Skip to content

පටුනට යන්න

පාඩම් ලිපිය 38

“මා වෙතට එන්න. ඔබව ප්‍රාණවත් කරන්න මා කැමතියි”

“මා වෙතට එන්න. ඔබව ප්‍රාණවත් කරන්න මා කැමතියි”

“වෙහෙස වූ බරින් පීඩිත වූ සියල්ලෙනි,මා වෙතට එන්න. ඔබව ප්‍රාණවත් කරන්න මා කැමතියි.”—මතෙ. 11:28.

ගීතිකාව 17 “මා කැමතියි”

මේ ලිපියෙන් *

1. මතෙව් 11:28-30 සඳහන් වෙන විදිහට යේසුස් දුන්න පොරොන්දුව මොකක්ද?

යේසුස් ඔහුට සවන් දෙන්න ආපු අයට මේ පොරොන්දුව දුන්නා. ඔහු කිව්වේ “මා වෙතට එන්න. ඔබව ප්‍රාණවත් කරන්න මා කැමතියි” කියලා. (මතෙව් 11:28-30 කියවන්න.) යේසුස් කියපු ඒ දේ නිකම්ම වචනවලට සීමා වුණේ නැහැ. දරුණු අසනීපයකින් පීඩා විඳපු ස්ත්‍රියක් වෙනුවෙන් යේසුස් කරපු දේ බලන්න.

2. දරුණු අසනීපයකින් පීඩා විඳපු ස්ත්‍රියක් වෙනුවෙන් යේසුස් කළේ මොනවාද?

2 ඒ ස්ත්‍රිය හිටියේ හොඳටම අසරණ වෙලයි. එයාගේ අසනීපය හොඳ කරගන්න එයා හුඟක් වෛද්‍යවරුන් ළඟට ගිහින් තිබුණා. අවුරුදු 12ක් තිස්සේ ඒ ලෙඩේ සුව කරන්න කාටවත් බැරි වුණා. නීතියට අනුව එයා අපවිත්‍රයි. (ලෙවී. 15:25) ඔය අතරේ තමයි අසනීපවලින් පීඩා විඳින අයව යේසුස් සුව කරනවා කියලා දැනගෙන එයා යේසුස්ව හොයාගෙන යන්නේ. එහෙම ගිහින් එයා යේසුස්ගේ ඇඳුමේ වාටිය අල්ලපු ගමන්ම එයාගේ ලෙඩේ සුව වෙනවා. එදා යේසුස් එයාගේ අසනීපය සුව කළා විතරක් නෙමෙයි ඔහු එයාට ආදරෙන්, ගෞරවයෙන් සැලකුවා. ඔහු එයාට කතා කළේ “දුවේ” කියලයි. ඒ වෙලාවේ එයාට මොන තරම් සහනයක් දැනෙන්න ඇද්ද!—ලූක් 8:43-48.

3. මේ ලිපියෙන් අපි බලන්නේ මොන ප්‍රශ්න ගැනද?

3 ඒ ස්ත්‍රියට සහනයක් ලැබුණේ එයා යේසුස් ළඟට යන්න වෑයමක් ගත්ත නිසයි. අපිත් යේසුස් ‘වෙතට යන්න’ වෑයමක් ගන්න ඕනේ. අද යේසුස් ඔහු ‘වෙතට එන’ අයගේ අසනීප සුව කරන්නේ නැහැ. ඒත් “මා වෙතට එන්න. ඔබව ප්‍රාණවත් කරන්න මා කැමතියි” කියන ආරාධනාව ඔහු අදටත් කරනවා. අපි මේ ලිපියෙන් ප්‍රශ්න 5කට උත්තර බලමු. යේසුස් ‘වෙතට යන්න’ අපි කරන්න ඕනෙ මොනවාද? “මා ඔබ පිට තබන වියගහ පිළිගන්න” කියලා යේසුස් කියද්දී ඔහු අදහස් කළේ මොකක්ද? යේසුස්ගෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද? යේසුස් අපිට භාර දීලා තියෙන කාර්යය නිසා අපිට සහනයක් ලැබෙන්නේ කොහොමද? යේසුස්ගේ වියගහ පිළිගෙන දිගටම සහනයක් ලබන්න අපිට පුළුවන් කොහොමද?

“මා වෙතට එන්න”

4-5. අපිට යේසුස් ‘වෙතට යන්න’ පුළුවන් මොන විදිවලින්ද?

4 යේසුස් ‘වෙතට යන්න’ පුළුවන් එක විදිහක් තමයි ඔහු කියපු කරපු දේවල් ගැන පුළුවන් තරම් ඉගෙනගන්න එක. (ලූක් 1:1-4) ඒක අපිම කරන්න ඕනෙ දෙයක්. අපි වෙනුවෙන් ඒක කරන්න වෙන කාටවත් බැහැ. බව්තීස්ම වෙලා යේසුස්ගේ අනුගාමිකයෙක් වෙන එකෙනුත් අපිට යේසුස් ‘වෙතට යන්න’ පුළුවන්.

5 යේසුස් ‘වෙතට යන්න’ පුළුවන් තව විදිහක් තමයි වැඩිමහල්ලන්ගෙන් උදව් ඉල්ලන එක. තමන්ගේ බැටළුවන්ව රැකබලා ගන්න ‘තෑගි වශයෙන් දුන්න ඒ පුරුෂයන්ව’ යේසුස් යොදාගන්නවා. (එෆී. 4:7, 8, 11; යොහ. 21:16; 1 පේතෘ. 5:1-3) එයාලගෙන් උදව් ඉල්ලන්න අපියි මුල් පියවර ගන්න ඕනේ. මොකද අපේ හිත් කියවලා අපිට ඕනෙ මොනවාද කියලා දැනගන්න එයාලට බැහැ. ජූලියන් මෙහෙම කියනවා. “අසනීප තත්වයක් නිසා බෙතෙල් එකේ මං කරපු පැවරුම නවත්තන්න වුණා. මගේ යාළුවෙක් මට කිව්වා වැඩිමහල්ලන්ගෙන් උදව් ගන්න කියලා. මුලින් මං හිතුවේ වැඩිමහල්ලන්ගේ උදව් මට ඕනෙ නැහැ කියලා. ඒත් පස්සේ මං වැඩිමහල්ලන්ගෙන් උදව් ඉල්ලුවා. එයාලගෙන් ලැබුණ දිරිගැන්වීම් මට ලැබුණ හොඳම දේවලින් එකක්.” “ක්‍රිස්තුස්ගේ මනස” ඇතුව ඉන්න ඒ කියන්නේ යේසුස් හිතන විදිහ තේරුම් අරන් ඒ වගේ හිතන්න අපිට උදව් කරන්න දෙවියන්ට ළැදි වැඩිමහල්ලන්ට පුළුවන්.—1 කොරි. 2:16; 1 පේතෘ. 2:21.

“මා ඔබ පිට තබන වියගහ පිළිගන්න”

6. “මා ඔබ පිට තබන වියගහ පිළිගන්න” කියද්දී යේසුස් ඒකෙන් අදහස් කළේ මොකක්ද?

6 “මා ඔබ පිට තබන වියගහ පිළිගන්න” කියද්දී යේසුස් ඒකෙන් අදහස් කරන්න ඇත්තේ “මගේ අධිකාරිය පිළිගන්න” කියන එක වෙන්න පුළුවන්. එහෙම නැත්නම් “මගේ වියගහ යටට එන්න. අපි එකතු වෙලා යෙහෝවා දෙවියන්ට සේවය කරමු” කියලා වෙන්න ඇති. යේසුස් අදහස් කළේ ඒ දෙකෙන් මොන එක වුණත් ඒ දෙකෙන්ම තේරෙනවා අපිට යම් කාර්යයක් කරන්න තියෙනවා කියලා.

7. මතෙව් 28:18-20 අනුව අපිට භාර දීලා තියෙන්නේ මොන වැඩේද? අපිට නිසැක වෙන්න පුළුවන් මොකක් ගැනද?

7 අපේ ජීවිත යෙහෝවා දෙවියන්ට කැප කරලා බව්තීස්ම වෙද්දී අපි කරන්නේ යේසුස්ගේ ආරාධනාව පිළිගන්න එකයි. යේසුස් ඒ ආරාධනාව කරන්නේ හැමෝටම. දෙවියන්ට සේවය කරන්න අවංක ආසාවකින් ඉන්න කාවවත් යේසුස් ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. (යොහ. 6:37, 38) දෙවියන් යේසුස්ට භාර දුන්න කාර්යය ඔහුත් එක්ක එකතු වෙලා කරන්න යේසුස්ගේ අනුගාමිකයන් හැම කෙනෙක්ටම අවස්ථාව තියෙනවා. යේසුස් අපි එක්කම ඉඳලා ඒ වැඩේ කරන්න අපිට උදව් කරනවා කියලා අපිට නිසැක වෙන්න පුළුවන්.—මතෙව් 28:18-20 කියවන්න.

“මගෙන් ඉගෙනගන්න”

යේසුස් වගේ අනිත් අයට සහනයක් වෙන්න (8-11 ඡේද බලන්න) *

8-9. යේසුස් ළඟට යන්න නිහතමානී අයට ලොකු කැමැත්තක් තිබුණේ ඇයි? අපි අපෙන්ම අහගන්න ඕනෙ මොන ප්‍රශ්නද?

8 නිහතමානී අය යේසුස් ළඟට ගියේ ලොකු කැමැත්තකින්. (මතෙ. 19:13, 14; ලූක් 7:37, 38) මොකද යේසුස් සහ පරිසිවරු අතර ලොකු වෙනසක් තිබුණා. ඒ ආගමික නායකයන් අනිත් අයට කිසි ආදරයක් පෙන්නුවේ නැති උඩඟු අය. (මතෙ. 12:9-14) ඒත් යේසුස් අනිත් අයට ආදරේ කරපු නිහතමානී කෙනෙක්. පරිසිවරුන්ට ඕනෙ වුණේ මිනිසුන් අතරේ ප්‍රසිද්ධ වෙන්න සහ අනිත් අයට වඩා තමන් උසස් කියලා පෙන්නන්න. ඒත් ඒක වැරදියි කියලා යේසුස් කිව්වා. ඔහුගේ අනුගාමිකයන්ට ඔහු කිව්වේ නිහතමානී වෙලා අනිත් අයට සේවය කරන්න කියලයි. (මතෙ. 23:2, 6-11) පරිසිවරුන්ට අකීකරු වුණොත් තමන්ට මොනවා වෙයිද කියලා මිනිසුන් හිටියේ බයෙන්. පරිසිවරු ඒ බය පාවිච්චි කරලා මිනිසුන්ව තමන්ගේ අණසක යටතේ තියාගත්තා. (යොහ. 9:13, 22) ඒත් යේසුස් අනිත් අයට ආදරෙන් සැලකුවා. කාරුණිකව කතා කළා. ඒකෙන් මිනිසුන් ලොකු සහනයක් ලැබුවා.

9 ඔයාත් යේසුස්ව ආදර්ශයට ගන්නවාද? ඔයාගෙන්ම මෙහෙම අහලා බලන්න. ‘අනිත් අය මාව දකින්නේ මෘදු, නිහතමානී කෙනෙක් විදිහටද? වැඩිදෙනෙක් පහත් කියලා සලකන, වැදගත්කමින් අඩු දෙයක් වුණත් අනිත් අය වෙනුවෙන් මං කැමැත්තෙන්ම කරනවාද? මං අනිත් අයට ආදරෙන් සලකනවාද?’

10. යේසුස්ගේ ගෝලයන්ට සේවය කරන්න ලැබුණේ මොන වගේ පසුබිමකද?

10 යේසුස් ඔහුගේ ගෝලයන්ට ආසාවෙන් සේවය කරන්න පුළුවන් පසුබිමක් ඇති කළා. යේසුස් එයාලව පුහුණු කළේ සතුටින්. (ලූක් 10:1, 19-21) බය නැතුව ඔහුගෙන් ප්‍රශ්න අහන්න එයාලව දිරිගැන්නුවා. ඔහු එයාලගේ අදහස් ගැනත් ඇහුවා. (මතෙ. 16:13-16) හරිතාගාරයක තියෙන පැළවලට ලොකු ආරක්ෂාවක් ලැබෙන නිසා ඒවා හොඳින් වැඩෙනවා වගේ යේසුස් එක්ක ඉද්දී ඔහුගේ ගෝලයන්ට පුළුවන් වුණා යේසුස් උගන්වපු දේවල් හොඳින් හිතට අරන් ඒවා ජීවිතේට අදාළ කරගන්න. එයාලා කරපු යහපත් ක්‍රියාවලින් ඒක පැහැදිලි වුණා.

මිත්‍රශීලී වෙන්න. එතකොට අනිත් අයට බය නැතුව ඔයාට කතා කරන්න පුළුවන් වෙයි

උද්‍යෝගයෙන් සේවය කරන්න

නිහතමානී වෙන්නත් මහන්සි වෙලා සේවය කරන්නත් උත්සාහ කරන්න *

11. අපි අපෙන්ම අහගන්න ඕනෙ මොන ප්‍රශ්නද?

11 ඔයාත් යම් අධිකාරියක් තියෙන කෙනෙක්ද? එහෙමනම් ඔයාගෙන්ම මෙහෙම අහගන්න. ‘මගේ පවුලේ අයට, මං වැඩ කරන තැන ඉන්න අයට මං කොහොමද සලකන්නේ? අනිත් අයට සතුටින් වැඩ කරන්න පුළුවන් විදිහටද මං දේවල් කරන්නේ? බය නැතුව මගෙන් දේවල් අහන්න මං එයාලට දිරිගන්වනවාද? එයාලා අදහස් ඉදිරිපත් කරද්දී මං ඒවාට ඇහුම්කන් දෙනවාද?’ අපි කවදාවත් පරිසිවරු වගේ වෙන්න හොඳ නැහැ. එයාලා කියන දේවල් අනිත් අය එකපාරින්ම පිළිගත්තේ නැති වුණාම, එයාලා හිතනවාට වඩා වෙනස් අදහස් අනිත් අය ඉදිරිපත් කළාම පරිසිවරු කේන්ති අරන් මිනිසුන්ට නරක විදිහට සැලකුවා.—මාක් 3:1-6; යොහ. 9:29-34.

“ඔබට මහත් සහනයක් ලබාගත හැකියි”

12-14. යේසුස් අපිට භාර දීලා තියෙන කාර්යය නිසා අපි සහනයක් ලබන්නේ ඇයි?

12 යේසුස් අපිට භාර දුන්න කාර්යය කරද්දී අපි සහනයක් ලබනවා. ඒකට හේතු ගොඩක් තියෙනවා. ඒවායින් කීපයක් බලමු.

13 අපිව බලාගන්න ඉන්නේ හොඳම අයයි. යෙහෝවා දෙවියන් විශ්වයේ උසස්ම කෙනා වුණත් ඔහු තමන්ගේ සේවකයන්ට කෲර විදිහට සලකන්නේ නැහැ. ඔහු අපි කරන සේවය හුඟක් අගය කරනවා. (හෙබ්‍රෙ. 6:10) ඒ වගේම ඔහු අපිට භාර දුන්න කාර්යය හොඳින් කරන්න ඕනෙ කරන ශක්තියත් දෙනවා. (2 කොරි. 4:7; ගලා. 6:5) අපේ රජ වන යේසුස් ඔහුගේ ආදර්ශයෙන්ම පෙන්නුවා අනිත් අයට සලකන්න ඕනෙ කොහොමද කියලා. (යොහ. 13:15) ඒ වගේම අපිව රැකබලා ගන්න වැඩිමහල්ලන් ‘උතුම් එඬේරා’ වන යේසුස්ව ආදර්ශයට ගන්න උත්සාහ කරනවා. (හෙබ්‍රෙ. 13:20; 1 පේතෘ. 5:2) එයාලා ආදරෙන් අපිට දේවල් කියලා දෙනවා. අපිව දිරිගන්වනවා. ධෛර්යවත්ව අපිව ආරක්ෂා කරනවා.

14 අපිට ඉන්නේ හොඳම යාළුවෝ. අපිට ඉන්නවා වගේ හොඳ යාළුවෝ, අපිට ලැබිලා තියෙනවා වගේ අර්ථවත් වැඩ වෙන සෙනඟකට ලැබිලා නැහැ. අපි සේවය කරන්නේ උසස් සදාචාර ප්‍රමිති අදාළ කරගන්න, ඒත් තමන් අනිත් අයට වඩා උසස් කියලා හිතන්නේ නැති අය එක්කයි. එයාලට හුඟක් දක්ෂකම් තිබුණත් ඒ ගැන එයාලා ආඩම්බර නැහැ. එයාලා අපිව සලකන්නේ නිකම්ම එකට සේවය කරන අය විදිහට නෙමෙයි එයාලගේ යාළුවෝ විදිහට. එයාලා අපිට කොච්චර ආදරේද කියනවා නම් අපි වෙනුවෙන් ජීවිතේ දෙන්න වුණත් එයාලා ලෑස්තියි.

15. අපිට කරන්න තියෙන කාර්යය ගැන අපිට හැඟෙන්න ඕනෙ කොහොමද?

15 අපිට කරන්න තියෙන කාර්යය තමයි හොඳම කාර්යය. අපි යෙහෝවා දෙවියන් ගැන සත්‍ය තොරතුරු මිනිසුන්ට කියලා දෙනවා වගේම සාතන්ගේ බොරු හෙළි කරනවා. (යොහ. 8:44) සාතන්ගේ බොරු නිසා මිනිසුන් ඉන්නේ බලාපොරොත්තුවක් නැතුව. උදාහරණෙකට සාතන්ට ඕනෙ යෙහෝවා දෙවියන් අපේ පව්වලට සමාව දෙන්නේ නැහැ, ඔහුගේ ආදරේ ලබන්න අපි වටින්නේ නැහැ කියලා අපි හිතනවාටයි. ඒක හිතට මොන තරම් බරක්ද! ඒක මොන තරම් දුෂ්ටද! අපි යේසුස් ‘වෙතට යද්දී’ අපේ පව්වලට සමාව ලැබෙනවා. ඒ වගේම යෙහෝවා දෙවියන් අපි හැමෝටම ගොඩක් ආදරේ කරනවා. ඒකයි ඇත්ත. (රෝම 8:32, 38, 39) යෙහෝවා දෙවියන් ගැන විශ්වාසය තියන්න මිනිසුන්ට උදව් කරද්දී, එයාලගේ ජීවිත හොඳ අතට හැරෙනවා දකිද්දී ඒක අපිට මොන තරම් සතුටක්ද!

යේසුස් ලබා දෙන සහනය දිගටම අද්දකින්න

16. යේසුස් අපිට භාර දුන්න කාර්යය අපිට තියෙන වෙනත් වගකීම්වලට වඩා වෙනස් වෙන්නේ කොහොමද?

16 යේසුස් අපිට දීලා තියෙන කාර්යයන් ජීවිතේ අපිට තියෙන වෙනත් වගකීම්වලට වඩා වෙනස්. උදාහරණෙකට රස්සාවකට ගිහින් ගෙදර එද්දී දැනෙන්නේ ලොකු වෙහෙසක්. ඒ වැඩවලින් එයාලට තෘප්තියක් ලැබෙන්නෙත් නැහැ. ඒත් අපි යෙහෝවා දෙවියන් සහ යේසුස් වෙනුවෙන් දෙයක් කළාට පස්සේ අපිට දැනෙන්නේ ලොකු තෘප්තියක්. වැඩ ඇරිලා මහන්සියෙන් ඉද්දී හවස රැස්වීම් යන්න අපිට ලේසි නැහැ. ඒත් කොහොමහරි රැස්වීමට ගිහින් ගෙදර එද්දී අපිට ලොකු ප්‍රබෝධයක් දැනෙනවා. ඒ විතරක් නෙමෙයි දේශනා සේවයේ යන්න, බයිබලේ අධ්‍යයනය කරන්න අපිට වෙහෙසක් දරන්න වුණත් අපි ඒ වෙනුවෙන් දරන වෙහෙසට වඩා අපි ලබන ශක්තිය හුඟක් වැඩියි.

17. අපි තේරුම්ගන්න ඕනෙ මොකක්ද? අපි පරෙස්සම් වෙන්න ඕනෙ මොනවා ගැනද?

17 අපිට වැය කරන්න පුළුවන් ශක්තියට සීමාවක් තියෙනවා කියලා අපි තේරුම්ගන්න ඕනේ. ඒ නිසා අපිට තියෙන ශක්තිය අපි වැය කරන්නේ මොනවාටද කියන දේ ගැන අපි පරෙස්සම් වෙන්න ඕනේ. උදාහරණෙකට ධන සම්පත් ලබාගන්න අපි අපේ ශක්තිය නාස්ති කරනවාද? “සදාකාල ජීවනය උරුම කරගැනීමට නම් මා කළ යුත්තේ කුමක්ද” කියලා යේසුස්ගෙන් අහපු තරුණයාට යේසුස් කියපු දේ මතකද? ඒ තරුණයා නීතියේ තිබුණ දේවල් පිළිපැද්ද කෙනෙක්. එයා හුඟක් හොඳ කෙනෙක් වෙන්නත් ඇති. මොකද යේසුස් “එයා දෙස ආදරයෙන් බලා” එයාට කතා කළා කියලා බයිබලේ සඳහන් වෙනවා. යේසුස් ඒ තරුණ පාලකයාට මේ වගේ ආරාධනයක් කළා. “ගොස් ඔබට තිබෙන හැම දෙයක්ම විකුණා ඉන්පසු ඇවිත් මගේ අනුගාමිකයෙක් වෙන්න.” එයාට යේසුස්ගේ අනුගාමිකයෙක් වෙන්න කැමැත්තක් තිබුණා. ඒත් පේන විදිහට එයාට තිබුණ “බොහෝ ධන සම්පත්” නැති කරගන්න එයා කැමති වුණේ නැහැ. (මාක් 10:17-22) ඒ නිසා යේසුස් ඔහුගේ වියගහ යටට එන්න කියලා කරපු ආරාධනය ඔහු ප්‍රතික්ෂේප කරලා දිගටම ‘මුදල් පසුපස හඹා ගියා.’ (මතෙ. 6:24) ඔයා ඒ තරුණයා නම් ඔයා ගන්නේ මොන වගේ තීරණයක්ද?

18. අපි විටින් විට හිතලා බලන්න ඕනෙ මොකක් ගැනද? ඒ ඇයි?

18 අපි අපේ ජීවිතේ මුල් තැන දෙන්නේ මොනවාටද කියලා විටින් විට හිතලා බලන්න ඕනේ. එතකොට අපිට පුළුවන් අපි අපේ ශක්තිය යොදවන්නේ ඥානවන්ත දේකටද නැද්ද කියලා දැනගන්න. තරුණ වයසේ ඉන්න මාක් මෙහෙම කියනවා. “මං පුරෝගාමි සේවය කරපු නිසා අවුරුදු ගාණක් තිස්සේ මං හිතුවේ මං ගත කරන්නේ සරල ජීවිතයක් කියලා. ඒත් නිතරම වගේ මගේ මනසේ තිබුණේ සල්ලි. ජීවිතේ තව සැප පහසු කරගන්නේ කොහොමද කියලත් මං හිතුවා. මං ජීවත් වුණේ ලොකු බරක් දරාගෙනයි කියලා මට දැනුණා. ඒ ඇයි කියලා හිතලා බලද්දී මට තේරුණා මං මගේ කාලය, ශක්තිය වැඩියෙන්ම වැය කරන්නේ මගේ අවශ්‍යතාවන් වෙනුවෙන් කියලා. ඉතුරු ටික තමයි මං දෙවියන්ට දීලා තියෙන්නේ.” මාක් එයා හිතපු විදිහත් එයා ජීවත් වුණ විදිහත් වෙනස් කරගෙන දෙවියන්ට වැඩිපුර සේවයක් කරන්න පටන්ගත්තා. මාක් දැන් මෙහෙම කියනවා. “මට ජීවත් වෙන්න තියෙන සල්ලි ඇතිද කියලා හිතෙන වෙලාවල් තියෙනවා. ඒත් යෙහෝවා දෙවියන්ගේ සහ යේසුස්ගේ උදව්වෙන් මට පුළුවන් වෙලා තියෙනවා සේවේට මනස යොමු කරන්න.”

19. දෙවියන්ට කරන සේවය ගැන අපි හරි විදිහට හිතන එක වැදගත් ඇයි?

19 යේසුස් අපි පිට තියන වියගහෙන් දිගටම සහනයක් ලබන්න පුළුවන් කොහොමද? ඒකට අපි දේවල් 3ක් කරන්න ඕනේ. (1) දෙවියන්ට කරන සේවය ගැන හරි විදිහට හිතන්න. අපි කරන්නේ යෙහෝවා දෙවියන්ගේ වැඩක් නිසා අපි ඒක කරන්න ඕනෙ ඔහු කැමති විදිහට. අපි වැඩකරුවන්. යෙහෝවා දෙවියන් තමයි අපේ ස්වාමියා. (ලූක් 17:10) වියගහක් යට ඉන්න ශක්තිමත් ගවයෙක් උගේ ස්වාමියා ඌට යන්න කියලා මඟ පෙන්නන පැතිවලට යන්නේ නැතුව ඌට ඕනෙ ඕනෙ පැතිවලට යන්න හැදුවොත් ඌට තුවාල වෙන්න පුළුවන්. ඒ වගේම ඌ ඉක්මනින්ම වෙහෙසට පත් වෙනවා. අපිත් දෙවියන් දීලා තියෙන වැඩේ අපිට ඕනෙ විදිහට කරන්න ගියොත් ඒ වැඩේ හොඳින් කරන්න අපිට බැරි වෙනවා. අනිත් අතට අපි යෙහෝවා දෙවියන්ගේ වැඩේ ඔහු කියන විදිහට කරනවා නම් අපිට කරන්න බැහැ කියලා හිතෙන දේවල් වුණත් අපිට කරන්න පුළුවන්. ඒ වගේම ජය ගන්න බැහැ කියලා හිතෙන අභියෝග ජය ගන්නත් අපිට පුළුවන්. මතක තියාගන්න දෙවියන්ගේ අරමුණ ඉටු වෙන එක නතර කරන්න කාටවත් බැහැ.—රෝම 8:31; 1 යොහ. 4:4.

20. අපි යේසුස්ගේ වියගහ යටට එන්න ඕනෙ මොන චේතනාවෙන්ද?

20 (2) හරි චේතනාවෙන් සේවය කරන්න. අපේ ඉලක්කය අපේ ආදරණීය තාත්තා වන යෙහෝවා දෙවියන්ට ගෞරවය ගේන එකයි. මුල් සියවසේ හිටපු සමහරු තමන්ට වාසි ලබාගන්න චේතනාවෙන් දේවල් කරපු නිසා එයාලගේ සතුට වැඩිකල් තිබුණේ නැහැ. එයාලා ඉක්මනින්ම යේසුස්ගේ වියගහ අත්හැරියා. (යොහ. 6:25-27, 51, 60, 66; ෆිලි. 3:18, 19) ඒත් තමන්ව දෙවෙනි තැනට දාලා යෙහෝවා දෙවියන්ට සහ අසල්වැසියන්ට තියෙන ආදරේ නිසා පෙලඹිලා සේවය කරපු හුඟක් අයත් ඒ කාලේ හිටියා. යේසුස් එක්ක ස්වර්ගයේ රජකම් කරන බලාපොරොත්තුවෙන් හිටපු එයාලා පොළොවේ එයාලා ගත කරපු ජීවිතේ අවසන් වෙන කල්ම සතුටින් යේසුස්ගේ වියගහ යට සේවය කළා. එයාලා වගේ අපිත් හරි චේතනාවෙන් යේසුස්ගේ වියගහ යට සේවය කළොත් අපිට දිගටම සතුටින් ඉන්න පුළුවන්.

21. මතෙව් 6:31-33 අනුව අපිට විශ්වාසයෙන් ඉන්න පුළුවන් මොනවා ගැනද?

21 (3) දිගටම විශ්වාසයෙන් ඉන්න. අපි තෝරගෙන තියෙන්නේ ලේසි ජීවිතයක් නෙමෙයි. මොකද අපි අපිවම දෙවෙනි තැනට දාලා වැඩ කරන්න ඕනේ. අපිට භාර දීලා තියෙන කාර්යය කරන්න අපි ලොකු වෙහෙසක් දරන්නත් ඕනේ. අපිට හුඟක් පීඩාවලට මුහුණ දෙන්න වෙනවා කියලත් යේසුස් කිව්වා. ඒත් ඒ ඕනෙම අභියෝගයක් විඳදරාගන්න ඕනෙ කරන ශක්තිය දෙවියන් අපිට දෙනවා කියන විශ්වාසයෙන් ඉන්න අපිට පුළුවන්. අපි විඳදරාගන්න තරමට අපි තව තවත් ශක්තිමත් වෙනවා. (යාකො. 1:2-4) යෙහෝවා දෙවියන් අපිට අත්‍යවශ්‍ය දේවල් දෙනවා කියලත් යේසුස් අපිව රැකබලා ගන්නවා කියලත් අපේ සහෝදර සහෝදරියන් අපිව දිරිගන්වයි කියලත් අපිට විශ්වාසයි. (මතෙව් 6:31-33 කියවන්න; යොහ. 10:14; 1 තෙස. 5:11) ඕනෙම අභියෝගයක් විඳදරාගන්න ඊට වඩා දෙයක් ඕනෙද?

22. අපිට සතුටු වෙන්න පුළුවන් මොකක් ගැනද?

22 එදා යේසුස් ළඟට ආපු ස්ත්‍රියව යේසුස් සුව කරපු දවසේ ඒ ස්ත්‍රියට ලොකු සහනයක් ලැබුණා. ඒත් ඒ සහනය දිගටම ලබාගන්න නම් එයා යේසුස්ගේ අනුගාමිකයෙක් වෙලා දිගටම විශ්වාසවන්තව ඉන්න ඕනේ. තමන්ගේ වියගහ යටට එන්න කියලා යේසුස් කරපු ආරාධනය ඒ ස්ත්‍රිය පිළිගන්න ඇතිද? එහෙම කළා නම් එයාට ලැබෙන තෑග්ග ගැන ටිකක් හිතන්න. යේසුස් එක්ක ස්වර්ගයේ රජකම් කරන්න අවස්ථාව ලැබෙන්න ඉඩ තිබුණා. යේසුස්ගේ අනුගාමිකයෙක් වෙන්න එයා මොන කැප කිරීම කළත් එයාට ලැබෙන ඒ වටිනා තෑග්ගත් එක්ක ඒවා සසඳන්න බැහැ. අපේ බලාපොරොත්තුව ස්වර්ගයේ ජීවත් වෙන්න වුණත් පොළොවේ ජීවත් වෙන්න වුණත් “මා වෙතට එන්න” කියලා යේසුස් කරපු ආරාධනය පිළිගත්ත එක ගැන අපිට සතුටු වෙන්න පුළුවන්.

ගීතිකාව 13 අපේ ආදර්ශකයාණන් වන යේසුස්

^ 5 ඡේ. යේසුස් ඔහු වෙතට එන්න කියලා අපිට ආරාධනා කරනවා. ඒ ආරාධනාව පිළිගන්න නම් අපි මොනවාද කරන්න ඕනේ? මේ ලිපියෙන් ඒකට උත්තර බලමු. ඒ වගේම යේසුස් එක්ක එකට වැඩ කරන එකෙන් අපිට සහනයක් ලබන්න පුළුවන් කොහොමද කියලත් බලමු.

^ 60 ඡේ. පින්තූරයේ අදහස: විවිධ විදිවලින් යේසුස් අනිත් අයට සහනයක් වුණා.

^ 66 ඡේ. පින්තූරයේ අදහස: යේසුස්ව ආදර්ශයට ගන්න සහෝදරයෙක් විවිධ විදිවලින් අනිත් අයට සහනයක් වෙනවා.