Skip to content

පටුනට යන්න

ජීවිත කතාව

යෙහෝවා දෙවි මගේ සවියයි

යෙහෝවා දෙවි මගේ සවියයි

යුද්දෙට හවුල් වෙන්නේ නැති නිසා මට කලිනුත් හිරේ ඉන්න වුණා කියලා නිලධාරියාට කිව්වට පස්සේ මං එයාගෙන් ඇහුවා “ඔයාට ඕනෙ මාව ආයෙත් හිරේ දාන්නද” කියලා. ඒ සිද්ධිය වුණේ ඇමරිකාවේ හමුදාවට බැඳෙන්න කියලා මට දෙවෙනි පාරට දැනුම් දුන්න වෙලාවේ.

මං ඉපදුණේ 1926 ඇමරිකාවේ කෘක්ස්විල් ගමේ. අම්මායි තාත්තායි එච්චරම ආගමට බර නැති වුණත් අපි අටදෙනාව පල්ලි යැව්වා. මං ගියේ මෙතෝදිස්ත පල්ලියට. අවුරුද්දේ එක දවසක්වත් වරද්දන්නේ නැතුව ඉරිදා පූජාවට ගිය හින්දා වයස 14දී මට පල්ලියෙන් තෑග්ගකුත් හම්බ වුණා.

මට සත්‍යය ඉගෙනගන්න උදව් කරපු සහෝදරි මාග්‍රට් වෝකර් (වමේ සිට දෙවෙනියා)

ගෙවල් ළඟ හිටපු යෙහෝවා දෙවිගේ සාක්ෂිකාරියක් අම්මා එක්ක බයිබලේ ගැන කතා කරන්න අපේ ගෙදර ආවේ ඔන්න ඔය කාලෙදී. එයාගේ නම මාග්‍රට් වෝකර්. දවසක් මං එයාලා කතා කරකර හිටපු තැනට ගිහින් අහගෙන ඉද්දී මං එයාලට බාධා කරයි කියලා හිතලා අම්මා මට කිව්වා එළියට යන්න කියලා. ඒත් මට ඕන වුණේ කොහොමහරි එයාලා කතා කරපු දේවල් අහන්නයි. දෙතුන් වතාවක් අපේ ගෙදර ආවට පස්සේ මාග්‍රට් මගෙන් ඇහුවා “ඔයා දන්නවද දෙවියන්ගේ නම?” එතකොට මං කිව්වා “ඒක හැමෝම දන්නවානේ. දෙවියන් නේද” කියලා. “ඔයාගේ බයිබලේ අරන් ගීතාවලිය 83:18ට පෙරළලා බලන්නකෝ” කියලා එයා කිව්වා. එදා තමයි දෙවිගේ නම යෙහෝවා කියලා මං දැනගත්තේ. මං ඒ වෙලාවෙම ගිහින් මගේ යාළුවන්ට කිව්වා “ගෙදර ගියාම ගීතාවලිය 83:18 කියවලා බලන්න, දෙවිගේ නම දැනගන්න පුළුවන්” කියලා. දෙවි ගැන දැනගත්ත මුල්ම දවසේ ඉඳන් මං දේශනා කරන්න පටන්ගත්තා.

මං බව්තීස්ම වුණේ 1941දී. ඒත් එක්කම වගේ මට සභාවේ පොත් පාඩමක් භාර දුන්නා. ඒකට අම්මායි මගේ පවුලේ අයයි ආවත් තාත්තා නම් එච්චර උනන්දුවක් දැක්කුවේ නැහැ.

තාත්තා සත්‍යයට විරුද්ධ වුණා

සභාවෙන් මට තවත් වගකීම් භාර දීලා තිබුණු නිසා ඒවාට ප්‍රයෝජනවත් වෙන පොත් පත් එකතු කරලා පොඩි පුස්තකාලයක් මං ගෙදර හැදුවා. දවසක් තාත්තා ඒක පෙන්නලා මට කිව්වා “දැන්මම මේකත් අරන් ගෙදරින් එළියට බහිනවා” කියලා. ඊටපස්සේ මං අපේ ගමට කිට්ටුවෙන් තිබුණු තැනක පදිංචියට ගියා. ඒත් නිතරම වගේ ගෙදර ඇවිත් පවුලේ අයව දිරිගැන්නුවා.

අම්මා රැස්වීම් යනවට තාත්තා කැමති වුණේ නැහැ. සමහරදාට රැස්වීම් යන්න ගෙදරින් එළියට බැස්සම තාත්තා පස්සෙන් ගිහින් අම්මාව ඇදගෙන එනවා. ඒත් අම්මා කොහොමහරි රැස්වීම් ගියා. “බය වෙන්න එපා. ටික දවසක් යනකොට තාත්තාටම ඕක එපා වෙයි” කියලා මං අම්මාට කිව්වා. කල් යද්දී තාත්තාගේ කරදර ටික ටික අඩු වෙලා අම්මාට නිදහසේ රැස්වීම් යන්න පුළුවන් වුණා.

1943දී අපේ සභාවෙත් සේවා පාසැල පටන්ගත්ත නිසා මටත් පාසැලේ කතා දෙන්න පැවරුම් ලැබුණා. පැවරුමක් කළාම ලැබුණු උපදෙස් මට උදව් වුණා මගේ හැකියාවන් තව දියුණු කරගන්න.

යුද්දේ නිසා ආපු පීඩා

දෙවෙනි ලෝක යුද්දේ කාලෙදී හමුදාවට බැඳෙන්න කියලා දන්වලා එවලා තිබුණු නිසා මටත් සිද්ධ වුණා හමුදා කඳවුරට වාර්තා කරන්න. අවශ්‍ය ලියකියවිලි ටික පුරවලා දුන්නට පස්සේ මං ඒ අයට කිව්වා මං හමුදාවට බැඳෙන්නේ නැහැ කියලා. ඒ වෙලාවේ එයාලා මට යන්න දුන්නත් දවස් කීපයකට පස්සේ නිලධාරියෙක් ගෙදරට ඇවිත් මෙහෙම කිව්වා. “කෝවන් රොබසන්, මං ආවේ ඔයාව අත්අඩංගුවට ගන්න.”

මගේ නඩුව අහපු විනිසුරුවරයා මට කිව්වා “හරි නම් ඔයාව ජීවිත කාලෙටම හිරේ දාන්න ඕනේ. ඔයාට මොනවද කියන්න තියෙන්නේ” කියලා. මම මෙහෙම කිව්වා. “ස්වාමීනි, මං දේවගැතිවරයෙක්. මං හුඟක් අයට දේවරාජ්‍යය ගැන ශුභාරංචිය දේශනා කරනවා.” එතකොට විනිසුරුවරයා ජූරිය දිහාවට හැරිලා මෙහෙම කිව්වා. “ඔබ මෙතන ඉන්නේ මේ තරුණයා දේවගැතිවරයෙක්ද නැද්ද කියලා තීරණය කරන්න නෙමෙයි. හමුදාවෙන් ලැබුණු අණට ඔහු කීකරු වුණාද නැද්ද කියන එක තීරණය කරන්නයි.” පැය 1/2ක් යන්නත් කලින් ජූරිය මාව වැරදිකරුවෙක් හැටියට තීන්දු කළා. මට ලැබුණේ පස් අවුරුදු හිරදඬුවමක්.

හිරේදීත් දෙවි මං ළඟින්ම හිටියා

මුලින් එයාලා මාව කොලොම්බස්වල තිබුණු හිරගෙදරකට යැව්වා. පළවෙනි දවසේ මුළු දවසම මට හිරකුටියෙන් එළියට එන්න දුන්නේ නැහැ. මං දෙවිට කිව්වා “අනේ යෙහෝවා, මට අවුරුදු 5ක් මේ විදිහට ඉන්න බෑ” කියලා.

හිරකුටියෙන් එළියට යන්න ඊළඟ දවසේ මට අවසර ලැබුණා. එහෙ හිටපු උස මහත කෙනෙක් මගෙන් ඇහුවා “ඒයි කොටෝ, ඔයා මෙහෙ ආවේ මොනවා කරලද” කියලා. මං යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක් කියලා කිව්වම එයා ඇහුවා “ඇත්තද, එහෙනම් මොනවද මෙහෙ කරන්නේ” කියලා. “සාක්ෂිකරුවන් මිනිසුන්ව මරන්නේ නැති නිසා හමුදාවට බැඳෙන්නේ නෑ. ඒකයි මාව මෙහෙට එව්වේ” කියලා මං කිව්වම එයා මට මෙහෙම කිව්වා. “හුඟක් අයව හිරේට දාන්නේ මිනිසුන්ව මරන නිසා. ඒත් ඔයාව හිරේ දාලා තියෙන්නේ මිනී මරන්න කැමති නැති නිසා. ඒක නම් මහ පිස්සුවක්.”

“මං අවුරුදු 15ක් හිටියේ වෙන හිරගෙදරක. එහෙදී මට ඔයාලගේ පොත් පත් කියවන්න හම්බ වුණා” කියලා එයා කිව්වම එයාගේ හිත දිනාගන්න මට උදව් කරන්න කියලා මං යාච්ඤා කළා. එතකොටම වගේ එයා කිව්වා “මෙහෙ ඉන්න කවුරු හරි ඔයාට කරදර කරන්න ආවොත් මට කියන්න. එයා ගැන මං බලාගන්නං” කියලා. මට කාගෙන්වත් කිසිම කරදරයක් වුණේ නැහැ.

ඈෂ්ලන්ඩ් හිරගෙදරදී

මාව ඈෂ්ලන්ඩ්වල තිබුණු හිරගෙදරට යැව්වම එහෙ හිටපු අද්දැකීම් තියෙන සහෝදරයන් කීපදෙනෙකුත් මට හම්බ වුණා. දෙවි එක්ක තියෙන බැඳීම ශක්තිමත් කරගන්න මටත් තව කීපදෙනෙක්ටත් එයාලාගේ ආශ්‍රය උදව් වුණා. ඒ සහෝදරයෝ අපිට සතියට නියමිත බයිබල් කොටසක් දුන්නා කියවන්න. අපි පවත්වපු රැස්වීමේදී අහන්න ප්‍රශ්න සහ ඒවාට උත්තර අපි කලින්ම සූදානම් වුණා. අපිට බලප්‍රදේශ සේවකයෙකුත් හිටියා. එයා අපි එක් එක් කෙනාට යම් ඇඳන් ප්‍රමාණයක් භාර දුන්නා අපේ බලප්‍රදේශය හැටියට. ඒ ඇඳන්වල ඉන්න අයට සාක්ෂි දරන එක අපේ වගකීම වුණා.

හිරෙන් නිදහස් වුණාට පස්සේ

1945දී දෙවෙනි ලෝක යුද්දේ ඉවර වුණත් ටික කාලයක් යන කල් මට හිරේ ඉන්න වුණා. මං නැති නිසා තාත්තා පවුලේ අයව දෙවිගෙන් ඈත් කරලා ඇති කියලා මං හිටියේ බයෙන්. ඒත් නිදහස් වෙලා ගෙදර ගියාම මටම පුදුමයි! තාත්තාගෙන් කොච්චර පීඩා ආවත් පවුලේ 7දෙනෙක්ම රැස්වීම් යන්න පටන් අරන්. එක නංගි කෙනෙක් බව්තීස්මත් වෙලා.

1913 ඉඳන් යෙහෝවා දෙවිට සේවය කරපු අභිෂේක ලත් සහෝදරයෙක් වුණු ඩමිට්‍රියස් පාපාජෝර්ජ් එක්ක

1950දී කොරියාවේ ඇති වුණු යුද්දෙට ඇමරිකාවත් හවුල් වුණු නිසා හමුදාවට බැඳෙන්න කියලා මට ආයෙත් නියෝගයක් ආවා. නිපුණතා පරීක්ෂණයෙන් පස්සේ එතන හිටපු නිලධාරියෙක් කිව්වා “ඔයා තමයි වැඩිම ලකුණු ගත්තේ” කියලා. එතකොට මං කිව්වා “ඒකට කමක් නෑ. මං හමුදාවට බැඳෙන්නේ නැහැ. මොකද 2 තිමෝති 2:3 කියන විදිහට මං දැනටමත් ක්‍රිස්තුස්ගේ හේවායෙක්” කියලා. සෑහෙන වෙලාවකට පස්සේ “ඔයාට යන්න පුළුවන්” කියලා එයා කිව්වා.

ඊට දවසකට පස්සේ සමුළුවකදී බෙතෙල් සේවය කරන්න කැමති අයට තිබුණු රැස්වීමට මාත් ගියා. ඒකෙදී සහෝදර හෙන්ෂල් මෙහෙම කිව්වා. “දේවරාජ්‍යය වෙනුවෙන් මහන්සි වෙලා වැඩ කරන්න සහෝදරයෙක් කැමති නම් එයාව බෙතෙල් එකට හරිම ප්‍රයෝජනවත්.” මාත් බෙතෙල් එකට අයදුම් කළා. 1954 අගෝස්තු මාසෙන් පටන්ගත්ත බෙතෙල් සේවය මං අද වෙන කල් කරනවා.

මට එහෙ කරන්න හුඟක් වැඩ තිබුණා. අවුරුදු ගාණක්ම මං වැඩ කළේ මුද්‍රණාලයත් කාර්යාල ගොඩනැඟිලිත් උණුසුම් කරන්න යොදාගත්ත බොයිලේරු ක්‍රියාකරන්නෙක් විදිහට. යන්ත්‍රෝපකරණවල වැඩත් අගුලු අලුත්වැඩියා කරන වැඩත් මං කළා. නිව් යෝර්ක්වල තිබුණු සමුළු ශාලාවෙත් වැඩ කළා.

බොයිලේරු ක්‍රියාකරන්නෙක් විදිහට සේවය කරද්දී

නමස්කාර වැඩකටයුතු හොඳින් කරන්න බෙතෙල් එකේ තියෙන සැලැස්මට මං හරිම කැමතියි. උදෑසන නමස්කාරය, පවුලේ ‘මුරටැඹ’ පාඩම, සභාවත් එක්ක සේවයේ යන්න ලැබෙන අවස්ථාව මං හුඟක් අගය කරනවා. සාක්ෂිකරුවන්ගේ හැම පවුලකටම ඒ වගේ සැලැස්මක් තියෙනවා නම් ඒක හුඟක් වටිනවා. දරුවෝ දෙමාපියෝ එකතු වෙලා දිනපදේ සාකච්ඡා කරද්දී, නිතිපතා පවුලේ නමස්කාරය කරද්දී, රැස්වීම්වලට හොඳින් සහභාගි වෙද්දී, සේවයේ හවුල් වෙද්දී පවුලේ හැමෝටම දෙවි එක්ක තියෙන බැඳීම තව ශක්තිමත් කරගන්න පුළුවන්.

බෙතෙල් එකෙත් සභාවෙත් හුඟක් යාළුවෝ මට ඉන්නවා. ඒ අයගෙන් සමහරු අභිෂේක ලත් අය. බෙතෙල් සේවකයන් ඇතුළු දෙවිගේ හැම සේවකයෙක් අතින්ම වැරදි, අඩුපාඩුකම් සිද්ධ වෙනවා. සහෝදරයෙක් එක්ක මොකක් හරි ප්‍රශ්නයක් ඇති වුණාම මං හැම වෙලාවෙම උත්සාහ කරන්නේ ඒක ඉක්මනින්ම විසඳගන්න. අපි අතරේ ඇති වෙන මතභේද විසඳගන්න ඕනෙ කොහොමද කියලා මතෙව් 5:23, 24 කියන දේ ගැන මං හිතනවා. සමාව ඉල්ලන එක ලේසි නැහැ. ඒත් සමාව ඉල්ලුවට පස්සේ ප්‍රශ්නයක් ඇදි ඇදි යන්න තියෙන ඉඩකඩ අඩුයි කියලා මං අද්දැකලා තියෙනවා.

සේවයෙන් හොඳ ප්‍රතිඵල ලැබුණා

මගේ වයස නිසා දැන් ගෙයින් ගෙට සේවයේ යන්න ටිකක් අමාරුයි. ඒත් මං උත්සාහය අත්හැරලා නැහැ. මං චීන භාෂාව ටිකක් ඉගෙනගත්ත නිසා මඟ තොටේ හම්බ වෙන චීන ජාතිකයන්ට කතා කරනවා. සමහර දවස්වල එක වරුවකට සඟරා 30ක්, 40ක් දෙනවා.

චීන ජාතිකයන්ට බෘක්ලින්වලදී සාක්ෂි දරමින්

චීනයේ ඉන්න කෙනෙක්ටත් මං නැවත බැලීමක් කළා. දවසක් පලතුරු කඩයක් ගැන දැන්වීම් පත්‍රිකා වගයක් බෙදබෙද හිටපු ගැහැනු ළමයෙක් මාත් එක්ක හිනා වුණා. මාත් එයා එක්ක හිනා වෙලා අපේ සඟරා දුන්නම එයා ඒවා ගත්තා. එයාගේ නම කේටි. ඊටපස්සේ මාව දකින හැමපාරම කේටි ඇවිත් මාත් එක්ක කතා කරනවා. මං එයාට පලතුරුවල, එළවළුවල නම් ඉංග්‍රීසියෙන් කියන විදිහ ඉගැන්නුවා. බයිබලේ තියෙන දේවලුත් එයාට කියලා දුන්නා. එයා ‘බයිබලයේ ඉගැන්වීම්’ පොතකුත් ගත්තා. ඒත් ඊටපස්සේ මට එයාව හම්බ වුණේ සති කීපයක් විතරයි.

ඔහොම මාස කීපයක් ගෙවිලා ගියාට පස්සේ දැන්වීම් පත්‍රිකා බෙදපු තවත් ගැහැනු ළමයෙකුට මං සඟරා දුන්නා. ඊළඟ සතියේ එයා මං ළඟට ඇවිත් එයාගේ ෆෝන් එක මට දීලා කිව්වා “ඔයාට චීනයෙන් කෝල් එකක්” කියලා. “චීනයේ ඉන්න කාවවත් මං අඳුරන්නේ නෑනේ” කියලා කිව්වත් එයා මට බල කළා කෝල් එක ගන්න කියලා. “හලෝ රොබි, මං මේ කේටි. මං දැන් ඉන්නේ චීනේ. ඔයාට ඔය ෆෝන් එක දුන්නේ මගේ නංගි. ඔයා මට හොඳ දේවල් හුඟක් ඉගැන්නුවා. ඔයාට පුළුවන්ද නංගිටත් ඒවා කියලා දෙන්න” කියලා එයා කිව්වා. එතකොට මං කිව්වා “මං ඒක කරන්න උත්සාහ කරන්නම්. තැන්ක්‍යු මට කෝල් කළාට” කියලා. එදායින් පස්සේ මට කේටිගේ නංගිව හම්බ වුණේ නැහැ. ඒ ළමයි දෙන්නා කොහෙ හිටියත් යෙහෝවා දෙවි ගැන එයාලා තව ඉගෙනගන්නවා නම් මං ආසයි.

අවුරුදු 73ක් පුරාම මං පූර්ණකාලීනව දෙවිට සේවය කළා. යුද්ධවලදී පැති නොගෙන ඉන්නත් හිරේදී දිගටම විශ්වාසවන්තව ඉන්නත් යෙහෝවා දෙවි මට උදව් කරපු එක ගැන මට දැනෙන්නේ ලොකු සතුටක්. තාත්තාගෙන් මොන පීඩා ආවත් අත්හරින්නේ නැතුව දිගටම සේවය කරන්න මට තිබුණු අධිෂ්ඨානය දැකලා මගේ පවුලේ අයටත් ලොකු ධෛර්යයක් ලැබුණා කියලා එයාලා මට කිව්වා. අම්මාත් සහෝදර සහෝදරියෝ 6දෙනෙකුත් බව්තීස්ම වුණා. තාත්තාත් ටිකක් විතර වෙනස් වුණා. මැරෙන්න කලින් එයා රැස්වීම් කීපයකටත් ගියා.

යෙහෝවා දෙවි කැමති නම් මගේ පවුලේ අයවත් මගේ යාළුවන්වත් පාරාදීසයේදී මට ආයෙත් හම්බ වෙයි. අපි ආදරේ කරන අයත් එක්ක එකතු වෙලා සදාකාලෙටම දෙවිට සේවය කරද්දී අපිට මොන තරම් සතුටක් අද්දකින්න පුළුවන් වෙයිද! *

^ 32 ඡේ. මේ ලිපිය සූදානම් කරන අතරතුර යෙහෝවා දෙවිට විශ්වාසවන්තව සේවය කරපු සහෝදර කෝවන් රොබසන් මිය ගියා.