Skip to content

පටුනට යන්න

වැරදි අඩුපාඩු වෙද්දී

වැරදි අඩුපාඩු වෙද්දී

ඩොන් සහ මාග්‍රෙට් * හිටියේ හරිම සතුටින්. ඒ එයාලගේ දුවයි, දුවගේ මහත්තයායි, මුනුපුරෝ දෙන්නායි නිවාඩුවකට එයාලගේ ගෙදර ආපු නිසා. එයාලා ආපහු යන්න කලින් එයාලට රසවත් කෑම වේලක් දෙන්න මාග්‍රෙට්ට ඕනෙ වුණා. පලපුරුදු කෝකියෙක් වුණ මාග්‍රෙට් එදා හැදුවේ එයාගේ මුනුපුරෝ දෙන්නා ආසම කරපු චීස් දාපු මැකරෝනි.

හැමෝම කෑම මේසේ වාඩි වෙලා ඉද්දී මාග්‍රෙට් කෑම භාජනේ අරන් ඇවිත් මේසෙන් තිබ්බා. එයා ඒකෙ පියන ඇරියා විතරයි හැමෝගෙම ඇස් උඩ ගියා. ඒකෙ තිබුණේ චීස් සෝස් එක විතරයි. කෝ එතකොට මැකරෝනි! මාග්‍රෙට්ට ඒක දාන්න අමතක වෙලා.

අපි මොන වයසක හිටියත් අද්දැකීම් තිබුණත් නැතත් අපි අතින් වැරදි අඩුපාඩු වෙනවා. ඒක හිතන්නේ බලන්නේ නැතුව කියපු වචනයක් නැත්නම් කරපු දෙයක් වෙන්න පුළුවන්. නැත්නම් අමතක වීමක් වෙන්න පුළුවන්. ඇයි ඒ වගේ අඩුපාඩු වෙන්නේ? එහෙම වුණාම කරන්න ඕනෙ මොනවාද? එහෙම වෙන එක නවත්වගන්න පුළුවන්ද? අඩුපාඩු ගැන දෙවියන් හිතන විදිහ තේරුම්ගත්තොත් ඒ ප්‍රශ්නවලට උත්තර දැනගන්න පුළුවන්.

වැරදි දිහා අපි බලන්නේ දෙවියන් බලන විදිහටද?

අපි දෙයක් හොඳට කළාම අනිත් අය ඒක අගය කරනවාට අපි කැමතියි. එහෙමනම් අපේ අතින් වරදක් වුණාම, සමහරවිට අපි ඒක හිතාමතාම නොකළත් අනිත් අය දැක්කත් නැතත් අපි ඒ වැරැද්ද පිළිගන්න ඕනෙ නේද? ඒක කරන්න නම් නිහතමානීකම ඕනේ.

අපි අපි ගැන ඕනෑවට වඩා හිතනවා නම් අපේ වැරදි, අඩුපාඩු ගැන සැහැල්ලුවට හිතන්න පෙලඹෙයි. නැත්නම් වරද වෙන කෙනෙක් පිට දාන්න හදයි. එහෙම කළොත් හුඟක් වෙලාවට ලැබෙන්නේ නරක ප්‍රතිඵල. ප්‍රශ්නය විසඳෙන්නෙත් නැහැ. වෙන කෙනෙක් පිට වරද පැටවෙන්නත් පුළුවන්. වුණ වරද යට ගහලා හරි වෙන කෙනෙක් පිට පටවලා හරි බේරෙන්න පුළුවන් වෙයි. ඒත් ඒකෙන් ලැබෙන ප්‍රතිඵලවලින් නම් බේරෙන්න බැහැ. මොකද ‘අපි කරන කියන දේවල් ගැන අපි හැමෝවම දෙවියන් විනිශ්චය කරනවා.’—රෝම 14:12.

කෙනෙක් අතින් වෙන වැරදි දිහා දෙවියන් බලන්නේ අපි බලන විදිහට නෙවෙයි. බයිබලයේ දෙවියන්ව හඳුන්වන්නේ ‘දයාන්විත, කරුණාවන්ත’ කෙනෙක් විදිහට. ‘අපි අතින් සිද්ධ වෙන වැරදි ඔහු හැමදාටම මතකයේ තියාගන්නේ නැහැ. හැමදාටම අපිත් එක්ක අමනාපයෙන් ඉන්නෙත් නැහැ.’ අපි හැමෝටම පව්කාරකම උරුම වෙලා තියෙනවා කියලා ඔහු දන්නවා. අපිව හැදුවේ දූවිල්ලෙන් කියලත් ඔහු අමතක කරන්නේ නැහැ.—ගීතාවලිය 103:8, 9, 14.

දෙවියන්ගේ දරුවන් විදිහට අපි අපේ අතින් වෙන වැරදි ගැනත් අනිත් අය අතින් වෙන වැරදි ගැනත් දෙවියන් හිතන විදිහට හිතයි කියලා ඔහු අපෙන් බලාපොරොත්තු වෙනවා. (ගීතාවලිය 130:3) අපි අතිනුත් අනිත් අය අතිනුත් වැරදි වෙද්දී අපි කටයුතු කරන්න ඕනෙ කොහොමද කියලා ඔහු අපිට බයිබලය මාර්ගයෙන් මඟ පෙන්වීම් දීලා තියෙනවා.

වරදක් වුණාම අපි කරන්න ඕනෙ මොනවාද?

කෙනෙක් අතින් වරදක් වුණාම හුඟක් වෙලාවට ඒ කෙනා වරද වෙන කෙනෙක් පිට පටවනවා. නැත්නම් නිදහසට කරුණු කියනවා. හැබැයි ඔයා අතින් වරදක් වුණොත් උදාහරණෙකට ඔයා හිතන්නේ නැතුව කියපු දෙයක් නිසා ඔයාගේ යාළුවෙක්ගේ හිත රිදුණොත් එයාගෙන් සමාව ඉල්ලන්න. ඔයා අතින් වුණ වරද හදාගන්න. ඒ යාළුකම දිගටම තියාගන්න ඒක උදව් වෙයි. ඔයා අතින් වුණ වරද නිසා ඔයා හරි වෙන කෙනෙක් හරි අපහසුතාවයකට පත් වෙලා තියෙනවාද? නැත්නම් ඊටත් වඩා බරපතළ දේකට මුහුණ දෙන්න වෙලා තියෙනවාද? එහෙනම් ඒ ගැන ඔයාටම දොස් කියාගන්නවත් වෙන කෙනෙක්ට දොස් කියන්නවත් එපා. ඒ වෙනුවට වෙච්ච වරදෙන් පාඩමක් ඉගෙනගන්න. වරද නිසා ඇති වුණ හානිය නැති කරන්න ඔයාට පුළුවන් හැම දේම කරන්න. ඊටපස්සේ ඒ වරද අමතක කරලා දාන්න.

අනිත් අය අතින් වැරදි වෙද්දී ඒවා ඉක්මනින්ම අපිට පේනවා. ඒ ගැන හිතේ කේන්තියකුත් ඇති වෙනවා. හැබැයි යේසුස් කිව්වේ “අනුන් ඔබට යම් දෙයක් කරනවාට ඔබ කැමතිද ඔබත් ඒ දේම ඔවුන්ට කරන්න” කියලයි. (මතෙව් 7:12) අපි අතින් වරදක් වුණාම අපි කැමතියි අනිත් අය අපිට සමාව දීලා ඒක අමතක කරලා දානවාට. එහෙනම් අනිත් අය අතින් වැරදි වෙද්දී අපිත් ඒ දේම කරන්න ඕනෙ නේද?—එෆීස 4:32.

වැරදි අඩු කරගන්න උදව් වෙන මඟ පෙන්වීම්

“යම් දෙයක් ගැන හැම තොරතුරක්ම නොදැන කටයුතු කරද්දී, වැරදි නිගමනයකට එද්දී නැත්නම් හරියට අවධානය දෙන්නේ නැති වුණාම වැරදි, අඩුපාඩු වෙනවා” කියලා ශබ්දකෝෂයක කියනවා. අපි හැමෝම ඒ විදිහට කටයුතු කරලා ඇති. හැබැයි දෙවියන් දීලා තියෙන මඟ පෙන්වීම් අපි අදාළ කරගන්නවා නම් හුඟක් වැරදි අපිට අඩු කරගන්න පුළුවන්.

ඒ වගේ එක උපදෙසක් හිතෝපදේශ 18:13 තියෙනවා. “කාරණයකට හොඳින් සවන් දීමට කලින් කතා කිරීම මෝඩකමකි. එයින් අත් වන්නේ ලැජ්ජාවකි.” උත්තරයක් දෙන්න කලින් කාරණය හොඳට තේරුම්ගන්න වගේම දෙන්න යන උත්තරේ ගැනත් හිතන්න ටික වෙලාවක් ගත්තොත් වැරදි දෙයක් කියන්න හරි කරන්න හරි තියෙන ඉඩකඩ අඩු වෙනවා. කාරණයක හැම පැත්තක්ම තේරුම්ගත්තොත් වැරදි නිගමනයකට එන එක වළක්වගන්න පුළුවන්.

බයිබලයේ මෙහෙමත් කියනවා. “මිනිසුන් සමඟ සමාදානයෙන් සිටීමට ඔබට පෞද්ගලිකව කළ හැකි උපරිමය කරන්න.” (රෝම 12:18) අනිත් අයත් එක්ක වැඩ කරද්දී ඒ අය ගැන සැලකිලිමත් වෙන්න. එයාලට ගෞරවයෙන් සලකන්න. එයාලව අගය කරලා දිරිගන්වන්න. එහෙම කරද්දී හිතන්නේ බලන්නේ නැතුව කරන කියන දෙයක්, ගණන් නොගෙන ඉන්න නැත්නම් ඒකට සමාව දෙන්න ලේසියි. කෙනෙක් අතින් තව කෙනෙකුට බරපතළ වරදක් වුණොත් එයාත් එක්ක කාරුණිකව කතා කරලා ඒක විසඳගන්න පුළුවන් වෙනවා.

වරදක් වුණාම නිදහසට කරුණු කියනවා වෙනුවට ඒකෙන් ඉගෙනගන්න පුළුවන් මොනවාද කියලා හිතන්න. සමහරවිට ඒ වරද වෙන්න ඇත්තේ සමාව දෙන එක, කරුණාවන්තකම, තමන්ව පාලනය කරගන්න එක, මෘදුකම, සමාදානය සහ ආදරය වගේ මොකක් හරි ගුණාංගයක් ඔයා වර්ධනය කරගෙන නැති නිසා වෙන්න ඇති. (ගලාති 5:22, 23) එහෙනම් ඒ ගුණාංගය වර්ධනය කරගන්න උත්සාහ කරන්න. කරපු වැරැද්ද ආයෙත් නොකර ඉන්න උත්සාහ කරන්න. වගකීමක් නැති කෙනෙක් විදිහට වැඩ කරන්නවත් ඔයා ගැන ඕනෑවට වඩා හිතන්නවත් එපා. පොඩි විහිළුවක් කරලා ඒක අමතක කරලා දාන්න.

වැරදි දිහා දෙවියන් බලන විදිහට බලද්දී ලැබෙන ප්‍රයෝජන

වැරදි දිහා දෙවියන් බලන විදිහට බලන්න පුරුදු වුණොත් ලැබෙන ප්‍රයෝජන මොනවාද? ඒකෙන් අපේ මනසට සාමයක් දැනෙනවා විතරක් නෙවෙයි අනිත් අය එක්කත් සාමයෙන් ඉන්න පුළුවන් වෙනවා. අපේ වැරදිවලින් පාඩමක් ඉගෙනගන්නවා නම් ඥානවන්තව වැඩ කරන්න වගේම අනිත් අය එක්ක හොඳ බැඳීමක් තියාගන්නත් පුළුවන්. අපි මානසිකව වැටෙන්නෙවත් අපිටම දොස් කියාගන්නෙවත් නැහැ. අනිත් අයත් එයාලගේ අඩුපාඩු එක්ක ලොකු සටනක් කරනවා කියලා තේරුම්ගත්තොත් එයාලට කාරුණිකව සලකන්න අපිට පුළුවන් වෙයි. වඩාත්ම වැදගත් දේ තමයි දෙවියන්ව ආදර්ශයට අරගෙන අනිත් අයට ආදරේ කරන්නත් සමාව දෙන්නත් අපිට පුළුවන් වෙන එක.—කොලොස්සි 3:13.

එදා මාග්‍රෙට් අතින් වෙච්ච අඩුපාඩුව නිසා පවුලේ අයගේ සතුට නැති වුණාද? නැහැ. වෙච්ච දේ ගැන හැමෝටම හිනා ගියා. අන්තිමේදී මැකරෝනි නැතුව වුණත් එයාලා හැමෝම හරිම සතුටින් කෑම කෑවා. අවුරුදු ගාණකට පස්සේ ඒ මුනුපුරෝ දෙන්නා එයාලගේ දරුවන්ටත් මේ කතාව කියලා සතුටු වුණා.

^ 2 ඡේ. නම් වෙනස් කර ඇත.