Skip to content

පටුනට යන්න

නිහඬ සාක්ෂියක්!

නිහඬ සාක්ෂියක්!

ඓතිහාසික වටිනාකමක් ඇති දැවැන්ත ස්මාරකයක් රෝමයේ දැකගන්න පුළුවන්. ටයිටස් කියන රෝම අධිරාජ්‍යයාව සිහි කරන්න ඉදි කළ එය හඳුන්වන්නේ ටයිටස් ආරුක්කුව කියලයි.

එය නරඹන්න එන හුඟදෙනෙක් ඒ ආරුක්කුවේ ඇති කැටයම් සහ බයිබලය අතර ඇති සම්බන්ධය ගැන දන්නේ නැහැ. ටයිටස් ආරුක්කුව බයිබලයේ සඳහන් විශිෂ්ට අනාවැකියක සත්‍යතාව තහවුරු කරන නිහඬ සාක්ෂියක් කියලා ඔයා දැනගෙන හිටියාද?

විනාශයට නියම වූ නගරයක්

මුල් සියවසේ ආරම්භය වෙද්දී බ්‍රිතාන්‍යය සහ දැන් ප්‍රංශය කියලා හඳුන්වන ප්‍රදේශවල සිට ඊජිප්තුව දක්වා ප්‍රදේශ තිබුණේ රෝම අධිරාජ්‍යය යටතේ. ඒ ප්‍රදේශවල දේශපාලනික ස්ථාවරභාවයක් වගේම සමෘද්ධිමත් තත්වයක් පැවතුණා. ඒත් රෝම පාලනය යටතේ තිබුණ යූදා දේශය රෝම පාලකයන්ට ලොකු හිසරදයක් වෙලා තිබුණා.

ඒ ගැන පොතක මෙහෙම සඳහන් වෙනවා. “රෝමවරුන් යුදෙව් සම්ප්‍රදායන්ට ගරු කළේ නැහැ. අනිත් අතට යුදෙව්වනුත් රෝම පාලනයට යටත් නොවී හිතුවක්කාර විදිහටයි ක්‍රියා කළේ. ඒ නිසා යුදෙව්වන් සහ රෝමවරුන් අතර නිතරම ආරවුල් ඇති වුණා.” (Encyclopedia of Ancient Rome) රෝමයේ කුරිරු පාලනයෙන් තමන්ව නිදහස් කරන්න ගැලවුම්කරුවෙක් පැමිණෙයි කියලා යුදෙව්වන් බලාගෙන හිටියා. ඒත් ක්‍රි.ව. 33දී යේසුස් කිව්වේ යෙරුසලමට දරුණු විනාශයකට මුහුණ දෙන්න වෙනවා කියලයි.

යේසුස් මෙහෙම කිව්වා. “ඉදිරියේදී ඔබේ සතුරන් ඇවිත් ඔබව වට කරයි. උල් කළ කණුවලින් ඔවුන් ඔබ වටා විශාල වැටක් සාදා සෑම පැත්තෙන්ම ඔබට ප්‍රහාර එල්ල කරයි. ඔවුන් ඔබවත් ඔබේ දරුවන්වත් පොළොවේ ගසා මරා දමයි. ඔවුන් ඔබේ නුවර සහමුලින්ම විනාශ කරයි. එහි සෑම ගලක්ම බිමට හෙළනු ලබනවා.”ලූක් 19:43, 44.

යේසුස් කියපු දේ ගැන නියෝජිතයන්ට හිතාගන්න බැරි වෙන්න ඇති. දවස් 2කට පස්සේ යෙරුසලමේ දේවමාලිගාව පෙන්නලා “ගුරුතුමනි, බලන්න මේ අලංකාර ගොඩනැඟිලි දිහා! එහි ගල් කොයි තරම් විශාලද” කියලා එක නියෝජිතයෙක් යේසුස්ට කිව්වේ ඒ නිසා වෙන්න ඇති. ඒක ඇත්ත, මොකද දේවමාලිගාවේ තිබුණ සමහර ගල් දිගින් අඩි 36කටත් පළලින් අඩි 16කටත් උසින් අඩි 10කටත් වඩා විශාලයි කියලා හොයාගෙන තියෙනවා. ඒත් යේසුස් ගෝලයන්ට කිව්වේ මෙහෙමයි. “ඔබ දකින මේ දේවල් සියල්ල නැති වී යන කාලයක් ඉදිරියට එයි. එදාට මෙහි තිබෙන සෑම ගලක්ම බිමට හෙළනු ලබනවා.”මාක් 13:1; ලූක් 21:6.

ඊළඟට යේසුස් ඔවුන්ට කියපු දේ බලන්න. “සේනාවන් ඇවිත් යෙරුසලම වටා කඳවුරු බැඳගෙන සිටින ආකාරය ඔබ දකින විට යෙරුසලමේ විනාශය ළඟා වී ඇති බව ඔබ දැනගත යුතුයි. යුදයේ සිටින අය කඳුවලට පලා යා යුතුයි. යෙරුසලම තුළ සිටින අය නුවරින් ඉවත් විය යුතු අතර ගම්බද පළාත්වල සිටින අය නුවරට ඇතුල් වීමෙන් වැළකී සිටිය යුතුයි.” (ලූක් 21:20, 21) යේසුස් කියපු දේ ඉටු වුණාද?

නගරයක විනාශය

යේසුස් එහෙම කියලා අවුරුදු 33ක්ම ගත වෙලා තිබුණා. යුදෙව්වන් ඒ වෙද්දීත් හිටියේ රෝම පාලනය යටතේ. ක්‍රි.ව. 66දී යුදයේ සිටි රෝම ආණ්ඩුකාරයා වූ ගෙසියස් ෆ්ලෝරස් දේවමාලිගාවෙන් වස්තුව කොල්ල කාපු අවස්ථාවේ යුදෙව්වන් යෙරුසලමේ හිටපු රෝම හේවායන්ව මරලා තමන් රෝම පාලනයෙන් නිදහස් කියලා ප්‍රකාශ කළා.

මාස 3කට පස්සේ යෙරුසලමේ කැරැල්ල මර්ධනය කරන්න ජෙනරාල් සෙස්ටියස් ගැලස් යටතේ 30,000ක රෝම බළඇණියක් ඇවිත් යෙරුසලම වට කළා. ඔවුන් යෙරුසලමට ඇතුල් වෙලා දේවමාලිගාවේ පිටත පවුර යටින් හාරන්න පටන්ගත්තා. ඒ වුණත් කිසිම හේතුවක් නැතුව රෝම හමුදාව පසුබැස්සා. ඒ ගැන සතුටු වුණ යුදෙව් කැරලිකරුවන් රෝම හමුදාවට පහර දෙන්න ඔවුන් පසුපස හඹා ගියා. යේසුස් දුන් අනතුරු ඇඟවීම ගැන හොඳ අවධානයකින් හිටපු ක්‍රිස්තියානීන් රෝම හමුදාවත් යුදෙව් කැරලිකරුවනුත් නගරයේ නැති අවස්ථාව ප්‍රයෝජනයට අරන් කඳුවලට පලා ගියා.—මතෙව් 24:15, 16.

ඊළඟ අවුරුද්දේ ජෙනරාල් වෙස්පේසියන් සහ ඔහුගේ පුතා වූ ටයිටස් යටතේ රෝම හමුදාව නැවත යෙරුසලමට පහර දෙන්න ආවා. ඒත් ක්‍රි.ව. 68දී නීරෝ අධිරාජ්‍යයාගේ මරණයත් එක්ක රෝමයේ පාලනය භාරගන්න වෙස්පේසියන්ට නැවත රෝමයට හැරී යන්න සිදු වුණා. ඔහු සටන භාර දුන්නේ ටයිටස්ට. ටයිටස් යටතේ සෙබළුන් 60,000ක් හිටියා.

ක්‍රි.ව. 70 ජූනි මාසයේදී ටයිටස්ගේ සෙබළුන් අවට ප්‍රදේශවලින් ගස් කපා ඒවායින් උල් කණු සාදා යෙරුසලම වටේට කි.මී. 7ක් විතර දිග වැටක් හැදුවා. සැප්තැම්බර් මාසයේදී රෝම හමුදාව යෙරුසලම අල්ලාගෙන දේවමාලිගාවේ සෑම ගලක්ම බිමට ඇද දමා නගරය ගිනිබත් කළා. යේසුස් කියලා තිබුණ හැම දෙයක්ම ඒ විදිහටම ඉටු වුණා. (ලූක් 19:43, 44) මේ සිදුවීම නිසා යෙරුසලමේ සහ යුදයේ සිටි ලක්ෂ 5කට ආසන්න සංඛ්‍යාවකට ජීවිත අහිමි වුණා කියලා වාර්තා වෙනවා.

රෝමයට ජය අත් වෙයි

ක්‍රි.ව. 71දී ටයිටස් ඉතාලියට එද්දී ජනතාව ඔහුව මහා හරසරින් පිළිගත්තා. ඉතිහාසයේ කියන විදිහට ඒ ජයග්‍රහණය වෙනුවෙන් පවත්වපු උත්සවය රෝමවරු පවත්වපු විශිෂ්ටතම සැමරීම්වලින් එකක්. ඒ වෙනුවෙන් මුළු නගරයම එකතු වුණා.

යෙරුසලමෙන් කොල්ල කාපු දේවල් ජයග්‍රාහී පෙරහැරකින් නගරයේ වීදි පුරා ගෙන ගියා. යුද්ධයේ විවිධ අවස්ථා රඟ දක්වමින්, යුද්ධයෙන් කොල්ලකා ගත් දේවල් සහ දේවමාලිගාවේ තිබුණ වටිනා වස්තු ප්‍රදර්ශනය කරමින් ගිය ඒ පෙරහැර දිහා සෙනඟ පුදුමයෙන් බලා සිටියා.

වෙස්පේසියන්ගෙන් පසුව ක්‍රි.ව. 79දී රෝමයේ අධිරාජ්‍යයා වුණේ ටයිටස්. ඒත් අවුරුදු 2කට පස්සේ ඔහු හදිසියේම මිය ගියා. ඊළඟට අධිරාජ්‍යයා වුණේ ටයිටස්ගේ සහෝදරයා වුණ ඩොමිෂියන්. ටයිටස්ගේ ජයග්‍රහණය සිහි කරන්න ‘ටයිටස් ආරුක්කුව’ ඉදි කළේ ඔහුයි.

ටයිටස් ආරුක්කුවේ නිහඬ සාක්ෂිය

රෝමයේ ටයිටස් ආරුක්කුව

හැම අවුරුද්දකම රෝමය බලන්න එන සංචාරකයන් සිය දහස් ගාණක් ටයිටස් ආරුක්කුව නරඹන්න ඇදී එනවා. සමහරු එය දකින්නේ විශිෂ්ට කලා නිර්මාණයක් විදිහට. තවත් අය රෝම අධිරාජ්‍යයේ බලය ගැන කියවෙන ස්මාරකයක් විදිහට එය හඳුන්වනවා. තවත් අයට එය මතක් කර දෙන්නේ යෙරුසලම සහ එහි දේවමාලිගාවේ විනාශයයි.

ඒත් බයිබලය ගැඹුරින් අධ්‍යයනය කරන අය ඒක සලකන්නේ ඊට වඩා වැඩි වටිනාකමක් ඇති දෙයක් හැටියටයි. බයිබලයේ තියෙන අනාවැකි මොන තරම් නිවැරදිද කියලත් ඒවා අකුරටම ඉටු වෙනවා කියලත් ඒවා ලියලා තියෙන්නේ එකම සැබෑ දෙවියන්ගේ මඟ පෙන්වීමෙන් කියලත් ටයිටස් ආරුක්කුව නිහඬව සාක්ෂි දරනවා.—2 පේතෘස් 1:19-21.