Skip to content

පටුනට යන්න

බෙහෙත් කරන්න ඕනෙ ලෙඩේට මිසක් රෝග ලක්ෂණවලට නෙවෙයි

විසඳගන්න තියෙන අභියෝගය

ප්‍රශ්නවල මුල හඳුනගෙන නැතිකම

ප්‍රශ්නවල මුල හඳුනගෙන නැතිකම

අපේ අනාගතය අඳුරු කරන ප්‍රශ්න විසඳලා සාමය සහ සුරක්ෂිතභාවය අපිට ලබා දෙන්න මිනිසුන්ට පුළුවන් වෙයි කියලා ඔයා හිතනවාද? ඕනෙම ප්‍රශ්නෙකට විසඳුමක් ගේන්න නම් ප්‍රශ්නේ මුල හඳුනගන්නම ඕනේ.

උදාහරණෙකට ටොම්ගේ අද්දැකීම බලන්න. එයා මිය ගිය වෙලාවේ ළඟ හිටිය වෛද්‍යවරයා කිව්වේ “එයාට රෝග ලක්ෂණ පහළ වුණු මුල් කාලෙදි ඒවාට හේතුව කවුරුත්ම හොයලා බලලා නැහැ” කියලයි. පේන විදිහට එයාට මුලින් ප්‍රතිකාර කරපු වෛද්‍යවරු කරලා තියෙන්නේ රෝග ලක්ෂණවලට බෙහෙත් දෙන එක විතරයි.

අද මිනිසුන් ලෝකේ ප්‍රශ්න විසඳන්න හදන්නෙත් ඒ විදිහටම නේද? උදාහරණෙකට අද තියෙන ආණ්ඩු අපරාධ වළක්වගන්න අරමුණින් නීති පනවනවා. ආරක්ෂක කැමරා සවි කරනවා. පොලිස් බලය ශක්තිමත් කරනවා. ඒ දේවලින් යම් හොඳක් වුණත් ප්‍රශ්නයට නියම විසඳුමක් ලැබිලා නැහැ. මොකද ප්‍රශ්නයට මුල් වුණු දේවල් තවමත් තියෙනවා. මිනිසුන් ක්‍රියා කරන විදිහෙන් ඒක හොඳින්ම පැහැදිලියි.

දකුණු ඇමරිකාවේ ඩැනියෙල් මෙහෙම කියනවා. “අපි ජීවත් වුණේ හරිම සතුටින්. ආයුධ සන්නද්ධ හොරු ගැන අපි අහලවත් තිබ්බේ නැහැ. ඒත් දැන් නම් නගරේ තියා ගමේවත් සාමකාමී තත්වයක් නැහැ. ආර්ථිකය බිඳ වැටුණත් එක්කම මිනිසුන් කොච්චර කෑදරද කියලා මං හොඳට දැක්කා. එයාලට අනිත් අයගේ ජීවිත, දේපළ ගැන කිසි වටිනාකමක් නැහැ.”

මැදපෙරදිග ඇති වුණු ගැටුම් නිසා පලා ගිය කෙනෙක් පස්සේ කාලෙක බයිබලය අධ්‍යයනය කරන්න පටන්ගත්තා. එයා මෙහෙම කිව්වා. “මං හිටිය නගරේ ආගම් දේශපාලනෙත් එක්ක බැඳිලයි තිබුණේ. යුද්දෙට ගිහින් ජාතික වීරයෙක් වෙන්න කියලා දේශපාලනඥයෝ විතරක් නෙවෙයි පවුලේ අයත් දිරිගැන්නුවා. සතුරනුත් එයාලගේ පැත්තේ අයව දිරිගැන්නුවේ ඒ දේම කරන්නයි. දේශපාලනඥයන්ව විශ්වාස කරන එක කොච්චර මෝඩකමක්ද කියලා ඒ හැම දේකින්ම මට පැහැදිලි වුණා.”

බයිබලයේ සඳහන් වෙන්නේ මෙහෙමයි.

  • “කුඩා කල පටන් මිනිසාගේ සිත නපුරටම යොමු වී තිබේ.”—උත්පත්ති 8:21.

  • “සියල්ලටම වඩා මිනිසාගේ සිත රැවටිලිකාරය. එබැවින් ඔහු උත්සාහ කරන්නේ කෙසේ හෝ තම ආශාව ඉටු කරගැනීමටය. ඒ රැවටිලිකාර සිත තේරුම්ගත හැක්කේ කාටද?”—යෙරෙමියා 17:9.

  • “දුෂ්ට අදහස්, මිනී මැරීම, අනාචාරය, වේශ්‍යාකම, සොරකම, බොරු සාක්ෂි කීම සහ අපහාස කිරීම වැනි දේවල් ඇරඹෙන්නේ සිතිනුයි.”—මතෙව් 15:19.

මිනිසුන් තුළ තියෙන නරක ගති නිසයි අනිත් අයට හානියක් කරන්න පෙලඹෙන්නේ. ඒ නරක ගති හිත්වලින් අයින් කරන්න මිනිසුන්ට පුළුවන් වෙලා නැහැ. මේ වෙද්දී තොරතුරු දැනගන්න, අදහස් හුවමාරු කරගන්න ඕන තරම් ක්‍රම තිබුණත් ඒ කිසිම දේකින් පලක් වෙලා නැහැ. කලින් ලිපියේ බලපු විදිහට මිනිසුන්ගේ නරක ගති එන්න එන්නම වැඩි වෙනවා. (2 තිමෝති 3:1-5) මේ ලෝකෙට සුරක්ෂිත වාතාවරණයක් ලබා දෙන්න අපිට බැරි වෙලා තියෙන්නේ ඇයි? ඒ වගේ වාතාවරණයක් ඇති කරන්න අපිට බැරිද? සුරක්ෂිත ලෝකයක් ගැන බලාපොරොත්තුවෙන් ඉන්න එක හරියට මිරිඟුවක් පස්සේ යනවා වගේ දෙයක්ද?

සුරක්ෂිත ලොවක් ඇති කරන්න අපිට බැරිද?

මිනිසුන්ගේ නරක ගති අයින් කරන්න මොකක් හරි ක්‍රමයක් හොයාගත්තත් මේ ලෝකය සුරක්ෂිත තැනක් කරන්න නම් අපිට කවදාවත් බැහැ. මොකද අපිට කරන්න පුළුවන් දේවලට සීමාවක් තියෙනවා.

අපිව නිර්මාණය කරලා තියෙන්නේ අපිවම පාලනය කරන්න හැකියාව ඇතුව නෙවෙයි. වෙන ග්‍රහලෝකයක ජීවත් වෙන්නවත් වතුර යට ජීවත් වෙන්නවත් මිනිසුන්ට බැහැ වගේ මිනිසුන්ව පාලනය කරන්නත් මිනිසුන්ට බැහැ. බයිබලයේ කියන්නෙත් ‘මිනිසෙකුට තම ජීවන ගමනේ පියවර තැබිය යුත්තේ කෙසේද කියා තනිව තීරණය කරන්න හැකියාවක් නැහැ’ කියලයි.—යෙරෙමියා 10:23.

වතුර යට ජීවත් වෙන්න අපිට බැහැ වගේම මිනිසුන්ව පාලනය කරන්නත් අපිට බැහැ

මෙහෙම හිතන්න. පිළිපදින්න ඕනෙ සාරධර්ම ගැන අනිත් අය තමන්ට කියනවාට සාමාන්‍යයෙන් මිනිසුන් කැමතිද? ගබ්සාව, මරණ දඬුවම, දරුවන්ව හික්මවන එක වගේ දේවල් ගැන හිතන්න ඕනෙ කොහොමද කියලා අනිත් අය කියනවාට කැමතිද? නැහැ නේද? තමන්ගේ මත පිළිගන්න කියලා අනිත් අයට බල කරන එකෙන් වෙලා තියෙන්නේ සමාජය දෙකඩ වෙලා තියෙන එක විතරයි. ඒකෙන් පැහැදිලි වෙන්නේ මොකක්ද? මිනිසුන්ව පාලනය කරන්න මිනිසුන්ට හැකියාවක්වත් අයිතියක්වත් නැහැ කියලා බයිබලයේ කියන දේ පිළිගන්නම වෙනවා. එහෙනම් ඒක කරන්න පුළුවන් කාටද?

ඒකට සුදුසුම කෙනා තමයි අපේ නිර්මාතෘ. බයිබලයේ තියෙන තොරතුරුවලින් පැහැදිලි වෙනවා ඔහු අපි ගැන කොච්චර සැලකිලිමත්ද කියලා. ඒ තොරතුරු හොඳින් තේරුම්ගද්දී අපිට අපේ සීමාවන් අඳුනගන්නත් ඉතිහාසය පුරාම මිනිසුන් දුක් විඳලා තියෙන්නේ ඇයි කියලා තේරුම්ගන්නත් පුළුවන් වෙනවා. කිසිම ආණ්ඩුවක්, ජාතියක් ඉතිහාසයෙන් කියලා දීපු පාඩම් ඉගෙනගෙන එයාලගේ ක්‍රියාකලාපය වෙනස් කරගෙන නැහැ කියලා තේරුම්ගන්නත් පුළුවන් වෙනවා.

බයිබලයේ තියෙන තොරතුරු අපිට ආරක්ෂාවක්

බයිබලයේ කියනවා ‘ප්‍රඥාවන්තයෙක් ධර්මිෂ්ඨයි කියා ඔප්පු වන්නේ ඔහු කරන ක්‍රියාවලින්’ කියලා. (ලූක් 7:35) උදාහරණෙකට බුද්ධිමත් කෙනෙක් “මිනිසා කෙරෙහි විශ්වාසය නොතබන්න” කියන උපදෙස අදාළ කරගන්නවා. (යෙසායා 2:22) ඒක අපිට ලොකු ආරක්ෂාවක්. මොකද මිනිසුන් දෙන බොරු පොරොන්දු විශ්වාස නොකර ඉන්න ඒක අපිට උදව් වෙනවා. උතුරු ඇමරිකාවේ ප්‍රචණ්ඩත්වයෙන් පිරුණු නගරයක ජීවත් වෙන කෙනත් කියපු දේ බලන්න. “හැම දේශපාලනඥයෙක්ම වඩා හොඳ කාලයක් ලබා දෙනවා කියලා පොරොන්දු වුණත් එයාලට ඒක කරන්න බැහැ. බයිබලයේ කියලා තියෙන දේ ඇත්තක් කියලා ඒකෙන් පැහැදිලියි.”

මුලින් සඳහන් කරපු ඩැනියෙල් මෙහෙම කියනවා. “ගත වෙන දවසක් දවසක් ගාණේ මට තහවුරු වෙනවා මිනිස් ආණ්ඩු කොච්චර අසාර්ථකද කියලා. . . . බැංකු ගිණුමේ ලොකු මුදලක් තිබුණත් හොඳ විශ්‍රාම වැටුපක් ලැබුණත් ඔයාගේ අනාගතය සුරක්ෂිතයි කියලා හිතන්න බැහැ. ඒ දේවල් ගැන විශ්වාස කරපු අයගේ බලාපොරොත්තු සුන් වුණු විදිහ මං ඇස් දෙකට දැකලා තියෙනවා.”

බොරු පොරොන්දු විශ්වාස නොකර ඉන්න විතරක් නෙවෙයි සැබෑ බලාපොරොත්තුවක් ඇතුව ඉන්නත් බයිබලය අපිට උදව් වෙනවා. ඒ ගැන ඊළඟ ලිපියෙන් බලමු.