Skip to content

පටුනට යන්න

මුල් පිටුවෙන් | දෙවියන් ඔයාට දීපු වටිනාම තෑග්ග

මිල කරන්න බැරි තෑග්ගක්

මිල කරන්න බැරි තෑග්ගක්

ජෝඩ්න්ගේ අතේ තියෙන බෝට්ටුවක හැඩයට හදපු පැන්සල් උල් කරන කටර් එක ගොඩක් ලස්සන එකක් නෙවෙයි. ඒත් ජෝඩ්න්ට ඒක හුඟක් වටිනවා. “මේක දුන්නේ රසල් අංකල්. එයා ඒක දෙද්දී මං පුංචියි” කියලා ජෝඩ්න් කියනවා. එයාගේ සීයායි අම්මයි තාත්තයි අසරණ වුණු වෙලාවක එයාලට උදව් කරලා තියෙන්නේ රසල් කියලා ජෝඩ්න් දැනගෙන තියෙන්නේ රසල් මැරුණට පස්සේ. “ඒක දැනගත්තට පස්සේ එයා දීපු මේ තෑග්ග ඉස්සරටත් වඩා මට වටිනවා” කියලා ජෝඩ්න් කියනවා.

තෑග්ගක් ඒ තරම් වටින්නේ නැහැ කියලා පෙනුණත් තෑගි අගය කරන කෙනෙක්ට නම් ඒක හුඟක් වටිනවා. අපි හැමෝටම ලැබිලා තියෙන මිල කරන්න බැරි වටිනා තෑග්ගක් ගැන බයිබලයේ මෙහෙම කියනවා. ‘දෙවි මුළු ලෝකයටම කොතරම් ප්‍රේම කළාද කියනවා නම් ඔහු තමාගේ එකම පුත්‍රයාව ඔවුන් වෙනුවෙන් ලබා දුන්නා. එසේ කළේ ඔහු කෙරෙහි විශ්වාසය තබන සෑම කෙනෙක්ම විනාශ නොවී ඔවුන්ට සදහටම ජීවත් වීමේ ප්‍රස්තාව ලබාගැනීම සඳහායි.’—යොහන් 3:16.

දෙවියන් දීපු ඒ තෑග්ග ලබන කෙනාට සදහටම ජීවත් වෙන්න අවස්ථාව ලැබෙනවා. සමහරුන්ට නම් ඒකේ වටිනාකම තේරෙන්නේ නැහැ. ඒත් සැබෑ ක්‍රිස්තියානීන් ඒක සලකන්නේ ‘හුඟක් ඉහළ’ වටිනාකමක් තියෙන “අනර්ඝ” දෙයක් විදිහට. (ගීතාවලිය 49:8; 1 පේතෘස් 1:18, 19) දෙවියන් ඔහුගේ පුතාගේ ජීවිතය මිනිසුන්ට තෑග්ගක් විදිහට දුන්නේ ඇයි?

බයිබලයේ ඒ ගැන මෙහෙම කියනවා: ‘එක් මිනිසෙකු පව් කළ නිසා මිනිස් වර්ගයාට පව්කාර ස්වභාවය ඇතුල් විය. එහි ප්‍රතිඵලය මරණයයි.’ (රෝම 5:12) පළවෙනි මිනිසා වුණු ආදම් හිතාමතාම දෙවියන්ට අකීකරු වුණු නිසා මරණය කියන දඬුවම එයාට ලැබුණා. එයාගෙන් පැවතෙන හැමෝටමත් මරණය උරුම වුණා.

‘අපේ පව්කාර ස්වභාවයට ගෙවිය යුතු කුලිය මරණයයි. නමුත් යේසුස් මාර්ගයෙන් දෙවි අපට ලබා දෙන තෑග්ග නම් සදාකාල ජීවනයයි’ කියලා බයිබලයේ කියනවා. (රෝම 6:23) මිනිසුන්ව මරණයෙන් බේරගන්න දෙවියන් ඔහුගේ පුතා වුණු යේසුස්ව පොළොවට එව්වේ ඔහුගේ පරිපූර්ණ ජීවිතය පූජා කරන්නයි. යේසුස්ගේ “ජීවිත පූජාව” ගැන විශ්වාසය තියන හැමෝටම සදහටම ජීවත් වෙන්න අවස්ථාව ලැබෙනවා.—රෝම 3:24.

යේසුස් ක්‍රිස්තුස් මාර්ගයෙන් දෙවියන් තමන්ගේ සේවකයන්ට ලබා දෙන ආශීර්වාද ගැන ලොකු අගයක් තිබුණු පාවුල් මෙහෙම කිව්වා. “දෙවි නොමිලේ ලබා දෙන, කියා නිම කළ නොහැකි ඒ දීමනාව ගැන ඔහුට ස්තුති වේවා!” (2 කොරින්ති 9:15) යේසුස්ගේ ජීවිත පූජාව කොච්චර වටිනවද කියලා විස්තර කරන්න අපිට හැකියාවක් නැහැ. දෙවියන් මිනිසුන්ට දීලා තියෙන හැම තෑග්ගකටම වඩා යේසුස්ගේ ජීවිත පූජාව වටින්නේ ඇයි? * ඒ තෑග්ග අගය කරන්න අපිට පුළුවන් කොහොමද? ඒවාට බයිබලයේ දීලා තියෙන උත්තර ඊළඟ ලිපි දෙකෙන් දැනගන්න පුළුවන්.

^ 8 ඡේ. යේසුස් ‘අප වෙනුවෙන් ජීවිතය දුන්නේ’ කැමැත්තෙන්මයි. (1 යොහන් 3:16) කොහොමවුණත් යේසුස්ගේ ජීවිත පූජාව දෙවියන්ගේ අරමුණ ඉටු කරන්න දායක වෙන ප්‍රධාන දෙයක් නිසා මේ ලිපි මාලාවේ මූලිකවම කාවද්දන්නේ යේසුස්ගේ ජීවිතය අපි වෙනුවෙන් පූජා කරන්න දෙවියන්ගේ පැත්තෙන් කරපු දේවල් ගැන.