Skip to content

පටුනට යන්න

අපි අපිවම පාලනය කරගන්න ඉගෙනගමු

අපි අපිවම පාලනය කරගන්න ඉගෙනගමු

‘කෙනෙකු තුළ දෙවිගේ බලය ක්‍රියාත්මක වන විට ඔහු තමාව පාලනය කරගනියි.’—ගලා. 5:22, 23.

ගීතිකා: 121, 36

1, 2. (අ) තමාව පාලනය කරගන්නේ නැති අය මුහුණ දෙන්නේ මොන වගේ දේවලටද? (ආ) තමාව පාලනය කරගන්න එක මේ කාලේ වැදගත් ඇයි?

තමාව පාලනය කරගැනීම කියන්නේ යෙහෝවා දෙවිගේ උදව්වෙන් ඇති කරගන්න පුළුවන් ගුණාංගයක්. (ගලා. 5:22, 23) දෙවි ඒ ගුණාංගය 100%ක්ම පෙන්නලා තියෙනවා. ඒත් පාපය උරුම වුණ අය හැටියට අපිට අපිවම පාලනය කරගන්න ලොකු සටනක් කරන්න වෙනවා. අද මිනිසුන් හුඟක් ප්‍රශ්නවලට මුහුණ දෙන්නේ එයාලට තමන්වම පාලනය කරගන්න බැරි වෙලා තියෙන නිසයි. තමන්වම පාලනය කරගන්නේ නැති කෙනෙක් නිතරම වැඩ කල් දානවා. මහන්සි වෙලා වැඩක් කරන්නේ නැහැ. නරක පුරුදුවලට ඇබ්බැහි වෙනවා. අනවශ්‍ය විදිහට ණය වෙනවා. අනිත් අයත් එක්ක රණ්ඩුවලට පැටලෙනවා. හිරේ යනවා. දික්කසාදය, ලිංගිකව බෝ වෙන රෝග, අනවශ්‍ය ගැබ්ගැනීම්, මානසික පීඩනය වගේ දේවලට හේතුවත් මිනිසුන් තමන්වම පාලනය කරගන්නේ නැති එකයි.—ගීතා. 34:11-14.

2 කෙනෙක් තමන්ව පාලනය කරගන්නේ නැති වෙද්දී දුක් විඳින්නේ එයා විතරක් නෙමෙයි අනිත් අයටත් ඒක බලපානවා. අද සමාජයේ ඉන්න වැඩිදෙනෙක් තුළ මේ ගුණාංගය දකින්න නැති තරම්. ඒත් අපි ඒ ගැන පුදුම වෙන්නේ නැහැ. මොකද බයිබලේ කියන්නේ “අවසාන කාලයේ” ජීවත් වෙන වැඩිදෙනෙක්ට ‘තමන්වම පාලනය කරගන්න බැහැ’ කියලයි.—2 තිමෝ. 3:1-3.

3. අපි අපිවම පාලනය කරගන්න ඕනෙ ඇයි?

3 අපි අපිවම පාලනය කරගන්න ඕනෙ ඇයි? ඒකට හේතු 2ක් තියෙනවා. (1) තමන්ගේ හැඟීම්, සිතුවිලි පාලනය කරගන්න පුළුවන් කෙනෙක් බරපතළ ප්‍රශ්නවලට මුහුණ දෙන්න තියෙන ඉඩකඩ අඩුයි. එහෙම කෙනෙක්ට හොඳ බැඳීම් ඇති කරගන්න, කේන්තිය පාලනය කරගන්න, කනස්සල්ලෙන් මිදෙන්න, මානසික පීඩනය අඩු කරගන්න පුළුවන්. (2) කෙනෙක්ට දිගටම දෙවිගේ කිට්ටු මිතුරෙක් වෙලා ඉන්න ඕනෙ නම් එයා තමන් තුළ ඇති වෙන නරක පෙලඹීම්, වැරදි ආශාවන් පාලනය කරගන්නම ඕනේ. ආදම් සහ ඒවට කරන්න බැරි වුණෙත් ඒ දේමයි. (උත්. 3:6) ඒ දෙන්නා වගේ තව කීදෙනෙක් තමන්ව පාලනය කරගන්න අපොහොසත් වුණ නිසා අද දුක් විඳිනවාද!

4. වැරදි ආශාවන් පාලනය කරගන්න ලොකු සටනක් කරන අයට මතක තියාගන්න පුළුවන් මොකක්ද?

4 පාපය උරුම වෙලා තියෙන නිසා අපිට අපිවම පාලනය කරගන්න එක අභියෝගයක් කියලා දෙවි දන්නවා. ඒ නිසා ඔහුට ඕනෙ වැරදි ආශාවන් පාලනය කරගන්න අපිට උදව් කරන්න. (1 රාජා. 8:46-50) දෙවිගේ හිත සතුටු කරන්න ආස වුණත් තමන්ගේ හැඟීම්, සිතුවිලි පාලනය කරගන්න ලොකු සටනක් කරන්න වෙන අය අපි අතරේ ඉන්නවා. හොඳ යාළුවෙක් වගේ යෙහෝවා දෙවි එයාලා ළඟින්ම ඉඳලා ඒ සටන කරන්න එයාලට ලොකු දිරියක් වෙනවා. අපිවම පාලනය කරගන්න දෙවිගේ ආදර්ශය උදව් වෙන්නේ කොහොමද කියලා මේ ලිපියෙන් බලමු. බයිබලේ තියෙන ආදර්ශ සහ අවාදර්ශ ගැනත් අපේ පැත්තෙන් කරන්න පුළුවන් දේවල් ගැනත් අපි බලමු.

හොඳම ආදර්ශය

5, 6. යෙහෝවා දෙවි තියලා තියෙන්නේ මොන වගේ ආදර්ශයක්ද?

5 යෙහෝවා දෙවි තමන්වම පාලනය කරගෙන තියෙන විදිහේ කිසිම අඩුවක් දකින්න නැහැ. (ද්වි. 32:4) අපිට ඒ ගුණාංගය දෙවි තරම්ම අපේ ජීවිතවලින් පෙන්නන්න බැහැ තමයි. ඒත් දෙවිගේ ආදර්ශය ගැන අධ්‍යයනය කරන තරමට තව වැඩියෙන් ඒ ගුණාංගය අපේ ජීවිතවලින් පෙන්නන්න අපිට පුළුවන්. යෙහෝවා දෙවි තමාවම පාලනය කරගන්න කෙනෙක් කියලා පැහැදිලි වෙන්නේ කොහොමද?

6 සාතන් යෙහෝවා දෙවිට විරුද්ධව කැරලිගහපු වෙලාවේ දෙවි දේවල් කරපු විදිහ ගැන හිතන්න. විශ්වාසවන්ත දේවදූතයන් එදා වුණ දේ ගැන පුදුම වෙන්න ඇති. එයාලට සාතන් ගැන තරහක්, පිළිකුලක් ඇති වෙන්න ඇති. සාතන් කරපු දේ නිසා අද්දකින දුෂ්කරතා ගැන හිතද්දී ඔයාටත් එහෙම හැඟෙනවා ඇති. ඒත් සාතන් කැරලිගහපු වෙලාවේ දෙවි කලබල වෙලා වැඩ කළේ නැහැ. ඔහු කාරණා හොඳට කිරලා මැනලා සුදුසුම පියවර ගත්තා. සාතන් කරපු චෝදනාවට දෙවි මුහුණ දෙන්නේ හරිම ඉවසීමෙන්. ඔහු ඒ කාරණාව හසුරුවන්නේ හරිම සාධාරණව. (නික්. 34:6; යෝබ් 2:2-6) ඇයි දෙවි එහෙම කරන්නේ? දෙවි කාලෙට ඉඩහැරියේ කිසිම කෙනෙක් මිය යනවාට ඔහු අකමැති නිසයි. ඔහුට ඕනෙ “පසුතැවිලි වීමේ ප්‍රස්තාව සියලුදෙනාටම ලබා දෙන්නයි.”—2 පේතෘ. 3:9.

7. දෙවිගේ ආදර්ශයෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද?

7 ඉක්මන් වෙලා දෙයක් කියන්න, කරන්න කලින් කාරණා හොඳට කිරලා මැනලා බලන්න ඕනෙ කියලා දෙවිගේ ආදර්ශයෙන් අපි ඉගෙනගන්නවා. ජීවිතේ වැදගත් තීරණයක් ගන්න වෙද්දී වෙලාව අරගෙන ඒ ගැන හොඳට හිතන්න. හරි දේ කරන්න, කියන්න අවශ්‍ය ප්‍රඥාව ඉල්ලලා දෙවිට යාච්ඤා කරන්න. (ගීතා. 141:3) දුකෙන් නැත්නම් කේන්තියෙන් ඉන්න වෙලාවක හදිසි වෙලා දේවල් කරන්න ලේසියෙන්ම පෙලඹෙන්න පුළුවන්. ඒත් එහෙම කරන හුඟක් අය පස්සේ පසුතැවෙනවා.—හිතෝ. 14:29; 15:28; 19:2.

ආදර්ශ සහ අවාදර්ශ

8. (අ) තමාව පාලනය කරගත්ත අය ගැන අපිට ඉගෙනගන්න පුළුවන් කොහෙන්ද? (ආ) වැරදි පෙලඹීම්වලට හසු නොවී ඉන්න යෝසෙප්ට උදව් වුණේ මොකක්ද? (ලිපියේ මුල් පින්තූරය බලන්න.)

8 තමාව පාලනය කරගන්න එකේ වැදගත්කම පැහැදිලි වෙන බයිබලේ සඳහන් ආදර්ශ මොනවාද? ඒ වගේ කෙනෙක් යෝසෙප්. එයා වැඩ කළේ පාරාවෝගේ ආරක්ෂක නිලධාරීන්ගේ ප්‍රධානියා වුණ පොතිෆර්ගේ නිවසේ. “යෝසෙප් ඉතා කඩවසම් පෙනුමක් ඇති කෙනෙක්” නිසා පොතිෆර්ගේ බිරිඳ යෝසෙප් දිහා රාගයෙන් බලන්න පටන්ගත්තා. එයා කීප සැරයක්ම යෝසෙප්ව දුරාචාරයේ යෙදෙන්න පොලඹවාගන්න හැදුවා. ඒ වැරදි පෙලඹීමට අහු නොවී ඉන්න යෝසෙප්ට පුළුවන් වුණේ කොහොමද? ඒකට අහු වුණොත් මොන වගේ අමිහිරි දේවලට මුහුණ දෙන්න වෙයිද කියලා යෝසෙප් කලින්ම හොඳට කල්පනා කරන්න ඇති. දවසක් පොතිෆර්ගේ බිරිඳ යෝසෙප්ගේ ඇඳුමෙන් අල්ලලා එයාව තමන් ළඟට ගන්න හදද්දී යෝසෙප් එතනින් දිව්වා. එයා මෙහෙම කිව්වා. “මේ තරම් දුෂ්ට දෙයක් කර දෙවිට විරුද්ධව මම පව් කරන්නේ කොහොමද?”—උත්. 39:6, 9; හිතෝපදේශ 1:10 කියවන්න.

9. වැරදි පෙලඹීම්වලට අහු නොවී ඉන්න ඔයාගේ පැත්තෙන් ඔයාට කරන්න පුළුවන් මොනවාද?

9 වරදක් කරන්න පෙලඹීමක් එද්දී ඒකට විරුද්ධව සටන් කරන්න ඕනෙ කියන පාඩම යෝසෙප්ගෙන් අපි ඉගෙනගන්නවා. සාක්ෂිකරුවෙක් වෙන්න කලින් සමහරු අධික කෑමට, බීමට ලොල් වෙලා හිටියා. දුම්පානය, මත්ද්‍රව්‍ය, දුරාචාරය වගේ නරක දේවලට ඇබ්බැහි වෙලා හිටියා. එහෙම කෙනෙක්ට බව්තීස්ම වුණාට පස්සෙත් කලින් කරපු නරක දේවල්ම කරන්න පෙලඹීමක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේ පෙලඹීමක් ඔයාට ඇති වුණොත් ඒකට අහු නොවී ඉන්න උදව් වෙන්නේ මොකක්ද? යෙහෝවා දෙවි එක්ක ඔයාට තියෙන බැඳීමට වෙන්න පුළුවන් හානිය ගැන කලින්ම හිතන එක ඔයාට උදව්වක්. වරදක් කරන්න ඔයා පෙලඹෙන්න පුළුවන් අවස්ථා කලින්ම හඳුනගන්න. ඒවා මඟහරින්න ඔයාට පුළුවන් කොහොමද කියලා හිතන්න. (ගීතා. 26:4, 5; හිතෝ. 22:3) වරදකට වැටෙන්න ඉඩ තියෙන අවස්ථාවකට ඔයා මුහුණ දුන්නා කියලා හිතන්න. ඒකට අහු නොවී ඉන්න අවශ්‍ය ප්‍රඥාව සහ ඔයාව පාලනය කරගන්න අවශ්‍ය ශක්තිය ඉල්ලලා ඒ වෙලාවෙම දෙවිට යාච්ඤා කරන්න.

10, 11. (අ) ඉස්කෝලෙදී යෞවනයන් මුහුණ දෙන අභියෝගය මොකක්ද? (ආ) වැරදි පෙලඹීම්වලට අහු නොවී ඉන්න යෞවනයන්ට උදව් වෙන්නේ මොකක්ද?

10 දෙවිට සේවය කරන යෞවන යෞවනියන් හුඟදෙනෙක් එදා යෝසෙප් මුහුණ දුන්න දේටම මුහුණ දෙනවා. කිම් ඒ වගේ යෞවනියක්. එයාගේ පන්තියේ ළමයි සති අන්තවල එයාලා ලබපු ලිංගික අද්දැකීම් ගැන මහ ඉහළින් කතා කරනවා. කිම් ඒ කතාවලට හවුල් වෙන්නේ නැහැ. ඒ නිසා එයා කොන් වෙලා කියලා එයාට හැඟුණ අවස්ථා තියෙනවා. ඒත් එයා දන්නවා හුඟක් යෞවනයන් ඒ වගේ සම්බන්ධකම් පවත්වන්නේ යෞවන කාලෙදී ප්‍රබලව තියෙන ලිංගික හැඟීම් පාලනය කරගන්න බැරි නිසයි කියලා. (2 තිමෝ. 2:22) සමහර ළමයි කිම්ගෙන් අහනවා ‘ඔයා තාමත් කාත් එක්කවත් ඉඳලා නැද්ද’ කියලා. තමන් ලිංගික සම්බන්ධකම් පවත්වන්නේ නැත්තේ ඇයි කියලා පැහැදිලි කරන්න කිම් ඒක අවස්ථාවක් කරගන්නවා. වැරදි පෙලඹීම්වලට විරුද්ධව සටන් කරන කිම් වගේ යෞවන යෞවනියන් හුඟදෙනෙක් අපි අතරේ ඉන්නවා. අපි එයාලව අගය කරනවා. යෙහෝවා දෙවි ඒ අය ගැන කොච්චර ආඩම්බර වෙනවා ඇද්ද!

11 දුරාචාරයේ යෙදෙන්න ආපු පෙලඹීම්වලට විරුද්ධව සටන් නොකරපු අය ගැනත් බයිබලේ සඳහන් වෙනවා. අපිවම පාලනය කරගත්තේ නැත්නම් මොන තරම් අමිහිරි දේවලට මුහුණ දෙන්න වෙනවාද කියලා ඒ අද්දැකීම්වලින් පැහැදිලියි. කිම් මුහුණ දුන්නා වගේ දේකට ඔයාත් මුහුණ දෙනවාද? එහෙමනම් හිතෝපදේශ 7වෙනි පරිච්ඡේදයේ කතා කරන අනුවණ යෞවනයාට වුණ දේ ගැන හිතන්න. අම්නොන් කරපු දේ නිසා ලැබුණ ප්‍රතිඵල ගැන හිතන්න. (2 සාමු. 13:1, 2, 10-15, 28-32) දෙමාපියෙනි, ඒ අවාදර්ශ ගැන පවුලේ නමස්කාරයේදී දරුවන් එක්ක සාකච්ඡා කරන්න. දෙයක් කරන්න කලින් හොඳට හිතලා තමන්වම පාලනය කරගන්න එකේ වැදගත්කම තේරුම්ගන්න ඒක දරුවන්ට උදව් වෙයි.

12. (අ) සහෝදරයන් ගැන ඇති වුණ හැඟීම් යෝසෙප් පාලනය කරගත්තේ කොහොමද? (ආ) අපි අපේ හැඟීම් පාලනය කරගන්න ඕනෙ මොන වගේ අවස්ථාවලදීද?

12 යෝසෙප් එයාවම පාලනය කරගත්ත තවත් අවස්ථාවක් ගැන බයිබලේ සඳහන් වෙනවා. ඒ එයාගේ අයියලා කෑම ගන්න ඊජිප්තුවට ආපු අවස්ථාවයි. එයාලගේ හිතේ තිබුණ දේ තේරුම්ගන්න ඕනෙ වුණ නිසා යෝසෙප් තමන් කවුද කියලා එයාලගෙන් හැංගුවා. ඇඬෙන තරමට හැඟීම් බර වුණාම එයා අයියලාට පේන්නේ නැති තැනකට ගිහිල්ලයි ඇඬුවේ. (උත්. 43:30, 31; 45:1) හිතන්න, සභාවේ කෙනෙක් ඔයාගේ හිත රිද්දුවා කියලා. පස්සේ පසුතැවෙන්න වෙන දෙයක් නොකර ඉන්න නම් යෝසෙප් වගේ ඔයාත් ඔයාගේ හැඟීම් පාලනය කරගන්න ඕනේ. (හිතෝ. 16:32; 17:27) සමහරවිට ඔයාගේ පවුලේ කෙනෙක්ව සභා සාමාජිකත්වයෙන් ඉවත් කරලා ඇති. එයාව ඇසුරු නොකර ඉන්න නම් ඔයාට හැඟීම් පාලනය කරගන්නම වෙනවා. ඒක ලේසි නැති වෙයි. ඒත් හැඟීම් පාලනය කරගන්න උත්සාහ කරද්දී ඔයා ආදර්ශයට ගන්නේ යෙහෝවා දෙවිව. ඔයා කීකරු වෙන්නේ ඔහුගේ ආඥාවලට. ඒ කාරණා මනසේ තියාගන්න එක ඔයාට ඔයාවම පාලනය කරගන්න උදව් වෙයි.

13. දාවිත්ගේ ජීවිතේ සිදුවීම්වලින් අපි ඉගෙනගන්නේ මොනවාද?

13 දාවිත්ගේ ජීවිතෙනුත් අපිට හුඟක් දේවල් ඉගෙනගන්න පුළුවන්. සාවුල් කොච්චර නපුරුකම් කළත් ෂිමෙයි කොයි තරම් නින්දා කළත් දාවිත් කේන්ති ගත්තේවත් ඒ අයට හානියක් කරන්න තමන්ට තිබුණ බලය පාවිච්චි කළේවත් නැහැ. (1 සාමු. 26:9-11; 2 සාමු. 16:5-10) ඒත් හැම කාරණයකදීම දාවිත් තමන්ව පාලනය කරගත්තාද? නැහැ. එයා බැත්ෂෙබා එක්ක අනාචාරයේ යෙදුණා. නාබල්ව මරන්න ලෑස්ති වුණා. (1 සාමු. 25:10-13; 2 සාමු. 11:2-4) මොකක්ද පාඩම? (1) විශේෂයෙන්ම වැඩිමහල්ලන්ට පුළුවන්කමක් තියෙන්න ඕනෙ තමන්වම පාලනය කරගෙන අධිකාරිය වැරදි විදිහට පාවිච්චි නොකර ඉන්න. (2) ‘මං නම් වැරදි පෙලඹීම්වලට අහු වෙන්නේ නෑ’ කියලා හිතලා දේවල් සැහැල්ලුවට ගන්න අපි කාටවත් බැහැ.—1 කොරි. 10:12.

මොනවාද කරන්න පුළුවන්?

14. ලුයිජි මුහුණ දුන්නේ මොන වගේ දේකටද? ඒ වගේ අවස්ථාවලදී අපේ හැසිරීම ගැන සැලකිලිමත් වෙන්න ඕනෙ ඇයි?

14 මේ අද්දැකීම බලන්න. දවසක් වාහනයක් ලුයිජිගේ කාර් එකේ පිටිපස්සේ හැප්පුණා. වරද ඒ රියදුරාගේ අතේ වුණත් එයා ලුයිජිට බණින්න පටන්ගත්තා. සන්සුන්ව ඉන්න උදව් කරන්න කියලා ලුයිජි ඒ වෙලාවේ යාච්ඤා කළා. අනිත් රියදුරාවත් සන්සුන් කරන්න උත්සාහ කළා. ඒත් එයා කෑගහන එක නැවැත්තුවේ නැහැ. ලුයිජි අවශ්‍ය තොරතුරු සටහන් කරගෙන එතනින් යන්න ගියා. ඊට සතියකට විතර පස්සේ සත්‍යයට උනන්දුව දක්වපු කාන්තාවක්ව බලන්න ලුයිජි එයාගේ ගෙදරට ගියා. ලුයිජි එක්ක රණ්ඩුවට ආපු රියදුරා ඒ කාන්තාවගේ සැමියා. එදා තමන් හැසිරුණ විදිහ ගැන එයා ලුයිජිගෙන් සමාව ඉල්ලුවා. ලුයිජිගේ රක්ෂණ සමාගමට කතා කරලා කාර් එක හදන එක ඉක්මන් කරලා දෙන්නම් කියලත් එයා කිව්වා. බයිබල් සාකච්ඡාවටත් එයා හවුල් වුණා. අනතුර වුණ වෙලාවේ සන්සුන්ව දේවල් කරපු එක කොච්චර වටිනවාද කියලා ලුයිජි එදා තේරුම්ගත්තා. කේන්ති අරගෙන කෑගැහුවා නම් මොන තරම් වෙනස් තත්වයකට අද එයාට මුහුණ දෙන්න වෙයිද කියලත් එයා හිතුවා.—2 කොරින්ති 6:3, 4 කියවන්න.

අපි හැසිරෙන විදිහ අපේ සේවයට බලපානවා (14 ඡේදය බලන්න)

15, 16. තව හොඳින් තමාව පාලනය කරගන්න ඔයාටයි, ඔයාගේ පවුලේ අයටයි බයිබලේ අධ්‍යයනය කරන එක උදව් වෙන්නේ කොහොමද?

15 ජීවිතේ විවිධ කාරණාවලදී තව හොඳින් අපිවම පාලනය කරගන්න ඉගෙනගන්න නම් අපි නිතිපතා, කාලේ අරන් බයිබලේ අධ්‍යයනය කරන්න ඕනේ. මතකද, දෙවි යොෂුවාට කිව්ව දේ? “මේ නීතියේ සඳහන් සියල්ල එලෙසම පිළිපදින පිණිස දිවා රෑ දෙකේම එය කියවා ඒ ගැන හොඳින් කල්පනා කර බලන්න. එහි සඳහන් දේවල් ගැන නිතරම අන් අය සමඟ කතා කරන්න. එවිට ඥානවන්තව තීරණ ගෙන ජීවිතය සාර්ථක කරගැනීමට ඔබට හැකි වන්නේය.” (යොෂු. 1:8) ඒත් බයිබලේ අධ්‍යයනය කරන එක උදව් වෙන්නේ කොහොමද?

16 තමාවම පාලනය කරගන්න අය ප්‍රයෝජන ලබන විදිහත් එහෙම නොකරන අය කටුක දේවලට මුහුණ දෙන විදිහත් පැහැදිලි වෙන සිද්ධීන් බයිබලේ තියෙනවා. යෙහෝවා දෙවි ඒවා බයිබලේට ඇතුළත් කළේ හොඳ හේතු ඇතුව. (රෝම 15:4) ඒ සිද්ධීන් කියවන එක, අධ්‍යයනය කරන එක, හොඳින් කල්පනා කරන එක මොන තරම් වටිනවාද! ඒවාවලින් ගන්න පුළුවන් පාඩම් ඔයාටයි, පවුලේ අයටයි අදාළ වෙන්නේ කොහොමද කියලා හිතන්න. බයිබලේ තියෙන උපදෙස් අදාළ කරගන්න දෙවිගෙන් උදව් ඉල්ලන්න. යම් කාරණාවලදී ඔයාට ඔයාවම පාලනය කරගන්න අමාරුයි කියලා තේරුණොත් ඒක ගණන් ගන්නේ නැතුව ඉන්න එපා. ඒ ගැන දෙවිට යාච්ඤා කරන්න. ඒ දුර්වල පැත්ත හදාගන්න වෑයමක් දරන්න. (යාකො. 1:5) ඔයාගේ පැත්තෙන් තව මොනවාද කරන්න පුළුවන් කියලා අපේ ප්‍රකාශනවලින් තොරතුරු හොයන්න.

17. තමන්ව පාලනය කරගන්න දරුවන්ව පුහුණ කරන්න දෙමාපියන්ට පුළුවන් කොහොමද?

17 දෙමාපියෙනි, තමාව පාලනය කරගන්න දරුවන්ව පුහුණ කරන්න ඔයාට පුළුවන් කොහොමද? ඒ ගුණාංගය දරුවන්ට උපතින්ම පිහිටන්නේ නැහැ. ඒ නිසා ඒ ගුණාංගය ඇති කරගන්න දරුවන්ට උදව් කරන්න. ඒක කරන්න පුළුවන් හොඳම විදිහ ඔයාගේ ආදර්ශය. (එෆී. 6:4) දරුවාට ඕනෙ දේ එයා කොහොමහරි කරගන්න හදනවා කියලා ඔයාට තේරුණොත් ඉස්සෙල්ලා ඔයා හොඳ ආදර්ශයක්ද කියලා හිතන්න. වරද්දන්නේ නැතුව සේවයේ, රැස්වීම් යන එකෙන්, පවුලේ නමස්කාරය කරන එකෙන් දරුවන්ට හොඳ ආදර්ශයක් වෙන්න ඔයාට පුළුවන්. යම් දේවල් කරන්න ‘එපා’ කියලා දරුවන්ට කියන්න ඔයාට සිද්ධ වෙයි. දෙවි ආදම් සහ ඒවටත් යම් සීමා දැම්මා. ඒ සීමාවලට යටත් වුණා නම් දෙවිගේ අධිකාරියට ගෞරව කරන්න එයාලට පුළුවන්කම තිබුණා. දෙමාපියනුත් අවශ්‍ය වෙලාවලදී දරුවන්ව හික්මවනවා නම්, එයාලට හොඳ ආදර්ශයක් වෙනවා නම් තමන්වම පාලනය කරගන්න දරුවන් ඉගෙනගන්නවා. යෙහෝවා දෙවි ගැන ආදරයක්, දෙවිගේ මඟ පෙන්වීම් ගැන අගයක් දරුවන්ගේ හිත්වල ඇති කරගන්න උදව් කරන එක තමයි ඔයාට එයාලා වෙනුවෙන් කරන්න පුළුවන් වටිනාම දේ.—හිතෝපදේශ 1:5, 7, 8 කියවන්න.

18. මිතුරන් තෝරගද්දී සැලකිලිමත් වෙන්න ඕනෙ ඇයි?

18 අපි දෙමාපියන් වුණත් නැතත් මිතුරන් තෝරගද්දී සැලකිලිමත් වෙන්න ඕනේ. ඔයාගේ යාළුවන් යෙහෝවා දෙවිට ආදරේ අය නම් දෙවි සතුටු වෙන විදිහට අනාගතය සැලසුම් කරන්න, ප්‍රශ්න ගැටලු වළක්වගන්න එයාලා ඔයාට උදව් කරයි. (හිතෝ. 13:20) එයාලගේ ආදර්ශය ඔයාට ඔයාවම පාලනය කරගන්න උදව් වෙයි. ඔයාගේ යහපත් හැසිරීම එයාලටත් දිරිගැන්වීමක් වෙයි. අපි අපිවම පාලනය කරගන්න ඉගෙනගද්දී දෙවිගේ අනුමැතිය ලබාගන්නත් ආදරය කරන අය එක්ක ජීවිතේ සතුටින් ගත කරන්නත් අපිට පුළුවන් වෙයි.