Skip to content

පටුනට යන්න

පාඩම් ලිපිය 39

‘බලන්න, මහත් සමූහයක්’

‘බලන්න, මහත් සමූහයක්’

‘මම මහත් සමූහයක් දුටුවෙමි. බලන්න, එම සමූහය කිසිවෙකුට ගණන් කළ නොහැකි විය. ඔවුහු සිංහාසනය ඉදිරියෙහිත් බැටළු පැටවා ඉදිරියෙහිත් සිටගෙන සිටියෝය.’—එළි. 7:9.

ගීතිකාව 60 ගැලවීමේ පණිවිඩේ කියා දෙමු

මේ ලිපියෙන් *

1. ක්‍රි.ව. 95 විතර වෙද්දී යොහන් මුහුණ දෙමින් හිටියේ මොන වගේ අභියෝගවලටද?

ක්‍රි.ව. 95 විතර වෙද්දී යොහන් හිටියේ හුඟක් අභියෝගවලට මුහුණ දෙමින්. එකක් ඔහු ඒ වෙද්දී මහලුයි. ඒ වගේම ඔහුව පැට්මොස් දූපතේ හිර කරලයි හිටියේ. පේන විදිහට ඒ වෙද්දී යේසුස්ගේ නියෝජිතයන් හැම කෙනෙක්ම වගේ මිය ගිහින්. (එළි. 1:9) සත්‍ය ඉගැන්වීම් අත්හැරපු අය බොරු දේවල් උගන්වනවා කියලත් ඒ නිසා ක්‍රිස්තියානීන් අතර බෙදීම් ඇති වෙලා කියලත් යොහන් දැනන් හිටියා. වැඩි කල් යන්න කලින් සැබෑ ක්‍රිස්තියානීන් කිසි කෙනෙක් ඉතුරු වෙන එකක් නැහැ වගෙයි පේන්න තිබුණේ.—යූද් 4; එළි. 2:15, 20; 3:1, 17.

සුදු වස්ත්‍ර පැළඳ තාල ගස්වල අතු අතැති “මහත් සමූහයක්” යොහන් දර්ශනයකින් දැක්කා (2 ඡේදය බලන්න)

2. එළිදරව් 7:9-14 අනුව යොහන් දැක්ක දර්ශනය මොකක්ද? (කවරයේ පින්තූරය බලන්න.)

2 ඒ අභියෝගවලට මුහුණ දෙමින් ඉද්දී අනාගතයේ වෙන්න යන දෙයක් ගැන යොහන් දර්ශනයක් දකිනවා. ඒ දර්ශනයේ හිටපු එක දේවදූතයෙක් තව දේවදූතයන් හතරදෙනෙකුට කියනවා දාසයන් කණ්ඩායමකට අවසන් මුද්‍රාව තියන කල් සතරදිග සුඟං තදින් අල්ලාගෙන ඉන්න කියලා. ඒවා මුදාහරිනවත් එක්කමයි මහත් පීඩාව ආරම්භ වෙන්නේ. (එළි. 7:1-3) ඒ දාසයන් කණ්ඩායමට 1,44,000දෙනෙක් අයිතියි. එයාලා තමයි යේසුස් එක්ක ස්වර්ගයේ රජකම් කරන්න යන්නේ. (ලූක් 12:32; එළි. 7:4) ඊටපස්සේ යොහන් තවත් කණ්ඩායමක් දකිනවා. ඒ කණ්ඩායම කොච්චර විශාලද කියනවා නම් යොහන් “බලන්න!” කියලා කියනවා. යොහන් දැක්ක දේ ගැන එයා මෙහෙම කියනවා. ‘මම මහත් සමූහයක් දුටුවෙමි. එම සමූහය කිසිවෙකුට ගණන් කළ නොහැකි විය. සියලු ජාතීහුද ගෝත්‍රද ජනයාද සියලු භාෂා කතා කරන අයද එම සමූහයට අයත් වූහ. ඔවුහු සිංහාසනය ඉදිරියෙහිත් බැටළු පැටවා ඉදිරියෙහිත් සිටගෙන සිටියෝය.’ (එළිදරව් 7:9-14 කියවන්න.) අනාගතේදී ඒ තරම් විශාල සෙනඟක් සත්‍ය නමස්කාරයේ හවුල් වෙනවා කියලා දැනගත්තාම යොහන්ට මොන තරම් සතුටක් දැනෙන්න ඇද්ද!

3. (අ) යොහන් දැක්ක දර්ශනය නිසා අපේ විශ්වාසය ශක්තිමත් වෙන්න ඕනෙ ඇයි? (ආ) අපි මේ ලිපියෙන් බලන්නේ මොනවා ගැනද?

3 ඒ දර්ශනය නිසා යොහන්ගේ විශ්වාසය ශක්තිමත් වුණා කියලා නම් කිසිම සැකයක් නැහැ. ඒ දර්ශනය අපේ කාලේ ඉටු වෙන නිසා ඒකෙන් අපේ විශ්වාසය ඊටත් වඩා ශක්තිමත් වෙන්න ඕනෙ නැද්ද? මහත් පීඩාවෙන් බේරිලා පොළොවේ සදහටම ජීවත් වෙන බලාපොරොත්තුව තියෙන මිලියන ගාණක් සැබෑ දෙවියන්ට නමස්කාර කරන්න එකතු වෙලා තියෙන විදිහ අපි දකිනවා. අවුරුදු 80කට වැඩි කාලෙකට කලින් මහත් සමූහය කවුද කියලා දෙවියන් තමන්ගේ සෙනඟට හෙළි කළා. දෙවියන් ඒක කරපු විදිහ ගැන අපි මේ ලිපියෙන් ඉගෙනගමු. ඊටපස්සේ ඒ මහත් සමූහයට තියෙන ලක්ෂණ දෙකක් ගැනත් බලමු. (1) ඒකේ විශාලත්වය. (2) ඒ පිරිස හැදිලා තියෙන්නේ ලෝකේ පුරාම ඉන්න අයගෙන්. මහත් සමූහය අතරේ ඉන්න බලාපොරොත්තු වෙන හැම කෙනෙක්ගෙම විශ්වාසය ඒ තොරතුරුවලින් ශක්තිමත් වෙයි.

මහත් සමූහය ජීවත් වෙන්නේ කොහේද?

4. ක්‍රිස්තියානීන් කියලා කියාගන්න ආගම්වල අය බයිබලේ තියෙන මොන සත්‍යයද තේරුම් අරන් නැත්තේ? බයිබල් ශිෂ්‍යයන් තේරුම්ගත්තේ මොකක්ද?

4 දෙවියන්ට කීකරු වෙන මිනිසුන් අනාගතේදී පොළොවේ සදහටම ජීවත් වෙනවා කියලා බයිබලේ සඳහන් ඉගැන්වීම ක්‍රිස්තියානීන් කියලා කියාගන්න ආගම්වල සාමාන්‍යයෙන් උගන්වන්නේ නැහැ. (2 කොරි. 4:3, 4) එයාලගෙන් වැඩිදෙනෙක් උගන්වන්නේ හොඳ මිනිසුන් හැමෝම මිය ගියාම ස්වර්ගයට යනවා කියලා. ඒත් 1879 ඉඳන් ‘මුරටැඹ’ සඟරාව ප්‍රකාශයට පත් කරපු බයිබල් ශිෂ්‍යයන්ට ඊට වඩා වෙනස් අදහසක් තිබුණා. දෙවියන් ආයෙත් පොළොව පාරාදීසයක් කරනවා කියලත් ඔහුට කීකරු වෙන මිලියන ගාණකට ස්වර්ගයේ නෙමෙයි පොළොවේ සදහටම ජීවත් වෙන්න අවස්ථාව ලැබෙනවා කියලත් එයාලා තේරුම්ගත්තා. ඒ වුණත් ඒ මිලියන ගාණට අයිති වෙන්නේ කවුද කියලා හරියටම තේරුම්ගන්න එයාලට කාලයක් ගියා.—මතෙ. 6:10.

5. 1,44,000දෙනා ගැන බයිබල් ශිෂ්‍යයන් අවබෝධ කරගෙන තිබුණේ මොකක්ද?

5 “පොළොවෙන් මිල දී ගනු ලැබූ” කුඩා පිරිසක් යේසුස් එක්ක ස්වර්ගයේ රජකම් කරන්න යනවා කියලත් බයිබල් ශිෂ්‍යයන් අවබෝධ කරගත්තා. (එළි. 14:3) පොළොවේ ඉද්දී දෙවියන්ට විශ්වාසවන්තව, උද්‍යෝගයෙන් සේවය කරපු 1,44,000දෙනෙක් ඒ පිරිසට ඇතුළත්. ඒත් මහත් සමූහය ගැන බයිබල් ශිෂ්‍යයන් හිතුවේ මොකක්ද?

6. මහත් සමූහය ගැන බයිබල් ශිෂ්‍යයන් හිතුවේ මොකක්ද?

6 මහත් සමූහය “සිංහාසනය ඉදිරියෙහිත් බැටළු පැටවා ඉදිරියෙහිත් සිටගෙන සිටිනවා” යොහන් දර්ශනයෙන් දැක්කා. (එළි. 7:9) බයිබලේ සඳහන් ඒ දේ නිසා බයිබල් ශිෂ්‍යයන් හිතුවා 1,44,000දෙනාට වගේම මහත් සමූහයේ අයටත් ස්වර්ගයේ ජීවත් වෙන්න ලැබෙනවා කියලා. ඒත් ඒ කණ්ඩායම් දෙකම ස්වර්ගයට යනවා නම් එක කණ්ඩායමක් අනිත් කණ්ඩායමට වඩා වෙනස් වෙන්නේ කොහොමද? මහත් සමූහයට අයත් වෙනවා ඇත්තේ 1,44,000දෙනා තරම්ම දෙවියන්ට කීකරු වුණේ නැති අය කියලා බයිබල් ශිෂ්‍යයන් හිතුවා. ඒ අයගෙන් සමහරු බයිබලේ සඳහන් සදාචාර ප්‍රමිතිවලට අනුව ජීවත් වුණත් එයාලා දිගටම පල්ලිවල සාමාජිකයන් වෙලා ඉන්න ඇති කියලා බයිබල් ශිෂ්‍යයන් හිතුවා. ඒ අයට දෙවියන් ගැන යම් දුරකට ආදරයක් තිබුණත් යේසුස් එක්ක ස්වර්ගයේ රජකම් කරන්න අවස්ථාව ලැබෙන්න තරම් ආදරයක් එයාලා පෙන්නලා නැහැ කියලා බයිබල් ශිෂ්‍යයන් හිතුවා. ඒ නිසා එයාලට අවස්ථාව ලැබෙන්නේ ස්වර්ගයේ සිංහාසනය ඉදිරියේ ඉන්න මිසක් සිංහාසනවල ඉඳගෙන රජකම් කරන්න නෙමෙයි කියලා බයිබල් ශිෂ්‍යයන් හිතුවා.

7. බයිබල් ශිෂ්‍යයන් හිතපු විදිහට දහස් අවුරුදු පාලන කාලේදී පොළොවේ ජීවත් වෙන්නේ කවුද? අතීතයේ හිටපු විශ්වාසවන්ත සේවකයන් ගැන එයාලා හිතුවේ මොකක්ද?

7 එහෙමනම් පොළොවේ ජීවත් වෙන්නේ කවුද? 1,44,000දෙනාත් මහත් සමූහයේ අයත් ස්වර්ගයට ගියාට පස්සේ තවත් මිලියන ගාණකට යේසුස්ගේ දහස් අවුරුදු පාලන කාලේදී පොළොවේ ජීවත් වෙන්න අවස්ථාව ලැබෙනවා කියලත් බයිබල් ශිෂ්‍යයන් හිතුවා. ඒ අය යේසුස්ගේ දහස් අවුරුදු පාලනය පටන්ගන්න කලින් දෙවියන්ට සේවය කරපු අය නෙමෙයි. ඒ වෙනුවට දහස් අවුරුදු පාලන කාලය තුළදී යෙහෝවා දෙවියන් ගැන ඉගෙනගන්න අය කියලයි බයිබල් ශිෂ්‍යයන් හිතුවේ. ඒ අය අතරින් දෙවියන්ගේ ප්‍රමිතිවලට අනුව ජීවත් වෙන්න කැමති අයට පොළොවේ සදහටම ජීවත් වෙන්න අවස්ථාව ලැබෙනවා කියලත් දෙවියන්ට අකීකරු වෙන අයව විනාශ කරනවා කියලත් එයාලා හිතුවා. ඒ වගේම ඒ කාලය තුළදී පොළොවේ “අධිපතීන්” විදිහට සේවය කරන සමහරුන්ව දහස් අවුරුදු පාලනය අවසානයේදී ස්වර්ගයට ගන්නවා කියලත් එයාලා හිතුවා. යේසුස්ට කලින් මිය ගිය, දහස් අවුරුදු පාලන කාලේදී නැවත නැඟිටුවන අතීතයේ හිටපු විශ්වාසවන්ත පුරුෂයන් ඒ “අධිපතීන්ට” ඇතුළත් වෙයි කියලත් එයාලා විශ්වාස කළා.—ගීතා. 45:16.

8. දෙවියන්ගේ අරමුණට ඇතුළත් වුණේ මොන කණ්ඩායම් තුන කියලාද බයිබල් ශිෂ්‍යයන් හිතුවේ?

8 ඒ විදිහට බලද්දී කණ්ඩායම් තුනක් ඉන්නවා කියලයි බයිබල් ශිෂ්‍යයන් හිතුවේ. (1) යේසුස් එක්ක ස්වර්ගයේ රජකම් කරන 1,44,000දෙනා. (2) පොළොවේ ඉද්දී 1,44,000දෙනා තරම්ම දෙවියන්ට කීකරු වුණේ නැති මහත් සමූහය. ඒ අය ස්වර්ගයේ යේසුස්ගේ සිංහාසනය ඉදිරියෙයි ඉන්න යන්නේ. (3) දහස් අවුරුදු පාලන කාලයේදී දෙවියන් ගැන ඉගෙනගන්න අවස්ථාව ලැබෙන පොළොවේ ජීවත් වෙන මිලියන ගාණක් සෙනඟ. * ඒත් යෙහෝවා දෙවියන් නියම කරපු කාලයේදී ඒ කාරණය ගැන බයිබල් ශිෂ්‍යයන්ට තිබුණ අවබෝධය තවත් පැහැදිලි වුණා.—හිතෝ. 4:18.

අවබෝධය තවත් පැහැදිලි වෙයි

පොළොවේ ජීවත් වෙන බලාපොරොත්තුව තිබුණ හුඟදෙනෙක් 1935 පවත්වපු සමුළුවේදී බව්තීස්ම වුණා (9 ඡේදය බලන්න)

9. (අ) මහත් සමූහය පොළොවේ හිටියත් එයාලට “සිංහාසනය ඉදිරියෙහිත් බැටළු පැටවා ඉදිරියෙහිත් සිටගෙන සිටින්න” පුළුවන් කොහොමද? (ආ) එළිදරව් 7:9 ගැන පැහැදිලි වුණ දේ පිළිගන්න හොඳ හේතු තියෙනවා කියන්නේ ඇයි?

9 යොහන්ගේ දර්ශනයේ සඳහන් වෙන මහත් සමූහය කවුද කියන දේ ගැන 1935දී අපේ අවබෝධය තවත් පැහැදිලි වුණා. “සිංහාසනය ඉදිරියෙහිත් බැටළු පැටවා ඉදිරියෙහිත් සිටගෙන සිටින්න” මහත් සමූහයට ස්වර්ගයට යන්න ඕනෙ නැහැ කියලා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් අවබෝධ කරගත්තා. ඒකට තියෙන්නේ සංකේතාත්මක අර්ථයක්. මහත් සමූහය පොළොවේ හිටියත් එයාලා මුළු විශ්වයේම පාලකයා යෙහෝවා දෙවියන් කියලා පිළි අරන් ඔහුට කීකරු වෙද්දී ඒක හරියට එයාලා දෙවියන්ගේ ‘සිංහාසනය ඉදිරියෙහි ඉන්නවා’ වගෙයි. (යෙසා. 66:1) යේසුස්ගේ ජීවිත පූජාව ගැන විශ්වාසය තියලා වැඩ කරද්දී ඒක හරියට එයාලා “බැටළු පැටවා ඉදිරියෙහි සිටගෙන සිටිනවා” වගෙයි. ඒ හා සමාන දෙයක් මතෙව් 25:31, 32 සඳහන් වෙනවා. එතන කියන්නේ දුෂ්ටයන් ඇතුළුව “සියලු ජාතීන්” යේසුස්ගේ සිංහාසනය “ඉදිරියට රැස් කරනු ලබනවා” කියලා. ඒ සියලු ජාතීන් ඉන්නේ ස්වර්ගයේ නෙමෙයි පොළොවේ. 1935දී බයිබල් ශිෂ්‍යයන් අවබෝධ කරගත්ත දේ පිළිගන්න හොඳ හේතු තියෙනවා. ඒකෙන් පැහැදිලි වෙනවා මහත් සමූහයේ අයව ස්වර්ගයට ගන්නවා කියලා බයිබලේ කොහෙවත් සඳහන් වෙන්නේ නැත්තේ ඇයි කියලා. ස්වර්ගයේ සදාකල් ජීවත් වෙන්න අවස්ථාව ලැබෙන්නේ එක කණ්ඩායමකට විතරයි. ඒ යේසුස් එක්ක රජකම් කරන 1,44,000දෙනාගෙන් සමන්විත කණ්ඩායමයි.—එළි. 5:10.

10. මහත් සමූහයට අයත් අය දහස් අවුරුදු පාලනය පටන්ගන්න කලින් දෙවියන් ගැන ඉගෙනගන්න එක අත්‍යවශ්‍ය ඇයි?

10 මහත් සමූහයට ඇතුළත් වෙන්නේ පොළොවේ සදහටම ජීවත් වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්න විශ්වාසවන්ත ක්‍රිස්තියානීන් කියලා 1935 ඉඳන් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් අවබෝධ කරගෙන ඉන්නවා. මහත් පීඩාවෙන් බේරෙන්න නම් මහත් සමූහයට අයත් අය දහස් අවුරුදු පාලනය පටන්ගන්න කලින් දෙවියන් ගැන ඉගෙනගන්න ඕනේ. මොකද යේසුස්ගේ දහස් අවුරුදු පාලනය පටන්ගන්න කලින් “අනිවාර්යයෙන්ම පැමිණෙන ඒ සියල්ලෙන් ගැලවෙන්න” නම් එයාලට ශක්තිමත් විශ්වාසයක් තියෙන්නම ඕනේ.—ලූක් 21:34-36.

11. දහස් අවුරුදු පාලනය අවසානයේදී සමහර අයව ස්වර්ගයට ගනියි කියලා සමහර බයිබල් ශිෂ්‍යයන් හිතන්න ඇත්තේ ඇයි?

11 පොළොවේ ඉන්න ආදර්ශවත් අයගෙන් සමහරදෙනෙක්ව දහස් අවුරුදු පාලනය අවසානයේදී ස්වර්ගයට ගන්නවා කියන අදහස ගැන මොනවාද කියන්න පුළුවන්? ඒ වගේ දෙයක් වෙන්න පුළුවන් කියලා සඳහන් වුණේ 1913 පෙබරවාරි 15 ‘මුරටැඹ’ සඟරාවේ. කෙනෙක් මෙහෙම හිතන්න තිබුණා. ‘දෙවියන්ට ඒ තරම් විශ්වාසවන්තව සේවය කළේ නැති අයටත් ස්වර්ගයට යන්න අවස්ථාව ලැබෙනවා නම් අතීතයේ දෙවියන්ට විශ්වාසවන්තව සේවය කරපු අයව පොළොවේ ජීවත් වෙන්න විතරක් නැවත නැඟිටුවන එක සාධාරණද?’ ඒත් එහෙම හිතුවේ මේ වැරදි අදහස් දෙක නිසයි. (1) මහත් සමූහයේ අයට ස්වර්ගයට යන්න ලැබෙනවා. (2) මහත් සමූහයට ඇතුළත් වෙන්නේ 1,44,000දෙනා තරම්ම දෙවියන්ට විශ්වාසවන්තව හිටියේ නැති අය.

12-13. අභිෂේක ලත් අයත් මහත් සමූහයට ඇතුළත් අයත් තමන්ට ලැබෙන ත්‍යාගය ගැන තේරුම් අරන් තියෙන්නේ මොනවාද?

12 ඒත් අපි බලපු විදිහට 1935 ඉඳන් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් අවබෝධ කරගෙන තියෙනවා හර්–මගෙදොන් යුද්ධයෙන් බේරෙන අය තමයි යොහන් දර්ශනයෙන් දැකපු මහත් සමූහය කියලා. එයාලා මේ පොළොවේදී ‘මහත් පීඩාවෙන් බේරී මහත් හඬින් නොනවත්වා මෙහෙම කියනවා. “අපට ගැලවීම ලැබෙන්නේ සිංහාසනය මත ඉඳගෙන සිටින අපගේ දෙවිගෙන් හා බැටළු පැටවාගෙන්ය.”’ (එළි. 7:10, 14) ඒ වගේම අතීතයේ හිටපු දෙවියන්ගේ විශ්වාසවන්ත සේවකයන්ට තියෙන බලාපොරොත්තුවට “වඩා උතුම්” බලාපොරොත්තුවක් ස්වර්ගයේ ජීවත් වෙන්න නැවත නැඟිටුවන අයට තියෙනවා කියලා බයිබලේ සඳහන් වෙනවා. (හෙබ්‍රෙ. 11:40) අපේ සහෝදරයන් ඒ කාරණා අවබෝධ කරගත්තාට පස්සේ පොළොව් සදහටම ජීවත් වෙන බලාපොරොත්තුව ඇතුව දෙවියන්ට නමස්කාර කරන්න එන්න කියලා මිනිසුන්ට ආරාධනා කරන්න පටන්ගත්තා.

13 එයාලට තියෙන බලාපොරොත්තුව ගැන මහත් සමූහයේ අයට දැනෙන්නේ ලොකු සතුටක්. කෙනෙක් සේවය කරන්නේ ස්වර්ගයේ ඉඳන්ද පොළොවේ ඉඳන්ද කියලා තීරණය කරන්නේ යෙහෝවා දෙවියන් කියලා එයාලා දන්නවා. අභිෂේක ලත් අයත් මහත් සමූහයේ අයත් දන්නවා එයාලට තෑග්ග ලැබෙන්නේ එයාලගේ විශේෂත්වයක් නිසා නෙමෙයි යේසුස්ගේ ජීවිත පූජාව දීලා දෙවියන් පෙන්නපු මහත් කරුණාව නිසා කියලා.—රෝම 3:24.

විශාල සංඛ්‍යාවක්

14. මහත් සමූහය ගැන සඳහන් අනාවැකිය කොහොම ඉටු වෙයිද කියලා 1935 පස්සේ හුඟදෙනෙක් කල්පනා කළේ ඇයි?

14 මහත් සමූහය ගැන තිබුණ අවබෝධය 1935දී තවත් පැහැදිලි වුණාට පස්සේ හුඟදෙනෙක්ට තිබුණ ප්‍රශ්නයක් තමයි පොළොවේ ජීවත් වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්න අයගේ ගාණ “මහත්” සමූහයක් වෙන්න තරම් වැඩි වෙන්නේ කොහොමද කියලා. උදාහරණෙකට මේ අද්දැකීම බලන්න. මහත් සමූහය හරියටම කවුද කියලා පැහැදිලි කරද්දී සහෝදර රොනල්ඩ් පාකින්ට වයස 12යි. එයා මෙහෙම කියනවා. “ඒ වෙද්දී ලෝකේ පුරාම ප්‍රචාරකයන් හිටියේ 56,000ක් විතර. ඒ අයගෙනුත් වැඩිදෙනෙක් අභිෂේක ලත් අය. මහත් සමූහයට ඒ තරම් පිරිසක් නැහැ වගෙයි පේන්න තිබුණේ.”

15. මහත් සමූහයට අයත් අයගේ ගාණ එන්න එන්නම වැඩි වුණේ කොහොමද?

15 ඊටපස්සේ ගෙවුණු දශක කීපයේදී හුඟක් රටවල සේවය කරන්න මිෂනාරිවරුන්ව යැව්වා. ඒ නිසා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ගාණ වැඩි වෙන්න පටන්ගත්තා. 1968දී ‘සදාකාල ජීවනයට මඟ පෙන්වන සත්‍යය’ කියන පොත පාවිච්චි කරලා බයිබල් පාඩම් පවත්වන්න පටන්ගත්තා. ඒ පොතේ බයිබල් සත්‍යයන් සරලව පැහැදිලි කරලා තිබුණ නිසා වෙන කවරදාකටත් වඩා අවංක හදවත් තියෙන අය දෙවියන් වෙතට ඇදිලා ආවා. අවුරුදු 4ක් ඇතුළත ලක්ෂ 5කට වැඩි පිරිසක් බව්තීස්ම වුණා. ලතින් ඇමරිකාවේ සහ වෙනත් රටවල කතෝලික පල්ලියට තිබුණ බලය අඩු වුණ නිසාත් නැඟෙනහිර යුරෝපයේ සහ අප්‍රිකාවේ සමහර රටවල අපේ වැඩකටයුතුවලට දාලා තිබුණ තහංචි අයින් කරපු නිසාත් තවත් මිලියන ගාණක් බව්තීස්ම වුණා. (යෙසා. 60:22) මෑත අවුරුදුවලදී යෙහෝවා දෙවියන්ගේ සංවිධානය බයිබලේ තියෙන තොරතුරු මිනිසුන්ට ලේසියෙන්ම ඉගෙනගන්න උදව් වෙන හුඟක් දේවල් සපයලා තියෙනවා. දැන් ලක්ෂ 80කටත් වඩා වැඩි පිරිසක් සැබෑ දෙවියන්ට නමස්කාර කරනවා. ඒ අය ඇත්තටම මහත් සමූහයක් නෙමෙයිද!

විවිධ ජාතීන්ට අයත් මහත් සමූහයක්

16. මහත් සමූහයට අයත් වෙන්නේ කොහේ ඉන්න අයද?

16 යොහන් එයා දැකපු දර්ශනය ලියද්දී එයා කිව්වා මහත් සමූහයට “සියලු ජාතීහුද ගෝත්‍රද ජනයාද සියලු භාෂා කතා කරන අයද” අයත් වෙනවා කියලා. අනාගතවක්තෘ සෙකරියාත් ඒ හා සමාන අනාවැකියක් කියලා තිබුණා. එයා මෙහෙම කිව්වා. “ඒ දවස්වලදී, සෑම භාෂාවක්ම නියෝජනය කරන විවිධ ජාතීන්ට අයත් මිනිස්සු දසදෙනෙක් යුදෙව් ජාතිකයෙකු වෙත පැමිණ, ඔහුගේ වස්ත්‍රය අල්ලාගෙන මෙසේ පවසනු ඇත. ‘දෙවි ඔබ සමඟ සිටින බව අපට ආරංචි විය. එහෙයින් ඔබ සමඟ යන්න අපි සතුටු වන්නෙමු.’”—සෙක. 8:23.

17. සියලු ජාතීන්ට සහ සියලු භාෂා කතා කරන අයට උදව් කරන්න මොනවාද කරන්නේ?

17 සෑම භාෂාවකටම අයත් අයව රැස් කරන්න නම් හුඟක් භාෂාවලින් ශුභාරංචිය දේශනා කරන්න ඕනෙ කියලා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් තේරුම්ගත්තා. අවුරුදු 130කට වඩා වැඩි කාලයක් තිස්සේ අපි බයිබලේ මත පදනම් තොරතුරු විවිධ භාෂාවලට පරිවර්තනය කරනවා. මේ වෙද්දී භාෂා සිය ගාණකට තොරතුරු පරිවර්තනය කරනවා. සෑම ජාතියකටම අයත් මහත් සමූහයක්ව රැස් කරන එක ඇත්තටම යෙහෝවා දෙවියන් මේ කාලේ කරන ආශ්චර්යයක්. බයිබලය සහ බයිබලේ මත පදනම් ප්‍රකාශන දැන් හුඟක් භාෂාවලින් තියෙන නිසා විවිධ ජාතීන්ට අයත් ඒ අය එක්සත්ව දෙවියන්ට නමස්කාර කරනවා. ඒ වගේම යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ප්‍රසිද්ධ වෙලා ඉන්නේ උද්‍යෝගයෙන් දේශනා කරන සහ තමන්ගේ සහෝදර සහෝදරියන්ට ආදරෙන් සලකන අය විදිහටයි. ඒකෙන් අපේ විශ්වාසය ශක්තිමත් වෙන්නේ නැද්ද?—මතෙ. 24:14; යොහ. 13:35.

දර්ශනය අපිට වැදගත් වෙන්නේ ඇයි?

18. (අ) යෙසායා 46:10, 11 අනුව මහත් සමූහය ගැන කිව්ව අනාවැකිය යෙහෝවා දෙවියන් ඉටු කරලා තියෙන එක ගැන අපි පුදුම වෙන්නේ නැත්තේ ඇයි? (ආ) පොළොවේ ජීවත් වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්න අය තමන්ට වටිනා දෙයක් අහිමි වුණා කියලා හිතන්නේ නැත්තේ ඇයි?

18 මහත් සමූහය ගැන සඳහන් අනාවැකිය ගැන හිතද්දී අපිට සතුටු වෙන්න ඕනෙ තරම් හේතු තියෙනවා. යෙහෝවා දෙවියන් ආශ්චර්යවත් විදිහට ඒ අනාවැකිය ඉටු කරලා තියෙන එක ගැන අපි පුදුම වෙන්නේ නැහැ. (යෙසායා 46:10, 11 කියවන්න.) යෙහෝවා දෙවියන් දීලා තියෙන බලාපොරොත්තුව ගැන මහත් සමූහයේ අයට තියෙන්නේ ලොකු අගයක්. යේසුස් එක්ක ස්වර්ගයේ රජකම් කරන්න දෙවියන් එයාලව අභිෂේක නොකරපු නිසා තමන්ට වටිනා අවස්ථාවක් අහිමි වුණා කියලා එයාලට හැඟෙන්නේ නැහැ. දෙවියන්ගේ බලය ලැබුණ විශ්වාසවන්ත පුරුෂයන් සහ ස්ත්‍රීන් හුඟදෙනෙක් ගැන බයිබලේ සඳහන් වෙනවා. ඒත් ඒ අය 1,44,000දෙනාට අයිති වුණේ නැහැ. යොහන් බව්තීස්ත ඒ වගේ කෙනෙක්. (මතෙ. 11:11) තවත් කෙනෙක් තමයි දාවිත්. (ක්‍රියා 2:34) ඒ අය ඇතුළුව ගණන් කරන්න බැරි තරම් විශාල පිරිසක්ව පාරාදීස පොළොවේ ජීවත් වෙන්න නැවත නැඟිටුවනවා. එයාලා හැමෝටම මහත් සමූහයත් එක්ක එකතු වෙලා යෙහෝවා දෙවියන්ටත් ඔහුගේ පාලනයටත් කැමැත්තෙන්ම කීකරු වෙනවා කියලා පෙන්නන්න අවස්ථාව ලැබෙනවා.

19. මහත් සමූහය ගැන යොහන් දැක්ක දර්ශනයේ තේරුම දැනගද්දී අපි කරන්න පෙලඹෙන්නේ මොකක්ද?

19 මිනිස් ඉතිහාසයේ මීට කලින් කවදාවත් දෙවියන් තමන්ට නමස්කාර කරන්න සියලු ජාතීන්ට අයත් අය අතරින් මිලියන ගාණක් දෙනාව රැස් කරලා නැහැ. අපේ බලාපොරොත්තුව ස්වර්ගයේ ජීවත් වෙන්න වුණත් පොළොවේ ජීවත් වෙන්න වුණත් “වෙනත් බැටළුවන්ට” අයත් මහත් සමූහයේ සාමාජිකයන් වෙන්න අපි පුළුවන් තරම් දෙනෙක්ට උදව් කරන්න ඕනේ. (යොහ. 10:16) ළඟදීම යෙහෝවා දෙවියන් මහත් පීඩාව ගේනවා. ඒකෙදී මිනිසුන්ට පීඩා කරලා තියෙන මිනිස් ආණ්ඩු සහ ආගම් විනාශ කරනවා. පොළොවේ ඉඳන් සදහටම යෙහෝවා දෙවියන්ට සේවය කරන්න මහත් සමූහයේ අයට අවස්ථාව ලැබෙනවා. ඒක මොන තරම් වටිනා අවස්ථාවක්ද!—එළි. 7:14.

ගීතිකාව 139 පාරාදීසය සිතින් මවාගන්න

^ 5 ඡේ. මේ ලිපියෙන් අපි බලන්නේ “මහත් සමූහයක්ව” රැස් කරන එක ගැන යොහන් දැක්ක දර්ශනය ගැනයි. ඒ තොරතුරුවලින් මහත් සමූහයට අයත් හැමෝගෙම විශ්වාසය අනිවාර්යයෙන්ම ශක්තිමත් වෙයි.

^ 8 ඡේ. Jehovah’s Witnesses—Proclaimers of God’s Kingdom පොතේ 159-163 පිටු බලන්න.