Skip to content

පටුනට යන්න

අනුකම්පාවෙන් පිරුණු යෙහෝවා දෙවි වගේ වෙමු

අනුකම්පාවෙන් පිරුණු යෙහෝවා දෙවි වගේ වෙමු

“යෙහෝවා දෙවි වන මා දයාන්විතය. අනුකම්පාවෙන් පිරුණු දෙවි කෙනෙක්ය.”—නික්. 34:6, NWT.

ගීතිකා: 57, 147

1. තමන් මොන වගේ කෙනෙක්ද කියලා යෙහෝවා දෙවි මෝසෙස්ට පැහැදිලි කළේ කොහොමද? ඒක වැදගත් වුණේ ඇයි?

තමන් මොන වගේ කෙනෙක්ද කියලා එක අවස්ථාවක යෙහෝවා දෙවි මෝසෙස්ට පැහැදිලි කළා. ඒ වෙලාවේ දෙවි ඔහුගේ නම ගැන, ඔහුගේ සමහර ගුණාංග ගැන මෝසෙස්ට කිව්වා. දෙවි මුලින්ම කිව්වේ තමන් දයාන්විත, අනුකම්පාවෙන් පිරුණු දෙවි කෙනෙක් කියලයි. * (නික්මයාම 34:5-7 කියවන්න.) ඕනෙ නම් දෙවිට තිබුණා තමන්ගේ බලය, ප්‍රඥාව ගැන මෝසෙස්ට කියන්න. ඒත් ඒ වෙලාවේ මෝසෙස්ට අවශ්‍ය වෙලා තිබුණේ දෙවි තමන්ගේ සහයට ඉන්නවා කියන දේ තහවුරු කරගන්නයි. ඒකයි දෙවි තමන් සතු ලස්සන ගුණාංග ගැන එයාට කියලා එයාගේ උදව්වට තමන් ඉන්නවා කියන දේ තහවුරු කළේ. (නික්. 33:13) දෙවිගේ ඒ ලස්සන ගුණාංග ගැන හිතද්දී ඔයාගේ උදව්වටත් දෙවි ඉන්නවා කියන නිසැකකම මෝසෙස්ට වගේ ඔයාටත් ඇති වෙනවාද? ඒ ගුණාංගවලින් එකක් වන අනුකම්පාව ගැන දැන් අපි බලමු. අනුකම්පාව තියෙන කෙනෙක් අනිත් අය විපතකට මුහුණ දීලා ඉද්දී එයාලගේ තත්වය තේරුම් අරන් එයාලා වෙනුවෙන් යමක් කරන්න පෙලඹෙනවා.

2, 3. (අ) මිනිසුන්ට අනිත් අය ගැන අනුකම්පාවක් දැනෙන්නේ ඇයි? (ආ) අනුකම්පාව පෙන්නන එක ගැන අපි තව වැඩියෙන් ඉගෙනගන්න ඕනෙ ඇයි?

2 යෙහෝවා දෙවි අනුකම්පාවෙන් පිරුණු දෙවි කෙනෙක්. ඔහු මිනිසුන්ව නිර්මාණය කළේ තමන්ගේ ගතිලක්ෂණ ඇතුව. වේදනාවෙන් ඉන්න කෙනෙක්ව දැක්කාම ඕනෑම කෙනෙක්ට නිරායාසයෙන්ම අනුකම්පාවක් ඇතිවෙන්නේ ඒ නිසයි. (උත්. 1:27) අනිත් අයට අනුකම්පාව පෙන්නපු අය ගැන හුඟක් වාර්තා බයිබලේ තියෙනවා. මතකද, ස්ත්‍රීන් දෙන්නෙක් දරුවෙක්ව අයිති කරගන්න සලමොන් රජ ඉදිරියේ වාද කරපු අවස්ථාව? ඇත්තටම දරුවාගේ අම්මා කවුද කියලා දැනගන්න රජට ඕනෙ වුණ නිසා එයා කිව්වා දරුවාව දෙකට කපන්න කියලා. ඒ වෙලාවේ දරුවාගේ ඇත්ත අම්මාට දරුවා ගැන ඇති වුණ අනුකම්පාව නිසා ඒ දේ කරන්න එපා කියලා බැගෑපත් වුණා. (1 රාජා. 3:23-27) පාරාවෝගේ දුව අනුකම්පාව පෙන්නපු තවත් කෙනෙක්. ළදරු වියේ හිටපු මෝසෙස්ව දැක්කාම එයාට “දරුවා ගැන අනුකම්පාවක් ඇති වුණා.” එයා දැනගත්තා ඒ දරුවා හෙබ්‍රෙව්වරුන්ගේ දරුවෙක් කියලා. එයාලව මරන්නයි නියෝග කරලා තිබුණේ. ඒත් එයා තීරණය කළා ඒ දරුවාව එයාගෙම පුතෙක් විදිහට හදාගන්න.—නික්. 2:5, 6.

3 තව වැඩියෙන් අනිත් අයට අනුකම්පාවෙන් සලකන්න අපි ඉගෙනගන්න ඕනෙ ඇයි? මොකද දෙවිට ඕනෙ අපි ඔහුව ආදර්ශයට ගන්නවා දකින්නයි. (එෆී. 5:1) දෙවි අපිව නිර්මාණය කළේ ඒ ගතිලක්ෂණය ඇතුව වුණත් අපිට පාපය උරුම වෙලා තියෙන නිසා අපි තුළ ආත්මාර්ථකාමී හැඟීම් ඇති වෙන්න පුළුවන්. සමහර වෙලාවලදී කෙනෙක්ට උදව් කරන්න ඕනෙ වුණත් අපේ පහසුව, වෙන්න පුළුවන් අවාසි ගැන හිතලා ඒ දේ නොකර ඉන්න පෙලඹෙන්න ඉඩ තියෙනවා. එහෙමනම් අනිත් අයට අනුකම්පාවෙන් සලකන්න ඉගෙනගන්න පුළුවන් කොහොමද? මුලින්ම අපි යෙහෝවා දෙවිගේ ආදර්ශය ගැනත් දෙවිව ආදර්ශයට ගත්ත කීපදෙනෙක් ගැනත් බලමු. දෙවි වගේ අනිත් අයට අනුකම්පාවෙන් සලකන්න අපිට පුළුවන් කොහොමද කියලත් ඒකෙන් අපිට ලැබෙන ප්‍රයෝජන ගැනත් ඊළඟට බලමු.

අනුකම්පාව පෙන්නන හොඳම තැනැත්තා යෙහෝවා දෙවි

4. (අ) දෙවි සොදොම් නගරෙට දේවදූතයන්ව යැව්වේ ඇයි? (ආ) ලොත්ගේ සිද්ධියෙන් අපි ඉගෙනගන්නේ මොනවාද?

4 යෙහෝවා දෙවි අනුකම්පාව පෙන්නපු හුඟක් අවස්ථා ගැන බයිබලේ සඳහන් වෙනවා. දෙවි ලොත් වෙනුවෙන් කරපු දේ ගැන හිතන්න. ලොත් ධර්මිෂ්ඨ කෙනෙක්. සොදොම් සහ ගොමෝරා නගරවල ජීවත් වුණ අයගේ නින්දිත ක්‍රියා දැකලා එයා “බොහෝ සෙයින් දුක් වුණා.” දෙවිගේ නීති තුට්ටුවකටවත් මායිම් නොකළ ඒ මිනිසුන්ව විනාශ කරන්න දෙවි තීරණය කළා. (2 පේතෘ. 2:7, 8) ඊට කලින් ඒ ගැන ලොත්ට කියන්න දෙවි දේවදූතයන්ව එව්වා. ඒත් ‘ලොත් එතැනින් පිට වී යන්න ප්‍රමාද වුණා. යෙහෝවා දෙවි ඔහුට අනුකම්පා කළ නිසා [දේවදූතයන්] දෙදෙනා ලොත්වත් ඔහුගේ භාර්යාවත් දූවරුන්වත් අතින් අල්ලාගෙන නුවරින් පිටතට දුවගෙන ගියා.’ (උත්. 19:16) එදා දෙවි ලොත් හිටපු තත්වය තේරුම් අරන් එයාට අනුකම්පා කළා. ඒ වගේ අද අපිත් දුෂ්කර දේවල් අද්දකිද්දී දෙවි අපේ තත්වයත් තේරුම්ගන්නවා කියලා අපිට නිසැකයි.—යෙසා. 63:7-9; යාකො. 5:11; 2 පේතෘ. 2:9.

5. අනුකම්පාව පෙන්නන්න ඉගෙනගන්න 1 යොහන් 3:17 වගේ බයිබල් පද අපිට උදව් වෙන්නේ කොහොමද?

5 යෙහෝවා දෙවි තමන්ගේ සේවකයන්ට අනුකම්පාව පෙන්නුවා විතරක් නෙමෙයි අනුකම්පාව පෙන්නන එකේ වැදගත්කමත් ඉගැන්නුවා. දෙවි දුන්න මේ නීතිය බලන්න. කෙනෙක් ණයක් ගත්තොත් ණයහිමියාට පුළුවන් ණයගැතියාගේ පිට වස්ත්‍රය ඇපයක් විදිහට තියාගන්න. (නික්මයාම 22:26, 27 කියවන්න.) ඒත් ඉර බහින්න කලින් ඒක ආපහු එයාට දෙන්න ඕනේ. එහෙම නොකළොත් එයාට සීතලට පොරවගන්න දෙයක් නැති වෙනවා. හිතක් පපුවක් නැති කෙනෙක් නම් පිට වස්ත්‍රය ආපහු දෙන්න කැමති වෙන එකක් නැහැ. ඒත් යෙහෝවා දෙවි ඔහුගේ සෙනඟට ඉගැන්නුවේ අනිත් අයට අනුකම්පාව පෙන්නන්න කියලයි. ඒ නීතියෙන් අපි ඉගෙනගන්නේ මොකක්ද? සහෝදරයෙක් විපතකට මුහුණ දීලා ඉද්දී ඒක දැක්කේ නැහැ වගේ ඉන්න එපා. ඔයාගේ පැත්තෙන් කරන්න පුළුවන් දෙයක් තියෙනවා නම් ඒක කරන්න.—කොලො. 3:12; යාකො. 2:15, 16; 1 යොහන් 3:17 කියවන්න.

6. අකීකරු ඊශ්‍රායෙල්වරුන්ට දෙවි අනුකම්පාව පෙන්නුව විදිහෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොකක්ද?

6 ඊශ්‍රායෙල්වරු දෙවිට අකීකරු වෙද්දීත් දෙවි එයාලට අනුකම්පා කළා. බයිබලේ කියන්නේ යෙහෝවා දෙවි ‘තම සෙනඟට අනුකම්පා කළ නිසා පණිවිඩකරුවන්ව එවා ඔවුන්ට නැවත නැවතත් අනතුරු ඇඟෙව්වා’ කියලයි. (2 ලේක. 36:15) දෙවිට අකීකරු වුණ අයටත් දෙවි අනුකම්පාව පෙන්නුවා නම් තාමත් යෙහෝවා දෙවි ගැන දන්නේ නැති අය ගැන දෙවිට කොහොම හැඟෙනවා ඇද්ද? එයාලගෙන් සමහරදෙනෙක් ජීවිත වෙනස් කරගෙන දෙවිගේ යාළුවන් වෙයි. එහෙම අය ගැන අපිටත් අනුකම්පාවක් දැනෙන්න ඕනෙ නේද? ළඟ ළඟ එන විනාශයේදී කිසිම කෙනෙක් විනාශ වෙනවාට දෙවි කැමති නැහැ. (2 පේතෘ. 3:9) මිනිසුන්ට පසුතැවිලි වෙන්න දෙවි ඉඩ දීලා තියෙන මේ කාලෙදී පුළුවන් තරම් දෙනෙක්ට විනාශය ගැන අනතුරු අඟවමු. දෙවි පෙන්නන අනුකම්පාවෙන් ප්‍රයෝජන ගන්න එයාලට උදව් කරමු.

7, 8. දෙවි එයාලට අනුකම්පාව පෙන්නුවා කියලා එක පවුලකට හැඟුණේ ඇයි?

7 දෙවි අනුකම්පාවෙන් පිරුණු කෙනෙක් කියලා පැහැදිලි වෙන අද්දැකීම් ඕනෑ තරම් තියෙනවා. ඒ වගේ එක අද්දැකීමක් මේ. 1990 ගණන්වල බොස්නියාවේ ජනවාර්ගික ගැටුම් තිබුණා. එයාලා එකිනෙකාව මරාගත්තා. ඔය කාලෙදී බොස්නියාවේ හිටපු පවුලක් සාක්ෂිකරුවන් පිරිසක් එක්ක සර්බියාවේ තිබුණ සමුළුවකට යන්න පිටත් වුණා. ඒ පවුලේ හිටියේ අම්මායි, තාත්තායි, පුතාලා දෙන්නායි. ලොකු පුතාට වයස 12ක් විතර ඇති. එයාගේ අම්මායි, තාත්තායි ඒ සමුළුවේ බව්තීස්ම වෙන්නයි හිටියේ. දේශ සීමාවෙදී සොල්දාදුවන්ට තේරුණා ඒ පවුලේ අය වෙනත් ජන පිරිසකට අයිතියි කියලා. ඒ නිසා ඒ 4දෙනාව බස් එකෙන් බස්සගෙන අනිත් අයට යන්න කිව්වා. ඒ පවුලේ අයව දවස් 2ක් රඳවගෙන හිටියා. අන්තිමේදී එතන හිටපු නිලධාරියෙක් එයාගේ ප්‍රධානියාට කතා කරලා ‘මෙයාලට මොකද කරන්නේ’ කියලා ඇහුවා. ‘වෙඩි තියලා දානවා’ කියලා ඉහළ නිලධාරියා අණ දෙනවා එයාලට ඇහුණා.

8 සොල්දාදුවන් කතා කරකර ඉද්දී අඳුරන්නේ නැති දෙන්නෙක් මේ පවුලේ අය ළඟට ආවා. එයාලා සාක්ෂිකරුවන් කියලත් වෙච්ච දේ ගැන බස් එකේ හිටපු අයගෙන් දැනගත්තා කියලත් ඒ දෙන්නා කිව්වා. දේශ සීමාව හරහා යද්දී දරුවන්ගේ ලියකියවිලි පරීක්ෂා කරන්නේ නැති නිසා පුතාලා දෙන්නාට ඒ සහෝදරයන් ආපු කාර් එකේ යන්න පුළුවන් කියලා එයාලා කිව්වා. අම්මාටයි, තාත්තාටයි එයාලා කිව්වා දේශ සීමාවේ මුරපොළ පිටිපස්සෙන් ගිහින් සර්බියාව පැත්තට පැනගන්න කියලා. ඒ වෙලාවේ අම්මලා ඒ සහෝදරයන්ගෙන් මෙහෙම ඇහුවා. “ඔයාලා හිතනවාද මෙයාලා අපිට නිකම්ම යන්න දෙයි කියලා?” පුදුමේ කියන්නේ අම්මලා එතනින් පැනගත්තත් සොල්දාදුවන් එයාලව දැක්කේ නැහැ. දේශ සීමාවේ එහා පැත්තෙදී 4දෙනා ආයෙත් එකතු වෙලා සමුළුවට ගියා. උදව් ඉල්ලලා කරපු යාච්ඤාවලට දෙවි උත්තර දුන්න විදිහ එදා එයාලා අද්දැක්කා. තමන්ගේ සේවකයන් අනතුරුවලට මුහුණ දෙන හැම අවස්ථාවකදීම යෙහෝවා දෙවි ඒ විදිහට මැදිහත් වෙන්නේ නැහැ කියලා අපි දන්නවා. (ක්‍රියා 7:58-60) ඒත් එදා වුණ දේ ගැන ලොකු පුතා මෙහෙම කිව්වා. “මට නම් හිතෙන්නේ එදා යෙහෝවා දෙවි දේවදූතයන් එවලා සොල්දාදුවන්ගේ ඇස් අන්ධ කරලා අපිව බේරගත්තා” කියලා.—ගීතා. 97:10.

9. යේසුස්ට ඇහුම්කන් දෙන්න ආපු සෙනඟ ගැන ඔහුට හැඟුණේ කොහොමද? (ලිපියේ මුල් පින්තූරය බලන්න.)

9 යේසුත් අපිට හොඳ ආදර්ශයක්. ඔහුට ඇහුම්කන් දෙන්න ආපු සෙනඟ “එඬේරෙකු නැති බැටළුවන් මෙන් දරුණු ලෙස හිරිහැර විඳිමින් විසිර ගොස් සිටින” විදිහ දැක්කාම යේසුස්ට එයාලා ගැන අනුකම්පාවක් දැනුණා. “ඔවුන්ට බොහෝ දේ උගන්වන්න” ඔහු පෙලඹුණේ ඒ නිසයි. (මතෙ. 9:36; මාක් 6:34 කියවන්න.) ඒත් එදා හිටපු පරිසිවරු යේසුස්ට වඩා හාත්පසින්ම වෙනස්. මිනිසුන්ට උදව් කරන්න එයාලට කිසිම වුවමනාවක් තිබුණේ නැහැ. (මතෙ. 12:9-14; 23:4; යොහ. 7:49) මිනිසුන්ට දෙවි ගැන කියලා දෙන්න යේසුස්ට වගේ ඔයාටත් ලොකු ආසාවක් තියෙනවාද?

10, 11. හැම වෙලේම අපි අනුකම්පාව පෙන්නන්න ඕනෙද? පැහැදිලි කරන්න.

10 මිනිසුන් ගැන අනුකම්පාවක් තියෙනවා කියන්නේ අපි හැම වෙලේම හැඟීම්වලට වහල් වෙලා වැඩ කරනවා කියන එකද? මේ සිද්ධිය ගැන හිතන්න. දෙවිගේ සෙනඟට සතුරුකම් කරපු අමලෙක්වරුන්වත් එයාලට අයිති හැම දෙයක්මත් විනාශ කරන්න කියලා දෙවි සාවුල් රජුට කිව්වා. ඒත් සාවුල් අමලෙක්වරුන්ගේ රජ වුණ ආගග්වයි, සතුන්වයි මැරුවේ නැහැ. සාවුල් හිතුවේ එයා අනුකම්පාව පෙන්නනවා කියලයි. ඒත් එයා කළේ දෙවිට අකීකරු වෙන එකයි. ඒ නිසා දෙවි එයාව ප්‍රතික්ෂේප කළා. (1 සාමු. 15:3, 9, 15) මිනිසුන්ගේ හිතේ තියෙන දේ දකින්න දෙවිට හැකියාව තියෙන නිසා අනුකම්පාව පෙන්නන්න ඕනෙ කොයි වෙලේද නැත්තේ කොයි වෙලේද කියලා ඔහු දන්නවා. ඔහුගේ විනිශ්චයන් ධර්මිෂ්ඨයි. (විලා. 2:17; එස. 5:11) දෙවිට අකීකරු වෙන හැම කෙනෙක්වම ළඟදීම ඔහු විනිශ්චය කරන්න යනවා. (2 තෙස. 1:6-10) ඒ කාලෙදී දෙවි දුෂ්ටයන්ට කිසිම අනුකම්පාවක් පෙන්නන්නේ නැහැ. දෙවි එයාලව විනාශ කරන්නේ තමන් රැකවරණය දෙන ධර්මිෂ්ඨ අය ගැන ඔහුට තියෙන අනුකම්පාව නිසයි.

11 විනාශ වෙන්න ඕනෙ කවුද බේරෙන්න ඕනෙ කවුද කියලා විනිශ්චය කරන්න අපිට අයිතියක් නැහැ. ඒ වෙනුවට අපි කරන්න ඕනෙ පුළුවන් උපරිමයෙන් අනිත් අයට උදව් කරන එක. අනිත් අයට අනුකම්පාව පෙන්නන්න පුළුවන් විදි කීපයක් දැන් බලමු.

අනුකම්පාව පෙන්නන්න

12. එදිනෙදා වැඩවලදී අනිත් අයට අනුකම්පාව පෙන්නන්න පුළුවන් කොහොමද?

12 එදිනෙදා වැඩවලදී උදව් කරන්න. අපි අපේ සහෝදරයන්ට, අසල්වැසියන්ට අනුකම්පාව පෙන්නයි කියලා දෙවි බලාපොරොත්තු වෙනවා. (යොහ. 13:34, 35; 1 පේතෘ. 3:8) අනුකම්පාව තියෙන කෙනෙක් තවත් කෙනෙක් ප්‍රශ්නෙකට මුහුණ දෙද්දී එයා ළඟින්ම ඉඳලා එයාගේ දුක බෙදාගන්නවා. එයාට උදව් කරනවා. අනිත් අයට උදව් කරන්න අපි අවස්ථාවන් හොයන්න ඕනේ. කෙනෙක්ට ගෙදර දොරේ වැඩක් කරලා දෙන්න, කඩෙන් බඩු ටිකක් ගෙනත් දෙන්න ඔයාට ඉදිරිපත් වෙන්න පුළුවන්ද?—මතෙ. 7:12.

අවශ්‍ය උදව් ලබා දීලා අනුකම්පාව පෙන්නන්න (12 ඡේදය බලන්න)

13. ස්වාභාවික විපතක් වුණාම අපි ඉදිරිපත් වෙන්නේ මොනවා කරන්නද?

13 සහන සේවා වැඩවලට හවුල් වෙන්න. ස්වාභාවික විපත් නිසා මිනිසුන් දුක් විඳිනවා දකිද්දී අපි අනුකම්පාවෙන් පෙලඹෙන්නේ නැද්ද? ඒ වගේ වෙලාවලදී උදව් කරන්න ඉදිරිපත් වෙන අය හැටියට සාක්ෂිකරුවන් ප්‍රසිද්ධයි. (1 පේතෘ. 2:17) ජපානයේ එක සහෝදරියක් ජීවත් වුණ ප්‍රදේශයට 2011දී ඇති වුණ සුනාමිය දරුණු විදිහට බලපෑවා. රටේ විවිධ පැතිවලින්, වෙන රටවලින් සහෝදරයන් හුඟදෙනෙක් ඇවිත් හානි වෙලා තිබුණ ගෙවල්, නමස්කාර මධ්‍යස්ථාන ආයෙත් හදන විදිහ ඒ සහෝදරිය දැක්කා. එයා මෙහෙම කිව්වා. “මේ අද්දැකීමෙන් මං තේරුම්ගත්තා යෙහෝවා දෙවි අපි ගැන කොච්චර සැලකිලිමත්ද කියලා. සාක්ෂිකරුවන් එකිනෙකාට කොයි තරම් ආදරේද කියලත් මං දැක්කා. ලෝකේ පුරා ඉන්න හුඟදෙනෙක් අපි වෙනුවෙන් යාච්ඤා කළා.”

14. මහලු අයට, අසනීපයෙන් ඉන්න අයට උදව් කරන්න පුළුවන් කොහොමද?

14 මහලු අයට, අසනීපයෙන් ඉන්න අයට උදව් කරන්න. අසනීප නිසා, මහලු විය නිසා දුෂ්කරතා අද්දකින අය දැක්කාම අපිට අනුකම්පාවක් දැනෙනවා. දේවරාජ්‍යයේ පාලනය මේ පොළොවට ගේන්න කියලා අපි ඉල්ලන්නේ ඒ වගේ අභියෝග නැති කාලේ එන කල් අපි බලාගෙන ඉන්න නිසයි. ඒ වෙන කල් ඒ වගේ අයට උදව් කරන්න අපිට පුළුවන් හැම දේම කරමු. එක ලේඛකයෙක් ඇල්සයිමර් රෝගියෙක් වුණ එයාගේ අම්මා ගැන විස්තර ලියපු පොතක මේ සිද්ධිය ගැන ලිව්වා. දවසක් අම්මා ඇඳුමේ ජරා කරගෙන ඒක සුද්ද කරන්න උත්සාහ කරකර ඉද්දී එයාව නිතරම වගේ බලන්න එන සාක්ෂිකරුවන් දෙන්නෙක් ගෙදරට ඇවිත්. එයාට උදව් කරන්නද කියලා ඒ දෙන්නා අහලා තියෙනවා. අකමැත්තෙන් වුණත් අම්මා එයාලගේ උදව් පිළි අරන්. සුද්ද පවිත්‍ර වෙන්න අම්මාට උදව් කළාට පස්සේ තේ එකකුත් හදලා දීලා එයාලා අම්මා එක්ක කතා කරකර ඉඳලා තියෙනවා. ඒ සාක්ෂිකරුවන් දෙන්නාව අගය කරන ලේඛකයා මෙහෙම ලිව්වා. එයාලා “උගන්වන දේ පිළිපදින කට්ටියක්.” මහලු අය, අසනීපයෙන් ඉන්න අය ගැන ඔයාටත් අනුකම්පාවක් දැනෙනවාද? එයාලා වෙනුවෙන් ඔයාට පුළුවන් හැම දේම කරන්න ඔයා පෙලඹෙනවාද?—ෆිලි. 2:3, 4.

15. දේශනා සේවය අනිත් අයට උදව් කරන්න අවස්ථාවක් කියන්නේ ඇයි?

15 යෙහෝවා දෙවිව දැන හඳුන ගන්න උදව් කරන්න. මිනිසුන්ට උදව් කරන්න අපිට පුළුවන් හොඳම විදිහ දෙවි ගැන, දේවරාජ්‍යය ගැන එයාලට කියලා දෙන එක. දෙවිගේ මඟ පෙන්වීම් කොයි තරම් ප්‍රයෝජනවත්ද කියලා තේරුම්ගන්නත් එයාලට උදව් කරන්න. (යෙසා. 48:17, 18) දේශනා සේවය නිසා දෙවිව ගෞරවයට පත් වෙනවා. අනිත් අයට අනුකම්පාව පෙන්නන්නත් පුළුවන් වෙනවා. ඒ නිසා ඒ සේවයේ තව වැඩියෙන් හවුල් වෙන්න ඔයාට පුළුවන්ද?—1 තිමෝ. 2:3, 4.

ඔයාට ලැබෙන ප්‍රයෝජන

16. අනුකම්පාව පෙන්නද්දී අපිට ප්‍රයෝජන ලැබෙන්නේ කොහොමද?

16 අනිත් අයට අනුකම්පාවෙන් සලකද්දී ඒක අපේ ශරීර සෞඛ්‍යයට හොඳයි කියලා විශේෂඥයන් කියනවා. දුෂ්කරතා අද්දකින අයට උදව් කළාම අපිට සතුටක් දැනෙනවා. එයාලව හොඳින් තේරුම්ගන්න, බලාපොරොත්තු අත්හරින්නේ නැතුව ඉන්න අපිට පුළුවන් වෙනවා. (එෆී. 4:31, 32) ආදරෙන් පෙලඹිලා අනිත් අයට උදව් කරද්දී අපිට නිදොස් හෘදය සාක්ෂියක් ඇතුව ඉන්නත් පුළුවන්. මොකද අපි දන්නවා අපි කරන්නේ දෙවි කැමති දේ කියලා. අනිත් අය ගැන අනුකම්පාවක් දැනෙනවා නම් හොඳ දෙමාපියන් වෙන්න, හොඳ සැමියෙක්, බිරිඳක් වෙන්න, හොඳ යාළුවෙක් වෙන්න අපිට පුළුවන්. අනිත් අයට උදව් කරන කෙනෙක්ට උදව් ඕනෙ වෙද්දී එයාට උදව් කරන්නත් ඕන තරම් අය ඉන්නවා.—මතෙව් 5:7; ලූක් 6:38 කියවන්න.

17. තව වැඩියෙන් අනිත් අයට අනුකම්පාව පෙන්නන්න ඔයා කැමති ඇයි?

17 අනිත් අයට අනුකම්පාව පෙන්නන එක අපිට ප්‍රයෝජනවත්. ඒත් අපි එහෙම කරන ප්‍රධානම හේතුව අපිට යෙහෝවා දෙවිව ආදර්ශයට ගන්න ඕනෙ නිසයි. ඔහුට ගෞරවයක් ගේන්න ඕනෙ නිසයි. ආදරේ සහ අනුකම්පාවේ උල්පත වන යෙහෝවා දෙවි අපිට හොඳම ආදර්ශය තිබ්බා. (හිතෝ. 14:31) ඒ නිසා අපි පුළුවන් උපරිමයෙන් ඔහුව ආදර්ශයට ගමු. එතකොට සහෝදර සහෝදරියන්ට තව ළං වෙන්න, අසල්වැසියන්ට තවත් ආදරෙන් සලකන්න අපිට පුළුවන් වෙයි.—ගලා. 6:10; 1 යොහ. 4:16.

^ 1 ඡේ. නික්මයාම 34:6 දෙවි “කරුණාවන්තය” කියනවා වෙනුවට 2013දී සංශෝධනය කළ ඉංග්‍රීසි ‘නව ලොව පරිවර්තනයේ’ සඳහන් වෙන්නේ “අනුකම්පාවෙන් පිරුණු දෙවි කෙනෙක්” කියලයි.