Skip to content

පටුනට යන්න

විශ්වාසවන්ත අයට දෙවිගේ අනුමැතිය ලැබෙයි

විශ්වාසවන්ත අයට දෙවිගේ අනුමැතිය ලැබෙයි

“විශ්වාසයකින් හා ඉවසීමකින් කටයුතු කර පොරොන්දු වූ දේවල ඉටු වීම අද්දකින අයව අනුකරණය කරන්න.”—හෙබ්‍රෙ. 6:12.

ගීතිකා: 86, 54

1, 2. යෙප්තාත් එයාගේ දුවත් මුහුණ දුන්නේ මොන වගේ අභියෝගයකටද?

සටනට ගිය තාත්තා ඒ සටනින් ජය අරන් එනවා ඈත තියා දකින දුව ගී ගයමින්, නටමින් තාත්තාව පිළිගන්න එනවා. ඒත් දුවව දැකලා සතුටු වෙනවා වෙනුවට තාත්තා ඇඳුම් ඉරාගෙන හඬා වැලපෙමින් “අනේ මගේ දුවේ! මට දැනෙන මේ දුක විස්තර කරන්න මට වචන නැහැ” කියලා කියනවා. තමන් යෙහෝවා දෙවිට පොරොන්දුවක් වුණා කියලා එයා දුවට කියනවා. ඒ පොරොන්දුව නිසා දුවගේ මුළු ජීවිතේම වෙනස් වෙනවා කියලත් දුවට කවදාවත් විවාහ වෙන්න, දරුවන් හදන්න බැරි වෙනවා කියලත් එයා දැනගෙන හිටියා. ඒත් දුව දුන්න උත්තරේ නිසා ලොකු සතුටක්, දිරියක් තාත්තාට දැනෙනවා. දෙවි තමන්ගෙන් ඉල්ලන ඕනෑම දෙයක් තමන්ගේ යහපතට හේතු වෙනවා කියන නොසැලෙන විශ්වාසය දුවට තියෙනවා කියලා එයාගේ උත්තරෙන් පැහැදිලියි. (විනි. 11:34-37) දුවගේ විශ්වාසය දැක්කම තාත්තාට දැනෙන්නේ ලොකු ආඩම්බරයක්. දුව ගැන යෙහෝවා දෙවි සතුටු වෙනවා කියලා එයා දැනගෙන හිටියා.

2 අපි ඒ කතා කළේ යෙප්තා සහ එයාගේ දුව ගැනයි. ඒ දෙන්නට යෙහෝවා දෙවි ගැන තිබුණේ පුදුම විශ්වාසයක්. අසීරු අවස්ථාවලදීත් ඒ දෙන්නා දෙවිට විශ්වාසවන්තව හිටියා. තමන් කරන ඕනෑම කැප කිරීමකටම වඩා දෙවිගේ අනුමැතිය දිනාගන්න එක වටිනවා කියන නිසැකකම ඒ තාත්තාටත් දුවටත් තිබුණා.

3. යෙප්තාගෙත් දුවගෙත් ආදර්ශ අපිට උදව් වෙන්නේ කොහොමද?

3 දෙවිට විශ්වාසවන්තව ඉන්න එක හැම වෙලේම ලේසි නැහැ. අපි “විශ්වාස කරන සියල්ලට ඇලී සිටීම සඳහා මහත් සටනක්” කරන්න අපිට සිද්ධ වෙනවා. (යූද් 3) යෙප්තාගෙත් එයාගේ දුවගෙත් ආදර්ශ ඒක කරන්න අපිට ලොකු උදව්වක්. මොන අභියෝග ආවත් එයාලා දිගටම දෙවිට විශ්වාසවන්තව හිටියේ කොහොමද කියලා අපි බලමු.

ලෝකයේ බලපෑමට හසු නොවී විශ්වාසවන්තව ඉමු

4, 5. (අ) පොරොන්දු දේශයට ඇතුල් වෙද්දී දෙවි ඊශ්‍රායෙල්වරුන්ට දුන්න ආඥාව මොකක්ද? (ආ) ගීතාවලිය 106 සඳහන් විදිහට ඊශ්‍රායෙල්වරුන්ගේ අකීකරුකම නිසා එයාලට සිදු වුණේ මොනවද?

4 තමන් අවට සිද්ධ වෙන දේවල් යෙප්තාටත් එයාගේ දුවටත් හැමදාම මතක් කළේ යෙහෝවා දෙවිට අකීකරු වීමෙන් මොන තරම් කටුක දේවල් අද්දකින්න වෙනවද කියන පාඩමයි. පොරොන්දු දේශයේ ජීවත් වුණු, බොරු දෙවිවරුන්ට නමස්කාර කරපු හැමෝවම විනාශ කරන්න කියලා අවුරුදු 300කට විතර කලින් දෙවි ඊශ්‍රායෙල්වරුන්ට ආඥාවක් දුන්නා. ඒත් එයාලා දෙවිට අකීකරු වුණා. (ද්වි. 7:1-4) ප්‍රතිඵලයක් විදිහට ඊශ්‍රායෙල්වරු හුඟදෙනෙක් කානානිවරුන් වගේ බොරු දෙවිවරුන්ට නමස්කාර කරන්නත් අනාචාර ජීවිත ගත කරන්නත් පටන්ගත්තා.—ගීතාවලිය 106:34-39 කියවන්න.

5 ඊශ්‍රායෙල්වරුන්ගේ අකීකරුකම නිසා දෙවි තවදුරටත් එයාලව සතුරු ජාතීන්ගෙන් ආරක්ෂා කළේ නැහැ. (විනි. 2:1-3, 11-15; ගීතා. 106:40-43) යෙහෝවා දෙවිට ආදරේ කරපු අයට දිගටම දෙවිට විශ්වාසවන්තව ඉන්න එක ඒ කාලේ හුඟක් අමාරු වෙන්න ඇති. ඒත් යෙප්තා, එයාගේ දුව, එල්කානා, හන්නා, සාමුවෙල් වගේ අය ඒ අමාරු කාලෙදීත් දෙවිට විශ්වාසවන්තව හිටියා. එයාලට ඕන වුණේ දෙවිව සතුටු කරන්නයි.—1 සාමු. 1:20-28; 2:26.

6. අපිට ලෝකෙන් එන බලපෑම් මොනවද? ඒ ගැන අපි මොනවද කරන්න ඕනේ?

6 අපේ කාලේ ඉන්න මිනිසුන් හිතන්නේ, හැසිරෙන්නේ කානානිවරුන් වගේමයි. එයාලා ජීවිතේ මුල් තැන දීලා තියෙන්නේ සැහැසියාව, මුදල් සහ ලිංගික දේවලට. ඒත් යෙහෝවා දෙවි අපිට අනතුරු ඇඟවීම් දීලා තියෙනවා. එදා දෙවිට ඕන වුණේ වෙනත් ජාතීන්ගේ නරක බලපෑම්වලින් ඊශ්‍රායෙල්වරුන්ව ආරක්ෂා කරන්නයි. අදත් දෙවිට ඕනෙ අපිව ආරක්ෂා කරන්නයි. ඊශ්‍රායෙල්වරුගේ වැරදිවලින් අපි පාඩම් ඉගෙනගන්නවද? (1 කොරි. 10:6-11) දුෂ්ට සමාජයේ මිනිසුන්ගේ ආකල්පවලට හසු නොවී ඉන්න අපි උපරිමය කරනවද?—රෝම 12:2.

අධෛර්යය වීම් මැද යෙප්තා විශ්වාසවන්තව හිටියා

7. (අ) යෙප්තාට තමන්ගේම අය සැලකුවේ කොහොමද? (ආ) යෙප්තා ඒවාට මුහුණ දුන්නේ කොහොමද?

7 යෙහෝවා දෙවිට අකීකරු වුණු නිසා යෙප්තාගේ කාලේ වෙද්දී ඊශ්‍රායෙල්වරු පිලිස්තිවරුන්ගෙත් අම්මොන්වරුන්ගෙත් හිංසා පීඩාවලට ලක් වුණා. (විනි. 10:7, 8) ඊට අමතරව යෙප්තාට එයාගේම සහෝදරයන්ගෙන්, දේශයේ නායකයන්ගෙන් විවිධ තාඩන පීඩන ආවා. එයාලට යෙප්තා ගැන තිබුණු ඊර්ෂ්‍යාව, වෛරය නිසා එයාගේ උරුමය නොදී එයාව පන්නලා දැම්මා. (විනි. 11:1-3) එච්චර කුරිරු විදිහට සැලකුවත් යෙප්තා ඒ ගැන වෛරයක් හිතේ තියාගත්තේ නැහැ. කොහොමද අපි ඒක දන්නේ? දේශයේ වැඩිමහල්ලන් එයාගෙන් උදව් ඉල්ලපු වෙලාවේ එයා කැමැත්තෙන්ම උදව් කරන්න ආවා. (විනි. 11:4-11) එහෙම කරන්න යෙප්තා පෙලඹුණේ ඇයි?

8, 9. (අ) හරි විදිහට හිතන්න යෙප්තාට උදව් වුණේ නීතියේ තිබුණු මොන ප්‍රතිපත්තිද? (ආ) යෙප්තාට වැදගත් වුණේ මොකක්ද?

8 යෙප්තා දක්ෂ සටන්කරුවෙක්. ඒ විතරක් නෙමෙයි ඊශ්‍රායෙල්වරුන්ගේ ඉතිහාසය ගැනත් මෝසෙස්ට දුන්න නීතිය ගැනත් හොඳ දැනුමක් එයාට තිබුණා. දෙවි ඊශ්‍රායෙල්වරුන් එක්ක වැඩ කරපු විදිහෙන් දෙවි කැමති, අකමැති දේවල් යෙප්තා තේරුම්ගත්තා. (විනි. 11:12-27) යෙහෝවා දෙවි කැමති විදිහේ කෙනෙක් වෙන්න එයා ඒ දැනුම පාවිච්චි කළා. කේන්තිය, පළිගැනීම ගැන දෙවිට හැඟෙන විදිහ එයා දැනගෙන හිටියා. දෙවි කැමති ඔහුගේ සෙනඟ එකිනෙකාට ආදරෙන් සලකනවටයි කියලත් එයා දැනගෙන හිටියා. තමන්ට වෛර කරන අයට වුණත් සලකන්න ඕනෙ කොහොමද කියලා නීතියෙන් එයා ඉගෙනගත්තා.—නික්මයාම 23:5; ලෙවී කතාව 19:17, 18 කියවන්න.

9 සහෝදරයන් තමන්ට වෛර කළත් එයාලට දයාව පෙන්නපු යෝසෙප්ගේ ආදර්ශයත් යෙප්තාට උදව් වෙන්න ඇති. (උත්. 37:4; 45:4, 5) ඒ වගේ ආදර්ශ ගැන යෙප්තා හොඳට හිතුවා. යෙහෝවා දෙවි සතුටු වෙන විදිහට වැඩ කරන්න එයාට පුළුවන් වුණේ ඒ නිසයි. සහෝදරයන් සලකපු විදිහ නිසා යෙප්තාගේ හිත පෑරෙන්න ඇති. ඒත් තමන්ගේ හැඟීම්වලට වඩා දෙවිගේ නාමය, ඔහුගේ සෙනඟ වෙනුවෙන් සටන් කරන එකයි වැදගත් කියලා යෙප්තා තේරුම්ගත්තා. (විනි. 11:9) එයාට ඕන වුණේ දෙවිට විශ්වාසවන්තව ඉන්නයි. දෙවිගේ කැමැත්තට මුල් තැන දීලා වැඩ කරපු නිසා යෙප්තාටත් ඊශ්‍රායෙල්වරුන්ටත් දෙවිගේ ආශීර්වාද ලැබුණා.—හෙබ්‍රෙ. 11:32, 33.

10. යේසුස්ගේ අනුගාමිකයෙක් වෙන්න අපිට උදව් කරන්න දෙවිගේ ප්‍රතිපත්තිවලට පුළුවන් කොහොමද?

10 අපි යෙප්තාගේ ආදර්ශය හිතට ගන්නවද? සභාවේ සහෝදරයෙක් ඔයාගේ හිත රිද්දුවොත් නැත්නම් ඔයාට ආදරෙන් සලකන්නේ නැහැ කියලා හැඟුණොත් ඔයා මොකද කරන්නේ? හිතට දුකක් දැනුණත් රැස්වීම් යන එකවත් සභාවේ අයව ඇසුරු කරන එකවත් නවත්තන්න එපා. යෙප්තාව ආදර්ශයට අරන් දිගටම දෙවිට කීකරු වෙන්න. අමාරු තත්වයන්ට මුහුණ දෙද්දීත් දෙවිගේ ප්‍රතිපත්ති අදාළ කරගන්නවා නම් යෙප්තා වගේ හොඳ ආදර්ශයක් වෙන්න ඔයාටත් පුළුවන්.—රෝම 12:20, 21; කොලො. 3:13.

විශ්වාසවන්ත අය කැමැත්තෙන්ම කැප කිරීම් කරනවා

11, 12. යෙප්තා වුණු පොරොන්දුව මොකක්ද? ඒකට ඇතුළත් වුණේ මොනවද?

11 ඊශ්‍රායෙල්වරුන්ව අම්මොන්වරුන්ගෙන් බේරගන්න නම් යෙහෝවා දෙවිගේ උදව් තමන්ට අත්‍යවශ්‍යයි කියලා යෙප්තා දැනගෙන හිටියා. ඒ නිසා එයා දෙවිට පොරොන්දුවක් වුණා. සටනින් ජය අත් කරලා දුන්නොත් ආපහු ගෙදර එද්දී එයාව හම්බ වෙන්න එන මුල්ම කෙනාව පූජාවක් විදිහට ඔප්පු කරනවා කියලා එයා දෙවිට පොරොන්දු වුණා. ඒක “දවන පූජාවක්.” (විනි. 11:30, 31) යෙප්තා ඒකෙන් අදහස් කළේ මොකක්ද?

12 මිනිසුන්ව ගින්නෙන් පූජා කරන එක යෙහෝවා දෙවිට පිළිකුල්. ඒ නිසා යෙප්තා අදහස් කළේ ඒ වගේ දෙයක් වෙන්න බැහැ. (ද්වි. 18:9, 10) නීතියට අනුව දවන පූජාවක් කියන්නේ කෙනෙක් යෙහෝවා දෙවිට දෙන විශේෂ තෑග්ගක්. ඒ පූජාව සම්පූර්ණයෙන්ම ඔප්පු කරන්නේ යෙහෝවා දෙවිටයි. යෙප්තාගේ පොරොන්දුවෙන් අදහස් කළේ තමන්ව හමු වෙන්න එන කෙනාව එයාගේ ජීවිතේ තියෙන තුරා ශුද්ධ කූඩාරමේ සේවය කරන්න භාර දෙනවා කියන එකයි. දෙවි යෙප්තාට සවන් දීලා සටනින් සම්පූර්ණ ජය අත් කරලා දුන්නා. (විනි. 11:32, 33) ඒත් යෙප්තා දෙවිට දෙන්නේ කාවද?

13, 14. විනිශ්චයකරුවෝ 11:35 සඳහන් දෙයින් යෙප්තාගේ විශ්වාසය ගැන පැහැදිලි වෙන්නේ මොකක්ද?

13 මේ ලිපියේ ආරම්භයේ සඳහන් සිද්ධිය මතක් කරගන්න. සටනින් ජය අරන් එද්දී යෙප්තාව හම්බ වෙන්න මුලින්ම එන්නේ එයා හුඟක් ආදරේ කරපු එයාගේ දුවයි. යෙප්තාට හිටපු එකම දරුවා එයායි. වුණු පොරොන්දුව ඒ විදිහටම රකින්න දැන් යෙප්තාට පුළුවන් වෙයිද? දිවි ඇති තුරා ශුද්ධ කූඩාරමේ දෙවිට සේවය කරන්න යෙප්තා දුවව භාර දෙයිද?

14 මේ වතාවේදීත් හරි තීරණයක් ගන්න යෙප්තාට උදව් වෙන්න ඇත්තේ නීතියේ සඳහන් ප්‍රතිපත්තියි. හොඳම දේ දෙවිට දෙන්න කියලා නික්මයාම 23:19 තියෙන ප්‍රතිපත්තිය සමහරවිට එයාට මතක් වෙන්න ඇති. ඒ වගේම කෙනෙක් පොරොන්දුවක් වුණොත් ‘ඔහු එම භාරය නැත්නම් පොරොන්දුව කඩ නොකළ යුතුයි. ඔහු තමා පැවසූ ලෙස සියල්ල ඉටු කළ යුතුයි’ කියන නීතියත් එයා දැනගෙන ඉන්න ඇති. (ගණන්. 30:2) බොහෝදුරට හන්නා ජීවත් වුණේ යෙප්තා ජීවත් වුණු කාලෙම වෙන්න ඇති. හන්නා කළා වගේ යෙප්තාත් වුණු පොරොන්දුව ඒ විදිහටම රැක්කා. ඒක එයාගෙත් දුවගෙත් ජීවිතවලට ලොකු බලපෑමක් කරනවා කියලා දැනගෙන හිටියත් එයා ඒ පොරොන්දුව රැක්කා. ශුද්ධ කූඩාරමේ සේවය කරද්දී යෙප්තාගේ දුවට කවදාවත් දරුවන් හදන්න ලැබෙන්නේ නැහැ. ඒ කියන්නේ යෙප්තාගේ නම ගෙනි යන්න, ඉඩකඩම් උරුම කරගන්න කවුරුත් නැතුව යනවා කියන එකයි. (විනි. 11:34) ඒ වුණත් යෙප්තා කිව්වේ “මම දුන් ඒ පොරොන්දුව කඩ කරන්න නම් මට කොහොමටවත් බැහැ” කියලයි. (විනි. 11:35) යෙප්තා කරපු කැප කිරීම ගැන සතුටු වුණු දෙවි එයාට ආශීර්වාද කළා. ඒ වගේ දෙයක් ඔයාට කරන්න වුණා නම් යෙප්තා වගේ ඔයාත් දෙවිට වුණු පොරොන්දුව රකිනවද?

15. අපි දෙවිට වෙලා තියෙන පොරොන්දුව මොකක්ද? ඒ පොරොන්දුව රකින්න පුළුවන් කොහොමද?

15 අපේ ජීවිතේ දෙවිට කැප කරද්දී අපිත් පොරොන්දුවක් වුණා. ඒ තමයි මොන දේ වුණත් දෙවි කැමති දේ කරනවා කියන එක. ඒ පොරොන්දුව රකින එක හැම වෙලේම ලේසි නැහැ කියලත් අපි දැනගෙන හිටියා. හිතන්න, ඔයා ආස නැති පැවරුමක් ලැබුණා කියලා. ඔයා මොකද කරන්නේ? හිතේ තියෙන බිය නැති කරගෙන කැමැත්තෙන්ම දෙවිට කීකරු වුණොත් ඔයා පෙන්නන්නේ වුණු පොරොන්දුව ඔයා රකිනවා කියලයි. අපිට කරන්න වෙන සමහර කැප කිරීම් වේදනාකාරී ඒවා වෙන්න පුළුවන්. ඒත් දෙවිගෙන් ලැබෙන ආශීර්වාද ඊට වඩා සියදහස් ගුණයකින් වැඩියි. (මලා. 3:10) ඒ පොරොන්දුව ගැන දුවට හැඟුණේ කොහොමද?

යෙප්තා සහ එයාගේ දුව වගේ කැප කිරීම් කරන්න ඔයාත් ලෑස්තිද? (16 සහ 17 ඡේද බලන්න)

16. තාත්තා වුණු පොරොන්දුව ගැන යෙප්තාගේ දුවට හැඟුණේ කොහොමද? (ලිපියේ මුල් පින්තූරය බලන්න.)

16 යෙප්තා වුණු පොරොන්දුව හන්නා වුණු පොරොන්දුවට වඩා වෙනස්. හන්නා පොරොන්දු වුණේ එයාගේ පුතාව නසරීතවරයෙක් විදිහට ශුද්ධ කූඩාරමේ සේවය කරන්න භාර දෙනවා කියලයි. (1 සාමු. 1:11) නසරීතවරයෙක්ට විවාහ වෙන්න, දරුවන් හදන්න තහනමක් තිබුණේ නැහැ. ඒත් යෙප්තාගේ දුවව දෙවිට භාර දුන්නේ “දවන පූජාවක්” විදිහටයි. ඒ නිසා බිරිඳක්, මවක් වෙන්න කවදාවත් එයාට ලැබෙන්නේ නැහැ. (විනි. 11:37-40) ටිකක් හිතන්න, එයාගේ තාත්තා ඊශ්‍රායෙල් දේශයේ නායකයෙක්. ඒ නිසා දේශයේ හිටපු දක්ෂම, කඩවසම්ම කෙනා එක්ක විවාහ වෙන්න එයාට අවස්ථාව තිබුණා. ඒත් දැන් එයාට සිද්ධ වෙනවා දිගටම ශුද්ධ කූඩාරමේ ඉඳන් දෙවිට සේවය කරන්න. එයා ඒ පැවරුම සතුටින් භාරගත්තා. එයා ජීවිතේ මුල් තැන දුන්නේ දෙවිටයි කියන දේ එයා කියපු මේ දෙයින් පැහැදිලියි. “ඒ පොරොන්දුව ඉටු කරන්න මම කැමතියි.” (විනි. 11:36) විවාහ වෙන්න, දරු සුරතල් බලන්න එයාත් ආසාවෙන් ඉන්න ඇති. ඒත් යෙහෝවා දෙවිගේ සේවය වෙනුවෙන් එයා ඒ හැම දේම කැප කළා. එයාව ආදර්ශයට ගන්න අපිට පුළුවන් කොහොමද?

17. (අ) යෙප්තාගෙත් දුවගෙත් විශ්වාසය ආදර්ශයට ගන්න අපිට පුළුවන් කොහොමද? (ආ) කැප කිරීම් කරන්න හෙබ්‍රෙව් 6:10-12 සඳහන් දේ අපිට උදව් වෙන්නේ කොහොමද?

17 දෙවිගේ සෙනඟ අතරේ ඉන්න දහස් ගණන් තරුණ අය දෙවිට වැඩි සේවයක් කරන්න තියෙන ආසාව නිසා මේ කාලේ විවාහ නොවී ඉන්න, දරුවෝ හදන්නේ නැතුව ඉන්න තීරණය කරලා තියෙනවා. එයාලා ඒ කැප කිරීම් කරන්නේ හරිම සතුටින්. අපි අතරේ ඉන්න හුඟක් වැඩිහිටි අයත් තමන්ගේ දරුමුනුපුරන් එක්ක ගත කරන්න තියෙන කාලය යෙහෝවා දෙවි වෙනුවෙන් කැප කරනවා. ඉදි කිරීම් ව්‍යපෘතිවලට හවුල් වෙන්න, ශුභාරංචිය ප්‍රකාශ කරන්නන්ගේ පාසැලට හවුල් වෙලා ප්‍රචාරකයන් අඩු සභාවලට ගිහින් සේවය කරන්න එයාලා හුඟක් කැප කිරීම් කරනවා. සමහරු සිහි කිරීමේ කාලෙදී වැඩියෙන් දෙවිට සේවය කරන්න කැප කිරීම් කරනවා. එයාලා කරන ඒ කැප කිරීම් යෙහෝවා දෙවි කවදාවත් අමතක කරන්නේ නැහැ. (හෙබ්‍රෙව් 6:10-12 කියවන්න.) දෙවිට තව වැඩියෙන් සේවය කරන්න කැප කිරීම් කරන්න ඔයාටත් පුළුවන්ද?

අපි ඉගෙනගත්තේ මොනවද?

18, 19. යෙප්තා සහ එයාගේ දුවගෙන් අපි ඉගෙනගත්තේ මොනවද? එයාලව ආදර්ශයට ගන්න අපිට පුළුවන් කොහොමද?

18 අභියෝග ජය ගන්න යෙප්තාට පුළුවන් වුණේ තීරණ ගන්න වෙද්දී ඒ හැම තීරණයක්ම දෙවිගේ මඟ පෙන්වීම්වලට අනුව ගත්ත නිසයි. ඒකට බලපෑම් කරන්න තමන් අවට හිටපු කිසිම කෙනෙක්ට එයා ඉඩ දුන්නේ නැහැ. අනිත් අය තමන්ව රිද්දුවත් එයා දිගටම දෙවිට විශ්වාසවන්තව හිටියා. යෙප්තාත් දුවත් කරපු කැප කිරීම්වලට යෙහෝවා දෙවි ඒ දෙන්නට හුඟක් ආශීර්වාද කළා. ඒ වගේම දේශයේ සැබෑ නමස්කාරය ව්‍යාප්ත කරන්නත් දෙවි ඒ දෙන්නව යොදාගත්තා. හුඟක් අය දෙවිට අකීකරු වුණත් ඒ දෙන්නා නම් දිගටම දෙවිට විශ්වාසවන්තව සේවය කළා.

19 බයිබලේ කියන්නේ “විශ්වාසයකින් හා ඉවසීමකින් කටයුතු කර පොරොන්දු වූ දේවල ඉටු වීම අද්දකින අයව අනුකරණය කරන්න” කියලයි. (හෙබ්‍රෙ. 6:12) අපිත් යෙප්තාව සහ එයාගේ දුවව ආදර්ශයට ගමු. දිගටම විශ්වාසවන්තව ඉන්නවා නම් දෙවි අපිට ආශීර්වාද කරනවා නිසැකයි.