Skip to content

පටුනට යන්න

යෞවනයෙනි, ‘ඔබේ ගැලවීම ස්ථිර කරගන්න’

යෞවනයෙනි, ‘ඔබේ ගැලවීම ස්ථිර කරගන්න’

‘ඔබ නිරතුරුවම කීකරුකම පෙන්වා ඇත. දේවගරුබියක් ඇතුව ඔබ ගැන ඕනෑවට වඩා විශ්වාසයක් නොතබමින් ඔබේ ගැලවීම ස්ථිර කරගැනීමට උත්සාහ කරන්න.’—ෆිලි. 2:12.

ගීතිකා: 133, 135

1. බව්තීස්ම වෙන එක වැදගත් ඇයි? (ලිපියේ මුල් පින්තූරය බලන්න.)

හැම අවුරුද්දකම දහස් ගාණක් බයිබලේ ඉගෙනගෙන බව්තීස්ම වෙනවා. එයාලගෙන් හුඟදෙනෙක් යෞවනයන් සහ කුඩා දරුවන්. සමහරවිට එයාලා පුංචි කාලේ ඉඳන්ම සත්‍යයේ ඇතිදැඩි වුණ අය වෙන්න ඇති. ඔයාත් ඒ අයගෙන් කෙනෙක්ද? එහෙමනම් ඔයා අරන් තියෙන්නේ ඔයාගේ ජීවිතේ ගන්න පුළුවන් හොඳම තීරණය. මොකද බව්තීස්මය කියන්නේ ගැලවීම ලබාගන්නත් සදාකල් ජීවිතය ලබාගන්නත් කෙනෙක් ගන්න ඕන වැදගත් පියවරක්.—මතෙ. 28:19, 20; 1 පේතෘ. 3:21.

2. දෙවිට ජීවිතේ කැප කරන්න බය වෙන්න ඕනෙ නැත්තේ ඇයි?

2 බව්තීස්ම වුණ දවසේ ඉඳන් යෙහෝවා දෙවිගේ ආශීර්වාද හුඟක් පැතිවලින් ඔයා අද්දකිනවා ඇති. ඒත් එක්කම ඔයාගේ පැත්තෙන් ඉටු කරන්න ඕනෙ දේවලුත් තියෙනවා. ඒ මොනවාද? බව්තීස්ම දේශනය දුන්න සහෝදරයා ඔයාගෙන් අහපු ප්‍රශ්නේ මතකද? “ඔයා යේසුස් ක්‍රිස්තුස්ගේ ජීවිත පූජාවේ පදනම මත පව් ගැන පසුතැවිලි වෙලා යෙහෝවා දෙවිගේ කැමැත්ත කරන්න කැප වෙලා ඉන්නවාද?” ඔයා ඒ ප්‍රශ්නෙට ‘ඔව්’ කියලා උත්තර දුන්නා. ඒ කියන්නේ අනිත් හැම දේටම වඩා දෙවිට ආදරේ කරන්නත් ඔහුට කරන සේවයට මුල් තැන දෙන්නත් ඔයා පොරොන්දු වුණා කියන එකයි. ඒක බැරෑරුම් පොරොන්දුවක්. ඒ ගැන ඔයාට කවදා හරි දුක් වෙන්න වෙයිද? නැහැ! ඔයා ඔයාගේ ජීවිතේ භාර දුන්නේ යෙහෝවා දෙවිට. ඒ ගැන ඔයාට කවදාවත් දුක් වෙන්න වෙන්නේ නැහැ. ඒත් මේ ලෝකේ ඉන්න වැඩිදෙනෙක් දෙවිව අඳුරන්නේ නැහැ. එයාලා අයිති සාතන්ගේ ලෝකෙට. එයාලා ගැනවත් ඔයා ගැනවත් සාතන්ට කිසිම හැඟීමක් නැහැ. සාතන් කැමති ඔයා දෙවිව අත්හැරලා එයාගේ පැත්ත ගන්නවාටයි. සාතන්ට ඕනෙ හැමදාටම ජීවත් වෙන්න ඔයාට තියෙන බලාපොරොත්තුව ඔයා නැති කරගන්නවා දකින්නයි.

3. ඔයා දෙවිට කැප වුණ නිසා දෙවි ඔයාට ආශීර්වාද කරලා තියෙන්නේ කොහොමද?

3 දෙවිට කැප වෙලා බව්තීස්ම වුණ නිසා දෙවි ඔයාට මොන තරම් ආශීර්වාද කරලා තියෙනවාද කියලා හිතන්න. ඔයාගේ ජීවිතේ භාර දීලා තියෙන්නේ යෙහෝවා දෙවිට නිසා කිසිම බයක් සැකක් නැතුව ඔයාට මෙහෙම කියන්න පුළුවන්. “දෙවි මාගේ පැත්තේ සිටින බැවින් මම බිය නොවන්නෙමි. දූවිලි වැනි මිනිසාට මට විරුද්ධව කළ හැක්කේ කුමක්ද?” (ගීතා. 118:6) දෙවිගේ පැත්තේ ඉන්න ලැබුණ එකත් දෙවි ඔයා ගැන සතුටු වෙනවා කියලා දැනගෙන ඉන්න එකත් තරම් වටින දෙයක් තව තියෙනවාද?

වගකීම ඔයාගෙයි

4, 5. (අ) කැපවීමට එකඟව ජීවත් වෙන එක අපි එක් එක් කෙනාගේ වගකීමක් කියන්නේ ඇයි? (ආ) මොන වයසක හිටියත් ක්‍රිස්තියානීන් මුහුණ දෙන්නේ කොයි වගේ අභියෝගවලටද?

4 බව්තීස්ම වුණ කෙනෙක් විදිහට ඔයාට දෙවි එක්ක තියෙන්නේ විශේෂ බැඳීමක්. දෙවිට විශ්වාසවන්තව සේවය කරන දෙමාපියන් එක්ක ජීවත් වෙන නිසාම ඔයාට තියෙන ඒ බැඳීම ආරක්ෂා වෙයි කියලා හිතන්න එපා. ඒක රැකගන්න එක ඔයාගේ වගකීමක්. ඒ දේ මතක තියාගන්න එක වැදගත් ඇයි? අනාගතයේදී අපේ විශ්වාසය මොන මොන විදිවලින් සෝදිසියට ලක් වෙයිද කියලා අපි දන්නේ නැහැ. සමහරවිට ඔයා පොඩි වයසේදීම බව්තීස්ම වුණ කෙනෙක් වෙන්න ඇති. ඒ කාලේ ඔයා මුහුණ දීපු අභියෝගයි යෞවනයෙක් විදිහට ඔයා දැන් මුහුණ දෙන අභියෝගයි අතරේ ලොකු වෙනසක් තියෙනවා. එක යෞවනියක් කියන දේ බලන්න. “සාක්ෂිකාරයෙක් වුණ නිසා උපන් දින කේක් කෑල්ලක් කන්න බැහැ කියලා සාමාන්‍යයෙන් පොඩි ළමයෙක් කලකිරෙන්නේ නැහැ. ඒත් ටිකෙන් ටික යෞවන වයසට එද්දී එන අභියෝග ඊට වඩා ගොඩක් වෙනස්. උදාහරණෙකට යෞවන වයසට එද්දී ඇති වෙන ලිංගික හැඟීම් පාලනය කරගන්න නම් දෙවිගේ ප්‍රතිපත්ති පිළිපදින එක තමයි හොඳම දේ කියලා යෞවනයාටම ස්ථිර වෙලා තියෙන්න ඕනේ. ඒක ස්ථිර නැත්නම් සාක්ෂිකරුවෙක් වුණ එක ගැන එයා ලේසියෙන්ම කලකිරෙනවා.”

5 අලුත් අභියෝගවලට මුහුණ දෙන්නේ යෞවනයන් විතරක්ම නෙමෙයි. වැඩිහිටි වයසේදී බව්තීස්ම වෙන අයගේ විශ්වාසයත් සෝදිසියට ලක් වෙනවා. එයාලා මුහුණ දෙන අභියෝගවලට විවාහ ජීවිතේ ඇති වෙන දුෂ්කරතා, සෞඛ්‍ය ගැටලු, රැකියාව වගේ දේවල් ඇතුළත් වෙන්න පුළුවන්. අපි මොන වයසක හිටියත් අපේ විශ්වාසවන්තකම ඔප්පු කරන්න වෙන විවිධ අභියෝගවලට අපි හැමෝටම මුහුණ දෙන්න වෙනවා.—යාකො. 1:12-14.

6. (අ) ඔයා දෙවිට වුණ කැපවීම කොයි වගේ එකක්ද? (ආ) ෆිලිප්පි 4:11-13 කියන දෙයින් ඉගෙනගන්න පුළුවන් මොනවාද?

6 අභියෝගවලට මුහුණ දෙද්දී දෙවිට වුණ පොරොන්දුව මතක් කරගන්න එක විශ්වාසවන්තව ඉන්න ඔයාට උදව් වෙනවා. ඔයා දෙවිට කැප වුණේ කිසිම කොන්දේසියක් දාලා නෙමෙයි. විශ්වයේ පාලකයාණන් වන දෙවිට ඔයා පොරොන්දු වුණේ මොන දේට මුහුණ දෙන්න වුණත් දිගටම ඔහුට සේවය කරනවා කියලයි. ඔයාගේ දෙමාපියෝ, යාළුවෝ දෙවිට සේවය කරන එක අත්හැරියත් ඔයා දෙවිව අත්හරින්නේ නැහැ කියලයි. (ගීතා. 27:10) ඔයා මුහුණ දෙන අභියෝගය මොකක් වුණත් ඔයාගේ පොරොන්දුවට එකඟව ජීවත් වෙන්න දෙවිගෙන් උදව් ඉල්ලන්න අමතක කරන්න එපා.—ෆිලිප්පි 4:11-13 කියවන්න.

7. ‘දේවගරුබියක් ඇතුව ඔයා ගැන ඕනෑවට වඩා විශ්වාසයක් නොතබා’ ඔයාගේ ගැලවීම ස්ථිර කරගන්නවා කියන්නේ මොකක්ද?

7 ඔයා දෙවිගේ යාළුවෙක් වෙනවා දකින්න යෙහෝවා දෙවි කැමතියි. ඒත් ඒ යාළුකම ශක්තිමත්ව තියාගන්නත් ඔයාගේ ගැලවීම ස්ථිර කරගන්නත් ඔයාගේ පැත්තෙන් උත්සාහයක් ගන්න ඕනේ. ෆිලිප්පි 2:12 කියන්නේ “දේවගරුබියක් ඇතුව ඔබ ගැන ඕනෑවට වඩා විශ්වාසයක් නොතබමින් ඔබේ ගැලවීම ස්ථිර කරගැනීමට උත්සාහ කරන්න” කියලා. ඒකෙන් තේරෙන්නේ දෙවිත් එක්ක තියෙන බැඳීම දිගටම රැකගන්නේ කොහොමද කියලත් මොන දේ වුණත් දෙවිට විශ්වාසවන්තව ඉන්නේ කොහොමද කියලත් නිතරම කල්පනා කරන එක වැදගත් කියලා. ඒක ඉබේම වෙයි කියලා හිතන්න එපා. මොකද අවුරුදු ගාණක් දෙවිට සේවය කරපු සමහරු පවා දෙවිගෙන් ඈත් වෙලා තියෙනවා. ඔයාගේ ගැලවීම ස්ථිර කරගන්න නම් ඔයා කරන්න ඕනෙ මොනවාද?

බයිබලේ අධ්‍යයනය කරන එක වැදගත්

8. පෞද්ගලික අධ්‍යයනයට ඇතුළත් වෙන්නේ මොනවාද? ඒක වැදගත් ඇයි?

8 යෙහෝවා දෙවිගේ කිට්ටු යාළුවෙක් වෙන්න නම් ඔහුට ඇහුම්කන් දෙන්නත් ඔහුට කතා කරන්නත් ඕනේ. දෙවිට ඇහුම්කන් දෙන්න පුළුවන් හොඳම විදිහ බයිබලේ අධ්‍යයනය කරන එකයි. බයිබලේ සහ අපේ ප්‍රකාශන කියවන එක, ඒ ගැන හොඳට කල්පනා කරන එක ඒකට ඇතුළත්. හැබැයි බයිබලේ අධ්‍යයනය කරනවා කියන්නේ විභාගයක් පාස් වෙන්න පාඩම් කරනවා වගේ දෙයක් නෙමෙයි. අපි බයිබලේ අධ්‍යයනය කරන්නේ දෙවිව තව හොඳින් අඳුරගන්නයි. ඒ නිසා බයිබලේ නිකම්ම කියවනවා වෙනුවට කියවන දේවල් ගැන තොරතුරු හොයන්න. එතකොට යෙහෝවා දෙවිගේ පෞද්ගලිකත්වයේ නොදැකපු පැති දකින්න ඔයාට පුළුවන් වෙයි. ඒ විදිහට ඔයා දෙවිට ළං වෙද්දී දෙවිත් ඔයාට ළං වෙයි.—යාකො. 4:8.

යෙහෝවා දෙවිත් එක්ක ඔයාට හොඳ අදහස් හුවමාරුවක් තියෙනවාද? (8-11 ඡේද බලන්න)

9. පෞද්ගලික අධ්‍යයනය කරන්න ඔයාට උදව් වෙලා තියෙන්නේ මොන දේවල්ද?

9 පෞද්ගලික අධ්‍යයනය කරන්න උදව් වෙන ගොඩක් දේවල් දෙවිගේ සංවිධානය ඔයාට දීලා තියෙනවා. උදාහරණෙකට jw.org වෙබ් අඩවියේ “යෞවනයන්” යටතේ “සතුටක් ලැබිය හැකි ක්‍රියාකාරකම්” කියලා වැඩ පිටු තියෙනවා. බයිබලේ තියෙන වාර්තාවලින් ඉගෙනගන්න පුළුවන් පාඩම් අදාළ කරගන්න ඒවා ඔයාට උදව් කරනවා. ‘බයිබලයේ ඉගැන්වීම්’ පොත යොදාගෙන සකස් කරලා තියෙන වැඩ පිටුත් තියෙනවා. ඔයාගේ විශ්වාසයන්වලට හේතුව ඔයාටම තහවුරු කරගන්නත් ඒවා ගැන අනිත් අයට කියලා දෙන්නත් ඒ වැඩ පිටු ඔයාට උදව් කරනවා. පෞද්ගලික අධ්‍යයනයට කරන්න පුළුවන් තවත් දේවල් ගැන දැනගන්න 2009 අප්‍රියෙල් ‘පිබිදෙව්!’ කලාපයේ පළ වුණ “යෞවන අය අසති - බයිබලය කියවීමෙන් ප්‍රීතියක් ලබන්නේ කොහොමද?” කියන ලිපියේ තියෙන තොරතුරු ඔයාට උදව් වෙයි. ඔයාගේ ගැලවීම ස්ථිර කරගන්න නම් බයිබලේ අධ්‍යයනය කරන එකත් ඒ තොරතුරු ගැන හොඳින් කල්පනා කරන එකත් හරිම වැදගත්.—ගීතාවලිය 119:105 කියවන්න.

යාච්ඤා කරන එක අත්‍යවශ්‍යයි

10. බව්තීස්ම වුණ කෙනෙක් යාච්ඤා කරන එක වැදගත් ඇයි?

10 යාච්ඤා කරද්දී අපිට පුළුවන් දෙවිට කතා කරන්න. යාච්ඤාව කියන්නේ පුරුද්දක් විදිහට කරන දෙයක්වත් වැඩක් සාර්ථක කරගන්න ඕනෙ නිසා කරන දෙයක්වත් නෙමෙයි. ඒ වෙනුවට යාච්ඤාව කියන්නේ අපේ නිර්මාතෘ එක්ක කතා කරන එකටයි. ඔයා කියන දේවල් අහන්න දෙවි ගොඩක් ආසාවෙන් ඉන්නවා. (ෆිලිප්පි 4:6 කියවන්න.) ඒ නිසා ඔයාට දුකක්, කනස්සල්ලක් දැනෙන ඕනෑම වෙලාවක ඔයාගේ හිතේ තියෙන “සියලු බර යෙහෝවා දෙවිට භාර දෙන්න.” (ගීතා. 55:22) ඒකෙන් කොයි තරම් සහනයක් ලැබෙනවාද කියලා මිලියන ගාණක් සහෝදර සහෝදරියන් අද්දැකලා තියෙනවා. ඒ සහනය අද්දකින්න ඔයාටත් පුළුවන්.

11. යෙහෝවා දෙවිට හැම තිස්සේම ස්තුති කරන්න ඕනෙ ඇයි?

11 යෙහෝවා දෙවිගෙන් උදව්වක් ඕනෙ වෙන වෙලාවට විතරක් යාච්ඤා කරන්න හොඳ නැහැ. බයිබලේ කියන්නේ “ඔබ තුළ ස්තුතිවන්තකම දක්නට ලැබිය යුතුයි” කියලා. (කොලො. 3:15) සමහර වෙලාවට අපි අපේ ප්‍රශ්න ගැන හුඟක් කරදර වෙන නිසා අපිට දැනටමත් ලැබිලා තියෙන ආශීර්වාද අමතක වෙන්න පුළුවන්. ඒ නිසා මෙහෙම කරන්න. හැම දවසකම අඩුම ගානේ දෙවිට ස්තුති කරන්න පුළුවන් දේවල් 3ක් ගැනවත් හිතලා ඒවා ගැන දෙවිට ස්තුති කරන්න. අවුරුදු 12දී බව්තීස්ම වුණ ඇබිගේල් කියන දේ බලන්න. “මේ විශ්වයේ වෙන කිසිම කෙනෙක්ට වඩා යෙහෝවා දෙවි අපේ ස්තුතිය ලබන්න වටිනවා. පුළුවන් හැම අවස්ථාවකදීම ඔහු දීලා තියෙන දේවලට අපි ස්තුති කරන්න ඕනේ.” අමතක නොකර ස්තුති කරන්න ඕනෙ නිසා සමහර වෙලාවට ඇබිගේල් මෙහෙම හිතනවා. “හෙට දෙවි මට දෙන්නේ මං අද දෙවිට ස්තුතියි කරපු දේවල් විතරක් නම් හෙට දවස ගෙවන්න ඒවා මට ඇති වෙයිද?” *

දෙවිව රස බලා දැනගන්න

12, 13. යෙහෝවා දෙවි යහපත් කියලා ඔයා අද්දැකලා තියෙන්නේ කොහොමද? දෙවි ඔයාට උදව් කරලා තියෙන විදි ගැන හිතන එක වැදගත් ඇයි?

12 දාවිත් රජු ජීවිතේ දුෂ්කර අවස්ථාවලට මුහුණ දෙද්දී දෙවි එයා ළඟින්ම ඉඳලා එයාට උදව් කළා. “යෙහෝවා දෙවි යහපත් බව රස බලා දැනගන්න. ඔහුගේ රැකවරණය පතන්නා සන්තෝෂවත්ය” කියලා එයා කිව්වේ ඒ දේ පෞද්ගලිකවම අද්දැකලා තිබුණ නිසයි. (ගීතා. 34:8) ඒකෙන් පැහැදිලි වෙන්නේ දෙවි යහපත් කියලා අපි එක් එක් කෙනාත් පෞද්ගලිකවම අද්දැකලා බලන්න ඕනෙ කියන එකයි. බයිබලේ සහ අපේ ප්‍රකාශන කියවද්දී, රැස්වීම්වලට සහභාගී වෙද්දී දෙවි අනිත් අයට විශ්වාසවන්තව ඉන්න උදව් කරලා තියෙන විදි ඔයා දැනගන්නවා. හැබැයි දෙවිත් එක්ක තියෙන ඔයාගේ බැඳීම ටිකෙන් ටික ශක්තිමත් වෙද්දී දෙවි පෞද්ගලිකව ඔයාට උදව් කරන විදිහ ඔයා තේරුම්ගන්න ඕනේ. යෙහෝවා දෙවි යහපත් කියලා ඔයා අද්දැකලා තියෙන්නේ කොහොමද?

13 යෙහෝවා දෙවි යහපත් කියලා අපි එක් එක් කෙනා විශේෂ විදිහකින් අද්දැකලා තියෙනවා. ඒ තමයි දෙවිටත් යේසුස්ටත් ළං වෙන්න කියලා දෙවි අපි එක් එක් කෙනාට කරපු ආරාධනාව. යේසුස් කිව්වා “කෙනෙක් මා ළඟට එන්නේ මාව එවූ මගේ පියාණන් ඔහු තුළ ඒ සඳහා ආශාවක් ඇති කළොත් පමණයි” කියලා. (යොහ. 6:44) දෙවිට ළං වෙන්න දෙවි ඔයාගේ හිතේ ආසාවක් ඇති කළා කියලා ඔයාට දැනෙනවාද? නැත්නම් ඔයාට හිතෙන්නේ ‘දෙවි මගේ දෙමාපියන්ගේ හිතේ ආසාවක් ඇති කළා. මාත් ඉතිං එයාලා කරන දේ කරනවා’ කියලාද? දෙවිට කැප වෙලා බව්තීස්ම වුණ දවසේ ඉඳන් ඔයා පෞද්ගලිකව දෙවි එක්ක විශේෂ බැඳීමක් ඇති කරගත්තා. බයිබලේ කියන්නේ “යමෙක් දෙවිට ප්‍රේම කරන විට දෙවි එවැනි කෙනෙකුව පිළිගනියි” කියලා. (1 කොරි. 8:3) දෙවි ඔහුගේ සංවිධානයේ ඔයාටත් විශේෂ තැනක් දීලා තියෙනවා කියන දේ අමතක කරන්න එපා.

14, 15. විශ්වාසය ශක්තිමත් කරගන්න දේවසේවය ඔයාට උදව් වෙන්නේ කොහොමද?

14 ඉස්කෝලේදී, දේවසේවයේදී ඔයාගේ විශ්වාසයන් ගැන කතා කරන්න ඕන ධෛර්යය දෙවි ඔයාට දෙනවා. ඒ දෙවිගේ යහපත්කම ඔයා අද්දකින තවත් විදිහක්. ඉස්කෝලේ ළමයි කොයි වගේ ප්‍රතිචාරයක් දක්වයිද කියලා දන්නේ නැති නිසා එයාලට සාක්ෂි දරන එක ලේසි නැතුව ඇති. විශේෂයෙන්ම කට්ටියක් ඉස්සරහා කතා කරන්න වුණොත් ඒක තවත් අමාරුයි. ඒකට ඔයාට උදව් වෙන්නේ මොනවාද?

15 ඔයාගේ විශ්වාසයන් මොනවාද, ඇයි ඔයා ඒවා විශ්වාස කරන්නේ කියලා කල්පනා කරන්න. අපේ වෙබ් අඩවියේ තියෙන අධ්‍යයනය සඳහා තොරතුරු කියන වැඩ පිටු ඒක කරන්න ඔයාට උදව් වෙයි. ඒවා ප්‍රයෝජනයට ගන්න. ඔයාගේ විශ්වාසයන් ගැන අනිත් අයට පැහැදිලි කරන්න පුළුවන් කොහොමද කියලා හිතන්නත් ඒවා ඔයාට උදව් වෙයි. ඔයාගේ විශ්වාසයන් ගැන ඔයාට ස්ථිර නම්, ඒවා ගැන කතා කරන්න ඔයා හොඳට සූදානම් වෙනවා නම් දෙවි ගැන සාක්ෂි දරන්න ඔයාට ලොකු ආසාවක් ඇති වෙයි.—යෙරෙ. 20:8, 9.

16. ඔයාගේ විශ්වාසයන් ගැන බය නැතුව අනිත් අයට කියන්න පුළුවන් කොහොමද?

16 ඔයා හොඳට සූදානම් වෙලා හිටියත් ඔයාගේ විශ්වාසයන් ගැන පැහැදිලි කරලා දෙන්න සමහරවිට තාමත් හිතේ පොඩි චකිතයක් ඇති. අවුරුදු 18ක් වයස සහෝදරියක් කරන දේ බලන්න. එයා බව්තීස්ම වෙද්දී වයස 13යි. එයා මෙහෙම කියනවා. “මගේ විශ්වාසයන් ගැන මං දන්නවා. ඒත් ඒවා වෙන කෙනෙක්ට පැහැදිලි කරලා දෙන්න සමහර වෙලාවට මට අමාරුයි. පන්තියේ ළමයි එයාලා කරපු කියපු දේවල් ගැන නිදහසේ කතා කරනවා. එහෙමනම් මටත් පුළුවන් වෙන්න ඕනෙ මගේ විශ්වාසයන් ගැන නිදහසේ කතා කරන්න. ඒ නිසා මං ළමයි එක්ක නිකං කතා කරකර ඉන්න ගමන් මෙහෙම කියනවා ‘එදා මං බයිබලේ ගැන උගන්නද්දී මෙහෙම දෙයක් වුණානේ . . .’ මං කියන්නේ බයිබලේ තියෙන දෙයක් ගැන නෙමෙයි. ඒත් බයිබලේ උගන්නද්දී මං මොන වගේ දේවල්ද කරන්නේ කියලා දැනගන්න එයාලට කුතුහලයක් ඇති වෙනවා. සමහරු ඒ ගැන මගෙන් ප්‍රශ්න අහනවා. ඒකෙන් මට ලේසියෙන්ම මගේ විශ්වාසයන් ගැන කතා කරන්න පුළුවන් වෙලා තියෙනවා. ඒක මට ලොකු සතුටක්.”

17. අනිත් අයට කතා කරන්න තවත් මොනවාද උදව් වෙන්නේ?

17 ඔයා අනිත් අය ගැන සැලකිලිමත් වෙද්දී, එයාලට ගෞරවයෙන් සලකද්දී ඔයාටත් ඔයා කියන පණිවිඩයටත් ගෞරවය කරන්න එයාලා පෙලඹෙයි. පොඩි වයසේදී බව්තීස්ම වුණ, දැන් අවුරුදු 17ක් වයස ඔලිවියා කියන දේ බලන්න. “මං ආගම බදාගත්ත කෙනෙක් කියලා අනිත් අය හිතයි කියලා බය වුණ නිසා බයිබලේ තියෙන දේවල් ගැන කතා කරන එක ගැන මං දෙපාරක් හිතුවා.” ඒත් කාලයක් යද්දී එයා හිතපු විදිහ එයා වෙනස් කරගත්තා. එයාට දැනෙන බය ගැන ඕනෑවට වඩා හිතනවා වෙනුවට එයා මෙහෙම හිතුවා. “ගොඩක් යෞවනයන් සාක්ෂිකරුවන් ගැන දන්නේ නැහැ. අපෙන් තමයි එයාලට සාක්ෂිකරුවන් ගැන දැනගන්න පුළුවන් වෙන්නේ. අපේ විශ්වාසයන් ගැන කතා කරන්න අපි ලැජ්ජයි නම්, බයයි නම් අපි කියන දේවල් ගැන අපිටම විශ්වාසයක් නැහැ කියලා එයාලා හිතයි. ඒ නිසා එයාලා අපේ පණිවිඩය ප්‍රතික්ෂේප කරන්නත් ඉඩ තියෙනවා. හැබැයි අපි බය නැතුව අපේ විශ්වාසයන් ගැන අනිත් අයට කියද්දී අපි ගැන එයාලගේ හිතේ ගෞරවයක් ඇති වෙයි.”

ගැලවීම ස්ථිර කරගන්න දිගටම උත්සාහ කරන්න

18. ඔයාගේ ගැලවීම ස්ථිර කරගන්න නම් ඔයා කරන්න ඕනෙ මොනවාද?

18 ඔයාගේ ගැලවීම ස්ථිර කරගන්න එක ඔයාට තියෙන බැරෑරුම් වගකීමක් කියලා අපි දැනගත්තා. ඒක කරන්න නම් බයිබලේ කියවලා ඒ ගැන හොඳින් කල්පනා කරන එක, දෙවිට යාච්ඤා කරන එක, දෙවි පෞද්ගලිකව ඔයාට උදව් කරලා තියෙන විදි ගැන කල්පනා කරන එක හුඟක් වැදගත්. ඒ දේවල් කරද්දී යෙහෝවා දෙවි ඔයාගේ යාළුවා කියලා ඔයාටම ස්ථිර වෙයි. එතකොට ඔයාගේ විශ්වාසයන් ගැන අනිත් අයට කියන්න ඔයා ඉබේටම පෙලඹෙයි.—ගීතාවලිය 73:28 කියවන්න.

19. ගැලවීම ස්ථිර කරගන්න කරන්න පුළුවන් හැම දේම කරන එක වටින්නේ ඇයි?

19 යේසුස් කිව්වා “යමෙකු මා අනුව එන්න කැමති නම් ඔහු තම ජීවිතය දෙවිට කැප කර තම වධකණුව රැගෙන දිගටම මා අනුව එන්න අවශ්‍යයි” කියලා. (මතෙ. 16:24) යේසුස්ව අනුගමනය කරන්න නම් අපි එක් එක් කෙනා යෙහෝවා දෙවිට කැප වෙලා බව්තීස්ම වෙන එක වැදගත් කියලා ඒකෙන් තේරෙනවා. බව්තීස්මය නිසා දැනුත් සදහටමත් සතුටින් පිරුණු ජීවිතයක් අද්දකින්න අවස්ථාව තියෙනවා. ඒ නිසා ඔයාගේ ගැලවීම ස්ථිර කරගන්න ඔයාට කරන්න පුළුවන් හැම දේම කරන්න.

^ 11 ඡේ. jw.org වෙබ් අඩවියේ “යොවුන් සිතේ ගැටලු - යාච්ඤා කරන්න ඕනෙ ඇයි?” කියන ලිපිය සහ ඒකට අදාළ වැඩ පිටුව බලන්න.