Skip to content

පටුනට යන්න

අභියෝගය ජය ගන්න පුළුවන් ආණ්ඩුවක්

“සමාදානය සදහටම පවතිනු ඇත”

“සමාදානය සදහටම පවතිනු ඇත”

එක්සත් ජාතීන්ගේ සංවිධානය සියලුම ජාතීන්ව දිරිගන්වන්නේ එකමුතුව සහයෝගයෙන් වැඩ කරන්න, මානව අයිතිවාසිකම්වලට ගරු කරන්න සහ පරිසරය ආරක්ෂා කරන්න කියලයි. සඟරාවක සඳහන් මේ දෙයින් ඒකට හේතුව පැහැදිලි වෙනවා. “දේශගුණික විපර්යාස, සංවිධානාත්මක අපරාධ, දිනෙන් දින ඉහළ යන ඇති නැති පරතරය, නොවිසඳුණු ගැටුම්, ජන පිරිස් විශාල වශයෙන් අවතැන් වීම, ගෝලීය ත්‍රස්තවාදය, බෝ වෙන රෝග වගේ ප්‍රශ්න හැම රටකටම බලපානවා.”—UN Chronicle.

සමහර අය හිතන්නේ මුළු ලෝකයටම එක ආණ්ඩුවක් තියෙන්න ඕනෙ කියලයි. කවියෙක් වගේම දාර්ශනිකයෙක් වුණු ඩාන්ටේ (1265-1321) සහ භෞතික විද්‍යාඥයෙක් වුණු ඇල්බට් අයින්ස්ටයින් (1879-1955) එහෙම හිතපු දෙන්නෙක්. දේශපාලනික වශයෙන් බෙදුණු ලෝකයක සාමය අද්දකින්න බැහැ කියලයි ඩාන්ටේ විශ්වාස කළේ. යේසුස් කියපු වචන උපුටා දක්වමින් එයා මෙහෙමත් කිව්වා. “යම් රාජ්‍යයක් තුළ භේද තිබෙනවා නම් එය විනාශ වී යයි.”—ලූක් 11:17.

පරමාණු බෝම්බ ප්‍රහාර දෙකකින් අවසන් වුණු දෙවෙනි ලෝක මහා යුද්ධයෙන් පස්සේ ඇල්බට් අයින්ස්ටයින් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයට ලියපු ලිපියක මෙහෙම සඳහන් කළා. “එක්සත් ජාතීන්ගේ සංවිධානය ලෝකයට සුරක්ෂිත කාලයක් උදා කරන්න පුළුවන් වෙන විදිහේ ලෝක ආණ්ඩුවක් බිහි කරන්න ඉක්මනින්ම ක්‍රියාත්මක වෙන්න ඕනේ.”

ඒත් ඒ වගේ ආණ්ඩුවක් පිහිටෙව්වත් ඒ දේශපාලනඥයන් කිසිම දූෂණයක්, වංචාවක්, අසාධාරණයක් නොකර තමන්ට හිමි වැඩ කොටස හරියටම ඉටු කරයි කියලා හිතන්න පුළුවන්ද? නැත්නම් එයාලත් අනිත් පාලකයන් වගේම දුෂ්ට විදිහට කටයුතු කරන්න පෙලඹෙයිද? ඉතිහාසඥයෙක් වුණු ඇක්ටන් සාමිවරයා කියපු මේ දේ බලන්න. “බලය ඇති තැන දූෂණය තියෙනවා. බලය වැඩි වෙන තරමට දූෂණයත් වැඩි වෙනවා.”

ලොව පුරා ඉන්න මිනිසුන් සාමයෙන් ජීවත් වෙන්න නම් හැමෝම අතරේ එකමුතුකම තියෙන්නම ඕනේ. ඒත් කොහොමද ඒක කරන්නේ? ඒ දේ වෙයි කියලා හිතන්නවත් පුළුවන්ද? බයිබලයේ කියනවා ඒ වගේ කාලයක් අනිවාර්යයෙන්ම එනවා කියලා. හැබැයි ඒ දේ කරන්නේ දෙවියන් පිහිටුවන ආණ්ඩුවක් මාර්ගයෙන් මිසක් දූෂිත පාලකයන්ගෙන් සෑදුණු මිනිස් ආණ්ඩුවකින් නම් නෙවෙයි. දෙවියන් පිහිටුවන ඒ ආණ්ඩුව “දෙවිගේ රාජ්‍යය” විදිහට බයිබලයේ හඳුන්වනවා. (ලූක් 4:43) ඒ ආණ්ඩුව මේ පොළොවේ පාලනය භාරගද්දී තමයි හැම දේකම නිර්මාතෘ හැටියට මේ පොළොව පාලනය කරන්න තමන්ට තියෙන අයිතිය දෙවියන් පාවිච්චි කරන්න පටන්ගන්නේ.

“ඔබගේ රාජ්‍යය පැමිණේවා!”

යේසුස් උගන්වපු ආදර්ශ යාච්ඤාවේදී ඔහු දෙවියන්ගේ රාජ්‍යය ගැන සඳහන් කළා. ඔහු කිව්වා ‘ඔබගේ රාජ්‍යය පැමිණේවා! ඔබගේ කැමැත්ත පොළොවෙහිද සිදු වේවා’ කියලා. (මතෙව් 6:9, 10) ඒ රාජ්‍යයෙන් ඉටු කරන්න යන්නේ දෙවියන්ගේ කැමැත්ත මිසක් බලලෝභී, මිනිස් පාලකයන්ගේ කැමැත්ත නෙවෙයි කියලා යේසුස් කියපු ඒ දෙයින් පැහැදිලියි.

ඒ රාජ්‍යය පොළොව පාලනය කරන්නේ ස්වර්ගයේ ඉඳන්. ඒක ස්වර්ග රාජ්‍යය විදිහටත් හඳුන්වන්නේ ඒ නිසයි. (මතෙව් 5:3) ඒ රාජ්‍යය පිහිටුවලා තියෙන්නේ ස්වර්ගයේ නිසා ඒකේ කිසිම දේකට මිනිසුන්ගෙන් මුදල් අය කරන්න ඕන වෙන්නේ නැහැ. ඒ වගේ ආණ්ඩුවක් යටතේ ඉන්න යටත්වැසියන්ට මොන තරම් සහනයක් දැනෙයිද!

දෙවියන්ගේ රාජ්‍යයේ රජ තමයි යේසුස් ක්‍රිස්තුස්. ඔහුට ඒ අධිකාරිය ලැබිලා තියෙන්නේ දෙවියන්ගෙන්. යේසුස් ගැන බයිබලයේ මෙහෙම කියනවා.

  • ‘රාජ්‍ය බලය ඔහුට භාර දෙනු ලබන්නේය. ඔහුගේ රාජ්‍ය බලයට සීමාවක් නොතිබෙයි. සමාදානය සදහටම පවතිනු ඇත.’—යෙසායා 9:6, 7.

  • සියලු ජාතීන්, ගෝත්‍ර හා විවිධ භාෂා කතා කරන මිනිසුන් ඔහුට සේවය කරන පිණිස රාජ්‍යයද බලයද ගෞරවයද ඔහුට දෙන ලදි. ඔහුගේ පාලනය සදහටම පවතින පාලනයකි.’—දානියෙල් 7:14.

  • “මෙලොවෙහි පාලනය දැන් අපගේ ස්වාමීන් [දෙවියන්] හා ඔහුගේ ක්‍රිස්තුස් සතු වී ඇත. ඔහු සදාකාලයටම රජකම් කරන්නේය.”—එළිදරව් 11:15.

යේසුස් ආදර්ශ යාච්ඤාවේ කියපු විදිහටම දෙවියන්ගේ රාජ්‍යය මාර්ගයෙන් දෙවියන්ගේ කැමැත්ත සම්පූර්ණයෙන්ම මේ පොළොවේ ඉටු කරනවා. ඒ කාලේදී පොළොව රැකබලා ගන්න ඕන විදිහ ගැන මිනිසුන් ඉගෙනගනියි. පොළොව ආයෙත් මිනිසුන්ගෙනුත් සතුන්ගෙනුත් පිරී ඉතිරී යන සරුසාර තැනක් වෙයි.

ඒ හැම දේටම වඩා වටින්නේ ඒ කාලේදී ඒ රාජ්‍යය මාර්ගයෙන් සියලුම මිනිසුන්ට එකම ප්‍රතිපත්ති ඉගෙනගන්න ලැබෙන එකයි. එදාට කිසිම විදිහකින්වත් මිනිසුන් අතරේ බෙදීම් ඇති වෙන්නේ නැහැ. බයිබලයේ ඒ ගැන කියන්නේ මෙහෙමයි. ‘කිසිවෙක් හානියක් වන අයුරින් කටයුතු කරන්නේවත් නැත. මන්ද ජලයෙන් මුහුද පිරී තිබෙන්නාක් මෙන් යෙහෝවා දෙවි වන මා පිළිබඳ දැනුමෙන් පොළොව පිරී තිබෙන්නේය.’—යෙසායා 11:9.

එක්සත් ජාතීන්ගේ සංවිධානය සිහින මවන දේ ඒ කාලේදී ඉටු වෙනවා. ඔව්, එදාට ලෝකේ පුරාම ඉන්න මිනිසුන් එකමුතුව සහයෝගයෙන් වැඩ කරයි. එයාලා ‘දසත පැතිරී තිබෙන සාමය නිසා මහත් සේ ප්‍රීති වෙනවා.’ (ගීතාවලිය 37:11) කාලයත් එක්කම “අල්ලස් දූෂණය,” “පරිසර දූෂණය,” “දුප්පත්කම” සහ “යුද්ධ” වගේ වචන අපිට අමතක වෙලාම යයි. ඒත් දෙවියන්ගේ රාජ්‍යයෙන් මේ පොළොව පාලනය කරන්න පටන්ගන්නේ කවදාද? ඒක වෙන්නේ කොහොමද? ඒ පාලනය යටතේ ආශීර්වාද ලබන්න නම් ඔයා කරන්න ඕනෙ මොනවාද? ඒ ප්‍රශ්නවලට උත්තර අපි බලමු.