Skip to content

පටුනට යන්න

මිනිසාව නිර්මාණය කරලා තියෙන්නේ මැරෙන්න නෙවෙයි

මිනිසාව නිර්මාණය කරලා තියෙන්නේ මැරෙන්න නෙවෙයි

කිසිම ලෙඩක් දුකක් නැතුව හැමදාටම සතුටින් ජීවත් වෙන්න අපිට අවස්ථාව ලැබුණොත් ඒක මොන වගේ අද්දැකීමක් වෙයිද? එහෙම වුණොත් අපි ආදරේ කරන අයත් එක්ක වැඩි කාලයක් ගත කරන්න, ලෝකේ වටේ සංචාරය කරන්න, අපි ආස කරන ඕනම දෙයක් ඉගෙනගන්න අපිට පුළුවන් වෙනවා.

හැමදාටම ජීවත් වෙන්න අපි ආස ඇයි? බයිබලයේ කියනවා දෙවියන් අපේ හිත්වලට ඒ ආශාව ඇතුල් කළා කියලා. (දේශනාකාරයා 3:11) දෙවියන් “ප්‍රේමයේ උල්පත” කියලත් ඒකේ කියනවා. (1 යොහන් 4:8, පාදසටහන) ඒ වගේ ආදරණීය දෙවි කෙනෙක් කවදාවත් නොලැබෙන දෙයක් ගැන ආසාවක් අපේ හිතේ ඇති කරයි කියලා හිතන්න පුළුවන්ද?

අපි කවුරුත් මැරෙන්න ආස නැහැ. ඒත් අපි කොයි කාටත් මරණයට මුහුණ දෙන්න වෙනවා. ඒ නිසයි බයිබලයේ මරණය ‘සතුරෙක්ට’ සමාන කරලා තියෙන්නේ. (1 කොරින්ති 15:26) ඒ සතුරාව පරද්දන්න පුළුවන්ද?

බලාපොරොත්තුවක්

යෙහෝවා දෙවියන් මිනිසුන්ව නිර්මාණය කළේ මැරෙන්න නෙවෙයි කියලා ඔයා දැනන් හිටියාද? ඒකට ඕන තරම් සාක්ෂි බයිබලයේ පළවෙනි පොතේ තියෙනවා. දෙවියන් පොළොව නිර්මාණය කළේ මිනිසුන්ට සතුටින් ජීවත් වෙන්න ඕන කරන හැම දේම ඇතුවයි. ඊටපස්සේ ඔහු මුල්ම මිනිසා වුණු ආදම්ව නිර්මාණය කරලා පාරාදීසයක ඒ කියන්නේ ඒදන් කියන ලස්සන උයනේ පදිංචි කළා. ඊළඟට දෙවියන් තමා හදපු දේවල් දිහා බැලුවා. ඒ හැම දෙයක්ම හොඳින් හදලා තිබුණා කියලා ඔහු දැක්කා.—උත්පත්ති 1:26, 31.

දෙවියන් ආදම්ව නිර්මාණය කළේ තමන්ගේම ගතිලක්ෂණ ඇතුවයි. ඒ වගේම පරිපූර්ණ කෙනෙක් විදිහටයි. ඒ කියන්නේ ආදම්ට මානසිකව සහ ශාරීරිකව කිසිම දෝෂයක්වත් අඩුපාඩුවක්වත් තිබුණේ නැහැ. (ද්විතීය කතාව 32:4) ආදම්ගේ බිරිඳ වුණු ඒවව නිර්මාණය කළෙත් ඒ විදිහටමයි. දෙවියන් ඒ දෙන්නාට මෙහෙම කිව්වා. “දරුවන් බිහි කර ගණනින් වැඩි වන්න. මුළු පොළොව පුරාම මනුෂ්‍යයන්ව පදිංචි කර එය රැකබලා ගන්න. පොළොව මත සිටින සියලු සතුන්වද මුහුදේ මත්ස්‍යයන්වද අහසේ පියාසර කරන ජීවීන්වද ඔබ යටතේ තබාගන්න.”—උත්පත්ති 1:28.

පොළොව පුරා මිනිසුන්ව පදිංචි කරන්න නම් සෑහෙන කාලයක් ගත වෙනවා. (යෙසායා 45:18) මොකද මුලින්ම ඒව දරුවන්ව බිහි කරන්න ඕනේ. ඒ දරුවනුත් දරුවන්ව බිහි කරන්න ඕනේ. පොළොව පුරාම මිනිසුන්ව පදිංචි කරන්න නම් පරම්පරා ගාණකටම දරුවන්ව බිහි කරන්න වෙනවා. දෙවියන් ආදම් සහ ඒවව නිර්මාණය කළේ දරුමුණුපුරන්ව දැකලා මැරිලා යන්න නම් කවදාවත් එයාලට ඒ වගේ පැවරුමක් දෙයිද?

දැන් හිතන්න සතුන්ව තමන් යටතේ තියාගන්න ආදම්ට ලැබුණු පැවරුම ගැන. සතුන්ට, නම් දාන්නත් ආදම්ට සෑහෙන කාලයක් යන්න ඇති. (උත්පත්ති 2:19) හැබැයි සතුන්ව තමන් යටතේ තියාගන්න ඊටත් වඩා වැඩි කාලයක් යොදවන්න වෙනවා. මොකද ඒක කරන්න නම් ආදම්ට සිද්ධ වෙනවා එක් එක් සතාව රැකබලා ගන්න ඕන විදිහ හොඳින් තේරුම්ගන්න.

ආදම්ට දීපු පැවරුම් ගැන හිතද්දී දෙවියන් මුල් මිනිස් යුවළව නිර්මාණය කළේ දිගු කාලයක් ජීවත් වෙන්න කියන එක හොඳින්ම පැහැදිලියි. ඇත්තටම ආදම් අපිට වඩා සෑහෙන කාලයක් ජීවත් වුණා.

දෙවියන් මිනිසුන්ව නිර්මාණය කළේ පාරාදීස පොළොවක හැමදාටම ජීවත් වෙන්නයි

සෑහෙන කාලයක් ජීවත් වුණු මිනිසුන්

ආදම් අවුරුදු 930

මෙතූසලා අවුරුදු 969

නෝවා අවුරුදු 950

අපි අවුරුදු 70-80

අපිට වඩා සෑහෙන කාලයක් ජීවත් වුණු මිනිසුන් ගැන බයිබලයේ සඳහන් වෙනවා. “ආදම් අවුරුදු නවසිය තිහක්” ජීවත් වුණා. නෝවා සහ නෝවාගේ කාලේ ඇති වුණු ජලගැල්මට කලින් ජීවත් වුණු සෙත්, ඒනොෂ්, කේනාන්, යාරද්, මෙතූසලා අවුරුදු 900කට වඩා ජීවත් වුණා. ජලගැල්ම ඇති වෙද්දීත් නෝවා අවුරුදු 600කට වඩා ජීවත් වෙලා තිබුණා. (උත්පත්ති 5:5-27; 7:6; 9:29) එච්චර කාලයක් ජීවත් වෙන්න ඒ අයට පුළුවන් වුණේ කොහොමද?

ඒ අය ඉපදුණේ දෙවියන් පරිපූර්ණව නිර්මාණය කළ මුල් මිනිසා ජීවත් වුණු කාලයේදී නැත්නම් ඒ කාලයට ආසන්න කාලයකදීයි. එයාලා එච්චර කාලයක් ජීවත් වුණේ ඒ නිසා වෙන්න ඇති. ඒත් පරිපූර්ණව නිර්මාණය කරපු එක කොහොමද දිගු කාලයක් ජීවත් වෙන එකට සම්බන්ධ වෙන්නේ? මරණය කියන සතුරාව පරද්දන්න පුළුවන් කොහොමද? ඒවාට උත්තර දැනගන්න නම් අපි වයසට ගිහින් මැරෙන හේතුව දැනගන්න ඕනේ.