Skip to content

පටුනට යන්න

“අපේ දෙවිගේ වචනය සදහටම පවතියි”

“අපේ දෙවිගේ වචනය සදහටම පවතියි”

“තණකොළ වියළී යයි. මල පරවී යයි. නමුත් අපේ දෙවිගේ වචනය සදහටම පවතියි.”—යෙසා. 40:8.

ගීතිකා: 95, 97

1, 2. (අ) බයිබලේ තිබුණේ නැත්නම් අපේ ජීවිත කොයි වගේ වෙයිද? (ආ) දෙවිගේ වචනයෙන් ප්‍රයෝජන ලබන්න අපිට උදව් වෙන්නේ මොකක්ද?

හිතන්න, බයිබලේ තිබුණේ නැත්නම් ඔයාගේ ජීවිතේ කොයි වගේ වෙයිද කියලා. ජීවිතේට අවශ්‍ය හොඳ මඟ පෙන්වීම් ඔයාට ලැබෙයිද? දෙවි ගැන, ජීවිතේ ගැන, අනාගතය ගැන ඇත්ත තොරතුරු ඔයා දැනගනියිද? අතීතයේදී යෙහෝවා දෙවි මිනිසුන් වෙනුවෙන් කරපු දේවල් ගැන ඔයාට දැනගන්න පුළුවන් වෙයිද?

2 දෙවි අපිට බයිබලය දීලා අපිව ඒ අඳුරු තත්වයෙන් ගොඩගත්ත එක ගැන අපි කොයි තරම් සතුටු වෙනවාද! යෙසායා 40:8 දෙවි පොරොන්දු වෙලා තියෙනවා ඔහුගේ වචනය සදහටම පවතිනවා කියලා. එතන “දෙවිගේ වචනය” කියලා පාවිච්චි කරලා තියෙන්නේ බයිබලය ගැන විස්තර කරන්න නොවුණත් ඒක බයිබලේ සඳහන් පණිවිඩයට අදාළයි. පේතෘස් එයාගේ ලිපියක ඒ පදය උපුටා දක්වද්දී කියපු දේකින් ඒක පැහැදිලියි. (1 පේතෘස් 1:24, 25 කියවන්න.) බයිබලේ තියෙන දේවල් අපිට හොඳින්ම තේරුම්ගන්න පුළුවන් වෙන්නේ ඒක අපේම භාෂාවෙන් කියවද්දියි. දේවවචනය ගැන ලොකු ඇල්මක් තියෙන අය ඒක හොඳින් දන්නවා. දරුණු විරුද්ධවාදිකම් ආවත් ජීවිත පරදුවට තියලා බයිබලේ පරිවර්තනය කරන්න, ඒක මිනිසුන් අතරේ බෙදාහරින්න සියවස් ගාණක් තිස්සේ හුඟදෙනෙක් වෙහෙසිලා තියෙන්නේ ඒ නිසයි. යෙහෝවා දෙවිට ඕනෙ පුළුවන් තරම් දෙනෙක්ට ‘ගැලවීම ලබාගැනීමටත් සත්‍යය පිළිබඳව නිවැරදි දැනුමක් ලබාගැනීමටත්’ අවස්ථාව දෙන්නයි.—1 තිමෝ. 2:3, 4.

3. අපි මේ ලිපියෙන් බලන්නේ මොනවා ගැනද? (ලිපියේ මුල් පින්තූරය බලන්න.)

3 අපි මේ ලිපියෙන් බලනවා (1) භාෂාවේ සිද්ධ වුණ වෙනස්කම්, (2) දේශපාලන වෙනස්කම්, (3) පරිවර්තන වැඩවලට ආපු විරුද්ධවාදිකම් මැද වුණත් බයිබලය ආරක්ෂා වුණේ කොහොමද කියලා. ඒ තොරතුරු ගැන සලකා බලන එක අපිට ප්‍රයෝජනවත් වෙන්නේ කොහොමද? බයිබලේ ගැන, බයිබලේ කර්තෘ ගැන අපිට තියෙන අගය තව වැඩි කරගන්න ඒ තොරතුරු උදව් වෙයි.—මීකා 4:2; රෝම 15:4.

භාෂාවේ වෙනස්කම් වුණත්

4. (අ) කාලයත් එක්ක භාෂාවන් වෙනස් වෙන්නේ කොහොමද? (ආ) යෙහෝවා දෙවිට එක භාෂාවක් විශේෂ නැහැ කියලා අපි දන්නේ කොහොමද? ඒ ගැන ඔයාට හැඟෙන්නේ කොහොමද?

4 කාලයත් එක්කම භාෂාවන් වෙනස් වෙනවා. සමහර වචනවලට, යෙදුම්වලට අතීතයේ තිබුණ තේරුම නෙමෙයි දැන් තියෙන්නේ. ඔයාගේ භාෂාවෙත් ඒ වගේ වෙනස්කම් වෙලා ඇති. ඈත අතීතයේදී පාවිච්චි කරපු භාෂාවලට වෙලා තියෙන්නෙත් ඒ දේමයි. බයිබලේ ලියපු කාලේ භාවිත කරපු හෙබ්‍රෙව් සහ ග්‍රීක භාෂාවලට වඩා දැන් භාවිත කරන හෙබ්‍රෙව් සහ ග්‍රීක භාෂා හුඟක් වෙනස්. ඒකයි හුඟදෙනෙක්ට ඒ මුල් භාෂාවලින් ලියපු බයිබලේ තේරුම්ගන්න අමාරු. සමහරු හිතනවා අතීත හෙබ්‍රෙව් සහ ග්‍රීක භාෂා ඉගෙනගත්තොත් බයිබලේ තේරුම්ගන්න පුළුවන් කියලා. ඒත් එයාලා හිතන තරම් ප්‍රයෝජනයක් ඒකෙන් ලැබෙන්නේ නැහැ. * කාලයත් එක්කම භාෂාවන් වෙනස් වෙන නිසයි බයිබල් පරිවර්තනයක අවශ්‍යතාව ඇති වුණේ. සම්පූර්ණ බයිබලයම නැත්නම් ඒකේ කොටස් භාෂා 3,000කට විතර පරිවර්තනය කරලා තියෙන එක ගැන අපි කොයි තරම් සතුටු වෙනවාද! දෙවිට ඕනෙ “සියලු ජාතීන්ටත් ගෝත්‍රවලටත් භාෂාවලටත් ජනයාටත්” ශුද්ධ ලියවිල්ලෙන් ප්‍රයෝජන ගන්න අවස්ථාව දෙන්න කියලා ඒකෙන් ඔප්පු වෙනවා. (එළිදරව් 14:6 කියවන්න.) ඒ දේවල් ගැන හිතද්දී හැම කෙනෙක්ටම එක හා සමානව සලකන අපේ ආදරණීය දෙවි යෙහෝවාට අපි තවත් ළං වෙන්නේ නැද්ද?—ක්‍රියා 10:34.

5. “කිං ජේම්ස් වර්ෂන්” කියන පරිවර්තනයේ තියෙන විශේෂත්වය මොකක්ද?

5 භාෂාවල සිද්ධ වුණ වෙනස්කම් බයිබල් පරිවර්තනවලටත් බලපෑවා. බයිබල් පරිවර්තනයක් නිකුත් කරපු මුල් කාලේ ඒක කියවන්න, තේරුම්ගන්න පහසු වුණත් කාලයක් යද්දී ඒ පරිවර්තනයේ තියෙන වචන සහ යෙදුම් තේරුම්ගන්න අමාරු වුණා. 1611 ඉංග්‍රීසියෙන් මුදාහැරපු “කිං ජේම්ස් වර්ෂන්” කියන පරිවර්තනය ඒකට හොඳ උදාහරණයක්. ඒක මිනිසුන් අතරේ හුඟක් ප්‍රසිද්ධ වුණා. ඒකේ තිබුණ සමහර යෙදුම් ඉංග්‍රීසි භාෂාවටත් එකතු වුණා. ඒත් ඒ පරිවර්තනයේ “යෙහෝවා” කියන දෙවිගේ නම සඳහන් වුණේ තැන් කීපයක විතරයි. මුල් හෙබ්‍රෙව් ලියවිලිවල දෙවිගේ නම සඳහන් වෙන හුඟක් තැන්වල ඒ පරිවර්තනයේ දකින්න තියෙන්නේ “ස්වාමීන්” කියන වචනයයි. ඒක කැපිටල් අකුරුවලින් ලියලා තිබුණා. “කිං ජේම්ස් වර්ෂන්” එකේ පස්සේ කාලෙක මුදාහැරපු පිටපත්වල ග්‍රීක ලියවිල්ලේ සමහර තැන්වලත් “ස්වාමීන්” කියන වචනය දකින්න ලැබුණා. අලුත් ගිවිසුමෙත් දෙවිගේ නම සඳහන් වුණා කියන දේ ඒ පරිවර්තකයන් පිළිගත්තා කියලා ඒකෙන් තේරුණා.

6. ‘නව ලොව පරිවර්තනය’ අපි හුඟක් අගය කරන්නේ ඇයි?

6 “කිං ජේම්ස් වර්ෂන්” එක මුදාහැරපු මුල් කාලේ ඒකේ තිබුණ වචන හැමෝටම තේරුම්ගන්න පුළුවන් වුණා. ඒත් කාලයක් යද්දී ඒ වචනවලින් සමහරක් භාවිතයෙන් ඉවත් වුණා. අද ඒ වචනවල අදහස තේරෙන්නෙත් නැති තරම්. ඒ කාලේ වෙනත් භාෂාවලින් නිකුත් කරපු බයිබල් පරිවර්තනවලටත් වෙලා තියෙන්නේ ඒ දේමයි. ඒ නිසයි සරල වචන ඇතුළත් ‘ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය’ ලැබුණ එක ගැන අපි හුඟක් සතුටු වෙන්නේ. ඒ පරිවර්තනය සම්පූර්ණයෙන්ම නැත්නම් ඒකේ කොටසක් භාෂා 150කට වැඩි ගාණකින් ලබාගන්න පුළුවන්. හුඟදෙනෙක්ට තමන්ගේම භාෂාවෙන් ඒක කියවන්න අවස්ථාව තියෙනවා. කාලෙට ගැළපෙන, තේරුම්ගන්න පුළුවන් වචන ඒකේ පාවිච්චි කරලා තියෙන නිසා දෙවිගේ පණිවිඩය ලේසියෙන්ම මිනිසුන්ගේ හදවතට යනවා. (ගීතා. 119:97) ඒත් ‘නව ලොව පරිවර්තනය’ අපිට හුඟක්ම විශේෂ වෙන්නේ මුල් ලියවිලිවල දෙවිගේ නම තිබුණ හැම තැනකම මේ පරිවර්තනයෙත් දෙවිගේ නම සඳහන් වෙන නිසයි.

දේශපාලන වෙනස්කම් මැද

7, 8. (අ) ක්‍රි.පූ. 200 ගණන්වල හිටපු හුඟක් යුදෙව්වන්ට හෙබ්‍රෙව් ලියවිලි තේරුම්ගන්න බැරි වුණේ ඇයි? (ආ) ග්‍රීක “සෙප්ටුඅජින්ට්” එක කියන්නේ මොකක්ද?

7 ලෝකේ සිද්ධ වුණ දේශපාලන වෙනස්කම් නිසා මිනිසුන් පෙදුවේ භාවිත කරපු භාෂාව කාලෙන් කාලෙට වෙනස් වුණා. උදාහරණෙකට බයිබලේ මුල් පොත් 39 ලිව්වේ යුදෙව්වන්. ‘දෙවිගේ පරිශුද්ධ ප්‍රකාශයන් මුලින්ම භාර දෙනු ලැබුවේ එයාලට.’ (රෝම 3:1, 2) එයාලා ඒ පොත් මුලින් ලිව්වේ හෙබ්‍රෙව් නැත්නම් ඇරමයික භාෂාවෙන්. ඒත් ලෝකේ රටවලින් වැඩි හරියක් ග්‍රීසියේ මහා ඇලෙක්සැන්ඩර් රජුගේ පාලනය යටතට පත් වුණාම ග්‍රීක භාෂාව මිනිසුන් වැඩිදෙනෙක් කතා කරන පොදු භාෂාව වුණා. යුදෙව්වන් ඇතුළුව හුඟක් අය තමන්ගේ මව් භාෂාව වෙනුවට ග්‍රීක භාෂාව කතා කරන්න පටන්ගත්තා. (දානි. 8:5-7, 20, 21) ඒ නිසයි ක්‍රි.පූ. 200 ගණන්වල හිටපු යුදෙව්වන්ට හෙබ්‍රෙව් භාෂාවෙන් තිබුණ ලියවිලි තේරුම්ගන්න අමාරු වුණේ. ඒ අභියෝගය ජය ගත්තේ කොහොමද?

8 යේසුස් ඉපදෙන්න අවුරුදු 250කට විතර කලින් බයිබලේ මුල් පොත් 5 ග්‍රීක භාෂාවට පරිවර්තනය කළා. පස්සේ කාලෙක හෙබ්‍රෙව් ලියවිල්ලේ ඉතුරු කොටසත් ග්‍රීක භාෂාවට පරිවර්තනය කළා. ග්‍රීක “සෙප්ටුඅජින්ට්” කියලා හඳුන්වන්නේ ඒ පරිවර්තනයයි. හෙබ්‍රෙව් ලියවිල්ල වෙනත් භාෂාවකට පරිවර්තනය කරපු මුල්ම වතාව ඒකයි.

9. (අ) දේවවචනය කියවපු අයට “සෙප්ටුඅජින්ට්” පරිවර්තනය සහ මුල් කාලේ කරපු වෙනත් පරිවර්තන උදව් වුණේ කොහොමද? (ආ) ඔයා වැඩියෙන්ම කැමති හෙබ්‍රෙව් ලියවිල්ලේ මොන කොටසටද?

9 “සෙප්ටුඅජින්ට්” පරිවර්තනය නිසා ග්‍රීක භාෂාව කතා කරපු යුදෙව්වන්ට හෙබ්‍රෙව් ලියවිලි කියවන්න අවස්ථාව ලැබුණා. එයාලගේ මව් භාෂාව වෙලා තිබුණ ග්‍රීක භාෂාවෙන් දේවවචනය අහන්න, කියවන්න ලැබෙද්දී එයාලා කොයි තරම් සතුටු වෙන්න ඇද්ද! කාලයක් යද්දී බයිබලේ කොටස් සිරියැක්, ගොතික්, ලතින් වගේ හුඟක් අය දැනගෙන හිටපු භාෂාවලටත් පරිවර්තනය කළා. ඒ නිසා තව හුඟදෙනෙක්ට බයිබලේ කියවලා ඒක තේරුම්ගන්න පුළුවන් වුණා. අද අපිට වගේ එයාලටත් ආසම බයිබල් පද තියෙන්න ඇති. (ගීතාවලිය 119:162-165 කියවන්න.) මිනිසුන් පොදුවේ භාවිත කරපු භාෂාව වෙනස් වුණා තමයි. ඒත් දෙවිගේ වචනය ආරක්ෂා වුණ විදිහ හරිම පුදුමයි.

පරිවර්තන වැඩවලට ආපු විරුද්ධවාදිකම් මැද

10. ක්‍රි.ව. 1300 ගණන් වෙද්දී හුඟදෙනෙක්ට බයිබලේ කියවන්න ලැබුණේ නැත්තේ ඇයි?

10 බයිබලේ මිනිසුන් අතට යන එක වළක්වන්න අතීතයේ හිටපු බලපුළුවන්කාර අය නොකරපු දෙයක් නැහැ. ඒ වගේ භයානක කාලෙක වුණත් බයිබලය කොහොමහරි මිනිසුන්ට ලබා දෙන්න තමන්ගේ ජීවිත පරදුවට තියපු අය හිටියා. ක්‍රි.ව. 1300 ගණන්වල එංගලන්තයේ ජීවත් වුණ ජෝන් වයික්ලිෆ් ඒ වගේ කෙනෙක්. ඕනෙම කෙනෙක්ට බයිබලේ කියවන්න අවස්ථාව තියෙන්න ඕනෙ කියලා එයා තදින්ම විශ්වාස කළා. ඒත් එයාගේ කාලේ එංගලන්තයේ හිටපු හුඟදෙනෙක්ට බයිබලේ තියෙන දේවල් ගැන දැනගන්න අවස්ථාව ලැබුණේ නැහැ. මොකද ඒ කාලේ බයිබලේ පිටපත් කළේ අතින් නිසා ඒවා හරිම මිල අධිකයි. ඒ විතරක් නෙමෙයි ඒ කාලේ හිටපු හුඟදෙනෙක් කියවන්න දැනගෙන හිටියෙත් නැහැ. පල්ලි ගියාම බයිබලය කියවනවා අහන්න ලැබුණත් ඒක කියෙව්වේ ලතින් භාෂාවෙන් නිසා වැඩිදෙනෙක්ට ඒක තේරුණා කියලා හිතන්න බැහැ. එහෙමනම් බයිබලේ තියෙන දේවල් මිනිසුන් තේරුම්ගන්නේ කොහොමද?—හිතෝ. 2:1-5.

හැම කෙනෙක්ටම බයිබලය ලබා දෙන්න ජෝන් වයික්ලිෆ්ට සහ පිරිසට තිබුණේ ලොකු ආසාවක්. ඔයාටත් ඒ වගේ ආසාවක් තියෙනවාද? (11 ඡේදය බලන්න)

11. වයික්ලිෆ්ගේ පරිවර්තනය නිසා සිද්ධ වුණේ මොන වගේ වෙනසක්ද?

11 ක්‍රි.ව. 1382දී ජෝන් වයික්ලිෆ් සහ පිරිසක් බයිබලය ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කළා. වයික්ලිෆ්ගේ පරිවර්තනය එයාගේ ශිෂ්‍යයන් වුණ ලොලාඩ්වරු අතරේ හුඟක් ජනප්‍රිය වුණා. බයිබලේ සඳහන් ඉගැන්වීම් සාමාන්‍ය මිනිසුන්ට කියලා දෙන්න එයාලා එංගලන්තය පුරාම තිබුණ ගම් දනව්වලට පයින්ම ගියා. එයාලා මිනිසුන්ට ඇහෙන්න බයිබලය කියෙව්වා. අතින් පිටපත් කරපු බයිබලේ සමහර කොටස් මිනිසුන්ට දුන්නා. එයාලා කරපු ඒ සේවය දේවවචනය ගැන මිනිසුන්ගේ හිත්වල ආයෙත් උනන්දුවක් ඇති කළා.

12. වයික්ලිෆ් ගැන, එයා කරපු සේවය ගැන පූජකයන්ට හැඟුණේ කොහොමද?

12 වයික්ලිෆ් ගැන, එයාගේ පරිවර්තනය ගැන, එයාගේ ශිෂ්‍යයන් ගැන පූජකයන්ට තිබුණේ දැඩි වෛරයක්. එයාලා ලොලාඩ්වරුන්ට වධ හිංසා කළා. වයික්ලිෆ්ගේ පරිවර්තනයේ හොයාගන්න පුළුවන් වුණ හැම පිටපතක්ම විනාශ කරලා දැම්මා. ඒ වෙද්දී වයික්ලිෆ් මිය ගිහින් හිටියත් පූජකයන් එයාව පල්ලියේ ඉගැන්වීම්වලට ද්‍රෝහි වුණ කෙනෙක් හැටියට නම් කළා. පූජකයන් වයික්ලිෆ්ට කොච්චර වෛර කළාද කියනවා නම් එයාගේ මිනී වළ හාරලා ඇටකටු එළියට අරන් ඒවා පුච්චලා අළු ටික ස්විෆ්ට් ගඟට වීසි කළා. ඒ මොන දේ කළත් බයිබලේ තියෙන දේවල් දැනගන්න මිනිසුන්ගේ හිත්වල ඇති වුණ උනන්දුව නැති කරන්න පූජකයන්ට පුළුවන් වුණේ නැහැ. ඊටපස්සේ ගත වුණ සියවස් ගාණ පුරා යුරෝපයේ සහ ලෝකේ විවිධ තැන්වල හිටපු හුඟදෙනෙක් හැමෝටම තේරෙන භාෂාවලට බයිබලය පරිවර්තනය කරලා ඒක මුද්‍රණය කරන්න පියවර අරන් තියෙනවා.

“ඔබේම ප්‍රයෝජනය සඳහා ඔබට උගන්වන” තැනැත්තා

13. අපිට නිසැක වෙන්න පුළුවන් මොකක් ගැනද? ඒක අපේ විශ්වාසය ශක්තිමත් කරන්නේ කොහොමද?

13 අපි දන්නවා බයිබලය ලිව්වේ දෙවිගේ මඟ පෙන්වීමෙන් කියලා. ඒත් බයිබල් පරිවර්තනයක් කියන්නේ දෙවිගේ මඟ පෙන්වීමෙන් ලියවුණ දෙයක් නෙමෙයි. උදාහරණෙකට “සෙප්ටුඅජින්ට්” පරිවර්තනය, වයික්ලිෆ්ගේ පරිවර්තනය, “කිං ජේම්ස්” පරිවර්තනය සහ අනිත් ඕනෑම බයිබල් පරිවර්තනයක් කරන්න දෙවි කෙළින්ම මැදිහත් වෙලා මඟ පෙන්නුවේ නැහැ. ඒත් ඒ පරිවර්තනයන් කරන්න දරපු වෑයම ගැන හිතද්දී යෙහෝවා දෙවි ඔහුගේ වචනය සදහටම පවතිනවා කියලා දුන්න පොරොන්දුව ඉටු වෙලා කියලා අපිට කිසිම සැකයක් නැහැ. එහෙමනම් දෙවිගේ අනිත් හැම පොරොන්දුවක්ම අනිවාර්යයෙන්ම ඉටු වෙනවා කියලා අපිට ස්ථිර වෙන්න බැරිද?—යොෂු. 23:14.

14. බයිබලය ගැන දැනගත්ත තොරතුරු දෙවි ගැන අපිට තියෙන ආදරේ තව වැඩි කරගන්න උදව් වෙන්නේ කොහොමද?

14 යෙහෝවා දෙවි මේ දක්වා ඔහුගේ වචනය ආරක්ෂා කරපු විදිහ ගැන සලකලා බලද්දී ඔහු ගැන අපිට තියෙන විශ්වාසය තව ශක්තිමත් වෙනවා. ඔහු ගැන තියෙන ආදරේ තව වැඩි වෙනවා. * යෙහෝවා දෙවි අපිට බයිබලය දීලා ඒක ආරක්ෂා කරනවා කියලා පොරොන්දු වුණේ ඇයි? ඒ ඔහු අපිට ආදරේ නිසයි. ජීවිතේට ප්‍රයෝජනවත් වෙන දේවල් අපිට උගන්වන්න ඔහුට ඕනෙ නිසයි. (යෙසායා 48:17, 18 කියවන්න.) ඒ ගැන හිතද්දී තව වැඩියෙන් දෙවිට ආදරේ කරන්න, ඔහුට කීකරු වෙන්න ඔයා පෙලඹෙන්නේ නැද්ද?—1 යොහ. 4:19; 5:3.

15. ඊළඟ ලිපියෙන් අපි බලන්නේ මොනවා ගැනද?

15 දේවවචනය ගැන අපිට තියෙන්නේ ලොකු අගයක්. එහෙමනම් කොහොමද අපිට පුළුවන් අපි පෞද්ගලිකව කරන බයිබල් කියවීමෙන් උපරිම ප්‍රයෝජන ගන්න? බයිබලේ ගැන ඇල්මක් ඇති කරගන්න සේවයේදී හම්බ වෙන අයට උදව් කරන්න පුළුවන් කොහොමද? සභාවේ ඉගැන්වීම් කරන අයට කොහොමද පුළුවන් හැම ඉගැන්වීමක්ම බයිබලේ මත පදනම්ව කරන්න? අපි ඒ ප්‍රශ්නවලට උත්තර ඊළඟ ලිපියෙන් බලමු.

^ 4 ඡේ. 2009 නොවැම්බර් 1 ‘මුරටැඹ’ කලාපයේ පළ වුණ “ඔබ හෙබ්‍රෙව් සහ ග්‍රීක භාෂාව ඉගෙනගත යුතුද?” කියන ලිපිය බලන්න.

^ 14 ඡේ. ඔයාම ඇවිත් බලන්න!” යන කොටුව බලන්න.