Skip to content

පටුනට යන්න

‘කිසිම මිනිසෙකුට වටහාගන්න බැරි සමාදානයක්’

‘කිසිම මිනිසෙකුට වටහාගන්න බැරි සමාදානයක්’

‘දෙවි ලබා දෙන සමාදානය කිසිම මිනිසෙකුට වටහාගත නොහැකි වූ සමාදානයකි. ඒ සමාදානය ඔබේ හදවතට ආරක්ෂාවක් වේ.’—ෆිලි. 4:7.

ගීතිකා: 112, 58

1, 2. ෆිලිප්පියේදී පාවුල්ට සහ සීලස්ට වුණේ මොකක්ද? (ලිපියේ මුල් පින්තූරය බලන්න.)

දැන් මධ්‍යම රාත්‍රියට ළං වෙලා. පාවුල් සහ සීලස් ඉන්නේ ෆිලිප්පියේ හිරගෙදරක. හිරගෙයි ඇතුළටම වෙන්න තිබුණ ඒ හිරකුටිය අඳුරෙන් වැහිලා. ඒ දෙන්නාගේ පාද දඬුකඳේ ගහලයි තිබුණේ. එයාලා හිටියේ වේදනාවෙන්. මොකද එදා එයාලා හොඳටම පහර කාලයි හිටියේ. (ක්‍රියා 16:23, 24) එදා දවසේ මොන තරම් ඉක්මනින්ද දේවල් වෙනස් වුණේ! එයාලා සේවය කරකර ඉද්දී කලහකාරී පිරිසක් ඇවිත් එයාලව වෙළඳපොළේ පාලකයන් ඉදිරියට ඇදගෙන ගියා. හරි විදිහට නඩු විභාගයක්වත් කරන්නේ නැතුව ඒ නිලධාරීන් අණ කළා ඒ දෙන්නාගේ පිට වස්ත්‍ර ඉරලා කෝටුවලින් පහර දෙන්න කියලා. (ක්‍රියා 16:16-22) පාවුල් රෝම පුරවැසියෙක්. සාධාරණ නඩු විභාගයක් නැතුව රෝම පුරවැසියෙක්ට ඒ විදිහට පහර දෙන්න නීතියෙන් අවසර නැහැ. *

2 ඒ දවසේ වුණ දේවල් ගැනත් ෆිලිප්පියේ වැසියන් ගැනත් හිරේ ඉද්දී පාවුල් කල්පනා කරන්න ඇති. මිෂනාරි ගමන්වලදී එයා ගිය අනිත් හුඟක් නගරවල සිනගෝග තිබුණත් ෆිලිප්පියේ සිනගෝගයක් තිබුණේ නැහැ. ඒ නිසයි යුදෙව්වන් නමස්කාර කටයුතුවලට නගරෙන් පිටතට ගියේ. (ක්‍රියා 16:13, 14) නගරෙක සිනගෝගයක් හදන්නේ අඩුම තරමේ ඒ නගරේ යුදෙව් පුරුෂයන් 10දෙනෙක්වත් ඉන්නවා නම් විතරයි. ඒ කියන්නේ ෆිලිප්පියේ යුදෙව් පුරුෂයන් 10දෙනෙක්වත් හිටියේ නැද්ද? එහෙම නෙමෙයි, එහේ හිටපු අය මහ ඉහළින් සැලකුවේ රෝම පුරවැසිභාවයයි. (ක්‍රියා 16:21) පාවුල් සහ සීලස් වගේ යුදෙව්වන් දෙන්නෙක්ට රෝම පුරවැසිභාවය තියෙනවා කියලා එයාලා නිකමටවත් හිතුවේ නැත්තේ ඒ නිසා වෙන්න පුළුවන්. හේතුව මොකක් වුණත් එයාලව හිරේ දැම්මේ අසාධාරණ විදිහට.

3. හිරේ යන්න වුණ එක ගැන පාවුල් ටිකක් පුදුම වෙන්න ඇත්තේ ඇයි? ඒත් එයා ඒකට මුහුණ දුන්නේ කොහොමද?

3 පහුගිය මාසවල සිද්ධ වුණ දේවල් ගැනත් පාවුල් හිතන්න ඇති. මාස කීපයකට කලින් එයා හිටියේ ඊජියන් මුහුදට එහා පැත්තේ තිබුණ කුඩා ආසියාවේ. එහෙදී සමහර ප්‍රදේශවල සේවය කරන්න එපා කියලා දෙවිගේ බලය මාර්ගයෙන් කීප වතාවක්ම පාවුල්ට මඟ පෙන්වීම් ලැබිලා තිබුණා. ඒක හරියට සේවය කරන්න වෙනත් ප්‍රදේශයකට යන්න කියලා දෙවි කිව්වා වගේ. (ක්‍රියා 16:6, 7) ඒත් ඒ කොහෙටද? ත්‍රෝවසයේ ඉද්දී පාවුල් දර්ශනයකින් දැක්කා “මැසිඩෝනියාවට ඇවිත් අපට උපකාර කරන්න” කියලා මිනිසෙක් කියනවා. ලැබුණ මඟ පෙන්වීම තේරුම්ගත්ත පාවුල් ඉක්මනින්ම මැසිඩෝනියාවට ගියා. (ක්‍රියා 16:8-10 කියවන්න.) ඒත් මැසිඩෝනියාවට ඇවිත් වැඩි දවසක් යන්න කලින් එයාව හිරේට දැම්මා. ‘දෙවි ඇයි මේ වගේ දේකට ඉඩ දුන්නේ? කොච්චර කල් හිරේ ඉන්න වෙයිද’ කියලා පාවුල් හිතන්න ඇති. එහෙම හිතුණත් එයාට දෙවි ගැන තිබුණ විශ්වාසය, එයාගේ සතුට පොඩ්ඩක්වත් අඩු වුණේ නැහැ. පාවුල් සහ සීලස් හිටියේ ‘යාච්ඤා කරමින් සහ දෙවිට ප්‍රශංසා ගී ගයමින්.’ (ක්‍රියා 16:25) දෙවි ලබා දෙන සමාදානය එයාලගේ හදවතට, මනසට සහනයක් වුණා.

4, 5. (අ) සමහර වෙලාවලදී අපි ඉන්න තත්වය පාවුල් හිටපු තත්වයට සමාන වෙන්නේ කොහොමද? (ආ) පාවුල් හිතුවේවත් නැති විදිහට දේවල් වෙනස් වුණේ කොහොමද?

4 හිතන්න, ඔයා යම් තීරණයක් ගන්න කලින් දෙවිට යාච්ඤා කරලා මඟ පෙන්වීම් ඉල්ලනවා කියලා. ඊටපස්සේ ඔයාට දැනෙනවා දෙවි යම් විදිවලින් ඔයාට මඟ පෙන්නනවා කියලා. ඒකට එකඟව ඔයා තීරණයක් ගන්නවා. ඒත් ඊටපස්සේ ඔයා හුඟක් දුෂ්කරතාවලට මුහුණ දෙනවා. සමහරවිට ඔයාගේ මුළු ජීවිතේම කණපිට පෙරළෙනවා. (දේශ. 9:11) පාවුල්ට වගේ දැන් ඔයාටත් හිතෙයි ‘ඇයි මේ දේවල් වෙන්න යෙහෝවා දෙවි ඉඩ දුන්නේ’ කියලා. ඔයාත් ඒ වගේ දේකට මුහුණ දෙනවාද? එහෙමනම් දෙවි ගැන තියෙන විශ්වාසය අඩු කරගන්නේ නැතුව දිගටම විඳදරාගන්න ඔයාට පුළුවන් කොහොමද? ඊළඟට වුණ දෙයින් ඒකට උත්තරේ හොයාගන්න පුළුවන්.

5 පාවුල් සහ සීලස් ගීතිකා කියකිය ඉද්දී එයාලා හිතුවේවත් නැති දේවල් සිද්ධ වෙන්න පටන්ගන්නවා. එකපාරටම භූමිකම්පාවක් ඇති වෙලා හිරගෙදර දොරවල් ඇරෙනවා. ඒත් එක්කම හිරකරුවන්ට දාලා තිබුණ විලංගු ගැලවෙනවා. එයාලා පැනලා ගිහින් කියලා හිතලා හිරගෙයි භාරකරු සිය දිවි නසාගන්නයි යන්නේ. ඒත් පාවුල් එයාව වළක්වනවා. පස්සේ එයායි, එයාගේ පවුලේ හැමෝමයි බව්තීස්ම වෙනවා. ආණ්ඩුකාරයන් පහුවෙනිදා උදෙන්ම පාවුල්ව සහ සීලස්ව නිදහස් කරලා එයාලව නගරෙන් පිටත් කරන්න ආරක්ෂක නිලධාරීන්ව යවනවා. පාවුල්ටයි, සීලස්ටයි රෝම පුරවැසිභාවය තියෙනවා කියලා නිලධාරීන් දැනගන්නේ ඒ වෙලාවේදියි. තමන් අතින් වුණේ ලොකු වරදක් කියලා තේරුම්ගත්ත ආණ්ඩුකාරයන්, ඒ දෙන්නාව පිටතට ඇරලවන්න එයාලත් එක්ක යන්න සූදානම් වෙනවා. ඒත් පිටත් වෙන්න කලින් අලුතෙන් බව්තීස්ම වුණ ලිදියාගේ ගෙදරට පාවුල් යනවා. අනිත් සහෝදරයන්වත් දිරිගන්වන්න පාවුල් ඒක අවස්ථාවක් කරගන්නවා. (ක්‍රියා 16:26-40) දේවල් වෙනස් වුණේ කොයි තරම් ඉක්මනින්ද!

‘කිසිම මිනිසෙකුට වටහාගන්න බැහැ’

6. දැන් අපි සාකච්ඡා කරන්න යන්නේ මොනවාද?

6 ඒ සිද්ධියෙන් අපි ඉගෙනගන්නේ මොකක්ද? යෙහෝවා දෙවිට පුළුවන් අපි හීනෙකින්වත් හිතන්නේ නැති දෙයක් වුණත් අපි වෙනුවෙන් කරන්න. ඒ නිසා දුෂ්කර දේවල් අද්දකිද්දී අපි කනස්සලු වෙන්න ඕනෙ නැහැ. එදා වුණ දේවල් පාවුල්ගේ හිතට තදින්ම කාවැදුණා. පස්සේ කාලෙක එයා ෆිලිප්පියේ අයට ලියද්දී කනස්සලු වෙන එක ගැන, දෙවි ලබා දෙන සමාදානය ගැන සඳහන් කරපු දේවලින් ඒක පැහැදිලියි. ෆිලිප්පි 4:6, 7 (කියවන්න.) පාවුල් සඳහන් කරපු දේ ගැන දැන් අපි සාකච්ඡා කරමු. දෙවි තමන්ගේ සේවකයන්ට එයාලා හිතුවේවත් නැති විදිහට උදව් කරපු අවස්ථා ගැන ඊටපස්සේ බලමු. “දෙවි ලබා දෙන සමාදානය” දුෂ්කරතා දරාගන්න උදව් වෙන්නේ කොහොමද කියලත් බලමු.

7. පාවුල් ෆිලිප්පියේ සහෝදරයන්ට කියලා දුන්න පාඩම මොකක්ද? අපිට ඉගෙනගන්න පුළුවන් මොකක්ද?

7 පාවුල්ගේ ලිපිය කියවද්දී පාවුල් සහ සීලස් අද්දැක්ක දේවල්, යෙහෝවා දෙවි එයාලගේ උපකාරයට ආපු විදිහ ෆිලිප්පියේ සහෝදරයන්ට මතක් වෙන්න ඇති. පාවුල් එයාලට කියලා දෙන්න හැදුව පාඩම මොකක්ද? ඒ තමයි ‘කනස්සලු වෙන්න එපා. යාච්ඤා කරන්න. එතකොට දෙවි ලබා දෙන සමාදානය අද්දකින්න පුළුවන්’ කියන පාඩම. ඒ සමාදානය “කිසිම මිනිසෙකුට වටහාගත නොහැකියි” කියලත් පාවුල් කිව්වා. ඒකෙන් අදහස් වුණේ මොකක්ද? සමහර බයිබල් පරිවර්තනවල එතන සඳහන් වෙන්නේ “හීනෙකින්වත් හිතාගන්න බැරි” නැත්නම් “මිනිසුන්ගේ සියලු සැලසුම්වලට එහා ගිය” සමාදානයක් කියලා. පාවුල් කියන්න හැදුවේ දෙවි ලබා දෙන සමාදානය අපිට හිතාගන්නවත් බැරි තරම් පුදුමාකාරයි කියලා. අපේ සමහර ප්‍රශ්නවලට විසඳුමක් අපිට නැහැ. ඒත් විසඳුම දෙවි දන්නවා. ඔහුට පුළුවන් අපි හීනෙකින්වත් හිතන්නේ නැති දෙයක් වුණත් අපි වෙනුවෙන් කරන්න.—2 පේතෘස් 2:9 කියවන්න.

8, 9. (අ) පාවුල් අද්දැක්ක දේ නිසා ලැබුණ හොඳ ප්‍රතිඵල මොනවාද? (ආ) පාවුල් කියපු දේවල් විශ්වාස කරන්න ෆිලිප්පියේ සහෝදරයන්ට පුළුවන් වුණේ ඇයි?

8 ගත වුණ අවුරුදු 10 පුරා යෙහෝවා දෙවි එයාලා වෙනුවෙන් කරපු දේවල් ගැන හිතන්න පාවුල්ගේ ලිපිය ෆිලිප්පියේ සහෝදරයන්ට උදව් වෙන්න ඇති. ඇත්ත, පාවුල්ට සහ සීලස්ට අයුක්තිසහගත දේකට මුහුණ දෙන්න යෙහෝවා දෙවි ඉඩහැරියා. ඒත් ‘ශුභාරංචිය ප්‍රකාශ කිරීමේ අයිතිය නීත්‍යනුකූලව තහවුරු කරන්න’ ඒ සිද්ධිය උදව් වුණා. (ෆිලි. 1:7) ඒ විතරක් නෙමෙයි ආණ්ඩුකාරයන් අතින් වරදක් වුණ නිසා එයාලා හිටියේ බයෙන්. ඒ නිසා ෆිලිප්පියේ හිටපු ක්‍රිස්තියානීන්ට පීඩා කරන්න කලින් එයාලා දෙපාරක් හිතන්න ඇති. පාවුල් සහ සීලස් ගියාට පස්සේ ලූක්ට දිගටම ෆිලිප්පියේ ඉන්න අවස්ථාව ලැබුණේ පාවුල් රෝම පුරවැසිභාවය ගැන කරපු නිසා වෙන්න පුළුවන්. අලුතෙන් පිහිටවපු සභාවට උදව් කරන්න ඒකෙන් ලූක්ට අවස්ථාව ලැබුණා.

9 පාවුල් ලිව්වේ නිකම්ම තමන්ගේ හිතට ආපු අදහස් නෙමෙයි කියලා ෆිලිප්පියේ සහෝදරයන් හොඳින්ම දැනගෙන හිටියා. එයා හුඟක් දරුණු පීඩාවලට මුහුණ දුන්නා. ෆිලිප්පි සභාවට ලියද්දීත් එයා හිටියේ රෝමයේ නිවාස අඩස්සියේ. “දෙවි ලබා දෙන සමාදානය” එයා තවමත් අද්දකිමින් ඉන්නවා කියලා පාවුල් පැහැදිලි කළා.—ෆිලි. 1:12-14; 4:7, 11, 22.

“කිසි දෙයක් ගැන කනස්සලු නොවන්න”

10, 11. කනස්සල්ලක් දැනෙද්දී අපි කරන්න ඕනෙ මොනවාද? අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් මොනවාද?

10 ‘කිසි දෙයක් ගැන කනස්සලු නොවී’ ඉන්නත් ‘දෙවි ලබා දෙන සමාදානය’ අද්දකින්නත් අපිට උදව් වෙන්නේ මොකක්ද? කනස්සල්ලක් දැනෙද්දී අපිට කරන්න පුළුවන් හොඳම දේ යාච්ඤා කරන එක කියලා පාවුල් ලියපු දෙයින් පැහැදිලියි. ඒ නිසා හිතට බරක් දැනෙද්දී ඒ ගැන යෙහෝවා දෙවිට කියන්න. (1 පේතෘස් 5:6, 7 කියවන්න.) දෙවි ඔයාව ආදරෙන් බලාගන්නවා කියන විශ්වාසයෙන් ඔහුට කතා කරන්න. ඔහුට ස්තුති කරන්න අමතක කරන්නත් එපා. “අප ඉල්ලන ඕනෑම දෙයකට වඩා වැඩියෙනුත් අපට සිතාගත හැකි ඕනෑම දෙයකට වඩා වැඩියෙනුත් දේවල් කිරීමේ හැකියාව දෙවි සතුයි” කියලා මතක තියාගන්න.—එෆී. 3:20.

11 යෙහෝවා දෙවි අපි වෙනුවෙන් කරන දේ දකිද්දී පාවුල් සහ සීලස් වගේ අපිත් පුදුම වෙයි. ඒක ආශ්චර්යයක් නොවෙන්න පුළුවන්. ඒත් දෙවි අපි වෙනුවෙන් කරන්නේ අපිට අවශ්‍යම දේ. (1 කොරි. 10:13) ඒකෙන් අදහස් කරන්නේ අපේ ප්‍රශ්නේ දෙවි විසඳන කල් අපි අත් දෙක බැඳගෙන ඔහේ බලාගෙන ඉන්නවා කියන එකද? නැහැ. අපි අපේ යාච්ඤාවලට එකඟව පියවර ගන්න ඕනේ. (රෝම 12:11) අපි කරන කියන දේවලින් තමයි පේන්නේ අපේ යාච්ඤාව කොයි තරම් අවංකද කියලා. අනික අපි අපේ පැත්තෙන් යමක් කළොත් විතරයි දෙවිට පුළුවන් අපිට ආශීර්වාද කරන්න. ඒත් අපි ඉල්ලන දේට, බලාපොරොත්තු වෙන දේට වඩා දෙයක් අපි වෙනුවෙන් කරන්න දෙවිට පුළුවන් කියන දේ අමතක කරන්න එපා. සමහරවිට අපි හීනෙකින්වත් හිතුවේ නැති දෙයක් දෙවි කරයි. අතීතයේ දෙවි එහෙම කරපු අවස්ථා කීපයක් දැන් බලමු.

නොහිතපු විදිහට දෙවි එයාලට උදව් කළා

12. (අ) සෙනකෙරිබ් රජ යෙරුසලමට විරුද්ධව ආපු වෙලාවේ හෙසකියා කළේ මොනවාද? (ආ) දෙවි ඒ ප්‍රශ්නේ විසඳපු විදිහෙන් අපි ඉගෙනගන්නේ මොනවාද?

12 අපිට හිතාගන්නවත් බැරි දේවල් අපි වෙනුවෙන් කරන්න දෙවිට පුළුවන් කියලා හෙසකියා රජ අද්දැක්කා. එයා යූදා දේශය පාලනය කරන කාලේ ඇසිරියාවේ රජ වුණ සෙනකෙරිබ් යූදා දේශයට අයිති හැම නගරයක්ම වගේ යටත් කරගත්තා. ඉතුරු වෙලා තිබුණේ යෙරුසලම විතරයි. (2 රාජා. 18:1-3, 13) ඒ වෙලාවේ හෙසකියා මොනවාද කළේ? මුලින්ම එයා යෙහෝවා දෙවිගෙන් උදව් ඉල්ලලා යාච්ඤා කළා. දෙවිගේ අනාගතවක්තෘවරයෙක් වුණ යෙසායාගෙන් උපදෙස් පැතුවා. (2 රාජා. 19:5, 15-20) ඊළඟට එයා සෙනකෙරිබ් ඉල්ලපු කප්පම් ගෙවලා තමන් සාධාරණව දේවල් කරන කෙනෙක් කියලා පෙන්නුවා. (2 රාජා. 18:14, 15) ඊටපස්සේ සෙනකෙරිබ් යෙරුසලම වැටලුවොත් ඒකට මුහුණ දෙන්න සූදානම් වුණා. (2 ලේක. 32:2-4) ඊළඟට මොකද වුණේ? යෙහෝවා දෙවි දේවදූතයෙක්ව එවලා ඇසිරියානු සෙබළුන් 1,85,000ක්ව එක රැයකින් මරලා දැම්මා. ඒ වගේ දෙයක් දෙවි කරයි කියලා හෙසකියා හීනෙකින්වත් හිතන්න නැතුව ඇති.—2 රාජා. 19:35.

යෝසෙප්ගේ සිද්ධියෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද?—උත්. 41:42 (13 ඡේදය බලන්න)

13. (අ) යෝසෙප්ගේ සිද්ධියෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද? (ආ) සාරා අද්දැක්ක පුදුමාකාර දේ මොකක්ද?

13 යෝසෙප්ගේ අද්දැකීම බලන්න. තමන් ඊජිප්තුවේ අගමැති වෙයි කියලවත් පවුලේ අයව සාගතයෙන් බේරගන්න යෙහෝවා දෙවි එයාව පාවිච්චි කරයි කියලවත් අඳුරු හිරකුටියක හිටපු යෝසෙප් හිතන්න ඇද්ද? (උත්. 40:15; 41:39-43; 50:20) යෙහෝවා දෙවි යෝසෙප් වෙනුවෙන් කළේ එයා නිකමටවත් හිතුවේ නැති දෙයක්! දෙවි සාරාට ආශීර්වාද කරපු විදිහ ගැන හිතන්න. සේවිකාවගෙන් ලැබුණ දරුවා මිසක් තමන්ගේම කියලා දරුවෙක්ව බිහි කරන්න පුළුවන් වෙයි කියලා මහලු වයසේ හිටපු සාරා හිතුවාද? සාරා හීනෙකින්වත් හිතුවේ නැති විදිහට පුතෙක්ව දීලා දෙවි එයාට ආශීර්වාද කළා.—උත්. 21:1-3, 6, 7.

14. යෙහෝවා දෙවි ගැන අපිට තියෙන නිසැකකම මොකක්ද?

14 යෙහෝවා දෙවි ආශ්චර්යයන් කරලා දැන් අපේ ප්‍රශ්න විසඳයි කියලා අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ. ‘පුදුමාකාර දෙයක් අපි වෙනුවෙනුත් කරන්න’ කියලා අපි දෙවිට බල කරන්නෙත් නැහැ. ඒත් අතීතයේ හිටපු තමන්ගේ විශ්වාසවන්ත සේවකයන් වෙනුවෙන් කාටවත් හිතාගන්න බැරි දේවල් දෙවි කළා කියලා අපි දන්නවා. දෙවි අදටත් වෙනස් වෙලා නැහැ. (යෙසායා 43:10-13 කියවන්න.) ඒ නිසා අපේ හිතේ දෙවි ගැන ඇති වෙන්නේ ලොකු නිසැකකමක්. ඔහුගේ කැමැත්ත කරන්න අවශ්‍ය ශක්තිය දෙවි අපිට අනිවාර්යයෙන්ම දෙනවා. (2 කොරි. 4:7-9) හෙසකියා, යෝසෙප් සහ සාරාගේ අද්දැකීම්වලින් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද? ජීවිතේ දුෂ්කරම දේවලට මුහුණ දෙන අවස්ථාවලදී වුණත් අපි දෙවිට ළැදිව ඉන්නවා නම් අපිට උදව් කරන්න ඔහුට පුළුවන්.

අපි යෙහෝවා දෙවිට ළැදිව ඉන්නවා නම් මොන දුෂ්කර දේට මුහුණ දුන්නත් අපිට උදව් කරන්න දෙවිට පුළුවන්

15. ප්‍රශ්න මැද ඉද්දීත් “දෙවි ලබා දෙන සමාදානය” අද්දකින්න අපිට උදව් වෙන්නේ මොකක්ද? ඒ අවස්ථාව අපිට ලැබුණේ මොකක් නිසාද?

15 ප්‍රශ්න මැද ඉද්දීත් “දෙවි ලබා දෙන සමාදානය” අද්දකින්න අපිට පුළුවන් කොහොමද? ඒක අද්දකින්න නම් දෙවිත් එක්ක අපිට තියෙන බැඳීම දිගටම ශක්තිමත්ව තියාගන්න ඕනේ. ඒ වගේ බැඳීමක් ඇති කරගන්න අපිට පුළුවන් වුණේ යේසුස්ගේ ජීවිත පූජාව නිසයි. අපිත් එක්ක සමාදාන වෙන්න ඇති කරපු ඒ සැලැස්ම යෙහෝවා දෙවි අපි වෙනුවෙන් කරපු පුදුමාකාර දේවලින් එකක්. ජීවිත පූජාව නිසා දෙවිට පුළුවන් අපිට සමාව දෙන්න. ඒ නිසා නිදොස් හෘදය සාක්ෂියක් ඇතුව ඉන්නත් දෙවිට තව ළං වෙන්නත් අපිට පුළුවන්.—යොහ. 14:6; යාකො. 4:8; 1 පේතෘ. 3:21.

හදවතටත් මනසටත් ආරක්ෂාවක්

16. “දෙවි ලබා දෙන සමාදානය” අද්දකිද්දී වෙන්නේ මොකක්ද? පැහැදිලි කරන්න.

16 “කිසිම මිනිසෙකුට වටහාගත නොහැකි වූ සමාදානය” අපිට උදව් වෙන්නේ කොහොමද? බයිබලේ කියන්නේ ඒ සමාදානය අපේ “හදවතටත් මනසටත් ආරක්ෂාවක්” වෙනවා කියලා. (ෆිලි. 4:7) මුල් භාෂාවේ එතන පාවිච්චි කරලා තියෙන්නේ නුවරක් ආරක්ෂා කරන්න පත් කරලා හිටපු හමුදා කණ්ඩායමක් විස්තර කරන්න යොදාගන්න වචනයක්. ෆිලිප්පියේ ඒ වගේ හමුදා කණ්ඩායමක් හිටපු නිසා එහේ වැසියන්ට සුරක්ෂිතභාවයක් දැනුණා. එයාලා හිතේ සැනසීමෙන් නිදාගත්තා. “දෙවි ලබා දෙන සමාදානය” අද්දකිද්දී අපේ හදවතට, මනසට දැනෙන්නේ ඒ වගේ සුරක්ෂිත හැඟීමක්. මොකද අපි දන්නවා යෙහෝවා දෙවි අපිව බලාගන්නවා කියලා. ඔහුට ඕනෙ අපි සතුටින් ඉන්නවා දකින්නයි. (1 පේතෘ. 5:10) කනස්සල්ලෙන් යටපත් නොවී ඉන්න ඒක අපිට උදව්වක්.

17. මහත් පීඩාව කාලෙදී යෙහෝවා දෙවිව විශ්වාස කරලා වැඩ කරන්න අපිට උදව් වෙන්නේ මොකක්ද?

17 ළඟදීම මහත් පීඩාව පටන්ගනියි. (මතෙ. 24:21, 22) එදාට අපි එක් එක් කෙනාට මොන වගේ දේවලට මුහුණ දෙන්න වෙයිද කියලා අපි දන්නේ නැහැ. ඒත් ඒ ගැන හිතලා කරදර වෙන්න ඕනෙ නැහැ. එදාට යෙහෝවා දෙවි කරන්න යන හැම දෙයක් ගැනම අපි දන්නේ නැතත් අපේ දෙවි මොන වගේ කෙනෙක්ද කියලා අපි දන්නවා. තමන්ගේ විශ්වාසවන්ත සේවකයන් වෙනුවෙන් අතීතයේදී ඔහු කරපු දේවල් අපිට මතකයි. මොන දේ වුණත් යෙහෝවා දෙවි තමන් අරමුණු කරන දේ අනිවාර්යයෙන්ම ඉටු කරනවා කියලා අතීත සිදුවීම්වලින් පැහැදිලියි. සමහර අවස්ථාවලදී කිසිම කෙනෙක් හීනෙකින්වත් හිතුවේ නැති විදිහටයි දෙවි ඒ දේ කළේ. ඒ නිසා යෙහෝවා දෙවි මේ කාලේ අපි වෙනුවෙන් මොන දේ කළත් ඒක අපිට අවස්ථාවක් වෙයි “කිසිම මිනිසෙකුට වටහාගත නොහැකි වූ සමාදානය” අලුත් විදිහකින් අද්දකින්න.

^ 1 ඡේ. සීලස්ටත් රෝම පුරවැසිභාවය තිබුණා කියලා හිතන්න පුළුවන්.—ක්‍රියා 16:37.