Skip to content

පටුනට යන්න

සැමවිටම යෙහෝවා දෙවිට ළැදිව ඉමු

සැමවිටම යෙහෝවා දෙවිට ළැදිව ඉමු

“අපි ඇති කරගත් ගිවිසුමට යෙහෝවා දෙවි හැමදාටම අපි දෙන්නා ඉදිරියෙත් අපේ දරුදැරියන් ඉදිරියෙත් සාක්ෂිකරුවෙක් වෙයි.”—1 සාමු. 20:42.

ගීතිකා: 125, 62

1, 2. යොනාතාන් දාවිත්ගේ හොඳම යාළුවෙක් වෙලා එයාට ළැදිව හිටිපු එක විශේෂ දෙයක් වෙන්නේ ඇයි?

ගොලියත්ව මරලා එයාගේ හිස අරන් සාවුල් රජු ළඟට ආපු දාවිත්ගේ නිර්භීතකම දැකලා යොනාතාන් පුදුම වුණා. (1 සාමු. 17:57) දාවිත් ඒ දේ කළේ යෙහෝවා දෙවිගේ උදව්වෙන් කියලා යොනාතාන් තේරුම්ගත්තා. එදා ඉඳන් දාවිත් සහ යොනාතාන් අතර ඇති වුණේ කිට්ටු මිතුදමක්. ඒ මිතුදමට ද්‍රෝහි වෙන කිසිම දෙයක් කරන්නේ නැහැ කියලා දෙන්නට දෙන්නා පොරොන්දු වුණා. (1 සාමු. 18:1-3) ජීවිතේ තියෙන කල්ම යොනාතාන් ඒ පොරොන්දුව රැක්කා.

2 යෙහෝවා දෙවි ඊශ්‍රායෙලයේ ඊළඟ රජ විදිහට තෝරගෙන තියෙන්නේ තමන්ව නෙමෙයි දාවිත්ව කියලා දැන දැනත් යොනාතාන් දාවිත්ට ළැදිව හිටියා. සාවුල් දාවිත්ව මරන්න හදද්දීත් දාවිත් ගැන එයා හිටියේ හිතේ කරදරෙන්. හෝරෙෂ්වල තිබුණු පාළුකරයේ දාවිත් ඉන්නවා කියලා දැනගත්තම එයා ගිහින් දාවිත්ව හම්බ වුණා. එයාට ඕන වුණේ දිගටම යෙහෝවා දෙවිව විශ්වාස කරලා වැඩ කරන්න දාවිත්ව දිරිගන්වන්න. එයා දාවිත්ට මෙහෙම කිව්වා. “භය වෙන්න එපා. මගේ පියාට කවදාවත් ඔබව අල්ලගන්න ලැබෙන්නේ නැහැ. ඔබ ඊශ්‍රායෙල්හි රජ වන බව ස්ථිරයි. මම කැමැත්තෙන්ම ඔබට යටත් වෙනවා.”—1 සාමු. 23:16, 17.

3. යොනාතාන්ට වැඩියෙන්ම වැදගත් වුණේ මොකක්ද? අපි ඒක දන්නේ කොහොමද? (ලිපියේ මුල් පින්තූරය බලන්න.)

3 ද්‍රෝහි වෙන්නේ නැතුව විශ්වාසය රකින අයව අපි අගය කරනවා. ඒත් අපි යොනාතාන්ව අගය කරන්නේ එයා දාවිත්ට විශ්වාසවන්ත යාළුවෙක් වුණු නිසා විතරද? නැහැ. එයාගේ ජීවිතේ වටිනාම දේ වුණේ යෙහෝවා දෙවිට ළැදිව ඉන්න එකයි. තමාට හිමි රජකම දාවිත්ට ලැබෙනවා කියලා දැන දැනත් එයා ඊර්ෂ්‍යා කළේ නැත්තෙත් දිගටම දාවිත්ට ළැදිව හිටියෙත් ඒ නිසයි. ඒ විතරක් නෙමෙයි දෙවිට විශ්වාසවන්තව වැඩ කරන්න එයා දාවිත්ට උදව් කළා. ඒ දෙන්නා අතරේ වගේම දෙවි එක්කත් එයාලට තිබුණේ කිට්ටු බැඳීමක්. “අපි ඇති කරගත් ගිවිසුමට යෙහෝවා දෙවි හැමදාටම අපි දෙන්නා ඉදිරියෙත් අපේ දරුදැරියන් ඉදිරියෙත් සාක්ෂිකරුවෙක් වෙයි” කියලා දෙන්නට දෙන්නා වුණු පොරොන්දුව දිගටම රැක්කා.—1 සාමු. 20:42.

4. (අ) අපිට නියම සතුට, තෘප්තිය ලැබෙන්නේ මොන දෙයින්ද? (ආ) මේ ලිපියෙන් බලන්නේ මොනවා ගැනද?

4 අපිත් පවුලේ අයට, යාළුවන්ට, සභාවේ අයට ළැදිව ඉන්න ඕනේ. (1 තෙස. 2:10, 11) ඒත් අපි වැඩියෙන්ම ළැදි වෙන්න ඕනෙ යෙහෝවා දෙවිටයි. මොකද අපිට ජීවිතය දුන්නේ ඔහුයි. (එළි. 4:11) අපි දෙවිට ළැදි වෙනවා නම් ජීවිතේ නියම සතුට, තෘප්තිය ලබන්න පුළුවන්. දෙවිට කීකරු වෙන්න අමාරුයි කියලා හිතෙන වෙලාවලදී වුණත් දෙවිට තියෙන අපේ ළැදිකම පෙන්නන්න ඕනේ. ඒ වගේ අවස්ථා 4ක් ගැන දැන් බලමු. ඒ අවස්ථාවලදී යොනාතාන්ව ආදර්ශයට ගන්න පුළුවන් කොහොමද කියලත් බලමු. (1) අධිකාරියක් තියෙන අයට ගෞරව කරන්න අමාරුයි කියලා හිතෙද්දී, (2) වැඩියෙන්ම ළැදි වෙන්නේ කාටද කියලා තේරීමක් කරන්න වෙද්දී, (3) පෙරමුණ අරන් වැඩ කරන සහෝදරයෙක් අපිව වරදවා වටහාගෙන අපිට අසාධාරණ විදිහට සලකද්දී, (4) පොරොන්දුවක් රකින්න අමාරුයි කියලා හිතෙද්දී.

ගෞරව කරන්න අමාරුයි කියලා හිතෙද්දී

5. ඊශ්‍රායෙල් සෙනඟට සාවුල් රජුගේ කාලෙදී දෙවිට ළැදිව ඉන්න එක අමාරු දෙයක් වුණේ ඇයි?

5 සාවුල් රජුගේ අකීකරුකම නිසා යෙහෝවා දෙවි ඔහුව අත්හැරියා. (1 සාමු. 15:17-23) ඒත් තවත් අවුරුදු ගාණක් පාලනය කරන්න දෙවි සාවුල්ට ඉඩ දීලයි තිබුණේ. “යෙහෝවා දෙවිගේ පාලනය නියෝජනය කරන සිංහාසනයේ” ඉඳගෙන ඉන්න රජ දෙවි අකමැති දේවල් කරද්දී දිගටම දෙවිට ළැදිව ඉන්න එක ඊශ්‍රායෙල් සෙනඟට අමාරු දෙයක් වුණා.—1 ලේක. 29:23.

6. යොනාතාන් දිගටම දෙවිට ළැදිව හිටියා කියලා අපි දන්නේ කොහොමද?

6 කොච්චර අමාරු වුණත් යොනාතාන් දිගටම දෙවිට ළැදිව හිටියා. සාවුල් දෙවිට අකීකරු වෙන්න පටන්ගත්ත කාලේ යොනාතාන් කරපු දේකින් ඒක පැහැදිලියි. (1 සාමු. 13:13, 14) පිලිස්තිවරුන් යුධ රථ 30,000ක් එක්ක ඊශ්‍රායෙලයට විරුද්ධව ආවා. ඒ කාලේ සාවුල්ට හිටියේ සෙබළු 600ක් විතරයි. ආයුධ තිබුණෙත් සාවුල්ට සහ යොනාතාන්ට විතරයි. ඒත් යොනාතාන් බය වුණේ නැහැ. “යෙහෝවා දෙවි ඔහුගේ ශ්‍රේෂ්ඨ නාමය අවමානයට ලක් වෙන්න කිසිදා ඉඩහරින්නේ නැහැ. ඒ නිසා ඔහු ඔහුගේ සෙනඟව අත්හරින්නේ නැති බව ස්ථිරයි” කියන සාමුවෙල්ගේ වචන එයාට මතක තිබුණා. (1 සාමු. 12:22) “යෙහෝවා දෙවිට අවශ්‍ය නම් දෙතුන්දෙනෙක් මාර්ගයෙන් වුණත් ගැලවීම ලබා දෙන්න පුළුවන්. විශාල හමුදාවක් අවශ්‍ය නැහැ” කියලා එයාගේ සේවකයාට යොනාතාන් කිව්වේ ඒ නිසයි. පස්සේ එයා ඒ සේවකයා එක්ක පිලිස්තිවරුන්ට පහර දීලා 20දෙනෙකුව විතර මරලා දැම්මා. යොනාතාන් යෙහෝවා දෙවිව විශ්වාස කරපු නිසා දෙවි එයාට උදව් කළා. දෙවි ඇති කරපු භූමිකම්පාවකට බය වුණු පිලිස්තිවරුන් තමන් අතරේ හිටපු අයටම පහර දීලා මරලා දැම්මා. ඊශ්‍රායෙල්වරුන්ට ජය අත් වුණා.—1 සාමු. 13:5, 15, 22; 14:1, 2, 6, 14, 15, 20.

7. යොනාතාන් එයාගේ තාත්තාට සැලකුවේ කොහොමද?

7 සාවුල් දෙවිට අකීකරුව වැඩ කළත් දෙවිගේ ප්‍රතිපත්ති කඩ නොවන අවස්ථාවලදී යොනාතාන් එයාට කීකරු වුණා. යෙහෝවා දෙවිගේ සෙනඟ වෙනුවෙන් සටන් කරන්න තාත්තා එක්ක ගිය එක ඒකට හොඳ උදාහරණයක්.—1 සාමු. 31:1, 2.

8, 9. අධිකාරියක් තියෙන අයට ගෞරව කරද්දී අපි දෙවිට ළැදියි කියලා පැහැදිලි වෙන්නේ කොහොමද?

8 දෙවිගේ නීතිවලට පටහැනි නැති හැම වෙලාවකදීම රටේ බලධාරීන්ට කීකරු වෙනවා නම් අපි පෙන්නන්නේ යොනාතාන් වගේ අපිත් දෙවිට ළැදිව ඉන්නවා කියලයි. “උසස් බලධාරීන්ට” යම් අධිකාරියක් ඇතුව ඉන්න ඉඩ දීලා තියෙන්නේ යෙහෝවා දෙවි. අපි ඒ අයට ගෞරව කරයි කියලා දෙවි බලාපොරොත්තු වෙනවා. (රෝම 13:1, 2 කියවන්න.) ඒ අය අවංකව වැඩ කළේ නැතත් ගෞරවය ලබන්න එයාලා වටින්නේ නැහැ කියලා හිතුණත් අපි ඒ අයට ගෞරවයෙන් සලකන්න ඕනෙ ඒ නිසයි. දෙවි අධිකාරියක් දීලා තියෙන හැමෝටම අපි කීකරු වෙන්න ඕනේ.—1 කොරි. 11:3; හෙබ්‍රෙ. 13:17.

දෙවිට සේවය නොකරන සැමියාට, බිරිඳට ගෞරවයෙන් සලකලා දෙවිට ළැදියි කියලා ඔප්පු කරන්න (9 ඡේදය බලන්න)

9 තමන් යෙහෝවා දෙවිට කොච්චර ළැදිද කියලා ඔප්පු කරපු සහෝදරියක් ඔල්ගා. [1] සාක්ෂිකාරියක් නිසා එයාගේ සැමියා එයාට හුඟක් නරක විදිහට සැලකුවා. සමහර වෙලාවට එයා එක්ක කතා කරන්නෙත් නැහැ. හුඟක් නරක විදිහට බැන්නා. දරුවන්වත් අරගෙන ඔල්ගාව දාලා යනවා කියලා කිව්වා. ඒත් ඔල්ගා “නපුරට නපුර” කළේ නැහැ. හොඳ බිරිඳක් වෙන්න එයාට පුළුවන් හැම දේම කළා. ගෙදරදොරේ වැඩ, සැමියාගේ පවුලේ අයගේ වැඩ නොපිරිහෙළා ඉටු කළා. (රෝම 12:17) සැමියා එයාගේ පවුලේ අයව, යාළුවන්ව බලන්න යද්දී පුළුවන් හැම වෙලාවකම ඔල්ගාත් ගියා. සැමියාගේ පියාගේ අවමංගල්‍ය පැවැත්තුවේ වෙන නගරෙක. ඒ ගමනට ඕන කරන හැම දේම එයා ලෑස්ති කළා. අවමංගල්‍ය වැඩකටයුතු පල්ලියේ කරලා ඉවර වෙන කල් එයා එළියට වෙලා හිටියා. ඔල්ගා ඉවසීමෙන්, දිගටම සැමියාට ගෞරවයෙන් සලකපු නිසා අවුරුදු ගාණකට පස්සේ සැමියා වෙනස් වෙන්න පටන්ගත්තා. එයා දැන් ඔල්ගාට රැස්වීම් යන්න උනන්දු කරනවා විතරක් නෙමෙයි එයාව ඇරලවන්නත් යනවා. ඉඳලා හිටලා රැස්වීම්වලටත් එනවා.—1 පේතෘ. 3:1.

ළැදි වෙන්නේ කාටද කියලා තේරීමක් කරන්න වෙද්දී

10. ළැදි වෙන්න ඕනෙ කාටද කියලා යොනාතාන් තේරුම්ගත්තේ කොහොමද?

10 දාවිත්ව මරනවා කියලා සාවුල් කිව්වම යොනාතාන්ට සිද්ධ වුණා ළැදි වෙන්නේ කාටද කියන තීරණය ගන්න. තාත්තාට කීකරු වෙන්නත් ඕනේ. දාවිත්ට ද්‍රෝහි වෙන්නත් බැහැ. යෙහෝවා දෙවිගේ අනුමැතිය තියෙන්නේ සාවුල්ට නෙමෙයි දාවිත්ටයි කියලා එයා දැනගෙන හිටපු නිසා එයා දාවිත්ගේ පැත්ත ගත්තා. හැංගෙන්න කියලා දාවිත්ට කිව්වා විතරක් නෙමෙයි දාවිත්ව මරන එක වැරදියි කියලා සාවුල්ට පැහැදිලි කළා.—1 සාමුවෙල් 19:1-6 කියවන්න.

11, 12. දෙවිට ළැදිව ඉන්න ඔහුට තියෙන ආදරේ අපිට උදව් වෙන්නේ කොහොමද?

11 ඇලිස්ටත් සිද්ධ වුණා කාගේ පැත්තද ගන්නේ කියලා තීරණය කරන්න. එයා බයිබලේ පාඩම් කරද්දී ඉගෙනගන්න දේවල් පවුලේ අයටත් කිව්වා. එයා නත්තල සමරන්නේ නැහැ කියලත් ඒ ඇයි කියලත් පැහැදිලි කළා. ඒක අහලා පවුලේ අයට හුඟක් කේන්ති ගියා. ඇලිස් දැන් එයාලට ආදරේ නැහැ කියලයි එයාලා හිතුවේ. එයාගේ අම්මා කිව්වා ආයේ කවදාවත් එයාව දකින්න ආස නැහැ කියලා. “ඒක ඇහුවම මගේ හිත හුඟක් රිදුණා. මං පවුලේ අයට හුඟක් ආදරෙයි. ඒත් යෙහෝවා දෙවිටයි යේසුස්ටයි මගේ හිතේ තියෙන ආදරේ කවුරු නිසාවත් දෙවෙනි තැනට දාන්නේ නැහැ කියලා මං අධිෂ්ඨාන කරගත්තා. ඊළඟ සමුළුවෙදී මං බව්තීස්ම වුණා.”—මතෙ. 10:37.

12 ක්‍රීඩා කණ්ඩායමකට, පාසැලට, රටට පක්ෂපාත වෙනවට වඩා අපි ළැදි වෙන්න ඕනෙ යෙහෝවා දෙවිට. හෙන්ඩ්‍රිගේ අද්දැකීම බලන්න. පාසැල් කණ්ඩායමත් එක්ක චෙස් සෙල්ලම් කරන්න එයා හරි ආසයි. එයාට ඕන වුණේ ශූරතාව පාසැලට ගේන්නයි. ඒත් හැම සති අන්තයකම ක්‍රීඩා කරපු නිසා සේවය, රැස්වීම් හෙන්ඩ්‍රිට අතපසු වුණා. දෙවිට වඩා ටිකෙන් ටික පාසැලට පක්ෂපාත වෙනවා කියලා තේරුණු නිසා එයා චෙස් කණ්ඩායමෙන් අයින් වෙන්න තීරණය කළා.—මතෙ. 6:33.

13. පවුලේ ගැටලු ඇති වෙද්දී හරි තීරණයක් ගන්න උදව් වෙන්නේ මොකක්ද?

13 පවුලේ අය අතරිනුත් වැඩියෙන්ම ළැදි වෙන්න ඕනෙ කාටද කියලා තීරණයක් ගන්න වෙන වෙලාවල් එනවා. කෙන් මෙහෙම කියනවා. “මගේ අම්මා දැන් වයසයි. මට ඕන වුණේ නිතරම එයාව බලන්න යන්න. ඉඳලා හිටලා එයාව අපේ ගෙදර එක්කං එන්න. ඒත් බිරිඳටයි අම්මාටයි එකට පෑහිලා ඉන්න බැහැ. දෙන්නවම එකපාර සතුටු කරන එක හරි අමාරුයි.” කරන්න ඕනෙ මොනවද කියලා බයිබලෙන් හොයලා බැලුවට පස්සේ කෙන් තේරුම්ගත්තා එයා වැඩියෙන්ම ළැදි වෙන්න ඕනෙ එයාගේ බිරිඳටයි කියලා. ඊටපස්සේ එයාගේ බිරිඳ සතුටු වෙන විදිහේ විසඳුමක් එයා හොයාගත්තා. ඊට අමතරව බිරිඳ අම්මාට ආදරෙන් සලකන්න ඕනෙ ඇයි කියලත් අම්මා බිරිඳට ගෞරවයෙන් සලකන්න ඕනෙ ඇයි කියලත් කෙන් දෙන්නටම පැහැදිලි කරලා දුන්නා.—උත්පත්ති 2:24; 1 කොරින්ති 13:4, 5 කියවන්න.

අසාධාරණ විදිහට සලකද්දී

14. සාවුල් යොනාතාන්ට අසාධාරණ විදිහට සැලකුවා කියන්නේ ඇයි?

14 සාවුල්ව රජු විදිහට අභිෂේක කළේ යෙහෝවා දෙවියි. ඒත් එයා යොනාතාන්ට නරක විදිහට සැලකුවා. තමන්ගේ පුතා වෙලත් යොනාතාන් දාවිත්ට මෙච්චර ළැදි ඇයි කියලා එයාට තේරුම්ගන්න බැරි වුණා. යොනාතාන් දාවිත්ට උදව් කරපු එක ගැන සාවුල්ට කේන්ති ගිහින් හුඟදෙනෙක් ඉස්සරහා එයාට නින්දා කළත් යොනාතාන් දිගටම තාත්තාට ගෞරවයෙන් සැලකුවා. ඒත් එක්කම යෙහෝවා දෙවිටත් ඊළඟ රජු විදිහට දෙවි පත් කරපු දාවිත්ටත් එයා දිගටම ළැදිව වැඩ කළා.—1 සාමු. 20:30-41.

15. සහෝදරයෙක් අපිට අසාධාරණ විදිහට සලකනවා නම් අපි කරන්න ඕනෙ මොකක්ද?

15 සභාවල මූලිකත්වය අරන් වැඩ කරන සහෝදරයෝ නිතරම උත්සාහ කරන්නේ සභාවේ හැමෝටම එක වගේ ආදරෙන් සලකන්න. ඒත් එයාලත් පාපය උරුම කරගත්ත අය. ඒ නිසා අපි යම් දෙයක් කරන්නේ ඇයි කියලා සමහර වෙලාවට එයාලා තේරුම් නොගන්න ඉඩ තියෙනවා. (1 සාමු. 1:13-17) ඒ වගේ වෙලාවලදී අපි යොනාතාන්ව ආදර්ශයට ගමු. දෙවි ඇති කරලා තියෙන සැලැස්මට දිගටම කීකරු වෙලා දෙවිට ළැදියි කියලා ඔප්පු කරමු.

පොරොන්දුවක් රකින්න අමාරු වෙද්දී

16. අපේ වාසියට වඩා දෙවිට ළැදිව ඉන්න එකයි වටින්නේ කියලා ඔප්පු කරන්න පුළුවන් අවස්ථා මොනවද?

16 සාවුල්ට ඕන වුණේ දාවිත් වෙනුවට යොනාතාන් රජ වෙනවා දකින්න. (1 සාමු. 20:31) ඒත් දෙවි ගැන තිබුණු ආදරේ නිසා යොනාතාන් දෙවිට ළැදිව හිටියා. තමන්ගේ වාසිය ගැන හිතන්නේ නැතුව දාවිත්ගේ හොඳ යාළුවෙක් වෙලා එයාට වුණු පොරොන්දුව දිගටම රැක්කා. දෙවිට ආදරේ කරන, දෙවිට ළැදිව ඉන්න කෙනෙක් “පාඩුවක් සිදු වුණත් ඔහු දුන් පොරොන්දු එලෙසම ඉටු කරනවා.” (ගීතා. 15:4) උදාහරණෙකට යම් ව්‍යාපාරයකට සම්බන්ධ ගිවිසුමක් ඇති කරගත්තොත් පාඩුවක් වුණත් අපි වචනේ වෙනස් කරන්න හොඳ නැහැ. විවාහ පොරොන්දුවත් ඒ වගේ. මොන ප්‍රශ්න ආවත් අපේ සැමියාට, බිරිඳට ද්‍රෝහි නොවී ඉන්නවා නම් අපි යෙහෝවා දෙවිට ළැදියි කියලා ඔප්පු වෙනවා.—මලාකි 2:13-16 කියවන්න.

අපි දෙවිට ළැදි නම් වුණු පොරොන්දුවක් ඒ විදිහටම රකිනවා (16 ඡේදය බලන්න)

17. මේ ලිපිය ඔයාට උදව් වුණේ කොහොමද?

17 යොනාතාන් තමන් ගැන හිතන්නේ නැතුව යෙහෝවා දෙවිට ළැදිව වැඩ කළා. අපිටත් ඕනෙ එයා වගේ වෙන්න. සහෝදරයන් අපේ හිත රිද්දුවත් දිගටම ඒ අයට ළැදිව ඉමු. මොන තරම් අමාරු අවස්ථාවකදී වුණත් දෙවිට කීකරු වෙමු. එතකොට යෙහෝවා දෙවිව සතුටු කරන්නත් නියම සතුට අද්දකින්නත් අපිට පුළුවන්. (හිතෝ. 27:11) අපි දෙවිට ළැදිව ඉන්නවා නම් දෙවි හැම දේම කරන්නේ අපේ යහපත වෙනුවෙන් කියලත් ඔහු අපිව රැකබලා ගන්නවා කියලත් අපිට ස්ථිර වෙයි. දාවිත්ගේ කාලේ දෙවිට ළැදිව හිටපු සහ එහෙම හිටියේ නැති කීපදෙනෙක් ගැන ඊළඟ ලිපියෙන් බලමු.

^ [1] (9 ඡේදය) සමහර නම් වෙනස් කර ඇත.