මුල් පිටුවෙන් | ආදරය කරන කෙනෙක් මැරුණාම
දුක දරාගන්නේ කොහොමද?
මේ විෂය ගැන තියෙන උපදෙස්වල නම් අඩුවක් නැහැ. ඒත් ඒ හැම උපදෙසක්ම ප්‍රායෝගික නැහැ. සමහරු ඔයාට උපදෙස් දෙයි අඬන්නවත් හැඟීම් පිට කරන්නවත් එපා කියලා. තවත් අය කියයි ඔයාගේ හැඟීම් පිට කරන්න කියලා. හැබැයි බයිබලයේ තියෙන්නේ සමබර උපදෙස්. ඒවා ප්‍රායෝගිකයි කියලා අද දින පර්යේෂකයන් පවා පිළිගන්නවා.
සමහර සංස්කෘතීන්වල පිරිමි අය අඬන එක බොළඳ දෙයක් හැටියටයි සලකන්නේ. ඒත් අනිත් අය ඉස්සරහ අඬන එක ලැජ්ජාවක්ද? මානසික සෞඛ්‍ය පිළිබඳ ප්‍රවීණයන් කියන්නේ දුකක් දැනුණාම අඬන එක සාමාන්‍යයි කියලයි. දුක පිට කරන එක ඔයාගේ වැඩකටයුතු ඉදිරියට කරගෙන යන්න උදව්වක්. එහෙම කරනවා නම් ලොකු දුකක් වුණත් දරාගන්න පුළුවන්. ඒත් දුක තද කරගත්තොත් වෙන්නේ යහපතකට වඩා අයහපතක්. පිරිමි කෙනෙක් අඬන එක වැරදියි කියලා බයිබලයේ කියන්නේ නැහැ. යේසුස් ගැන හිතන්න. මැරුණ කෙනෙක්ව ආපහු ජීවත් කරන්න බලය ඔහුට තිබුණත් ඔහුගේ මිතුරා වුණ ලාසරුස් මැරුණ වෙලාවේ අනිත් අය ඉස්සරහ ඔහු ඇඬුවා.—යොහන් 11:33-35.
වියෝදුකෙන් ඉන්න කෙනෙක්ට විටින් විට කේන්ති යන්න පුළුවන්. විශේෂයෙන්ම තමන් හුඟක් ආදරය කරන කෙනෙක් නොහිතුව වෙලාවක මැරුණාම එහෙම වෙනවා. ඒකට හේතු කීපයක්ම තියෙනවා. උදාහරණෙකට තමන් ගරු කරන කෙනෙක් හිතන්නේ බලන්නේ නැතුව යමක් කිව්වාම කේන්ති යන්න පුළුවන්. දකුණු අප්‍රිකාවේ මයික් ඒ ගැන මෙහෙම කිව්වා. “මගේ තාත්තා මැරෙද්දී මට අවුරුදු 14යි. එංගලන්ත සභාවේ දේවගැතිවරයෙක් මරණ ගෙදරදී කිව්වේ හොඳ අයව දෙවියන්ට ඕන නිසා ඒ අයව ඉක්මනට ගන්නවා කියලයි. තාත්තාව මට ඕනම වෙලාවේ දෙවියන් එහෙම කරපු එක ගැන මට කේන්ති ගියා. * දැන් අවුරුදු 63ක් ගෙවිලා තිබුණත් තාමත් ඒ ගැන මතක් වෙද්දී කේන්ති යනවා.”
වියෝදුකෙන් ඉන්න කෙනෙක්ට තමන් අතින් වරදක් වුණා කියලා හැඟෙන්නත් පුළුවන්. කෙනෙක් හදිසියේ මැරුණාම එයා ගැන දුක් වෙන කෙනා ‘මං එහෙම කෙරුවා නම්, නැත්නම් මං මෙහෙම කෙරුවා නම් එයා මැරෙන්නේ නෑනේ’ කියලා හිතහිත ඉන්න ඉඩ තියෙනවා. මරණයට කලින් ඒ කෙනා එක්ක බහින් බස් වීමක් වුණා නම් ඒ වරදකාරී හැඟීම තවත් වැඩි වෙන්න පුළුවන්.
කේන්ති යනවා නම්, වරදක් කෙරුවා කියන හැඟීම ඇති වෙනවා නම් ඒක හිතේ තද කරගෙන ඉන්න එපා. ඔයාට ඇහුම්කන් දෙන, ඔයාගේ හැඟීම් තේරුම්ගන්න යාළුවෙක්ට ඒ ගැන කියන්න. බයිබලයේ කියනවා “සැබෑ මිතුරෙකු සෑම වෙලේම ප්‍රේමණීයයි. ඔහු විපතකදී උපකාර කරන්න ඉපදුණු සහෝදරයෙකි” කියලා.—හිතෝපදේශ 17:17.
වියෝදුකෙන් ඉන්න කෙනෙක්ට උදව් කරන්න පුළුවන් හොඳම යාළුවා තමයි අපේ නිර්මාතෘ වන යෙහෝවා දෙවියන්. ‘ඔහු ඔයා ගැන සැලකිලිමත්’ වන නිසා ඔයාගේ හිතේ තියෙන හැම දේම දෙවියන්ට කියන්න. (1 පේතෘස් 5:7) එතකොට ‘කිසිම මිනිසෙකුට වටහාගත නොහැකි වූ සමාදානයක්’ ලබා දෙනවා කියලා ඔහු පොරොන්දු වෙනවා. (ෆිලිප්පි 4:6, 7) දේවවචනයෙන් සහනයක් ලබාගන්න ඔයාට උදව් කරන්නත් දෙවියන්ට ඉඩහරින්න. සහනයක් ලැබෙන බයිබල් පද කීපයක් ලියාගන්න. ( කොටුව බලන්න.) ඒවායින් කීපයක් මතක තියාගන්න. රෑට පාළුවක් තනිකමක් දැනෙන වෙලාවට, නින්ද නොයන වෙලාවට ඒ පද ගැන කල්පනා කරන්න.—යෙසායා 57:15.
අවුරුදු 40ක කෙනෙක්ගේ අද්දැකීම බලන්න. අපි එයාට ජැක් කියලා කියමු. මෑතකදී එයාගේ බිරිඳ පිළිකාවකින් මැරුණා. ජැක් කියනවා සමහර වෙලාවට එයාට දරාගන්න බැරි තනිකමක් දැනෙනවා කියලා. ඒ වගේ වෙලාවට යාච්ඤාවෙන් ලැබෙන උදව්ව ගැන එයා මෙහෙම කියනවා. “යෙහෝවා දෙවියන්ට යාච්ඤා කරද්දී මට කිසිම තනිකමක් දැනෙන්නේ නෑ. හුඟක් වෙලාවට නින්දෙන් ඇහැරුණාම ආපහු නින්ද යන්නේ නෑ. ඒ වගේ වෙලාවට හිතට සහනයක් දෙන බයිබල් පද කියවලා ඒ ගැන කල්පනා කරලා මගේ හැඟීම් දෙවියන්ට කිව්වාම හිත සන්සුන් වෙනවා. ඒ සහනය නිසා ආපහු මට නිදාගන්න පුළුවන් වෙනවා.”
වැනෙසා කියන තරුණියගේ අම්මා අසනීප වෙලා මැරුණා. යාච්ඤාව ශක්තියක් වුණ විදිහ ගැන ඇය මෙහෙම කියනවා. “දුක දරාගන්න අමාරුම වෙලාවලදී මට කියන්න පුළුවන් වෙන්නේ දෙවියන්ගේ නම විතරයි. ඊටපස්සේ හොඳටම ඇඬෙනවා. ඒ වගේ වෙලාවලදී යෙහෝවා දෙවියන් මාව ශක්තිමත් කරනවා.”
දුකෙන් මිරිකිලා ඉන්න අයට උපදේශකයන් කියන්නේ අනිත් අයට උදව් කරන්න නැත්නම් සමාජ සේවය කරන්න කාලය යොදවන්න කියලයි. ඒකෙන් සතුටක් ලැබෙනවා වගේම දුක තුනී කරගන්නත් පුළුවන්. (ක්‍රියා 20:35) වියෝදුකෙන් ඉන්න ක්‍රිස්තියානීන් හුඟදෙනෙක්ට අනිත් අයට උදව් කරන එකෙන් ලොකු සහනයක් ලැබිලා තියෙනවා.—2 කොරින්ති 1:3, 4.
^ 5 ඡේ. මේක බයිබලයේ ඉගැන්වීමක් නෙමෙයි. මරණයට හේතු වෙන දේවල් 3ක් ගැන බයිබලයේ හෙළි කරලා තියෙනවා.—දේශනාකාරයා 9:11; යොහන් 8:44; රෝම 5:12.