Skip to content

පටුනට යන්න

“විඳදරාගැනීමෙන් ඉතා වැදගත් කාර්යයක් ඉටු වෙයි”

“විඳදරාගැනීමෙන් ඉතා වැදගත් කාර්යයක් ඉටු වෙයි”

“විඳදරාගැනීමෙන් ඉතා වැදගත් කාර්යයක් ඉටු වෙයි. එයින් ඔබට සෑම පැත්තකින්ම අඩුපාඩුවක් නැති, නිර්දෝෂ, අවබෝධයෙන් ක්‍රියා කරන කෙනෙකු බවට පත් විය හැක.”—යාකො. 1:4.

ගීතිකා: 135, 139

1, 2. (අ) ගිඩියොන් ඇතුළු පිරිසගෙන් ඉගෙනගන්න පුළුවන් මොනවද? (ලිපියේ මුල් පින්තූරය බලන්න.) (ආ) ලූක් 21:19 තියෙන දෙයින් පැහැදිලි වෙන්නේ මොකක්ද?

ගිඩියොන් ඇතුළු පිරිස බලවත් සතුරු හමුදාවක් එක්ක කරපු යුද්දේ කොයි තරම් අමාරු, වෙහෙසකර එකක් වෙන්න ඇද්ද කියලා ඔයාට හිතාගන්න පුළුවන්ද? පලා යන මිදියන්වරුන් පස්සේ මුළු රැයක් පුරා කි.මී. 32ක් ලුහුබැඳගෙන යන ඒ පිරිස ගැන බයිබලේ මෙහෙම කියනවා. “ගිඩියොන් සහ ඔහු සමඟ සිටි තුන්සියදෙනා යොර්දාන් ගඟ අද්දරට පැමිණ ඉන් එගොඩ වුණා. ඔවුන් වෙහෙසට පත්ව සිටියා.” ඒත් තාම සටන ඉවර නැහැ. තව සෙබළු 15,000ක් එක්ක සටන් කරන්න තියෙනවා. අවුරුදු ගාණක් තිස්සේ ඊශ්‍රායෙල්වරුන්ට පීඩා කරපු ඒ සතුරන්ව සම්පූර්ණයෙන්ම පරාජය නොකර පසුබසින්න එයාලට බැහැ. ඒ නිසා ගිඩියොන් ඇතුළු පිරිස දිගටම සතුරන්ව ලුහුබැඳ ගිහින් එයාලව පරාජය කරනවා.—විනි. 7:22; 8:4, 10, 28.

2 සාතන්, දුෂ්ට සමාජය, අපේම දුර්වලකම් එක්ක අද අපි කරන්නෙත් අමාරු, වෙහෙසකර සටනක්. අපෙන් සමහරු දැන් අවුරුදු ගාණක් තිස්සේ ඒ සටන කරනවා. යෙහෝවා දෙවිගේ උදව්වෙන් හුඟක් අවස්ථාවලදී අපි ජය අරන් තියෙනවා. ඒත් සටන් කරලා කරලා දැනෙන වෙහෙස නිසා තවත් නම් බැහැ කියලා හිතුණු වෙලාවලුත් ඇති. විනාශය එන කල් බලාගෙන ඉඳලා වෙහෙසට පත් වෙලත් ඇති. ඒත් මතක තියාගන්න අපි තාම සම්පූර්ණ ජයක් අත් කරගෙන නැහැ. යේසුස් කිව්වේ අන්තිම කාලේ පීඩා, දරුණු විරුද්ධවාදිකම්වලට මුහුණ දෙන්න අපිට සිද්ධ වෙනවා කියලයි. ඒත් අපි විඳදරාගත්තොත් ඒවා ජය ගන්න පුළුවන් කියලත් ඔහු කිව්වා. (ලූක් 21:19 කියවන්න.) විඳදරාගැනීම කියන්නේ මොකක්ද? ඒකට උදව් වෙන්නේ මොනවද? විඳදරාගත්ත අයගෙන් ඉගෙනගන්න පුළුවන් මොනවද? “විඳදරාගැනීමෙන් ඉතා වැදගත් කාර්යයක් ඉටු වෙයි” කියන්නේ මොකක්ද?—යාකො. 1:4.

විඳදරාගැනීම කියන්නේ මොකක්ද?

3. විඳදරාගන්නවා කියන්නේ මොකක්ද?

3 බයිබලේ විඳදරාගැනීම ගැන කතා කරද්දී ඒකෙන් අදහස් කරන්නේ පීඩාවක් දරාගන්න එක විතරක් නෙමෙයි. ඒ ගැන අපි හිතන, අපිට හැඟෙන විදිහත් ඒකට ඇතුළත්. විඳදරාගන්න කෙනෙක්ට පීඩා එද්දී දෙවිට විශ්වාසවන්තව ඉන්නත් නිර්භීතව, ඉවසීමෙන් ඒවාට මුහුණ දෙන්නත් පුළුවන්. පොතක සඳහන් වෙන විදිහට බලාපොරොත්තු අත්හරින්නේ නැතුව ඉන්නත් අමාරුම පීඩාවකදී වුණත් නොසැලී ඉන්නත් විඳදරාගැනීම කියන ගුණාංගය උදව් වෙනවා. විඳදරාගන්න කෙනෙක් පීඩා නිසා අද්දකින වේදනාව ගැන හිතනවා වෙනුවට අවසානයේ ලැබෙන ජයග්‍රහණය ගැන හිතනවා.

4. විඳදරාගන්න පොලඹවන්නේ ආදරේ කියලා කියන්නේ ඇයි?

4 විඳදරාගන්න ලොකු තල්ලුවක් දෙන්නේ ආදරෙයි. (1 කොරින්ති 13:4, 7 කියවන්න.) අපි යෙහෝවා දෙවිට ආදරේ නම් දෙවි අපිට අද්දකින්න ඉඩහැරලා තියෙන ඕනෑම දෙයක් අපි විඳදරාගන්නවා. (ලූක් 22:41, 42) අපි සහෝදරයන්ට ආදරේ නම් එයාලගේ අඩුපාඩුකම් විඳදරාගන්න ලේසියි. (1 පේතෘ. 4:8) සැමියා, බිරිඳ අතරේ ආදරේ තියෙනවා නම් “දුෂ්කරතා” විඳදරාගෙන බැඳීම තව ශක්තිමත් කරගන්න පුළුවන්.—1 කොරි. 7:28.

විඳදරාගන්න ඔයාට උදව් වෙන්නේ මොනවද?

5. විඳදරාගන්න අපිට උදව් කරන්න පුළුවන් හොඳම කෙනා යෙහෝවා දෙවි කියලා කියන්නේ ඇයි?

5 අවශ්‍ය ශක්තිය යෙහෝවා දෙවිගෙන් ඉල්ලන්න. අපිට “විඳදරාගැනීමට උපකාරයත් සැනසිල්ලත් ලබා දෙන්නේ දෙවි.” (රෝම 15:5) අපේ තත්වය, හැඟීම්, පසුබිම හරියටම තේරුම්ගන්න පුළුවන් ඔහුට විතරයි. ඒ නිසා අපිට උදව් ඕනෙ මොන පැතිවලින්ද කියලා දෙවි දන්නවා. බයිබලේ මෙහෙම කියනවා. “ඔහුට ගරුබිය දක්වන අයගේ ආශාව ඔහු ඉෂ්ට කරන්නේය. උපකාරය ඉල්ලා ඔවුන් කන්නලව් කරන විට ඔහු ඔවුන්ට සවන් දී ඔවුන්ව බේරාගන්නේය.” (ගීතා. 145:19) විඳදරාගන්න ශක්තිය ඉල්ලද්දී දෙවි උත්තර දෙන්නේ කොහොමද?

6. පීඩාවලින් “ගොඩ ඒමට මඟක්” දෙවි සලසා දෙන්නේ කොහොමද?

6 1 කොරින්ති 10:13 කියවන්න. විඳදරාගන්න උදව් කරන්න කියලා දෙවිගෙන් ඉල්ලනවා නම් “එයින් ගොඩ ඒමට මඟක් සලසා” දෙනවා කියලා ඔහු පොරොන්දු වෙලා තියෙනවා. ඒ කොහොමද? යම් අවස්ථාවලදී දෙවි පීඩාව අයින් කරනවා. ඒත් හුඟක් අවස්ථාවලදී ඔහු කරන්නේ පීඩාව “සාර්ථකව විඳදරාගැනීමටත් ප්‍රීතිය රැකගෙන බොහෝ ඉවසිලිවන්තව කටයුතු කිරීමටත්” අවශ්‍ය ශක්තිය අපිට දෙන එකයි. (කොලො. 1:11) යෙහෝවා දෙවි අපේ සීමාවන් දන්නවා. අපේ ඇඟපතට, මනසට, හැඟීම්වලට යම් දෙයක් කොච්චර දුරට දරාගන්න පුළුවන්ද කියලා ඔහු දන්නවා. ඒ නිසා දිගටම විශ්වාසවන්තව ඉන්න බැරි වෙන තරමට පීඩාව දුර දිග යන්න දෙවි ඉඩ දෙන්නේ නැහැ.

7. විඳදරාගන්න නම් දෙවිගෙන් ලැබෙන පෝෂණය අත්‍යවශ්‍ය ඇයි?

7 දෙවි දෙන පෝෂණයෙන් ඔයාගේ විශ්වාසය ශක්තිමත් කරගන්න. ඒ පෝෂණය අත්‍යවශ්‍ය ඇයි? මේ උදාහරණේ බලන්න. එවරස්ට් කන්ද නඟින කෙනෙක් සාමාන්‍යයෙන් කෙනෙක් වැය කරන ශක්තියට වඩා වැඩි ශක්ති ප්‍රමාණයක් වැය කරනවා. ඉලක්කයට යන්න නම් කන්ද නඟින කෙනා ශක්තිය වැඩිපුර ලැබෙන ආහාර පුළුවන් තරම් ගන්න ඕනේ. අවසානය දක්වාම විඳදරාගන්න නම් අපිත් පුළුවන් තරම් දෙවිගෙන් පෝෂණය වෙන්න ඕනේ. බයිබලේ අධ්‍යයනය කරන්න, රැස්වීම් යන්න කාලය වෙන් කරන එක අත්‍යවශ්‍යයි. විශ්වාසය ශක්තිමත් කරගන්න අවශ්‍ය පෝෂණය අපිට ලැබෙන්නේ ඒ දේවලිනුයි.—යොහ. 6:27.

8, 9. (අ) පීඩාවලට මුහුණ දෙද්දී යෝබ් 2:4, 5 මතක තියාගන්නවා නම් අපිට ඔප්පු කරන්න පුළුවන් මොකක්ද? (ආ) පීඩා එද්දී අපිට හිතින් මවාගන්න පුළුවන් මොකක්ද?

8 ඔයා ළැදි දෙවිට කියලා මතක තියාගන්න. පීඩාවලට මුහුණ දෙද්දී අපි හිතන්නේ අපේ දුක ගැන විතරයි. ඒත් අපි නොදකින දේකුත් තියෙනවා. එහෙම වෙලාවලදී විශ්වය පාලනය කරන්න අයිතිය තියෙන්නේ යෙහෝවා දෙවිට විතරයි කියන දේ අපි විශ්වාස කරනවද කියලා සෝදිසියට ලක් වෙනවා. අපි ළැදි දෙවිටයි කියලා ඔප්පු කරන්න ඒක අවස්ථාවක්. ඒ කොහොමද? මිනිසුන් දෙවිට සේවය කරන්නේ තමන්ගේ වාසියටයි කියලා සාතන් දෙවිට නින්දා කළා. “මිනිසෙකු තම ජීවිතය බේරාගන්න මොනවාද නොකරන්නේ? ඔහු තමා සතු සියල්ල වුවත් ඒ වෙනුවෙන් පරිත්‍යාග කරයි” කියපු සාතන් ඊළඟට යෝබ් ගැන මෙහෙම කිව්වා. “දැන් ඔහුට විරුද්ධව ඔබේ බලය පාවිච්චි කර ඔහුගේ ශරීරයට පහර දෙන්න. එවිට ඔහු ඔබේ මුහුණටම ශාප කරන්නේ නැද්ද කියා බලන්න.” (යෝබ් 2:4, 5) සාතන් ඒක කියලා දැන් කාලයක් ගත වෙලා. ඔහු දැන් වෙනස් වෙලාද? නැහැ. ස්වර්ගයෙන් එළවලා දැම්මට පස්සෙත් ඔහු දෙවිගේ විශ්වාසවන්ත සේවකයන් ගැන දිනපතාම චෝදනා කරනවා. (එළි. 12:10) අදත් ඔහු කියන්නේ මිනිසුන් දෙවිට නමස්කාර කරන්නේ තමන්ගේ වාසියට කියලයි. පීඩා එද්දී අපි දෙවිට නමස්කාර කරන එක අත්හරිනවා දකින්න සාතන් හරි කැමතියි.

9 පීඩාවක් එක්ක සටන් කරද්දී මේ දේ හිතින් මවාගන්න. සාතන් සහ භූතයන් එක පැත්තක ඉඳන් ඔයාව පෙන්නලා කියනවා ඔයා මේ සටන අත්හරිනවා කියලා. අනිත් පැත්තේ යෙහෝවා දෙවි, යේසුස්, නැවත නැඟිටපු අභිෂේක ලත් අය, දහස් ගාණක් දේවදූතයන් ඔයා දිහා බලාගෙන ඔයාව දිරිගන්වනවා. දිගටම විඳදරාගෙන දෙවිට ළැදිව ඉන්න ඔයා දරන වෑයම දැකලා එයාලා හුඟක් සතුටු වෙනවා. යෙහෝවා දෙවි කියන මේ දේත් ඔයාට ඇහෙනවා. “මාගේ පුත්‍රය, මට නින්දා කරන්නාට මා උත්තර දෙන පිණිස ඔබ ප්‍රඥාවන්තව ක්‍රියා කර මාගේ සිත සතුටු කරන්න.”—හිතෝ. 27:11.

10. විඳදරාගැනීමෙන් ලැබෙන ආශීර්වාද ගැන හිතපු යේසුස්ව ආදර්ශයට ගන්න පුළුවන් කොහොමද?

10 ආශීර්වාද ගැන හිතන්න. ඔයා කෝච්චියක දුර ගමනක් යනවා කියලා හිතන්න. යන අතරමඟ දිග බිංගෙයක් හම්බ වෙනවා. බලනබලන තැන පේන්න තියෙන්නේ ගන අඳුර. ඒත් ඉස්සරහට යද්දී ආයෙත් ආලෝකය දකින්න ලැබෙනවා කියලා ඔයා දන්නවා. ජීවිත ගමනත් ඒ වගේ. කාලෙන් කාලෙට මුහුණ දෙන්න වෙන ප්‍රශ්න ගැටලු නිසා ඔයාටත් හිතෙයි ඔයාගේ ජීවිතේ අන්ධකාරයෙන් වැහිලා කියලා. වධකණුවේ වේදනාවෙන් ඉද්දී, මිනිසුන් නින්දා කරද්දී යේසුස්ට හැඟෙන්න ඇත්තෙත් ඒ වගේ. ඒක ඔහුගේ ජීවිතේ අමාරුම අවස්ථාවයි. විඳදරාගන්න යේසුස්ට උදව් වුණේ මොකක්ද? බයිබලේ කියන්නේ “ඔහු තමාට තිබුණු ප්‍රීතිමත් අපේක්ෂාව” දිහා බලාගෙන හිටියා කියලා. (හෙබ්‍රෙ. 12:2, 3) දෙවිගේ නමට ඇති වෙලා තියෙන කැළැල ඉවත් කරන්න, පාලනය කරන්න දෙවිට තියෙන අයිතිය තහවුරු කරන්න ලැබෙන අවස්ථාව ඔහුට තිබුණු ප්‍රීතිමත් අපේක්ෂාවයි. විඳින්න වුණු පීඩාව තාවකාලිකයි කියලත් ඒක විඳදරාගත්තොත් ලැබෙන ත්‍යාගය සදාකාලිකයි කියලත් ඔහු දැනගෙන හිටියා. අද්දකින පීඩා නිසා අද ඔයා හුඟක් දුක් විඳිනවා ඇති. ඒත් ඒවා තාවකාලිකයි කියලා අමතක කරන්න එපා.

‘පීඩා විඳදරාගත් අය’

11. ‘පීඩා විඳදරාගත් අයගේ’ අද්දැකීම් සලකා බලන්න ඕනෙ ඇයි?

11 විඳදරාගද්දී ඔයා තනි වෙලා නැහැ. පේතෘස් මෙහෙම කිව්වා. “ස්ථිර විශ්වාසයකින් ඔහුට [සාතන්ට] විරුද්ධව සිටින්න. එසේම ලොව පුරා සිටින ඔබේ සහෝදරයන් සියලුදෙනාම ඒ හා සමාන දුක් පීඩාවලට මුහුණ දෙන බවත් සිහියේ තබාගනිමින් කටයුතු කරන්න.” (1 පේතෘ. 5:9) දිගටම විශ්වාසවන්තව ඉන්නේ කොහොමද කියලා “පීඩා විඳදරාගෙන සිටින අයගෙන්” ඉගෙනගන්න පුළුවන්. පීඩා ජය ගන්න පුළුවන් කියන දේත් දිගටම දෙවිට ළැදිව හිටියොත් ආශීර්වාද ලැබෙනවා කියන දේත් ගැන නිසැකකමක් ඇති කරගන්න ඒ අය අපිට උදව්වක්. (යාකො. 5:11) ඒ කීපදෙනෙක් ගැන බලමු. [1]

12. කෙරුබ්වරුන්ගෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවද?

12 කෙරුබ්වරු කියන්නේ ස්වර්ගයේ විශේෂ පැවරුමක් කරන දේවදූත කණ්ඩායමක්. ආදම් සහ ඒව දෙවිට අකීකරු වුණාම යෙහෝවා දෙවි කෙරුබ්වරුන් කීපදෙනෙක්ට අලුත් පැවරුමක් දුන්නා. දෙවි “ජීවන වෘක්ෂයට යන මඟ මුර කරන පිණිස ඒදන් උයනේ නැඟෙනහිර පැත්තට වෙන්න කෙරුබ්වරුන්වද දැවෙමින් නොනැවතී කරකැවෙන කඩුවක්ද තැබුවේය.” [2] (උත්. 3:24) ඒක ඒ අය ස්වර්ගයේ කරකර හිටපු පැවරුමට වඩා හුඟක් වෙනස් එකක් වුණත් ඒ ගැන කන්කෙඳිරි ගෑවෙවත් ‘ඒක අපිට ගැළපෙන්නේ නැහැ’ කියලා හිතුවෙවත් නැහැ. පැවරුමෙන් වෙහෙසට පත් වෙලා ඒක අත්හැරලා දැම්මෙත් නැහැ. ඒ වෙනුවට භාර දීපු කාර්යය අවසන් වෙන කල්ම ඒක විශ්වාසවන්තව කළා. සමහරවිට ජලගැල්ම එන කල්ම අවුරුදු 1,600කට වඩා වැඩි කාලයක් එයාලා ඒ පැවරුම කරන්න ඇති. මොන තරම් අමාරු පැවරුමක් ලැබුණත් විඳදරාගෙන දිගටම ඒක කරන්න කෙරුබ්වරුන්ගේ ආදර්ශය අපිට උදව්වක්.

13. විඳදරාගන්න යෝබ්ට පුළුවන් වුණේ කොහොමද?

13 යාළුවෙක්, පවුලේ කෙනෙක් කියපු දෙයක් නිසා ඔයාගේ හිත රිදිලද? බරපතළ අසනීපයක් නිසා ඔයා දුක් විඳිනවද? කිට්ටු කෙනෙක්ගේ මරණය නිසා ඔයා ඉන්නේ දුකෙන්ද? එහෙමනම් යෝබ්ගේ ආදර්ශය ඔයාට සහනයක් වෙයි. (යෝබ් 1:18, 19; 2:7, 9; 19:1-3) එකපාරටම දුක් කරදර ගොඩක් ආවේ ඇයි කියලා යෝබ් දැනගෙන හිටියේ නැහැ. ඒත් එයා දිගටම විඳදරාගත්තා. ඒකට එයාට උදව් වුණේ යෙහෝවා දෙවිට තිබුණු ආදරේ. දෙවිට දුකක් දෙන්න තිබුණු අකමැත්ත. (යෝබ් 1:1) සතුටින් ඉන්න කාලවලදී වගේම දුක්බර කාලවලදීත් දෙවිව සතුටු කරන්නයි එයාට ඕන වුණේ. පීඩා අද්දකිමින් හිටපු යෝබ්ට දෙවි ඔහුගේ පුදුමාකාර නිර්මාණ ගැන කියලා දීලා ඔහුගේ බලය දකින්න උදව් කළා. තමන් විඳින පීඩා නියමිත කාලෙදී දෙවි අවසන් කරනවා කියලා යෝබ්ට තිබුණු නිසැකකම ඒකෙන් වැඩි වුණා. (යෝබ් 42:1, 2) බයිබලේ කියන්නේ “ඔහු අද්දකිමින් සිටි සියලු දුක් පීඩාවලින් යෙහෝවා දෙවි ඔහුව නිදහස් කළා. යෝබ්ට අහිමි වී තිබූ සියලු ධන සම්පත්වලට වඩා දෙගුණයකින් දෙවි ඔහුට ආශීර්වාද කළා” කියලයි. එයා “තෘප්තිමත් ජීවිතයක් ගත කර මහලු වියේදී මිය ගියා.”—යෝබ් 42:10, 17.

14. 2 කොරින්ති 1:6 කියන විදිහට පාවුල්ගේ ආදර්ශය අනිත් අයට උදව් වුණේ කොහොමද?

14 ඔයා දරුණු විරුද්ධවාදිකම්වලට මුහුණ දෙන කෙනෙක්ද? නැත්නම් හුඟක් වගකීම් පැවරිලා තියෙන වැඩිමහල්ලෙක්, චාරිකා සේවකයෙක්ද? එහෙමනම් පාවුල්ගේ ආදර්ශය ඔයාට උදව් වෙයි. පාවුල් දරුණු පීඩා රැසකට මුහුණ දුන්නා. සභාවල අය ගැනත් එයාගේ හිතේ ලොකු බරක් තිබුණා. (2 කොරි. 11:23-29) ඒත් පාවුල් විඳදරාගෙන දිගටම සේවය කරපු නිසා එයාගේ ආදර්ශය අනිත් අයට ලොකු ශක්තියක් වුණා. (2 කොරින්ති 1:6 කියවන්න.) ඔයාත් විඳදරාගන්නවා නම් අනිත් අයට ඔයා ශක්තියක් වෙයි.

විඳදරාගැනීමෙන් ඉටු වෙන කාර්යය

15, 16. (අ) විඳදරාගැනීමෙන් ඉටු වෙන කාර්යය මොකක්ද? (ආ) විඳදරාගැනීමෙන් ඉටු වෙන කාර්යය සම්පූර්ණ කරන්න ඉඩ දෙන්න පුළුවන් කොහොමද? උදාහරණ දෙන්න.

15 යාකොබ් මෙහෙම කිව්වා. “විඳදරාගැනීමෙන් ඉතා වැදගත් කාර්යයක් ඉටු වෙයි. එයින් ඔබට සෑම පැත්තකින්ම අඩුපාඩුවක් නැති, නිර්දෝෂ, අවබෝධයෙන් ක්‍රියා කරන කෙනෙකු බවට පත් විය හැක.” (යාකො. 1:4) විඳදරාගැනීමෙන් වැදගත් කාර්යයක් ඉටු වෙන්නේ කොහොමද? අපේ පෞද්ගලිකත්වයේ තව හදාගන්න ඕනෙ පැති මොනවද කියලා අපිට තේරෙන්නේ පීඩාවක් විඳිද්දී. සමහරවිට ඉවසීම, දේවල් ගැන තියෙන අගය, ආදරේ තව වැඩි කරගන්න ඕනෙ කියලා අපිට තේරෙයි. පීඩා විඳදරාගන්න තරමට යේසුස් වගේ හිතන්න, වැඩ කරන්න අපි පුහුණු වෙනවා. විඳදරාගැනීමෙන් ඉටු වෙන වැදගත් කාර්යය ඒකයි.

විඳදරාගද්දී යේසුස් වගේ හිතන්න, වැඩ කරන්න අපිත් පුහුණු වෙනවා (15 සහ 16 ඡේද බලන්න)

16 ඒ නිසා විශ්වාසය සෝදිසියට ලක් වෙන අවස්ථාවලදී ඒක ඉක්මනින් ඉවරයක් කරගන්න අරමුණින් දෙවිගේ නීති කඩන්න එපා. උදාහරණෙකට මනසට නිතරම කාමුක සිතුවිලි එනවා නම් ඒවාට අහු වෙන්න එපා. ඒවා මනසින් ඉවත් කරගන්න දෙවිගෙන් උදව් ඉල්ලන්න. දෙවිට සේවය කරන්න එපා කියලා පවුලේ කෙනෙක්ගෙන් ඔයාට විරුද්ධවාදිකම් එනවා නම් අධෛර්යය වෙලා දෙවිට සේවය කරන එක නවත්තන්න එපා. විඳදරාගන්නවා නම් යෙහෝවා දෙවි ගැන තියෙන විශ්වාසය තව වැඩි වෙයි. දෙවිගේ අනුමැතිය ලබාගන්න නම් අපි අනිවාර්යයෙන්ම විඳදරාගන්න ඕනේ.—රෝම 5:3-5; යාකො. 1:12.

17, 18. (අ) අවසානය දක්වාම විඳදරාගන්න එකේ වැදගත්කම පැහැදිලි කරන්න. (ආ) අපිට තියෙන නිසැකකම මොකක්ද?

17 අපි විඳදරාගන්න ඕනෙ යම් කාලෙකට විතරක් නෙමෙයි, අවසානය දක්වාම. ගිලෙන නැවක ඉන්න අය ජීවිතේ බේරගන්න නම් වෙරළකට එන කල්ම පීනන්න ඕනේ. පීනන්න පටන්ගත්ත ගමන්ම ඒක අත්හැරලා දාන කෙනා වගේම ගොඩබිම පේන තෙක් මානෙට පීනලා ඉතුරු ටික බැහැ කියලා අත්හැරලා දාන කෙනාත් ගිලෙනවා. පාරාදීසයේ ජීවත් වෙන්න නම් අපිත් අවසානය දක්වාම විඳදරාගන්න ඕනේ. “අපේ උත්සාහය අත් නොහැරීමට” අපිත් අදිටන් කරගමු.—2 කොරි. 4:1, 16.

18 අවසානය දක්වාම විඳදරාගන්න පාවුල්ට වගේ දෙවි අපිටත් උදව් කරනවා කියලා නිසැකයි. පාවුල් මෙහෙම කිව්වා. “සියල්ලේදීම අපට ප්‍රේම කළ තැනැත්තා මාර්ගයෙන් අපට සම්පූර්ණ ජයක් ලැබෙන බව නිසැකයි. මන්ද මට එක දෙයක් ගැන සම්පූර්ණ විශ්වාසයක් ඇත. එනම් මරණයටවත් මේ ජීවිතයටවත් දේවදූතයන්ටවත් ආණ්ඩුවලටවත් දැන් සිදු වන දේවලටවත් ඉදිරියේදී සිදු වීමට තිබෙන දේවලටවත් කුමන බලවේගයකටවත්, උසස් දෙයකටවත් පහත් දෙයකටවත් සාදා ඇති වෙනත් කිසි දෙයකටවත් අපගේ ස්වාමීන් වන ක්‍රිස්තුස් යේසුස් මාර්ගයෙන් ප්‍රකාශ වන දෙවිගේ ප්‍රේමයෙන් අපව වෙන් කළ නොහැකි බවයි.” (රෝම 8:37-39) මේ සටන කරද්දී අපිටත් ඉඳලා හිටලා වෙහෙසක් දැනෙයි. ඒ වෙලාවට ගිඩියොන් ඇතුළු පිරිසව මතක් කරගමු. ලොකු වෙහෙසක් දැනුණත් සටන අත්හරින්නේ නැතුව එයාලා “දිගටම සතුරන්ව ලුහුබැඳ ගියා.”—විනි. 8:4.

^ [1] (11 ඡේදය) මෑත කාලවලදී පීඩාවලට මුහුණ දීපු අයගේ අද්දැකීමුත් ඔයාට දිරිගැන්වීමක් වෙයි. මලාවි සහ රුසියාවේ සහෝදරයන් ගැන දැනගන්න 2015 අප්‍රියෙල් 15 ‘මුරටැඹ’ කලාපයේ 14-18 පි. සහ 2011 මැයි 1 ‘මුරටැඹ’ කලාපයේ 18-21 පි. බලන්න.

^ [2] (12 ඡේදය) ඒ පැවරුම කෙරුබ්වරුන් කීදෙනෙක්ට දුන්නද කියලා බයිබලේ කියන්නේ නැහැ.