Skip to content

පටුනට යන්න

මේ ඔබේ පවුලටයි | දෙමව්පියන්ට

නිහතමානී වෙන්න දරුවාට උදව් කරන්න

නිහතමානී වෙන්න දරුවාට උදව් කරන්න

ප්‍රශ්නය

  • පුංචි වුණාට ඔයාගේ දරුවා හරිම මුරණ්ඩුයිද?

  • එයා හිතන්නේ අනිත් අය එයාගේ වැඩකාරයෝ කියලද?

ඇයි පුතා මේ විදිහට හැසිරෙන්නේ? මම ආස එයා හොඳ ආත්ම විශ්වාසයක් ඇති කරගන්නවා දකින්න මිසක් මුරණ්ඩු වෙනවාට නෙමෙයි.

‘මට කිසි දෙයක් හරියට කරගන්න බැහැ’ කියන හැඟීම දරුවා තුළ ඇති කරන්නේ නැතුව නිහතමානිකම උගන්නන්න පුළුවන්ද?

දැනගන්න ඕන දේ

අද කාලේ දෙමව්පියන්ට උනන්දු කරන්නේ දරුවන් ඉල්ලන හැම දේම එයාලට දෙන්න, ගහන්නේ බනින්නේ නැතුව හැම තිස්සේම එයාලට ප්‍රශංසා කරන්න කියලා. දරුවෝ ප්‍රශංසාව ලබන්න වටින දෙයක් කළේ නැතත් හුඟක් දෙමව්පියන් එයාලව මුරුංගා අත්තේ තියනවා. ඒක තමන් ගැන ලොකු විශ්වාසයක් ඇති කරගන්න දරුවාට උදව් වෙනවා කියලා දෙමව්පියන් හිතනවා. ඒත් ඒකෙන් ඇත්තටම වෙලා තියෙන්නේ “නාහෙට අහන්නේ නැති දඩබ්බර දරු පරපුරක් බිහිවෙච්ච එක විතරයි” කියලා එක පොතක සඳහන් වෙනවා.—Generation Me.

ඕනෑවට වඩා දරුවන්ට ප්‍රශංසා කරද්දී ජීවිතේ අභියෝග, විවේචන සහ අසාර්ථකවීම් දරාගන්න එයාලා පුරුදු වෙන්නේ නැහැ. ඒ වගේ කෙනෙක් අනිත් අයගේ හැඟීම් ගැන සැලකිලිමත් වෙන්නේ නැති නිසා හොඳ බැඳීම් ඇති කරගන්න එයාට අමාරුයි. ඒ වගේ දරුවන්ගෙන් හුඟදෙනෙක් වැඩිහිටියෝ වුණාට පස්සේ මානසික අවපීඩනය සහ කනස්සල්ල වගේ දේවලට මුහුණ දෙනවා.

දරුවාගේ ආත්ම විශ්වාසය වැඩි කරන්න කියලා එයාට බොරුවට ප්‍රශංසා කරන්න එපා. මොකද ඇත්තටම දරුවෙක්ගේ ආත්ම විශ්වාසය වැඩි වෙන්නේ එයා අලුත් දේවල් ඉගෙනගෙන, හැකියාවන් වර්ධනය කරගෙන, ඉලක්ක ජය ගන්නකොට මිසක් බොරු වර්ණනාවෙන් නෙමෙයි. (හිතෝපදේශ 22:29) ඒ වගේම පොඩි කාලේ ඉඳන්ම අනිත් අය ගැන සැලකිලිමත් වෙන්නත් ඉගෙනගන්න ඕනේ. (1 කොරින්ති 10:24) ඒ හැම දේටම නිහතමානිකම නැතුවම බැහැ.

කරන්න පුළුවන් දේ

ප්‍රශංසාව කරන්න ඕන වෙලාවෙදි විතරක් ප්‍රශංසා කරන්න. හිතන්න ඔයාගේ දුව විභාගයෙන් හොඳට ලකුණු ගත්තා කියලා. එහෙමනම් එයාට ප්‍රශංසා කරන්න. ඒත් ලකුණු අඩු නම් ඒකට ගුරුවරයාට බනින්න එපා. ඒ වෙනුවට ඊළඟ වතාවේ හොඳට පාඩම් කරලා වැඩි ලකුණු ගන්න එයාව උනන්දු කරන්න. එහෙම කරනවා නම් එයාගේ අඩුපාඩු තේරුම් අරන් නිහතමානී වෙන්න එයා ඉගෙනගනියි.

අවශ්‍ය වෙලාවෙදී නිවැරදි කරන්න. දරුවා කරන කියන හැම දේකම වැරදි හොය හොය ඒවා හදන්න ඕනෙ කියන එක ඒකෙන් අදහස් කරන්නේ නැහැ. (කොලොස්සි 3:21) ඒත් දරුවා වරදක් කළොත් නැත්නම් එයා හිතන විදිහ වැරදියි කියලා තේරුණොත් එයාව නිවැරදි කරන්න. මොකද ලොකු වුණාට පස්සේ දරුවාව නිවැරදි කරන එක ලේසි නැහැ.

හිතන්න ඔයාගේ දරුවා නිතරම එයා ගැනම මහ ලොකුවට කතා කරනවා කියලා. එයාව නිවැරදි කළේ නැත්නම් එයා අනිත් අයව පහත් කරලා සලකන්න පුරුදු වෙයි. ඒ වගේ අයට කවුරුත් කැමති නැහැ කියලා දරුවාට කියලා දෙන්න. (හිතෝපදේශ 27:2) ඇත්තටම දක්ෂ කෙනෙක් එයාගේ හැකියාවන් ගැන පුරසාරම් දොඩන්නේ නැහැ කියලත් දරුවාට කියන්න. ඔයා දරුවාව නිවැරදි කරන්නේ එයාට තියෙන ආදරේ නිසා කියලා දැනෙන්න සලස්වන්න. එහෙම කරද්දී ‘මට කිසි දෙයක් හරියට කරන්න බැහැ, මගෙන් වැඩක් නැහැ’ කියන හැඟීම ඇති කරන්නේ නැතුව නිහතමානී වෙන්න දරුවාට උගන්වන්න පුළුවන්.—බයිබල් ප්‍රතිපත්තිය: මතෙව් 23:12.

ජීවිතයට මුහුණ දෙන්න දරුවාව සූදානම් කරන්න. ඉල්ලන හැම දේම දෙන්න ගියොත් දරුවා නරක් වෙයි. හිතන්න, දරුවා ඉල්ලන දෙයක් ගන්න ඔයා ළඟ සල්ලි නැහැ කියලා. ඒ වෙලාවේ ඔයාට පුළුවන් තියෙන මුදල පිරිමහගෙන ජීවත් වෙන එකේ වැදගත්කම දරුවාට කියලා දෙන්න. එහෙම නැත්නම් යන්න හිටිය විනෝද ගමනක් යන්න බැරි වුණා කියලා හිතන්න. ඒ ගැන දරුවා ඉන්නේ දුකෙන් නම් ඒ වගේ බලාපොරොත්තු නොවෙන දේවලට මුහුණ දෙන්න වෙනවා කියලා දරුවාට තේරුම් කරලා දෙන්න. පොඩි කාලේ ඉඳන් ඕනම තත්වෙකට මුහුණ දෙන්න දරුවාව පුහුණු කළොත් වැඩිහිටියෙක් වුණාට පස්සේ ජීවිතේ අභියෝග ජය ගන්න ඒක එයාට උදව් වෙයි.—බයිබල් ප්‍රතිපත්තිය: හිතෝපදේශ 29:21.

ත්‍යාගශීලී වෙන්න උගන්වන්න. ‘ලැබීමට වඩා දීමෙන් වැඩි සතුටක් ලැබෙනවා’ කියලා තේරුම්ගන්න දරුවාට උදව් කරන්න. (ක්‍රියා 20:35) උදාහරණෙකට ගමන්බිමන් යන්න, ගෙදරදොරේ වැඩ කරගන්න, කඩේ ගිහින් බඩු ටිකක් ගන්න වගේ දේවල් තනියම කරගන්න බැරි අයගේ ලිස්ට් එකක් හදන්න. එයාලට උදව් කරන්න යද්දී දරුවවත් හවුල් කරගන්න. අනිත් අයට උදව් කරලා ඔයා ලබන සතුට දකිද්දී දරුවත් ඒ දේ කරන්න ඉගෙනගනියි. නිහතමානී වෙන්න උගන්වද්දී අවවාදයට වඩා ආදර්ශය උතුම් කියලා අමතක කරන්න එපා.—බයිබල් ප්‍රතිපත්තිය: ලූක් 6:38.