Skip to content

පටුනට යන්න

‘දෙවි ඒ දේ කරයි කියලා මට විශ්වාසයි’

‘දෙවි ඒ දේ කරයි කියලා මට විශ්වාසයි’

“අන්තිම ආදම් ස්වර්ගයේ සිටින ජීවනය ගෙන දෙන කෙනෙක් විය.”—1 කොරි. 15:45.

ගීතිකා: 151, 147

1-3. (අ) අපේ විශ්වාසයන්ට ඇතුළත් වෙන්න ඕන ප්‍රධාන දෙයක් මොකක්ද? (ආ) නැවත නැඟිටීම ගැන විශ්වාස කරන එක වැදගත් ඇයි? (ලිපියේ මුල් පින්තූරය බලන්න.)

ඔයාගේ විශ්වාසයන් ගැන කවුරු හරි ඔයාගෙන් ඇහුවොත් ඔයා මොනවා කියයිද? ඔයා කියයි ‘මං විශ්වාස කරනවා හැම දේම නිර්මාණය කළේ, අපිට ජීවිතේ දුන්නේ යෙහෝවා දෙවි’ කියලා. මිනිසුන් වෙනුවෙන් ජීවිතේ දුන්න යේසුස් ගැන විශ්වාස කරනවා කියලත් ඔයා කියයි. ළඟදීම පොළොව පාරාදීසයක් වෙනවා කියලත් අපිට ඒකේ හැමදාටම ජීවත් වෙන්න ලැබෙනවා කියලත් ඔයා එයාට පැහැදිලි කරයි. හැබැයි නැවත නැඟිටීම ගැන ඔයාට තියෙන විශ්වාසය කියන්න ඔයාට මතක් වෙයිද?

2 සමහරවිට ඔයාගේ ආසාව මරණය අද්දකින්නේ නැතුව, මහත් පීඩාවෙන් බේරිලා පොළොවේ හැමදාම ජීවත් වෙන එක වෙන්න ඇති. ඒත් නැවත නැඟිටීම ඔයාගේ විශ්වාසයන්ට ඇතුළත් කරගන්න ඕන ප්‍රධාන දෙයක්. ඒ ඇයි? පාවුල් මෙහෙම කිව්වා. “මිය ගිය අයට නැවත නැඟිටීමක් නැත්නම් ක්‍රිස්තුස්ව මරණයෙන් නැඟිටුවනු ලැබුවේද නැත.” හිතන්න, යේසුස්ව නැවත නැඟිට්ටෙව්වේ නැහැ කියලා. එහෙමනම් දැන් ඔහුට ස්වර්ගයේ රජ විදිහට පාලනය කරන්නත් බැහැ. දේවරාජ්‍යය ගැන අපි දේශනා කරන එකත් කිසිම තේරුමක් නැහැ. (1 කොරින්ති 15:12-19 කියවන්න.) ඒත් අපි දන්නවා යේසුස්ව නැවත නැඟිට්ටෙව්වා කියලා. ඒ නිසා නැවත නැඟිටීම ගැන විශ්වාස නොකරපු සද්දුසිවරුන්ට වඩා අපි වෙනස්. මිය ගිය අයට ආයෙත් ජීවිතය ලැබෙනවා කියද්දී සමහරු අපිට හිනා වුණත් ඒ ගැන අපිට තියෙන විශ්වාසය පොඩ්ඩක්වත් අඩු වෙන්නේ නැහැ.—මාක් 12:18; ක්‍රියා 4:2, 3; 17:32; 23:6-8.

3 පාවුල් කිව්වා නැවත නැඟිටීම “ක්‍රිස්තුස් පිළිබඳ මූලික ඉගැන්වීම්වලට” ඇතුළත් දෙයක් කියලා. (හෙබ්‍රෙ. 6:1, 2) පාවුල්ට නැවත නැඟිටීම ගැන තිබුණේ ලොකු විශ්වාසයක්. (ක්‍රියා 24:10, 15, 24, 25) නැවත නැඟිටීම කියන්නේ බයිබලේ සඳහන් වෙලා තියෙන මූලික ඉගැන්වීමක් වුණත් ඒකට ඇතුළත් තොරතුරු හුඟක් තියෙනවා. ඒ තොරතුරු අපි හොඳින් තේරුම්ගන්න ඕනේ.—හෙබ්‍රෙ. 5:12.

4. නැවත නැඟිටීම ගැන ඇති වෙන්න පුළුවන් ප්‍රශ්න මොනවාද?

4 බයිබලේ පාඩම් කරද්දී ලාසරුස්ගේ නැවත නැඟිටීම වගේ අතීතයේ සිද්ධ වුණ නැවත නැඟිටුවීම් ගැන ඔයා දැනගත්තා. මිය ගිය අය අනාගතයේදී නැවත නැඟිටිනවා කියලා ආබ්‍රහම්, යෝබ්, දානියෙල් විශ්වාස කළා කියලත් ඔයා ඉගෙනගත්තා. ඒත් නැවත නැඟිටීම ගැන අවුරුදු සිය ගාණකට කලින් දුන්න පොරොන්දු ඉටු වෙන්න පුළුවන්ද කියලා කවුරු හරි ඇහුවොත් ඔයා මොනවාද කියන්නේ? ඒක බයිබලෙන් ඔප්පු කරන්න පුළුවන්ද? නැවත නැඟිටීම සිද්ධ වෙන්නේ කොයි කාලෙද කියලා බයිබලේ සඳහන් වෙනවාද? ඒ ප්‍රශ්නවලට උත්තර දැනගද්දී ඔයාගේ විශ්වාසය තවත් ශක්තිමත් වෙයි.

සියවස් ගාණකට කලින් පොරොන්දු වුණා

5. අපි මුලින්ම බලන්නේ මොනවා ගැනද?

5 කෙනෙක් මිය ගිහින් ටික දවසකින්, ටික වෙලාවකින් එයාව නැවත නැඟිටුවන එක හිතින් මවාගන්න ලේසි වෙයි. (යොහ. 11:11; ක්‍රියා 20:9, 10) ඒත් අවුරුදු සිය ගාණකට පස්සේ වෙන නැවත නැඟිටීමක් ගැන කිව්වොත් ඒක විශ්වාස කරන්න පුළුවන්ද? ඒ පොරොන්දුව දුන්නේ මෑතකදී මිය ගිය කෙනෙක් ගැන වුණත් කාලෙකට කලින් මිය ගිය කෙනෙක් ගැන වුණත් ඒක ඉටු වෙයි කියලා විශ්වාස කරන්න පුළුවන්ද? දන්නවාද, පොරොන්දු වෙලා අවුරුදු සිය ගාණකට පස්සේ වුණ නැවත නැඟිටුවීමක් ගැන ඔයා දැනටමත් විශ්වාස කරනවා. ඒ කාගේ නැවත නැඟිටුවීමද? ඒ ගැන දැනගද්දී අනාගතයේදී සිද්ධ වෙන නැවත නැඟිටුවීම් ගැන ඔයාට තියෙන විශ්වාසය ශක්තිමත් වෙන්නේ කොහොමද?

6. ගීතාවලිය 118 යේසුස්ට අදාළයි කියන්නේ ඇයි?

6 පොරොන්දු වෙලා අවුරුදු සිය ගාණකින් වුණ නැවත නැඟිටුවීමක් ගැන බලමු. 118වෙනි ගීතිකාවේ මෙහෙම කියනවා. ‘දෙවියනි, දැන් අපව ගලවාගන්න. යෙහෝවා දෙවිගේ නාමයෙන් පැමිණෙන තැනැත්තාට ආශීර්වාද ලැබේවා!’ ඒක ගැලවුම්කරු ගැන කිව්ව අනාවැකියක්. යේසුස්ගේ මරණයට දවස් කීපයකට කලින් ඔහු යෙරුසලමට ඇතුල් වෙද්දී මිනිස්සු ඒක කියලා ඔහුට ප්‍රශංසා කළා. (ගීතා. 118:25, 26; මතෙ. 21:7-9) ඒත් ගීතාවලිය 118 අවුරුදු සිය ගාණකට පස්සේ වෙන නැවත නැඟිටුවීමක් ගැන සඳහන් වෙනවා කියන්නේ ඇයි? ගීතිකාකරු කිව්ව මේ දේ බලන්න. “ඉදි කරන්නන් විසින් ඉවත දැමූ ඒ ගල ප්‍රධාන ගල වී ඇත.”—ගීතා. 118:22.

“ඉදි කරන්නන්” ගැලවුම්කරුව ඉවත දැම්මා (7 ඡේදය බලන්න)

7. යුදෙව්වරු යේසුස්ව ඉවත දැම්මේ කොහොමද?

7 ගැලවුම්කරුව ඉවත දැම්ම “ඉදි කරන්නන්” තමයි යුදෙව් නායකයන්. එයාලා යේසුස්ව ඉවත දැම්මේ ඔහුගේ ඉගැන්වීම් ප්‍රතික්ෂේප කරලා ඔහුව ක්‍රිස්තුස් විදිහට පිළි නොගෙන ඉඳලා විතරක් නෙමෙයි. එයාලා ඇතුළුව යුදෙව්වන් හුඟදෙනෙක් යේසුස්ව මරලා දාන්න කියලා පිලාත්ගෙන් දිගින් දිගටම ඉල්ලුවා. (ලූක් 23:18-23) ඒ හැමෝම යේසුස්ගේ මරණයට වග කියන්න ඕනේ.

යේසුස්ව නැවත නැඟිට්ටෙව්ව නිසයි ඔහු “ප්‍රධාන ගල” වුණේ (8 සහ 9 ඡේද බලන්න)

8. යේසුස් “ප්‍රධාන ගල” වුණේ කොහොමද?

8 යුදෙව්වරු යේසුස්ව ඉවත දාලා ඔහුව මරලා දැම්මා නම් ඔහු “ප්‍රධාන ගල” වුණේ කොහොමද? එහෙම වෙන්න පුළුවන් ඔහුව නැවත නැඟිට්ටෙව්වොත් විතරයි. ඒක තේරුම්ගන්න යේසුස් උපමාවක් කිව්වා. මිනිසෙක් එයා යටතේ වැඩ කරපු වැවිලිකරුවන් ළඟට දාසයන්ව යැව්වා. එයාලා ඒ දාසයන්ට ගහලා පැන්නුවා. අන්තිමට තමන්ගේ පුතාට එයාලා ඇහුම්කන් දෙයි කියලා හිතලා ඒ මිනිසා පුතාව යැව්වා. හැබැයි වැවිලිකරුවන් පුතාව මැරුවා. ඊශ්‍රායෙල්වරුනුත් හරියට ඒ වැවිලිකරුවන් වගේ. දෙවි එයාලා ළඟට යැව්ව අනාගතවක්තෘවරුන්ට එයාලා හිංසා පීඩා කළා. අන්තිමට යෙහෝවා දෙවි තමන්ගෙම පුතාව එයාලා ළඟට එව්වාම එයාලා ඔහුව මරලා දැම්මා. මේ උපමාව කිව්වාට පස්සේ යේසුස් ගීතාවලිය 118:22 සඳහන් දේ කිව්වා. (ලූක් 20:9-17) එක අවස්ථාවක පේතෘසුත් ඒ පදයම පාවිච්චි කළා. ‘යෙරුසලමේ හිටපු යුදෙව් පාලකයන්ට, වැඩිමහල්ලන්ට, නීතිය පිටපත් කරන්නන්ට’ යේසුස් ගැන කතා කරද්දී එයා මෙහෙම කිව්වා. ‘යේසුස් ක්‍රිස්තුස්ව ඔබ කණුවක ඇණ ගසා මරා දැමූ නමුත් දෙවි ඔහුව මරණයෙන් නැඟිට්ටෙව්වා.’ එහෙම කිව්වාට පස්සේ ‘“ඉදි කරන්නන් වන ඔබ විසින් කිසි වැදගැම්මකට නැතැයි සලකනු ලැබූ ඒ ගල දැන් ප්‍රධාන ගල වී තිබෙනවා”’ කියලත් එයා කිව්වා.—ක්‍රියා 3:15; 4:5-11; 1 පේතෘ. 2:5-7.

9. ගීතාවලිය 118:22 සඳහන් වෙන්නේ මොන විශේෂ සිදුවීම ගැනද?

9 ගීතාවලිය 118:22 සඳහන් වුණේ ඊට අවුරුදු සිය ගාණකට පස්සේ සිදු වෙන නැවත නැඟිටීමක් ගැනයි. එතන කියන විදිහට ගැලවුම්කරුව ප්‍රතික්ෂේප කරලා ඔහුව මරනවා. ඒත් ඊටපස්සේ ඔහුව නැවත නැඟිටුවන නිසා ප්‍රධාන ගල වෙන්න ඔහුට අවස්ථාව ලැබෙනවා. නැවත නැඟිටවපු යේසුස් තමයි ‘අපව ගැලවීමට දෙවි අප අතරින් තෝරාගත්ත’ එකම කෙනා.—ක්‍රියා 4:12; එෆී. 1:20.

10. (අ) ගීතාවලිය 16:10 සඳහන් අනාවැකිය මොකක්ද? (ආ) එතන කියන්නේ දාවිත් ගැන නෙමෙයි කියලා අපි දන්නේ කොහොමද?

10 නැවත නැඟිටීමක් ගැන සඳහන් වුණ තවත් අනවැකියක් බලමු. ඒක ඉටු වුණේ අවුරුදු දාහකට වඩා වැඩි කාලෙකට පස්සේ. පොරොන්දුව දීලා අවුරුදු ගාණක් ගියත් නැවත නැඟිටීමක් වෙන්න පුළුවන් කියන කාරණය ඒකෙන් තවත් ස්ථීර වෙනවා. ගීතාවලිය 16 දාවිත් මෙහෙම කිව්වා. “ඔබ මාව මිනී වළෙහි දිගටම තබන්නේ නැත. ඔබට පක්ෂපාත තැනැත්තාට මිනී වළෙහි කුණු වීමට ඔබ ඉඩහරින්නේ නැත.” (ගීතා. 16:10) දාවිත් කියන්න උත්සාහ කළේ එයා කවදාවත් මැරෙන්නේවත් මිනී වළේ කුණු වෙන්නේවත් නැහැ කියලාද? නැහැ. දාවිත් මහලු වෙලා මිය ගියා. ‘එයාගේ මුතුන්මිත්තන් මෙන් එයාවද තැන්පත් කළා’ කියලා බයිබලේ කියනවා. (1 රාජා. 2:1, 10) එහෙමනම් ඒ පදයේ කතා කරන්නේ කා ගැනද?

11. ගීතාවලිය 16:10 කියන දේ පේතෘස් පැහැදිලි කළේ කොයි කාලෙදීද?

11 ගීතාවලිය 16:10 දාවිත් ලියලා අවුරුදු දාහකට වඩා වැඩි කාලයක් ගියාට පස්සේ එතන කතා කරන්නේ කා ගැනද කියලා පේතෘස් පැහැදිලි කළා. එයා ඒක පැහැදිලි කළේ යේසුස්ව නැවත නැඟිටුවලා සති කීපයකට පස්සේ යුදෙව්වන් සහ යුදෙව් ආගමට හැරුණු අය අමතපු වෙලාවේ. (ක්‍රියා 2:29-32 කියවන්න.) පේතෘස් එයාලට මතක් කළා දාවිත් මිය ගිහින් එයාව තැන්පත් කළා කියන දේ. ‘දේවල් කලින්ම තේරුම්ගත්ත නිසා දාවිත් කතා කළේ ක්‍රිස්තුස්ගේ නැවත නැඟිටීම ගැනයි’ කියලා පේතෘස් කියද්දී එතන හිටපු කවුරුත් ඒ අදහස ප්‍රතික්ෂේප කළේ නැහැ.

12. ගීතාවලිය 16:10 ඉටු වුණේ කොහොමද? නැවත නැඟිටීම අනිවාර්යයෙන්ම සිද්ධ වෙන දෙයක් කියලා ඒකෙන් තහවුරු වෙන්නේ කොහොමද?

12 ගීතාවලිය 16:10 කතා කළේ යේසුස් ගැන කියලා තවත් ස්ථීර කරන්න පේතෘස් ගීතාවලිය 110:1 පාවිච්චි කළා. (ක්‍රියා 2:33-36 කියවන්න.) එයා ශුද්ධ ලියවිල්ලෙන් කාරණා තර්කානුකූලව පැහැදිලි කරපු නිසා “ස්වාමීන් සහ ක්‍රිස්තුස් හැටියට පත් කර තිබෙන්නේ” යේසුස්ව කියලා එයාට සවන් දීපු අය තේරුම්ගත්තා. යේසුස්ව නැවත නැඟිට්ටෙව්වාම ගීතාවලිය 16:10 කියන දේ ඉටු වුණා කියලා එයාලට පැහැදිලි වුණා. ඊට කාලෙකට පස්සේ පාවුලුත් පිසිදියේ තිබුණ අන්තියෝකියේ හිටපු යුදෙව්වන්ට කතා කරද්දී ඒ තර්කයම යොදාගත්තා. ඒක එයාලගේ හිතටම ගිය නිසා තවත් විස්තර දැනගන්න එයාලට ඕන වුණා. (ක්‍රියා 13:32-37, 42 කියවන්න.) පොරොන්දුව දීලා අවුරුදු ගාණකට පස්සේ වුණත් නැවත නැඟිටීමක් වෙන්න පුළුවන් කියලා අපි බලපු ඒ අනාවැකිවලින් තහවුරු වෙන්නේ නැද්ද?

කොයි කාලෙද?

13. නැවත නැඟිටීම ගැන අපිට ඇති වෙන්න පුළුවන් ප්‍රශ්න මොනවාද?

13 පොරොන්දුව දීලා අවුරුදු ගාණකට පස්සේ වුණත් නැවත නැඟිටීමක් වෙන්න පුළුවන් කියලා දැනගන්න ලැබුණ එක අපිට සහනයක්. ඒත් ඔයාට මෙහෙම හිතෙන්න පුළුවන්. ‘මං ආදරය කරන කෙනෙක් නැවත නැඟිටින කල් අවුරුදු ගාණක් බලන් ඉන්න වෙයිද? නැවත නැඟිටීම සිද්ධ වෙන්නේ කොයි කාලෙද?’ යේසුස් ඔහුගේ අනුගාමිකයන්ට කිව්වා සමහර කාරණා ගැන එයාලා දන්නේ නැහැ, ඒවා දැනගන්නත් එයාලට බැහැ කියලා. “දේවල් සිදු වීමට නියමිත කාල වකවානු නියම කරන්නේ පියාණන්” කියලත් ඔහු කිව්වා. (ක්‍රියා 1:6, 7; යොහ. 16:12) කොහොමවුණත් නැවත නැඟිටීම සිද්ධ වෙන්නේ කොයි කාලෙද කියලා තේරුම්ගන්න උදව් වෙන තොරතුරු බයිබලේ තියෙනවා.

14. යේසුස්ගේ නැවත නැඟිටුවීම සහ ඊට කලින් සිද්ධ වුණ නැවත නැඟිටුවීම් අතර තිබුණ වෙනස මොකක්ද?

14 යේසුස්ගේ නැවත නැඟිටුවීම තමයි බයිබලේ සඳහන් වෙන වැදගත්ම නැවත නැඟිටුවීම. ඔහුව නැවත නැඟිට්ටෙව්ව නිසයි අපි ආදරේ කරපු අය නැවත නැඟිටියි කියන බලාපොරොත්තුව අපිට තියෙන්නේ. යේසුස්ට කලින් නැවත නැඟිට්ටෙව්ව අය, උදාහරණෙකට එලියා, එලිෂා නැවත නැඟිට්ටෙව්ව අය ආයෙත් මැරුණා. ඒත් යේසුස්ව ‘මරණයෙන් නැවත නැඟිටුවා ඇති නිසා ඔහු නැවතත් මරණය අද්දකින්නේ නැහැ. මන්ද ඔහු කෙරෙහි බලපැවැත්වීමට මරණයට තවදුරටත් හැකියාවක් නැහැ.’ ඔහු ස්වර්ගයේ ‘සදහටම ජීවත් වෙනවා.’—රෝම 6:9; එළි. 1:5, 18; කොලො. 1:18; 1 පේතෘ. 3:18.

15. “පළමු පල ලෙස මුලින්ම නැඟිටුවනු ලැබුවේ” යේසුස්ව කියද්දී අදහස් වුණේ මොකක්ද?

15 යේසුස්ව නැවත නැඟිට්ටෙව්වේ ස්වර්ගයේ ජීවත් වෙන්න පුළුවන් කෙනෙක් විදිහට. ඒ වගේ නැවත නැඟිටීමක් වුණ පළවෙනි සහ වැදගත්ම අවස්ථාව ඒකයි. (ක්‍රියා 26:23) ඒත් ස්වර්ගයේ ජීවත් වෙන්න නැවත නැඟිටුවන එකම කෙනා යේසුස් නෙමෙයි. යේසුස් පොරොන්දු වුණා ඔහුගේ විශ්වාසවන්ත නියෝජිතයන් ඔහුත් එක්ක ස්වර්ගයේ රජකම් කරනවා කියලා. (ලූක් 22:28-30) හැබැයි ඒක වෙන්න නම් එයාලා මිය ගිහින් ස්වර්ගයේ ජීවත් වෙන්න පුළුවන් අය විදිහට නැවත නැඟිටුවන්න ඕනේ. පාවුල් මෙහෙම කිව්වා. “ක්‍රිස්තුස්ව දැන් මරණයෙන් නැඟිටුවා අවසන්. මිය ගිය අය අතරින් මුලින්ම නැඟිටුවනු ලැබුවේ ඔහුවය.” ඒ කියන්නේ ස්වර්ගයේ ජීවත් වෙන්න තවත් අයව නැවත නැඟිටුවනවා කියන එකයි. ඒ ගැන එයා කිව්වේ මෙහෙමයි. “සෑම කෙනෙකුවම නැවත නැඟිටුවනු ලබන්නේ නිසි අනුපිළිවෙළකටය. පළමු පල ලෙස මුලින්ම නැඟිටුවනු ලැබුවේ ක්‍රිස්තුස්වය. ඉන්පසු ක්‍රිස්තුස් පැමිණ සිටින කාලයේදී නැවත නැඟිටුවනු ලබන්නේ ඔහුට අයිති වී සිටින අයවයි.”—1 කොරි. 15:20, 23.

16. ස්වර්ගයේ ජීවත් වෙන අයව නැවත නැඟිටුවන්නේ කොයි කාලෙදීද කියලා දැනගන්න පුළුවන් කොහොමද?

16 ස්වර්ගයේ ජීවත් වෙන අයව නැවත නැඟිටුවන්නේ කොයි කාලෙදීද කියලා තේරුම්ගන්න පාවුල් කිව්ව ඒ දේ උදව් වෙනවා. එයා කිව්ව විදිහට ඒක වෙන්නේ ක්‍රිස්තුස් පැමිණ සිටින කාලෙදියි. “ක්‍රිස්තුස් පැමිණ සිටින කාලය” ආරම්භ වුණේ 1914දී කියලත් ඒ කාලය තාමත් අවසන් වෙලා නැහැ කියලත් මේ දුෂ්ට සමාජයේ විනාශය අත ළඟයි කියලත් අපි දන්නවා.

17, 18. ක්‍රිස්තුස් පැමිණ සිටින කාලේදී අභිෂේක ලත් අයගෙන් සමහරදෙනෙක්ට වෙන්නේ මොකක්ද?

17 ස්වර්ගයේ ජීවත් වෙන අයගේ නැවත නැඟිටුවීම ගැන තවත් තොරතුරු බයිබලේ තියෙනවා. ‘මරණය නමැති නින්දෙහි සැතපී සිටින අයට සිදු වන දේ ගැන ඔබ අවබෝධයෙන් සිටිනවාට කැමැත්තෙමු. යේසුස් මිය ගොස් නැවත නැඟිටුණු බව අප විශ්වාස කරනවා නම් මරණය නමැති නින්දෙහි සැතපී සිටින අයවත් ඔහු සමඟ සිටීමට දෙවි නැවත ජීවත් කරවන බව අප විශ්වාස කළ යුතුයි. ස්වාමීන් පැමිණ සිටින කාලය අතරතුරේදී ජීවත්ව සිටින අප, මරණය නමැති නින්දෙහි සැතපී සිටින අයට කලින් නැඟිටින්නේ නැත. මන්ද ස්වාමීන් ස්වර්ගයෙන් බැස ඇවිත් අණක් නිකුත් කරයි. එවිට මුලින්ම නැඟිටුවනු ලබන්නේ ක්‍රිස්තුස් සමඟ එකට බැඳී සිටින මිය ගිය අයවයි. ඉන්පසු ජීවතුන් අතර සිටින අපව ස්වාමීන්ව අහසේදී හමු වීම සඳහා වලාකුළු අතරට ඔසවාගනු ලැබේ. ඒ අනුව අපි නිරතුරුවම ස්වාමීන් සමඟ සිටින්නෙමු.’—1 තෙස. 4:13-17.

18 ස්වර්ගයට යන අයව නැවත නැඟිටුවන්න පටන්ගත්තේ ක්‍රිස්තුස් පැමිණ සිටින කාලය ආරම්භ වෙලා ටික කාලෙකට පස්සෙයි. මහත් පීඩාව අතරතුරේදී පොළොවේ ඉතුරු වෙලා ඉන්න අභිෂේක ලත් අයව ‘වලාකුළු අතරට ඔසවාගනු ලබනවා.’ (මතෙ. 24:31) ‘ඔසවාගනු ලබන’ අය ‘මරණය නමැති නින්දෙහි ගොඩක් කල් සැතපී සිටින්නේ නැහැ.’ මැරුණ ගමන්ම ‘ඒ සියලුදෙනාව වෙනස් කරනවා. ඒ වෙනස ඇසිපිය හෙළන සැණින් සිදු වෙනවා. එය සිදු වන්නේ අවසාන හොරණෑව පිඹිනු ලබන අවස්ථාවේදී.’—1 කොරි. 15:51, 52.

19. “වඩාත් උතුම් නැවත නැඟිටීම” මොකක්ද?

19 දෙවිට විශ්වාසවන්ත හුඟදෙනෙක්ගේ බලාපොරොත්තුව ස්වර්ගයේ යේසුස් එක්ක රජකම් කරන එක නෙමෙයි. එයාලා ආසාවෙන් ඉන්නේ “යෙහෝවා දෙවිගේ දවස” එන කල්. එදාට දෙවි මේ දුෂ්ට සමාජය විනාශ කරනවා. ඒ දවස කවදාද කියලා අපි දන්නේ නැති වුණත් ඒක අත ළඟයි කියලා සාක්ෂිවලින් පැහැදිලියි. (1 තෙස. 5:1-3) පාරාදීසයේදී තවත් විදිහක නැවත නැඟිටුවීමක් වෙනවා. ඒ තමයි පොළොවේ ජීවත් වෙන්න මිනිසුන්ව නැවත නැඟිටුවන එක. පරිපූර්ණ අය වෙලා පොළොවේ හැමදාම ජීවත් වෙන්න එයාලට අවස්ථාව තියෙනවා. ඒක අතීතයේදී කළ නැවත නැඟිටුවීම්වලට වඩා වෙනස්. මොකද එයාලා ආපහු මිය ගියා. එහෙම බලද්දී අනාගතයේදී සිද්ධ වෙන්නේ “වඩාත් උතුම් නැවත නැඟිටීමක්” නෙමෙයිද?—හෙබ්‍රෙ. 11:35.

20. නැවත නැඟිටීම පිළිවෙළකට සිද්ධ වෙයි කියලා හිතන්න පුළුවන් ඇයි?

20 ස්වර්ගයේ ජීවත් වෙන්න නැවත නැඟිටුවන “සෑම කෙනෙකුවම නැවත නැඟිටුවනු ලබන්නේ නිසි අනුපිළිවෙළකටයි.” (1 කොරි. 15:23) ඒ නිසා පොළොවේ සිද්ධ වෙන නැවත නැඟිටීමත් පිළිවෙළකට සිද්ධ වෙයි කියලා හිතන්න පුළුවන්. කෙනෙක්ට මෙහෙම හිතෙන්න පුළුවන්. ‘ළඟදී මැරුණ අයව දහස් අවුරුදු පාලනය ආරම්භයේදීම වගේ නැවත නැඟිටුවයිද? මොකද එතකොට එයාලා දන්න කියන අයට එයාලව පිළිගන්න ලේසියි. අතීතයේ දෙවිට ළැදිව හිටපු, දක්ෂ නායකයන්ව කලින්ම නැවත නැඟිටුවයිද? එතකොට එයාලට පුළුවන් දෙවිගේ සෙනඟව සංවිධානය කරන වැඩවලට උදව් කරන්න. දෙවිට කවදාවත් සේවය කළේ නැති අයට මොනවා වෙයිද? ඒ අයව කවදා, කොහේ නැවත නැඟිටුවයිද?’ ඒ වගේ ප්‍රශ්න අපේ මනසේ ඇති. හැබැයි දැන් ඒ ගැන ඕනෑවට වඩා හිතන්නේ නැතුව ඒක වෙන කල් ඉවසීමෙන් බලන් ඉමු. ඔයාට ස්ථීර වෙන්න පුළුවන් යෙහෝවා දෙවි හැම දෙයක්ම පිළිවෙළකට කරයි කියලා.

21. ඔයාගේ බලාපොරොත්තුව මොකක්ද?

21 ඒ දවස එන කල් යෙහෝවා දෙවි ගැන තියෙන විශ්වාසය තව ශක්තිමත් කරගමු. මිය ගිය අය තමන්ගේ මතකයේ ඉන්නවා කියලත් එයාලව නැවත නැඟිටුවනවා කියලත් දෙවි යේසුස් මාර්ගයෙන් පොරොන්දු වුණා. (යොහ. 5:28, 29; 11:23) දෙවි ඒ දේ කරනවා කියලා තහවුරු කරන්න යේසුස් එක අවස්ථාවකදී කිව්වා දෙවි ආබ්‍රහම්ව, ඊසාක්ව සහ යාකොබ්ව සලකන්නේ ‘ජීවත් වන අය හැටියට’ කියලා. (ලූක් 20:37, 38) මිය ගිය අය “නැවත නැඟිටින බව මට විශ්වාසයි. දෙවි ඒ දේ කරන බවට මට බලාපොරොත්තුවක් තිබෙනවා” කියලා පාවුල් වගේ කියන්න අපිටත් ඕන තරම් හේතු තියෙනවා.—ක්‍රියා 24:15.