Skip to content

පටුනට යන්න

“ධෛර්යවත් වී අවශ්‍ය පියවර ගන්න”

“ධෛර්යවත් වී අවශ්‍ය පියවර ගන්න”

‘ධෛර්යවත් වී අවශ්‍ය පියවර ගන්න. කිසි දෙයකට භය වෙන්න එපා. දෙවි යෙහෝවා ඔබ සමඟයි.’—1 ලේක. 28:20.

ගීතිකා: 38, 34

1, 2. (අ) සලමොන්ට ලැබුණ විශේෂ පැවරුම මොකක්ද? (ආ) සලමොන්ට ලැබුණ පැවරුම ගැන දාවිත්ට හැඟුණේ කොහොමද?

සලමොන්ට දෙවිගෙන් විශේෂ පැවරුමක් ලැබුණා. ඒ දේවමාලිගාව හදන කාර්යයයි. එයාට හදන්න තිබුණේ “සැබෑ දෙවි වන යෙහෝවාගේ ගෘහයයි.” ඒක ‘තේජශ්‍රීයෙන් බැබලෙන’ සියලුදෙනා අතරේ ප්‍රසිද්ධ වෙන තරමට ලස්සන එකක්. (1 ලේක. 22:1, 5, 9-11) ඒක හරිම විශේෂ කාර්යයක්.

2 දෙවි සලමොන්ට උදව් කරයි කියලා දාවිත්ට කිසිම සැකයක් තිබුණේ නැහැ. ඒත් සලමොන් ‘තරුණ, එතරම් අද්දැකීම් නැති’ කෙනෙක් කියලා දාවිත් දැනගෙන හිටියා. ඒ නිසා ඒ පැවරුම භාරගන්න තරම් ධෛර්යයක් සලමොන්ට තියෙයිද නැත්නම් එයා බය වෙලා ඒක භාර නොගෙන ඉඳියිද කියලා දාවිත් හිතන්න ඇති. දෙවි දුන්න පැවරුම ඉටු කරන්න නම් සලමොන් හිතට ධෛර්යය අරගෙන අවශ්‍ය පියවර ගන්න ඕනෙ වුණා.

3. දාවිත්ගේ ආදර්ශය සලමොන්ට උදව් වුණේ කොහොමද?

3 ධෛර්යවත්ව වැඩ කරන විදිහ ගැන සලමොන් එයාගේ තාත්තාගෙන් කොයි තරම් දේවල් ඉගෙනගන්න ඇද්ද! තරුණ කාලේ දාවිත් එයාලගේ බැටළුවන්ව කන්න ආපු දරුණු සතුන්ව මරලා දැම්මා. (1 සාමු. 17:34, 35) ගොලියත් කියන යෝධයාවත් ගලකින් ගහලා මැරුවා. එච්චර දෙයක් කරන්න එයාට පුළුවන් වුණේ දෙවිගේ උදව් ලැබුණ නිසයි.—1 සාමු. 17:45, 49, 50.

4. සලමොන්ට ධෛර්යය අවශ්‍ය වුණේ ඇයි?

4 ඒ විශාල කාර්යය පටන්ගන්න සලමොන්ව දිරිගන්වන්න දාවිත් තරම් සුදුසු කෙනෙක් තවත් හිටියේ නැහැ. (1 ලේකම් 28:20 කියවන්න.) ඒක සලමොන්ට දිරිගැන්වීම අවශ්‍යම වුණ වෙලාවක්. ‘මේ වගේ ලොකු වැඩක් මට හරියට කරගන්න බැරි වෙයි’ කියලා සලමොන්ට බයක් දැනුණා නම් එයා කවදාවත් ඒක පටන්ගන්න එකක් නැහැ. ඇත්ත, වැඩේ පටන්ගත්තාට පස්සේ අඩුපාඩු වෙන්න පුළුවන්. ඒත් බය වෙලා පැවරුම නොකර ඉන්නවාට වඩා ඒක පටන්ගන්න එකයි හොඳම දේ.

5. අපිට ධෛර්යය ඕනෙ ඇයි?

5 යෙහෝවා දෙවි අපෙන් බලාපොරොත්තු වෙන දේ කරන්න නම් අපිට ධෛර්යය ඕනේ. ඒත් දෙවිගේ උදව් නැතුව ධෛර්යවන්තව වැඩ කරන්න අපිට බැහැ. දැන් අපි ධෛර්යවන්තව වැඩ කරපු කීපදෙනෙක් ගැන බලමු. ඊටපස්සේ හිතට ධෛර්යය අරගෙන දෙවි අපෙන් බලාපොරොත්තු වෙන දේවල් කරන්න පුළුවන් කොහොමද කියලා හිතමු.

ධෛර්යවන්තව වැඩ කරපු අය

6. යෝසෙප් ධෛර්යයෙන් වැඩ කරපු විදිහ ඔයා අගය කරන්නේ ඇයි?

6 පොතිෆර්ගේ බිරිඳ කරපු වැරදි යෝජනා ප්‍රතික්ෂේප කරන්න යෝසෙප්ට ලොකු ධෛර්යයක් ඕනෙ වුණා. එහෙම කරන එකෙන් තමන්ට අනතුරක් වෙයි කියලා යෝසෙප් දැනගෙන ඉන්න ඇති. ඒත් බය වෙලා වරදට වැටෙනවා වෙනුවට එයා නිර්භීතව ඒ යෝජනාව ප්‍රතික්ෂේප කළා.—උත්. 39:10, 12.

7. රාහබ් නිර්භීතව වැඩ කළේ කොහොමද? (ලිපියේ මුල් පින්තූරය බලන්න.)

7 ධෛර්යවන්තව වැඩ කරපු තවත් කෙනෙක් රාහබ්. දවසක් යෙරිකෝවේ ඔත්තු බලන්න ආපු ඊශ්‍රායෙල්වරු දෙන්නෙක් එයාගේ ගෙදරට ආවා. එයා ඒ දෙන්නාට හැංගෙන්න විතරක් නෙමෙයි යෙරිකෝවෙන් පලා යන්නත් උදව් කළා. යෙරිකෝවේ රජුටවත් එයාගේ සේවකයන්ටවත් බය වෙන්නේ නැතුව නිර්භීතව ඒ දේ කරන්න එයාට පුළුවන් වුණේ එයා යෙහෝවා දෙවි ගැන විශ්වාසය තියපු නිසයි. (යොෂු. 2:4, 5, 9, 12-16) යෙහෝවා සැබෑ දෙවි කියලත් ඔහු ඊශ්‍රායෙල්වරුන්ට ඒ දේශය දෙනවා කියලත් රාහබ් තදින්ම විශ්වාස කළා. එයාගෙත් පවුලේ අයගෙත් ජීවිත බේරුණේ රාහබ් නිර්භීතව වැඩ කරපු නිසයි.—යොෂු. 6:22, 23.

8. යේසුස්ගේ නිර්භීතකම නියෝජිතයන්ට උදව් වුණේ කොහොමද?

8 යේසුස් නිර්භීතව දේවල් කරපු විදිහ ඔහුගේ නියෝජිතයන් දැක්කා. ධෛර්යවන්තව දේවල් කරන්න ඒක එයාලට හයියක් වුණා. (මතෙ. 8:28-32; යොහ. 2:13-17; 18:3-5) යේසුස් ගැන උගන්වන්න එපා කියලා සද්දුසිවරු අණ කළත් එයාලා බය වුණේ නැහැ. අත් නෑර ඒ දේ කළා.—ක්‍රියා 5:17, 18, 27-29.

9. 2 තිමෝති 1:7 කියන විදිහට අපිට ධෛර්යය ලැබෙන්නේ කොහෙන්ද?

9 යෝසෙප්ට, රාහබ්ට, යේසුස්ට, ඔහුගේ නියෝජිතයන්ට හරි දේ කරන්න ලොකු ධෛර්යයක් තිබුණා. ඒ ධෛර්යය එයාලට ලැබුණේ තමන්ගේ හැකියාව ගැන විශ්වාසය තියනවා වෙනුවට යෙහෝවා දෙවිව විශ්වාස කරපු නිසයි. අපිටත් සමහර අවස්ථාවලදී ධෛර්යවන්තව දේවල් කරන්න වෙනවා. ඒ වෙලාවට අපි ගැන නෙමෙයි, දෙවි ගැන විශ්වාසය තියලා වැඩ කරමු. (2 තිමෝති 1:7 කියවන්න.) පවුලක් විදිහට, සභාවක් විදිහට ධෛර්යවන්තව වැඩ කරන්න පුළුවන් විදිහ දැන් බලමු.

ධෛර්යය ඕනෙ වෙන අවස්ථා

10. යෞවනයන්ට ධෛර්යය ඕනෙ ඇයි?

10 යෞවනයෙනි, සමහර වෙලාවලදී දෙවි සතුටු වෙන විදිහට තීරණ ගන්න එක ඔයාට අමාරු වෙයි. ඒ වෙලාවට හරි දේ කරන්න ඔයාට ධෛර්යය ඕනේ. දේවමාලිගාවේ වැඩකටයුතු සාර්ථකව නිම කරන්න සලමොන්ට හුඟක් තීරණ ගන්න වුණා. එයා ධෛර්යවන්තව හරි තීරණ ගත්තා. යෞවනයෙනි, ඔයාට දෙමාපියන්ගෙන් මඟ පෙන්වීම් ඕනෙමයි. ඒත් සමහර කාරණා ගැන ඔයාටම තීරණ ගන්න වෙනවා. (හිතෝ. 27:11) ආශ්‍රය කරන අය ගැන, විනෝදයට කරන දේවල් ගැන, අපවිත්‍ර දේවලින් වැළකිලා ඉන්න එක ගැන, බව්තීස්මය ගැන තීරණ ගන්න ඕනෙ ඔයාමයි. හරි තීරණ ගන්න නම් ඔයාට ලොකු ධෛර්යයක් ඕනේ. මොකද ඒකෙන් ඔයා පෙන්නන්නේ දෙවිට අපහාස කරන සාතන්ට විරුද්ධ වෙනවා කියලයි.

11, 12. (අ) මෝසෙස් ධෛර්යවන්තව වැඩ කළේ කොහොමද? (ආ) එයාව ආදර්ශයට ගන්න යෞවනයන්ට පුළුවන් කොහොමද?

11 අනාගතයේදී මොනවාද කරන්නේ කියන එක යෞවනයෙක් ගන්න ඕනෙ වැදගත්ම තීරණයක්. හොඳ රැකියාවක් හොයාගන්න නම් තව තව ඉහළට ඉගෙනගන්න කියලා සමහර යෞවනයන්ට සමාජයෙන් ලොකු බලපෑමක් එනවා. ආර්ථික ප්‍රශ්න තියෙන පවුල්වල ඉන්න යෞවනයන්ට හිතෙන්න පුළුවන් හොඳ රැකියාවක් කරලා පවුලේ අයට උදව් කරන එක එයාලගේ වගකීම කියලා. ඔයාත් ඒ වගේ අභියෝගවලට මුහුණ දෙනවාද? එහෙමනම් මෝසෙස්ගේ ආදර්ශය ඔයාට උදව් වෙයි. එයාව හදාගත්තේ පාරාවෝගේ දුව නිසා ඕනෙ නම් එයාට තිබුණා පොහොසත්, ප්‍රසිද්ධ කෙනෙක් වෙන්න. රජ පවුලේ අය, එයාගේ ගුරුවරුන්, උපදේශකයන් එයාට කොයි තරම් බලපෑම් කරන්න ඇද්ද! ඒත් එයා බය නැතුව දෙවිට සේවය කරන්න තීරණය කළා. ඊජිප්තුවේ සැප පහසු ජීවිතේ අත්හැරියාට පස්සෙත් මෝසෙස් දිගටම දෙවිව විශ්වාස කරලා ධෛර්යවන්තව වැඩ කළා. (හෙබ්‍රෙ. 11:24-26) ඒ නිසා යෙහෝවා දෙවි එයාට ආශීර්වාද කළා. අනාගතයේදී ඊටත් වඩා වැඩියෙන් එයාට ආශීර්වාද ලැබෙයි.

12 දෙවිට කරන සේවයට ජීවිතේ මුල් තැන දෙන යෞවනයන්ව යෙහෝවා දෙවි අත්හරින්නේ නැහැ. පවුලේ අයව බලාගන්න දෙවි එයාලට උදව් කරනවා. මතකද, දේවසේවයට මුල් තැන දුන්න තිමෝතිව? ඔයාටත් පුළුවන් එයාව ආදර්ශයට ගන්න. *ෆිලිප්පි 2:19-22 කියවන්න.

හැම කාරණයකදීම ධෛර්යවන්තව වැඩ කරන්න ඔයා අදිටන් කරගෙනද ඉන්නේ? (13-17 ඡේද බලන්න)

13. ඉලක්ක ජය ගන්න සහෝදරියකට ධෛර්යය අවශ්‍ය වුණේ ඇයි?

13 එක්සත් ජනපදයේ ඉන්න යෞවන සහෝදරියක් මෙහෙම ලිව්වා. “මං පොඩි කාලේ හරි ලැජ්ජයි. සභාවේ අය එක්කවත් වැඩිය කතා කළේ නැහැ. එහෙනං හිතන්න, අඳුරන්නේ නැති අයගේ ගෙවල්වලට ගිහින් කතා කරන්න මට කොච්චර අමාරු වෙන්න ඇද්ද කියලා.” ඒත් එයා ධෛර්යය අරගෙන පුරෝගාමි සේවය කරන්න ඉලක්කයක් තියාගත්තා. ඒක ජය ගන්න එයාගේ දෙමාපියන්, සභාවේ අය එයාට උදව් කළා. එයා මෙහෙම කියනවා. “සතුටින් ඉන්න නම් ඉහළටම ඉගෙනගන්න ඕනෙ කියලත් සල්ලි, ගොඩක් දේවල්, ප්‍රසිද්ධිය තියෙන්න ඕනෙ කියලත් මේ සමාජයේ හුඟදෙනෙක් කියනවා. ඒත් ඒවා පස්සේ යන අයට ඉතුරු වෙන්නේ දුක, කනස්සල්ල විතරයි. යෙහෝවා දෙවිට සේවය කරන්න තෝරගත්ත නිසා අද මං අද්දකින සතුට කියලා නිම කරන්න බෑ.”

14. දෙමාපියන්ට ධෛර්යය ඕනෙ මොන වගේ අවස්ථාවලදීද?

14 දෙමාපියෙනි, ඔයාලටත් ධෛර්යය ඕනේ. ඒ මොන වගේ අවස්ථාවලදීද? පවුලේ නමස්කාරයට, සේවයට, රැස්වීම්වලට වෙන් කරලා තියෙන වෙලාවේ ඕවටයිම් කරන්න කියලා රැකියා ස්ථානයේ ප්‍රධානියා නිතරම ඔයාට කියනවා ඇති. ඒත් හරි තීරණයක් ගන්නත් ඒක ප්‍රධානියාට කියන්නත් ඔයාට ධෛර්යය ඕනේ. එතකොට ඔයාට පුළුවන් දරුවන්ට හොඳ ආදර්ශයක් වෙන්න. තවත් අවස්ථාවක් බලන්න. සභාවේ ඉන්න කීපදෙනෙක් එයාලගේ දරුවන්ට කරන්න ඉඩ දීලා තියෙන යම් දෙයක් කරන්න ඔයා ඔයාගේ දරුවන්ට ඉඩ දීලා නැතුව ඇති. ඔයාගේ තීරණයට හේතුව ඒ දෙමාපියන් ඇහුවොත් කාරුණිකව ඒක පැහැදිලි කරලා දෙන්න ඔයාට ධෛර්යය තියෙන්න ඕනේ.

15. ගීතාවලිය 37:25 සහ හෙබ්‍රෙව් 13:5 දෙමාපියන්ට උදව් වෙන්නේ කොහොමද?

15 පුරෝගාමි සේවය කරන එක, බෙතෙල් සේවය කරන එක, ප්‍රචාරකයන් අඩු පැතිවල සේවය කරන එක, ඉදි කිරීම් වැඩවලට හවුල් වෙන එක වගේ ඉලක්ක තියාගන්න යෞවනයන්ට පුළුවන්. ඒත් සමහර දෙමාපියන් ඒ වගේ සේවයක් කරන්න දරුවන්ව දිරිගන්වන්න අදිමදි කරනවා. මොකද ඒ දෙමාපියන් බයයි එයාලා වයසට ගියාම එයාලව බලාගන්න කවුරුත් නැති වෙයි කියලා. ඒත් ඥානවන්ත දෙමාපියන් යෙහෝවා දෙවි දීලා තියෙන පොරොන්දු සැක කරන්නේ නැහැ. දෙවිට වැඩි සේවයක් කරන්න ඉලක්ක තියාගන්න එයාලා බය නැතුව දරුවන්ට උදව් කරනවා. (ගීතාවලිය 37:25; හෙබ්‍රෙව් 13:5 කියවන්න.) දෙමාපියන් හිතට ධෛර්යය අරගෙන දෙවිව විශ්වාස කරලා වැඩ කරනවා දකිද්දී දරුවනුත් ඒ දේම කරයි.—1 සාමු. 1:27, 28; 2 තිමෝ. 3:14, 15.

16. පූර්ණකාලීන සේවය තෝරගන්න සමහර දෙමාපියන් දරුවන්ට උදව් කරලා තියෙන්නේ කොහොමද? ඒකෙන් දරුවන්ට ලැබුණ ප්‍රයෝජන මොනවාද?

16 එක්සත් ජනපදයේ ඉන්න යුවළක් දේවසේවයට මුල් තැන දෙන්න එයාලගේ දරුවන්ට උදව් කළා. ඒ පවුලේ තාත්තා මෙහෙම කියනවා. “පුරෝගාමි සේවයෙන් ලැබෙන සතුට, සභාවේ දේවල් කරද්දී ලැබෙන සතුට ගැන අපි දරුවෝ එක්ක කතා කරන්න පටන්ගත්තේ එයාලා පුංචි කාලේ ඉඳන්මයි. දැන් එයාලා ආසාවෙන් ඉන්නේ ඒ සතුට අද්දකින්න. ඒ වගේ ඉලක්ක තියලා ඒවා ජය ගන්න වෑයම් කරන නිසා මේ සමාජයෙන් එන නරක බලපෑම්වලට විරුද්ධව ඉන්නත් යෙහෝවා දෙවිට ජීවිතේ මුල් තැන දෙන්නත් දරුවන්ට පුළුවන් වෙලා තියෙනවා.” තවත් සහෝදරයෙක් කිව්වේ මෙහෙමයි. “දරුවන්ට උගන්වන්න, එයාලගේ ක්‍රීඩා, කලා හැකියාවන් දියුණු කරන්න දෙමාපියන් ගොඩක් කැප කිරීම් කරනවා. එහෙනං හොඳ ඉලක්ක තියලා දෙවිත් එක්ක කිට්ටු බැඳීමක් ඇති කරගන්න අපේ දරුවන්ට උදව් කරන්න අපි ඊට වඩා කොච්චර වෑයමක් දරන්න ඕනෙද! ඉලක්ක ජය ගද්දී ඒක දරුවන්ට ලොකු සතුටක්. අපිටත් ඒක සතුටක්.” වැඩි සේවයක් කරන්න දරුවන්ට උදව් කරන දෙමාපියන්ට දෙවිගේ අනුමැතිය තියෙනවා.

සභාවේ කාරණාවලදී ධෛර්යය අවශ්‍යයි

17. ධෛර්යය අවශ්‍ය මොන වගේ අවස්ථාවලදීද?

17 වැඩිමහල්ලන් ගැන හිතන්න. කෙනෙක් බරපතළ වරදක් කළොත් වැඩිමහල්ලන්ට වෙනවා ඒ කාරණය හසුරුවන්න. නැත්නම් හිතන්න, කෙනෙක් හදිසි අනතුරකට, බරපතළ අසනීපයකට මුහුණ දෙනවා කියලා. වැඩිමහල්ලන් එයාට උදව් කරන්න ඕනේ. සමහර වැඩිමහල්ලන් සත්‍යයට උනන්දු අය එක්ක බයිබල් පාඩම් කරන්න, රැස්වීම් තියන්න හිරගෙවල්වලට යනවා. ඒ හැම අවස්ථාවකදීම බය නැතුව දේවල් කරන්න නම් වැඩිමහල්ලන්ට ධෛර්යය ඕනෙමයි. සභාවල ඉන්න තනිකඩ සහෝදරියන්ටත් දෙවිට වැඩි සේවයක් කරන්න හුඟක් අවස්ථා තියෙනවා. පුරෝගාමි සේවය කරන්න, ප්‍රචාරකයන් අඩු ප්‍රදේශයකට යන්න, ප්‍රාදේශීය නිර්මාණ/ඉදි කිරීම් අංශයෙන් කරන වැඩවලට සහය දෙන්න, ශුභාරංචිය ප්‍රකාශ කරන්නන්ගේ පාසැලට අයදුම් කරන්න එයාලට පුළුවන්. ගිලියද් පාසැලට සහභාගි වෙන්නත් පුළුවන්. ඒ අවස්ථා මඟ හරින්නේ නැතුව ඉන්න නම් එයාලට ධෛර්යය ඕනේ.

18. වැඩිහිටි සහෝදරියන්ට ධෛර්යවත්ව වැඩ කරන්න පුළුවන් කොයි වගේ අවස්ථාවලදීද?

18 අවබෝධයෙන් වැඩ කරන, වැඩිහිටි සහෝදරියන් අපිත් එක්ක ඉන්න එක අපිට හුඟක් වටිනවා. එයාලට දැන් ඉස්සර තරම් සේවය කරන්න අමාරුයි. ඒත් සභාව වෙනුවෙන් ධෛර්යවන්තව දේවල් කරන්න එයාලට තාමත් පුළුවන්. (තීතස් 2:3-5 කියවන්න.) උදාහරණෙකට විනීතව අඳින විදිහ ගැන යෞවන සහෝදරියකට මඟ පෙන්වීම් දෙන්න කියලා වැඩිමහල්ලන් වැඩිහිටි සහෝදරියකට කියන්න පුළුවන්. යෞවන සහෝදරියට දොස් කියන්නේ නැතුව එයා අඳින විදිහ අනිත් අයට බලපාන්නේ කොහොමද කියලා එයාට ආදරෙන් පෙන්නලා දෙන්න නම් ධෛර්යය අවශ්‍යයි. (1 තිමෝ. 2:9, 10) සභාවේ එක්සත්කමට දායක වෙන්න ඒ විදිහට වැඩිහිටි සහෝදරියන්ට පුළුවන්.

19. (අ) බව්තීස්ම වුණ සහෝදරයන්ට ධෛර්යයෙන් වැඩ කරන්න පුළුවන් කොහොමද? (ආ) ධෛර්යවන්තව වැඩ කරන්න ෆිලිප්පි 2:13 සහ 4:13 සහෝදරයන්ට උදව් වෙන්නේ කොහොමද?

19 බව්තීස්ම වුණ සහෝදරයනුත් ධෛර්යවන්තව සභාව වෙනුවෙන් දේවල් කරන්න ඕනේ. වැඩිමහල්ලන් විදිහට, සහායක සේවකයන් විදිහට සේවය කරන්න ඉලක්ක තියාගෙන වැඩ කරන සහෝදරයන් සභාවට ආශීර්වාදයක්! (1 තිමෝ. 3:1) ඒත් කෙනෙක්ට හිතෙන්න පුළුවන් ‘මගේ අතින් වෙලා තියෙන වැරදි නිසා ඒ වගේ සේවයක් කරන්න මං සුදුසු නැහැ’ කියලා. එහෙම නැත්නම් ‘මං දක්ෂ නැහැ’ කියලා තවත් කෙනෙක්ට හිතෙන්න පුළුවන්. ඔයාටත් එහෙම හැඟෙනවා නම් බය වෙන්න එපා. හිතට ධෛර්යය ගන්න යෙහෝවා දෙවි ඔයාට උදව් කරයි. (ෆිලිප්පි 2:13; 4:13 කියවන්න.) දෙවි දුන්න වැඩේ හරියට කරන්න තමන්ට බැරි වෙයි කියලා මෝසෙස්ටත් හිතුණා. (නික්. 3:11) ඒත් ධෛර්යවත්ව අවශ්‍ය පියවර ගන්න දෙවි එයාට උදව් කළා. ඔයාටත් පුළුවන් මෝසෙස් වගේ ධෛර්යවන්තව වැඩ කරන්න. ඒ දේ කරන්න ඔයා දෙවිගෙන් උදව් ඉල්ලලා යාච්ඤා කරන්න. හැමදාම බයිබලේ කියවන්න. ධෛර්යවන්තව වැඩ කරපු අය ගැන බයිබලේ සඳහන් වාර්තා ගැන හොඳට හිතන්න. තව දියුණු වෙන්න අවශ්‍ය උදව් වැඩිමහල්ලන්ගෙන් ඉල්ලන්නත් සභාවේ ඕනෑම වැඩකට කැමැත්තෙන්ම ඉදිරිපත් වෙන්නත් ඔයාට පුළුවන්. සහෝදරයෙනි, ධෛර්යවත්ව සභාව වෙනුවෙන් ඔයාට කරන්න පුළුවන් හැම දේම කරන්න.

‘දෙවි යෙහෝවා ඔබ සමඟයි’

20, 21. (අ) දාවිත් සලමොන්ව දිරිගැන්නුවේ කොහොමද? (ආ) අපිට ස්ථිර වෙන්න පුළුවන් මොකක් ගැනද?

20 දේවමාලිගාව හදලා ඉවර වෙන කල් යෙහෝවා දෙවි එයාත් එක්කම ඉන්නවා කියලා දාවිත් සලමොන්ට කිව්වා. (1 ලේක. 28:20) ඒ ගැන සලමොන් කල්පනා කරන්න ඇති. එයා අද්දැකීම් අඩු කෙනෙක් වුණත් දෙවි භාර දීපු වැඩේ නොකර ඉන්න ඒක බාධාවක් කරගත්තේ නැහැ. එයා ධෛර්යය අරගෙන වැඩ කළා. යෙහෝවා දෙවිගේ උදව්වෙන් එයා අවුරුදු 7 1/2කින් ඒ ලස්සන මාලිගාව හදලා ඉවර කළා.

21 යෙහෝවා දෙවි ධෛර්යවන්තව වැඩ කරන්න සලමොන්ට උදව් කළා වගේ පවුලක් විදිහට, සභාවක් විදිහට හරි දේ කරන්න ඔහු අපිටත් උදව් කරයි. (යෙසා. 41:10, 13) ධෛර්යවන්තව දෙවිට සේවය කරන්න අදිටන් කරගන්නවා නම් දැනුත් අනාගතයේදීත් ආශීර්වාද අද්දකින්න අපිට පුළුවන්. ඒ නිසා “ධෛර්යවත් වී අවශ්‍ය පියවර ගමු.”

^ 12 ඡේ. වැඩි සේවයක් කරන්න උදව් වෙන යෝජනා 2004 ජූලි 15 ‘මුරටැඹ’ සඟරාවේ “ආත්මික ඉලක්ක තැබීමෙන් ඔබේ මැවුම්කරුව මහිමවත් කරන්න” කියන ලිපියේ තියෙනවා.