Skip to content

පටුනට යන්න

පාඩම් ලිපිය 35

යටහත්පහත් සේවකයන්ව යෙහෝවා දෙවියන්ට හුඟක් වටිනවා

යටහත්පහත් සේවකයන්ව යෙහෝවා දෙවියන්ට හුඟක් වටිනවා

‘යෙහෝවා දෙවි යටහත්පහත් තැනැත්තා ගැන සැලකිලිමත් වන්නේය.’—ගීතා. 138:6.

ගීතිකාව 48 දෙවි සමඟින් පා නඟමු

මේ ලිපියෙන් *

1. යටහත්පහත් අය ගැන යෙහෝවා දෙවියන්ට හැඟෙන්නේ කොහොමද? පැහැදිලි කරන්න.

යටහත්පහත් අයට යෙහෝවා දෙවියන් හුඟක් ආදරෙයි. ඒ වගේ අයට විතරයි දෙවියන් එක්ක කිට්ටු යාළුකමක් තියාගන්න පුළුවන් වෙන්නේ. ඊට වෙනස්ව “උඩඟු තැනැත්තා සමඟ ඔහුට කිසි මිත්‍රත්වයක් නැත” කියලා බයිබලේ කියනවා. (ගීතා. 138:6) අපි හැමෝටම ඕනෙ යෙහෝවා දෙවියන්ගේ හිත සතුටු කරලා ඔහුගේ ආදරේ ලබන්න. ඇත්තටම යටහත්පහත්ව වැඩ කරන්න අපිට හොඳ හේතු තියෙනවා.

2. මේ ලිපියෙන් අපි බලන්නේ මොනවා ගැනද?

2 මේ ලිපියෙන් අපි ප්‍රශ්න තුනකට උත්තර බලනවා. (1) යටහත්පහත් කෙනෙක් කොයි වගේද? (2) යටහත්පහත්ව වැඩ කරන්න අපි ඉගෙනගන්න ඕනේ ඇයි? (3) යටහත්පහත්ව වැඩ කරන එක අභියෝගයක් වෙන්න පුළුවන් මොන වගේ අවස්ථාවලදීද? අපි යටහත්පහත්ව වැඩ කරද්දී ඒකෙන් යෙහෝවා දෙවියන්ගේ හිත සතුටු වෙන්නේ කොහොමද කියලත් අපි ලබන ප්‍රයෝජන ගැනත් බලමු.—හිතෝ. 27:11; යෙසා. 48:17.

යටහත්පහත් කෙනෙක් කොයි වගේද?

3. යටහත්පහත් කෙනෙක් කොයි වගේද?

3 යටහත්පහත් කෙනෙක් තමන් අනිත් අයට වඩා උසස් කියලා හිතන්නේ නැහැ. එයා අහංකාර නැහැ. යෙහෝවා දෙවියන් තමන්ට වඩා ගොඩක් උසස් කියලා තේරුම් අරගෙනයි එයා වැඩ කරන්නේ. අනිත් හැම කෙනෙක්ටම මොකක් හරි දෙයක් තමන්ට වඩා හොඳින් කරන්න පුළුවන් කියලත් එයා තේරුම්ගන්නවා.—ෆිලි. 2:3, 4.

4-5. කෙනෙක් නිහතමානියි වගේ පෙනුණාට එයා ඇත්තටම එහෙම කෙනෙක් නොවෙන්න පුළුවන් ඇයි?

4 සමහරු යටහත්පහත් වගේ පේනවා. ඒත් ඇත්තටම එයාලා එහෙම අය නෙමෙයි. සමහරවිට එයාලා වැඩිය කතාබහ කරන්නේ නැති, ලැජ්ජාශීලී අය වෙන්න පුළුවන්. එහෙම නැත්නම් හැදුණු වැඩුණු පරිසරය නිසා එයාලා ඉබේම වගේ අනිත් අයට ගෞරවය පෙන්නනවා. හරිම ආචාරශීලියි. පිටින් ඒ දේවල් කළාට ඇත්තටම එයාලා උඩඟු අය වෙන්න පුළුවන්. ඒත් කවදා හරි එයාලගේ සැබෑ තත්වය එළියට එනවා.—ලූක් 6:45.

5 අනිත් අතට තවත් සමහරු තමන්ට හැඟෙන දේ බය නැතුව කියනවා. ඒකෙන් අදහස් කරන්නේ නැහැ එයාලා ආඩම්බර අය කියලා. (යොහ. 1:46, 47) ඒත් බයක්, සැකක් නැතුව කතා කරන අය තමන්ගේ හැකියාවන් ගැන ඕනෑවට වඩා විශ්වාසය තියලා වැඩ නොකර ඉන්න පරෙස්සම් වෙන්න ඕනේ. අපි ලැජ්ජාශීලී අය වුණත් නැතත් අපි හැමෝම හදවතින්ම නිහතමානී අය වෙන්න උත්සාහ කරන්න ඕනේ.

පාවුල් තමන් අනිත් අයට වඩා උසස් කියලා හිතුවේ නැහැ (6 ඡේදය බලන්න) *

6. 1 කොරින්ති 15:10 පෙන්නලා තියෙන විදිහට පාවුල්ගේ ආදර්ශයෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද?

6 යෙහෝවා දෙවියන් වෙනුවෙන් ලොකු සේවයක් කරපු පාවුල් ගැන හිතන්න. හුඟක් නගරවල අලුතින් සභාවන් පිහිටුවන්න දෙවියන් එයාව පාවිච්චි කළා. දේවසේවයේදී අනිත් නියෝජිතයන්ට වඩා ලොකු සේවයක් පාවුල් කළා කියලා හිතන්න පුළුවන්. ඒත් අනිත් සහෝදරයන්ට වඩා තමන් උසස් කියලා පාවුල් හිතුවේ නැහැ. ඒ වෙනුවට එයා නිහතමානීව මෙහෙම කිව්වා. “යේසුස්ගේ නියෝජිතයන් අතරින් සුළුම තැනැත්තා මමය. මා දෙවිගේ සභාවට පීඩා කළ නිසා නියෝජිතයෙකු කියා හැඳින්වීමටවත් මා වටින්නේ නැත.” (1 කොරි. 15:9) එයා කිව්වා එයාට දෙවියන් එක්ක කිට්ටු බැඳීමක් තියෙන්නේ දෙවියන් එයාට මහත් කරුණාව පෙන්නපු නිසයි කියලා. එහෙම නැතුව එයා විශේෂ කෙනෙක් නිසාවත් එයා ලොකු සේවයක් කරපු නිසාවත් නෙමෙයි කියලා. (1 කොරින්ති 15:10 කියවන්න.) කොරින්ති සභාවේ සමහරු එයාව පහත් කරලා කතා කරනවා කියලා පාවුල් දැනගෙන හිටියා. ඒත් එයාලට ලිපිය ලියද්දී පාවුල් එයාලට වඩා උසස් කියන හැඟීම ඇති වෙන විදිහට කතා කළේ නැහැ. (2 කොරි. 10:10) පාවුල් ඇත්තටම යටහත්පහත් කෙනෙක්!

පාලක මණ්ඩලයේ සේවය කරපු සහෝදර කාල් එෆ්. ක්ලයින් හරිම යටහත්පහත් සහෝදරයෙක් (7 ඡේදය බලන්න)

7. හුඟදෙනෙක් දන්න කියන සහෝදරයෙකුගේ නිහතමානිකම පැහැදිලි වුණේ කොහොමද?

7 පාලක මණ්ඩලයේ සේවය කරපු සහෝදර කාල් ක්ලයින්ගේ ජීවිත කතාව කියවලා සහෝදර සහෝදරියන් හුඟදෙනෙක් දිරිගැන්විලා තියෙනවා. එයා මුහුණ දුන්න අභියෝග, එයාගේ දුර්වලකම් ගැන සහෝදර කාල් එයාගේ ජීවිත කතාවේ සඳහන් කරනවා. එයා මුලින්ම 1922 ගෙයින් ගෙට සේවයේ හවුල් වුණාට පස්සේ ඒක එයාට කොච්චර අමාරු වුණාද කියනවා නම් අවුරුදු දෙකක් යන කල් එයා ආයේ සේවයේ ගියේ නැහැ. පස්සේ කාලෙක එයා බෙතෙල් එකේ සේවය කරද්දී සහෝදරයෙක් එයාට උපදෙසක් දුන්නාම ටික දවසක් යන කල් එයා ඒ සහෝදරයාත් එක්ක අමනාපයෙන් හිටියා. එයා කාලයක් බෙහෙත් ගන්න තරමටම මානසිකව වැටිලා හිටියා කියලත් එයා කියනවා. පස්සේ එයා ඒකෙන් ගොඩ ආවා. ඒ වගේ දුෂ්කර දේවලට එයා මුහුණ දුන්නත් එයාට වටිනා පැවැරම් කීපයක්ම කරන්න අවස්ථාව ලැබුණා. සහෝදර කාල් හුඟදෙනෙක් දන්න කියන සහෝදරයෙක් වුණත් එයා හංගන්නේ නැතුව එයාගේ දුර්වලකම් ගැන කතා කළා. ඒකෙන් පේනවා එයා යටහත්පහත් කෙනෙක් කියලා. සහෝදර කාල්ගේ ජීවිත කතාව සහෝදර සහෝදරියන් හුඟදෙනෙකුගේ මතකයේ රැඳිලා තියෙන්නේ ඒ නිසයි. *

අපි යටහත්පහත් අය වෙන්න ඕනෙ ඇයි?

8. අපි නිහතමානීව වැඩ කරද්දී යෙහෝවා දෙවියන් සතුටු වෙනවා කියලා 1 පේතෘස් 5:6 පැහැදිලි වෙන්නේ කොහොමද?

8 අපි යටහත්පහත් අය වෙන්න උත්සාහ කරන්න ඕනෙ ප්‍රධානම හේතුව එහෙම කරද්දී යෙහෝවා දෙවියන් සතුටු වෙන නිසයි. පේතෘස් ඒ ගැන කතා කළා. (1 පේතෘස් 5:6 කියවන්න.) පේතෘස් කියපු දේ ගැන ‘“මගේ අනුගාමිකයෙක් වෙන්න”’ කියන පොතේ මෙහෙම කියනවා. “අහංකාරකම විනාශයට මුලයි. එය හරියට ජීවිතයක් විනාශ කරන විෂ හා සමානයි. යම් පුද්ගලයෙක් හැම අතින්ම දක්ෂ වුවත් ඔහු නිහතමානී නැත්නම් දෙවිට ඔහුව වටින්නේ නැහැ. යමෙකුට දක්ෂකම් නැති වුණත් ඔහු සැබවින්ම නිහතමානී නම් යෙහෝවා දෙවිට ඔහුව බොහෝ සෙයින් වටිනවා. . . . ඔබත් නිහතමානී ලෙස කටයුතු කරනවා නම් අපේ දෙවි ඔබටත් ආශීර්වාද කරන බව නිසැකයි.” * යෙහෝවා දෙවියන්ව සතුටු කරන්න ලැබෙන එක කොයි තරම් දෙයක්ද!—හිතෝ. 23:15.

9. අපි නිහතමානියි නම් අනිත් අය අපිට කිට්ටු වෙන්න කැමතියි කියන්නේ ඇයි?

9 අපි යටහත්පහත්ව වැඩ කරද්දී යෙහෝවා දෙවියන්ව සතුටු කරන්න පුළුවන් වෙනවා වගේම ඒකෙන් අපිටත් හුඟක් ප්‍රයෝජන ලැබෙනවා. අපි නිහතමානී වෙද්දී අනිත් අය අපිට ළං වෙනවා. එහෙම කියන්නේ ඇයි? මෙහෙම හිතන්න. ඔයා ආස කොයි වගේ අයව ඔයාගේ යාළුවන් කරගන්නද? (මතෙ. 7:12) හැම වෙලේම තමන්ට ඕනෙ විදිහට අනිත් අය වැඩ කරන්න ඕනෙ කියලා හිතන, අනිත් අයගේ අදහස්වලට ඇහුම්කන් දෙන්නේ නැති අයව ආශ්‍රය කරන්න අපි කැමති නැහැ. ඒත් අපේ සහෝදර සහෝදරියන් ‘එකිනෙකාට අනුකම්පාව පෙන්වමින්ද සහෝදර ස්නේහය ඇතුවද ගැඹුරු දයානුකම්පාවෙන් ක්‍රියා කරමින්ද නිහතමානීවද’ වැඩ කරද්දී ඒක අපිට කොච්චර සතුටක්ද! (1 පේතෘ. 3:8) ඒ වගේ අයට ළං වෙන්න අපි කැමති නම් අපි නිහතමානී වෙද්දී අපිට ළං වෙන්නත් අනිත් අය කැමති වෙයි.

10. ජීවිතේ මුහුණ දෙන්න වෙන ප්‍රශ්න දරාගන්න නිහතමානී අයට පහසු ඇයි?

10 ජීවිතේ අභියෝග එද්දී ඒවා දරාගන්න නිහතමානී අයට පහසුයි. සමහර අවස්ථාවලදී අසාධාරණයි කියලා අපිට හැඟෙන දේවල් අපි දකිනවා. ඒවාට මුහුණ දෙන්න අපිට වෙයි. ප්‍රඥාවන්ත රජෙක් වුණ සලමොන් මෙහෙම කිව්වා. “සේවකයන් අශ්වයන් පිට නැඟ යන ආකාරයත් අධිපතීන් පයින් යන ආකාරයත් මම දුටුවෙමි.” (දේශ. 10:7) දක්ෂ අයව සමහර වෙලාවට කවුරුත් අගය කරන්නේ නැහැ. අනිත් අතට ඒ තරම් දක්ෂ නැති අයට ඕනෑවට වඩා අනිත් අයගේ ප්‍රශංසාව ලැබෙන්න පුළුවන්. ඒ වගේ අසාධාරණකම් ගැන අනවශ්‍ය විදිහට දුක් වෙනවා වෙනුවට ඒවා දරාගෙන ඉදිරියට යන එක තමයි හොඳම දේ. (දේශ. 6:9) ඒවා දරාගන්න නිහතමානිකම අපිට උදව් වෙනවා.

අභියෝගයක් වෙන අවස්ථා

මේ වගේ අවස්ථාවකදී යටහත්පහත්ව වැඩ කරන එක අභියෝගයක් වෙන්නේ ඇයි? (11 සහ 12 ඡේද බලන්න) *

11. උපදෙසක් ලැබුණාම අපි කරන්න ඕනෙ මොකක්ද?

11 නිහතමානීව වැඩ කරන්න හැම දවසකම වගේ අපිට අවස්ථාවන් ලැබෙනවා. මේ ඒ වගේ අවස්ථා කීපයක්. උපදෙසක් ලැබෙද්දී. කෙනෙක් කාලේ අරන් අපිට උපදෙසක් දෙනවා කියන්නේ අපි හිතනවාට වඩා බැරෑරුම් වරදක් අපි අතින් වෙලා ඇති කියලා අපි මතක තියාගන්න ඕනේ. අපිට උපදෙසක් ලැබුණාම අපි ඉක්මනින්ම හිතන්නේ ඒක අපිට අවශ්‍ය නැහැ කියලයි. සමහරවිට ඒ උපදෙස දුන්න කෙනාව එහෙම නැත්නම් එයා ඒක දුන්න විදිහ අපි විවේචනය කරයි. ඒත් අපි නිහතමානියි නම් ‘ඒ උපදෙස මට අදාළයි’ කියලා හිතලා ඒක භාරගන්නවා.

12. හිතෝපදේශ 27:5, 6 අනුව කෙනෙක් අපිට උපදෙසක් දුන්නාම අපි ඒක අගය කරන්න ඕනෙ ඇයි? පැහැදිලි කරන්න.

12 යටහත්පහත් කෙනෙක් තමන්ට ලැබෙන උපදෙස් අගය කරනවා. මේ ගැන හිතන්න. ඔයා රැස්වීමකට යනවා. එතනදී ඔයා කීපදෙනෙක් එක්කම කතා කරකර ඉන්නවා. එයාලගෙන් එක් කෙනෙක් ඔයාව පැත්තකට එක්කගෙන ගිහින් ඔයාට කියනවා ඔයා කාපු දේක කෑල්ලක් දතක හිර වෙලා තියෙනවා කියලා. ඒක ඇහුවාම ඔයාට ලැජ්ජාවක් දැනෙයි. ඒත් එයා ඒක ඔයාට කිව්ව එක හොඳ දෙයක් කියලා ඔයාට හිතෙන්නේ නැද්ද? කවුරු හරි ඒක ඊට කලින් කිව්වා නම් කොච්චර හොඳද කියලත් ඔයාට හිතෙයි. ඒ වගේ තමයි උපදෙසක් අවශ්‍ය වෙලාවේදී කෙනෙක් ඒක දුන්නාම අපි නිහතමානීව ඒක පිළි අරන් ඒක අගය කරන්න ඕනේ. උපදෙස දෙන කෙනාව අපි සලකන්න ඕනෙ අපිට ආදරේ කරන කෙනෙක් විදිහට මිසක් වෛර කරන කෙනෙක් විදිහට නෙමෙයි.—හිතෝපදේශ 27:5, 6 කියවන්න; ගලා. 4:16.

වෙනත් අයට සභාවේ වගකීම් ලැබෙද්දී අපි නිහතමානීව වැඩ කරන්න ඕනෙ ඇයි? (13 සහ 14 ඡේද බලන්න) *

13. අනිත් අයට සභාවේ වගකීම් ලැබෙද්දී අපිට නිහතමානීව වැඩ කරන්න පුළුවන් කොහොමද?

13 අනිත් අයට සභාවේ වගකීම් ලැබෙද්දී. වැඩිමහල්ලෙක් වන ජේසන් මෙහෙම කියනවා. “අනිත් අයට විවිධ පැවරුම් ලැබෙද්දී සමහර වෙලාවට මට හිතෙනවා ඇයි මට ඒක ලැබුණේ නැත්තේ” කියලා. ඔයාටත් එහෙම හැඟිලා තියෙනවාද? යෙහෝවා දෙවියන් වෙනුවෙන් තව වැඩියෙන් සේවය කරන්න “වෑයම් කරන” එක හොඳ දෙයක්. (1 තිමෝ. 3:1) ඒත් අපේ ආකල්ප ගැන අපි සැලකිලිමත් වෙන්න ඕනේ. මොකද දන්නෙම නැතුව අපේ හිතේ උඩඟු ආකල්ප ඇති වෙන්න පුළුවන්. උදාහරණෙකට සහෝදරයෙකුට හිතෙන්න පුළුවන් යම් පැවරුමක් කරන්න වැඩියෙන්ම සුදුසුකම් තියෙන්නේ එයාට කියලා. එහෙම නැත්නම් සහෝදරියකට හිතෙන්න පුළුවන් ‘අර සහෝදරයාට වඩා මගේ මහත්තයාට මේ පැවරුම දුන්නා නම් එයා හොඳට කරයි’ කියලා. අපි හදවතින්ම යටහත්පහත් අය නම් ඒ විදිහට හිතන්නේ නැහැ.

14. මෝසෙස්ගෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද?

14 වගකීම් ගැන මෝසෙස්ට හැඟුණ විදිහෙන් අපිට පාඩමක් ඉගෙනගන්න පුළුවන්. ඊශ්‍රායෙල්වරුන් අතරේ මූලිකත්වය අරන් වැඩ කරන්න ලැබුණ පැවරුම මෝසෙස් ගොඩක් අගය කළා. යෙහෝවා දෙවියන් මෝසෙස්ගේ පැවරුමට ඇතුළත් වුණ සමහර වගකීම් තව කීපදෙනෙක්ට භාර දුන්නාම මෝසෙස්ට එයාලා ගැන ඊර්ෂ්‍යාවක් ඇති වුණාද? නැහැ. (ගණන්. 11:24-29) ඊශ්‍රායෙල්වරුන්ගේ නඩු විභාග කරන වගකීම ඉටු කරන්න එයා නිහතමානීව අනිත් අයගේ උදව් පිළිගත්තා. (නික්. 18:13-24) නඩු විභාග කරන්න වැඩිදෙනෙක් හිටපු නිසා ලොකු කාලයක් බලාගෙන ඉන්නේ නැතුව ඉක්මනින්ම තමන්ගේ නඩු විසඳගන්න ඒකෙන් ඊශ්‍රායෙල්වරුන්ට පුළුවන් වුණා. ඒකෙන් තේරෙනවා මෝසෙස්ට වැදගත් වුණේ සෙනඟට පහසු වෙන විදිහට දේවල් කරන එක මිසක් වගකීම් තමාම බදාගෙන ඉටු කරන එක නෙමෙයි කියලා. මෝසෙස් අපිට හොඳ ආදර්ශයක්! යෙහෝවා දෙවියන් අපිව පාවිච්චි කරන්නේ අපේ හැකියාවන් දිහා බලලා නෙමෙයි අපේ නිහතමානිකම දිහා බලලයි කියලා අපි මතක තියාගමු. “යෙහෝවා දෙවි කොතරම් උසස් වුවත් යටහත්පහත් තැනැත්තා ගැන ඔහු සැලකිලිමත් වන්නේය” කියලා බයිබලේ කියනවා.—ගීතා. 138:6.

15. සහෝදර සහෝදරියන් හුඟදෙනෙක් මුහුණ දීලා තියෙන වෙනස්කම් මොනවාද?

15 පැවරුමේ වෙනසක් වෙද්දී. කාලයක් තිස්සේ පූර්ණකාලීනව සේවය කරපු හුඟදෙනෙකුගේ පැවරුම් මෑත කාලවලදී වෙනස් වුණා. උදාහරණෙකට 2014 සංවිධානය තීරණය කළා සහෝදරයන් තවදුරටත් දිස්ත්‍රික් සේවකයන් හැටියට සේවය කරන්න ඕනෙ නැහැ කියලා. ඒ නිසා ඒ සේවය කරපු සහෝදරයන්ගේ සහ එයාලගේ භාර්යාවන්ගේ පැවරුම වෙනස් වුණා. ඒ අවුරුද්දේදීම සංවිධානය කිව්වා චාරිකා සේවය කරන සහෝදරයන්ට වයස 70ක් වුණාම එයාලට තවදුරටත් ඒ සේවයේ හවුල් වෙන්න බැහැ කියලා. අවුරුදු 80ක් හෝ ඊට වැඩි වයසක ඉන්න සහෝදරයන්ට වැඩිමහල් මණ්ඩලයේ සම්බන්ධීකාරක විදිහට සේවය කරන්න බැහැ කියලත් මඟ පෙන්වීමක් ලැබුණා. ඒ වගේම පහුගිය අවුරුදු කීපයේදී බෙතෙල් පවුලේ සාමාජිකයන් හුඟදෙනෙක්ට පුරෝගාමි සේවය කරන්න පැවරුම් ලැබුණා. අසනීප නිසා, පවුලේ වගකීම් නිසා නැත්නම් පෞද්ගලික හේතු නිසා තවත් සමහරදෙනෙක්ට විශේෂ පූර්ණකාලීන සේවය නවත්තන්න වුණා.

16. සහෝදර සහෝදරියන් නිහතමානීව වෙනස්කම්වලට හුරු වෙලා තියෙන්නේ කොහොමද?

16 වෙනස්කම්වලට හුරු වෙන එක ඒ සහෝදර සහෝදරියන් හුඟදෙනෙකුට ලොකු අභියෝගයක් වුණා. අලුත් පැවරුම් ලැබුණ වැඩිදෙනෙක් එයාලා කලින් කරපු පැවරුම අවුරුදු ගාණක් තිස්සේ හරිම ආසාවෙන් තමයි කළේ. ඒ නිසා ඒ පැවරුම නැති වුණ එක ගැන සමහරුන්ට ලොකු දුකක් දැනුණා. ඒත් කාලයත් එක්කම එයාලා වෙනසට හුරු වුණා. මොකද අනිත් හැම දේටම වඩා එයාලා යෙහෝවා දෙවියන්ට ආදරේ කරනවා. එයාලා පොරොන්දු වුණේ දෙවියන්ට සේවය කරන්න මිසක් නිශ්චිත පැවරුමක් කරන්න නෙමෙයි කියලා එයාලා දන්නවා. (කොලො. 3:23) නිහතමානීව ලැබෙන ඕනෙම පැවරුමක් කරලා දිගටම යෙහෝවා දෙවියන්ට සේවය කරන එකයි එයාලට වටින්නේ. දෙවියන් එයාලා ගැන සැලකිලිමත් කියලා දන්න නිසා එයාලගේ “කනස්සල්ලට හේතු වන සෑම බරක්ම” එයාලා දෙවියන්ට භාර දෙනවා.—1 පේතෘ. 5:6, 7.

17. නිහතමානීව වැඩ කරන්න කියලා දේවවචනයේ අපිට උනන්දු කරලා තියෙන එක අපි අගය කරන්නේ ඇයි?

17 නිහතමානීව වැඩ කරන්න කියලා දේවවචනයේ අපිට උනන්දු කරලා තියෙන එක අපි හුඟක් අගය කරනවා. ඒ ලස්සන ගුණාංගය අපි වර්ධනය කරගද්දී අපිට ළං වෙන්න අනිත් අය කැමති වෙයි. අපිටත් ඒකෙන් ප්‍රයෝජන ලැබෙනවා. ජීවිතේ එන අභියෝග දරාගන්න නිහතමානිකම අපිට උදව් වෙනවා. ඒ හැම දේටම වඩා ස්වර්ගයේ ඉන්න අපේ ආදරණීය තාත්තාට ළං වෙන්න ඒ ගුණාංගය අපිට උදව් වෙනවා. විශ්වයේ ඉන්න ‘ශ්‍රේෂ්ඨතම තැනැත්තාණන්’ වන යෙහෝවා දෙවියන් ඔහුගේ නිහතමානී සේවකයන්ට ආදරෙයි කියලත් එයාලව ඔහුට වටිනවා කියලත් දැනගන්න ලැබුණ එක කොච්චර දෙයක්ද!—යෙසා. 57:15.

ගීතිකාව 45 මාගේ සිතුවිලි විමසන්න

^ 5 ඡේ. අපි යටහත්පහත් අය වෙන්න උත්සාහ කරන එක හරිම වැදගත්. යටහත්පහත් කෙනෙක් කොයි වගේද? යටහත්පහත්ව වැඩ කරන්න අපි ඉගෙනගන්න ඕනේ ඇයි? අපේ පැවරුම්වල වෙනසක් වෙද්දී යටහත්පහත්ව වැඩ කරන එක අමාරු වෙන්නේ ඇයි? ඒ ප්‍රශ්නවලට උත්තර මේ ලිපියේ කතා කරනවා.

^ 7 ඡේ. 1985 සැප්තැම්බර් 1 ‘මුරටැඹ’ කලාපයේ පළ වුණ “යෙහෝවාඃවහන්සේ මට යහපත කළ සේක” කියන ලිපිය බලන්න.

^ 53 ඡේ. පින්තූරයේ අදහස: සහෝදරයෙකුගේ ගෙදර නතර වෙලා ඉන්න පාවුල් දරුවන් ඇතුළුව අනිත් හැම කෙනෙක්වම ආශ්‍රය කරලා සතුටක් ලබනවා.

^ 57 ඡේ. පින්තූරයේ අදහස: තමන්ට වඩා වයසින් අඩු සහෝදරයෙක් බයිබලේ පාවිච්චි කරලා දෙන උපදෙසක් සහෝදරයෙක් පිළිගන්නවා.

^ 59 ඡේ. පින්තූරයේ අදහස: තරුණ වයසේ ඉන්න සහෝදරයාට සභාවේ ලැබිලා තියෙන පැවරුම ගැන මහලු වයසේ ඉන්න සහෝදරයා ඊර්ෂ්‍යා කරන්නේ නැහැ.