Skip to content

පටුනට යන්න

පාඨකයන්ගෙන් ප්‍රශ්න

පාඨකයන්ගෙන් ප්‍රශ්න

ක්‍රිස්තියානි යුවළක් උපත් පාලන ක්‍රමයක් විදිහට අන්තර් ගර්භාෂිත තැන්පතුව (IUD) නැත්නම් ලූපය පාවිච්චි කරන එක බයිබලයට එකඟද?

ඒ වගේ දෙයක් ගැන තීරණයක් ගන්න කලින් ක්‍රිස්තියානි යුවළක් ඒකට අදාළ තොරතුරු ගැනත් බයිබල් ප්‍රතිපත්ති ගැනත් හොඳින් සලකා බලන එක වැදගත්. දෙවි ඉදිරියේ නිදොස් හෘදය සාක්ෂියක් තියාගන්න පුළුවන් වෙන විදිහේ තීරණයක් ගන්න ඒක උදව්වක්.

මුල් යුවළට (සහ ජලගැල්මෙන් පස්සේ නෝවාගේ පවුලේ අයට) යෙහෝවා දෙවි මෙහෙම කිව්වා. “දරුවන් බිහි කර ගණනින් වැඩි වන්න.” (උත්. 1:28; 9:1) ඒත් ක්‍රිස්තියානීන්ට ඒ අණ පිළිපදින්න කියලා බයිබලේ කියන්නේ නැහැ. ඒ නිසා දරුවන් හදන්නේ කොයි කාලෙද, දරුවන් කීදෙනෙක් හදනවාද කියලා සැලසුම් කරද්දී උපත් පාලන ක්‍රම පාවිච්චි කරනවාද නැද්ද කියලා තීරණය කරන්න ක්‍රිස්තියානි යුවළකට පුළුවන්. ඒත් ඊට කලින් බලන්න ඕනෙ කාරණා කීපයක් තියෙනවා.

උපත් පාලනයක් හැටියට මොන ක්‍රමය පාවිච්චි කළත් බයිබල් ප්‍රතිපත්ති ගැන හිතලා බලන එක වැදගත්. ජීවිතේ අනර්ඝ දෙයක් විදිහට සලකන්න කියලා බයිබලේ සඳහන් වෙන නිසා උපත් පාලන ක්‍රමයක් විදිහට ගබ්සා කරන එක ක්‍රිස්තියානීන් කිසිම අවස්ථාවක අනුමත කරන්නේ නැහැ. ස්ත්‍රී ඩිම්බයක් සහ පුරුෂ ශුක්‍රාණුවක් එක් වුණාට පස්සේ (සංසේචනය) ඒක ජීවිතයක් හැටියටයි ක්‍රිස්තියානීන් සලකන්නේ. ඒක විනාශ වෙන්න හේතු වෙන කිසිම උපත් පාලන ක්‍රමයක් ක්‍රිස්තියානීන් පිළිගන්නේ නැහැ. (නික්. 20:13; 21:22, 23; ගීතා. 139:16; යෙරෙ. 1:5) එතකොට ලූපය පාවිච්චි කරන එක ගැන කියන්න පුළුවන් මොනවාද?

ඒ කාරණය ගැන 1979 මැයි 15 ‘මුරටැඹ’ සඟරාවේ 30-31 පිටුවල සඳහන් වෙලා තිබුණා. (සිංහලෙන් නැහැ.) ඒ කාලේ ගැබ්ගැනීම වළක්වගන්න කෙනෙක්ගේ ගර්භාෂයට ඇතුල් කළේ ප්ලාස්ටික් ලූපයක්. ඒත් ඒ ලූපය වැඩ කරන විදිහ හරියටම දන්නේ නැහැ කියලයි ඒ ලිපියේ සඳහන් වුණේ. සමහර විශේෂඥයන් කිව්වේ ශුක්‍රාණු ඩිම්බයක් වෙතට යන එක යම් විදිහකින් ඒකෙන් වැළැක්වුවා කියලයි. ඒ නිසා සංසේචනයක් සිදු වෙන්නේ නැහැ. සංසේචනයක් වෙන්නේ නැහැ කියන්නේ පිළිසිඳගැනීමක් සිදු වෙන්නෙත් නැහැ.

ඒ ක්‍රමයෙන් වුණත් කලාතුරකින් ඩිම්බ සංසේචනයක් වෙන්න පුළුවන්. එහෙම අවස්ථාවකදී ඒක පැලෝපීය නාලයේ වර්ධනය වෙන්න පුළුවන් (නාල ගර්භ පිළිසිඳගැනීමක්). එහෙම නැත්නම් ඒක ගර්භාෂයට එන්නත් පුළුවන්. ගර්භාෂය දක්වා එන සංසේචිත ඩිම්බයක් ගර්භාෂ බිත්තියේ තැන්පත් වෙන එක ලූපය මඟින් වළක්වන්න ඉඩ තියෙනවා. සංසේචිත ඩිම්බයට තවදුරටත් වැඩෙන්න අවස්ථාව නැති නිසා ඒක විනාශ වෙලා යනවා. ඒක හරියට ජීවිතයක් නැති කරනවා වගේ දෙයක්. වෙනත් විදිහකින් කියනවා නම් ඒක ගබ්සාවක්. ඒ ලිපිය අවසන් කරන්නේ මෙහෙමයි. “ලූප පාවිච්චි කළාට කමක් නැද්ද කියලා කල්පනා කරන කෙනෙක්ට ඒ තොරතුරු සැහැල්ලුවට ගන්න බැහැ. තීරණයක් ගන්න කලින් ඒ තොරතුරු ජීවිතය අනර්ඝයි කියන ප්‍රතිපත්තියත් එක්ක කිරලා මැනලා බලන්න ඕනේ.”—ගීතා. 36:9.

ඒ ලිපිය පළ වෙලා ගෙවුණ කාලේ වෛද්‍ය ක්ෂේත්‍රයේ දියුණුවත් එක්ක අන්තර් ගර්භාෂිත තැන්පතු ක්‍රමයේ වෙනස්කම් වෙලා තියෙනවාද?

කාලයත් එක්කම තවත් ලූප වර්ග 2ක් හඳුන්වා දුන්නා. 1988දී එක්සත් ජනපදයේ හඳුන්වා දුන්න කොපර් (තඹ) ලූපය ඒකෙන් එකක්. හෝමෝන අඩංගු ලූපය 2001දී වෙළඳපොළට ආවා. මේ ලූප වර්ග 2 ගැන තියෙන තොරතුරු මොනවාද?

කොපර්: ලූපයකින් වෙන්නේ ගර්භාෂය හරහා ඩිම්බය වෙතට ශුක්‍රාණු යන ගමන වළක්වන එකයි. ඒත් කොපර් ලූපයකින් ඊට අමතර දෙයක් වෙනවා. ලූපයේ අඩංගු තඹවලින් නිකුත් වෙන තඹ අයන ශුක්‍රාණුවලට විෂ සහිත නිසා ශුක්‍රාණු විනාශ වෙනවා. * කොපර් ලූපය නිසා ගර්භාෂ බිත්ති තුනී වෙනවා කියලත් සඳහන් වෙනවා.

හෝමෝන: උපත් පාලන පෙතිවල අඩංගු වෙන හෝමෝනවලට සමාන හෝමෝන ඇතුළත් කරලා විවිධ ලූප වර්ග හදලා තියෙනවා. ගර්භාෂයේදී ඒ ලූපවලින් හෝමෝනයක් නිකුත් වෙනවා. පේන විදිහට සමහර අයගේ ඩිම්බ මෝචනය වෙන එක ඒකෙන් වළක්වනවා. ඩිම්බ පිට වෙන්නේ නැත්නම් සංසේචනයක් වෙන්නෙත් නැහැ. ඊට අමතරව ඒ හෝමෝන නිසා ගර්භාෂ බිත්ති තුනී වෙනවා කියලත් හිතනවා. * ඒ වගේම ගැබ්ගෙල ආශ්‍රිතව තියෙන ශ්‍රාවය ඝන වෙන්න ඒ හෝමෝන හේතු වෙනවා. ඒකෙන් ශුක්‍රාණු යෝනි මාර්ගයේ ඉඳන් ගර්භාෂයට යන එක අවහිර කරනවා. ඒවා හෝමෝන අඩංගු ලූපයකින් සිදු වෙන අමතර කාර්යයන්.

පේන විදිහට ඒ ලූප වර්ග දෙකෙන්ම ගර්භාෂ බිත්තිවල ස්වභාවය වෙනස් කරනවා. ඩිම්බයක් මෝචනය වෙලා ඒක සංසේචනය වුණොත් මොනවා වෙයිද? සංසේචනය වුණ ඩිම්බය ගර්භාෂයට ආවත් ගර්භාෂ බිත්ති තුනී නිසා ඒකට තැන්පත් වෙන්න අමාරුයි. ඒ නිසා ගර්භණී වෙලා මුල් අවදියේම ගබ්සාවක් වෙන්න පුළුවන්. හැබැයි ඒ වගේ දෙයක් වෙන්නේ කලාතුරකින් කියලයි කියන්නේ. උපත් පාලන පෙතිවලින් වුණත් කලාතුරකින් එහෙම දෙයක් වෙන්න පුළුවන්.

ඒ ලූප වර්ග 2න් මොන එක පාවිච්චි කළත් ඩිම්බයක් සංසේචනය වෙන එක කොහොමටවත් වෙන්නේ නැහැ කියන්න බැහැ. ඒත් කොපර් සහ හෝමෝන ලූපවලින් වෙන කාර්යයන් නිසා ඩිම්බයක් සංසේචනය වෙන්නේ කලාතුරකින් කියලා පරීක්ෂණවලින් හොයාගෙන තියෙනවා.

ක්‍රිස්තියානි යුවළක් උපත් පාලන ක්‍රමයක් විදිහට ලූපයක් පාවිච්චි කරන එක ගැන කල්පනා කරනවා නම් වෛද්‍යවරයෙක් හම්බ වෙලා තමන් ජීවත් වෙන රටේ තියෙන ලූප වර්ග ගැනත් ඒවා පාවිච්චි කරන එකෙන් තියෙන ප්‍රයෝජන සහ ඒවායින් බිරිඳට වෙන්න පුළුවන් හානි ගැනත් කතා කරන එක හොඳ දෙයක්. ඒත් අන්තිමට තීරණය ගන්න ඕනෙ ඒ යුවළ. (රෝම 14:12; ගලා. 6:4, 5) යුවළක් මොන තීරණය ගත්තත් ඒක දෙවි සතුටු වෙන විදිහේ තීරණයක් වෙන්න ඕනේ. ඒ වගේම යෙහෝවා දෙවි ඉදිරියේ ඒ දෙන්නාටම නිදොස් හෘදය සාක්ෂියක් තියාගන්න පුළුවන් වෙන විදිහේ තීරණයක් වෙන්නත් ඕනේ.—1 තිමෝති 1:18, 19; 2 තිමෝති 1:3 බලන්න.

^ 4 ඡේ. එංගලන්තයේ සෞඛ්‍ය සේවා ආයතනයේ වාර්තාවක මෙහෙම සඳහන් වෙනවා. “කොපර් ලූපවල සාර්ථකත්වය 99%කට වඩා වැඩියි. ඒ කියන්නේ 100දෙනෙක්ගෙන් ගර්භණී වෙන්න ඉඩ තියෙන්නේ එක් කෙනෙක්ටත් වඩා අඩු සංඛ්‍යාවකට. ලූපයේ තියෙන තඹ ප්‍රමාණය අඩු වෙද්දී ඒකේ සාර්ථකත්වයත් අඩු වෙනවා.”

^ 5 ඡේ. හෝමෝන අඩංගු ලූප මඟින් ගර්භාෂ බිත්ති තුනී වෙන නිසා ඔසප් වීමේදී අධිකව රුධිරය පිට වෙන විවාහක, අවිවාහක දෙගොල්ලන්ටම ප්‍රතිකාරයක් විදිහට මේ ක්‍රමය පාවිච්චි කරනවා.