Skip to content

පටුනට යන්න

“ඔහු නැඟිටින බව මම දන්නවා”

“ඔහු නැඟිටින බව මම දන්නවා”

“අපේ මිත්‍ර ලාසරුස් නිදාගෙන සිටියි. මම දැන් යන්නේ ඔහුව නින්දෙන් අවදි කරන්නයි.”—යොහ. 11:11.

ගීතිකා: 142, 129

1. ලාසරුස් ගැන මාර්තා විශ්වාසයෙන් කිව්වේ මොකක්ද? (ලිපියේ මුල් පින්තූරය බලන්න.)

යේසුස්ගේ කිට්ටු යාළුවෙක් වුණ මාර්තා හිටියේ ගොඩක් දුකෙන්. එයාගේ සහෝදරයා වුණ ලාසරුස් මිය ගිහින්. මාර්තාව සනසමින් යේසුස් මෙහෙම පොරොන්දු වුණා. “ඔබේ සහෝදරයා අනිවාර්යයෙන්ම නැඟිටියි.” ඒකෙන් මාර්තාගේ දුක සම්පූර්ණයෙන්ම නැති වෙලා යන්න නැතුව ඇති. ඒත් එයා යේසුස් කියපු දේ විශ්වාස කළා. ඒ නිසයි “නැවත නැඟිටීම සිදු වීමට නියමිත කාලයේදී ඔහු නැඟිටින බව මම දන්නවා” කියලා එයා කිව්වේ. (යොහ. 11:20-24) මාර්තා විශ්වාස කළා මිය ගිය අයව අනාගතයේදී නැවත නැඟිටුවනවා කියලා. හැබැයි යේසුස් ආශ්චර්යයක් කරලා ලාසරුස්ව එදාම නැවත නැඟිට්ටෙව්වා.

2. මාර්තාට තිබුණා වගේ විශ්වාසයක් ඇති කරගන්න ඔයා කැමති ඇයි?

2 මිය ගිහින් ඉන්න, අපි ආදරේ කරන අයව යේසුස් සහ යෙහෝවා දෙවි මේ කාලේ නැවත නැඟිටුවයි කියලා බලාපොරොත්තු වෙන්න අපිට බැහැ. හැබැයි අනාගතයේදී ඒ අයට ආයෙත් ජීවිතේ ලැබෙනවා කියලා මාර්තාට වගේ ඔයාටත් විශ්වාසද? සමහරවිට ඔයාගේ සැමියා, බිරිඳ, අම්මා, තාත්තා, ආච්චි, සීයා නැත්නම් ඔයාගේ ආදරණීය දරුවා මරණය නිසා ඔයාගෙන් වෙන් වෙලා ඇති. එයා එක්ක ආයෙත් කතා කරන්න, එයාව වැලඳගන්න, එකට කාලේ ගත කරන්න ඔයා ආසාවෙන් ඉන්නවා ඇති. ‘අනාගතයේදී මට එයාව දකින්න පුළුවන්’ කියලා විශ්වාසයෙන් කියන්න ඔයාටත් හොඳ හේතු තියෙනවා. හැබැයි ඒ හේතු ගැන අපි එක් එක් කෙනා හොඳින් හිතලා බලන එක වැදගත්.

3, 4. මාර්තාගේ විශ්වාසය ශක්තිමක් කරගන්න යේසුස් කරපු ආශ්චර්යයන් උදව් වෙන්න ඇත්තේ කොහොමද?

3 මාර්තා ජීවත් වුණේ යෙරුසලමට කිට්ටුවෙන්. ඒ නිසා ගලීලයේ නායින් නුවරේ හිටපු වැන්දඹුවකගේ පුතාව යේසුස් නැවත නැඟිටුවනවා මාර්තා දකින්න නැතුව ඇති. ඒත් එයා ඒ ගැන අහලා තියෙන්න ඇති. ඒ වෙද්දී යේසුස් යායිරස්ගේ දුවවත් නැවත නැඟිටුවලා තිබුණා. දරුවා මිය ගිහින් කියලා හැමෝම දැනන් හිටියත් “දුවේ, නැඟිටින්න” කියලා යේසුස් කියපු ගමන්ම දරුවා නැඟිට්ටා. (ලූක් 7:11-17; 8:41, 42, 49-55) ඒ සිද්ධිය ගැනත් මාර්තා දැනන් ඉන්න ඇති. යේසුස්ට අසනීප සුව කරන්න පුළුවන් කියලා මාර්තායි, එයාගේ සහෝදරිය වුණ මරියායි විශ්වාස කළා. ඒ නිසයි යේසුස් හිටියා නම් ලාසරුස් මිය යන්නේ නැහැ කියලා එයාලා කිව්වේ. ඒත් යේසුස් එද්දී ඔහුගේ මිත්‍ර ලාසරුස් මිය ගිහින්. දැන් මාර්තාට තිබුණ බලාපොරොත්තුව මොකක්ද? මාර්තා කිව්වේ “නැවත නැඟිටීම සිදු වීමට නියමිත කාලයේදී” ඒ කියන්නේ අනාගතයේදී ලාසරුස් නැවත නැඟිටිනවා කියලා. එයාට ඒ ගැන ඒ තරම් විශ්වාසයක් තිබුණේ ඇයි? මිය ගිහින් ඉන්න අයව අනාගතයේදී නැවත නැඟිටුවනවා කියලා ඔයාට විශ්වාස කරන්න පුළුවන් ඇයි?

4 ඒක විශ්වාස කරන්න ඕන තරම් හේතු තියෙනවා. ඒවායින් කීපයක් දැන් බලමු. එහෙම කරද්දී සමහරවිට නැවත නැඟිටීම ගැන ඔයා කලින් හිතලා තිබුණේ නැති පැති ඔයා දකියි. ඔයා ආදරේ කරපු අයව ආයෙත් දකින්න පුළුවන් කියන විශ්වාසය තවත් ශක්තිමත් කරගන්න ඒවා ඔයාට උදව් වෙයි.

විශ්වාසය ශක්තිමත් කරන වාර්තා

5. ලාසරුස් නැවත නැඟිටිනවා කියලා මාර්තා විශ්වාස කළේ ඇයි?

5 මාර්තා යේසුස්ට කිව්ව දේ ගැන හිතන්න. එයා කිව්වේ නැහැ ‘ලාසරුස් සමහරවිට නැවත නැඟිටියි’ කියලා. එයා කිව්වේ “ඔහු නැඟිටින බව මම දන්නවා” කියලා. එච්චර විශ්වාසයක් එයාට තිබුණේ කොහොමද? අතීතයේ දෙවි කරපු නැවත නැඟිටුවීම් ගැන එයා ගෙදරදී, සිනගෝගයේදී ඉගෙනගන්න ඇති. දැන් අපි බයිබලේ සඳහන් ඒ වගේ නැවත නැඟිටුවීම් 3ක් ගැන බලමු.

6. මාර්තා අනිවාර්යයෙන්ම දැනන් හිටියේ මොන ආශ්චර්යය ගැනද?

6 දෙවි අනාගතවක්තෘ එලියාට ආශ්චර්යයන් කරන්න බලය දුන්න කාලේදී තමයි 1වෙනි නැවත නැඟිටුවීම සිද්ධ වුණේ. සාරෆෙත්වල හිටපු දුප්පත් වැන්දඹුවක් එලියාට ආගන්තුක සත්කාරය පෙන්නුවා. ඒ නිසා යෙහෝවා දෙවි ආශ්චර්යයකින් ඒ වැන්දඹුව ළඟ තිබුණ පිටිවත් තෙල්වත් ඉවර නොවී තියෙන්න සැලැස්සුවා. සාගතය තිබුණ කාලේ පුරාම ජීවත් වෙන්න ඒකෙන් එයාලට පුළුවන් වුණා. (1 රාජා. 17:8-16) හැබැයි කාලයක් ගියාම එයාගේ පුතා ලෙඩ වෙලා මැරුණා. ඒ වෙලාවේ එලියා දරුවාව අල්ලලා දෙවිට යාච්ඤා කරලා මෙහෙම කිව්වා. ‘අනේ දෙවි, මේ දරුවාට නැවත පණ දෙන්න.’ දෙවි එලියාගේ යාච්ඤාව ඇහුවා. දරුවාට ආපහු ජීවිතේ ලැබුණා. (1 රාජාවලිය 17:17-24 කියවන්න.) ඒ සිද්ධිය මාර්තා අනිවාර්යයෙන්ම දැනන් ඉන්න ඇති.

7, 8. (අ) වියෝදුකෙන් හිටපු කෙනෙක්ව එලිෂා සැනසුවේ කොහොමද? (ආ) එලිෂා කරපු ආශ්චර්යයෙන් යෙහෝවා දෙවි ගැන දැනගන්න පුළුවන් මොනවාද?

7 බයිබලේ සඳහන් වෙන 2වෙනි නැවත නැඟිටුවීම කළේ අනාගතවක්තෘ එලිෂා. ෂුනෙම් නගරේ ඊශ්‍රායෙල් ජාතික කාන්තාවක් හිටියා. එයාට දරුවෝ හිටියේ නැහැ. එයා නිතරම වගේ එලිෂාට ආගන්තුක සත්කාරය පෙන්නුව නිසා යෙහෝවා දෙවි එයාටයි, මහලු වයසේ හිටපු එයාගේ සැමියාටයි ආශීර්වාද කරලා දරුවෙක් ලබා දුන්නා. අවුරුදු කීපයකට පස්සේ ඒ දරුවා මිය ගියා. ඒ අම්මාට දැනුණ දුක කොච්චරද කියනවා නම් එයා කර්මෙල් කන්දේ හිටපු එලිෂාව හම්බ වෙන්න කි.මී. 30ක් දුර ගියා. එලිෂා දරුවාව නැවත නැඟිටුවන්න ගෙහාසීව ෂුනෙම්වලට යැව්වා. හැබැයි එයාට දරුවාව නැවත නැඟිටුවන්න බැරි වුණා. ටික වෙලාවකින් ඒ කාන්තාව එක්ක එලිෂා නිවසට ආවා.—2 රාජා. 4:8-31.

8 එලිෂා දරුවාගේ දේහය ළඟට ගිහින් යාච්ඤා කළා. දෙවි ඒ යාච්ඤාව අහලා දරුවාට ආයෙත් ජීවිතේ දුන්නා. දරුවා ජීවත් වෙනවා දකිද්දී ඒ අම්මාට පුදුම සතුටක් දැනුණා. (2 රාජාවලිය 4:32-37 කියවන්න.) එයාට ඒ වෙලාවේ හන්නා කරපු යාච්ඤාව මතක් වෙන්න ඇති. අවුරුදු ගාණක් යන කල් හන්නාටත් දරුවෝ හිටියේ නැහැ. ඊටපස්සේ දෙවි එයාට සාමුවෙල්ව දුන්නා. යෙහෝවා දෙවිගේ බලය ගැන ඔහුට ප්‍රශංසා කරමින් හන්නා මෙහෙම කිව්වා. “මිනී වළට යවන්නෙත් එයින් ගොඩගන්නෙත් ඔහුයි.” (1 සාමු. 2:6) මිය ගිය අයව නැවත නැඟිටුවන්න තමන්ට හැකියාව තියෙනවා කියලා ඒ සිද්ධියෙනුත් දෙවි ඔප්පු කළා.

9. බයිබලේ සඳහන් වෙන 3වෙනි නැවත නැඟිටුවීම මොකක්ද?

9 එලිෂා අනාගතවක්තෘවරයෙක් විදිහට අවුරුදු 50කටත් වඩා සේවය කළාට පස්සේ එයා මිය ගියා. දවසක් ඊශ්‍රායෙල්වරු කීපදෙනෙක් මළ සිරුරක් තැන්පත් කරන්න එලිෂාව තැන්පත් කරපු සොහොන් ගෙය ළඟට ආවා. සතුරන් එනවා දැකලා බය වුණ ඒ පිරිස මිනිය එලිෂාගේ සොහොන් ගෙට වීසි කරලා එතනින් පලා ගියා. “මළ සිරුර එලිෂාගේ ඇටකටුවල වැදුණ විගස මිය ගොස් සිටි තැනැත්තා නැවත ජීවත් වුණා.” (2 රාජා. 13:14, 20, 21) මරණය පරාජය කරන්න යෙහෝවා දෙවිට පුළුවන් කියලා තේරුම්ගන්න ඒ සිද්ධීන් මාර්තාට උදව් වුණා. දෙවිගේ බලයට සීමාවක් නැහැ කියලා තේරුම්ගන්න ඒ සිද්ධීන් ඔයාට උදව් වුණේ නැද්ද?

මුල් සියවසේ සිද්ධීන්

10. පේතෘස් නැවත නැඟිට්ටෙව්වේ කාවද? විස්තර කරන්න.

10 දෙවිගේ විශ්වාසවන්ත සේවකයන් මිය ගිය අයව නැවත නැඟිටවපු අවස්ථා ග්‍රීක ලියවිල්ලෙත් සඳහන් වෙනවා. ඒවායින් 2ක් අපි බැලුවා. ඒ නායින් නුවර අසල සහ යායිරස්ගේ නිවසේදී යේසුස් කරපු නැවත නැඟිටුවීම්. ඊට කාලෙකට පස්සේ දොර්කස් නැත්නම් තබිතා කියන කාන්තාවව පේතෘස් නැවත නැඟිට්ටෙව්වා. පේතෘස් එයාගේ දේහය තිබුණ කාමරේට ගිහිල්ලා දෙවිට යාච්ඤා කළාට පස්සේ “තබිතා නැඟිටින්න” කියලා කිව්වා. ඒ වෙලාවෙම එයා නැඟිට්ටා. පේතෘස් ‘එයා ජීවත් වන බව ප්‍රකාශ කරමින් අනිත් අය ඉදිරියට එයාව ගෙනාවා.’ ඒ සිද්ධිය ආරංචි වුණාම නුවරේ “බොහෝදෙනෙක් ස්වාමීන්ව විශ්වාස කරන අය බවට පත් වුණා.” එයාලටත් පුළුවන් වුණා යේසුස් ගැන වගේම මිය ගිය අයව නැවත ජීවත් කරවන්න දෙවිට තියෙන බලය ගැන හැමෝටම කියන්න.—ක්‍රියා 9:36-42.

11. ලූක් තරුණයා ගැන තේරුම්ගත්තේ මොකක්ද? ඒ සිද්ධිය අනිත් අයට බලපෑවේ කොහොමද?

11 දවසක් පාවුල් ත්‍රෝවසේ උඩුමහල් කාමරේක දේශනයක් දෙමින් හිටියා. පාවුල් ඒ දේශනය මධ්‍යම රාත්‍රිය වෙන කල්ම දුන්නා. යුතිකස් කියන තරුණයා ඒ දේශනය අහගෙන හිටියේ ජනේලය මත ඉඳගෙනයි. නින්දකට වැටුණ එයා දෙවෙනි මහලේ ඉඳලා ජනේලෙන් බිමට වැටුණා. එයා ළඟට ඉස්සෙල්ලාම යන්න ඇත්තේ වෛද්‍යවරයෙක් වුණ ලූක්. ඒ තරුණයා දැක්කාම ලූක් තේරුම්ගත්තා එයා මිය ගිහින් කියලා. එතනට ආව පාවුල්, යුතිකස්ව වැලඳගෙන හැමෝවම පුදුම කරමින් “ඔහු ජීවත් වෙනවා” කියලා කිව්වා. ඒ සිද්ධිය හුඟදෙනෙක් ඇස් දෙකෙන්ම දැක්කා. ඒක එයාලට කොහොම බලපාන්න ඇද්ද! තරුණයා මිය ගියා කියලා එයාලා හොඳටම දැනන් හිටියා. ඒත් එයා ආයෙත් ජීවත් වෙනවා දකිද්දී එයාලට “මහත් සැනසීමක්” දැනුණා.—ක්‍රියා 20:7-12.

සැබෑ වෙන බලාපොරොත්තුවක්!

12, 13. අපි බලපු නැවත නැඟිටුවීම් ගැන හිතද්දී මොන වගේ ප්‍රශ්න මතු වෙන්න පුළුවන්ද?

12 බයිබලේ වාර්තා වෙලා තියෙන නැවත නැඟිටුවීම් ගැන කල්පනා කරද්දී මාර්තාට තිබුණා වගේ විශ්වාසයක් අපේ හිතෙත් ඇති වෙන්න ඕනේ. ජීවිතේ දුන්න යෙහෝවා දෙවිට මිය ගිය කෙනෙක්ව නැවත ජීවත් කරවන්න හැකියාව තියෙනවා කියලා අපිට ස්ථිරයි. ඒ වාර්තා බලද්දී අපිට පේනවා එලියා, යේසුස්, පේතෘස් වගේ දෙවිගේ විශ්වාසවන්ත සේවකයන් මාර්ගයෙන් තමයි දෙවි නැවත නැඟිටුවීම් කළේ කියලා. ඒ වගේම ඒවා වුණේ දෙවි ආශ්චර්යයන් කරපු කාලවලදී. එතකොට නැවත නැඟිටුවීම් කරපු නැති කාලවල හිටපු දෙවිගේ විශ්වාසවන්ත සේවකයන්ට නැවත නැඟිටුවීම ගැන බලාපොරොත්තුවක් තිබුණේ නැද්ද? මිය ගිය අයට අනාගතයේදී ආයෙත් ජීවිතේ ලැබෙනවා කියලා මාර්තාට තිබුණා වගේ විශ්වාසයක් තියාගන්න එයාලටත් පුළුවන් වුණාද? මිය ගිය අය නැවත නැඟිටින්නේ අනාගතයේදී කියලා මාර්තාට හරියටම කියන්න පුළුවන් වුණේ කොහොමද? එහෙම කියන්න ඔයාට පුළුවන් ඇයි?

13 මිය ගිය අය අනාගතයේදී නැවත නැඟිටිනවා කියලා ඈත අතීතයේ දෙවිට නමස්කාර කරපු අයත් දැනන් හිටියා. ඒක පැහැදිලි වෙන වාර්තා කීපයක් දැන් බලමු.

14. ආබ්‍රහම් ගැන සඳහන් වාර්තාවෙන් නැවත නැඟිටීම ගැන අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද?

14 ඊසාක්ව ලැබෙන කල් ආබ්‍රහම් කාලයක් තිස්සේ බලන් හිටියා. ඒත් ඊටපස්සේ යෙහෝවා දෙවි එයාට කරන්න කියපු දේ මතකද? ‘ඔබ බොහෝ සෙයින් ආදරේ කරන ඔබේ එකම පුත්‍රයා වන ඊසාක්ව දවන පූජාවක් ලෙස ඔප්පු කරන්න’ කියලා දෙවි කිව්වා. (උත්. 22:2) ආබ්‍රහම්ගෙන් පැවතෙන අය මාර්ගයෙන් හැම ජාතියක්ම ආශීර්වාද ලබනවා කියලා දෙවි එයාට පොරොන්දු වෙලා තිබුණා. (උත්. 13:14-16; 18:18; රෝම 4:17, 18) පොරොන්දු වුණ තැනැත්තා එන්නේ “ඊසාක්ගෙන්” කියලත් දෙවි කිව්වා. (උත්. 21:12) හැබැයි ආබ්‍රහම් ඊසාක්ව පූජා කළොත් ඒක ඉටු වෙන්නේ කොහොමද? ඒ ගැන පාවුල් කිව්වේ ඊසාක්ව මරණයෙන් පවා නැඟිටුවන්න දෙවිට පුළුවන් කියලා ආබ්‍රහම් විශ්වාස කළා කියලයි. (හෙබ්‍රෙව් 11:17-19 කියවන්න.) හැබැයි ඊසාක්ව පැය කීපයකින්, දවසකින් නැත්නම් සතියකින් දෙවි නැවත නැඟිටුවයි කියලා ආබ්‍රහම් බලාපොරොත්තු වුණා කියලා බයිබලේ කියන්නේ නැහැ. ඇත්තටම තමන්ගේ පුතාව දෙවි කවදා නැවත නැඟිටුවයිද කියලා ආබ්‍රහම් දැනන් හිටියේ නැහැ. ඒත් දෙවි ඊසාක්ව නැවත නැඟිටුවයි කියලා ආබ්‍රහම් විශ්වාස කළා.

15. යෝබ්ට තිබුණ බලාපොරොත්තුව මොකක්ද?

15 මිය ගිය අය අනාගතයේදී නැවත නැඟිටිනවා කියන විශ්වාසය යෝබ්ටත් තිබුණා. එයා දැනන් හිටියා ගහක් කැපුවොත් ආයෙත් ඒ ගහට දලු දලා වැඩෙන්න හැකියාව තියෙනවා කියලා. හැබැයි මිනිසෙක් මිය ගියොත් ඒ වගේ දෙයක් වෙන්නේ නැහැ. (යෝබ් 14:7-12; 19:25-27) මිනිසෙක්ට තමන්ගෙම හැකියාවෙන් ආයෙත් ජීවිතය ලබාගන්න බැහැ කියලා යෝබ් කිව්වා. (2 සාමු. 12:23; ගීතා. 89:48) ඒත් එයා අදහස් කළේ මිය ගිය කෙනෙක්ව නැවත ජීවත් කරවන්න දෙවිට බැහැ කියලා නෙමෙයි. මොකද එයා විශ්වාස කළා දෙවි එයාව මතකයේ තියාගෙන ඉඳලා අනාගතයේදී නැවත නැඟිටුවනවා කියලා. (යෝබ් 14:13-15 කියවන්න.) ඒක හරියටම වෙන්නේ කවදාද කියලා යෝබ් දැනන් හිටියේ නැහැ. ඒත් නැවත නැඟිටුවීම අනිවාර්යයෙන්ම වෙන දෙයක් කියලා යෝබ් විශ්වාස කළා.

16. දේවදූතයෙක් දානියෙල්ව දිරිගැන්නුවේ කොහොමද?

16 දෙවිගේ සේවකයෙක් වුණ දානියෙල්ව මතකද? එයා ජීවිත කාලේ පුරාම දෙවිට කීකරු වුණා. එක අවස්ථාවක දේවදූතයෙක් දානියෙල්ව “බොහෝ ප්‍රේම ලත් තැනැත්තෙක්” විදිහට හඳුන්වලා “සමාදානය ලැබේවා” කියලත් “ධෛර්යය උපදවාගෙන ශක්තිමත්ව ඉන්න” කියලත් දිරිගැන්නුවා.—දානි. 9:22, 23; 10:11, 18, 19.

17, 18. දෙවි දානියෙල්ට වුණ පොරොන්දුව මොකක්ද?

17 වයස අවුරුදු 100ට ළං වෙලා හිටපු දානියෙල් තමන්ගේ ජීවිතේට මොනවා වෙයිද කියලා කල්පනා කරන්න ඇති. නැවත නැඟිටින්න දානියෙල්ට අවස්ථාව ලැබෙයිද? අනිවාර්යයෙන්ම! දෙවි එයාට කිව්ව දේ ගැන දානියෙල් පොත අවසානයේ මෙහෙම සඳහන් වෙනවා. “ඔබ අවසානය දක්වාම ස්ථිරව සිටින්න. ඉන්පසු ඔබ සැතපී සිටිනු ඇත.” (දානි. 12:13) දානියෙල් දැනන් හිටියා කෙනෙක් මිය ගියාම මිනී වළේදී එයාට ‘කිසිම දෙයක් කරන්නවත් කිසි දෙයක් ගැන කල්පනා කරන්නවත් බැහැ’ කියලා. එයා ඉන්නේ නින්දක. (දේශ. 9:10) ඒත් දානියෙල් හැමදාම මිනී වළේ ඉන්නේ නැහැ. යෙහෝවා දෙවි එයාට ලස්සන බලාපොරොත්තුවක් දුන්නා.

18 ඒ ගැන දේවදූතයා දානියෙල්ට මෙහෙම කිව්වා. “ඔබට වෙන් කළ කොටස ලබාගැනීම සඳහා ඔබ ආපසු නැඟිටිනු ඇත.” හරියටම ඒක වෙන්නේ කවදාද කියලා දානියෙල් දැනන් හිටියේ නැහැ. ඒ වෙද්දී එයා තේරුම් අරන් හිටියා එයා මිය ගියාට පස්සේ යම් කාලයක් සැතපිලා ඉන්නවා කියලා. ඒත් “ඔබට වෙන් කළ කොටස ලබාගැනීම සඳහා ඔබ ආපසු නැඟිටිනු ඇත” කියලා දෙවි එයාට පොරොන්දු වෙද්දී එයා තේරුම්ගත්තා අනාගතයේදී දෙවි එයාව නැවත නැඟිටුවනවා කියලා. ඒක වෙන්නේ දානියෙල් මිය ගිහින් සෑහෙන කාලෙකට පස්සේ.

මිය ගිය අය ආයෙත් නැඟිටිනවා කියලා මාර්තාට වගේ ඔයාටත් විශ්වාසද? (19 සහ 20 ඡේද බලන්න)

19, 20. (අ) මාර්තා යේසුස්ට කියපු දෙයින් වගේම අපි බලපු වාර්තාවලින් පැහැදිලි වෙන්නේ මොන කාරණයද? (ආ) ඊළඟ ලිපියෙන් බලන්නේ මොනවා ගැනද?

19 ‘අනාගතයේදී තමන්ගේ සහෝදරයා නැඟිටිනවා’ කියලා විශ්වාස කරන්න මාර්තාට හොඳ හේතු තිබුණා. යෙහෝවා දෙවි දානියෙල්ට වුණ පොරොන්දුව ගැන හිතද්දී, මාර්තා යේසුස්ට කියපු දේ ගැන හිතද්දී නැවත නැඟිටීම ගැන අපිට තියෙන බලාපොරොත්තුව තව ශක්තිමත් වෙන්නේ නැද්ද? අපිට ස්ථිරයි මිය ගිය අයට ආයෙත් ජීවිතේ ලැබෙනවා කියලා.

20 මිය ගිය කෙනෙක්ට ආයෙත් ජීවත් වෙන්න පුළුවන් කියලා පැහැදිලි වෙන වාර්තා අපි බැලුවා. ඒවා සැබෑ සිද්ධීන්. මිය ගිය අයව අනාගතයේදී නැවත නැඟිටුවනවා කියන බලාපොරොත්තුව දෙවිගේ විශ්වාසවන්ත සේවයකයන්ට තිබුණා කියලත් අපි ඉගෙනගත්තා. ඒත් පොරොන්දුව දීලා සෑහෙන කාලෙකට පස්සේ වුණත් නැවත නැඟිටීමක් සිද්ධ වෙන්න පුළුවන් කියන්න සාක්ෂි තියෙනවාද? එහෙමනම් අනාගතයේදී සිද්ධ වෙන්න යන නැවත නැඟිටුවීම් ගැන අපේ විශ්වාසය තව ශක්තිමත් කරගන්න ඒ සාක්ෂි උදව් වෙයි. ඒත් ඒක සිද්ධ වෙන්නේ කවදාද? ඒ ප්‍රශ්න ගැන අපි ඊළඟ ලිපියෙන් බලමු.