Skip to content

පටුනට යන්න

දෙමාපියෙනි, ‘ගැලවීමට මඟ පාදන අවබෝධය’ දරුවන්ට ලබා දෙන්න

දෙමාපියෙනි, ‘ගැලවීමට මඟ පාදන අවබෝධය’ දරුවන්ට ලබා දෙන්න

ළදරු කාලයේ පටන් ඔබ ශුද්ධ ලියවිල්ල ගැන ලබාගත් අවබෝධය ඔබේ ගැලවීමට මඟ පාදනු ඇත.’—2 තිමෝ. 3:15.

ගීතිකා: 141, 134

1, 2. දරුවන් බව්තීස්ම වෙන්න කැමතියි කියද්දී සමහර දෙමාපියන්ට බයක් දැනෙන්න පුළුවන් ඇයි?

දහස් ගාණක් බයිබල් ශිෂ්‍යයන් එයාලගේ ජීවිත යෙහෝවා දෙවිට කැප කරලා බව්තීස්ම වෙන්න තීරණය කරනවා. එයාලා අතරේ ඉන්න වැඩිදෙනෙක් පොඩි කාලේ ඉඳන්ම සත්‍යයේ ඇතිදැඩි වුණ යෞවනයන්. එයාලා අරන් තියෙන්නේ ජීවිතේ ගන්න පුළුවන් හොඳම තීරණය. (ගීතා. 1:1-3) සමහරවිට ඔයාත් ඔයාගේ දරුවා දෙවිට කැප වෙලා බව්තීස්ම වෙන කල් ගොඩක් ආසාවෙන් බලන් ඉන්නවා ඇති.—3 යොහන් 4 බලන්න.

2 ඒත් එක්කම ඔයාට බයකුත් දැනෙනවා ඇති. මොකද බව්තීස්ම වෙලා කාලයක් යද්දී දෙවිගේ ප්‍රතිපත්තිවලට අනුව ජීවත් වෙන එකද හොඳම දේ කියලා සමහර යෞවනයන් සැක කරන්න පටන් අරන් තියෙනවා. එයාලගෙන් සමහරු දෙවිට නමස්කාර කරන එකත් අත්හැරලා. ‘මගේ දරුවාටත් එහෙම වෙයිද? දෙවි ගැන එයාගේ හිතේ තියෙන ආදරේ කාලයත් එක්කම නැති වෙයිද’ කියලා ඔයා හිතනවා ඇති. මුල් සියවසේ එෆීසයේ හිටපු ක්‍රිස්තියානීන්ට වුණෙත් ඒකයි. යේසුස් කිව්වේ ‘එයාලා තුළ මුලින් තිබුණු ප්‍රේමය දැන් නැති වෙලා ගිහින්’ කියලා. (එළි. 2:4) දෙවි ගැන තියෙන ආදරේ රැකගෙන, සත්‍ය මාර්ගයේ වර්ධනය වෙලා ගැලවීම ලබාගන්න දරුවාට උදව් කරන්න ඔයාට පුළුවන් කොහොමද? (1 පේතෘ. 2:2) ඒකට තිමෝතිගේ ආදර්ශය උදව් වෙනවා.

“ශුද්ධ ලියවිල්ල ගැන අවබෝධයක් ලබාගත්තා”

3. (අ) තිමෝති යේසුස්ගේ අනුගාමිකයෙක් වුණේ කොහොමද? ඉගෙනගත්ත දේවල් එයා අදාළ කරගත්තේ කොහොමද? (ආ) පාවුල් තිමෝතිට මතක් කළේ මොන කාරණා 3 ගැනද?

3 පාවුල් මුලින්ම ලිස්ත්‍රාවට ගියේ ක්‍රි.ව. 47දී. එතකොට තිමෝති යෞවනයෙක් වෙන්න ඇති. එයා යේසුස්ගේ ඉගැන්වීම් ගැන දැනගන්න ඇත්තේ ඒ කාලේදී. ඒ දේවල් ජීවිතේට අදාළ කරගත්ත නිසා අවුරුදු 2ක් යද්දී එයා පාවුල් එක්ක සංචාර සේවයේ හවුල් වෙන්න පටන්ගත්තා. ඊට අවුරුදු 16කට පස්සේ පාවුල් තිමෝතිට මෙහෙම ලියලා යැව්වා. “ඔබ ඉගෙනගෙන මුළු සිතින් විශ්වාස කිරීමට පෙලඹුණු දේවල් දිගටම පිළිපදින්න. මන්ද ඒ දේවල් ඔබට ඉගැන්වූ අයව සැක කිරීමට ඔබට කිසි හේතුවක් නැත. එසේම ඔබේ ළදරු කාලයේ පටන් ඔබ ශුද්ධ ලියවිල්ල [හෙබ්‍රෙව් ලියවිලි] ගැන අවබෝධයක් ලබාගත් ආකාරය ඔබ දන්නෙහිය. ක්‍රිස්තුස් යේසුස් කෙරෙහි ඔබට තිබෙන විශ්වාසය මෙන්ම ඔබ ලබාගත් ඒ අවබෝධයද ඔබේ ගැලවීමට මඟ පාදනු ඇත.” (2 තිමෝ. 3:14, 15) තිමෝතිට (1) ශුද්ධ ලියවිලි ගැන අවබෝධයක් තිබුණා කියලත්, (2) ඉගෙනගත්ත දේවල් එයා මුළු හිතින්ම විශ්වාස කරන්න පෙලඹුණා කියලත් (3) ක්‍රිස්තුස් යේසුස් ගැන එයාට තිබුණ විශ්වාසය වගේම ලබාගත් අවබෝධය ගැලවීමට මඟ පාදනවා කියලත් පාවුල් මතක් කළා.

4. දරුවන්ට උගන්වන්න ඔයාට උදව් වෙලා තියෙන්නේ මොනවාද? (ලිපියේ මුල් පින්තූරය බලන්න.)

4 දෙමාපියෙක් විදිහට ඔයාට ඕනෙ ඔයාගේ දරුවාට මුළු ශුද්ධ ලියවිල්ල ගැන හොඳ අවබෝධයක් ලබා දෙන්නයි. පුංචි වයසේ ඉන්න දරුවෙක්ට වුණත් බයිබල් චරිත, සිද්ධීන් ගැන ඉගෙනගන්න පුළුවන්. ඒක කරන්න උදව් වෙන සඟරා, පොත්, වීඩියෝ ගොඩක් දෙවිගේ සංවිධානය දෙමාපියන්ට දීලා තියෙනවා. යෙහෝවා දෙවිත් එක්ක ශක්තිමත් බැඳීමක් ඇති කරගන්න නම් ඔයාගේ දරුවා බයිබලේ ගැන දැනගන්නම ඕනේ.

“මුළු සිතින් විශ්වාස කිරීමට පෙලඹුණා”

5. (අ) ශුද්ධ ලියවිල්ල ‘විශ්වාස කරන්න පෙලඹෙනවා’ කියද්දී අදහස් වෙන්නේ මොකක්ද? (ආ) යේසුස් ගැන විශ්වාසයක් තිමෝති ඇති කරගත්තා කියලා අපි දන්නේ කොහොමද?

5 දරුවෙක්ට බයිබල් චරිත, සිද්ධීන් ගැන කියලා දෙන එක විතරක් මදි. පාවුල් තිමෝති ගැන කිව්වේ එයා ඉගෙනගත්ත දේවල් මුළු හිතින්ම විශ්වාස කරන්න පෙලඹුණා කියලා. එහෙම වුණේ එයා ඉගෙනගත්ත දේවල් සත්‍යයද කියලා හොඳට හොයලා බලලා ඒවා එයාටම තහවුරු කරගත්ත නිසයි. තිමෝති “ළදරු කාලයේ” ඉඳන්ම හෙබ්‍රෙව් ලියවිලි ගැන දැනගෙන හිටියා. ඒත් යේසුස් ගැලවුම්කරු කියලා එයාට ලොකු විශ්වාසයක් ඇති වුණේ ඒක ඔප්පු කරන්න තිබුණු සාක්ෂි එයා හොඳට හොයලා බලපු නිසයි. එයාගේ විශ්වාසය කොච්චර ශක්තිමත් වුණාද කියනවා නම් එයා බව්තීස්ම වෙලා පාවුල් එක්ක සංචාර සේවයේ හවුල් වුණා.

6. බයිබලෙන් ඉගෙනගන්න දේවල් ගැන විශ්වාසයක් ඇති කරගන්න දරුවාට උදව් කරන්න පුළුවන් කොහොමද?

6 තිමෝති වගේ ඉගෙනගත්ත දේවල් මුළු හිතින්ම විශ්වාස කරන්න දරුවාට උදව් කරන්නේ කොහොමද? ඒකට ඉවසීම ඕනේ. මොකද ශක්තිමත් විශ්වාසයක් දවසින් දෙකෙන් ඇති වෙන්නේ නැහැ. අනික, ඔයා දෙයක් විශ්වාස කරන නිසාම දරුවනුත් ඒ දේ විශ්වාස කරයි කියලා බලාපොරොත්තු වෙන්න බැහැ. දරුවන් තමන්ගේ බුද්ධිය පාවිච්චි කරලා කාරණා අවබෝධ කරගන්න ඕනේ. එතකොටයි එයාලට දේවවචනය ගැන විශ්වාසයක් ඇති වෙන්නේ. (රෝම 12:1 කියවන්න.) විශේෂයෙන්ම දරුවන් යම් කාරණා ගැන ප්‍රශ්න අහද්දී ඔයාට පුළුවන් එයාලට හිතන්න උදව් කරන්න. මේ අද්දැකීම බලන්න.

7, 8. (අ) දුවට උගන්වද්දී තාත්තා කෙනෙක් ඉවසීමෙන් වැඩ කළේ කොහොමද? (ආ) ඔයාට ඉවසීමෙන් වැඩ කරන්න වුණේ මොන වගේ අවස්ථාවලදීද?

7 තෝමස්ගේ දුවට අවුරුදු 11යි. සමහර වෙලාවට දුව එයාගෙන් මේ වගේ ප්‍රශ්න අහනවා. “ජීවීන්ව බිහි කරන්න දෙවි පරිණාමය යොදාගත්තා වෙන්න බැරිද? සමාජයට හොඳක් වෙනවා නම් ඇයි අපි ඡන්දේ දාන්නේ නැත්තේ?” එහෙම වෙලාවලදී තෝමස් එකපාරටම දුවට උත්තරේ දෙන්නේ නැහැ. මොකද එයා දන්නවා දුවගේ හිතේ විශ්වාසයක් ඇති වෙන්නේ පුංචි පුංචි සාක්ෂි එකතු වෙද්දී මිසක් එකපාරටම දෙන උත්තරේකින් නෙමෙයි කියලා.

8 දුවගේ හිතට කාවදින විදිහට උගන්වන්න නම් ඉවසීම ඕනෙ කියලත් තෝමස් දන්නවා. (කොලො. 3:12) මොකද සත්‍ය ඉගැන්වීම් ගැන දරුවාගේ හිතේ විශ්වාසයක් ඇති වෙන්න කාලයක් යනවා. ඒ වගේම දරුවා එක්ක ඒ ගැන කීප සැරයක්ම කතා කරන්නත් ඕනේ. ඒ විතරක් නෙමෙයි බයිබලෙන් නිකම්ම දේවල් උගන්වනවා වෙනුවට ඒවා විශ්වාස කරන්න තියෙන හේතු තෝමස් දුවත් එක්ක සාකච්ඡා කරනවා. එයා කියන්නේ මෙහෙමයි. “මටයි, මගේ බිරිඳටයි ඕනෙ බයිබලෙන් ඉගෙනගන්න දේවල් ගැන දුවට ඇත්තටම විශ්වාසයක් තියෙනවාද, එයා ඒවා හොඳින් තේරුම් අරන්ද කියලා දැනගන්නයි. ප්‍රශ්න අහන්නේ නැතුව දුව නිකම්ම දෙයක් පිළිගන්නවා නම් ඒකෙන් වැඩක් නැහැ. ඒකයි අපි ආස එයා ප්‍රශ්නඅහනවාට.”

9. බයිබලේ තියෙන දේවල් දරුවන්ගේ හිතට කාවද්දන්න පුළුවන් කොහොමද?

9 දෙමාපියන් ඉවසීමෙන් දරුවන්ට උගන්වද්දී කාලයත් එක්කම දරුවා සත්‍ය ඉගැන්වීම්වල “දිගත් පළලත් උසත් ගැඹුරත්” හොඳින් අවබෝධ කරගන්නවා. (එෆී. 3:18) දරුවාගේ වයසට ගැළපෙන විදිහට, එයාට තේරුම්ගන්න පුළුවන් විදිහට උගන්වන එකත් වැදගත්. ටිකෙන් ටික එයාගේ විශ්වාසය ශක්තිමත් වෙද්දී අනිත් අයට විශේෂයෙන්ම ඉස්කෝලේ ළමයින්ට එයාගේ විශ්වාසයන් ගැන කතා කරන්න ලේසි වෙයි. (1 පේතෘ. 3:15) ඔයාගේ දරුවාට පුළුවන්ද කෙනෙක් මැරුණාම මොනවාද වෙන්නේ කියලා බයිබලෙන් පැහැදිලි කරන්න? ඒ ගැන බයිබලේ කියන දේ දරුවා හොඳින් තේරුම් අරන්ද ඉන්නේ? * දරුවාගේ හිතේ දේවවචනය ගැන විශ්වාසයක් ඇති කරන්න නම් ඔයා ඉවසීමෙන් වැඩ කරන්න ඉගෙනගන්න ඕනේ. ඒත් ඔයා ගන්න වෑයම කවදාවත් අපතේ යන්නේ නැහැ.—ද්වි. 6:6, 7.

10. දරුවන්ට උගන්වද්දී ඔයා මතක තියාගන්න ඕනෙ මොකක්ද?

10 දෙමාපියෙනි, දරුවන්ගේ හිතේ දෙවි ගැන විශ්වාසයක් ඇති කරන්න ඔයාගේ ආදර්ශය හුඟක් වැදගත්. ස්ටෙෆනි ළමයි තුන්දෙනෙක්ගේ අම්මා කෙනෙක්. එයා කියන දේ බලන්න. “දරුවන් පුංචි කාලේ ඉඳන්ම මං එයාලත් එක්ක මේ වගේ ප්‍රශ්න කතා කරනවා. ‘යෙහෝවා දෙවි ඇත්තටම ඉන්නවා කියලත් දෙවිගේ ආදරය ලැබෙනවා කියලත් ඇයි මං විශ්වාස කරන්නේ? දෙවි කියන දේ හැම තිස්සෙම හරියි කියලා ඇයි මං විශ්වාස කරන්නේ?’ ඒ විතරක් නෙමෙයි ‘මං දෙවිට ආදරෙයි කියලා දරුවන්ට පේනවාද’ කියන දේ ගැනත් මං නිතරම කල්පනා කරනවා. මොකද මට දෙවි ගැන විශ්වාසයක් නැත්නම් මගේ දරුවන්ට විශ්වාසයක් ඇති වෙයි කියලා බලාපොරොත්තු වෙන්නත් බැහැ.”

‘අවබෝධය ගැලවීමට මඟ පාදනවා’

11, 12. ප්‍රඥාවන්ත කෙනෙක් කොයි වගේද? ඕනම වයසක ඉන්න කෙනෙක්ට ප්‍රඥාවන්ත විදිහට වැඩ කරන්න පුළුවන් කියලා අපි දන්නේ කොහොමද?

11 අපි බැලුවා තිමෝතිට (1) ශුද්ධ ලියවිලි ගැන හොඳ අවබෝධයක් තිබුණා වගේම (2) ඉගෙනගත්ත දේවල් එයා මුළු හිතින්ම විශ්වාස කරන්න පෙලඹුණා කියලා. ඊළඟට පාවුල් කිව්වා ශුද්ධ ලියවිලි ගැන තිමෝති ලබාගත් ‘අවබෝධය ගැලවීමට මඟ පාදනවා’ කියලා. පාවුල් ඒකෙන් අදහස් කළේ මොකක්ද?

12 අවබෝධය තියෙන කෙනෙක් ප්‍රඥාවන්තව වැඩ කරනවා. “ඉන්සයිට් ඔන් ද ස්ක්‍රිප්චර්ස්” (සිංහලෙන් නැහැ.) 2වෙනි වෙළුමේ ඒ ගැන සඳහන් වෙන්නේ මෙහෙමයි. “ප්‍රශ්නයක් හොඳින් විසඳගන්න, අනතුරකින් බේරෙන්න, ඉලක්ක ජය ගන්න වගේම එහෙම කරන්න අනිත් අයට උදව් කරන්න තමන්ට තියෙන දැනුම සහ අවබෝධය පාවිච්චි කරන කෙනෙක් ප්‍රඥාවන්තයි.” බයිබලේ කියන්නේ “මෝඩකම දරුවෙකුගේ සිතෙහි පැළපදියම් වී ඇත” කියලයි. (හිතෝ. 22:15) ඒ කියන්නේ දරුවෙක්ට ප්‍රඥාවන්ත විදිහට වැඩ කරන්න බැහැ කියන එකද? නැහැ. දෙවිට ගරුබියක් තියෙනවා නම්, දෙවිගේ ආඥාවලට කීකරු වෙන්න කැමැත්තක් තියෙනවා නම් වයස මොකක් වුණත් ඕනම කෙනෙක්ට අවබෝධයෙන් වැඩ කරන්න පුළුවන්.—ගීතාවලිය 111:10 කියවන්න.

13. ‘ගැලවීමට මඟ පාදන’ අවබෝධය තමන්ට තියෙනවා කියලා යෞවනයෙක්ට පෙන්නන්න පුළුවන් කොහොමද?

13 අවබෝධයෙන් වැඩ කරන යෞවනයෙක් “සුළඟට ඒ මේ අත ගසාගෙන යන මුහුදේ රළ” වගේ නෙමෙයි. (එෆී. 4:14) එයා තමන්ගේ ආශාවන්වලට අනුව නැත්නම් අනිත් අයගේ බලපෑම නිසා දේවල් කරන්නේ නැහැ. ඒ වෙනුවට “වටහාගැනීමේ හැකියාව භාවිත කරන නිසා හරි වැරැද්ද නිවැරදිව හඳුනාගන්න” එයා පුරුදු වෙනවා. (හෙබ්‍රෙ. 5:14) ඒ නිසා තනියම ඉන්න වෙලාවලදී වුණත් එයාට හරි තීරණ ගන්න පුළුවන්. (ෆිලි. 2:12) ඒ වගේ අවබෝධයක් තමයි ගැලවීමට මඟ පාදන්නේ. (හිතෝපදේශ 24:14 කියවන්න.) ඒ වගේ අවබෝධයක් ලබාගන්න ඔයාගේ දරුවන්ට උදව් කරන්න පුළුවන් කොහොමද? ඔයා කියන කරන දේවලින් දරුවන් දකින්න ඕනෙ බයිබල් ප්‍රතිපත්තිවලට අනුව ජීවත් වෙන්න ඔයාට ලොකු ආසාවක් තියෙනවා කියලා. එතකොට ඒ දේම කරන්න දරුවන් පෙලඹෙයි.—රෝම 2:21-23.

දෙමාපියන් අත් නෑර උත්සාහ කරන්න ඕනෙ ඇයි? (14-18 ඡේද බලන්න)

14, 15. (අ) බව්තීස්ම වෙන්න කැමැත්තෙන් ඉන්න යෞවනයෙක් හිතන්න ඕනෙ මොනවා ගැනද? (ආ) දෙවිගේ ප්‍රතිපත්ති පිළිපදින එකෙන් ලැබෙන ආශීර්වාද ගැන කල්පනා කරන්න දරුවන්ට උදව් කරන්නේ කොහොමද?

14 හරි දේ මොකක්ද වැරදි දේ මොකක්ද කියලා නිකම්ම කියලා දෙන එකෙන් විතරක් ශක්තිමත් විශ්වාසයක් දරුවන්ගේ හිතේ ඇති වෙයි කියලා හිතන්න එපා. ඒ වෙනුවට මේ වගේ ප්‍රශ්න ගැන හිතන්න දරුවන්ට උදව් කරන්න. ‘අපිට කරන්න ආස හිතෙන සමහර දේවල් බයිබලේ කරන්න එපා කියලා කියන්නේ ඇයි? බයිබල් ප්‍රතිපත්ති පිළිපදින එක හැම තිස්සේම ප්‍රයෝජනවත් කියලා මට විශ්වාස ඇයි?’—යෙසා. 48:17, 18.

15 ඔයාගේ දරුවා බව්තීස්ම වෙන්න කැමැත්තෙන් ඉන්නවා නම් බව්තීස්ම වුණ කෙනෙක්ට තියෙන වගකීම් ගැන බැරෑරුම් හිතන්න එයාට උදව් කරන්න. ඒ වගකීම් ගැන එයාට හැඟෙන්නේ කොහොමද? ඒකෙන් ලැබෙන ප්‍රයෝජන මොනවාද? අභියෝග මොනවාද? අභියෝග තිබුණත් ලැබෙන ප්‍රයෝජන ඊට වඩා වැඩියි කියන්නේ ඇයි? (මාක් 10:29, 30) බව්තීස්මයට කලින් ඒ වගේ ප්‍රශ්න ගැන හිතලා බලන එක ගොඩක් වැදගත්. දෙවිගේ ප්‍රතිපත්ති පිළිපදින එකෙන් ලැබෙන ආශීර්වාද ගැනත් ඒවා කඩ කරද්දී ලැබෙන ප්‍රතිඵල ගැනත් හිතන්න දරුවාට උදව් කරන්න. එහෙම කරනවා නම් බයිබල් ප්‍රතිපත්ති පිළිපදින එක හැම වෙලාවෙම ප්‍රයෝජනවත් කියලා එයා තේරුම්ගනියි.—ද්වි. 30:19, 20.

බව්තීස්මයෙන් පස්සේ සැකයන් ඇති වෙද්දී

16. බව්තීස්ම වෙලා කාලයක් යද්දී දරුවාට දෙවි ගැන තියෙන විශ්වාසය අඩු වෙනවා කියලා දැනෙනවා නම් දෙමාපියන් කරන්න ඕනෙ මොනවාද?

16 බව්තීස්ම වෙලා කාලයක් යද්දී ඔයාගේ දරුවාට දෙවි ගැන තියෙන විශ්වාසය ටිකෙන් ටික අඩු වෙනවා කියලා ඔයාට දැනෙනවාද? සමහරවිට එයාගේ හිත මේ ලෝකේ තියෙන දේවලට ඇදිලා ගිහින් කියලා ඔයාට පේනවා ඇති. නැත්නම් දෙවිගේ ප්‍රතිපත්තිවලට අනුව ජීවත් වෙන එකද හොඳම දේ කියලා එයා සැක කරන්න පටන් අරන් ඇති. (ගීතා. 73:1-3, 12, 13) දරුවාගේ විශ්වාසය දුර්වල වෙලා කියලා දකිද්දී ඔයා කලබල වෙලා වැඩ කළොත් දරුවා කලකිරෙන්න තියෙන ඉඩකඩ වැඩියි. දරුවා ළාබාල කෙනෙක් වුණත් යෞවනයෙක් වුණත් කේන්ති අරන් එයාට බණින්න එපා. ඒ වෙනුවට ඔයා එයාට ගොඩක් ආදරෙයි කියලත් ඔයාට ඕනෙ එයාට උදව් කරන්න කියලත් එයාට දැනෙන්න සලස්වන්න.

17, 18. දෙවිගේ ඉගැන්වීම් ගැන දරුවා සැක කරන්න පටන් අරන් නම් එයාට උදව් කරන්න දෙමාපියන්ට පුළුවන් කොහොමද?

17 බව්තීස්ම වුණ යෞවනයෙක් තමන්ගේ ජීවිතේ දෙවිට කැප කරලයි තියෙන්නේ. ඒ කියන්නේ අනිත් හැම දේටම වඩා දෙවිට ආදරේ කරන්නත් ඔහුට සේවය කරන්නත් එයා පොරොන්දු වෙලයි ඉන්නේ. (මාක් 12:30 කියවන්න.) ඒ පොරොන්දුව දෙවි සැහැල්ලුවට ගන්නේ නැහැ. ඒ නිසා ඒක සැහැල්ලුවට ගන්න අපිටත් බැහැ. (දේශ. 5:4, 5) බව්තීස්ම වෙද්දී එයා වුණ පොරොන්දුව ගැන දරුවාට මතක් කරලා දෙන්න. හැබැයි ඊට කලින් දෙවිගේ සංවිධානය දෙමාපියන්ට දීලා තියෙන මඟ පෙන්වීම් කියවලා ඒවා අධ්‍යයනය කරන්න. ඊටපස්සේ කතා කරන්න පුළුවන් හොඳම වෙලාවක් බලලා එයා දෙවිට වුණ පොරොන්දුව මොන තරම් බැරෑරුම් එකක්ද කියලා එයාට ආදරෙන් තේරුම් කරලා දෙන්න. දෙවි කියන විදිහට ජීවත් වෙන එකෙන් ලැබෙන ආශීර්වාද ගැනත් එයාට කියන්න.

18 ‘යොවුන් සිතේ ගැටලු - ඊට විසඳුම්’ 1වෙනි පොතේ උපග්‍රන්ථයේ “දෙමාපියන්ට පැනනඟින ගැටලු” කියන කොටසේ සඳහන් වෙන මඟ පෙන්වීම් ඔයාට ප්‍රයෝජනවත් වෙයි. ඒකේ දෙමාපියන්ට උනන්දු කරලා තියෙන්නේ දරුවාට සත්‍යය එපා වෙලා කියලා හිතන්න ඉක්මන් වෙන්නේ නැතුව ඇත්තටම එයාගේ විශ්වාසය අඩු වෙන්න හේතුව මොකක්ද කියලා හොයලා බලන්න කියලයි. සමහරවිට ඒකට හේතුව යාළුවන්ගේ බලපෑම වෙන්න ඇති. නැත්නම් එයාට තනිකමක් දැනෙන නිසා වෙන්න ඇති. එහෙමත් නැත්නම් එයාගේ වයසේ ඉන්න අනිත් යෞවනයන් එයාට වඩා වැඩියෙන් දෙවිට සේවය කරනවා කියලා හිතලා එයා අධෛර්යය වෙලා ඇති. ඒ උපග්‍රන්ථයේ පැහැදිලි කරනවා දරුවා ඒ මොන ප්‍රශ්නෙට මුහුණ දුන්නත් ඒවායින් අදහස් වෙන්නේ නැහැ එයාට සත්‍යය ගැන විශ්වාසයක් නැහැ කියලා. දරුවාගේ විශ්වාසය අඩු වෙලා නම් එයාට උදව් කරන්න දෙමාපියන්ට පුළුවන් කොහොමද කියලා ඒ උපග්‍රන්ථයේ ඊළඟට පැහැදිලි කරලා තියෙනවා.

19. ‘ගැලවීමට මඟ පාදන’ අවබෝධය ඇති කරගන්න දරුවන්ට උදව් කරන්න දෙමාපියන්ට පුළුවන් කොහොමද?

19 දෙමාපියෙනි, දරුවන්ට ‘යෙහෝවා දෙවිගෙන් ලැබෙන හික්මවීම් ලබා දෙන එක, දෙවි හිතන විදිහට හිතන්න උගන්වන එක’ ඔයාට තියෙන වගකීමක් වගේම වරප්‍රසාදයක්. (එෆී. 6:4) බයිබලේ තියෙන දේවල් ඔයා දරුවන්ට උගන්වන්න ඕනේ. ඉගෙනගන්න දේවල් ගැන විශ්වාසයක් ඇති කරගන්න එයාලට උදව් කරන්න ඕනේ. දරුවන්ගේ හිතේ දෙවි ගැන ශක්තිමත් විශ්වාසයක් ඇති වෙද්දී දෙවිට කැප වෙන්නත් දෙවි වෙනුවෙන් හොඳම දේ දෙන්නත් එයාලා පෙලඹෙයි. දේවවචනය, දෙවිගේ බලය වගේම ඔයා දරන වෑයම නිසා ‘ගැලවීමට මඟ පාදන’ අවබෝධය ලබාගන්න දරුවන්ට පුළුවන් වෙයි.

^ 9 ඡේ. ‘බයිබලයේ ඉගැන්වීම්’ පොත යොදාගෙන සකස් කරලා තියෙන වැඩ පිටු (අධ්‍යයනය සඳහා තොරතුරු) යෞවනයන්ට වගේම වැඩිහිටියන්ට බයිබලේ තියෙන දේවල් හොඳින් තේරුම්ගන්නත් ඒවා අනිත් අයට පැහැදිලි කරන්නත් උදව්වක්. ඒ වැඩ පිටු විවිධ භාෂාවලින් jw.org වෙබ් අඩවියේ තියෙනවා. බයිබල් ඉගැන්වීම් > බයිබල් අධ්‍යයනය සඳහා යටතේ බලන්න.