Skip to content

පටුනට යන්න

ආදරය කරන කෙනෙක් මැරුණාම

ආදරය කරන කෙනෙක් මැරුණාම

“හදිස්සියේම මගේ අයියා මැරුණා. එයාව බේරගන්න මට පුළුවන් වුණේ නෑ. මාස ගාණකට පස්සෙත් එයාව මතක් වෙද්දී මට දැනුණේ පිහියකින් මාව පසාරු කරගෙන යනවා වගේ. වෙලාවකට මට කේන්ති ගියා. ඇයි අයියා මැරුණේ කියලා මට හිතුණා. එයාත් එක්ක වැඩි කාලයක් ගත කරපු නැති නිසා මගේ හිත මට වධ දුන්නා.”—ඕස්ට්‍රේලියාවේ වැනෙසා.

වියෝදුක අද්දැකලා තියෙනවා නම් ලොකු දුකක්, තනිකමක්, අසරණකමක් ඔයාට දැනිලා ඇති. සමහරවිට ඔයාට හුඟක් කේන්ති යන්න ඇති. බයක් දැනිලා ඇති. ඔයාගේ හිත ඔයාට දොස් කියන්න ඇති. ජීවත් වෙලා වැඩක් නැහැ කියලත් ඔයාට හිතෙන්න ඇති.

වියෝදුක දැනෙන එක වැරදි නැහැ. කෙනෙක් මැරුණාම ඔයාට ලොකු දුකක් දැනෙන්නේ ඔයා ඒ කෙනාට හුඟක් ආදරේ නිසයි. ඒ දුක දරාගන්න ඔයාට කරන්න පුළුවන් මොනවාද?

දුක දරාගන්න උදව් වෙන යෝජනා

කවදාවත් ඒ දුකින් ගොඩ එන්න බැරි වෙයි කියලා හිතුණත් පහත යෝජනා අදාළ කරගන්නවා නම් ඔයාට ලොකු සහනයක් අද්දකින්න පුළුවන් වෙයි.

දුක පිට කරන්න බය වෙන්න එපා

වියෝදුක දැනෙන විදිහත් දැනෙන කාල සීමාවත් එක් කෙනාගෙන් එක් කෙනාට වෙනස්. ඒත් අඬන එක දුක දරාගන්න සමහර අයට උදව් වෙලා තියෙනවා. වැනෙසා කියන දේ බලන්න. “වෙලාවකට මං හොඳටම ඇඬුවා. ඒක මට ලොකු සහනයක් වුණා.” සොෆියාගේ අක්කා මැරුණේ හිටි හැටියේමයි. එයා මෙහෙම කියනවා. “වෙච්ච දේ මතක් කරගන්න එක ලේසි නැති වුණත් මං එහෙම කරනවා. ඒක හරියට තුවාලයක් හොඳට සුද්ද කරලා බෙහෙත් දානවා වගේ. ඒකෙන් ලොකු වේදනාවක් දැනුණත් එහෙම කරන්න කරන්න තමයි තුවාලේ හොඳ වෙන්නේ.”

හිතෙන දේ, හැඟෙන දේ කාත් එක්ක හරි කියන්න

වෙලාවකට ඔයාට හිතෙයි තනියෙන් ඉන්න ඕනෙ කියලා. ඒත් වියෝදුක තනියෙන් දරාගන්න එක ලේසි නැහැ. අවුරුදු 17දී තාත්තා අහිමි වුණු ජැරඩ් කියපු දේ බලන්න. “මට හැඟෙන විදිහ මං අනිත් අයට කිව්වා. ඒ දේවල් එයාලට තේරුණාද කියලා මං දන්නේ නෑ. ඒත් ඒකෙන් මට ලොකු සැහැල්ලුවක් දැනුණා.” ජැනිස් මෙහෙම කියනවා. “හිතේ තියෙන දේ අනිත් අයට කියපු එක මට සහනයක් වුණා. එයාලා මාව තේරුම්ගත්තා. මං තනි වෙලා නෑ කියලා මට දැනුණා.”

අනිත් අයගෙන් උදව් ගන්න

වෛද්‍යවරයෙක් මෙහෙම කිව්වා. “වියෝදුකින් ඉන්න කෙනෙක් මුල ඉඳන්ම නෑදෑයන්ටයි, යාළුවන්ටයි එයාට උදව් කරන්න ඉඩ දෙනවා නම් දුක දරාගන්නත් සාමාන්‍ය තත්වයට එන්නත් ඒක උදව් වෙනවා.” ඔයාට උදව් ඕනෙ මොන පැතිවලින්ද කියලා ඔයාගේ යාළුවන්ට කියන්න. මොකද එයාලා ඔයාට උදව් කරන්න කැමති වුණත් ඒ කොහොමද කියලා එයාලා දන්නේ නැතුව ඇති.—හිතෝපදේශ 17:17.

දෙවියන්ට තවත් ළං වෙන්න

ටීනා මෙහෙම කියනවා. “පිළිකාවකින් මහත්තයා මැරුණාට පස්සේ හිතේ තියෙන දේවල් කියාගන්න කෙනෙක් නැති වුණා. මං හැම දේම දෙවියන්ට කියන්න පටන්ගත්තා. හැමදාම උදේට දවස හොඳින් ගෙවාගන්න මං ඔහුගෙන් උදව් ඉල්ලුවා. දෙවියන් උදව් කරපු විදිහ මට වචනයෙන් විස්තර කරන්න බෑ.” අම්මා මැරෙද්දී ටාෂාට අවුරුදු 22යි. එයා මෙහෙම කියනවා. “හැමදාම බයිබලය කියවපු එක මට සහනයක් වුණා. දිරිගැන්වෙන දේවල් ගැන හිතන්න ඒක මට උදව් වුණා.”

මිය ගිය අයට ආයෙත් ජීවිතය ලැබෙන කාලය සිතින් මවාගන්න

ටීනා මෙහෙමත් කිව්වා. “මුලදී නැවත නැඟිටීමේ බලාපොරොත්තුව මට සැනසිල්ලක් වුණේ නෑ. මහත්තයා නැති අඩුව මටයි, දරුවන්ටයි තදින්ම දැනුණා. ඒක වෙලා අවුරුදු 4ක් ගෙවිලා. දැන් නම් ඒ බලාපොරොත්තුව තමයි මාව ජීවත් කරවන්නේ. එයාව ආයෙත් දකින්න ලැබෙන කාලය හිතින් මවාගද්දී මට ලොකු සතුටක්, සහනයක් දැනෙනවා.”

හිතන තරම් ඉක්මනින් වියෝදුකින් ගොඩ එන්න බැරි වෙයි. ඒත් වැනෙසා කියන මේ දේ බලන්න. “කවදාවත් මේ දුකින් ගොඩ එන්න බැරි වෙයි කියලා හිතුවත් කාලයත් එක්කම ඒ දුක තුනී වෙනවා.”

මැරුණු කෙනා නැති පාළුව නැති වෙන්නේ නැහැ. ඒත් ජීවත් වෙලා වැඩක් නැහැ කියලා හිතන්න එපා. දෙවියන්ගේ ආදරය ලැබෙන නිසා හොඳ මිතුදම් ඇති කරගෙන අර්ථවත් ජීවිතයක් ගෙවන්න ඔයාට පුළුවන්. ළඟදීම මැරුණු අයට දෙවියන් අනිවාර්යයෙන්ම ජීවිතය දෙනවා. ඔයා ආදරය කරන කෙනාව ඔයා වැළඳගන්නවා දකින්න ඔහු ඉන්නේ ලොකු ආසාවකින්. එදාට ඔයාගේ හිතේ වේදනාව නැත්තටම නැති වෙලා යයි!