Skip to content

පටුනට යන්න

නමස්කාරය සඳහා රැස් වෙන්න ඕනෙ ඇයි?

නමස්කාරය සඳහා රැස් වෙන්න ඕනෙ ඇයි?

‘ඔවුහු හොඳ අවධානයක් දෙමින් තමන්ට තිබූ දේවල් එකිනෙකා අතරේ බෙදාගනිමින් එකට කාලය ගත කළා.’—ක්‍රියා 2:42.

ගීතිකා: 20, 119

1-3. (අ) රැස්වීම්වලට හවුල් වෙන්න ලොකු කැමැත්තක් තමන්ට තියෙනවා කියලා ක්‍රිස්තියානීන් පෙන්නලා තියෙන්නේ කොහොමද? (ලිපියේ මුල් පින්තූරය බලන්න.) (ආ) මේ ලිපියෙන් බලන්නේ මොනවද?

කොරීනාගේ අම්මාව අත්අඩංගුවට අරන් ඈත පළාතක ගාල් කඳවුරකට යවද්දී කොරීනාට වයස 17යි. ඊටපස්සේ එයාව කිලෝමීටර් දහස් ගාණක් ඈත සයිබීරියාවට යැව්වා. එහෙදී එයාට වුණේ වහලියක් වගේ ගොවිපොළක වැඩ කරන්න. සීතට අඳින්න හරිහමං ඇඳුමක්වත් නැතුව ඇඟපත ගල් ගැහෙන තරම් සීතලේ එළිමහනේ වැඩ කරන්නත් වුණා. ඒ මොන කරදර වින්දත් එයාට ඕනෙ වුණේ කොහොමහරි රැස්වීමකට යන්නයි.

2 එයා මෙහෙම කිව්වා. “මමයි මා එක්ක වැඩ කරපු තව සහෝදරියකුයි දවසක් හැන්දෑවක ගොවිපොළෙන් පිට වෙලා ළඟම තිබුණු දුම්රියපොළට ඇවිදගෙන ගියා. ඒක තිබුණේ කි.මී. 25ක් ඈතින්. කෝච්චිය පිට වුණේ පාන්දර දෙකට. ගමනට පැය 6ක් ගත වුණා. රැස්වීම තිබුණු තැනට යන්න කෝච්චියෙන් බැහැලා කි.මී. 10ක් අපි ඇවිදගෙන ගියා.” දුරුකතර ගෙවාගෙන ගිය ඒ ගමන වටිනවද? “රැස්වීමෙදී අපි ‘මුරටැඹ’ සාකච්ඡා කළා. ගීතිකා කිව්වා. රැස්වීමෙන් අපි දිරිගැන්වුණා. අපේ විශ්වාසයත් තව ශක්තිමත් වුණා” කියලා එයා කියනවා. ඒ සහෝදරියෝ දෙන්නා ආයෙ ගොවිපොළට ආවේ දවස් 3කට පස්සේ වුණත් එයාලා ගොවිපොළේ හිටියේ නැහැ කියලා අයිතිකාරයා දැනගෙන හිටියෙවත් නැහැ.

3 යෙහෝවා දෙවිට නමස්කාර කරන අය එක්ක එකට රැස් වෙන්න දෙවිගේ සෙනඟ කවදත් කැමැත්තෙන් හිටියා. උදාහරණෙකට මුල් සියවසේ හිටිය ක්‍රිස්තියානීන් දෙවිට නමස්කාර කරන්න එකට රැස් වෙලා ඇහුම්කන් දෙන්නත් තමන්ගේ අදහස් අනිත් අය එක්ක බෙදාගන්නත් හිටියේ පුදුම කැමැත්තකින්. (ක්‍රියා 2:42) ඔයාත් එහෙමද? ඒත් අනිත් හැමෝටම වගේ ඔයාටත් වරද්දන්නේ නැතුව හැම රැස්වීමකටම යන්න ලේසි නැතුව ඇති. සමහරවිට වැඩිපුර වෙලාවක් රස්සාව කරන්න වෙන නිසා, කාර්යබහුල නිසා, වෙහෙස නිසා එහෙම වෙනවා ඇති. ඒ බාධා ජය අරන් හැම රැස්වීමකටම යන්න ආසාවක් ඇති කරගන්න උදව් වෙන්නේ මොනවද? [1] අපිත් එක්ක බයිබලේ පාඩම් කරන අයට සහ අනිත් අයට නිතිපතා රැස්වීම් එන්න දිරිගන්වන්න අපිට පුළුවන් කොහොමද? රැස්වීම් යන එකෙන් (1) අපිට ප්‍රයෝජන ගන්න, (2) අනිත් අයට උදව් කරන්න, (3) යෙහෝවා දෙවිව සතුටු කරන්න පුළුවන් කොහොමද කියලා මේ ලිපියෙන් බලමු. [2]

රැස්වීම් අපේම ප්‍රයෝජනයටයි

4. දෙවි ගැන ඉගෙනගන්න රැස්වීම් උදව් වෙන්නේ කොහොමද?

4 රැස්වීම්වලින් අපි දැනුවත් වෙනවා. යෙහෝවා දෙවි ගැන තව තවත් ඉගෙනගන්න හැම රැස්වීමක්ම අපිට උදව්වක්. උදාහරණෙකට සභා බයිබල් පාඩමේ අපි සාකච්ඡා කරන ‘විශ්වාසය ආදර්ශයක්’ කියන පොත ගැන හිතන්න. අතීතයේ හිටපු දෙවිගේ සේවකයන්ගේ විශ්වාසය, ඒ අය දෙවිට පෙන්නපු ආදරේ ගැන සාකච්ඡා කරද්දී කොහොමද ඔයාට හැඟෙන්නේ? ඔයාගේ සහෝදර සහෝදරියන් එයාලගේ අදහස් ඉදිරිපත් කරද්දී ඔයාට කොහොමද හැඟෙන්නේ? දෙවි ගැන ඔයාට තිබුණු ආදරේ ඒ හැම දේකින්ම වැඩි වුණේ නැද්ද? රැස්වීම්වල තියෙන දේශන, නිරූපන, බයිබල් කියවීම වගේ දේවලින් බයිබලේ ගැන හුඟක් දේවල් අපි ඉගෙනගන්නවා. (නෙහෙ. 8:8) සතියට නියමිත බයිබල් කියවීම අධ්‍යයනය කරද්දී, ඒ කොටසින් ඉගෙනගත්ත දේවල් අනිත් අය කියද්දී කොච්චර නම් අලුත් පැති අපිට දකින්න ලැබෙනවද!

5. බයිබලෙන් ඉගෙනගන්න දේවල් අදාළ කරගන්න, සේවය තව හොඳින් කරන්න රැස්වීම් ඔයාට උදව් වෙලා තියෙන්නේ කොහොමද?

5 බයිබලෙන් ඉගෙනගන්න දේවල් ජීවිතේට අදාළ කරගන්නේ කොහොමද කියලා අපි ඉගෙනගන්නේ ‘මුරටැඹ’ පාඩමෙන්. (1 තෙස. 4:9, 10) දෙවිට වැඩියෙන් සේවය කරන්න, අර්ථවත් විදිහට යාච්ඤා කරන්න, ඔයාගේ හිත රිද්දපු කෙනෙක්ට සමාව දෙන්න ඔයා තුළ පෙලඹීමක් ඇති කරපු ‘මුරටැඹ’ පාඩමකට ඔයාත් හවුල් වෙලා තියෙනවද? ශුභාරංචිය දේශනා කරන්නත් බයිබලේ තියෙන සත්‍යය තේරුම්ගන්න අනිත් අයට උදව් කරන්නත් සතිය මැද රැස්වීම් අපිට උගන්වනවා.—මතෙ. 28:19, 20.

6. රැස්වීම් අපිව දිරිගන්වන්නෙත්, දිගටම ශක්තිමත්ව ඉන්න උදව් කරන්නෙත් කොහොමද?

6 රැස්වීම්වලින් අපි දිරිගැන්වෙනවා. සාතන්ගේ දුෂ්ට සමාජය හැම වෙලේම වෑයම් කරන්නේ අපේ විශ්වාස දුර්වල කරන්න. අපිව මානසිකව වට්ටන්න. ඒත් රැස්වීම් ඊට වඩා කොච්චර වෙනස්ද! අපිව දිරිගන්වන්නෙත් දිගටම දෙවිට සේවය කරන්න අපිව ශක්තිමත් කරන්නෙත් අපේ රැස්වීම්. (ක්‍රියා 15:30-32 කියවන්න.) ඉටු වෙලා තියෙන අනාවැකි ගැන රැස්වීම්වලදී අපි නිතරම වගේ සාකච්ඡා කරනවා. අනාගතය ගැන දෙවි දීලා තියෙන පොරොන්දු ඉටු වෙනවා කියන විශ්වාසය තව වැඩි කරගන්න ඒක අපිට උදව්වක්. දේශන, කතා දීලා විතරක් නෙමෙයි අදහස් දක්වලා, මුළු හදින්ම ගීතිකා ගයලා අපේ සහෝදර සහෝදරියෝ අපිව දිරිගන්වනවා. (1 කොරි. 14:26) අපි ගැන ඇත්තටම සැලකිලිමත් අපේ යාළුවන් එක්ක රැස්වීමට කලිනුත් පස්සෙත් කරන කතාබහෙන් අපි ලබන්නේ කොයි තරම් ප්‍රබෝධයක්ද!—1 කොරි. 16:17, 18.

7. රැස්වීම්වලට යන එක වැදගත් ඇයි?

7 රැස්වීම්වලදී අපිට දෙවිගේ බලයේ උදව් ලැබෙනවා. යේසුස් සභාවලට අවශ්‍ය මඟ පෙන්වීම් දෙන්නේ දෙවිගේ බලය මාර්ගයෙන්. “දෙවි තම බලයෙන් සභාවන්ට දන්වන දේට සවන් දී එය තේරුම්ගැනීමට උත්සාහ කරන්න” කියලා යේසුස් කිව්වා. (එළි. 2:7) වැරදි ආසාවන් පාලනය කරගන්න, නිර්භීතව දේශනා කරන්න, හරි තීරණ ගන්න අපිට උදව් කරන්න දෙවිගේ බලයට පුළුවන්. දෙවිගේ බලයේ උදව් ලබාගන්න නම් නිතිපතා රැස්වීම්වලට යන්න අපි උපරිම උත්සාහයක් දරන්න ඕනේ.

අනිත් අයට උදව් කරන්න අවස්ථාවක්

8. අපි රැස්වීමේ ඉන්න එකෙන්, අදහස් දක්වන එකෙන්, ගීතිකා ගයන එකෙන් අනිත් අය ප්‍රයෝජන ලබන්නේ කොහොමද? (“රැස්වීම් ඉවර වෙලා එයා ගෙදර යන්නේ අලුත් පණක් ලබලා” යන කොටුව බලන්න.)

8 සහෝදරයන්ට තියෙන අපේ ආදරේ පෙන්නන්න රැස්වීම්වලදී අවස්ථා ලැබෙනවා. සභාවේ ඉන්න අයගෙන් වැඩිදෙනෙක් දෙවිට සේවය කරන්නේ හුඟක් දුක් පීඩා දරාගෙනයි. “එකිනෙකා සඳහා උනන්දුවක් හා සැලකිල්ලක් දක්වන්න” කියලා පාවුල් කිව්වා. (හෙබ්‍රෙ. 10:24, 25) රැස්වීම්වලට ගිහින් එකිනෙකාව දිරිගන්වනවා නම් අපේ සහෝදරයන් ගැන අපිට තියෙන සැලකිල්ල එයාලා දකියි. අපි රැස්වීම්වලට යන එකෙන් ඔප්පු වෙන්නේ ඒ අය එක්ක කාලය ගත කරන්න, කතාබහ කරන්න, එයාලට හැඟෙන විදිහ තේරුම්ගන්න අපි කැමතියි කියලා. අපි අදහස් දක්වද්දී, හදපිරි අගයකින් ගීතිකා ගයද්දී අපි කරන්නේ ඒ අයව දිරිගන්වන එකයි.—කොලො. 3:16.

9, 10. (අ) සහෝදරයන් එක්ක එකට රැස් වෙන එක වැදගත් ඇයි කියලා තේරුම්ගන්න යොහන් 10:16 යේසුස් කියපු දේ උදව් වෙන්නේ කොහොමද? (ආ) දෙවිට සේවය නොකරන පවුලේ සාමාජිකයන් ඉන්න අයට අපි නිතිපතා රැස්වීම්වලට යන එක උදව්වක් වෙන්න පුළුවන් කොහොමද?

9 සභාවේ එක්සත්කමට දායක වෙන්න අපිට පුළුවන්. (යොහන් 10:16 කියවන්න.) යේසුස් ඔහුව එඬේරෙක්ටත් ඔහුගේ අනුගාමිකයන්ව බැටළු රැළකටත් සමාන කළා. මෙහෙම හිතන්න. බැටළුවෝ දෙන්නෙක් කන්දක් උඩත් තව දෙන්නෙක් තැනිතලාවකත් තව එකෙක් වෙන තැනකත් ඉන්නවා. ඒ බැටළුවෝ පස්දෙනාට රැළක් කියන්න පුළුවන්ද? බැහැ. මොකද රැළක් වෙන්න නම් බැටළුවෝ එකට ඉන්න ඕනේ. එකට එඬේරා පස්සේ යන්න ඕනේ. අපිත් රැස්වීම්වලට එන්නේ නැතුව සහෝදරයන්ගෙන් ඈත් වෙලා හිටියොත් යේසුස්ගේ රැළට අපි අයිතියි කියන්න පුළුවන්ද? “එක එඬේරෙක්” පස්සේ යන “එක රැළක” සාමාජිකයෝ වෙන්න නම් නිතිපතා අපි එකට රැස් වෙන්න ඕනෙමයි.

10 එක පවුලක් වගේ එකමුතුව ඉන්න රැස්වීම් උදව්වක්. (ගීතා. 133:1) තමන්ගේ පවුලේ සාමාජිකයන් දෙවිට සේවය නොකරන හුඟදෙනෙක් අපේ සභාවල ඉන්නවා. එයාලට ආදරේ කරන, එයාලව රැකබලා ගන්න අලුත් පවුලක් දෙනවා කියලා යේසුස් පොරොන්දු වුණා. (මාක් 10:29, 30) ඔයා වරද්දන්නේ නැතුව රැස්වීම් යනවා නම් ඒ අයට තමන්ගේ තාත්තා, අම්මා, අයියා, අක්කා, නංගී, මල්ලී නැති අඩුව ඔයාගෙන් පිරෙයි. ඒ ගැන හිතද්දී හැම රැස්වීමකටම යන එක කොච්චර වටිනවද කියලා ඔයාට හිතෙන්නේ නැද්ද?

දෙවිගේ සිත සතුටු කරන්න අවස්ථාවක්

11. දෙවිට හිමි විය යුතු දේ දෙන්න රැස්වීම් අපිට උදව් වෙන්නේ කොහොමද?

11 දෙවිට හිමි විය යුතු දේ දෙන්න රැස්වීම් අවස්ථාවක්. යෙහෝවා දෙවි අපේ නිර්මාතෘ නිසා ඔහුට අපේ ස්තුතිය, ගෞරවය, ප්‍රශංසාව දෙන්නම ඕනේ. (එළිදරව් 7:12 කියවන්න.) රැස්වීම්වලදී දෙවිට යාච්ඤා කරලා, ගීතිකා කියලා, ඔහු ගැන කතා කරලා අපිට ඒක කරන්න පුළුවන්. හැම සතියකම යෙහෝවා දෙවිට නමස්කාර කරන්න රැස්වීම් තියෙන එක මොන තරම් වටිනවද!

12. රැස්වීම් යන්න කියලා දෙවි දීලා තියෙන ආඥාවට අපි කීකරු වෙද්දී ඒ ගැන දෙවිට හැඟෙන්නේ කොහොමද?

12 අපිව නිර්මාණය කළේ දෙවි නිසා ඔහු කියන දේ අපි අහන්න ඕනේ. නිතිපතා එකට රැස් වෙන්න කියලා ඔහු අපිට ආඥා කරලා තියෙනවා. අවසානය ළං වෙද්දී අපි ඒක වැඩියෙන් කරයි කියලා ඔහු බලාපොරොත්තු වෙනවා. අපි ඒකට කීකරු වෙද්දී ඒක දෙවිට සතුටක්. (1 යොහ. 3:22) රැස්වීම් යන්න අපේ හිතේ තියෙන ආසාව, ඒ වෙනුවෙන් අපි දරන වෑයම ඔහු හුඟක් අගය කරනවා.—හෙබ්‍රෙ. 6:10.

13, 14. රැස්වීම්වලදී අපි යෙහෝවා දෙවිටත් යේසුස්ටත් ළං වෙන්නේ කොහොමද?

13 රැස්වීම්වලට යද්දී අපි පෙන්නන්නේ යෙහෝවා දෙවිටත් යේසුස්ටත් තව කිට්ටු වෙන්න අපිට තියෙන ආසාවයි. රැස්වීම්වලදී යෙහෝවා දෙවි බයිබලේ පිටු අතරින් අපිට ඔහුගේ මාර්ග ගැන උගන්වනවා. (යෙසා. 30:20, 21) අපිට මඟ පෙන්වන්නේ යෙහෝවා දෙවියි කියලා රැස්වීම්වලට අලුතින් එන අයටත් පැහැදිලි වෙනවා. (1 කොරි. 14:23-25) රැස්වීම්වලදී හැම දේම වෙන්නේ දෙවිගේ බලයේ මඟ පෙන්වීමෙන්. ඒ නිසා එහෙදී අපිට ලැබෙන හැම දේම දෙන්නේ යෙහෝවා දෙවි කියලා පැහැදිලියි. රැස්වීම්වලදී අපි දෙවි කියන දේට සවන් දෙනවා. ඔහුගේ ආදරේ අද්දකිනවා. ඒ නිසා අපි ඔහුට තවත් ළං වෙනවා.

14 සභාවේ නායකයා වන යේසුස් මෙහෙම කිව්වා. “දෙදෙනෙකු හෝ තුන්දෙනෙකු හෝ මගේ නාමයෙන් යම් තැනක රැස්ව සිටියොත් ඔවුන් අතරෙහි මමත් සිටිනවා.” (මතෙ. 18:20) යේසුස්ව සභාවන් අතරේ “ඇවිදින තැනැත්තා” හැටියටත් බයිබලේ හඳුන්වලා තියෙනවා. (එළි. 1:20–2:1) රැස්වීම්වලදී යෙහෝවා දෙවිත් යේසුත් අපි එක්කම ඉඳන් අපිව ශක්තිමත් කරනවා කියන දේ ගැන සැකයක් නැහැ. දෙවිටත් ඔහුගේ පුතාටත් කිට්ටු වෙන්න ඔයා පුළුවන් හැමදේම කරද්දී දෙවිට ඔයා ගැන කොහොම හැඟෙනවා ඇද්ද?

15. අපිට ඕනෙ දෙවිට කීකරු වෙන්නයි කියලා රැස්වීම්වලට යන එකෙන් අපිට පෙන්නන්න පුළුවන් කොහොමද?

15 රැස්වීම්වලට යද්දී අපි පෙන්නන්නේ දෙවිට කීකරු වෙන්න අපි කැමතියි කියලා. තමන් කියන දේ කරන්න කියලා දෙවි අපිට බල කරන්නේ නැහැ. (යෙසා. 43:23) ඒත් අපි ඔහුට කීකරු වෙද්දී ඒකෙන් තේරෙන්නේ අපි දෙවිට ආදරේ කියලා. ඒ වගේම කරන්න ඕනෙ මොනවද කියලා අපිට කියන්න දෙවිට අයිතිය තියෙනවා කියලා අපි විශ්වාස කරනවා කියලයි. (රෝම 6:17) මෙහෙම හිතන්න. රැස්වීම් යන්න බැරි වෙන තරමට වැඩි කාලයක් රැකියාවේ යෙදෙන්න කියලා ඔයාගේ ප්‍රධානියා කිව්වොත් මොනවද කරන්නේ? යෙහෝවා දෙවිට නමස්කාර කරන හැමෝටම දඩ ගහනවා, හිරේට දානවා නැත්නම් ඊට වඩා දරුණු දඬුවමක් දෙනවා කියලා රජයෙන් කිව්වොත් ඔයා මොනවද කරන්නේ? රැස්වීම් යන්නේ නැතුව වෙන දෙයක් කරන්න ඔයාගේ හිත ඔයාව පොලඹවනවා නම් මොකද කරන්නේ? ඒ හැම අවස්ථාවකදීම කැමති තීරණයක් ගන්න දෙවි ඔයාට නිදහස දීලා තියෙනවා. (ක්‍රියා 5:29) ඒත් දෙවිට කීකරු වෙන්න ඔයා තීරණය කරන හැම අවස්ථාවකදීම දෙවි ඔයා ගැන හුඟක් සතුටු වෙනවා.—හිතෝ. 27:11.

සහෝදරයන්ව හමු වෙන්න තියෙන අවස්ථාව මඟහරින්න එපා

16, 17. (අ) මුල් සියවසේ ක්‍රිස්තියානීන් රැස්වීම් අගය කළා කියලා අපි දන්නේ කොහොමද? (ආ) සහෝදර ජෝජ් ගැංගස්ට රැස්වීම් ගැන හැඟුණේ කොහොමද?

16 ක්‍රි.ව. 33 පෙන්තකොස්ත දවසින් පස්සේ ක්‍රිස්තියානීන් දෙවිට නමස්කාර කරන්න නිතරම එකට රැස් වුණා. ඒ අය ‘යේසුස්ගේ නියෝජිතයන් ඉගැන්වූ දේවලට හොඳ අවධානයක් දෙමින් තමන්ට තිබූ දේවල් එකිනෙකා අතරේ බෙදාගනිමින් එකට කාලය ගත කළා.’ (ක්‍රියා 2:42) රෝම බලධාරීන්, යුදෙව් ආගමික නායකයන් මොන තරම් පීඩා කළත් එකට රැස් වෙන එක එයාලා නැවැත්තුවේ නැහැ.

17 අදත් යෙහෝවා දෙවිගේ සෙනඟට රැස්වීම් ගැන තියෙන්නේ ලොකු අගයක්. එයාලා ඒකෙන් ලොකු සතුටක් ලබනවා. අවුරුදු 22කට වඩා වැඩි කාලයක් පාලක මණ්ඩලයේ සාමාජිකයෙක් විදිහට සේවය කරපු සහෝදර ජෝජ් ගැංගස් මෙහෙම කියනවා. “රැස්වීම් ගිහින් සභාවේ අයත් එක්ක ඉද්දී මට දැනෙන්නේ පුදුම සතුටක්. ලොකු දිරිගැන්වීමක්. මං හැම තිස්සෙම බලන්නේ වේලාසනින්ම රැස්වීමට ගිහින් පුළුවන් නම් අන්තිමටම එතනින් එන්නයි. සහෝදරයන් එක්ක ඇසුරු කරද්දී මට දැනෙන්නේ මගේම ගෙදර, මගේම පවුලේ අය එක්ක ඉන්නවා වගේ. මගේ එකම ආසාව හැම රැස්වීමකටම කොහොමහරි යන එකයි.”

18. රැස්වීම් ගැන ඔයාට හැඟෙන්නේ කොහොමද? ඔයාගේ අදිටන මොකක්ද?

18 ඔයාට හැඟෙන්නෙත් ඒ වගේද? එහෙමනම් රැස්වීම්වලට යන්න ඔයා දරන වෑයම අමාරුම අවස්ථාවලදී වුණත් අත්හරින්නේ නැහැ කියලා අදිටන් කරගන්න. ‘යෙහෝවා දෙවියනි, ඔබ වාසය කරන ඔබේ ගෘහයට මම බොහෝ සෙයින් ඇලුම් කරමි’ කියලා දාවිත් කිව්වා. (ගීතා. 26:8) ඔයාගේ ආසාවත් ඒකමයි කියලා දෙවිට පෙන්නන්න.

^ [1] (3 ඡේදය) කොච්චර කැමති වුණත් සමහර සහෝදර සහෝදරියන්ට එයාලා ඉන්න තත්වය නිසා නිතිපතා රැස්වීම්වලට යන්න බැහැ. උදාහරණෙකට සමහරු ඉන්නේ හුඟක් අසනීපෙන්. එයාලගේ තත්වය දෙවි තේරුම්ගන්නවා කියලත් දෙවිට නමස්කාර කරන්න එයාලා දරන වෑයම දෙවි අගය කරනවා කියලත් ඒ අයට ස්ථිර වෙන්න පුළුවන්. දුරකථනයෙන් නැත්නම් පටිගත කරලා ඒ අයට රැස්වීම් අහන්න දෙන්න සැලසුම් කරන්න වැඩිමහල්ලන්ට පුළුවන්.

^ [2] (3 ඡේදය) “රැස් වෙන්න හේතු” කියන කොටුව බලන්න.