සතුට අහිමි කරගන්න එපා
ඔයා වැඩියෙන්ම සතුටු වුණු දවස මතකද? ඒ ඔයා විවාහ වුණු දවසද? මුල්ම දරුවා ලැබුණු දවසද? නැත්නම් ඔයාගේ ජීවිතේ දෙවිට කැප කරලා බව්තීස්ම වුණු දවසද? ඔයාට ලොකු සතුටක් දැනුණු, වැදගත්ම දවස බව්තීස්ම වුණු දවස වෙන්න ඇති. හුඟක් සහෝදර සහෝදරියනුත් එදා ඔයා ගැන සතුටු වෙන්න ඇති.—මාක් 12:30.
ඔයා අද්දැක්ක ඒ සතුට බව්තීස්ම වුණු දා ඉඳන් තවත් වැඩි වෙන්න ඇති. ඒත් අපෙන් සමහරුන්ට කලින් අද්දැක්ක ඒ සතුට දැන් අහිමි වෙලා. ඒ ඇයි? සතුට අහිමි කරගන්නේ නැතුව සේවය කරන්න අපිට තියෙන හේතු මොනවද?
සතුට අහිමි වෙන්න හේතු
දුෂ්ට සමාජය විනාශ කරලා පොළොව පාරාදීසයක් කරනවා කියන දෙවිගේ පොරොන්දුව අපේ ජීවිතවලට මොන තරම් ප්‍රීතියක් ගෙනාවද! ශෙපනියා 1:14 කියන්නේ “යෙහෝවා දෙවිගේ මහත් දවස ළං වී තිබේ. ඒ දවස ඉතා ඉක්මනින් පැමිණෙන්නේය” කියලයි. ඒත් අපි හිතපු තරම් ඉක්මනින් ඒ දවස ආවේ නැති නිසා අපේ සතුට ටිකෙන් ටික අහිමි වෙන්න පුළුවන්. දෙවිට කරන සේවයත් අඩු වෙලා යයි.—හිතෝ. 13:12.
දෙවිගේ සෙනඟ එක්ක කිට්ටුවෙන් ඇසුරු කරද්දී දෙවිට සතුටින් සේවය කරන්න අපිට ලැබෙන්නේ ලොකු දිරියක්. අපෙන් සමහරු සත්‍යයට ආකර්ෂණය වුණෙත් දෙවිට සතුටින් සේවය කරන්න පටන්ගත්තෙත් දෙවිගේ සෙනඟගේ හොඳ හැසිරීම දැකලයි. (1 පේතෘ. 2:12) ඒත් දෙවිගේ ප්‍රතිපත්තිවලට අනුව ජීවත් නොවුණු කෙනෙක්ට යම් හික්මවීමක් ලැබුණා කියලා හිතන්න. දෙවිගේ සෙනඟගේ හොඳ හැසිරීම නිසා සත්‍යයට ආපු කෙනෙක් ඒ වගේ දෙයක් දැක්කම කලකිරිලා තමන්ගේ සතුට අහිමි කරගන්න පුළුවන්.
සතුටින් ඉන්න පුළුවන් නවීන පන්නයේ දේවල් තිබුණොත් විතරයි කියන මතය සාතන් අද සමාජය තුළ ප්‍රචලිත කරලා. ඒ බොරුවට අපි අහු වුණොත් අපේ සතුට ටිකෙන් ටික අහිමි වෙයි. මොකද යේසුස් මෙහෙම කිව්වා. “ස්වාමිවරුන් දෙදෙනෙකුට දාසයෙක් වෙන්න කිසිවෙකුටවත් බැහැ. මන්ද ඔහු එක් කෙනෙකුට වෛර වී අනික් තැනැත්තාට ප්‍රේම කරන්න පෙලඹෙයි. නැතහොත් ඔහු එක් කෙනෙකුට ඇලුම් වී අනික් තැනැත්තාව හෙළාදකියි. එසේම දෙවිට සේවය කරන අතරම ඔබට මුදල් පසුපස හඹා යන්න බැහැ.” (මතෙ. 6:24) මේ ලෝකය ඉදිරිපත් කරන හැම දේම ලබාගන්න උත්සාහ කරන ගමන් සතුටින් දෙවිට සේවය කරන්න අපිට කොහොමටවත් බැහැ.
‘ගැලවීම ලබා දෙන දෙවි නිසා ප්‍රීති වෙමු’
දෙවිට සේවය කරන එක ඔහුට ආදරේ කරන අයට බරක් නෙමෙයි. (1 යොහ. 5:3) යේසුස් කියපු මේ දේ මතකද? “වෙහෙස වූ බරින් පීඩිත වූ සියල්ලෙනි, මා වෙතට එන්න. ඔබව ප්‍රාණවත් කරන්න මා කැමතියි. මා මෘදු ගුණැති නිහතමානී කෙනෙකු වන නිසා මා ඔබ පිට තබන වියගහ පිළිගෙන මගෙන් ඉගෙනගන්න. එමගින් ඔබට මහත් සහනයක් ලබාගත හැකියි. මන්ද මා ඔබ පිට තබන වියගහ පහසුයි. ඔබට උසුලාගෙන යෑමට තිබෙන බරද සැහැල්ලුයි.” (මතෙ. 11:28-30) යේසුස්ව අනුගමනය කරන එකෙන් අපි ලොකු සහනයක්, ප්‍රබෝධයක් අද්දකිනවා මිසක් ඒක අපිට බරක් නෙමෙයි. ‘ගැලවීම ලබා දෙන දෙවිට ප්‍රීතියෙන්’ සේවය කරන්න අපිට ඕන තරම් හේතු තියෙනවා. (හබ. 3:18) දැන් හේතු 3ක් බලමු.
අපි සේවය කරන්නේ අපිට ජීවිතය දුන්න ප්‍රීතිමත් දෙවිටයි. (ක්‍රියා 17:28; 1 තිමෝ. 1:11) අපිට ජීවිතය දුන්නේ යෙහෝවා දෙවි නිසා අපි ඔහුට ණයගැතියි. අපි බව්තීස්ම වෙලා කොච්චර කාලයක් ගිහිල්ලා තිබුණත් ඔහුට දිගටම ප්‍රීතියෙන් සේවය කරන්න ඒක හේතුවක්.
අවුරුදු 40ක් චාරිකා සේවය කරපු එක්ටෝර්ගේ අද්දැකීම බලන්න. ‘මහලු වයසේ’ හිටියත් එයා තාමත් දෙවිට උද්‍යෝගයෙන් සේවය කරනවා. (ගීතා. 92:12-14) එයාගේ බිරිඳගේ අසනීපේ නිසා කලින් තරම් සේවය කරන්න එයාට බැරි වුණත් එයා සතුට නැති කරගෙන නැහැ. එයා මෙහෙම කියනවා. “අසනීපේ නිසා මගේ බිරිඳ එන්න එන්නම දුර්වල වෙනවා දකිද්දී මට හුඟක් දුකයි. එයාව බලාගන්න එකත් ලේසි නෑ. ඒත් මගේ සතුට යටපත් කරන්න මං ඒකට ඉඩ දෙන්නේ නෑ. ජීවිතය දුන්න එක ගැන මං දෙවිට ණයගැතියි. දෙවිට හුඟක් ආදරේ කරන්න, මුළු හිතින් ඔහුට සේවය කරන්න ඒකම හොඳ හේතුවක්. මගේ සතුට දිගටම තියාගන්න ඕනෙ නිසා අත් නෑර සේවයේ හවුල් වෙන්නත් අනාගත බලාපොරොත්තුව මනසේ තියාගෙන වැඩ කරන්නත් මං ලොකු වෑයමක් ගන්නවා.”
ජීවිතේ සතුටින් ගෙවන්න පුළුවන් වෙන්නයි යෙහෝවා දෙවි, යේසුස්ගේ ජීවිත පූජාව අපි වෙනුවෙන් දුන්නේ. “දෙවි මුළු ලෝකයටම කොතරම් ප්‍රේම කළාද කියනවා නම් ඔහු තමාගේ එකම පුත්‍රයාව ඔවුන් වෙනුවෙන් ලබා දුන්නා. එසේ කළේ ඔහු කෙරෙහි විශ්වාසය තබන සෑම කෙනෙක්ම විනාශ නොවී ඔවුන්ට සදහටම ජීවත් වීමේ ප්‍රස්තාව ලබාගැනීම සඳහායි.” (යොහ. 3:16) ජීවිත පූජාව ගැන විශ්වාසය තියෙනවා නම් පව්වලට සමාව ගන්නත් සදාකාල ජීවනය ලබාගන්නත් අපිට අවස්ථාව ලැබෙනවා. දෙවිට අපේ අගය පෙන්නන්න ඒකම හොඳ හේතුවක් නෙමෙයිද? ඒ අගය දෙවිට සතුටින් සේවය කරන්න අපි තුළ පෙලඹීමක් ඇති කරන්නේ නැද්ද?
හේසූස් කියන දේ බලන්න. “මට රස්සාවෙන් තොර ජීවිතයක් තිබුණේ නැහැ. සමහර වෙලාවට මං එක දිගට දවස් ගාණක් වැඩ කළා. මට ඕනෙ වුණේ පුළුවන් තරම් සල්ලි හම්බ කරන්න. ඔය අතරේ මං යෙහෝවා දෙවි ගැන දැනගත්තා. අපි වෙනුවෙන් ඔහුගේ එකම පුතාව දුන්නා කියලා ඉගෙනගත්තම ඔහුට සේවය කරන්න මට ලොකු ආසාවක් ඇති වුණා. මං
දෙවිට මගේ ජීවිතේ කැප කළා. අවුරුදු 28ක් තිස්සේ කරකර හිටපු රස්සාවෙන් අස් වෙලා පූර්ණකාලීනව දෙවිට සේවය කරන්න මං තීරණය කළා.” එදා ඉඳන් දැන් අවුරුදු ගාණක් තිස්සේ එයා දෙවිට සතුටින් සේවය කරනවා.ධර්මිෂ්ඨ ප්‍රමිති රකිද්දී ලැබෙන්නේ සතුටක් මිසක් දුකක් නෙමෙයි. යෙහෝවා දෙවිව දැනගන්න කලින් ඔයාගේ ජීවිතේ කොයි වගේද කියලා ඔයාට මතකද? පාවුල් රෝමයේ ක්‍රිස්තියානීන්ට මතක් කළේ කලින් ඔවුන් “පව්කාර ස්වභාවයට වහල්ව” හිටියත් දැන් “ධර්මිෂ්ඨකමට දාසයන්ව” ඉන්නවා කියලයි. “ඔබ ශුද්ධය. ඔබ අද්දකින ප්‍රතිඵලය එයයි” කියලා ඔහු ඔවුන්ට කිව්වා. එය මඟ පෑදුවේ සදාකාල ජීවනයටයි. (රෝම 6:17-22) සදාචාරමය අතින් පවිත්‍රව ඉන්න නිසා, සැහැසික දේවලට හවුල් නොවී ඉන්න නිසා අපි ගත කරන්නෙත් ශුද්ධ ජීවිතයක්. ඒක සතුටක් නෙමෙයිද!
බොක්සිං ක්‍රීඩාවේ යෙදුණු හයිමෙට දෙවි ගැන විශ්වාසයක් තිබුණේ නැහැ. රැස්වීම්වලට ගියාම සහෝදරයන් අතරේ තියෙන ආදරේ දැකලා එයා පුදුම වුණා. ජීවිතේ වෙනස් කරගෙන දෙවි ගැන විශ්වාසයක් ඇති කරගන්න උදව් කරන්න කියලා එයා දෙවිගෙන් ඉල්ලුවා. එයා මෙහෙම කියනවා. “දායාන්විත දෙවි කෙනෙක් ඉන්නවා කියලත් එයා ආදරණීය තාත්තා කෙනෙක් කියලත් මට ටිකෙන් ටික වැටහුණා. දෙවිගේ ප්‍රතිපත්ති රකින එක මට ලොකු ආරක්ෂාවක්. මාත් එක්ක බොක්සිං ගහපු කීපදෙනෙක්ම මේ වෙනකොට මැරිලා. ජීවිතේ වෙනස් කරගත්තේ නැත්නම් මේ වෙද්දී මාත් මැරිලා. දෙවිට සේවය කරමින් ගත කරන මේ කාලේ තමයි මං සතුටින්ම ගත කරන කාලේ.”
අත්හරින්න එපා!
විනාශය එන කල් බලාගෙන ඉන්න මේ කාලය ගැන අපිට හැඟෙන්න ඕනෙ කොහොමද? ‘දෙවිගේ බලය ක්‍රියාත්මක වීමට ඉඩ දීමෙන් වපුරන තැනැත්තා සදාකාල ජීවනය නෙළාගනියි’ කියලා බයිබලේ කියනවා. ඒ නිසා “අපගේ උත්සාහය අත් නොහැර දිගටම යහපත් දේ කරමු. මන්ද අප විඩාවට පත් වී හෙම්බත් වන්නේ නැත්නම් නියමිත කාලයේදී ප්‍රතිඵල නෙළාගන්න අපට හැකි වේ.” (ගලා. 6:8, 9) “මහත් පීඩාවෙන්” බේරෙන්න ඕනෙ කරන ගුණාංග වර්ධනය කරගන්න අපි මහන්සි වෙද්දී දෙවි උදව් කරනවා. පීඩා එද්දී ඒවා විඳදරාගෙන දිගටම සතුටින් සේවය කරන්නත් ඔහු අපිට උදව් කරනවා.—එළි. 7:9, 13, 14; යාකො. 1:2-4.
දෙවි ගැනත් ඔහුගේ නාමය ගැනත් අපිට තියෙන ආදරේ, විඳදරාගෙන කරන සේවය දෙවිට අමතක වෙන්නේ නැහැ. ඔහු අනිවාර්යයෙන්ම ආශීර්වාද කරනවා. දිගටම සතුටින් සේවය කළොත් ඔයාටත් මෙහෙම කියන්න පුළුවන් වෙයි. “යෙහෝවා දෙවි සැමවිටම මා ඉදිරියේ සිටිනවා කියා මම විශ්වාස කරමි. ඔහු මාගේ දකුණු පැත්තේ සිටින නිසා මම නොසැලී සිටිමි. මාගේ පවිත්‍ර හදවත ප්‍රීතියෙන් ඉපිල යන්නේය. මම ප්‍රීතියෙන් ඉපිල යන්නෙමි. මාගේ ජීවිතය ගැන මා තුළ කිසි බියක් නැත.”—ගීතා. 16:8, 9.