Skip to content

පටුනට යන්න

අතීතයෙන් බිඳක්

කතා කරන කාර් එකක්!

කතා කරන කාර් එකක්!

“ශුභාරංචිය දැනුම් දෙන්න බ්‍රසීලයටම තියෙන්නේ ශබ්ද විකාශන යන්ත්‍ර සවි කරපු එක කාර් එකක් විතරයි. ඒක ‘කතා කරන වොච් ටවර් කාර් එක’ විදිහට මිලියන ගාණක් අතරේ ජනප්‍රියයි.”—නතැනියෙල් යූල්, 1938දී.

1930 ගණන්වල මුල් කාලයේ බ්‍රසීලයේ දේශනා සේවයේ වැඩකටයුතු සිද්ධ වුණේ ඉබි ගමනින්. ඔය අතරේ තමයි ඇමරිකාවේ හිටපු යුවළක් සහෝදර ජෝසෆ් එෆ්. රදෆර්ඩ්ට ලියුමක් ලියන්නේ. නතැනියෙල් සහ මෝඩ් යූල් කියන ඒ යුවළ ලියුමේ කියලා තිබුණේ ලෝකයේ ඕනම තැනකට ගිහින් සේවය කරන්න එයාලා කැමතියි කියලයි.

වයස 62ක සිවිල් ඉන්ජිනේරුවෙක් වුණ සහෝදර නතැනියෙල් ඒ වෙද්දී සේවයේ කළේ සැන් ෆ්‍රැන්සිස්කෝ නගරයේ තිබුණ සභාවක සේවා අධ්‍යක්ෂක විදිහට. ඒ පැත්තේ සේවය සැලසුම් කරන්න, ශබ්ද විකාශන යන්ත්‍ර යොදාගෙන දේශනා කරන්න මුල් වෙලා වැඩ කළේ එයායි. ලියපු ලියුමට පිළිතුරු හැටියට නතැනියෙල්ට අලුත් පැවරුමක් ලැබුණා. ඒ බ්‍රසීලයේ ශාඛා කාර්යාල සේවක විදිහට සේවය කරන්න.

යූල් යුවළ බ්‍රසීලයට පය තිබ්බේ 1936. එයාලා ඒ රටට ආවේ හිස් අතින් නම් නෙමෙයි. තැටි වාදන යන්ත්‍ර 35කුත් ශබ්ද විකාශන යන්ත්‍රයක් සවි කරපු කාර් එකකුත් අරගෙනයි. එයාලා ඉදිරියේ තිබුණේ ලොකු අභියෝගයක්. ලෝකයේ 5වෙනි විශාලම රට වුණ බ්‍රසීලයේ ඒ වෙද්දී හිටියේ ප්‍රචාරකයන් 60ක් විතරයි. ඒත් අවුරුදු කීපයක් ඇතුළත මිලියන ගණනකට දේශනා කරන්න ඒ ටිකදෙනාට පුළුවන් වුණා.

එයාලා ඇවිත් මාසයකට පස්සේ ශාඛා කාර්යාලය සමුළුවක් සංවිධානය කළා. ඒක එහේ පැවැත්තුව පළවෙනි සමුළුව. ප්‍රසිද්ධ දේශනය ගැන ප්‍රචාරය කළේ ශබ්ද විකාශන යන්ත්‍රය සවි කරපු කාර් එකෙන්. සමුළුවට 110දෙනෙක් ඇවිත් හිටියා. සේවය තවත් වැඩියෙන් කරන්න ප්‍රචාරකයන්ට සමුළුවෙන් ලැබුණේ ලොකු තල්ලුවක්. පොත් පත්, සාක්ෂිපත් පාවිච්චි කරලා දේශනා කරන්නත් ඉංග්‍රීසි, ජර්මන්, හංගේරියානු, පෝලන්ත, ස්පාඤ්ඤ භාෂාවලින් තැටි ගත කරලා තිබුණු දේශන සේවයේදී යොදාගන්නත් එයාලා ඉගෙනගත්තා.

මිලියන ගණනකට ශුභාරංචිය දැනුම් දෙන්න මේ ‘කතා කරන කාර් එක’ උදව් වුණා

1937දී බ්‍රසීලයේ නගර 3ක පැවැත්තුව සමුළු 3 සහෝදරයන්ට ගෙන දුන්නේ නව පණක්. සමුළුවලට ආපු අය ගෙයින් ගෙට සේවයේ යද්දී ‘කතා කරන කාර් එකත්’ එයාලා එක්කම ගියා. හෝසේ කියන සහෝදරයා මෙහෙම කියනවා. “පටිගත කරපු පණිවිඩේ කාර් එකෙන් ඇහෙද්දී හුඟක් අය වෙන්නේ මොකක්ද කියලා බලන්න ගෙවල්වලින් එළියට ආවා. එතකොට අපි ඒ අයට අපේ ප්‍රකාශන දීලා සාක්ෂි දැරුවා.”

සමුළුවලදී බව්තීස්මය සිදු කළේ ගඟවල්වල නිසා කාර් එකත් එතැනට අරන් ගියා. තැටිගත කරලා තිබුණ සහෝදර රදෆර්ඩ්ගේ බව්තීස්ම දේශනය වාදනය කරද්දී ඒක පෘතුගීසි භාෂාවට පරිවර්තනය කළා. ඒකෙන් අවට හිටපු හුඟක් අයට ඒ දේශනයට සවන් දෙන්න පුළුවන් වුණා. බව්තීස්ම කරන වෙලාවේ පෝලන්ත භාෂාවෙන් තැටිගත කරලා තිබුණ ගීතිකා වාදනය කරන අතරේ සහෝදර සහෝදරියෝ එයාලගේ භාෂාවලින් ඒ ගීතිකා ගායනා කළා. ක්‍රි.ව. 33 පෙන්තකොස්ත දවසෙදී එකම පණිවිඩය තම තමන්ගේ භාෂාවලින් ඇහෙද්දී යෙරුසලමේ හිටපු අයට කොහොම හැඟෙන්න ඇද්ද කියලා තේරුම්ගන්න ඒක හොඳ අද්දැකීමක් වුණා.

සමුළුවට පස්සේ හැම ඉරිදාවකම අව්ව වැස්ස බලන්නේ නැතිව සාඕ පවුලෝ නගරයෙත් ඒ අවටත් මිනිසුන් ගැවසුණ හුඟක් තැන්වලට කාර් එකෙන් ගිහින් ශුභාරංචිය දැනුම් දුන්නා. නගරයේ ඉඳන් කි.මී. 97ක් දුරින් තිබුණ ලාදුරු කොලනියටත් ශුභාරංචිය අරන් යන්න පුළුවන් වුණේ මේ ‘කතා කරන කාර් එක’ නිසයි. මාසෙකට සැරයක් එහේ හිටපු 3000ක විතර පිරිසකට ඇහෙන්න බයිබල් දේශන වාදනය කළා. කාලයක් යද්දී එහේ සභාවකුත් පිහිටෙව්වා. තමන් වගේ දුක් විඳින අයට බලාපොරොත්තුවක් දෙන්න තියෙන ආසාව නිසා එහේ හිටපු ප්‍රචාරකයන් තවත් ලාදුරු කොලනියකට ගිහින් දේශනා කරන්න අවසර ගත්තා.

1938 වෙද්දී පෘතුගීසි භාෂාවෙන් තැටිගත කරපු දේශන බ්‍රසීලයට ලැබුණා. ඒවා අතර “මරණයේදී සිදු වන්නේ කුමක්ද,” “යෙහෝවා,” “ධන සම්පත්” කියන මාතෘකාවලින් දේශනත් තිබුණා. මළවුන්ගේ දවසේ මිනී පිට්ටනි ළඟට ගිහින් ‘කතා කරන කාර් එකෙන්’ ඒ දේශන වාදනය කළා. මළවුන්ට ගරුබුහුමන් දක්වන්න ඇවිත් හිටපු 40,000ටත් වැඩි පිරිසකට සහනයක් ගෙන දෙන්න ඒ කාර් එක කළේ ලොකු සේවයක්.

‘කතා කරන කාර් එකෙන්’ ශුභාරංචිය ප්‍රසිද්ධ තැන්වල දැනුම් දෙන එක ගැන පූජකයන් නම් හිටියේ කේන්තියෙන්. එයාලා රජයේ නිලධාරීන්ට නිතරම කිව්වේ ඒක තහනම් කරන්න කියලයි. දවසක් පූජකයෙකුගේ උසිගැන්වීම පිට මැර පිරිසක් කාර් එක වට කළා. ඒත් එතැනට නගරාධිපති සහ පොලිස් නිලධාරීන් ආපු නිසා එයාලට මුකුත් කරගන්න බැරි වුණා. වාදනය කරමින් තිබුණ දේශනයට සවන් දුන්න නගරාධිපති, අපේ ප්‍රකාශනත් ගත්තා. ඒ වගේ විරුද්ධවාදිකම් විටින් විට ආවත් 1939වෙනි අවුරුද්ද ගැන ‘1940 වාර්ෂික පොතේ’ සඳහන් වෙන්නේ “දෙවි ගැනත් දෙවිගේ නාමය ගැනත් දැනුම් දෙන්න හොඳම කාලය වුණේ ඒක” කියලයි.

බ්‍රසීලයේ හිටපු මිලියන ගණනකට ශුභාරංචිය දැනුම් දෙන්න ‘කතා කරන කාර් එක’ කළේ අමිල මෙහෙවරක්. 1941දී ඒ කාර් එක විකුණුවත් බ්‍රසීලය කියන විශාල රටේ ඉන්න සාක්ෂිකරුවන් තවමත් අවංක හදවත් තියෙන අයව සොයන කාර්යය නම් නවත්තලා නැහැ.—බ්‍රසීලයේ අතීතයෙන් බිඳක්.