Skip to content

පටුනට යන්න

සිතින් මවාගන්න තියෙන හැකියාව ඥානවන්තව පාවිච්චි කරන්න

සිතින් මවාගන්න තියෙන හැකියාව ඥානවන්තව පාවිච්චි කරන්න

විශ්වයේ මෙතෙක් සොයාගෙන තියෙන සංකීර්ණම දේ මොකක්ද කියලා ඔයා දන්නවද? ඒ මිනිස් මොළයයි. ඒකේ බර කි.ග්‍රෑ. 1.4ක් විතර වුණත් ඒකට තියෙන හැකියාව විස්මයජනකයි. ඒක ගැන ඉගෙනගන්න තරමට යෙහෝවා දෙවිගේ “පුදුමාකාර” නිර්මාණ ගැන අපිට තියෙන අගයත් තව වැඩි වෙනවා. (ගීතා. 139:14) මොළේට තියෙන හැකියාවන්වලින් එකක් ගැන දැන් බලමු. ඒ සිතින් මවාගැනීමේ හැකියාවයි.

සිතින් මවාගැනීමේ හැකියාව නිසා දැනටමත් අත්විඳලා නැති, දැකලා නැති දෙයක් ගැන පින්තූරයක් මවාගන්න අපිට පුළුවන්. අපි හැමෝම ඒ හැකියාව නිතරම වගේ පාවිච්චි කරනවා නේද? හිතන්න, ඔයා යන්න ආසාවෙන් ඉන්න තැනක් ගැන කියවනවා කියලා. නැත්නම් කවුරු හරි විස්තර කරනවා කියලා. එතකොට ඔයා මොනවද කරන්නේ? ගිහින් නැති වුණත් ඔයා ඒ තැන සිතින් මවාගන්නේ නැද්ද? අපිට දකින්න බැරි, අල්ලන්න බැරි, සවන් දෙන්න බැරි, ගඳ සුවඳ දැනෙන්නේ නැති, රස බලන්න බැරි ඕනෑම දෙයක් ගැන හිතද්දී අපි කරන්නේ ඒ ගැන සිතින් මවාගන්න එකයි.

දෙවි මිනිසුන්ව නිර්මාණය කළේ ඔහු හා සමාන ගතිලක්ෂණ ඇතුවයි. (උත්. 1:26, 27) ඒකෙන් තේරෙන්නේ අපිට වගේ යෙහෝවා දෙවිටත් දේවල් සිතින් මවාගැනීමේ හැකියාව තියෙනවා කියන එකයි. ඒ හැකියාව අපිට දුන්න එකෙන් දෙවි බලාපොරොත්තු වුණේ ඔහුගේ අරමුණ තේරුම්ගන්න අපි ඒ හැකියාව පාවිච්චි කරයි කියලා. (දේශ. 3:11) ඒක කරන්න සිතින් මවාගැනීමේ හැකියාව ඥානවන්තව පාවිච්චි කරන්න පුළුවන් විදි ගැනත් අපි වළකින්න ඕන දේවල් ගැනත් දැන් බලමු.

සිතින් මවාගන්න වැරදි දේවල්

(1) දවල් හීන දකින එක.

දේශනාකාරයා 3:1 කියන්නේ “සෑම දෙයකටම නියමිත කාලයක් ඇත” කියලයි. ඒ කියන්නේ දේවල් සිතින් මවාගන්න සුදුසු නැති අවස්ථාත් තියෙනවා කියන එකද? රැස්වීම්වලදී, පෞද්ගලික අධ්‍යයනය කරද්දී දවල් හීන දකිනවා නම් දේවල් සිතින් මවාගන්න තියෙන හැකියාව අපි හරි විදිහට පාවිච්චි කරනවා කියලා කියන්න පුළුවන්ද? සිතින් මවාගන්න දේවල් ගැන කල්පනාකාරී වෙන එකේ වැදගත්කම යේසුත් මතක් කළා. උදාහරණෙකට කාමුක දේවල් ගැන සිතින් මවාගන්න එකේ භයානකකම ඔහු පැහැදිලි කළා. (මතෙ. 5:28) යෙහෝවා දෙවි පිළිකුල් කරන දේවල් සිතින් මවාගන්න අපිත් පෙලඹෙන්න පුළුවන්. කාමුක දේවල් ගැන හීන මවනවා නම් ඒවා ඇත්තටම කරන්න ඔයා තුළ ආශාවක් ඇති වෙයි. ඔයායි යෙහෝවා දෙවියි අතරේ තියෙන බැඳීමට බාධාවක් වෙන කිසිම දෙයක් ගැන හිතන්නේ නැතුව ඉන්න අදිටන් කරගන්න.

(2) පොහොසත් වුණොත් සතුටින් ඉන්න පුළුවන් කියලා සිහින මවන එක.

ඇත්ත, ජීවත් වෙන්න මුදල් ඕනේ. ඒත් ඒකෙන් සැබෑ සතුට, සුරක්ෂිතභාවය ලැබෙයි කියලා කෙනෙක් සිහින මැව්වොත් එයාට ඉතුරු වෙන්නේ දුක විතරයි. සලමොන් කිව්වෙත් “ධනවතාගේ වස්තුව ඔහුට බලවත් නුවරක් මෙනි. ඔහු එය ආරක්ෂක පවුරක් සේ සලකයි” කියලා. (හිතෝ. 18:11) ඒකෙන් තේරෙන්නේ ධනවත් කෙනෙක් වස්තුව තමන්ට ආරක්ෂාවක් වෙයි කියලා හිතුවට ඒක ඇත්තටම සිහිනයක් විතරයි කියන එකයි. ඒක මේ උදාහරණෙනුත් පැහැදිලි වෙනවා. මහ වැසි නිසා 2009 සැප්තැම්බර් මාසේ පිලිපීනයේ මැනිලා නගරෙන් සීයට අසූවකටත් වැඩි ප්‍රමාණයක් ගංවතුරෙන් යට වුණා. හැම දෙයක්ම අහිමි වුණ පොහොසත් කෙනෙක් මෙහෙම කිව්වා. “මේ වගේ දෙයක් වෙද්දී දුප්පත් පොහොසත් කියලා භේදයක් නෑ. ඒක හැමෝටම එක විදිහට බලපෑවා.”

(3) දේවල් ගැන සිතින් මවාගෙන නිකරුණේ කනස්සලු වෙන එක.

කෙනෙක් හැම තිස්සෙම දේවල් ගැන ඕනෑවට වඩා කනස්සලු වෙනවා නම් එයා කරන්නේ සිතින් මවාගන්න තියෙන හැකියාව වැරදි විදිහට පාවිච්චි කරන එකයි. සිතින් මවාගත්ත ප්‍රශ්න ගැන කනස්සලු වෙද්දී අපේ ශක්තිය නිකරුණේ වැය වෙනවා. සමහරවිට අපි කනස්සලු වෙන්නේ නැති ප්‍රශ්නයක් ගැන වෙන්න ඇති. නැත්නම් කවදාවත් වෙන්නේ නැති දෙයක් ගැන වෙන්න ඇති. එහෙම කනස්සලු වෙන කෙනෙක් අධෛර්යයට පත් වෙන්න පුළුවන්. (හිතෝ. 12:25) හෙට දවසේ දේවල් ගැන ඕනෑවට වඩා “කනස්සලු” වෙන්න එපා කියලා යේසුස් දුන්න උපදෙස සිතට ගන්න එක කොච්චර වැදගත්ද!—මතෙ. 6:34.

සිතින් මවාගන්න පුළුවන් හොඳ දේවල්

(1) අනතුරු කල්තියා අඳුනගන්න එක.

බයිබලේ අපිට උනන්දු කරන්නේ ඉදිරිය ගැන හොඳට හිතලා බලන්න කියලයි. (හිතෝ. 22:3) අපේ තීරණ අපිට කොයි විදිහට බලපායිද කියලා තීරණයක් ගන්න කලින් සිතින් මවාගන්න අපිට පුළුවන්. උදාහරණෙකට සාදයකට එන්න කියලා ඔයාට ආරාධනයක් ලැබුණා කියලා හිතන්න. ඒකට යනවද නැද්ද කියලා තීරණය කරන්න ඒ අවස්ථාව සිතින් මවාගන්න එක ඔයාට උදව් වෙයි. ‘ඒකට ආරාධනා කරලා තියෙන්නේ කාටද? කීදෙනෙක් ඒකට එනවද? ඒක තියෙන්නේ කොහෙද? කවදද?’ ඒ තොරතුරු දැනගත්තට පස්සේ සිතින් මවාගැනීමේ හැකියාව පාවිච්චි කරලා මේ දේවල් ගැන හිතන්න. ‘එතන මොන වගේ දේවල් වෙයිද? බයිබල් ප්‍රතිපත්තිවලට අනුව ඒ සාදය පවත්වයි කියලා හිතන්න සාධාරණ හේතු තියෙනවද?’ ඒ විදිහට තීරණ ගන්න කලින් සිතින් මවාගැනීමේ හැකියාව ඔයා පාවිච්චි කරනවා නම් දෙවිත් එක්ක තියෙන බැඳීමට හානියක් වෙන්න පුළුවන් දේවලින් ආරක්ෂා වෙන්න ඔයාට පුළුවන්.

(2) ගැටලු විසඳගන්න පුළුවන් විදිවලට සූදානම් වෙන එක.

ප්‍රශ්නෙකට මුහුණ දෙන විදිහත් අපිට සිතින් මවාගන්න පුළුවන්. සභාවේ කෙනෙක් ඔයාව වරදවා වටහාගෙන තියෙනවා කියලා හිතන්න. ඔයා කොහොමද එයාත් එක්ක සමාදානය ඇති කරගන්නේ? මේ පැති ගැන හිතන්න. එයාගේ කතා විලාසය කොයි වගේද? ප්‍රශ්නය ගැන කතා කරන්න සුදුසුම වෙලාව මොකක්ද? කොයි විදිහට කතා කළොත්ද හොඳ? ඒ දේවල් ගැන හිතුවට පස්සේ ප්‍රශ්නේ විසඳගන්න පුළුවන් විදි ගැන සිතින් මවාගන්න. ඊටපස්සේ හොඳම විදිහ තෝරගන්න. (හිතෝ. 15:28) ඒ විදිහට හොඳට හිතලා බලලා ගැටලු විසඳගන්නවා නම් ඒක සභාවේ සාමය රැකගන්න දායක වෙයි. ඒක සිතින් මවාගැනීමේ හැකියාව පාවිච්චි කරන්න පුළුවන් හොඳ විදිහක්.

(3) රසවත් විදිහට බයිබලේ කියවන්න, අධ්‍යයනය කරන්න.

දිනපතා බයිබලේ කියවන එක වැදගත්. ඒත් ඔහේ පිටු ගාණක් කියවලා විතරක් මදි. කියවන දෙයින් ඉගෙනගන්න පුළුවන් මොනවද කියලා තේරුම්ගන්න ඕනේ. ඒක ජීවිතේට අදාළ කරගන්න ආසාවක් ඇති වෙන්නත් ඕනේ. අපි බයිබලේ කියවන්න ඕනෙ යෙහෝවා දෙවි කැමති දේ කරන්න අපි තුළ කැමැත්තක් ඇති වෙන විදිහටයි. ඒක කරන්න බයිබල් සිද්ධීන් සිතින් මවාගන්න එක අපිට උදව් වෙන්නේ කොහොමද? ‘ඔවුන්ගේ විශ්වාසය අපිට ආදර්ශයක්’ කියන පොත ගැන හිතන්න. ඒක සකස් කරලා තියෙන්නේ බයිබල් චරිත අද්දැකපු දේවල්, එයාලගේ පසුබිම් ලේසියෙන්ම සිතින් මවාගන්න පුළුවන් විදිහටයි. එයාලා දැකපු දේවල්, ඇහුණ සද්ද, දැනුණ සුවඳ, එයාලට හැඟුණ විදිහ ගැන ලස්සන පින්තූරයක් මවාගන්න ඒක අපිට උදව් කරනවා. එහෙම කරද්දී අපි දැනටමත් හොඳට දන්නවා කියලා හිතපු බයිබල් වාර්තාවලින් වුණත් අලුත් පාඩම් ඉගෙනගන්න පුළුවන්. බයිබලේ කියවද්දී, පෞද්ගලික අධ්‍යයනය කරද්දී ඒ විදිහට දේවල් සිතින් මවාගන්නවා නම් ඒක රසවත් අද්දැකීමක් වෙයි.

(4) අනිත් අයගේ තත්වයට බහින්න.

යෙහෝවා දෙවි සහ යේසුස් අනිත් අයගේ දුක තේරුම් අරන් එයාලට අනුකම්පාවෙන් සලකනවා. (නික්. 3:7; ගීතා. 72:13) අපිත් එහෙම කරයි කියලා දෙවි බලාපොරොත්තු වෙනවා. ඒක කරන්න අපිට උදව් වෙන්නේ මොනවද? සිතින් මවාගැනීමේ හැකියාව ඒකට උදව්වක්. සමහරවිට සහෝදරයෙක්, සහෝදරියක් මුහුණ දෙන තත්වයක් ඔයා කවදාවත් අද්දැකලා නැතුව ඇති. ඒත් මේ විදිහට හිතනවා නම් එයාගේ තත්වයට බහින්න ඔයාට පුළුවන්. ‘මම එයාගේ තත්වයේ හිටියා නම් මට කොහොම දැනෙයිද? මට කොයි වගේ පැතිවලින් උදව් ඕන වෙයිද?’ ඒ විදිහට සිතින් මවාගැනීමේ හැකියාව පාවිච්චි කරනවා නම් අනිත් අයගේ දුක තේරුම් අරන් එයාලට අනුකම්පාවෙන් සලකන්න අපිට පුළුවන්. අනිත් අයගේ තත්වයට බැහැලා දේවල් ගැන හිතනවා නම් ඒක අපේ සේවයට වගේම සභාවේ අය අතරේ තියෙන බැඳීම ශක්තිමත්ව තියාගන්නත් ලොකු උදව්වක්.

(5) පාරාදීසයේ ජීවිතේ දැන් තියාම දකින්න.

පාරාදීසයේ ජීවිතේ ගැන හුඟක් තොරතුරුවලින් බයිබලේ පිටු පිරිලා තියෙනවා. (යෙසා. 35:5-7; 65:21-25; එළි. 21:3, 4) ඒ තොරතුරු අලංකාර විදිහට චිත්‍රයට නඟලා තියෙන ආකාරය අපේ පොත් පත්වල දකින්න පුළුවන්. එහෙම කරලා තියෙන්නේ සිතින් මවාගැනීමේ හැකියාව පාවිච්චි කරලා පාරාදීසයේ ජීවිතේ දැන් තියාම දකින්න උදව් කරන්නයි. සිතින් මවාගැනීමේ හැකියාව අපිට දුන්න යෙහෝවා දෙවි දන්නවා ඒ හැකියාව අපේ ජීවිතවලට කොච්චර ප්‍රයෝජනවත්ද කියලා. දෙවිගේ පොරොන්දුවල ඉටු වීම අපි සිතින් මවාගන්නවා නම් ඒ ගැන අපිට තියෙන විශ්වාසය තව වැඩි වෙනවා වගේම ප්‍රශ්න ගැටලු එද්දී දිගටම දෙවිට ළැදිව ඉන්නත් ඒක අපිට උදව්වක්.

සිතින් මවාගැනීමේ හැකියාව යෙහෝවා දෙවිගෙන් ලැබිලා තියෙන තෑග්ගක්. ගත වෙන දවසක් ගානේ යෙහෝවා දෙවි කැමති විදිහට අපේ ජීවිත ගත කරන්න ඒක අපිට උදව්වක්. ඒ හැකියාව ඥානවන්තව පාවිච්චි කරලා ඒ වටිනා තෑග්ග අපිට දුන්න යෙහෝවා දෙවිට අපේ අගය පෙන්නමු.