Skip to content

පටුනට යන්න

ජීවිතේ හුඟක් වටිනවා

ජීවිතේ හුඟක් වටිනවා

ෆයිසාල්ගේ බිරිඳ මිය ගිහින් අවුරුද්දකට විතර පස්සේ එයාට හෘද සැත්කමකට මුහුණ දෙන්න වුණා. එයා මෙහෙම කියනවා. “යෙහෝවා දෙවියන් යෝබ් පොත බයිබලයට ඇතුළත් කරලා තියෙන්නේ හොඳ හේතුවක් ඇතුව කියලා ඒක කියවද්දී මට තේරුණා. අපි වගේම ප්‍රශ්නවලට මුහුණ දීපු බයිබල් චරිත ගැන කියවද්දී ලැබෙන්නේ ලොකු සහනයක්. මගේ ජීවිතේට දැන් අරමුණක් තියෙනවා.”

ටාෂා පොඩි කාලේදීම එයාගේ අම්මා මැරුණා. එයා කියපු දේ බලන්න. “මොන තරම් ප්‍රශ්න තිබුණත් අපේ නිර්මාතෘව හඳුනගෙන ඉන්න නිසා මගේ ජීවිතේට අරමුණක්, බලාපොරොත්තුවක්, සතුටක් එක් වෙලා තියෙනවා. හැම දවසකම අපිව රැකබලා ගන්න යෙහෝවා දෙවියන්ට පුළුවන් කියලා මට විශ්වාසයි.”

කලින් ලිපිවල සඳහන් වුණු විදිහට වේදනාකාරී අද්දැකීම් නිසා ජීවිතය තිත්ත වෙන්න පුළුවන්. ප්‍රශ්න එක්ක පොරබදිද්දී ජීවත් වෙන එකේ තේරුමක් නැහැ කියලත් කවුරුත් ඔයා ගැන සැලකිලිමත් නැහැ කියලත් ඔයාට හිතිලා ඇති. ඒත් දෙවියන් ඔයා ගැන සැලකිලිමත් කියලා අමතක කරන්න එපා. ඔහුට ඔයාව හුඟක් වටිනවා.

බයිබල් ලේඛකයෙක් දෙවියන් ගැන මෙහෙම කියලා තියෙනවා. “විපතේදී මම ඔබට හඬගසන්නෙමි. ඔබ නිසැකවම මට පිළිතුරු දෙන්නෙහිය.” (ගීතාවලිය 86:7) ඒත් විපතකට මුහුණ දෙද්දී ‘දෙවියන් මට පිළිතුරු දෙන්නේ කොහොමද’ කියලා ඔයාට හිතෙනවා ඇති.

දෙවියන් ඉක්මනින්ම ඔයාගේ ප්‍රශ්නයට විසඳුමක් දෙන එකක් නැහැ. ඒත් ඒක දරාගන්න ඔහු ඔයාට උදව් කරනවා. බයිබලයේ කියන්නේ මෙහෙමයි. ‘කිසි දෙයක් ගැන කනස්සලු නොවන්න. ඒ වෙනුවට යාච්ඤාවෙන් හා කන්නලව්වලින් ඔබේ සියලු ඉල්ලීම් දෙවිට පවසන්න. ඔහුට ස්තුති කිරීමටද අමතක නොකරන්න. එවිට ක්‍රිස්තුස් යේසුස් තුළින් දෙවි ලබා දෙන සමාදානය අද්දැකීමට ඔබට පුළුවන. එය කිසිම මිනිසෙකුට වටහාගත නොහැකි වූ සමාදානයකි. ඒ සමාදානය ඔබේ හදවතටත් මනසටත් [සිතුවිලිවලටත්] ආරක්ෂාවක් වේ.’ (ෆිලිප්පි 4:6, 7) දෙවියන් අපි ගැන සැලකිලිමත් කියලා පෙන්වන බයිබල් පද ටිකක් දැන් බලමු.

දෙවියන් ඔයාට හුඟක් ආදරෙයි

‘දෙවි උන්ගෙන් [ගේ කුරුල්ලන්ගෙන්] එකෙකුවත් නොසලකාහරින්නේ නැහැ. ගේ කුරුල්ලන් බොහෝදෙනෙකුට වඩා ඔබ වටිනවා.’ලූක් 12:6, 7, NWT පාදසටහන.

මේ ගැන හිතන්න. පුංචිම ගේ කුරුල්ලෙක්ව වුණත් දෙවියන් නොසලකාහරින්නේ නැහැ. හැම එකෙක් දිහාම ඔහු බලන් ඉන්නවා. උන් ඔහුට වටිනවා. හැබැයි උන්ට වඩා මිනිසුන්ව ඔහුට වටිනවා. පොළොවේ තියෙන දෙවියන්ගේ නිර්මාණ අතරින් මිනිසුන් විශේෂයි. මොකද මිනිසුන්ව නිර්මාණය කරලා තියෙන්නේ දෙවියන්ගේම ගතිලක්ෂණ ඇතුවයි. ඒ නිසා ඔහුගේ ලස්සන ගතිගුණ විදහාපෙන්වන්න අපිට පුළුවන්.—උත්පත්ති 1:26, 27.

‘යෙහෝවා දෙවියනි, ඔබ මාව සෝදිසි කර බලා මාව හොඳින් හඳුනාගත්තෙහිය. මා සිතන දේ ඔබ දන්නෙහිය. මාව සෝදිසි කර බලා මාගේ සිතට වධ දෙන දේ දැනගන්න.’ගීතාවලිය 139:1, 2, 23.

මේ ගැන හිතන්න. ඔයාගේ සිතුවිලි ගැන, ඔයා කනස්සලු වෙන දේවල් ගැන දෙවියන් හොඳින්ම දන්නවා. ඔයාගේ දුක අනිත් අයට තේරුම්ගන්න බැරි වුණත් ඔහුට තේරෙනවා. ඔහු ඔයාට ආදරෙයි. ඔහු ආසාවෙන් ඉන්නේ ඔයාට උදව් කරන්න. ඔයාගේ ජීවිතේට වටිනාකමක් තියෙනවා කියලා දැන් තේරෙනවා නේද?

ඔයාගේ ජීවිතේ හුඟක් වටිනවා

‘යෙහෝවා දෙවියනි, මාගේ යාච්ඤාව අසන්න. උපකාරය ඉල්ලා මා හඬා වැලපෙන විට ඊට සවන් දෙන්න. මා ඔබට හඬගසන විට ප්‍රමාද නොවී මට පිළිතුරු දෙන්න. සියල්ල අහිමි වූ අසරණයන්ගේ යාච්ඤාවලට ඔහු නිසැකවම සවන් දෙන්නේය.’ගීතාවලිය 102:1, 2, 17.

මේ ගැන හිතන්න. මිනිසුන් දුක් විඳින්න පටන්ගත්ත දවසේ ඉඳන්ම යෙහෝවා දෙවියන් එයාලා හෙළපු හැම කඳුළක් ගැනම සටහන් කරලා තියෙනවා. (ගීතාවලිය 56:8) ඔයාගේ කඳුළුත් ඒකට ඇතුළත්. ඒ කියන්නේ ඔයා විඳපු හැම දුකක්ම ඔහු කවදාවත් අමතක කරන්නේ නැහැ. ඔහුට ඔයාව හුඟක් වටිනවා.

‘භය නොවන්න. මන්ද මම ඔබ සමඟ සිටින්නෙමි. කලබල නොවන්න. මන්ද ඔබේ දෙවි මමය. මම ඔබව ශක්තිමත් කරන්නෙමි. ඔබට පිහිට වන්නෙමි. “භය නොවන්න, මම ඔබේ උපකාරයට සිටින්නෙමි” කියා ඔබට පැවසුවේ මමය.’යෙසායා 41:10, 13.

මේ ගැන හිතන්න. ඔයාට උදව් කරන්න දෙවියන් ආසාවෙන් ඉන්නවා. ඔයා වැටුණොත් ආයෙත් නැඟිටින්න ඔහු ඔයාට උදව් කරනවා.

අනාගතය ගැන හොඳ බලාපොරොත්තුවක් තියෙනවා

“දෙවි මුළු ලෝකයටම කොතරම් ප්‍රේම කළාද කියනවා නම් ඔහු තමාගේ එකම පුත්‍රයාව ඔවුන් වෙනුවෙන් ලබා දුන්නා. එසේ කළේ ඔහු කෙරෙහි විශ්වාසය තබන සෑම කෙනෙක්ම විනාශ නොවී ඔවුන්ට සදහටම ජීවත් වීමේ ප්‍රස්තාව ලබාගැනීම සඳහායි.”යොහන් 3:16.

මේ ගැන හිතන්න. දෙවියන් ඔයාට මොන තරම් ආදරෙයිද කියනවා නම් තම පුතා වන යේසුස්ගේ ජීවිතය ඔයා වෙනුවෙන් දුන්නා. ඒ නිසා මේ කාලේ සතුටින් ජීවත් වෙන්නත් අනාගතේ හැමදාටම සතුටින් ජීවත් වෙන්නත් ඔයාට අවස්ථාව උදා වෙලා තියෙනවා. *

දරාගන්න බැරි තරම් ප්‍රශ්නවලට ඔයාත් මුහුණ දෙනවාද? එහෙනම් දෙවියන්ගේ වචනය වන බයිබලය හොඳින් අධ්‍යයනය කරලා ඔහු දීලා තියෙන පොරොන්දු ගැන විශ්වාසයක් ඇති කරගන්න. ඒකෙන් ඔයාට ලොකු සතුටක් දැනෙයි. ජීවිතය මොන තරම් වටිනවාද කියලා තේරුම්ගන්නත් පුළුවන් වෙයි.

^ යේසුස්ගේ ජීවිත පූජාවෙන් ලැබෙන ප්‍රයෝජන ගැන දැනගන්න කැමති නම් ‘කිසිදා අමතක නොකළ යුතු යේසුස්ගේ මරණය’ කියන වීඩියෝ එක බලන්න. www.pr418.com/si වෙබ් අඩවියේ අපි ගැන > සිහි කිරීම යටතේ බලන්න.