Skip to content

පටුනට යන්න

දෙවිට ළැදිව හිටපු අයව ආදර්ශයට ගමු

දෙවිට ළැදිව හිටපු අයව ආදර්ශයට ගමු

‘සාධාරණව ක්‍රියා කරන්න. ප්‍රේමයෙන් කටයුතු කරන්න. නිහතමානීව හැසිරෙන්න. යෙහෝවා දෙවි ඔබෙන් බලාපොරොත්තු වන්නේ ඒ දේවල් මිස වෙන කිසිවක් නොවෙයි.’—මීකා 6:8.

ගීතිකා: 63, 43

1, 2. දාවිත් දෙවිට ළැදියි කියලා පෙන්නුවේ කොහොමද? (ලිපියේ මුල් පින්තූරය බලන්න.)

සාවුල් රජ 3,000ක හමුදාවකුත් එක්ක දවස් ගාණක් තිස්සේ පාළුකරය පීරපීර දාවිත්ව හොයනවා. එයාට ඕනෙ වුණේ දාවිත්ව මරන්න. දවසක් අඳුර වැටුණට පස්සේ එයාලා කඳවුරු බැඳගන්නවා. ටික වෙලාවකින් හැමෝම සුව නින්දේ. ඔය අතරේ දාවිත් අබිෂයි එක්ක කඳවුරට ඇතුල් වෙනවා. නිදාගෙන ඉන්න සාවුල්ව දකින අබිෂයි, දාවිත්ට රහසින් මෙහෙම කියනවා. “මේ හෙල්ලයෙන් මට එක සැරයක් ඔහුට අනින්න ඉඩ දෙන්න. මම එකපාරින්ම ඔහුව මරලා දාන්නම්.” ඒත් දාවිත් ඒකට කැමති වෙන්නේ නැහැ. ‘ඔහුට කිසි හානියක් කරන්න එපා. යෙහෝවා දෙවිගේ අභිෂේක ලත් තැනැත්තාට විරුද්ධව අත ඔසවලා කිසිම කෙනෙකුට නිදොස්ව ඉන්න පුළුවන්ද? යෙහෝවා දෙවිගේ අභිෂේක ලත් තැනැත්තාට විරුද්ධව මම අත ඔසවන්නේ කොහොමද? යෙහෝවා දෙවි එය කවදාවත් අනුමත කරන්නේ නැහැ කියලා මම දන්නවා’ කියලා දාවිත් කියනවා.—1 සාමු. 26:8-12.

2 සාවුල්ව රජු විදිහට තෝරගෙන තියෙන්නේ යෙහෝවා දෙවි කියලා දාවිත් දැනගෙන හිටියා. ඒ නිසා දෙවිට ළැදිව ඉන්න නම් සාවුල්ට ගෞරවයෙන් සලකන්න ඕනෙ කියලා එයා තේරුම්ගත්තා. සාවුල්ට අනතුරක් කරන්න එයා අකමැති වුණේ ඒ නිසයි. අධිකාරියක් තියෙන අයට ගෞරවයෙන් සලකයි කියලා දෙවි අපෙනුත් බලාපොරොත්තු වෙනවා.—මීකා 6:8 කියවන්න.

3. අබිෂයි දාවිත්ට ළැදියි කියලා පෙන්නුවේ කොහොමද?

3 ඊළඟ රජු විදිහට දෙවි තෝරගෙන තියෙන්නේ දාවිත්ව කියලා දැනගෙන හිටපු අබිෂයි, දාවිත්ට ගෞරව කළා. රජ වුණාට පස්සේ දාවිත් බරපතළ වරදක් කළා. එයා උරියාගේ බිරිඳ එක්ක අනාචාරයේ යෙදුණා විතරක් නෙමෙයි සටනෙදී උරියා මිය යන විදිහට වැඩ කරන්න කියලා යෝවාබ්ට අණ කළා. (2 සාමු. 11:2-4, 14, 15; 1 ලේක. 2:16) යෝවාබ් අබිෂයිගේ සහෝදරයා නිසා දාවිත් කරපු දේ ගැන අබිෂයි දැනගන්න ඇති. ඒත් එයා දිගටම දාවිත්ට ගෞරවයෙන් සැලකුවා. එයා හමුදාවේ නායකයෙක්. ඕනෙ නම් එයාට ඒ බලතල යොදාගෙන රජකම පැහැරගන්නත් තිබුණා. ඒ වෙනුවට අබිෂයි දිගටම දාවිත් යටතේ සේවය කළා. සතුරන්ගෙනුත් දාවිත්ව බේරගත්තා.—2 සාමු. 10:10; 20:6; 21:15-17.

4. (අ) දාවිත් දෙවිට ළැදිව හිටියා කියලා අපි දන්නේ කොහොමද? (ආ) මේ ලිපියෙන් බලන්නේ මොනවා ගැනද?

4 දාවිත් ජීවිත කාලෙම දෙවිට ළැදිව හිටපු කෙනෙක්. තරුණ කාලෙදී දෙවිට අපහාස කරපු ගොලියත්ව මරලා දැම්මා. (1 සාමු. 17:23, 26, 48-51) පස්සේ බරපතළ වරදක් කළත් නාතන් ඒක පෙන්නලා දුන්නම වරද පිළි අරන් පසුතැවිලි වුණා. (2 සාමු. 12:1-5, 13) ජීවිතේ අවසාන කාලෙදී දේවමාලිගාව හදන්න දෙන්න පුළුවන් හැම දේම එයා දුන්නා. (1 ලේක. 29:1-5) දාවිත් අතින් බරපතළ වැරදි වුණත් එයා දිගටම දෙවිට ළැදිව ඉන්න උත්සාහ කළා කියලා පැහැදිලියි. (ගීතා. 51:4, 10; 86:2) දාවිත් ගැනත් එයාගේ කාලේ හිටපු කීපදෙනෙක් ගැනත් මේ ලිපියෙන් බලමු. යෙහෝවා දෙවිට වෙන කාටවත් වඩා ළැදිව ඉන්නේ කොහොමද කියලා ඒ අයගෙන් අපිට ඉගෙනගන්න පුළුවන්. ළැදිව ඉන්න උදව් වෙන ගතිලක්ෂණ කීපයක් ගැනත් අපි බලමු.

ඔයා ළැදිව ඉන්නේ කාටද?

5. අබිෂයිගෙන් අපි ඉගෙනගන්න පාඩම මොකක්ද?

5 අබිෂයි සාවුල්ව මරන්න හැදුවේ එයා දාවිත්ට පක්ෂපාත වුණු නිසයි. ඒත් දෙවි ඒ කාරණය දිහා බලපු විදිහ එයා තේරුම්ගත්තේ නැහැ. දාවිත් ඒක තේරුම්ගත්තා. ඒ නිසයි “යෙහෝවා දෙවිගේ අභිෂේක ලත් තැනැත්තාට” අනතුරක් කරන්න එයා ඉඩ දුන්නේ නැත්තේ. (1 සාමු. 26:8-11) ඒකෙන් අපිට පාඩමක් ඉගෙනගන්න පුළුවන්. සමහර වෙලාවට අපේ හිතේ කීපදෙනෙක් වෙනුවෙන් ළැදිකමක් තියෙන්න පුළුවන්. ඒ අය අතරින් අපි වැඩියෙන්ම ළැදි වෙන්න ඕනෙ කාටද කියලා තීරණයක් ගන්න වෙද්දී ඒ ගැන දෙවි හිතන විදිහ තේරුම්ගන්න ඕනේ. ඒක අපිට කරන්න පුළුවන් වෙන්නේ ඒ අවස්ථාවට අදාළ වෙන බයිබල් ප්‍රතිපත්ති ගැන හිතුවොත් විතරයි.

6. පවුලේ අයට, යාළුවන්ට ළැදි වෙන එක සාමාන්‍යය දෙයක් වුණත් ඒ ගැන අපි පරෙස්සම් වෙන්න ඕනෙ ඇයි?

6 අපි හුඟක් ආදරේ කරන පවුලේ අයට, යාළුවන්ට හිතේ ළැදිකමක් තියෙන එක සාමාන්‍යයි. ඒත් අපි පරිපූර්ණ නැති නිසා හැඟීම්වලට වහල් වෙලා වැඩ කරන්න ඉඩ තියෙනවා. (යෙරෙ. 17:9) ඒ නිසා මේ දේ මතක තියාගන්න ඕනේ. අපි ආදරේ කරන කෙනෙක් වැරදි දෙයක් කරලා දෙවිව අත්හැරියොත් අපි ළැදි වෙන්න ඕනෙ වෙන කාටවත් නෙමෙයි යෙහෝවා දෙවිටයි.—මතෙව් 22:37 කියවන්න.

7. අමාරු අවස්ථාවකදීත් ඈන් දෙවිට ළැදිව හිටියේ කොහොමද?

7 ඔයාගේ පවුලේ කෙනෙක්ව සභා සාමාජිකත්වයෙන් ඉවත් කළොත් දෙවිට තියෙන ළැදිකම පෙන්නන්න ඒක අවස්ථාවක් කරගන්න. ඈන්ගේ අද්දැකීම බලන්න. [1] එයාගේ අම්මාව සභා සාමාජිකත්වයෙන් ඉවත් කරලයි තිබුණේ. දවසක් අම්මා ඈන්ට කෝල් කරලා කිව්වා එයාව හම්බ වෙන්න ඕනෙ කියලා. පවුලේ අය කතා කරන්නේ නැති එක එයාට ලොකු දුකක් කියලත් කිව්වා. ඒක අහලා දුක හිතිලා ඈන් කිව්වා අම්මාට ලියුමක් එවන්නම් කියලා. ඒත් ලියුම ලියන්න කලින් ඒ තත්වයට අදාළ වෙන බයිබල් ප්‍රතිපත්ති ගැන ඈන් හිතුවා. (1 කොරි. 5:11; 2 යොහ. 9-11) වරදක් කරලා පසුතැවිලි වෙන්නේ නැතුව පවුලේ අයව අතහැරියේ අම්මායි කියලත් අම්මාට ආයෙත් සතුටින් ඉන්න පුළුවන් හොඳම විදිහ ආයෙත් දෙවි ළඟට එන එකයි කියලත් එයා කාරුණිකව ලියුමේ සඳහන් කළා.—යාකො. 4:8.

8. දෙවිට ළැදි වෙන්න අපිට උදව් වෙන ගතිලක්ෂණ මොනවද?

8 දාවිත්ගේ කාලේ හිටපු දෙවිට ළැදි අය තුළ නිහතමානිකම, කරුණාවන්තකම, නිර්භීතකම කියන ගතිලක්ෂණත් තිබුණා. දෙවිට ළැදිව ඉන්න ඒ ගතිලක්ෂණ අපිට උදව් වෙන්නේ කොහොමද?

නිහතමානිකම ඕනෙමයි

9. අබ්නේර් දාවිත්ව මරන්න හැදුවේ ඇයි?

9 දාවිත් ගොලියත්ගේ හිස අරන් සාවුල් ළඟට ආපු වෙලාවේ එතන යොනාතාන් වගේම අබ්නේර් කියන හමුදාපතිත් හිටියා. එදා ඉඳන් යොනාතාන්ට ඕනෙ වුණේ දාවිත්ගේ හොඳ යාළුවෙක් වෙලා එයාට ළැදිව ඉන්න වුණත් අබ්නේර් වැඩ කළේ ඊට වෙනස්වයි. (1 සාමු. 17:57–18:3) දාවිත්ව මරන්න හොයපු සාවුල්ට එයා උදව් කළා. (1 සාමු. 26:1-5; ගීතා. 54:3) ඊළඟ රජු විදිහට දෙවි පත් කරලා තියෙන්නේ දාවිත්ව කියලා දැනගෙන හිටියත් සාවුල් මැරුණට පස්සෙත් එයා දාවිත්ට උදව් කළේ නැහැ. එයා හැදුවේ සාවුල්ගේ පුතෙක් වුණු ඉෂ්බෝෂෙත්ව රජු හැටියට පත් කරන්නයි. පස්සේ රජකම එයාටම ගන්නත් එයා හැදුවා. සාවුල්ගේ උපභාර්යාවක් එක්ක ලිංගික සම්බන්ධකම් පවත්වන්න ඇත්තේ ඒ අරමුණින් වෙන්න ඇති. (2 සාමු. 2:8-10; 3:6-11) දාවිත් ගැන යොනාතාන් හිතපු විදිහ අබ්නේර් හිතපු විදිහට වඩා හාත්පසින්ම වෙනස් වුණේ ඇයි? ඒ යොනාතාන්ට දෙවි ගැන තිබුණු ළැදිකම වගේම එයාගේ නිහතමානිකම නිසයි. ඒත් අබ්නේර් එහෙම නැහැ.

10. අබ්සලොම් දෙවිට ළැදි වුණේ නැත්තේ ඇයි?

10 නිහතමානිකම තිබුණේ නැති නිසා දෙවිට ළැදි නොවුණු තවත් කෙනෙක් අබ්සලොම්. රජ වෙන්න තිබුණු ආසාව නිසා එයා ‘තමන්ට අශ්ව රථයක් සාදාගත්තා. රථයට ඉදිරියෙන් දුවන්න මිනිසුන් පනස්දෙනෙකුවද අශ්වයන්ද සූදානම් කරගත්තා.’ (2 සාමු. 15:1) හුඟක් අයව එයාගේ පැත්තට නම්මවාගත්තා. රජු විදිහට දාවිත්ව පත් කරලා තියෙන්නේ දෙවි කියලා දැන දැනත් එයා දාවිත්ව මරන්න හැදුවා.—2 සාමු. 15:13, 14; 17:1-4.

11. අබ්නේර්, අබ්සලොම් සහ බාරුක්ගෙන් ඉගෙනගන්න පුළුවන් මොනවද?

11 කෙනෙක් උඩඟු නම් යම් අධිකාරියක් ලබාගන්න ආසාවෙන් ඉන්නවා නම් දෙවිට ළැදිව ඉන්න එයාට අමාරුයි. අපි අබ්නේර්, අබ්සලොම් වගේ ආත්මාර්ථකාමී, දුෂ්ට අය වෙන එකක් නැහැ. අපි දෙවිට ආදරෙයි. ඒත් තමන් වැදගත් පුද්ගලයන් කියලා පෙන්නන අරමුණින් හුඟක් සල්ලි, ඉහළ රැකියාවක් ලබාගන්න අපි තුළ ආසාවක් ඇති වෙන්න පුළුවන්. දෙවිට ළැදිව ඉන්න ඒකත් බාධාවක්. නැති දේවල් ලබාගන්න තිබුණු ආසාව නිසා දෙවිට කරපු සේවයෙන් සතුටක් ලබන්න බාරුක්ට බැරි වුණා. දෙවි එයාට මෙහෙම කිව්වා. “මා දේශයේ ගොඩනැඟූ දේවල් මම කඩා බිඳ දමන්නෙමි. මා සිටෙවූ දේවල් උදුරා දමන්නෙමි. නමුත් ඔබ, ඔබ ගැනම සිතමින් ඔබටම බොහෝ දේවල් ලබාගැනීමට උත්සාහ කරමින් සිටින්නෙහිය. බාරුක්, තවදුරටත් එසේ නොකරන්න.” (යෙරෙ. 45:4, 5) එයා දෙවිට ඇහුම්කන් දීලා හිතපු විදිහ වෙනස් කරගත්තා. අපිත් එහෙම කරමු. මොකද මේ දුෂ්ට සමාජයේ විනාශය අත ළඟයි.

12. අපේ ආසාවන්ට අනුව වැඩ කරද්දී දෙවිට ළැදිව ඉන්න එක අමාරු ඇයි කියලා පැහැදිලි කරන්න.

12 වැඩියෙන් ළැදි වෙන්නේ කාටද කියලා තීරණයක් ගන්න ඩැනියෙල්ට සිද්ධ වුණා. එයා යාළු වෙලා හිටියේ දෙවිට සේවය කරන්නේ නැති ගෑනු ළමයෙක් එක්ක. එයා මෙහෙම කියනවා. “මං පුරෝගාමි සේවය කරද්දීත් එයාට ලියුම් ලිව්වා. ඒත් මං කරන්නේ මට ඕනෙ දේ මිසක් දෙවිට ළැදි වෙන එක නෙමෙයි කියලා තේරුම්ගත්තට පස්සේ මං ඒ ගැන වැඩිමහල්ලෙක්ට කිව්වා. දෙවිට ළැදිව ඉන්න නම් සම්බන්ධය නවත්තන්න ඕනෙ කියලා තේරුම්ගන්න එයා මට උදව් කළා. ඒක නවත්තන එක මට ලොකු දුකක් වුණත් හුඟක් යාච්ඤා කරලා මං ඒ තීරණය ගත්තා. එදා ඉඳන් සේවයෙන් මං ලබපු සතුට වැඩි වුණා.” ඩැනියෙල්ට දැන් දෙවිට ආදරේ කරන බිරිඳක් ඉන්නවා. එයා දැන් චාරිකා සේවකයෙක්.

දෙවිට ළැදි කෙනෙක් කරුණාවන්තයි

යාළුවෙක් බරපතළ වරදක් කරලා කියලා ඔයා දැනගත්තොත් ඒ ගැන එයාත් එක්ක කතා කරනවද? වැඩිමහල්ලන්ගේ උදව් ලබා දෙන්න පියවර ගන්නවද? (14 ඡේදය බලන්න)

13. නාතන් දෙවිටයි දාවිත්ටයි දෙන්නටම ළැදියි කියලා පෙන්නුවේ කොහොමද?

13 අපි යෙහෝවා දෙවිට ළැදියි නම් අපි ආදරේ කරන අයට උදව් කරන්න අපිට පුළුවන්. ඒ අයට තියෙන අපේ ළැදිකමත් ඒකෙන් පේනවා. නාතන් ඒකට හොඳ උදාහරණයක්. එයා දෙවිට වගේම දාවිත්ටත් ළැදිව හිටියා. බැත්ෂෙබා සම්බන්ධ සිද්ධියෙදී දාවිත්ට උපදෙස් දෙන්න කියලා දෙවි කිව්වම එයා කීකරු වෙලා නිර්භීතව ඒක කළා. ඒ විතරක් නෙමෙයි එයා ඒක කළේ ඥානවන්තව සහ කරුණාවන්තවයි. එයාට ඕනෙ වුණේ කරපු පාපය කොච්චර බරපතළද කියලා තේරුම්ගන්න දාවිත්ට උදව් කරන්නයි. ඒ නිසා එයා දුප්පත් මිනිසෙකුට හිටපු එකම බැටළු පැටියාව බලෙන් අරන් ගිය පොහොසතෙක් ගැන කතාවක් කිව්වා. ඒක අහලා දාවිත්ට හුඟක් කේන්ති ගියා. “ඔබ තමයි ඒ මිනිසා” කියලා නාතන් කියද්දී තමන් කළේ බරපතළ වරදක් කියලා දාවිත්ට තේරුණා.—2 සාමු. 12:1-7, 13.

14. යෙහෝවා දෙවිට ළැදිව ඉන්න අතරේ ඔයා ආදරේ කරන කෙනෙක්ටත් ළැදිව ඉන්නේ කොහොමද?

14 දෙවිට ළැදිව ඉන්න අතරේ අපි ආදරේ කරන අයටත් ළැදිව ඉන්නේ කොහොමද කියලා මනසින් සටනක් කරන්න වෙන වෙලාවල් තියෙනවා. ඒ වගේ වෙලාවලදී කරුණාවන්තකම අපිට උදව් වෙනවා. මෙහෙම හිතන්න. සහෝදරයෙක් බරපතළ වරදක් කරනවා කියලා ඔයාට දැනගන්න ලැබෙනවා. ඒකට සාක්ෂිත් තියෙනවා. එයා ඔයාගේ යාළුවෙක් නම් පවුලේ කෙනෙක් නම් ඔයා එයාට ද්‍රෝහි වුණා කියන හැඟීම ඇති වෙනවාටත් ඔයා කැමති නැහැ. ඒත් යෙහෝවා දෙවිට ළැදි වෙන එකයි වැදගත් කියලා ඔයා දන්නවා. ඒ වගේ වෙලාවකදී නාතන් වගේ මුලින්ම දෙවිට කීකරු වෙන්න. සහෝදරයාට කරුණාවන්තව සලකන්න. එයාව හම්බ වෙලා වැඩිමහල්ලන්ගේ උදව් ගන්න කියලා කියන්න. එයා එහෙම කළේ නැත්නම් ඔයාම ඒ ගැන වැඩිමහල්ලන්ට කියන්න. ඒකෙන් ඔයා පෙන්නන්නේ වෙන කාටත් වඩා ඔයා යෙහෝවා දෙවිට ළැදියි කියලා. ඒක ඒ සහෝදරයාටත් කරන හොඳක්. මොකද දෙවි එක්ක ආයෙත් බැඳීමක් ඇති කරගන්න එයාට උදව් කරන්න වැඩිමහල්ලන්ට පුළුවන්. එයාලා ඉවසීමෙන්, මෘදුකමින් එයාව නිවැරදි කරයි.—ලෙවී කතාව 5:1; ගලාති 6:1 කියවන්න.

දෙවිට ළැදි කෙනෙක් නිර්භීතයි

15, 16. දෙවිට සහ දාවිත්ට ළැදිව ඉන්න හූෂයිට නිර්භීතකම ඕන වුණේ ඇයි?

15 හූෂයි දාවිත්ට ළැදිව හිටපු තවත් කෙනෙක්. සෙනඟ අබ්සලොම්ව රජ කරන්න හදපු වෙලාවේ දිගටම දෙවිට සහ දාවිත්ට ළැදිව ඉන්න එයාට නිර්භීතකම ඕනෙ වුණා. අබ්සලොම් යෙරුසලමට ආවා කියලත් දාවිත් පලා ගියා කියලත් හූෂයි දැනගෙන හිටියා. (2 සාමු. 15:13; 16:15) ඒත් එයා අබ්සලොම්ගේ පැත්ත ගත්තේ නැහැ. දාවිත් හිටියේ මහලු වයසේ වුණත් හුඟක් අයට එයාව මරන්න ඕනෙ වෙලා තිබුණත් හූෂයි දිගටම දාවිත්ට ළැදිව හිටියා. ඒ දාවිත්ට රජකම දුන්නේ දෙවි කියලා එයා දැනගෙන හිටපු නිසයි.—2 සාමු. 15:30, 32.

16 යෙරුසලමට ගිහින් අබ්සලොම්ගේ පැත්තට ආවා වගේ රඟපාන්න කියලා දාවිත් හූෂයිට කිව්වා. දාවිත්ට ඕනෙ වුණේ හූෂයි ලවා අහිතොෆෙල්ගේ යෝජනා නවත්තන්න. හූෂයි ජීවිතේ පරදුවට තියලා දෙවිට සහ දාවිත්ට ළැදිව වැඩ කළා. එයාට උදව් කරන්න කියලා දාවිත් යාච්ඤා කළා. ඒ නිසා සැලැස්ම සාර්ථක වුණා.—2 සාමු. 15:31; 17:14.

17. දෙවිට ළැදිව ඉන්න නිර්භීතකම ඕනෙ ඇයි?

17 පවුලේ අයව, රැකියා ස්ථානයේ අයව, බලධාරීන්ව සතුටු කරනවා වෙනුවට දෙවිට ළැදිව ඉන්න අපිටත් නිර්භීතකම ඕනේ. ටාරෝ එයාගේ දෙමාපියන්ට හරිම ළැදියි. පොඩි කාලේ ඉඳන්ම එයාලට කීකරුයි. ඒත් බයිබලේ පාඩම් කරන්න ගත්තම එයාගේ දෙමාපියන්ට ඕන වුණේ ඒක නවත්තන්න. ඒක එයාට ලොකු දුකක් වුණා. රැස්වීම් යන්න තීරණයක් ගත්තා කියලා එයාලට කියන එකත් ටාරෝට හරි අමාරු දෙයක් වුණා. ටාරෝ මෙහෙම කියනවා. “එයාලා කොච්චර කේන්ති ගත්තද කියනවා නම් ආයෙත් එයාලව බලන්න ගෙදර එන්න එපා කිව්වා. ගත්ත තීරණයට නිර්භීතව ඇලිලා ඉන්න මට උදව් කරන්න කියලා මං දෙවිට කිව්වා. දැන් එයාලා ඉස්සර තරම්ම මා එක්ක තරහ නෑ. අවුරුදු ගාණකට පස්සේ මට ගෙදර එන්නත් ඉඩ දුන්නා.”—හිතෝපදේශ 29:25 කියවන්න.

18. මේ ලිපිය ඔයාට ප්‍රයෝජනවත් වුණේ කොහොමද?

18 දාවිත්, යොනාතාන්, නාතන්, හූෂයි යෙහෝවා දෙවිට ළැදිව ඉඳලා ලබපු තෘප්තිය ලබන්න අපිටත් පුළුවන්. අබ්නේර්, අබ්සලොම් වගේ වෙන්න අපිට ඕනෙ නැහැ. අපි අතින් අඩුපාඩු වෙයි. ඒත් අපේ ජීවිතේ වැඩියෙන්ම වටින්නේ යෙහෝවා දෙවිට ළැදිව ඉන්න එකයි කියලා අපි ඔප්පු කරලා පෙන්නමු.

^ [1] (7 ඡේදය) සමහර නම් වෙනස් කර ඇත.