Skip to content

පටුනට යන්න

පාඩම් ලිපිය 37

කැමැත්තෙන්ම යෙහෝවා දෙවියන්ට යටත් වෙමු

කැමැත්තෙන්ම යෙහෝවා දෙවියන්ට යටත් වෙමු

“පියාණන්ට අප ඊටත් වඩා වැඩියෙන් යටත් වී ජීවත් විය යුතු නැද්ද?”—හෙබ්‍රෙ. 12:9.

ගීතිකාව 9 යෙහෝවා දෙවි අපේ රජයි

මේ ලිපියෙන් *

1. අපි යෙහෝවා දෙවියන්ට යටත් වෙන්න ඕනෙ ඇයි?

අපි යෙහෝවා දෙවියන්ට යටත් වෙන්න * ඕනේ. මොකද ඔහු අපේ නිර්මාතෘ. ඒ නිසා අපි කරන්න ඕනෙ මොනවාද කියලා කියන්න ඔහුට අයිතියක් තියෙනවා. (එළි. 4:11) දෙවියන්ගේ පාලනය හොඳම පාලනය නිසාත් අපි ඔහුට කීකරු වෙන්න ඕනේ. ඉතිහාසය පුරාම හුඟක් පාලකයන් මිනිසුන්ව පාලනය කරලා තියෙනවා. ඒත් එයාලා පාලනය කරන විදිහ දෙවියන් පාලනය කරන විදිහ එක්ක බලද්දී ඒ හැම කෙනෙක්ටම වඩා ප්‍රඥාවන්තම, ප්‍රේමණීය, දයාන්විත, කරුණාවන්තම පාලකයා යෙහෝවා දෙවියන් කියලා පැහැදිලියි.—නික්. 34:6; රෝම 16:27; 1 යොහ. 4:8.

2. හෙබ්‍රෙව් 12:9-11 අනුව අපි යෙහෝවා දෙවියන්ට යටත් වෙන්න ඕනෙ මොන හේතු නිසාද?

2 යෙහෝවා දෙවියන් කැමති ඔහුට තියෙන ආදරේ නිසා, ඔහු අපේ ආදරණීය තාත්තා නිසා අපි ඔහුට කීකරු වෙනවා දකින්න. එහෙම නැතුව ඔහු අකමැති දෙයක් කරන්න තියෙන බය නිසාම ඔහුට කීකරු වෙනවාට නෙමෙයි. පාවුල් හෙබ්‍රෙව්වරුන්ට ලියපු ලිපියේ පැහැදිලි කළා අපි ‘පියාණන්ට යටත් වෙන්න’ ඕනෙ “අපගේ ප්‍රයෝජනය සඳහා” දෙවියන් අපිව පුහුණු කරන නිසයි කියලා.—හෙබ්‍රෙව් 12:9-11 කියවන්න.

3. (අ) අපි යෙහෝවා දෙවියන්ට යටත් වෙනවා කියලා පෙන්නන්න පුළුවන් කොහොමද? (ආ) අපි බලන්නේ මොන ප්‍රශ්න ගැනද?

3 අපේම නුවණ මත විශ්වාසය තියන්නේ නැතුව හැම කාරණයකදීම යෙහෝවා දෙවියන්ට කීකරු වෙද්දී අපි පෙන්නන්නේ අපි දෙවියන්ට යටත් වෙනවා කියලයි. (හිතෝ. 3:5) දෙවියන්ට තියෙන ලස්සන ගතිලක්ෂණ ගැන ඉගෙනගද්දී ඔහුට යටත් වෙන්න අපිට පහසුයි. මොකද යෙහෝවා දෙවියන් දෙයක් කරනවා නම් එහෙම කරන්නේ ඇයි කියලා එතකොට අපිට තේරෙනවා. (ගීතා. 145:9) අපි දෙවියන් ගැන ඉගෙනගන්න තරමට ඔහු ගැන අපිට තියෙන ආදරෙත් වැඩි වෙනවා. අපි ඔහුට ආදරේ කරද්දී අපි කරන්න ඕනෙ මොනවාද නැත්තේ මොනවාද කියලා විස්තර ඇතුළත් ලැයිස්තුවක් අපිට ඕනෙ වෙන්නේ නැහැ. ඒ වෙනුවට යම් දෙයක් කරන්න කලින් දෙවියන් ඒ ගැන හිතන්නේ මොකක්ද අපි මොනවා කරනවාටද ඔහු කැමති කියලා හිතන්න අපි උත්සාහ කරනවා. (ගීතා. 97:10) ඒත් සමහර අවස්ථාවලදී දෙවියන්ට කීකරු වෙන එක අපිට අභියෝගයක් වෙන්න පුළුවන්. ඒ ඇයි? වැඩිමහල්ලන්ට, තාත්තලාට සහ අම්මලාට ආණ්ඩුකාරයෙක් වුණ නෙහෙමියාගෙන්, දාවිත් රජුගෙන් සහ යේසුස්ගේ අම්මා වුණ මරියාගෙන් ඉගෙනගන්න පුළුවන් මොනවාද? ඒ ප්‍රශ්නවලට උත්තර මේ ලිපියෙන් බලමු.

යටත් වෙන එක අමාරු ඇයි?

4-5. රෝම 7:21-23 අනුව යෙහෝවා දෙවියන්ට යටත් වෙන එක අපිට අභියෝගයක් වෙන්න පුළුවන් ඇයි?

4 යෙහෝවා දෙවියන්ට යටත් වෙන එක අභියෝගයක් වෙන්න පුළුවන් එක හේතුවක් තමයි අපිට උරුම වෙලා තියෙන පාපය. ඒ නිසා හැම කාරණයකදීම ඔහුට කීකරු වෙන්න අපි තුළ කැමැත්තක් නැති වෙන්න පුළුවන්. ආදම් සහ ඒව දෙවියන්ට අකීකරු වුණ වෙලාවේ එයාලා පෙන්නුවේ හරි වැරැද්ද මොකක්ද කියලා එයාලම තීරණය කරනවා කියලයි. (උත්. 3:22) අදත් මිනිසුන් වැඩිදෙනෙක් කැමති යෙහෝවා දෙවියන්ගේ ප්‍රමිති පැත්තකට දාලා හරි වැරැද්ද මොකක්ද කියලා එයාලම තීරණය කරන්නයි.

5 දෙවියන්ව දැන හඳුන ගෙන ඉන්න, ඔහුට ආදරේ කරන අය හැටියට අපි එහෙම නොකළත් හැම කාරණයකදීම දෙවියන්ට යටත් වෙන එක අපිට අභියෝගයක් වෙන්න පුළුවන්. පාවුල්ටත් ඒ අභියෝගය තිබුණා. (රෝම 7:21-23 කියවන්න.) පාවුල්ට වගේ අපිටත් ඕනෙ හැම වෙලාවේම දෙවියන් හරියි කියන දේ කරන්න. ඒත් ඒක කරන්න නම් වැරදි දේ කරන්න අපි තුළ තියෙන පෙලඹීමට විරුද්ධව අපි හැම තිස්සෙම සටන් කරන්න ඕනේ.

6-7. යෙහෝවා දෙවියන්ට යටත් වෙන එක අපිට අභියෝගයක් වෙන්න පුළුවන් දෙවෙනි හේතුව මොකක්ද? අද්දැකීමක් කියන්න.

6 හුඟක් මිනිසුන්ගේ අදහස් දෙවියන්ගේ කැමැත්තට එකඟ නැහැ. ඒ වගේ පරිසරයක ඇතිදැඩි වෙද්දී ඒ අදහස් අපි හිතන විදිහට, අපි කරන කියන දේවලට බලපානවා. ඒ නිසාත් යෙහෝවා දෙවියන්ට යටත් වෙන එක අපිට අභියෝගයක් වෙන්න පුළුවන්. මේ ඒ වගේ එක උදාහරණයක්.

7 හුඟක් රටවල යෞවනයන්ට උනන්දු කරන්නේ හොඳට සල්ලි හම්බ කරන්න පුළුවන් රස්සාවක් හොයාගන්න කියලයි. මේරි * කියන සහෝදරියත් ඒ අභියෝගයට මුහුණ දුන්නා. යෙහෝවා දෙවියන් ගැන දැනගන්න කලින් එයා ගියේ එයාගේ රටේ තිබුණ හොඳම පාසැලකට. ලොකු පඩියක් හම්බ වෙන, අනිත් අයගේ ගෞරවය දිනාගන්න පුළුවන් රස්සාවක් කරන්න කියලා පවුලේ අය එයාට බල කළා. එයාට ඕනෙ වුණෙත් ඒ දේමයි. ඒත් එයා යෙහෝවා දෙවියන් ගැන ඉගෙනගෙන ඔහුට ආදරේ කරන්න පටන්ගත්තාට පස්සේ එයාගේ ඉලක්ක වෙනස් වුණා. එයා මෙහෙම කියනවා. “සමහර වෙලාවට හොඳට සල්ලි හම්බ කරන්න පුළුවන් අවස්ථාවන් මට ලැබෙනවා. ඒත් ඒවා පස්සේ ගියොත් මං දැන් දෙවියන්ට කරනවා වගේ සේවයක් කරන්න මට බැහැ. මං ඇතිදැඩි වුණ පසුබිම නිසා ඒ වගේ අවස්ථාවන්ට බැහැ කියන්න මට තාමත් ලේසි නෑ. ඒ පෙලඹීම්වලට අහු නොවී ඉන්න මට උදව් කරන්න කියලා මං යෙහෝවාට හැම තිස්සේම කියන්නේ ඒ නිසයි.”—මතෙ. 6:24.

8. දැන් අපි බලන්නේ මොනවා ගැනද?

8 යෙහෝවා දෙවියන්ට යටත් වෙන එකෙන් ප්‍රයෝජන ලැබෙන්නේ අපිටමයි. ඒත් වැඩිමහල්ලන්, තාත්තලා, අම්මලා වගේ යම් අධිකාරියක් තියෙන අය යෙහෝවා දෙවියන්ට යටත් වෙද්දී ඒකෙන් අනිත් අයත් ප්‍රයෝජන ලබනවා. යම් අධිකාරියක් තියෙන ඒ වගේ අයට දෙවියන්ව සතුටු වෙන විදිහට ඒ අධිකාරිය පාවිච්චි කරන්න පුළුවන් කොහොමද කියලා තේරුම්ගන්න උදව් වෙන බයිබල් චරිත 3ක් ගැන දැන් අපි බලමු.

වැඩිමහල්ලෙනි, නෙහෙමියාව ආදර්ශයට ගන්න

යෙරුසලමේ පවුරු නැවත ගොඩනඟන්න නෙහෙමියා සෙනඟ එක්ක එකතු වෙලා වැඩ කළා වගේ වැඩිමහල්ලනුත් නමස්කාර මධ්‍යස්ථානයේ නඩත්තු වැඩවලට හවුල් වෙනවා (9-11 ඡේද බලන්න) *

9. නෙහෙමියා මුහුණ දුන්නේ මොන වගේ අභියෝගවලටද?

9 යෙහෝවා දෙවියන් තමන්ගේ සෙනඟව රැකබලා ගන්න බැරෑරුම් වගකීම වැඩිමහල්ලන්ට දීලා තියෙනවා. (1 පේතෘ. 5:2) නෙහෙමියා දෙවියන්ගේ සෙනඟට සලකපු විදිහෙන් වැඩිමහල්ලන්ට හුඟක් දේවල් ඉගෙනගන්න පුළුවන්. යූදා දේශයේ ආණ්ඩුකාරයා විදිහට නෙහෙමියාට සෑහෙන අධිකාරියක් තිබුණා. (නෙහෙ. 1:11; 2:7, 8; 5:14) එයා මුහුණ දීපු අභියෝග ගැන හිතන්න. එයාට දැනගන්න ලැබුණා යුදෙව්වන් දෙවියන්ට අගෞරවයක් ගේන දේවල් දේවමාලිගාවේ කරනවා කියලා. නීතියේ සඳහන් වෙලා තිබුණ විදිහට ලෙවීවරුන්ගේ අවශ්‍යතාවන් වෙනුවෙන් සෙනඟ සම්මාදම් කරන්නේ නැහැ කියලත් එයාට දැනගන්න ලැබුණා. එයාලා සබත ගැන දෙවියන් දීලා තිබුණ නීති පිළිපැද්දෙත් නැහැ. සමහරු වෙනත් ජාතීන්ට අයිති ස්ත්‍රීන්ව විවාහ කරගෙන හිටියා. නෙහෙමියා මොකද කළේ?—නෙහෙ. 13:4-30.

10. ආපු අභියෝගවලට නෙහෙමියා මුහුණ දුන්නේ කොහොමද?

10 නෙහෙමියා එයාට තිබුණ අධිකාරිය පාවිච්චි කරලා එයා කියන දේ කරන්න කියලා සෙනඟට බල කළේ නැහැ. ඒ වෙනුවට එයා යෙහෝවා දෙවියන්ට යාච්ඤා කරලා ඔහුගෙන් මඟ පෙන්වීම් පැතුවා. දෙවියන්ගේ නීතිය ගැන සෙනඟව දැනුවත් කළා. (නෙහෙ. 1:4-10; 13:1-3) සෙනඟ යෙරුසලමේ පවුරු හදද්දී නෙහෙමියාත් එයාලා එක්ක වැඩ කළා.—නෙහෙ. 4:15.

11. 1 තෙසලෝනික 2:7, 8 කියන විදිහට වැඩිමහල්ලන් සභාවේ අයට සලකන්න ඕනෙ කොහොමද?

11 නෙහෙමියා මුහුණ දීපු අභියෝගවලට මුහුණ දෙන්න වැඩිමහල්ලන්ට වෙන එකක් නැහැ. ඒත් හුඟක් පැතිවලින් එයාව ආදර්ශයට ගන්න එයාලට පුළුවන්. උදාහරණෙකට සභාවේ අයට උදව් කරන්න වැඩිමහල්ලන් මහන්සි වෙනවා. ඒත් එයාලට තියෙන අධිකාරිය නිසා එයාලා අනිත් අයට වඩා උසස් කියලා හිතනවා වෙනුවට එයාලා සභාවේ අයට ආදරෙන් සලකනවා. (1 තෙසලෝනික 2:7, 8 කියවන්න.) එයාලා නිහතමානී නිසාත් අනිත් අයට තියෙන ආදරේ නිසාත් සභාවේ අය එක්ක කතා කරද්දී එයාලගේ හැඟීම් සැලකිල්ලට ගන්නවා. වැඩිමහල්ලෙක් වන ඇන්ඩෘ මෙහෙම කියනවා. “වැඩිමහල්ලෙක් කාරුණික නම්, මිත්‍රශීලී නම් සභාවේ අය ලේසියෙන්ම එයාට ළං වෙනවා. අපිත් එක්ක සහයෝගයෙන් වැඩ කරන්න එතකොට සභාවේ අයට පහසුයි.” ටෝනි කියන වැඩිමහල්ලා කියන්නේ මෙහෙමයි. “ෆිලිප්පි 2:3 තියෙන උපදෙස අදාළ කරගෙන අනිත් අය මට වඩා උසස් කියලා හිතලා වැඩ කරන්න මං හැම තිස්සේම උත්සාහ කරනවා. මං කියන විදිහට වැඩ කරන්න කියලා අනිත් අයට බල නොකර ඉන්න ඒක මට උදව්වක්.”

12. වැඩිමහල්ලන් නිහතමානී අය වෙන්න ඕනෙ ඇයි?

12 යෙහෝවා දෙවියන් වගේ වැඩිමහල්ලනුත් නිහතමානී වෙන්න ඕනේ. ඔහු විශ්වයේ ඉන්න උසස්ම පාලකයා වුණත් “තමාට පහතින් තිබෙන අහසත් පොළොවත් දෙස දෑස් යොමු කර අසරණ වූ තැනැත්තාව දූවිල්ලෙන්” නඟා සිටුවනවා. (ගීතා. 18:35; 113:6, 7) උඩඟු අහංකාර අය ඔහුට පිළිකුලක්.—හිතෝ. 16:5.

13. වැඩිමහල්ලන් “තමාගේ දිව පාලනය කරගන්න” ඕනෙ ඇයි?

13 යෙහෝවා දෙවියන්ට යටත් වෙන වැඩිමහල්ලෙක් එයාගේ “දිව පාලනය කරගන්න” ඕනේ. එහෙම කළේ නැත්නම් එයාට අගෞරවයෙන් සලකන කෙනෙක්ට අකාරුණික විදිහට කතා කරන්න එයා පෙලඹෙන්න පුළුවන්. (යාකො. 1:26; ගලා. 5:14, 15) ඇන්ඩෘ මෙහෙම කියනවා. “සභාවේ කෙනෙක් මට ගෞරවය පෙන්නන්නේ නැහැ කියලා දැනුණාම එයාට ටිකක් තදින් කතා කරන්න මට හිතුණු වෙලාවල් තියෙනවා. ඒත් බයිබලේ සඳහන් වෙන විශ්වාසවන්ත පුරුෂයන්ගේ ආදර්ශ ගැන හිතද්දී නිහතමානී, මෘදු කෙනෙක් වෙන එක කොච්චර වැදගත්ද කියලා තේරුම්ගන්න මට පුළුවන් වෙලා තියෙනවා.” සෙසු වැඩිමහල්ලන් ඇතුළුව සභාවේ හැමෝටම ආදරෙන්, ගෞරවයෙන් කතා කරද්දී වැඩිමහල්ලන් පෙන්නන්නේ එයාලා යෙහෝවා දෙවියන්ට යටත් වෙනවා කියලා.—කොලො. 4:6.

පියවරුනි, දාවිත් රජුව ආදර්ශයට ගන්න

14. යෙහෝවා දෙවියන් තාත්තලාට දීලා තියෙන වගකීම මොකක්ද? දෙවියන් එයාලගෙන් බලාපොරොත්තු වෙන්නේ මොකක්ද?

14 යෙහෝවා දෙවියන් පවුලක මුල් තැන අරන් වැඩ කරන වගකීම දීලා තියෙන්නේ ඒ පවුලේ තාත්තාට. එයා දරුවන්ව හොඳින් පුහුණු කරයි කියලත් එයාලට අවශ්‍ය හික්මවීම් දෙයි කියලත් දෙවියන් බලාපොරොත්තු වෙනවා. (1 කොරි. 11:3; එෆී. 6:4) ඒත් එයාට කැමති විදිහට ඒ අධිකාරිය පාවිච්චි කරන්න පුළුවන් කියලා ඒකෙන් අදහස් කරන්නේ නැහැ. හැම පවුලකම නිර්මාතෘ යෙහෝවා දෙවියන් නිසා පවුලේ අයට සලකන විදිහ ගැන තාත්තා යෙහෝවා දෙවියන්ට වග කියන්න ඕනේ. (එෆී. 3:14, 15) දෙවියන් සතුටු වෙන විදිහට අධිකාරිය පාවිච්චි කරලා තමන් දෙවියන්ට යටත් වෙනවා කියලා පෙන්නන්න තාත්තලාට පුළුවන්. දාවිත් රජුගෙන් එයාලට හුඟක් දේවල් ඉගෙනගන්න පුළුවන්.

තාත්තා කෙනෙක් යාච්ඤා කරන විදිහෙන් එයාගේ නිහතමානිකම පවුලේ අයට පැහැදිලි වෙන්න ඕනේ (15 සහ 16 ඡේද බලන්න) *

15. දාවිත් රජු තාත්තලාට හොඳ ආදර්ශයක් කියන්නේ ඇයි?

15 යෙහෝවා දෙවියන් දාවිත්ව මුළු ඊශ්‍රායෙල් සෙනඟගේ මූලිකයා විදිහට පත් කළා. රජ විදිහට දාවිත්ට ලොකු අධිකාරියක් තිබුණා. යම් අවස්ථාවලදී එයා ඒ අධිකාරිය වැරදි විදිහට පාවිච්චි කරපු නිසා එයා අතින් බරපතළ වැරදි වුණා. (2 සාමු. 11:14, 15) ඒත් ලැබුණ හික්මවීම් පිළි අරන් එයා පෙන්නුවා එයා යෙහෝවා දෙවියන්ට යටත් කියලා. එයාගේ හිතේ තිබුණ හැම දේම එයා යාච්ඤාවෙන් දෙවියන්ට කිව්වා. දෙවියන් දුන්න උපදෙස් පිළිපදින්න එයා උපරිම වෑයමක් ගත්තා. (ගීතා. 51:1-4) පුරුෂයන් කියපු දේවලට වගේම ස්ත්‍රීන් කියපු දේවලටත් ඇහුම්කන් දීලා ඒ අනුව වැඩ කරන්න තරම් එයා නිහතමානී වුණා. (1 සාමු. 19:11, 12; 25:32, 33) දාවිත් එයාගේ වැරදිවලින් පාඩම් ඉගෙනගෙන යෙහෝවා දෙවියන්ට සේවය කරන එකට ජීවිතේ මුල් තැන දුන්නා.

16. තාත්තලාට දාවිත් රජුගෙන් ඉගෙනගන්න පුළුවන් පාඩම් මොනවාද?

16 දාවිත් රජුගෙන් තාත්තලාට ඉගෙනගන්න පුළුවන් මොනවාද? තාත්තා කෙනෙක් විදිහට යෙහෝවා දෙවියන් ඔයාට දීලා තියෙන අධිකාරිය වැරදි විදිහට පාවිච්චි කරන්න එපා. ඔයා අතින් අඩුපාඩු වෙද්දී ඒවා පිළිගන්න. අනිත් අය බයිබලේ පාවිච්චි කරලා උපදෙස් දෙද්දී ඒවා භාරගන්න. එහෙම කරද්දී ඔයාගේ පවුලේ අය ඔයාට ගෞරවය කරයි. මොකද ඔයාගේ නිහතමානිකම ඒකෙන් පේනවා. පවුලේ අය එක්ක යාච්ඤා කරද්දී ඔයාට හැඟෙන විදිහ දෙවියන්ට කියන්න. එතකොට දෙවියන්ගේ උදව්, මඟ පෙන්වීම් ලබාගන්න ඔයා කොච්චර ආසද කියලා පවුලේ අයට තේරෙයි. ඒ හැම දේටම වඩා ඔයාගේ ජීවිතේ වැදගත්ම දේ වෙන්න ඕනෙ යෙහෝවා දෙවියන්ට කරන සේවයයි. (ද්වි. 6:6-9) ඔයාගේ ආදර්ශය පවුලේ අයට ඔයාට දෙන්න පුළුවන් වටිනාම තෑග්ගක්.

මව්වරුනි, මරියාව ආදර්ශයට ගන්න

17. යෙහෝවා දෙවියන් අම්මලාට දීලා තියෙන වගකීම මොකක්ද?

17 දරුවන් ගැන යම් අධිකාරියක් අම්මාටත් දෙවියන් දීලා තියෙනවා. (හිතෝ. 6:20) අම්මා කෙනෙක් කරන කියන දේවලට පුළුවන් එයාගේ දරුවන්ගේ ජීවිතවලට ලොකු බලපෑමක් කරන්න. (හිතෝ. 22:6) යේසුස්ගේ අම්මා වුණ මරියාගෙන් අම්මලාට ඉගෙනගන්න පුළුවන් මොනවාද කියලා බලමු.

18-19. අම්මලාට මරියාගෙන් ඉගෙනගන්න පුළුවන් මොනවාද?

18 මරියාට ශුද්ධ ලියවිලි ගැන හොඳ අවබෝධයක් තිබුණා. එයාට යෙහෝවා දෙවියන් ගැන තිබුණේ ලොකු ගෞරවයක්. දෙවියන් එක්ක එයාට කිට්ටු බැඳීමකුත් තිබුණා. තමන්ගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම කණපිට හැරෙනවා කියලා දැනගෙන හිටියත් මරියා දෙවියන් කියන ඕනෙම දෙයක් කරන්න කැමති වුණා.—ලූක් 1:35-38, 46-55.

අම්මා කෙනෙක් මොන තරම් මහන්සියෙන් හිටියත් එයාගේ පවුලේ අයට ආදරෙන් සලකන්න ලොකු වෑයමක් දරන්න ඕනේ (19 ඡේදය බලන්න) *

19 හුඟක් පැතිවලින් මරියාව ආදර්ශයට ගන්න අම්මලාට පුළුවන්. ඒ කොහොමද? (1) ඔයා බයිබලේ හොඳින් අධ්‍යයනය කරලා, නිතිපතා යාච්ඤා කරලා දෙවියන් එක්ක ඔයාට තියෙන බැඳීම ශක්තිමත් කරගන්න. (2) යෙහෝවා දෙවියන්ව සතුටු කරන්න තියෙන ආසාව නිසා කැමැත්තෙන්ම ජීවිතේ වෙනස්කම් කරගන්න. උදාහරණෙකට ඔයා ඇතිදැඩි වෙන්න ඇත්තේ ඉක්මනින්ම කේන්ති යන, සැරෙන් කතා කරන දෙමාපියන් යටතේ වෙන්න පුළුවන්. ඒ නිසා දරුවන්ට ඒ විදිහට කතා කරන එක සාමාන්‍ය දෙයක් කියලා ඔයාට හිතෙයි. යෙහෝවා දෙවියන් ඔයාගෙන් බලාපොරොත්තු වෙන දේ ගැන ඔයා ඉගෙනගත්තාට පස්සෙත් දරුවන් එක්ක ඉවසීමෙන් වැඩ කරන එක ඔයාට අභියෝගයක් වෙන්න පුළුවන්. විශේෂයෙන්ම මහන්සියෙන් ඉන්න වෙලාවලදී ඒක අමාරුයි. (එෆී. 4:31) ඒ වගේ වෙලාවලදී දෙවියන්ගෙන් උදව් ඉල්ලන එක ගොඩක් වැදගත්. ලිඩියා මෙහෙම කියනවා. “මගේ පුතා අකීකරු වෙන වෙලාවලදී තරහෙන් එයාට කතා කරන්නේ නැතුව ඉන්න උදව් කරන්න කියලා මං යෙහෝවාට කන්නලව් කරනවා. සමහර වෙලාවලදී මම තරහෙන් දෙයක් කියන්න පටන්ගත්තත් ඒක මැදින් නවත්තලා යාච්ඤා කරනවා. සන්සුන් වෙන්න යාච්ඤාව මට උදව් වෙනවා.”—ගීතා. 37:5.

20. සමහර අම්මලාට තියෙන අභියෝගය මොකක්ද? ඒක ජය ගන්න පුළුවන් කොහොමද?

20 සමහර අම්මලාට තියෙන තවත් අභියෝගයක් තමයි දරුවන් ගැන එයාලට තියෙන ආදරේ පෙන්නන එක. (තීත. 2:3, 4) එහෙම අම්මලාගෙන් වැඩිදෙනෙක් ඇතිදැඩි වෙලා තියෙන්නේ දෙමාපියන්ට දරුවන් එක්ක කිට්ටු බැඳීමක් තිබුණේ නැති පවුල්වල. ඔයාත් ඇතිදැඩි වුණේ ඒ වගේ පවුලක නම් ඔයාගේ දෙමාපියන් කරපු වරද ඔයාත් කරන්න ඕනෙද? යෙහෝවා දෙවියන්ට යටත් වෙන අම්මා කෙනෙක් එයාගේ ආදරේ දරුවන්ට පෙන්නන්න ඉගෙනගන්න ඕනේ. ඔයා හිතන විදිහ, ඔයාට හැඟෙන විදිහ, ඔයා දේවල් කරන විදිහ වෙනස් කරගන්න එක අමාරු වෙයි. ඒත් ඒක කරන්න බැරි දෙයක් නෙමෙයි. ඒ වෙනස්කම් කරගද්දී ඒකෙන් ඔයාට වගේම ඔයාගේ පවුලේ හැමෝටම ලොකු සතුටක් ලැබෙයි.

දිගටම යෙහෝවා දෙවියන්ට යටත් වෙන්න

21-22. යෙසායා 65:13, 14 අනුව යෙහෝවා දෙවියන්ට යටත් වෙද්දී අපිට ලැබෙන ආශීර්වාද මොනවාද?

21 යෙහෝවා දෙවියන්ට යටත් වෙද්දී ලැබෙන ආශීර්වාද ගැන දාවිත් රජ මෙහෙම කිව්වා. “යෙහෝවා දෙවිගේ නියෝග සාධාරණය. ඒවා සිතට සතුටක් ගෙන දෙන්නේය. යෙහෝවා දෙවිගේ ආඥා පවිත්‍රය. ඒවා ඇස් දීප්තිමත් කරන්නේය. ඒවායින් ඔබේ සේවකයාට අනතුරු ඇඟවීම් ලැබෙන්නේය. ඒවා පිළිපැදීමෙන් බොහෝ ආශීර්වාද ලැබෙන්නේය.” (ගීතා. 19:8, 11) අදත් යෙහෝවා දෙවියන්ට යටත් වෙන අය සහ එහෙම නොකරන අය අතරේ මොන තරම් පැහැදිලි වෙනසක් තියෙනවාද! දෙවියන්ට යටත් වෙන අය “සතුටු සිතින් ප්‍රීති ඝෝෂා නඟනවා” කියලා බයිබලේ කියනවා.—යෙසායා 65:13, 14 කියවන්න.

22 වැඩිමහල්ලන්, තාත්තලා සහ අම්මලා යෙහෝවා දෙවියන්ට කැමැත්තෙන්ම යටත් වෙද්දී ඒකෙන් එයාලගේ ජීවිත තවත් හොඳ අතට හැරෙනවා. එයාලගේ පවුලේ අය අද්දකින සතුට තව වැඩි වෙනවා. සභාවේ හැමෝම අතරේ තියෙන එක්සත්කමත් වැඩි වෙනවා. ඒ හැම දේටම වඩා යෙහෝවා දෙවියන්ගේ හිත සතුටු කරන්න එයාලට පුළුවන් වෙනවා. (හිතෝ. 27:11) ඒක තමයි අපිට ලබන්න පුළුවන් වටිනාම ආශීර්වාදය.

ගීතිකාව 123 දෙවි ඇති කළ සැලැස්මට කීකරු වෙමු

^ 5 ඡේ. අපි යෙහෝවා දෙවියන්ට යටත් වෙන්න ඕනෙ ඇයි කියලා මේ ලිපියේ කතා කරනවා. වැඩිමහල්ලන්, දෙමාපියන් වගේ යම් අධිකාරියක් තියෙන අයට ආණ්ඩුකාරයෙක් වුණ නෙහෙමියාගෙන්, දාවිත් රජුගෙන් සහ යේසුස්ගේ අම්මා වුණ මරියාගෙන් ඉගෙනගන්න පුළුවන් මොනවාද කියලත් බලමු.

^ 1 ඡේ. පැහැදිලි කිරීමක්: යටත් වෙන්න කියද්දී හුඟක් අය ඒකට කැමති නැහැ. මොකද එයාලට දැනෙන්නේ ඒක බලෙන් කරගන්න දෙයක් කියලා. ඒත් යෙහෝවා දෙවියන්ගේ සෙනඟ ඔහුට කීකරු වෙන්නේ කැමැත්තෙන්මයි. ඒ නිසා දෙවියන්ට යටත් වෙන එක එයාලා නරක දෙයක් විදිහට සලකන්නේ නැහැ.

^ 7 ඡේ. සමහර නම් වෙනස් කර ඇත.

^ 62 ඡේ. පින්තූරයේ අදහස: යෙරුසලමේ පවුරු නැවත ගොඩනඟන්න නෙහෙමියා සෙනඟ එක්ක එකතු වෙලා වැඩ කළා වගේ වැඩිමහල්ලෙක් එයාගේ පුතාත් එක්ක නමස්කාර මධ්‍යස්ථානයේ නඩත්තු වැඩකට හවුල් වෙනවා.

^ 64 ඡේ. පින්තූරයේ අදහස: තාත්තා කෙනෙක් එයාගේ පවුලේ අය එක්ක යෙහෝවා දෙවියන්ට යාච්ඤා කරනවා.

^ 66 ඡේ. පින්තූරයේ අදහස: පුතෙක් අම්මා එයාට දීපු පොඩි පොඩි වැඩ, පාඩම් වැඩ ඉවර කරන්නේ නැතුව පැය ගාණක් වීඩියෝ ගේම්ස් ගහලා. අම්මා මහන්සියෙන් හිටියත් කේන්තියෙන් පුතාට කතා කරන්නේ නැතුව ආදරෙන් අවශ්‍ය හික්මවීම් එයාට දෙනවා.