Skip to content

පටුනට යන්න

ජානවල තොරතුරු වෙනස් කිරීමෙන් ආයු කාලය වැඩි කරගන්න පුළුවන් වෙලා තියෙනවාද?

නොමැරී ඉන්න මිනිසා තුළ තියෙන ආසාව

නොමැරී ඉන්න මිනිසා තුළ තියෙන ආසාව

“දෙවි මිනිසාට දුන් ජීවිතය ගැන මම හොඳ අවබෝධයක් ලබාගතිමි. ඔහු සෑම දෙයක්ම නියමිත කාලයට, පිළිවෙළට සකස් කරයි. ඔහු සදාකල් ජීවත් වීමේ ආශාව මිනිසාගේ සිතෙහි තබා ඇත.”දේශනාකාරයා 3:10, 11.

අතීතයේ ජීවත් වුණු සලමොන් රජ කියලා තියෙන ඒ දෙයින් පැහැදිලි වෙනවා හැමදාටම ජීවත් වෙන්න මිනිසුන්ගේ හිත්වල ආසාවක් තියෙනවා කියලා. ඒ ආසාව නිසයි අතීතයේ ඉඳලාම මිනිසුන් ආයු කාලය වැඩි කරගන්න උත්සාහ කරලා තියෙන්නේ. ඒ උත්සාහයන් ගැන සඳහන් පුරාවෘත්ත, කතා ගණනාවක්ම තියෙනවා.

උදාහරණයකට සුමේරියානු රජෙක් වන ගිල්ගමේෂ් ගැන ගෙතුණු කතා ගණනාවක්ම තියෙනවා. ඒ අතරින් එකක් වන ගිල්ගමේෂ් පුරාවෘත්තයේ සඳහන් වෙනවා ඒ රජ මරණයෙන් බේරෙන්න ක්‍රමයක් හොයාගන්න අනතුරුදායක ගමනක යෙදුණත් ඒක අසාර්ථක වුණා කියලා.

මධ්‍යතන යුගයේ හිටිය රස විද්‍යාඥයෙක්

අවුරුදු 2,400කට විතර කලින් චීනයේ රස විද්‍යාඥයන් රසදිය සහ ආසනික් එක් කරලා නොමැරී ජීවත් වෙන්න පුළුවන් පානයක් හදන්න උත්සාහ කළා. පේන විදිහට ඒක බිව්ව නිසා චීනයේ අධිරාජ්‍යවරු කීපදෙනෙක්ම මිය ගිහින් තියෙනවා. මධ්‍යතන යුගයේදී (ක්‍රි.ව. 500ත් 1500ත් අතර කාලයේදී) යුරෝපයේ රස විද්‍යාඥයන් රත්තරන් කෑමට ගන්න පුළුවන් විදිහට සකස් කරන්න උත්සාහ කළා. එයාලා හිතුවේ රත්තරන් ඕනම දේකට ඔරොත්තු දෙන නිසා ඒකෙන් මිනිසුන්ගේ ආයු කාලය වැඩි කරගන්න පුළුවන් කියලයි.

අදත් ජීව විද්‍යාඥයන් සහ ප්‍රවේණි විද්‍යාඥයන් මිනිසුන් වයසට යන හේතුව දැනගන්න වෑයම් කරනවා. වයසට ගිහින් මැරෙන එක නවත්වන්න අදටත් මිනිසුන්ට ලොකු ආසාවක් තියෙනවා කියලා ඒකෙන් පැහැදිලියි. ඒ විද්‍යාඥයන් හොයාගෙන තියෙන්නේ මොනවාද?

දෙවියන් “සදාකල් ජීවත් වීමේ ආශාව මිනිසාගේ සිතෙහි තබා ඇත.”—දේශනාකාරයා 3:10, 11

වයසට යන හේතුව සොයමින්

මිනිස් සෛලය ගැන අධ්‍යයනය කරන විද්‍යාඥයන් අපි වයසට ගිහින් මිය යන හේතුව ගැන මත 300කටත් වඩා ඉදිරිපත් කරලා තියෙනවා. මෑතකදී අණුක ජීව විද්‍යාඥයන් ජානවලත් ප්‍රෝටීනවලත් වෙනස්කම් කරලා මිනිසුන්ගේ සහ සතුන්ගේ සෛලවල ආයු කාලය වැඩි කරන්න සමත් වුණා. ඒ සොයාගැනීමෙන් පස්සේ මිනිසුන් මිය යන හේතුව ගැන පර්යේෂණ කරන්න ධනවතුන් විද්‍යාඥයන්ට මුදල් පරිත්‍යාග කරලා තියෙනවා. ඒ පර්යේෂණවලින් හොයාගෙන තියෙන්නේ මොනවාද?

ආයු කාලය වැඩි කරන්න වෑයම් කිරීම. අපි වයසට යන්නේ අපේ වර්ණදේහවල අග කොටස වන ටෙලමියවලට සිදු වෙන දෙයක් නිසයි කියලා සමහර ජීව විද්‍යාඥයන් විශ්වාස කරනවා. අපේ සෛල බෙදිලා යද්දී ඒවාවල තියෙන ජානමය තොරතුරු ආරක්ෂා වෙන්නේ ටෙලමියවලින්. හැබැයි සෛල බෙදෙන හැම වතාවකදීම ටෙලමිය කෙටි වෙනවා. කාලයත් එක්කම සෛල බෙදී යන එක නතර වුණාම තමයි මිනිසුන් වයසට යන්න පටන්ගන්නේ.

නොබෙල් ත්‍යාගලාභී එලිසබෙත් බ්ලැක්බර්න් ඇතුළු කණ්ඩායම 2009දී ටෙලමිය කෙටි වෙන එක ප්‍රමාද කරන්නත් ඒකේ ප්‍රතිඵලයක් විදිහට සෛලයේ ආයු කාලය අඩු වෙන එක ප්‍රමාද කරන්නත් උදව් වෙන එන්සයිමයක් හොයාගත්තා. හැබැයි මිනිසුන්ගේ ආයු කාලය වැඩි කරන්න ටෙලමිය දායක වෙන්නේ නැහැ කියලා එයාලා වාර්තාවක පැහැදිලිවම සඳහන් කළා.

සෛලවල තොරතුරු වෙනස් කිරීම. සෛලවල බෙදී යෑමේ ක්‍රියාවලිය නතර වුණාම ඒවාවලින් ළඟපාත තියෙන ප්‍රතිශක්තිකරණ සෛලවලට වැරදි පණිවිඩ යන්න ඉඩ තියෙනවා. සමහර ලෙඩ හැදෙන්නත් ඇඟ ඉදිමෙන්නත් අධික වේදනාවක් දැනෙන්නත් ඒක හේතු වෙනවා. මෑතකදී ප්‍රංශයේ විද්‍යාඥයන් කීපදෙනෙක් අවුරුදු 100ට වැඩි අය ඇතුළු මහලු අයගේ සෛල අරන් ඒවාවල තියෙන තොරතුරු වෙනස් කරලා තියෙනවා. ඒ කණ්ඩායමේ නායකයා වුණු මහාචාර්ය ලමේත්‍ර කිව්වා “මිය යමින් තියෙන සෛලවලත් ආයු කාලය වැඩි කරන්න පුළුවන්” කියන එක ඒ අධ්‍යයනයෙන් තහවුරු වුණා කියලා.

ආයු කාලය වැඩි කරන්න විද්‍යාවට පුළුවන්ද?

වයසට යන එක වළක්වගන්න විවිධ ක්‍රම හොයාගෙන තිබුණත් ආයු කාලය මීට වඩා වැඩි කරගන්න මිනිසුන්ට පුළුවන් වෙයි කියලා හුඟක් විද්‍යාඥයන් පිළිගන්නේ නැහැ. 19වෙනි සියවසේ ඉඳන් මේ වෙද්දී මිනිසුන්ගේ ආයු කාලය වැඩි වෙලා තියෙනවා තමයි. ඒත් එහෙම වෙලා තියෙන්නේ ඉස්සරට වඩා සනීපාරක්ෂාව ගැන සැලකිලිමත් වෙන නිසා වගේම රෝග සුව කරන්න සහ රෝග වැලඳෙන එක වළක්වගන්න බෙහෙත් හොයාගෙන තියෙන නිසයි. සමහර ප්‍රවේණි විද්‍යාඥයනුත් කියනවා ආයු කාලය මීට වඩා වැඩි කරගන්න බැරි වෙයි කියලා.

අවුරුදු 3,500කට විතර කලින් මෝසෙස් කියන බයිබල් ලේඛකයත් මෙහෙම කියලා තිබුණා. “සාමාන්‍යයෙන් අප ජීවත් වන්නේ අවුරුදු සැත්තෑවකි. ශක්තිය ඇත්නම් අවුරුදු අසූවකි. එයද කරදර සහ දුක් ගැහැටවලින් පිරී ඇත. ජීවිතය වේගයෙන් ගෙවී යයි. අපද සැණෙකින් පහව යයි.” (ගීතාවලිය 90:10) ආයු කාලය වැඩි කරගන්න මොන තරම් වෑයම් කළත් මෝසෙස්ගේ කාලේ වගේම අදටත් මිනිසුන්ගේ ආයු කාලයේ කිසි වෙනසක් වෙලා නැහැ.

ඒත් සමහර සතුන් අවුරුදු සිය ගාණක් ජීවත් වෙනවා. සමහර ගස් අවුරුදු දහස් ගාණක් පවතිනවා. එහෙම බලද්දී ‘අපි ඉපදෙන්නේ අවුරුදු 70ක් හරි 80ක් හරි ජීවත් වෙලා මැරිලා යන්නද’ කියන ප්‍රශ්නය මතු වෙනවා නේද?