Skip to content

පටුනට යන්න

පාඩම් ලිපිය 44

ඔයාගේ දරුවන් දෙවියන්ට සේවය කරයිද?

ඔයාගේ දරුවන් දෙවියන්ට සේවය කරයිද?

“යේසුස් ප්‍රඥාවෙන් සහ උස මහතින්ද දෙවි සහ මිනිසුන් ඉදිරියෙහි හොඳ නමක් දිනාගනිමින්ද වැඩුණේය.”—ලූක් 2:52.

ගීතිකාව 134 දරුවන් දෙවිගෙන් ලද සම්පතක්

මේ ලිපියෙන් *

1. අපිට ගන්න පුළුවන් හොඳම තීරණය මොකක්ද?

හුඟක් වෙලාවට දෙමාපියන් ගන්න තීරණ දරුවන්ගේ අනාගතයට බලපානවා. දෙමාපියන් අනුවණ තීරණ ගත්තොත් දරුවන්ට හුඟක් ප්‍රශ්නවලට මුහුණ දෙන්න වෙනවා. එයාලා ඥානවන්ත තීරණ ගත්තොත් දරුවන්ට සතුටින් ජීවත් වෙන්න එයාලගේ පැත්තෙන් පුළුවන් උපරිමය කරලා තියෙනවා කියලා කියන්න පුළුවන්. හැබැයි දරුවනුත් ඥානවන්ත තීරණ ගන්න ඕනේ. අපි හැමෝටම ගන්න පුළුවන් ඥානවන්තම තීරණය තමයි අපේ ආදරණීය තාත්තා වන යෙහෝවා දෙවියන්ට සේවය කරන්න තීරණය කරන එක.—ගීතා. 73:28.

2. යේසුස් සහ ඔහුගේ දෙමාපියන් ගත්ත ඥානවන්ත තීරණ මොනවාද?

2 යෝසෙප්ටයි, මරියාටයි ඕන වුණේ එයාලගේ දරුවන් යෙහෝවා දෙවියන්ට සේවය කරනවා දකින්න. එයාලගේ ජීවිතේ වැදගත්ම දේ වුණේ යෙහෝවා දෙවියන්ට සේවය කරන එකයි කියලා එයාලා ගත්ත තීරණවලින් පැහැදිලිව පෙනුණා. (ලූක් 2:40, 41, 52) යේසුත් ඥානවන්ත තීරණ ගත්තා. යෙහෝවා දෙවියන් තමන්ගෙන් බලාපොරොත්තු වුණ දේ කරන්න ඒක යේසුස්ට උදව් වුණා. (මතෙ. 4:1-10) යේසුස් වැඩිහිටියෙක් වුණාම ඔහු කාරුණික, විශ්වාසවන්ත, ධෛර්යවන්ත කෙනෙක් වුණා. දෙමාපියන් කැමති තමන්ගේ දරුවන් ඒ විදිහට හැදෙනවා දකින්න නේද?

3. මේ ලිපියෙන් අපි බලන්නේ මොනවා ගැනද?

3 යෙහෝවා දෙවියන් යේසුස් වෙනුවෙන් ගත්ත ඥානවන්ත තීරණ මොනවාද? යෝසෙප් සහ මරියා ගත්ත තීරණවලින් ක්‍රිස්තියානි දෙමාපියන්ට ඉගෙනගන්න පුළුවන් මොනවාද? යේසුස් ගත්ත තීරණවලින් යෞවනයන්ට ඉගෙනගන්න පුළුවන් මොනවාද? ඒ ප්‍රශ්නවලට උත්තර අපි මේ ලිපියෙන් බලමු.

යෙහෝවා දෙවියන්ගෙන් ඉගෙනගන්න

4. යෙහෝවා දෙවියන් යේසුස් සම්බන්ධයෙන් ගත්ත ඥානවන්ත තීරණය මොකක්ද?

4 යෙහෝවා දෙවියන් යේසුස්ගේ දෙමාපියන් විදිහට යෝසෙප්ව සහ මරියාව තෝරගත්ත එක මොන තරම් ඥානවන්ත තීරණයක්ද! (මතෙ. 1:18-23; ලූක් 1:26-38) මරියා මුළු හදවතින්ම කරපු යාච්ඤාවලින් පැහැදිලි වෙනවා එයාගේ හිතේ යෙහෝවා දෙවියන් ගැනත් ඔහුගේ වචනය ගැනත් කොච්චර ආදරයක් තිබුණාද කියලා. (ලූක් 1:46-55) ඒ වගේම යෝසෙප් යෙහෝවා දෙවියන්ගෙන් ලැබුණු මඟ පෙන්වීම්වලට කීකරු වුණ එකෙන් පැහැදිලි වෙනවා එයාත් යෙහෝවා දෙවියන්ට ආදරේ කරපු, ඔහුගේ හිත සතුටු කරන්න උපරිමයෙන් වෑයම් කරපු කෙනෙක් කියලා.—මතෙ. 1:24.

5-6. යෙහෝවා දෙවියන් යේසුස්ට මුහුණ දෙන්න ඉඩ හැරියේ මොන දේවලටද?

5 යෙහෝවා දෙවියන් යේසුස්ගේ දෙමාපියන් විදිහට තෝරගත්තේ පොහොසත් අයව නෙමෙයි. යේසුස් ඉපදුණාම යෝසෙපුයි මරියායි ඔප්පු කරපු පූජාවෙන් පැහැදිලි වෙනවා එයාලා හුඟක් දුප්පත් අය කියලා. (ලූක් 2:24) වඩුවෙක් වුණු යෝසෙප්ට නාසරෙත්වල තිබුණු එයාලගේ ගෙදරට එහා පැත්තෙත් පුංචි වඩු මඩුවක් තියෙන්න ඇති. එයාලට අඩුම තරමින් දරුවන් හත්දෙනෙක්වත් හිටියා කියලා බයිබලේ කියනවා. (මතෙ. 13:55, 56) ඒ නිසා පවුල ටිකෙන් ටික ලොකු වෙද්දී එයාලගේ ජීවිත තවත් සරල කරගන්න වුණා කියලා අපිට හිතන්න පුළුවන්.

6 යෙහෝවා දෙවියන් සමහර අවස්ථාවලදී යේසුස්ව ආරක්ෂා කළා. (මතෙ. 2:13-15) හැබැයි හැම වෙලාවෙම එහෙම කළේ නැහැ. උදාහරණෙකට නෑදෑයන්ගේ සමච්චල්වලට මුහුණ දෙන්න යේසුස්ට සිද්ධ වුණා. ඒ විතරක් නෙමෙයි යේසුස් ගැලවුම්කරු කියලා ඔහුගේම පවුලේ සමහර අය මුලදී පිළිගත්තේ නැහැ. (මාක් 3:21; යොහ. 7:5) හිතන්න ඒ ගැන යේසුස්ට මොන තරම් දුකක් දැනෙන්න ඇද්ද කියලා. පේන විදිහට යෝසෙප් මිය ගිහින් තියෙන්නේ යේසුස් යෞවනයෙක්ව ඉද්දී. ඒ නිසා පවුලේ වැඩිමලා විදිහට පවුලේ බර කරට අරන් වඩු වැඩ කරන්න යේසුස්ට සිද්ධ වෙන්න ඇති. (මාක් 6:3) තරුණ වයසට එද්දී පවුලේ වියදම් පියවන්න ඕන කරන මුදල් හම්බ කරන්න ඔහු ඉගෙනගෙන තිබුණා. ඒ වෙනුවෙන් ඔහු වෙහෙස නොබලා වැඩ කරන්න ඇති. දවස තිස්සේ හෙම්බත් වෙන කල් වැඩ කළාම, දවස අවසන් වෙද්දී කොච්චර වෙහෙසක් දැනෙනවාද කියලා යේසුස් හොඳට දැනගෙන හිටියා.

දෙමාපියනි, ජීවිතයේ ප්‍රශ්න ගැටලුවලට මුහුණ දෙද්දී බයිබලේ තියෙන මඟ පෙන්වීම් හොයලා ඒවා අදාළ කරගන්න දරුවන්ව පුහුණු කරන්න (7 ඡේදය බලන්න) *

7. (අ) දරුවන්ව හොඳින් හදා වඩා ගන්න දෙමාපියන්ට උදව් වෙන්නේ මොන ප්‍රශ්න ගැන හිතන එකද? (ආ) හිතෝපදේශ 2:1-6 කියන විදිහට දෙමාපියන් දරුවන්ට උගන්වන්න ඕනෙ මොනවාද?

7 ඔයාලා දරුවන් හදන්න බලාපොරොත්තුවෙන් ඉන්න විවාහක යුවළක්ද? එහෙමනම් ඔයාලගෙන්ම මෙහෙම අහගන්න. අපි යුවළක් විදිහට නමස්කාර කටයුතුවලට මුල් තැන දීලා කාරුණිකව, නිහතමානිව වැඩ කරනවාද? දෙමාපියන් වීමේ වගකීම භාර දෙන්න අපි සුදුසුයි කියලා දෙවියන්ට හැඟෙයිද? (ගීතා. 127:3, 4) ඔයාලට දරුවන් ඉන්නවා නම් මේ ගැන හිතන්න. වෙහෙස වෙලා වැඩ කරන්න මං දරුවන්ට උගන්වනවාද? (දේශ. 3:12, 13) සාතන් යටතේ තියෙන මේ ලෝකයේ දූෂිත දේවලින් දරුවන්ව ආරක්ෂා කරගන්න මං උපරිමයෙන් වෑයම් කරනවාද? (හිතෝ. 22:3) දරුවන්ට මුහුණ දෙන්න වෙන හැම අභියෝගයකින්ම එයාලව ආරක්ෂා කරන්න දෙමාපියන්ට බැහැ. හැබැයි ජීවිතේ ප්‍රශ්න ගැටලුවලට මුහුණ දෙද්දී බයිබලේ තියෙන මඟ පෙන්වීම් හොයලා ඒවා අදාළ කරගන්න එයාලව පුහුණු කරන්න ඕනේ. (හිතෝපදේශ 2:1-6 කියවන්න.) උදාහරණෙකට පවුලේ කෙනෙක් හරි නෑදෑයෙක් හරි දෙවියන්ව අත්හැරියොත් දිගටම දෙවියන්ට ළැදිව ඉන්න එක කොයි තරම් වැදගත්ද කියලා බයිබලෙන් හොයලා බලන්න දරුවන්ට උදව් කරන්න. (ගීතා. 31:23) ආදරේ කරන කෙනෙක් මැරුණොත් බයිබලෙන් සහනයක් අද්දකින්න දරුවන්ට උදව් කරන්න.—2 කොරි. 1:3, 4; 2 තිමෝ. 3:16.

යෝසෙප්ගෙන් සහ මරියාගෙන් ඉගෙනගන්න

8. යෝසෙප් සහ මරියා අදාළ කරගත්තේ ද්විතීය කතාව 6:6, 7 සඳහන් මොන උපදෙසද?

8 යෝසෙප් සහ මරියා යෙහෝවා දෙවියන්ගේ අනුමැතිය තියෙන වැඩිහිටියෙක් වෙන්න යේසුස්ට උදව් කළා. එහෙම කරන්න එයාලට පුළුවන් වුණේ දෙවියන් දෙමාපියන්ට දීපු මඟ පෙන්වීම් එයාලා අදාළ කරගත්ත නිසයි. (ද්විතීය කතාව 6:6, 7 කියවන්න.) යෝසෙප්ටත් මරියාටත් යෙහෝවා දෙවියන් ගැන ලොකු ආදරයක් තිබුණා. එයාලා උපරිමයෙන් වෑයම් කළේ දරුවන්ගේ හිත්වල යෙහෝවා දෙවියන් ගැන ලොකු ආදරයක් ඇති කරගන්න උදව් කරන්නයි.

9. පවුලක් විදිහට දෙවියන්ට ළං වෙන්න යෝසෙප් සහ මරියා කළේ මොනවාද?

9 යෝසෙප් සහ මරියා දරුවන් එක්ක නොකඩවා නමස්කාර කටයුතුවල යෙදුණා. එයාලා අනිවාර්යයෙන්ම සතිපතා නාසරෙත්වල තිබුණු සිනගෝගයට යන්න ඇති. ඒ වගේම පාස්කුව සමරන්න හැම අවුරුද්දකම යෙරුසලමට යන්න ඇති. (ලූක් 2:41; 4:16) යෙරුසලමට යන අතරතුරේදී අතීතයේදී හිටපු දෙවියන්ගේ සෙනඟ ගැන බයිබලේ තියෙන තොරතුරු එයාලා දරුවන්ට කියලා දෙන්න ඇති. සමහරවිට බයිබලේ සමහර සිද්ධීන් වුණු තැන් දරුවන්ට පෙන්නන්නත් ඇති. පවුලේ දරුවන් ගණන වැඩි වෙද්දී ඒ දේවල් කරන එක එයාලට ලේසි නැති වුණත් එයාලා දිගටම ඒ දේවල් කළා. ප්‍රතිඵලයක් විදිහට යෙහෝවා දෙවියන්ගේ ආශීර්වාදය එයාලට ලැබුණා. ඒ නිසා පවුලක් විදිහට දෙවියන්ට ළං වෙලා ඉන්න එයාලට පුළුවන් වුණා.

10. යෝසෙප්ගෙන් සහ මරියාගෙන් දෙමාපියන්ට ඉගෙනගන්න පුළුවන් මොනවාද?

10 යෝසෙප්ගෙන් සහ මරියාගෙන් දෙමාපියන්ට ඉගෙනගන්න පුළුවන් මොනවාද? ඔයාලගේ හිත්වල යෙහෝවා දෙවියන් ගැන ලොකු ආදරයක් තියෙනවා කියලා ඔයාලා කියන කරන දේවලින් දරුවන්ට පැහැදිලිව පේන්න ඕනේ. දරුවන් වෙනුවෙන් ඔයාලට දෙන්න පුළුවන් වටිනාම තෑග්ග තමයි යෙහෝවා දෙවියන් ගැන එයාලගේ හිත්වල ආදරයක් ඇති කරගන්න උදව් කරන එක. ඒ වගේම නොකඩවා බයිබලය අධ්‍යයනය කරන්න, යාච්ඤා කරන්න, රැස්වීම්වලට සහභාගි වෙන්න, සහ සේවේ හවුල් වෙන්න එයාලට උගන්වන එකත් හරිම වැදගත්. (1 තිමෝ. 6:6) ඇත්ත දෙමාපියන් විදිහට ඔයාලා දරුවන්ට අවශ්‍ය දේවල් සපයන්න ඕනෙ තමයි. (1 තිමෝ. 5:8) හැබැයි ඔයාලා මතක තියාගන්න ඕන වැදගත් දෙයක් තියෙනවා. ඒ තමයි ළඟ ළඟම එන මහත් පීඩාවෙන් බේරිලා හැමදාටම ජීවත් වෙන්න එයාලට පුළුවන් වෙන්නේ එයාලට යෙහෝවා දෙවියන් එක්ක කිට්ටු බැඳීමක් තියෙන එකෙන් මිසක් ධන සම්පත්වලින් නෙවෙයි කියන දේ.—එස. 7:19; 1 තිමෝ. 4:8.

අපි අතරේ ඉන්න හුඟක් දෙමාපියන් යෙහෝවා දෙවියන්ට ළං වෙන්න දරුවන්ට උදව් වෙන තීරණ අරන් තියෙන එක අපිට මොන තරම් සතුටක්ද! (11 ඡේදය බලන්න) *

11. (අ) හොඳ තීරණ ගන්න 1 තිමෝති 6:17-19 දෙමාපියන්ට උදව් වෙන්නේ කොහොමද? (ආ) පවුලක් විදිහට ඔයාලට තියාගන්න පුළුවන් ඉලක්ක මොනවාද? එහෙම කරන එකෙන් ලැබෙන ආශීර්වාද මොනවාද? (“ පවුලක් විදිහට තියාගන්න පුළුවන් ඉලක්ක මොනවාද?” කියන කොටුව බලන්න.)

11 අපි අතරේ ඉන්න හුඟක් දෙමාපියන් දෙවියන්ට ළං වෙන්න දරුවන්ට උදව් වෙන තීරණ අරන් තියෙන එක ගැන අපි හුඟක් සතුටු වෙනවා. එයාලා නමස්කාර කටයුතු අතපසු කරන්නේ නැහැ. රැස්වීම්වලටත් සමුළුවලටත් නොකඩවා සහභාගි වෙනවා. දිගටම සේවයේ හවුල් වෙනවා. සමහර පවුල් ප්‍රචාරකයන් අඩු පළාත්වලට ගිහින් සේවය කරනවා. තවත් අය පවුලක් විදිහට බෙතෙල් එක බලන්න යනවා. ඉදි කිරීම් වැඩවලට හවුල් වෙනවා. ඒ වෙනුවෙන් එයාලට ලොකු වියදමක් දරන්න වෙයි. යම් අභියෝගවලට මුහුණ දෙන්නත් වෙයි. හැබැයි ඒ වෙනුවෙන් එයාලා දරන වෑයම කවදාවත් අපතේ යන්නේ නැහැ. මොකද යෙහෝවා දෙවියන් අනිවාර්යයෙන්ම එයාලට ආශීර්වාද කරනවා. (1 තිමෝති 6:17-19 කියවන්න.) හුඟක් වෙලාවට ඒ වගේ පවුල්වල හැදෙන දරුවන් දිගටම දෙමාපියන්ගේ ආදර්ශය අනුගමනය කරන්න පෙලඹෙනවා. දෙමාපියන්ගෙන් ඒ වගේ පුහුණුවක් ලැබුණ එක ගැන එයාලට දැනෙන්නේ ලොකු සතුටක්. *හිතෝ. 10:22

යේසුස්ගෙන් ඉගෙනගන්න

12. වැඩිහිටියෙක් වුණාම යේසුස්ට කරන්න වුණේ මොනවාද?

12 ස්වර්ගයේ ඉන්න යේසුස්ගේ තාත්තාත් පොළොවේ ඔහුව හදා වඩා ගත්ත දෙමාපියනුත් යේසුස් වෙනුවෙන් ඥානවන්ත තීරණ ගත්තා. හැබැයි යේසුස් ටිකෙන් ටික ලොකු වෙද්දී ඔහුට තනියම තීරණ ගන්න සිද්ධ වුණා. (ගලා. 6:5) තීරණ ගන්න නිදහස තිබුණ නිසා ඕනෙ නම් තමන්ගේම ආශාවන් ඉටු කරගන්න ඒ නිදහස පාවිච්චි කරන්න යේසුස්ට අවස්ථාව තිබුණා. ඒත් ඔහු යෙහෝවා දෙවියන් එක්ක තියෙන බැඳීම ආරක්ෂා වෙන විදිහට දේවල් කරන්න තීරණය කළා. (යොහ. 8:29) ඔහුව ආදර්ශයට ගන්න යෞවනයන්ට පුළුවන් කොහොමද?

යෞවනයෙනි, දෙමාපියන් දෙන මඟ පෙන්වීම් නොසලකා හරින්න එපා (13 ඡේදය බලන්න) *

13. යෞවන වයසේදී යේසුස් ගත්ත වැදගත් තීරණය මොකක්ද?

13 යෞවන වයසේදීත් දෙමාපියන්ට දිගටම කීකරු වෙන්න යේසුස් තීරණය කළා. යේසුස් කවදාවත් දෙමාපියන්ට වඩා තමන් දේවල් දන්නවා කියලා කිව්වේවත් දෙමාපියන්ට අකීකරු වුණේවත් නැහැ. බයිබලේ කියන්නේ ‘ඔහු දිගටම දෙමාපියන්ට කීකරු වුණා’ කියලයි. (ලූක් 2:51) පවුලේ වැඩිමලා විදිහට පවුල රැකබලා ගන්න තිබුණු වගකීම ඔහු නොසලකාහැරියේ නැහැ. ඒ නිසයි ඔහු මහන්සි වෙලා යෝසෙප්ගෙන් වඩු වැඩ ඉගෙනගත්තේ.

14. යේසුස් ශුද්ධ ලියවිල්ල හොඳින් අධ්‍යයනය කළා කියලා අපි දන්නේ කොහොමද?

14 යේසුස් ආශ්චර්යවත් විදිහට ඉපදුණු විදිහ ගැනත් දේවදූතයන් ඔහු ගැන කියපු දේවල් ගැනත් යේසුස්ගේ දෙමාපියන් ඔහුට කියන්න ඇති. (ලූක් 2:8-19, 25-38) හැබැයි යේසුස් ඒ දේවලින් සෑහීමට පත් වුණේ නැහැ. ඒ වෙනුවට ඔහු ශුද්ධ ලියවිල්ල හොඳින් අධ්‍යයනය කළා. අපි කොහොමද ඒක දන්නේ? යෞවන වයසේ ඉද්දී ‘ඔහුට තිබුණු අවබෝධය ගැන සහ ඔහු පිළිතුරු දුන් ආකාරය ගැන යෙරුසලමේ හිටපු ගුරුවරු පුදුම වුණ’ එකෙන් ඒක පැහැදිලි වෙනවා. (ලූක් 2:46, 47) ඔහු ශුද්ධ ලියවිල්ල හොඳින් අධ්‍යයනය කරපු නිසා අවුරුදු 12ක් තරම් පුංචි වයසේදීම යෙහෝවා දෙවියන් තමන්ගේ තාත්තා කියලා ඔහු තමන්ටම තහවුරු කරගෙන තිබුණා.—ලූක් 2:42, 43, 49.

15. යෙහෝවා දෙවියන්ගේ කැමැත්ත කරන්න යේසුස්ම තීරණය කළා කියලා අපි දන්නේ කොහොමද?

15 ගැලවුම්කරු විදිහට තමන්ගෙන් යෙහෝවා දෙවියන් බලාපොරොත්තු වෙන්නේ මොනවාද කියලා තේරුම්ගත්තාම යේසුස් ඒ පැවරුම ඉටු කරන්න කැමැත්තෙන්ම තීරණය කළා. (යොහ. 6:38) ඒ දේ කරද්දී මිනිසුන් තමන්ට වෛර කරනවා කියලා දැනගත්තාම යේසුස්ට දුකක් දැනෙන්න ඇති. ඒත් දිගටම දෙවියන්ගේ කැමැත්ත කරන්න ඔහු අදිටන් කරගත්තා. ක්‍රි.ව. 29දී ඔහු බව්තීස්ම වෙනකොට ඔහුගේ ජීවිතයේ වැදගත්ම දේ වුණේ යෙහෝවා දෙවියන්ගේ කැමැත්ත ඉටු කරන එකයි. (හෙබ්‍රෙ. 10:5-7) වධකණුවේ මිය යමින් හිටිය අවස්ථාවේදීවත් පියාණන්ගේ කැමැත්ත ඉටු කරන එක ඔහු අත්හැරියේ නැහැ.—යොහ. 19:30.

16. යේසුස්ගෙන් දරුවන්ට ඉගෙනගන්න පුළුවන් එක දෙයක් මොකක්ද?

16 ඔයාගේ දෙමාපියන්ට කීකරු වෙන්න. යේසුස්ගේ දෙමාපියන් වගේම ඔයාගේ දෙමාපියනුත් පව්කාරකම උරුම කරගත්ත අය. හැබැයි ඔයාව ආරක්ෂා කරන්න, පුහුණු කරන්න, මඟ පෙන්නන්න ඒ අයට වගකීම දීලා තියෙන්නේ යෙහෝවා දෙවියන්. ඒ නිසා යේසුස් වගේ ඔයාගේ දෙමාපියන්ට කීකරු වෙන එක, ගෞරව කරන එක හරිම වැදගත්. එහෙම කරන එක ඔයාගේ යහපතට හේතු වෙනවා.—එෆී. 6:1-4.

17. යොෂුවා 24:15 අනුව යෞවනයන් ගන්න ඕනෙ මොන තීරණයද?

17 ඔයා සේවය කරන්නේ කාටද කියලා තීරණය කරන්න. යෙහෝවා දෙවියන් කවුද, ඔහු කරන්න බලාපොරොත්තු වෙන්නේ මොනවාද සහ ඔහු ඔයාගෙන් බලාපොරොත්තු වෙන්නේ මොනවාද කියලා ඔයා ඔයාටම තහවුරු කරගන්න ඕනේ. (රෝම 12:2) ඔයාගේ ජීවිතේ වැදගත්ම තීරණය ගන්න ඒක ඔයාට උදව් වෙයි. ඒ තමයි යෙහෝවා දෙවියන්ට සේවය කරන්න තීරණය කරන එක. (යොෂුවා 24:15 කියවන්න; දේශ. 12:1) නොකඩවාම බයිබලය අධ්‍යයනය කරන්න උපරිමයෙන් වෑයම් කරන්න. යෙහෝවා දෙවියන් ගැන ඔයාගේ හිතේ තියෙන ආදරේ වැඩි කරගන්නත් ඒක ඔයාට උදව් වෙයි.

18. යෞවනයන් ගන්න ඕන වැදගත් තීරණයක් මොකක්ද? ඒකෙන් ලැබෙන ප්‍රතිඵල මොනවාද?

18 යෙහෝවා දෙවියන්ගේ කැමැත්ත කරන එකට මුල් තැන දෙන්න. සාතන් යටතේ තියෙන මේ ලෝකය ඔයාට පෙන්නන්න හදන්නේ ඔයාගේ හැකියාවන් ඔයාගෙම ප්‍රයෝජනය වෙනුවෙන් යොදාගත්තොත් සතුටින් ඉන්න පුළුවන් කියලා. ඒත් බයිබලේ කියනවා ධන සම්පත් පස්සේ යන අයට ‘බොහෝ වේදනා අද්දකින්න සිද්ධ වෙනවා’ කියලා. (1 තිමෝ. 6:9, 10) ඒ නිසා ඔයා යෙහෝවා දෙවියන්ට ඇහුම්කන් දීලා ඔහුගේ කැමැත්ත කරන එකට මුල් තැන දුන්නොත් ‘ඥානවන්ත තීරණ’ ගන්නත් ජීවිතේ සාර්ථක කරගන්නත් ඔයාට පුළුවන් වෙනවා.—යොෂු. 1:8.

ඔයාගේ තීරණය මොකක්ද?

19. දෙමාපියන් මතක තියාගන්න ඕනෙ මොකක්ද?

19 දෙමාපියෙනි, යෙහෝවා දෙවියන්ට සේවය කරන්න දරුවන්ට උදව් කරන්න ඔයාලට පුළුවන් හැම දේම කරන්න. ඒ දේ කරන්න යෙහෝවා දෙවියන්ගෙන් උදව් ඉල්ලන්න. එතකොට ඥානවන්ත තීරණ ගන්න ඔහු ඔයාලට උදව් කරයි. (හිතෝ. 3:5, 6) දරුවන් දේවල් ඉගෙනගන්නේ ඔයා කියන දේවලට වඩා ඔයා කරන දේවලින් කියලා අමතක කරන්න එපා. ඒ නිසා දරුවන්ට යෙහෝවා දෙවියන්ගේ අනුමැතිය ලබාගන්න උදව් වෙන විදිහේ තීරණ ගන්න.

20. යෞවනයන් යෙහෝවා දෙවියන්ට සේවය කරන්න තීරණය කළොත් එයාලට ලැබෙන ආශීර්වාද මොනවාද?

20 යෞවනයෙනි, ඥානවන්ත තීරණ ගන්න ඔයාලට උදව් කරන්න දෙමාපියන්ට පුළුවන්. හැබැයි යෙහෝවා දෙවියන්ගේ අනුමැතිය දිනාගන්න නම් ඔයායි ඒ තීරණය ගන්න ඕනේ. ඒ නිසා යේසුස්ව ආදර්ශයට අරන් ඔයාගේ ආදරණීය තාත්තා වන යෙහෝවා දෙවියන්ට සේවය කරන්න තීරණයක් ගන්න. එහෙම කළොත් යෙහෝවා දෙවියන් වෙනුවෙන් ගොඩක් දේවල් කරන්නත් තෘප්තිමත් ජීවිතයක් ගත කරන්නත් ඔයාට පුළුවන් වෙයි. (1 තිමෝ. 4:16) ඒ විතරක් නෙමෙයි අනාගතයේදී හැමදාටම සතුටින් පිරුණු ජීවිතයක් ගත කරන්නත් ඔයාට පුළුවන්.

ගීතිකාව 133 යෞවන කාලයේදී දෙවිව සිහි කරන්න

^ 5 ඡේ. ක්‍රිස්තියානි දෙමාපියන් කැමති තමන්ගේ දරුවන් සතුටින් දෙවියන්ට සේවය කරනවාටයි. එහෙම වෙන්න නම් දෙමාපියන් ගන්න ඕන තීරණ මොනවාද? ජීවිතය සාර්ථක කරගන්න නම් යෞවනයන් ගන්න ඕන තීරණ මොනවාද? ඒ ගැන අපි මේ ලිපියෙන් බලමු.

^ 11 ඡේ. 2011 ඔක්තෝබර් ‘පිබිදෙව්!’ සඟරාවේ 20වන පිටුවේ පළ වුණු “මීට වඩා හොඳ දෙමාපියන් මට කොහෙන්වත් හොයාගන්න බැහැ” කියන කොටුව සහ 1999 මාර්තු 8 ‘පිබිදෙව්!’ සඟරාවේ 30වන පිටුවේ පළ වුණු “තම දෙමාපියන්ට විශේෂ ලියුමක්” කියන ලිපිය බලන්න.

^ 65 ඡේ. පින්තූරයේ අදහස: පුංචි කාලේ යේසුස්ගේ හිතේ යෙහෝවා දෙවියන් ගැන ලොකු ආදරයක් ඇති කරන්න මරියා උපරිමයෙන් වෑයම් කරන්න ඇති. අද ඉන්න අම්මලාටත් පුළුවන් මරියාව ආදර්ශයට ගන්න.

^ 67 ඡේ. පින්තූරයේ අදහස: පවුලක් විදිහට සිනගෝගයට යන එකේ වැදගත්කම යෝසෙප් තේරුම් අරන් ඉන්න ඇති. පවුලක් විදිහට රැස්වීම්වලට සහභාගි වෙන එකේ වැදගත්කම අද ඉන්න තාත්තලාත් තේරුම්ගන්න ඕනේ.

^ 69 ඡේ. පින්තූරයේ අදහස: යේසුස් යෝසෙප්ගෙන් වඩු වැඩ ඉගෙනගත්තා. අද ඉන්න යෞවනයන්ටත් විවිධ වැඩ කරන්න තාත්තලාගෙන් ඉගෙනගන්න පුළුවන්.