එයා තීරණය කරයිද? නැත්නම් ආදරණීය නැන්දම්මා එක්කම ඉඳලා බෙත්ලෙහෙමට යන්න තීරණය කරයිද?—රූත් 1:1-8, 14.

5 මෝවබ්වල හිටපු එයාගේ පවුලේ අය ළඟට ආපහු ගියා නම් ඒ අය රූත්ව ආදරෙන් බලාගනියි. ඒ වගේම එහේ ඉන්නේ එයා දන්න කියන අය. එහේ භාෂාවත් සංස්කෘතියත් එයාට හුරුයි. ඒ වගේ ජීවිතයක් එයාට බෙත්ලෙහෙමෙදී ලැබෙයි කියලා පොරොන්දු වෙන්න නායොමිට පුළුවන්කමක් නැහැ. එහෙදී රූත්ට සැමියෙක් හොයලා දෙන්න පුළුවන් වෙයිද කියලත් නායොමිගේ හිතේ සැකයක් තිබුණා. ඒ නිසා ඕපා “ඇගේ සෙනඟ වෙතටත් දෙවිවරුන් වෙතටත් ආපහු ගියා” වගේ රූත්ටත් යන්න කියලා නායොමි කියනවා. (රූත් 1:9-15) ඒත් තමන්ගේ සෙනඟ ළඟටවත් දෙවිවරුන් ළඟටවත් ආපහු නොයන්න රූත් තීරණයක් ගන්නවා.

6. (අ) රූත් ගත්ත නැණවත් තීරණය මොකක්ද? (ආ) දෙවිගේ පියාපත් සෙවණේ රැකවරණය සොයන කෙනෙක් හැටියට බෝවස් රූත්ව හැඳින්නුවේ ඇයි?

6 රූත් එයාගේ සැමියාගෙන් නැත්නම් නැන්දම්මාගෙන් දෙවි ගැන ඉගෙනගන්න ඇති. යෙහෝවා දෙවි මෝවබ් දෙවිවරුන් වගේ නෙමෙයි කියලා එයා දැනගත්තා. එයා දෙවිට හුඟක් ආදරේ කළා විතරක් නෙමෙයි තමන්ගේ ආදරේ, නමස්කාරය ලබන්න දෙවි වටිනවා කියලත් තේරුම්ගත්තා. රූත් ගන්න පුළුවන් හොඳම තීරණය අරන් නායොමිට මෙහෙම කියනවා. “ඔබේ සෙනඟ මගෙත් සෙනඟයි. ඔබේ දෙවි මගෙත් දෙවියි.” (රූත් 1:16) රූත්ට නායොමි ගැන ලොකු ආදරයක් තිබුණා. ඒත් යෙහෝවා දෙවි ගැන එයාට තිබුණේ ඊටත් වඩා වැඩි ආදරයක්. බෝවස්ට රූත් ගැන කැමැත්තක් ඇති වුණෙත් දෙවි ගැන රූත්ගේ හිතේ තිබුණු නොසැලෙන ආදරේ දැක්ක නිසයි. ‘යෙහෝවා දෙවිගේ පියාපත් සෙවණේ රැකවරණය සෙවූ’ නිසා එයා රූත්ව අගය කළා. (රූත් 2:12 කියවන්න.) බෝවස්ගේ ඒ වචන ඇහෙද්දී අපිට මතක් වෙන්නේ කුරුලු පැටියෙක් තම දෙමාපියන්ගේ පියාපත් යට රැකවරණය පතන දර්ශනයක්. (ගීතා. 36:7; 91:1-4) යෙහෝවා දෙවි රූත්ව රැකබලා ගත්තෙත් ඒ වගෙයි. රූත් පෙන්නපු විශ්වාසය නිසා දෙවි එයාට හුඟක් ආශීර්වාද කළා. එදා ගත්ත තීරණය ජීවිතේ ගත්ත හොඳම තීරණය කියලා එයා හිතන්න ඇති.

7. ජීවිතේ දෙවිට කැප කරන්න අදිමදි කරන්න ඕනෙ නැත්තේ ඇයි?

7 හුඟක් අය යෙහෝවා දෙවි ගැන ඉගෙනගත්තත් දෙවි ගැන විශ්වාසය තියලා දේවල් කරන්න තීරණය කරන්නේ නැහැ. තමන්ගේ ජීවිතේ දෙවිට කැප කරලා බව්තීස්ම වෙන්න එයාලා අදිමදි කරනවා. ඔයාත් ඒ වගේ කෙනෙක්ද? එහෙමනම් ඒ ඇයි කියලා හොඳට හිතන්න. හැමෝම කවුරු හරි දෙවි කෙනෙක්ට සේවය කරනවා. (යොෂු. 24:15) එහෙමනම් සැබෑ දෙවිට සේවය කරන එක නෙමෙයිද හොඳම දේ? ඔයාගේ ජීවිතේ යෙහෝවා දෙවිට කැප කරද්දී ඔයා පෙන්නන්නේ ඔයාට දෙවි ගැන ලොකු විශ්වාසයක් තියනවා කියලයි. ඔයා ගන්න ඒ තීරණයට අනුව ජීවත් වෙන්න, එන ඕනෙම අභියෝගයකට හොඳින් මුහුණ දෙන්න එදා දෙවි රූත්ට උදව් කළා වගේ ඔයාටත් උදව් කරයි.

‘යෙහෝවා දෙවිව අත්හැරියේ නැහැ’

8. හෙසකියාගේ පසුබිම විස්තර කරන්න.

8 හෙසකියා, රූත්ට වඩා හාත්පසින්ම වෙනස් පසුබිමකින් ආපු කෙනෙක්. එයා දෙවිට කැප වුණු ඊශ්‍රායෙල් ජාතියේ කෙනෙක්. ඒත් එදා හිටපු හැම කෙනෙක්ම දෙවිට විශ්වාසවන්තව සේවය කළේ නැහැ. ඒ අය අතරේ හෙසකියාගේ තාත්තා ආහස් රජත් හිටියා. එයා හුඟක් නපුරු, දේවමාලිගාවට කිසි ගෞරවයක් දැක්වුවේ නැති, වෙන දෙවිවරුන්ට නමස්කාර කරන්න සෙනඟව පොලඹවපු කෙනෙක්. ඒ දෙවිවරුන්ට පූජා විදිහට ආහස් රජ හෙසකියාගේ සමහර සහෝදරයන්ව පණපිටින් පිච්චුවා. හෙසකියාට තිබුණේ අමිහිරි ළමා වියක්.—2 රාජා. 16:2-4, 10-17; 2 ලේක. 28:1-3.

9, 10. (අ) දෙවිට අකීකරු වෙන්න හෙසකියා ලේසියෙන්ම පෙලඹෙන්න තිබුණා කියන්නේ ඇයි? (ආ) දෙවි ගැන කේන්තියක් ඇති කරගන්න හොඳ නැත්තේ ඇයි? (ඇ) හරි දේ කරනවද නැද්ද කියන දේ තීරණය වෙන්නේ තමන්ගේ පසුබිම අනුවයි කියලා හිතන එක වැරදි ඇයි?

9 ඇතිදැඩි වුණු පරිසරය නිසා දෙවි ගැන තරහක් ඇති කරන්න, දෙවිට අකීකරු වෙන්න හෙසකියා ලේසියෙන්ම පෙලඹෙන්න තිබුණා. එදා ඔහු අද්දැක්ක දේවලින් අල්ප මාත්‍රයක්වත් අද්දැකලා නැති, අද ඉන්න සමහරු හිතනවා දෙවිට “දොස් කියන්න,” දෙවිගේ සංවිධානයත් එක්ක කේන්තියෙන් ඉන්න තමන්ට සාධාරණ හේතු තියෙනවා කියලා. (හිතෝ. 19:3) තවත් අය හිතන්නේ තමන් නරක පවුල් පසුබිමක ඇතිදැඩි වෙන නිසා දෙමාපියන් යන පාරෙම යනවා ඇරෙන්න තමන්ට යන්න වෙන පාරක් නැහැ කියලයි. (එස. 18:2, 3) එහෙම හිතන එක හරිද?

10 එහෙම හිතන එක වැරදියි කියලා හෙසකියාගේ ජීවිතෙන් ඔප්පු වෙනවා. දෙවිට දොස් කියන්න, දෙවි ගැන කේන්තියක් ඇති කරගන්න අපිට කිසිම සාධාරණ හේතුවක් නැහැ. දෙවි කවදාවත් කාටවත් නපුරක් කරන්නේ නැහැ. (යෝබ් 34:10) ඇත්ත, දරුවන්ට හරි දේ කරන්න නැත්නම් වැරදි දේ කරන්න උගන්නන්න දෙමාපියන්ට පුළුවන්. (හිතෝ. 22:6; කොලො. 3:21) ඒත් ඒකෙන් අදහස් කරන්නේ නැහැ කෙනෙක් හොඳ කෙනෙක් වෙනවද නරක කෙනෙක් වෙනවද කියන එක තීරණය වෙන්නේ එයා ඇතිදැඩි වෙන පසුබිමට අනුවයි කියලා. මොකද යෙහෝවා දෙවි අපි හැම කෙනෙක්ටම තීරණ ගැනීමේ නිදහස දීලා තියෙනවා. (ද්වි. 30:19) ඒ නිදහස හෙසකියා පාවිච්චි කළේ කොහොමද?

පවුල් පසුබිම මොකක් වුණත් හුඟක් යෞවන අය යෙහෝවා දෙවිගේ යාළුවන් වෙලා තියෙනවා (9 සහ 10 ඡේද බලන්න)

11. හොඳ රජ කෙනෙක් වෙන්න හෙසකියාට පුළුවන් වුණේ කොහොමද?

11 තාත්තා යුදයේ හිටපු නරකම රජ කෙනෙක් වුණත් හෙසකියාට පුළුවන් වුණා හොඳම රජ කෙනෙක් වෙන්න. (2 රාජාවලිය 18:5, 6 කියවන්න.) තාත්තා වගේ වැඩ කරන්නේ නැහැ කියලා එයා තීරණයක් ගත්තා. ඒ වෙනුවට එයා යෙසායා, මීකා, හොෂෙයා වගේ දෙවිගේ අනාගතවක්තෘවරුන් කියපු දේවලට සවන් දුන්නා. ඒ අයගේ උපදෙස්, මඟ පෙන්වීම් පිළිගත්තා. තාත්තා ඇති කරපු හුඟක් ප්‍රශ්න විසඳන්න ඒවා එයාට උදව් වුණා. එයා දේවමාලිගාව පවිත්‍ර කළා. සෙනඟ කරපු පව්වලට දෙවිගෙන් සමාව ඉල්ලුවා. දේශය පුරාම තිබුණු රූප විනාශ කළා. (2 ලේක. 29:1-11, 18-24; 31:1) පස්සේ කාලෙකදී ඇසිරියාවේ රජ යෙරුසලම අල්ලගන්න ආපු වෙලාවේ හෙසකියා දෙවි ගැන විශ්වාසය තියලා, නිර්භීතව වැඩ කළා. (2 ලේක. 32:7, 8) එක අවස්ථාවක එයා ටිකක් උඩඟු විදිහට වැඩ කළත් ඒ ගැන දෙවි දුන්න උපදෙස්, හික්මවීම් නිහතමානීව පිළිගත්තා. (2 ලේක. 32:24-26) හෙසකියා අපිට හොඳ ආදර්ශයක්. පවුල් පසුබිම කොයි තරම් නරක වුණත් හරි දේ කරන්න එයා තීරණය කළා. එහෙම කරලා එයා දෙවිගේ කිට්ටු යාළුවෙක් වුණා.

12. අද ඉන්න හුඟදෙනෙක් එයාලා දෙවිගේ කිට්ටු යාළුවන් කියලා ඔප්පු කරලා තියෙන්නේ කොහොමද?

12 අද අපි ඉන්නේ නපුරු, කිසි කෙනෙක්ට සෙනෙහසක් පෙන්නන්නේ නැති සමාජයක. හුඟක් දරුවෝ ඇතිදැඩි වෙන්නේ දෙමාපියන්ගේ ආදරේ, රැකවරණය නැතුවයි. (2 තිමෝ. 3:1-5) අපි අතරේ ඉන්න හුඟදෙනෙක් ඇතිදැඩි වෙලා තියෙන්නෙත් ඒ වගේ පවුල් පසුබිමක. ඒත් හෙසකියා වගේ දෙවිව තමන්ගේ යාළුවා කරගන්න එයාලත් තීරණය කරලා තියෙනවා. අනාගතයේදී මොන වගේ කෙනෙක් වෙනවද කියන එක තීරණය කරන්න කෙනෙක්ගේ පවුල් පසුබිම හේතු වෙන්නේ නැහැ කියලා එයාලා ඔප්පු කරලා තියෙනවා. තීරණ ගන්න අපිට තියෙන නිදහස යෙහෝවා දෙවි දුන්න තෑග්ගක්. ඒ නිදහස නිසා දෙවිට සේවය කරන්න, දෙවිව ගෞරවයට පත් කරන්න හෙසකියා වගේ අපිටත් තීරණය කරන්න පුළුවන්.

“මම යෙහෝවා දෙවිගේ දාසියක්”

13, 14. මරියාගේ පැවරුම අමාරු එකක් වුණේ ඇයි? ඒත් එයා දේවදූතයාට කිව්වේ මොකක්ද?

13 හෙසකියාගේ කාලෙන් සියවස් ගාණකට පස්සේ නාසරෙත් නුවරේ හිටපු නිහතමානී තරුණියක් වුණු මරියාටත් පුළුවන් වුණා යෙහෝවා දෙවිගේ කිට්ටු යාළුවෙක් වෙන්න. දෙවි කිසිම කෙනෙකුට නුදුන්නු වරප්‍රසාදයක් එයාට දුන්නා. ඒ දෙවිගේ එකම පුතාගේ මව වෙලා එයාව උස් මහත් කරන වගකීම. තමන්ගේ පුතාව ඒ විදිහට විශ්වාසයෙන් භාර දෙන්න යෙහෝවා දෙවිට මරියා ගැන කොයි තරම් ආදරයක්, විශ්වාසයක් තියෙන්න ඇද්ද! ඒත් ඒ ගැන දැනගත්ත වෙලාවේ මරියා ඒක භාරගත්තේ කොහොමද?

“මම යෙහෝවා දෙවිගේ දාසියක්” (13 සහ 14 ඡේද බලන්න)

14 මරියාට ලැබුණේ මොන තරම් වටින වරප්‍රසාදයක්ද කියලා හිතන්න අපිට ලේසියි. ඒත් ඒ වෙලාවේ එයාගේ මනසට මොන වගේ ප්‍රශ්න එන්න ඇද්ද කියලා හිතාගන්න පුළුවන්ද? උදාහරණෙකට දරුවා පිළිසිඳගන්නේ ලිංගික සම්බන්ධකම් පවත්තන්නේ නැතුව කියලා දේවදූතයා මරියාට කිව්වත් ඒ ගැන ඔහු එයාගේ පවුලේ අයට, අසල්වැසියන්ට කිව්වේ නැහැ. තමන්ට දරුවෙක් ලැබෙන්න ඉන්නවා කියලා දැනගත්තම එයාලා කොහොම හිතයිද? තමන් ද්‍රෝහි වුණේ නැහැ කියලා යෝසෙප්ට පැහැදිලි කරලා දෙන්නේ කොහොමද? ඒ විතරක් නෙමෙයි දෙවිගේ පුතාව හදා වඩා ගන්න එක කොච්චර බැරෑරුම් දෙයක්ද? මරියාගේ හිතේ ඒ වෙලාවේ ඇති වුණු හැම ප්‍රශ්නයක් ගැනම අපි දන්නේ නැහැ. ඒත් එයා දේවදූතයාට මෙහෙම කිව්වා. “මම යෙහෝවා දෙවිගේ දාසියක් පමණයි. නමුත් ඔබ පැවසූ දේ එලෙසම සිදු වේවා!”—ලූක් 1:26-38.

15. මරියාට ශක්තිමත් විශ්වාසයක් තිබුණා කියන්නේ ඇයි?

15 මරියාට දෙවි ගැන තිබුණේ මොන තරම් ශක්තිමත් විශ්වාසයක්ද! හරියට දාසියක් වගේ දෙවි කියන ඕනෙම දෙයක් කරන්න එයා ලෑස්ති වෙලා හිටියා. දෙවි තමන්ව රැකබලා ගන්නවා කියන දේ ගැන එයාට කිසිම සැකයක් තිබුණේ නැහැ. ඒ වගේ විශ්වාසයක් මරියාගේ හිතේ ඇති වුණේ කොහොමද? විශ්වාසය කියන්නේ උපතින්ම උරුම වෙන දෙයක් නෙමෙයි. විශ්වාසයක් ඇති කරගන්න නම් වෑයමක් දරන්න ඕනේ. ඒ වෑයමට ආශීර්වාද කරන්න කියලා දෙවිගෙන් ඉල්ලන්න ඕනේ. (ගලා. 5:22; එෆී. 2:8) තමන්ගේ විශ්වාසය ශක්තිමත් කරගන්න මරියා වෑයමක් දැරුවා කියලා අපි දන්නේ කොහොමද?

16. මරියා හොඳින් ඇහුම්කන් දුන්න කෙනෙක් කියලා කියන්නේ ඇයි?

16 එයා ඇහුම්කන් දුන්න විදිහෙන්. “ඇහුම්කන් දීමට ඉක්මන් විය යුතුයි. කතා කිරීමට ප්‍රමාද විය යුතුයි” කියලා බයිබලේ කියනවා. (යාකො. 1:19) මරියා හොඳට ඇහුම්කන් දුන්න කෙනෙක්. එයාට අහන්න ලැබුණු දේවලට විශේෂයෙන් යෙහෝවා දෙවි ගැන අහන්න ලැබුණු දේවලට හොඳින් ඇහුම්කන් දුන්නා. කාලේ අරන් ඒ දේවල් ගැන හොඳින් හිතුවා. යේසුස් ඉපදුණු වෙලාවේ දේවදූතයා කියපු පණිවිඩේ ගැන එඬේරුන් කියපු අවස්ථාව මතකද? යේසුස් වයස 12දී යම් විශේෂ දෙයක් කිව්වා මතකද? ඒ අවස්ථා දෙකේදීම මරියා හොඳින් ඇහුම්කන් දුන්නා. කියපු දේවල් මතක තියාගත්තා. ඒවා ගැන හොඳින් හිතුවා.—ලූක් 2:16-19, 49, 51 කියවන්න.

17. මරියා කතා කරපු විදිහෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවද?

17 එයා කතා කරපු දේවලින්. මරියා කතා කරපු දේවල් ගැන හුඟක් විස්තර බයිබලේ නැහැ. එයා කියපු දේවල් අතරින් දිගම කොටස සඳහන් වෙන්නේ ලූක් 1:46-55. එතන එයා කියන දේවලින් ශුද්ධ ලියවිලි ගැන කොයි තරම් අවබෝධයක් එයාට තිබුණද කියලා පැහැදිලි වෙනවා. මොකද එයා කියපු හුඟක් දේවල් හන්නාගේ යාච්ඤාවට සමානයි. (1 සාමු. 2:1-10) පේන විදිහට මරියා ශුද්ධ ලියවිල්ලෙන් 20 වතාවකටත් වඩා වැඩියෙන් උපුටාගත්තා. තමන්ගේ හොඳම යාළුවා වන යෙහෝවා දෙවිගෙනුත් ඔහුගේ වචනයෙනුත් ඉගෙනගත්ත දේවල් ගැන කතා කරන්න මරියා ආසාවෙන් හිටියා කියලා ඒකෙන් පේනවා.

18. මරියාගේ විශ්වාසය ආදර්ශයට ගන්න පුළුවන් කොහොමද?

18 සමහර අවස්ථාවලදී කරන්න අමාරුයි කියලා හිතෙන පැවරුමක් දෙවිගෙන් අපිටත් ලැබෙන්න පුළුවන්. ඒ වෙලාවලදී යෙහෝවා දෙවි උදව් කරනවා කියන විශ්වාසය ඇතුව නිහතමානීව ඒ පැවරුම භාරගමු. දෙවිට හොඳින් ඇහුම්කන් දීලා, දෙවි ගැනත් ඔහුගේ අරමුණු ගැනත් ඉගෙනගත්ත දේවල් ගැන හොඳින් හිතද්දී අපි කරන්නේ මරියාගේ විශ්වාසය ආදර්ශයට ගන්න එකයි. අපි ඉගෙනගත්ත දේවල් අනිත් අය එක්ක කතා කරන්න එතකොට අපි පෙලඹෙයි.—ගීතා. 77:11, 12; ලූක් 8:18; රෝම 10:15.

19. විශ්වාසවන්ත අයව ආදර්ශයට ගන්නවා නම් අපිට නිසැක වෙන්න පුළුවන් මොකක් ගැනද?

19 ආබ්‍රහම් වගේම රූත්, හෙසකියා සහ මරියා වගේ අයත් යෙහෝවා දෙවිගේ කිට්ටු යාළුවන් කියලා පැහැදිලියි. ඒ අයට විතරක් නෙමෙයි ‘විශාල වලාකුළක් හා සමාන සාක්ෂිකරුවන් සමූහයකටත්’ අපේ කාලය දක්වා හිටපු තව හුඟක් විශ්වාසවන්ත අයටත් යෙහෝවා දෙවිගේ යාළුවන් වෙන්න අවස්ථාව ලැබුණා. අපිත් ඒ අයගේ විශ්වාසය ආදර්ශයට ගමු. (හෙබ්‍රෙ. 6:11, 12) එහෙම කරනවා නම් සදාකාලයටම යෙහෝවා දෙවිගේ යාළුවෙක් වෙන වරප්‍රසාදය අපිට ලැබෙනවා නිසැකයි!