Skip to content

පටුනට යන්න

ලෝකය බෙදී වෙන් වී තිබුණත් අපි පැති නොගෙන ඉමු

ලෝකය බෙදී වෙන් වී තිබුණත් අපි පැති නොගෙන ඉමු

‘දෙවිට අයිති දේ දෙවිට දෙන්න.’—මතෙ. 22:21.

ගීතිකා: 33, 137

1. යෙහෝවා දෙවිටත් ආණ්ඩුවලටත් කීකරු වෙන්න අපිට පුළුවන් කොහොමද?

ආණ්ඩුවට කීකරු වෙන්න කියලා බයිබලේ කියනවා. ඒත් එක්කම මිනිසුන්ට වඩා අපි කීකරු වෙන්න ඕනෙ දෙවිට කියලත් ඒකේ කියනවා. (ක්‍රියා 5:29; තීත. 3:1) ඒ දෙකම කරන්න පුළුවන්ද? ඒක කරන්න පුළුවන් කොහොමද කියලා තේරුම්ගන්න යේසුස් වටිනා ප්‍රතිපත්තියක් දුන්නා. ඔහු කිව්වේ “සීසර්ට අයිති දේ සීසර්ට දෙන්න. දෙවිට අයිති දේ දෙවිට දෙන්න” කියලයි. [1] (මතෙ. 22:21) රටේ ආණ්ඩුව පනවන නීතිවලට කීකරු වෙද්දී, බලධාරීන්ට ගෞරවයෙන් සලකද්දී, අවංකව බදු ගෙවද්දී අපි කරන්නේ සීසර්ගේ දේ සීසර්ට දෙන එකයි. (රෝම 13:7) ඒත් දෙවි කරන්න එපා කියලා තියෙන දෙයක් කරන්න කියලා ආණ්ඩුවෙන් කිව්වොත් අපි ඒක ගෞරවනීයව ප්‍රතික්ෂේප කරනවා.

2. දේශපාලනයට සම්බන්ධ කාරණාවලදී පැති ගන්නේ නැහැ කියලා අපිට පෙන්නන්න පුළුවන් කොහොමද?

2 “දෙවිට අයිති දේ දෙවිට දෙන්න” පුළුවන් එක විදිහක් තමයි දේශපාලනයට සම්බන්ධ කාරණාවලදී පැති නොගෙන ඉන්න එක. (යෙසා. 2:4) මිනිස් ආණ්ඩු පවතින්න යෙහෝවා දෙවි ඉඩ දීලා තියෙන තාක් කල් අපි ඒවාට කීකරු වෙනවා. අපි ඒවාට විරුද්ධව වැඩ කරන්නේ නැහැ. ඒ වුණත් රට, ජාතිය උසස් කරලා සලකන කිසිම දේකට හවුල් වෙන්න අපිට කොහෙත්ම අවශ්‍ය නැහැ. (රෝම 13:1, 2) ආණ්ඩු පෙරළන්න, කණ්ඩායම් විදිහට රැස් වෙලා ආණ්ඩුවලට බලපෑම් කරන්න, ඡන්දේ දාන්න, දේශපාලනඥයන් වෙන්න අපි උත්සාහ කරන්නේ නැහැ.

3. අපි පැති නොගෙන ඉන්න ඕනෙ ඇයි?

3 පැති නොගෙන ඉන්න කියලා දෙවි අපිට කියන්නේ හොඳ හේතු ඇතුවයි. එක හේතුවක් තමයි අපි යේසුස්ව ආදර්ශයට ගන්න එක. ඔහු ‘ලෝකයේ මිනිසුන්ට සමාන නොවී හිටියා.’ දේශපාලනයේදී, යුද්ධවලදී පැති ගත්තේ නැහැ. (යොහ. 6:15; 17:16) තව හේතුවක් තමයි දේවරාජ්‍යයට විතරක් අපේ සහයෝගය දෙන එක. දේශපාලනයේදී පැති ගන්නේ නැති නිසා නිදොස් හෘදය සාක්ෂියක් ඇතුව දේශනා කරන්න අපිට පුළුවන්. මිනිසුන්ගේ ප්‍රශ්නවලට විසඳුම් ලැබෙන්නේ දේවරාජ්‍යයෙන් විතරයි කියලා එක හිතින් කියන්න අපිට පුළුවන්. ආගමික නායකයන් දේශපාලනයේදී පැති ගන්න නිසා මුළු සමාජයම බෙදිලා. ඒත් අපි එහෙම නැහැ. පැති නොගන්න නිසා මුළු ලෝකෙම ඉන්න සහෝදරයන්ට පුළුවන් වෙලා තියෙනවා එකා මෙන් එක්සත්ව ඉන්න.—1 පේතෘ. 2:17.

4. (අ) පැති නොගෙන ඉන්න නිසා ඉදිරියේදී ලොකු ප්‍රශ්න ඇති වෙයි කියලා අපි දන්නේ කොහොමද? (ආ) පැති නොගෙන ඉන්න අපි දැන් ඉඳන්ම හොඳින් සූදානම් වෙන්න ඕනෙ ඇයි?

4 සමහරවිට අපි ජීවත් වෙන්නේ දේශපාලනයේදී පැති ගන්න කියලා අපිට ලොකු බලපෑමක් කරන්නේ නැති රටක වෙන්න පුළුවන්. ඒත් දුෂ්ට සමාජයේ අවසානය ළං වෙනවත් එක්කම පැති නොගෙන ඉන්න එකත් එන්න එන්නම අමාරු වෙන්න පුළුවන්. අද ඉන්න මිනිස්සු “කිසිම දෙයක් ගැන එකඟ නොවන,” “හිතුවක්කාර” අයයි. (2 තිමෝ. 3:3, 4) ඒ අය දැනටමත් ඉන්නේ බෙදිලා වෙන් වෙලා. අනිත් අතට රටක දේශපාලන වාතාවරණය එකපාරටම වෙනස් වෙන්න ඉඩ තියෙනවා. අපේ සමහර සහෝදර සහෝදරියන් ඒක අද්දැකලා තියෙනවා. අමාරු අවස්ථාවලදී වුණත් පැති නොගෙන ඉන්න දැන්මම අපි සූදානම් වෙන්න ඕනෙ ඒ නිසයි. ඒ විදිහට සූදානම් වෙන්න පුළුවන් විදි 4ක් ගැන දැන් බලමු.

මිනිස් ආණ්ඩු ගැන දෙවි හිතන විදිහට හිතන්න

5. මිනිස් ආණ්ඩු ගැන දෙවි හිතන්නේ මොකක්ද?

5 පැති නොගෙන ඉන්න සූදානම් වෙන්න අපිට පුළුවන් 1වෙනි විදිහ තමයි මිනිස් ආණ්ඩු ගැන යෙහෝවා දෙවි හිතන විදිහට හිතන එක. දෙවි මිනිසුන්ව නිර්මාණය කළේ මිනිසුන්ට මිනිසුන්ව පාලනය කිරීමේ හැකියාව ඇතුව නෙමෙයි. (යෙරෙ. 10:23) ඔහු ලෝකෙ ඉන්න හැම කෙනෙක්වම දකින්නේ එක පවුලක සාමාජිකයන් හැටියට. ඒත් මිනිස් ආණ්ඩු කරන්නේ ජාතිවාදී හැඟීම් අවුස්සන එක. සමහර ආණ්ඩු හොඳයි කියලා පේන්න තිබුණත් හැම ප්‍රශ්නයක්ම විසඳන්න ඒවාට බැහැ. ඒ වගේම ලෝකේ තියෙන හැම ආණ්ඩුවක්ම දේවරාජ්‍යයේ සතුරන්. ළඟදීම දේවරාජ්‍යය ඒ ආණ්ඩු සුනුවිසුනු කරලා දානවා.—ගීතාවලිය 2:2, 7-9 කියවන්න.

6. ආණ්ඩු බලධාරීන්ට අපි සලකන්න ඕනෙ කොහොමද?

6 පාලනය කරන්න යෙහෝවා දෙවි මිනිස් ආණ්ඩුවලට ඉඩ දීලා තියෙන්නේ යම් දුරකට සාමයක් ඇතුව පිළිවෙළකට දේවල් කරගෙන යන්න ඒවාට පුළුවන් නිසයි. ශුභාරංචිය දේශනා කරන්න ඒක අපිට උදව්වක්. (රෝම 13:3, 4) නිදහසේ දෙවිට නමස්කාර කරන්න අවස්ථාව ලැබෙන නිසා බලධාරීන් වෙනුවෙන් යාච්ඤා කරන්න කියලත් දෙවි කිව්වා. (1 තිමෝ. 2:1, 2) කවුරු හරි අපිට අසාධාරණ විදිහට සලකද්දී පාවුල් කළා වගේ බලධාරීන්ගේ උදව් ගන්න අපිටත් පුළුවන්. (ක්‍රියා 25:11) මිනිස් ආණ්ඩු පාලනය කරන්නේ සාතන් කියලා බයිබලේ සඳහන් වුණත් ආණ්ඩුවක ඉන්න එක් එක් බලධාරියාව පාලනය කරන්නේ සාතන් කියලා ඒකේ කියන්නේ නැහැ. (ලූක් 4:5, 6) ඒ නිසා යම් බලධාරියෙක් පිටුපස ඉඳන් එයාව පාලනය කරන්නේ සාතන් කියන අදහස අපි අනිත් අයට දෙන්න හොඳ නැහැ. මොකද කිසි කෙනෙකුට නින්දා කරන්න එපා කියලා බයිබලේ කියනවා.—තීත. 3:1, 2.

7. කොයි විදිහට හිතන එකෙන්ද අපි වළකින්න ඕනේ?

7 දෙවිට කීකරු වෙන්න අපි ආස නිසා කිසිම දේශපාලනඥයෙක්ට, දේශපාලන පක්ෂයකට වචනෙකින්වත් පක්ෂපාතකමක් පෙන්නන්නේ නැහැ. එයාලගේ අදහස්, සැලසුම්වලින් අපිට යම් ප්‍රයෝජන ලැබෙනවා කියලා පේන්න තිබුණත් අපි එහෙම කරන්නේ නැහැ. සමහර වෙලාවට එහෙම කරන එක ලේසි නැති වෙන්න පුළුවන්. උදාහරණෙකට යම් ආණ්ඩුවක් නිසා මිනිසුන් හුඟක් දුක් විඳිනවා කියලා හිතන්න. සාක්ෂිකරුවන්ටත් හුඟක් ප්‍රශ්නවලට මුහුණ දෙන්න වෙලා. ආණ්ඩුවට විරුද්ධව මිනිසුන් උද්ඝෝෂණ කරද්දී ඔයා ඒකට හවුල් වෙන්නේ නැහැ තමයි. ඒත් ඒ අය කරන දේ හරි කියලත් ඒ උද්ඝෝෂණය සාර්ථක වුණොත් හොඳයි කියලත් ඔයා හිතනවද? (එෆී. 2:2) පැති නොගෙන ඉන්න නම් එක පිරිසක් තවත් පිරිසකට වඩා හොඳයි කියලා හිතන එකෙන් අපි වළකින්න ඕනේ. අපි එහෙම හිතනවා නම් අපි කරන කියන දේවලින් ඒක පේනවා.

“සුපරීක්ෂාකාරීව” ඒත් “අහිංසකව” ඉන්න

8. පැති නොගෙන ඉන්න එක අභියෝගයක් වෙද්දී “සුපරීක්ෂාකාරීව” ඒත් “අහිංසකව” ඉන්න පුළුවන් කොහොමද?

8 ‘සර්පයන් මෙන් සුපරීක්ෂාකාරීව, පරෙවියන් මෙන් අහිංසකව ඉන්න’ එක පැති නොගෙන ඉන්න අපිට උදව් වෙන 2වෙනි විදිහයි. (මතෙව් 10:16, 17 කියවන්න.) ඉදිරියේදී එන්න පුළුවන් අභියෝග ගැන හිතනවා නම් “සුපරීක්ෂාකාරී” වෙන්න අපිට පුළුවන්. ඒ වගේ අමාරු අවස්ථාවලදී පැති නොගෙන ඉන්න එක “අහිංසකව” ඉන්න පුළුවන් විදිහයි. පැති නොගෙන ඉන්න එක අභියෝගයක් වෙන අවස්ථා කීපයක් ගැනත් ඒ වෙලාවලදී අපිට කරන්න පුළුවන් දේවල් ගැනත් දැන් බලමු.

9. අනිත් අය එක්ක කතා කරද්දී අපි සැලකිලිමත් වෙන්න ඕනෙ මොනවා ගැනද?

9 කතාබහ. මිනිසුන් දේශපාලනය ගැන කතා කරද්දී අපි පරෙස්සම් වෙන්න ඕනේ. උදාහරණෙකට අපි කෙනෙක්ට දේවරාජ්‍යය ගැන කතා කරද්දී යම් පක්ෂයක නැත්නම් දේශපාලන නායකයෙක්ගේ අදහස් අගය කරලා කතා කරන එකවත් ඒවා විවේචනය කරන එකවත් සුදුසු නැහැ. ප්‍රශ්න විසඳන්න ආණ්ඩු දරන වෑයම ගැන කතා කරනවා වෙනුවට දේවරාජ්‍යයෙන් හැම ප්‍රශ්නයකටම ස්ථිර විසඳුමක් ලැබෙන විදිහ බයිබලෙන් පෙන්නන්න. සමලිංගික විවාහය, ගබ්සාව වගේ මාතෘකා ගැන ඒ අය වාද කරන්න ආවොත් ඔයාගේ මතය කියනවා වෙනුවට ඒ ගැන බයිබලේ කියන්නේ මොකක්ද කියලා පෙන්නලා, ඒ ප්‍රතිපත්ති ඔයා අදාළ කරගෙන තියෙන්නේ කොහොමද කියලා කියන්න. දැනට තියෙන සමහර නීති අයින් කරන්න නැත්නම් වෙනස් කරන්න ඕනෙ කියලා කෙනෙක් කියනවා නම් පැත්තක් ගන්න එපා. එයාගේ අදහස් වෙනස් කරගන්න කියලා එයාට බල කරන්නත් එපා.

10. ජනමාධ්‍යය ඉදිරිපත් කරන අදහස්වලට හසු නොවී ඉන්න අපිට පුළුවන් කොහොමද?

10 ජනමාධ්‍යය. සමහර වෙලාවට යම් ප්‍රවෘත්ති පළ කරන්නේ එක පැත්තකට බර කරලා මිසක් සමබරව නෙමෙයි. රජයේ පාලනය යටතේ ජනමාධ්‍යය තියෙන රටවල එහෙම වෙනවා. යම් මාධ්‍ය ආයතනයක්, මාධ්‍යවේදියෙක් පැති ගන්නවා නම් ඒ අය හිතන විදිහට හිතන්නේ නැතුව ඉන්න අපි පරෙස්සම් වෙන්න ඕනේ. ‘යම් මාධ්‍යවේදියෙක් ඉදිරිපත් කරන වැඩසටහන්වලට ඇහුම්කන් දෙන්න මං ආස දේශපාලනය ගැන එයා කියන දේවලට මාත් එකඟ නිසාද’ කියලා හිතලා බලන්න. දිගටම පැති නොගෙන ඉන්න නම් එක පැත්තකට බරව තියෙන දේශපාලන වැඩසටහන් නරඹන්නවත් ලිපි කියවන්නවත් එපා. සමබර ප්‍රවෘත්තිවලට විතරක් සවන් දෙන්න. අහන්න ලැබෙන ප්‍රවෘත්ති බයිබලේ තියෙන “නිවැරදි මෙන්ම ප්‍රයෝජනවත් ඉගැන්වීම්” එක්ක සසඳන්න.—2 තිමෝ. 1:13.

11. ධනසම්පත්වලට තියෙන ආසාව පැති නොගෙන ඉන්න අපිට අභියෝගයක් වෙන්නේ කොහොමද?

11 ධනසම්පත්. මුදල්, දේපළ අපේ ජීවිතේ මුල් තැන වෙලා නම් ප්‍රශ්න එද්දී පැති නොගෙන ඉන්න එක අභියෝගයක් වෙයි. දේශපාලන පක්ෂයකට සම්බන්ධ නොවුණු නිසා මලාවි රටේ හිටපු හුඟක් සාක්ෂිකරුවන්ට එයාලට අයිති දේවල් අත්හරින්න වුණා. ඒත් තමන් හුරු වෙලා හිටපු සැප පහසු ජීවිතය අත්හරින්න සමහරු අකමැති වුණා. රූත් කියන සහෝදරිය මෙහෙම කියනවා. “පිටුවහල් කරපු වෙලාවේ අපිත් එක්කම ගිය සමහර අය කඳවුරේ දුක් විඳිවිඳ ඉන්නවා වෙනුවට ආයෙමත් ගෙවල්වලට යන්න තිබුණු ආසාව නිසා දේශපාලන පක්ෂයකට සම්බන්ධ වුණා.” ඒත් දෙවිගේ සෙනඟගෙන් වැඩිදෙනෙක් එහෙම කළේ නැහැ. අඟහිඟකම් ඇතුව ජීවත් වෙන්න වුණත් තියෙන හැම දේම නැති වුණත් පැති නොගෙන ඉන්න ගත්ත අධිෂ්ඨානය එයාලා නැති කරගත්තේ නැහැ.—හෙබ්‍රෙ. 10:34.

12, 13. (අ) මිනිසුන් ගැන දෙවි හිතන්නේ මොකක්ද? (ආ) අපි අපේ රට ගැන ආඩම්බර වෙන්න පටන් අරන් කියලා තේරුම්ගන්න පුළුවන් කොහොමද?

12 උඩඟුකම. රට, ජාතිය, සංස්කෘතිය ගැන උඩඟු වෙන එක, ඒ ගැන පුරසාරම් දොඩන එක අද සාමාන්‍ය දෙයක්. ඒත් පිරිසක් තවත් පිරිසකට වඩා උසස් කියලා යෙහෝවා දෙවි සලකන්නේ නැහැ. ඔහුට අපි හැමෝම එක සමානයි. දෙවි අපිව නිර්මාණය කළේ විවිධත්වයක් ඇතුව. ඒ විවිධත්වය අගය කරන්න, ඒකෙන් සතුටක් ලබන්න අපිට පුළුවන්. අපි ඇතිදැඩි වුණු සංස්කෘතිය අත්හරින්න කියලා දෙවි අපිට කියන්නේ නැහැ. ඒත් අපේ සංස්කෘතිය තමයි හොඳම එක කියලා හිතනවට ඔහු කැමති නැහැ.—රෝම 10:12.

13 අපේ රට, ජාතිය වෙන කිසිම එකකට වඩා උසස් කියලා හිතලා උඩඟු වෙන එක වැරදියි. එහෙම හැඟෙනවා නම් පැති නොගෙන ඉන්න අපිට අමාරු වෙයි. මුල් සියවසේදීත් ඒ වගේ දෙයක් වුණා. හෙබ්‍රෙව් භාෂාව කතා කරන සමහර සහෝදරයන් ග්‍රීක භාෂාව කතා කරන වැන්දඹුවන්ට සාධාරණව සැලකුවේ නැහැ. (ක්‍රියා 6:1) අපේ හිතෙත් ඒ වගේ උඩඟු ආකල්ප ඇති වෙන්න පටන් අරන් කියලා දැනගන්නේ කොහොමද? වෙන රටක සහෝදරියක්, සහෝදරයෙක් යමක් කරන විදිහ ගැන ඔයාට යෝජනාවක් දුන්නොත් ‘ඒ රටේ අය මොනවද දන්නේ? අපිනේ මේක හොඳටම කරන්නේ’ කියලා ඔයා හිතනවද? එහෙමනම් මේ උපදෙස මතක් කරගන්න. “නිහතමානීව අන් අය ඔබට වඩා උතුම් කියා සිතන්න.”—ෆිලි. 2:3.

යෙහෝවා දෙවි ඔයාට උදව් කරයි

14. යාච්ඤා කරන එක අපිට උදව්වක් වෙන්නේ කොහොමද? ඒක පැහැදිලි වෙන්නේ බයිබලේ සඳහන් මොන සිද්ධියෙන්ද?

14 පැති නොගෙන ඉන්න අපිට උදව් වෙන 3වෙනි දේ තමයි යෙහෝවා දෙවි ගැන විශ්වාසය තියලා වැඩ කරන එක. ඉවසීම, තමන්ව පාලනය කරගැනීම වගේ ගතිලක්ෂණ තව වැඩි කරගන්න උදව් වෙන දෙවිගේ බලය ඉල්ලලා යාච්ඤා කරන්න. වංක, අසාධාරණ විදිහට වැඩ කරන ආණ්ඩුවක් යටතේ ඉන්න වුණොත් ඒ ගතිලක්ෂණ අපිට ප්‍රයෝජනවත් වෙයි. පැති නොගෙන ඉන්න අමාරු වෙන්න පුළුවන් අවස්ථා හඳුනගන්න අවශ්‍ය ප්‍රඥාව දෙවිගෙන් ඉල්ලන්න. ඒ වගේ වෙලාවලදී හරි දේ කරන්න දෙවිගෙන් උදව් ඉල්ලන්න. (යාකො. 1:5) දෙවිට ළැදිව ඉන්න නිසා සමහරවිට ඔයාව සිරගත කරයි. නැත්නම් වෙනත් දඬුවමක් දෙයි. ඔයා පැති නොගෙන ඉන්නේ ඇයි කියලා ඒ වගේ අවස්ථාවලදී අනිත් අයට පැහැදිලි කරලා දෙන්න අවශ්‍ය නිර්භීතකම දෙවිගෙන් ඉල්ලන්න. විඳදරාගන්න යෙහෝවා දෙවි අනිවාර්යයෙන්ම ඔයාට උදව් කරයි.—ක්‍රියා 4:27-31 කියවන්න.

15. පැති නොගෙන ඉන්න බයිබලේ ඔයාට උදව් වෙන්නේ කොහොමද? (“ශක්තිය ලැබුණේ බයිබලෙන්” යන කොටුව බලන්න.)

15 යෙහෝවා දෙවි බයිබලේ තියෙන තොරතුරුවලින් අපිව ශක්තිමත් කරනවා. පැති නොගෙන ඉන්න ඔයාට උදව් වෙන බයිබල් පද ගැන හොඳට හිතන්න. ඒවා මතක තියාගන්න. බයිබලයක් ළඟ තියාගන්න බැරි වෙන දවසක් ආවොත් ඒවා ඔයාට උදව් වෙයි. දෙවිගේ පොරොන්දු ගැන ඔයාට තියෙන බලාපොරොත්තුව තව ශක්තිමත් කරන්නත් බයිබලේ තියෙන තොරතුරුවලට පුළුවන්. පීඩා දරාගන්න ශක්තිය දෙන්නේ ඒ බලාපොරොත්තුවයි. (රෝම 8:25) පාරාදීසයේදී ඔයා කරන්න ආසා දේවල් ගැන තියෙන බයිබල් පද තෝරගෙන ඔයාත් එතන ඉන්නවා කියලා හිතාගෙන ඒවා කියවන්න.

විශ්වාසවන්ත අයගෙන් ඉගෙනගන්න

16, 17. විශ්වාසවන්ත අයගේ ආදර්ශවලින් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවද? (ලිපියේ මුල් පින්තූරය බලන්න.)

16 පැති නොගෙන ඉන්න අපිට උදව් වෙන 4වෙනි දේ තමයි දෙවිගේ විශ්වාසවන්ත සේවකයන්ගේ ආදර්ශ ගැන හිතන එක. අතීතයේ හිටපු දෙවිගේ සේවකයන් හුඟදෙනෙක් නිර්භීතව, ඥානවන්ත තීරණ අරන් පැති නොගෙන හිටියා. ෂද්‍රක්, මේෂක් සහ අබෙද්නෙගෝ ඒ වගේ තුන්දෙනෙක්. (දානියෙල් 3:16-18 කියවන්න.) ඒ තුන්දෙනාගේ ආදර්ශය ජාතික කොඩියට නමස්කාර නොකර ඉන්න හුඟක් සාක්ෂිකරුවන්ට උදව් වෙලා තියෙනවා. දේශපාලනයටවත් මිනිසුන් අතර බෙදීම් ඇති කරන කිසිම දේකටවත් හවුල් නොවුණු තවත් කෙනෙක් යේසුස්. තම ආදර්ශය ඔහුගේ අනුගාමිකයන්ට හයියක් කියලා යේසුස් දැනගෙන හිටියා. “කිසි දෙයකට අධෛර්යය වෙන්න එපා. මම ලෝකයෙන් ජය ගත්තා” කියලා ඔහු කිව්වේ ඒ නිසයි.—යොහ. 16:33.

17 අපේ කාලෙත් ඒ වගේ ආදර්ශයට ගන්න පුළුවන් අය ඉන්නවා. වධ දුන්නත් සිරගත කළත් මරා දැම්මත් දෙවිට තියෙන විශ්වාසය ඒ අය නැති කරගත්තේ නැහැ. ඒ අයගේ ආදර්ශය අපිට ලොකු ශක්තියක්. තුර්කියේ සහෝදරයෙක් මෙහෙම කිව්වා. “හිට්ලර්ගේ හමුදාවට බැඳෙන එක ප්‍රතික්ෂේප කරපු නිසා ෆ්‍රාන්ස් රයිටර්ව මරලා දැම්මා. මරන්න කලින් දවසේ රෑ එයා අම්මාට ලියපු ලියුම කියවද්දී තේරෙනවා එයාට යෙහෝවා දෙවි ගැන මොන තරම් විශ්වාසයක් තිබුණද කියලා. මටත් ඕනෙ එයා වගේ වෙන්න.” [2]

18, 19. (අ) සභාවේ අය ඔයාට ශක්තියක් වෙන්නේ කොහොමද? (ආ) ඔයාගේ අදිටන මොකක්ද?

18 පැති නොගෙන ඉන්න ඔයාට උදව් කරන්න සභාවේ අයටත් පුළුවන්. ඔයාගේ අභියෝග ගැන වැඩිමහල්ලන්ට කියන්න. බයිබලෙන් අවශ්‍ය මඟ පෙන්වීම් දෙන්න එයාලට පුළුවන්. ඔයා ඉන්න තත්වය ගැන සභාවේ අය දන්නවා නම් එයාලත් ඔයාව දිරිගන්වයි. ඔයා වෙනුවෙන් යාච්ඤා කරන්න කියලා එයාලගෙන් ඉල්ලන්න. ඒ එක්කම අපිත් සහෝදර සහෝදරියන්ට උදව් කරන්න ඕනේ. එයාලා වෙනුවෙන් යාච්ඤා කරන්න ඕනේ. (මතෙ. 7:12) විශ්වාසය නිසා සිරගත කරලා ඉන්න අය ගැන ලිපි jw.org වෙබ් අඩවියෙත් අපේ ප්‍රකාශනවලත් පළ වෙලා තියෙනවා. [3] ඒ අයගේ නම් සඳහන් කරලා දිගටම දෙවිට ළැදිව ඉන්න එයාලට උදව් කරන්න කියලා යාච්ඤා කරන්න.—එෆී. 6:19, 20.

19 අවසානය ළං වෙන්න වෙන්න පැති ගන්න කියලා ආණ්ඩුවලින් කරන බලපෑම තවත් වැඩි කරයි කියලා අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒ නිසා මේ බෙදුණු ලෝකෙ පැති නොගෙන ඉන්න අපි අද ඉඳන්ම සූදානම් වෙමු.

^ [1] (1 ඡේදය) සීසර් ගැන සඳහන් කරද්දී යේසුස් අදහස් කළේ රටේ ආණ්ඩුවයි. මොකද ඒ කාලේ රටේ පාලකයා වුණෙත් ඉහළම බලධාරියා වුණෙත් සීසර්.

^ [2] (17 ඡේදය) 2005 මැයි 1 ‘මුරටැඹ’ සඟරාවේ 18 පි. 3 ඡේ. සහ ‘දෙවිගේ රාජ්‍යයේ පාලනය ඇරඹිලා!’ පොතේ 14වෙනි පරිච්ඡේදයේ “ඔහු දිවි පිදුවේ දෙවිගේ ගෞරවය වෙනුවෙන්” යන කොටුව බලන්න.

^ [3] (18 ඡේදය) jw.org වෙබ් අඩවියේ පුවත් > නීතික තොරතුරු (ඉංග්‍රීසියෙන්) සහ ‘2015 වාර්ෂික පොතේ’ 30-37 පි. බලන්න.