මුල් පිටුවෙන් | දේවදූතයන් ඇත්තටම ඉන්නවාද?
ඔයාට උදව් කරන්න දේවදූතයන්ට පුළුවන් කොහොමද?
දෙවියන්ට විශ්වාසවන්තව සේවය කරන දේවදූතයන් මිනිසුන් ගැන ගොඩක් සැලකිලිමත්. ඒ වගේම යෙහෝවා දෙවියන් පවරන ඕනෙම දෙයක් කරන්නත් එයාලා ආසාවෙන් ඉන්නවා. දෙවියන් පොළොව නිර්මාණය කරපු අවස්ථාවේ දේවදූතයන් ‘ප්‍රීතියෙන් ගී ගැයුවා කියලත් දෙවිගේ සියලු පුත්‍රයෝ සතුටු සිතින් ප්‍රශංසා කළා’ කියලත් බයිබලයේ කියනවා. (යෝබ් 38:4, 7) පොළොව සම්බන්ධයෙන් දෙවියන් කියලා තියෙන අනාවැකි ඉටු වෙන්නේ කොහොමද කියලා දැනගන්න අතීතයේ ඉඳන්ම දේවදූතයන් හුඟක් උනන්දුවෙන් ඉන්නවා.—1 පේතෘස් 1:11, 12.
දෙවියන්ගේ කැමැත්තට අනුව දේවදූතයන් දෙවියන්ගේ සේවකයන්ව ආරක්ෂා කරපු අවස්ථා ගැන බයිබලයේ සඳහන් වෙනවා. (ගීතාවලිය 34:7) උදාහරණ කිහිපයක් බලන්න:
-
සොදොම් සහ ගොමෝරාව කියන නගර දෙකේ හිටපු නපුරු මිනිසුන්ව දෙවියන් විනාශ කරපු වෙලාවේ එතනින් බේරිලා යන්න ලොත්ටත් එයාගේ පවුලේ අයටත් උදව් කළේ දේවදූතයන්.—උත්පත්ති 19:1, 15-26.
-
බැබිලෝනියේ හිටපු හෙබ්‍රෙව් තරුණයන් තුන්දෙනෙක්ව ඇවිළෙන ගිනි උදුනකට දැම්ම වෙලාවේ දෙවියන් “තම දූතයාව එවා ඔවුන්ව ගලවාගත්තා.”—දානියෙල් 3:19-28.
-
දානියෙල්ව සිංහ ගුහාවකට දැම්මත් එයාට කිසිම අනතුරක් වුණේ නැහැ. ඒ “දෙවි ඔහුගේ දූතයෙකුව එවා සිංහයන්ගේ කටවල් වසා දැමූ” නිසයි.—දානියෙල් 6:16, 22.
දේවදූතයන් මුල් සියවසේ හිටපු ක්‍රිස්තියානීන්ටත් උදව් කළා
දෙවියන්ගේ කැමැත්තට අනුව දේවදූතයන් මුල් සියවසේ හිටපු ක්‍රිස්තියානීන්ටත් උදව් කළා. උදාහරණ කිහිපයක් බලන්න:
-
යේසුස්ගේ නියෝජිතයන්ව සිරගත කරලා තිබුණ අවස්ථාවක එයාලව නිදහස් කරපු දේවදූතයෙක් දේවමාලිගාවට ගිහින් දේශනා කරන්න කියලා එයාලට කිව්වා.—ක්‍රියා 5:17-21.
-
යෙරුසලමේ ඉඳන් ගාසාවලට යන පාරට ගිහින් යෙරුසලමේ ඉඳන් ආපහු එන ඉතියෝපියානු නිලධාරියෙක්ට දේශනා කරන්න කියලා ෆිලිප්ට මඟ පෙන්නුවේ දේවදූතයෙක්.—ක්‍රියා 8:26-33.
-
යුදෙව් නොවන අයටත් ක්‍රිස්තියානීන් වෙන්න අවස්ථාව දෙන්න කාලේ ආවාම දේවදූතයෙක් රෝම නිලධාරියෙක් වුණු කොර්නේලියස්ට දර්ශනයකින් පෙනිලා කිව්වා පේතෘස්ව එයාගේ ගෙදරට ගෙන්නගන්න කියලා.—ක්‍රියා 10:3-5.
-
පේතෘස් සිරගෙදර ඉද්දී දේවදූතයෙක් ඇවිත් එයාව එතනින් බේරාගත්තා.—ක්‍රියා 12:1-11.
ඔයාට උදව් කරන්න දේවදූතයන්ට පුළුවන් කොහොමද?
අතීතයේදී වගේ අදත් ආශ්චර්යවත් විදිහට දේවදූතයන් මිනිසුන්ට උදව් කරනවා කියන්න සාක්ෂි නැහැ. ඒත් අදටත් දේවදූතයන්ගේ උදව් මිනිසුන්ට ලැබෙනවා. මේ කාලේ ගැන කතා කරද්දී යේසුස් මෙහෙම කිව්වා. “රාජ්‍යය පිළිබඳ මේ ශුභාරංචිය සියලු ජාතීන්ට සාක්ෂියක් වන පිණිස ජනාවාස වූ මුළු පොළොව පුරාම දේශනා කරනු ලබයි. එවිට අවසානය පැමිණෙයි.” (මතෙව් 24:14) යේසුස්ගේ අනුගාමිකයන් ඒ කාර්යය කරන්නේ දේවදූතයන්ගේ මඟ පෙන්වීමෙන් කියලා ඔයා දන්නවාද?
යෙහෝවා දෙවියන් ගැන ඉගෙනගන්න ආස අයට දේවදූතයන් උදව් කරනවා. ඒ ගැන බයිබලයේ කියන්නේ මෙහෙමයි. “මම තවත් දේවදූතයෙකු දුටුවෙමි. ඔහු පියාසර කරමින් සිටියේ අහස මැදය. පොළොවේ වාසය කරන අයටත් සියලු ජාතීන්ටත් ගෝත්‍රවලටත් භාෂාවලටත් ජනයාටත් ප්‍රීතිමත් පණිවිඩයක් ලෙස ප්‍රකාශ කිරීම සඳහා සදාකාල ශුභාරංචියක් ඔහු සතු විය. ඔහු මහත් හඬකින් පවසන්නේ මෙයයි. ‘දෙවිට ගරුබිය දක්වන්න. ඔහුට ගෞරවය දෙන්න. ඔහුගේ විනිශ්චය සිදු කරන පැය පැමිණ ඇත. එහෙයින් අහසද පොළොවද මුහුදද දිය උල්පත්ද සෑදූ තැනැත්තාණන්ට නමස්කාර කරන්න.’” (එළිදරව් 14:6, 7) දේවරාජ්‍යය ගැන ලෝකේ පුරාම දේශනා කරන්න දේවදූතයන්ගේ සහය ලැබෙනවා කියන්න හුඟක් සාක්ෂි තියෙනවා. කෙනෙක් තමන්ගේ වැරදි අත්හැරලා යෙහෝවා දෙවියන්ට නමස්කාර කරන්න පටන්ගද්දී ‘දේවදූතයන් ප්‍රීති වෙනවා’ කියලා බයිබලයේ කියනවා.—ලූක් 15:10.
දේශනා කිරීමේ කාර්යය ඉවර වුණාම මොකද වෙන්නේ? ‘දෙවිගේ මහත් දවසේ සිදු වන යුද්ධයේදී’ ඒ කියන්නේ හර්–මගෙදොන් යුද්ධයේදී ‘ස්වර්ගයේ ඉන්න දේවදූත සේනාව’ යේසුස් එක්ක එකතු වෙලා නරක මිනිසුන්ව විනාශ කරනවා. (එළිදරව් 16:14-16; 19:14-16) “ස්වාමීන් වන යේසුස් පිළිබඳ ශුභාරංචියට කීකරු නොවන අයට එරෙහිව” යේසුස් විනිශ්චය ඉටු කරද්දී දේවදූතයන් ඒකටත් උදව් කරනවා.—2 තෙසලෝනික 1:7, 8.
දේවදූතයන් ඔයා ගැනත් සැලකිලිමත්. දෙවියන්ට නමස්කාර කරන්න ආස අයට උදව් කරන්න එයාලා ආසයි. ඒ නිසා දෙවියන්ට විශ්වාසවන්තව සේවය කරන අයගේ විශ්වාසය ශක්තිමත් කරන්නත් එයාලව ආරක්ෂා කරන්නත් යෙහෝවා දෙවියන් දිගටම ඒ දේවදූතයන්ව යොදාගන්නවා.—හෙබ්‍රෙව් 1:14.
අපි එක් එක් කෙනාට දැන් වැදගත් තේරීමක් තියෙනවා. ඒ තමයි ලෝකේ පුරාම සිදු කරන ශුභාරංචියට ඇහුම්කන් දීලා දෙවියන් කැමති විදිහට ජීවත් වෙනවාද නැද්ද කියන තේරීම. දෙවියන්ගේ බලවත් දේවදූතයන්ගේ උදව්, මඟ පෙන්වීම් ලබන්න ඔයාත් කැමතිද? එහෙනම් ඔයාට උදව් කරන්න යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් කැමැත්තෙන් ඉන්නවා.