Skip to content

පටුනට යන්න

ජීවිත කතාව

හැම දෙයක්ම අත්හැරියේ ස්වාමියාව සතුටු කරන්නයි

හැම දෙයක්ම අත්හැරියේ ස්වාමියාව සතුටු කරන්නයි

“සේවේ ගියොත් ඔයාට ආයේ ගෙදර එන්න බෑ. ගෙදර ආවොත් කකුල් කඩනවා” කියලා තාත්තා මට තර්ජනය කළා. ඒ නිසා ගෙදරින් යන්න මං තීරණය කළා. මගේ ජීවිතේ ස්වාමීන් වෙනුවෙන් අත්හැරිය පළවෙනි දේ ඒකයි. ඒ වෙද්දී මට වයස 16යි.

ඒ වගේ දේකට මුහුණ දෙන්න වුණේ ඇයි කියලා මං ඔයාලට කියන්නම්. මං ඉපදුණේ 1929 ජූලි 29වෙනිදා. පිලිපීනයේ බූලාකාන් කියන පළාතේ පුංචි ගමකයි මං හැදී වැඩුණේ. ඒ වෙද්දී පිලිපීනයේ ආර්ථිකය පහත වැටෙමින් තිබුණ නිසා අපිට ගොඩක් දේවල් තිබුණේ නැහැ. 2වෙනි ලෝක යුද්දේ පටන් අරන් කාලෙකට පස්සේ ජපානය පිලිපීනය යටත් කරගත්තා. ඒත් අපි හිටියේ පිටිසර ගමක නිසා යුද්දේ අපිට ලොකුවට බලපෑවේ නැහැ. අපිට TV, රේඩියෝ තිබුණේ නැහැ. අපේ ගමට පත්තර ආවෙත් නැහැ. මිනිස්සු යුද්දේ ගැන කතා කරපු දේවලින් තමයි අපි තොරතුරු දැනගත්තේ.

අපේ පවුලේ ළමයි 8දෙනෙක් හිටියා. මං දෙවෙනියා. මට වයස අටක් විතර වෙද්දී මං ආච්චියි, සීයායි එක්ක ජීවත් වෙන්න ගියා. අපි කතෝලික අය වුණත් මගේ සීයා අනිත් ආගම් ගැනත් හොයලා බැලුවා. ඒ නිසා එයාගේ යාළුවෝ දීපු හැම ආගමික පොතක්ම එයා එකතු කළා. මට මතකයි දවසක් සීයා ටගාලොග් භාෂාවෙන් තිබුණ බයිබලයකුයි, පුංචි පොත් වගයකුයි මට පෙන්නුවා. බයිබලය කියවන්න මං හරි ආසයි. යේසුස් ගැන සුවිශේෂ පොත්වලින් කියවද්දී ඔහු වගේ වෙන්න මටත් ආස හිතුණා.—යොහ. 10:27.

ස්වාමියාව අනුගමනය කරන විදිහ ඉගෙනගත්තා

1945දී පිලිපීනය ජපානයෙන් නිදහස ලැබුවා. ඒ කාලේ මගේ අම්මායි, තාත්තයි මට ආයෙත් ගෙදර එන්න කියලා කිව්වා. ආයෙත් යන එකට සීයාගෙත් අකමැත්තක් තිබුණේ නැති නිසා මං ගෙදර ගියා.

ඊට ටික කාලෙකට පස්සේ අංගාට් කියන නගරෙන් සාක්ෂිකරුවන් කීපදෙනෙක් අපේ ගමට දේශනා කරන්න ආවා. ඒ එක් කෙනෙක් අපේ ගෙදරටත් ඇවිත් “අවසාන කාලය” ගැන බයිබලේ කියන්නේ මොනවාද කියලා පැහැදිලි කළා. (2 තිමෝ. 3:1-5) ළඟ තිබුණ ගමක එයාලා එකතු වෙලා බයිබලේ ගැන සාකච්ඡා කරනවා කියලා එයා කිව්වා. ඒකට අපිටත් එන්න කිව්වා. අම්මලා නම් ගියේ නැහැ. ඒත් මං ගියා. 20දෙනෙක් විතර ඒකට ඇවිත් හිටියා. සමහර අය බයිබලයෙන් ප්‍රශ්න ඇහුවා මට මතකයි.

එයාලා කතා කරපු හැම දෙයක්ම මට තේරුණේ නැහැ. ඒ නිසා මං එතනින් නැඟිටලා එන්න හදද්දීම එයාලා ගීතිකාවක් කියන්න පටන්ගත්තා. ඒ ගීතිකාවට මට ගොඩක් ආස හිතුණා. ඒ නිසා මං දිගටම හිටියා. ගීතිකාවෙන් සහ යාච්ඤාවෙන් පස්සේ එයාලා ඊළඟ ඉරිදා අංගාට්වල තියෙන රැස්වීමකට එන්න කියලා හැමෝටම ආරාධනා කළා.

රැස්වීම තිබුණේ කි.මී. 8ක් විතර දුරින් තිබුණ කෲස් පවුලේ අයගේ ගෙදර. අපි කීපදෙනෙක් පයින්ම එහෙට ගියා. එදා 50දෙනෙක් රැස්වීමට ඇවිත් හිටියා. එතන හිටපු පුංචි ළමයින්ට පවා බයිබලේ තිබුණ ගැඹුරු දේවල් ගැන හොඳ දැනුමක් තිබුණා. මං කීප සැරයක්ම රැස්වීම්වලට ගියාට පස්සේ දවසක් සහෝදර සැන්ටොස් මට එයාලගේ ගෙදර රෑ නවතින්න එන්න කිව්වා. එයා පුරෝගාමි සේවය කරපු කෙනෙක්. එදා මුළු රෑම වගේ අපි බයිබලේ තිබුණ දේවල් සාකච්ඡා කළා.

ඒ දවස්වල බයිබල් පාඩම් කරපු හුඟදෙනෙක් ඉගෙනගත්ත දේවල් ඉක්මනින්ම අදාළ කරගත්තා. රැස්වීම් කීපයකට ගියාට පස්සේ දවසක් සහෝදරයන් මගෙනුයි, තව කීපදෙනෙකුගෙනුයි ඇහුවා “ඔයාලා කැමතිද බව්තීස්ම වෙන්න” කියලා. මං කිව්වා “ඔව්” කියලා. මොකද මට ඕනෙ වුණේ ‘ස්වාමීන් වන ක්‍රිස්තුස් වෙනුවෙන් වෙහෙස මහන්සි වෙලා සේවය කරන්නයි.’ (කොලො. 3:24) 1946 පෙබරවාරි 15වෙනිදා මං බව්තීස්ම වුණා. මාව බව්තීස්ම කළේ ළඟ තිබුණ ගඟක.

යේසුස්ව ආදර්ශයට අරන් නිතිපතා සේවයේ හවුල් වෙන එක බව්තීස්මයත් එක්ක එන වගකීමක් කියලා අපි තේරුම්ගත්තා. ඒත් මං සේවයේ යනවාට තාත්තා පොඩ්ඩක්වත් කැමති වුණේ නැහැ. තාත්තා දවසක් මෙහෙම කිව්වා. “දේශනා කරන්න ඔයා තාම පොඩි වැඩියි. ගඟක ගිල්ලුවා කියලා දේවසේවකයෙක් වෙන්න පුළුවන්ද?” මං තාත්තාට පැහැදිලි කළා දෙවිගේ කැමැත්ත අපි දේවරාජ්‍යය ගැන දේශනා කරන එක කියලා. (මතෙ. 24:14) “දෙවිට වුණ පොරොන්දුව ඉටු කරන්න මට ඕනෙ” කියලත් මං කිව්වා. එහෙම කිව්වාම තාත්තා කියපු දේ තමයි මේ කතාව පටන්ගනිද්දී මං ඔයාලට කිව්වේ. තාත්තාට ඕනෙ වුණේ කොහොමහරි මං දේශනා කරන එක නවත්තන්නයි. අන්න ඒ නිසයි ගෙදර අත්හැරලා යන්න මං තීරණය කළේ.

කෲස් පවුලේ අය එයාලගේ ගෙදර නවතින්න එන්න කියලා මට කිව්වා. එයාලා මටයි, එයාලගේ පොඩි දුව නෝරාටයි පුරෝගාමි සේවය කරන්න නිතරම දිරිගැන්නුවා. අපි දෙන්නාම 1947 නොවැම්බර් 1වෙනිදා පුරෝගාමි සේවය පටන්ගත්තා. නෝරා පුරෝගාමි සේවය කරන්න වෙන නගරෙකට ගියා. ඒත් මං දිගටම අංගාට්වල සේවය කළා.

තවත් දේවල් අත්හරින්න ලැබුණ අවස්ථාවක්!

මං පුරෝගාමි සේවය පටන් අරන් 3වෙනි අවුරුද්දේ ශාඛා කාර්යාලයේ හිටපු සහෝදර අර්ල් ස්ටුවට් දේශනයක් දෙන්න අංගාට්වලට ආවා. ඒක අහන්න 500කට වඩා රැස් වුණා. එයා දේශනය දුන්නේ ඉංග්‍රීසියෙන්. පස්සේ මං ඒකේ සාරාංශයක් ටගාලොග් භාෂාවෙන් ඉදිරිපත් කළා. මට ඉංග්‍රීසි භාෂාව ගැන පොඩි දැනුමක් තිබුණා. මං ඉස්කෝලේ ගියේ අවුරුදු හතක් වුණත් ගුරුවරු නිතරම වගේ කතා කළේ ඉංග්‍රීසියෙන්. අනික ටගාලොග් භාෂාවෙන් අපේ ප්‍රකාශන වැඩිය තිබුණෙත් නැහැ. ඒ නිසා මං වැඩියෙන් කියෙව්වේ ඉංග්‍රීසි භාෂාවෙන් තිබුණ ප්‍රකාශන. එදා සහෝදර අර්ල් දුන්න දේශනය වගේම පස්සේ කාලේදී තවත් අය දුන්න දේශන පරිවර්තනය කරන්න තරම් දැනුමක් මට ලැබුණේ ඒ විදිහටයි.

1950 නිව් යෝර්ක්වල තියෙන සමුළුවකට සහභාගි වෙන්න ශාඛා කාර්යාලයේ හිටපු මිෂනාරිවරුන් යන නිසා ඒ වැඩ කරන්න පුරෝගාමි සේවය කරන සහෝදරයන් කීපදෙනෙක් ඕනෙ කියලා එදා සහෝදර අර්ල් කිව්වා. ඒ වැඩවලට උදව් කරන්න මටත් එන්න කිව්වා. මං ආයෙත් හුරු පුරුදු වටපිටාව අත්හැරියා. ඒ බෙතෙල් සේවය වෙනුවෙන්.

1950 ජූනි 19වෙනිදා මං බෙතෙල් එකේ මගේ අලුත් පැවරුම පටන්ගත්තා. අක්කර 2 1/2ක විතර ලොකු ඉඩමක ගස්වලින් වට වුණ පරණ ගොඩනැඟිල්ලක තමයි බෙතෙල් එක තිබුණේ. එහේ තනිකඩ සහෝදරයන් 12දෙනෙක් විතර හිටියා. මං උදෙන්ම නැඟිටලා බෙතෙල් එකේ කෑම හදන්න උදව් වුණා. ඊටපස්සේ 9 ඉඳන් ලොන්ඩ්‍රියේ වැඩ කළා. දවල් වරුවෙත් මං කළේ ඒ වැඩමයි. සමුළුවට සහභාගි වුණ මිෂනාරිවරුන් ආයෙත් ආවත් මං දිගටම බෙතෙල් එකේ වැඩ කළා. තැපෑලෙන් යවන සඟරා ඔතන්න, සඟරා ඉල්ලුම් කරපු අයට ඒවා යවන්න, පිළිගැනීමේ නිලධාරියෙක් විදිහට වැඩ කරන්න විතරක් නෙමෙයි බෙතෙල් එකෙන් කියපු ඕනම වැඩක් කරන්න මං ආසාවෙන් හිටියා.

ගිලියද් පුහුණුව ලබන්න හුරු පුරුදු පරිසරය අත්හැරියා

1952දී මාත් එක්ක තව 6දෙනෙක්ට ගිලියද් පාසැලේ 20වෙනි පන්තියට සහභාගි වෙන්න ආරාධනයක් ලැබුණා. ඇමරිකාවේ ජීවිතේ මං හැදී වැඩුණු පුංචි ගමේ ජීවිතේට වඩා ගොඩක් වෙනස්. අපිට ගොඩක් අලුත් දේවලට හුරු වෙන්න වුණා.

ගිලියද් පාසැලේ ශිෂ්‍යයන් කීපදෙනෙක් එක්ක

අපි මීට කලින් පාවිච්චි කරලා තිබුණේ නැති උපකරණ පාවිච්චි කරන්න ඉගෙනගන්න වුණා. එහේ දේශගුණයත් වෙනස්. දවසක් මං උදේ නැඟිටලා බලද්දී හැම තැනම සුදු පාටයි. ඒක හරිම ලස්සනයි. ඒ මං හිම දැකපු පළවෙනි සැරේ. සීතල කියන්නේ මොකක්ද කියලා එදා තමයි මට දැනුණේ.

ඒ කොහොමවුණත් ගිලියද් පාසැලෙන් මං ඉගෙනගත්ත දේවලින් ලැබුණ සතුට නිසා ටික කාලයක් යද්දී ඒ නුහුරු දේවල් මට ගානක් නැතුව ගියා. පාසැල් උපදේශකයන් අපේ හිතට කාවදින විදිහට ඉගැන්නුවා. අර්ථවත් විදිහට බයිබලය අධ්‍යයනය කරන විදිහ අපි පාසැලෙන් ඉගෙනගත්තා. යෙහෝවා දෙවිත් එක්ක තියෙන බැඳීම ශක්තිමත් කරගන්න ගිලියද් පාසැල මට ලොකු උදව්වක් වුණා.

ගිලියද් පුහුණුව ලැබුවාට පස්සේ ටික කාලෙකට මං නිව් යෝර්ක්වල බ්‍රොන්ක්ස් ප්‍රදේශයේ විශේෂ පුරෝගාමියෙක් විදිහට සේවය කළා. ඒ නිසා 1953 ජූලි මාසේ තිබුණ විශේෂ සමුළුවට සහභාගි වෙන්නත් මට පුළුවන් වුණා. ඒකෙන් පස්සේ මං ආයෙත් පිලිපීනයට ගියා.

නගරයේ පහසුකම් අත්හැරියා

පිලිපීනයට ආවාම ශාඛා කාර්යාලයෙන් මට කිව්වා චාරිකා සේවය කරන්න කියලා. ඒක යේසුස්ගේ අඩිපාර කිට්ටුවෙන්ම අනුගමනය කරන්න මට ලැබුණ තවත් අවස්ථාවක්. මොකද යේසුත් ගමෙන් ගමට නගරයෙන් නගරයට ගිහිල්ලා දෙවිගේ බැටළුවන්ට උදව් කරන්න ගොඩක් වෙහෙසුණා. (1 පේතෘ. 2:21) මට චාරිකා සේවය කරන්න ලැබුණේ මධ්‍යම ලූසොන්වල. ඒක තමයි පිලිපීනයේ තිබුණ ලොකුම දූපත. එහේ සමහර පැතිවලට යන්න වුණේ සියේරා මාඩ්රේ කඳුකරය හරහා. පොදු ප්‍රවාහන පහසුකම් තිබුණෙත් නැහැ. ඒ නිසා ගොඩක් වෙලාවට මං ගියේ ලී කොටං ගෙනියන ට්‍රක් රථවල. හැබැයි ලොකු ලී කඳන්වල ඉඳගෙන කිලෝමීටර් ගාණක් යන එක නම් එච්චර ලේසි වුණේ නැහැ.

අලුතෙන් ඇති වෙච්ච පොඩි සභා තමයි එහේ ගොඩක්ම තිබුණේ. ඒ නිසා මං එහේ ගිහින් රැස්වීම්, සේවය සැලසුම් කරන්න එයාලට උදව් වෙද්දී සහෝදරයන් ඒක ගොඩක් අගය කළා.

ඊටපස්සේ මට බිකෝල් ප්‍රදේශයේ චාරිකා සේවය කරන්න ලැබුණා. දේශනා කරපු නැති ප්‍රදේශවලට විශේෂ පුරෝගාමීන් ගිහින් පටන්ගත්ත පොඩි පොඩි කණ්ඩායම් ගොඩක් ඒ චාරිකාවට අයිති වුණා. දවසක් මට හරි වැඩක් වුණා. මං හිටිය ගෙදරක තිබුණේ එක වැසිකිළියක් විතරයි. ඒක ලොකු වළක්. ඒ වළ උඩින් ලී දෙකක් හරහට දාලා තිබුණා. ඒ දෙකට අඩිය තිබ්බ ගමන්ම ලී දෙකත් එක්කම මාව වළට වැටුණා. කොහොමහරි සුද්ද පවිත්‍ර කරගෙන උදේ කෑමට යන්න සෑහෙන වෙලාවක් ගියා.

මං බිකෝල්වල සේවය කරපු කාලේ තමයි නෝරා ගැන හිතන්න පටන්ගත්තේ. බූලාකාන්වල පුරෝගාමි සේවය පටන්ගත්ත නෝරා ඒ වෙද්දී විශේෂ පුරෝගාමි සේවය කරකර හිටියේ ඩූමාගෙට්වල. මං එයාව හම්බ වෙන්න එහෙට ගියා. ඊටපස්සේ අපි ටික කාලයක් ලියුම් හුවමාරු කරගත්තා. 1956දී අපි විවාහ වුණා. විවාහයෙන් පස්සේ පළවෙනි සතියේ අපි රාපු රාපු දූපතේ තිබුණ සභාවකට චාරිකා සේවයේ ගියා. එහෙදී අපිට කඳු නඟින්න, ගොඩක් දුර පයින් යන්න වුණා. ඒක ලේසි නැහැ. ඒත් ඈත පළාත්වල ඉන්න අපේ සහෝදර සහෝදරියන්ට සේවය කරලා අපි දෙන්නා ලොකු සතුටක් අද්දැක්කා.

ආයෙත් බෙතෙල් සේවයට ආරාධනාවක්

ඔය විදිහට අවුරුදු 4ක් විතර ගියාට පස්සේ අපිට බෙතෙල් එකට එන්න කිව්වා. 1960 ජනවාරි මාසේ අපි බෙතෙල් එකට ගියා. බෙතෙල් එකේ සේවය කරපු කාලේ පුරාම වගකීම් දරපු සහෝදරයන් එක්ක වැඩ කරන්න ලැබුණ නිසා එයාලගෙන් ගොඩක් දේවල් ඉගෙනගන්න මට පුළුවන් වුණා. නෝරාත් බෙතෙල් එකේ විවිධ පැවරුම් කළා.

මං සමුළුවක දුන්න දේශනයක් සෙබුආනෝ භාෂාවට පරිවර්තනය කරමින්

පිලිපීනයේ සාක්ෂිකරුවන්ගේ වර්ධනය දකින්න පුළුවන් වුණ එක මං ලබපු ලොකු ආශීර්වාදයක්! මං මුලින් බෙතෙල් එකට එද්දී පිලිපීනයේ හිටියේ ප්‍රචාරකයන් 10,000ක් විතර. ඒත් දැන් පිලිපීනයේ ප්‍රචාරකයන් 2,00,000කටත් වඩා ඉන්නවා. ඒ විතරක් නෙමෙයි බෙතෙල් එකෙත් දැන් සිය ගාණක් ඉන්නවා. එයාලා හැමෝම කරන්නේ දේශනා කරන වැඩේට උදව් කරන එකයි.

පිලිපීනයේ වර්ධනය නිසා වැඩකටයුතු කරගෙන යන්න ලොකු බෙතෙල් එකක් ඕනෙ වුණා. ඒ නිසා හොඳට ඉඩකඩ තියෙන බෙතෙල් එකක් හදන්න පුළුවන් ඉඩමක් හොයන්න කියලා පාලක මණ්ඩලයෙන් අපිට කිව්වා. මුද්‍රණාලයේ වැඩකටයුතු අධීක්ෂණය කරපු සහෝදරයායි, මායි බෙතෙල් එකට කිට්ටුව තිබුණ හැම ගෙයක් ගෙයක් ගානෙම ගිහිල්ලා එයාලගේ ඉඩම් විකුණනවාද කියලා ඇහුවා. කවුරුත් ඒකට කැමති වුණේ නැහැ. එක් කෙනෙක් අපිට කිව්වා “චීන ජාතිකයෝ නම් විකුණන්නේ නැහැ, ගන්නවා විතරයි” කියලා.

සහෝදර ඇල්බට් ෂ්‍රෝඩගේ දේශනය පරිවර්තනය කරමින්

කොහොමහරි එක දවසක් අපි හිතපු නැති විදිහේ දෙයක් වුණා. කෙනෙක් ඇවිත් අපෙන් ඇහුවා එයාගේ ඉඩම ගන්න කැමතිද කියලා. මොකද එයා ඒක විකුණලා ඇමරිකාවට යන්නයි හිටියේ. ඊටපස්සේ තව කෙනෙක් එයාගේ ඉඩමත් විකුණන්න කැමති වුණා. ඒ විතරක් නෙමෙයි එයා අනිත් අයටත් උනන්දු කළා එයාලගේ ඉඩම් අපිට විකුණන්න කියලා. අන්තිමට “චීන ජාතිකයෝ නම් විකුණන්නේ නැහැ” කියලා කිව්ව කෙනාත් එයාගේ ඉඩම අපිට විකුණුවා. ටික කාලයක් ඇතුළත බෙතෙල් ඉඩම කලින්ට වඩා තුන් ගුණයකින් විතර වැඩි වුණා. යෙහෝවා දෙවිට ඕන වුණේ ඒ දේ වෙනවා දකින්නයි කියලා ඒකෙන් පැහැදිලි වුණා.

1950 මං බෙතෙල් එකට එද්දී මං තමයි හිටපු බාලම කෙනා. ඒත් දැන් මමයි, මගේ බිරිඳයි තමයි බෙතෙල් එකේ ඉන්න වයසකම දෙන්නා. ස්වාමීන් වෙනුවෙන් අත්හරින්න වුණ දේවල් ගැන මට පොඩ්ඩක්වත් දුක නැහැ. ඇත්ත, මගේ දෙමාපියන් මාව ගෙදරින් එළෙව්වා. ඒත් යෙහෝවා දෙවි මට ලොකු පවුලක් දීලා තියෙනවා. අපිට මොන පැවරුම ලැබුණත් දෙවි අපිට ඕන කරන හැම දේම දීලා අපිව බලාගන්නවා කියලා මට චුට්ටක්වත් සැක නැහැ. නෝරාත් මමත් දෙවි අපි වෙනුවෙන් දීපු හැම දේටම ස්තුතිවන්ත වෙනවා. අපි අනිත් අයටත් දිරිගන්වන්නේ යෙහෝවා දෙවි ගැන විශ්වාසය තියලා වැඩ කරලා ඔහුගේ ආශීර්වාද අද්දකින්න කියලා.—මලා. 3:10.

යේසුස් එක අවස්ථාවකදී ලෙවී කියන බදු එකතු කරන්නාට කිව්වා ‘මගේ අනුගාමිකයෙක් වෙන්න’ කියලා. එයා මොකද කළේ? එයා ‘හැම දේම අත්හැරලා යේසුස් අනුව ගියා.’ (ලූක් 5:27, 28) මටත් ස්වාමීන් වෙනුවෙන් දේවල් අත්හරින්න අවස්ථාව ලැබුණා. මං අනිත් අයටත් කියන්නේ බය නැතුව ස්වාමීන් වෙනුවෙන් දේවල් අත්හැරලා මං ලබපු සතුටම අද්දකින්න කියලා.

පිලිපීනයේ සාක්ෂිකරුවන්ගේ වර්ධනයට හවුල් වෙන්න ලැබෙන එක සතුටක්