Skip to content

පටුනට යන්න

පාඩම් ලිපිය 42

බව්තීස්මය දක්වා දියුණු වෙන්න බයිබල් ශිෂ්‍යයන්ට උදව් කරන්න (දෙවෙනි කොටස)

බව්තීස්මය දක්වා දියුණු වෙන්න බයිබල් ශිෂ්‍යයන්ට උදව් කරන්න (දෙවෙනි කොටස)

“ඔබ ගැනත් ඔබ උගන්වන දේ ගැනත් නිරතුරුවම සැලකිලිමත් වන්න.”—1 තිමෝ. 4:16.

ගීතිකාව 77 අඳුරු ලොවට ආලෝකයක්

මේ ලිපියෙන් *

1. මිනිසුන්ට යේසුස්ගේ ගෝලයන් වෙන්න උදව් කරන එක ජීවිත ගලවන වැඩක් කියලා කියන්නේ ඇයි?

මිනිසුන්ට යේසුස්ගේ ගෝලයන් වෙන්න උදව් කරන එක ජීවිත ගලවන වැඩක්. මතෙව් 28:19, 20 යේසුස් කිව්වේ ‘ගොස් මිනිසුන්ට මගේ ගෝලයන් වෙන්න උපකාර කරන්න. ඔවුන්ව බව්තීස්ම කරන්න’ කියලයි. බව්තීස්ම වෙන එක ඒ තරම් වැදගත් ඇයි? කෙනෙක්ට සදාකල් ජීවිතය ලබාගන්න ඒක අත්‍යවශ්‍ය දෙයක්. යේසුස් අපි වෙනුවෙන් ජීවිතය පූජා කරලා නැවත නැඟිටුවීමක් ලබපු නිසයි අපිට සදාකාල ජීවිතය ලැබෙන්නේ කියලා බව්තීස්ම වෙන කෙනෙක් විශ්වාස කරන්න ඕනේ. ඒ නිසයි පේතෘස් කිව්වේ ‘ඔබ දැන් ගැලවෙන්නේ නැවත නැඟිටවනු ලැබූ යේසුස් ක්‍රිස්තුස්ව ඔබ විශ්වාස කර බව්තීස්ම වුණ නිසයි’ කියලා. (1 පේතෘ. 3:21) කෙනෙක් බව්තීස්ම වෙද්දී සදාකාල ජීවනයට යන මාර්ගය එයාට විවෘත වෙනවා කියලා ඒ තොරතුරුවලින් පැහැදිලියි.

2. 2 තිමෝති 4:1, 2 අනුව ගුරුවරුන් විදිහට අපි කරන්න ඕනෙ මොනවාද?

2 මිනිසුන්ට යේසුස්ගේ ගෝලයන් වෙන්න උදව් කරන්න නම් ‘දක්ෂ විදිහට උගන්වන්න’ අපි ඉගෙනගන්න ඕනේ. (2 තිමෝති 4:1, 2 කියවන්න.) ඒ ඇයි? යේසුස් කිව්වා ‘ගොස් මිනිසුන්ට මගේ ගෝලයන් වෙන්න උපකාර කරන්න. ඔවුන්ට උගන්වන්න’ කියලා. පාවුල් කිව්වේ ‘ඔබටත් ඔබට සවන් දෙන අයටත් ගැලවීම ලැබෙන නිසා ඔබ උගන්වන දේ ගැනත් නිරතුරුවම සැලකිලිමත් වන්න. ඒ දේවලට ඇලී සිටින්න’ කියලයි. (1 තිමෝ. 4:16) ඒකෙන් පැහැදිලි වෙනවා ජීවිත ගලවන මේ වැඩේ කරන්න අපි දක්ෂ විදිහට උගන්වන්න ඕනෙ කියලා.

3. මේ ලිපියෙන් අපි සාකච්ඡා කරන්නේ මොනවාද?

3 ලොව පුරා ඉන්න මිලියන ගාණක් මිනිසුන්ට බයිබල් සත්‍යයන් දැනගන්න අපි උදව් කරනවා. ඒ අයට බව්තීස්ම වෙලා යේසුස්ගේ ගෝලයන් වෙන්න උදව් කරන්න පුළුවන් විදි කිහිපයක් ගැන අපි කලින් ලිපියේ බැලුවා. බව්තීස්මය දක්වා දියුණු වෙන්න ශිෂ්‍යයන්ට උදව් කරන්න ගුරුවරුන් විදිහට අපි කරන්න ඕන තවත් දේවල් පහක් ගැන අපි මේ ලිපියෙන් බලමු.

බයිබලයෙන් උගන්වන්න

පාඩමක් කරද්දී බයිබලය තවත් දක්ෂ විදිහට පාවිච්චි කරන්න අද්දැකීම් තියෙන ප්‍රචාරකයෙක්ගෙන් උදව් ඉල්ලන්න (4-6 ඡේද බලන්න) *

4. ගුරුවරයෙක් වැඩිපුර කතා කරන එකෙන් වැළකිලා ඉන්න ඕනෙ ඇයි? (පාදසටහන බලන්න.)

4 බයිබලයෙන් ඉගෙනගත්ත දේවල් ගැන අපේ හිතේ ලොකු අගයක් තියෙනවා. ඒ නිසා ඒ දේවල් ගැන කතා කරන්න අපි හරිම ආසයි. හැබැයි අපි පරෙස්සම් වෙන්න ඕන පැත්තකුත් තියෙනවා. ‘මුරටැඹ’ පාඩම හරි සභා බයිබල් පාඩම හරි බයිබල් පාඩමක් හරි අපි කරද්දී ඕනෑවට වඩා කතා කරන එකෙන් අපි වැළකිලා ඉන්න ඕනේ. මොකද අපිට ඕනෙ බයිබලේ තියෙන තොරතුරුවලට අවධානය දෙන්න. ඒ නිසා අපි කතා කරන විෂය ගැන හරි බයිබල් පදයක් ගැන හරි අපි දන්න හැම දේම අපි විස්තර කරන්නේ නැහැ. * (යොහ. 16:12) ටිකකට හිතන්න ඔයා බව්තීස්ම වෙද්දී ඔයාට තිබුණු බයිබල් දැනුම ගැන. ඒ වෙද්දී ඔයා දැනන් ඉන්න ඇත්තේ බයිබලේ මූලික ඉගැන්වීම් විතරක් වෙන්න ඇති. (හෙබ්‍රෙ. 6:1) හැබැයි දැන් බයිබලේ ගැන ගොඩක් තොරතුරු ඔයා දන්නවා. ඒ දේවල් ඉගෙනගන්න ඔයාට අවුරුදු ගාණක් යන්න ඇති. අවුරුදු ගාණකින් ඔයා ලබාගත්ත ඒ දැනුම එක දවසකින් ශිෂ්‍යයාට උගන්වන්න හදන්න එපා.

5. (අ) 1 තෙසලෝනික 2:13 අනුව පාඩමෙන් ඉගෙනගන්න දේවල් ගැන ශිෂ්‍යයාට කොහොම හැඟෙනවාටද අපි කැමති? (ආ) ඉගෙනගන්න දේවල් ගැන කතා කරන්න ශිෂ්‍යයාව දිරිගන්වන්න අපිට පුළුවන් කොහොමද?

5 ශිෂ්‍යයා ඉගෙනගන්නේ බයිබලේ තියෙන තොරතුරු මිසක් අපේ අදහස් නෙවෙයි කියලා එයා තේරුම්ගන්නවාටයි අපි කැමති. (1 තෙසලෝනික 2:13 කියවන්න.) ඒක කරන්න අපිට පුළුවන් කොහොමද? ඉගෙනගන්න දේවල් ගැන කතා කරන්න ශිෂ්‍යයාව දිරිගන්වන්න. හැම බයිබල් පදයකම අදහස ඔයා පැහැදිලි කරනවා වෙනුවට සමහර පද විස්තර කරන්න කියලා ශිෂ්‍යයාට කියන්න. බයිබලෙන් ඉගෙනගත්ත දේවල් අදාළ කරගන්න පුළුවන් කොහොමද කියලා තේරුම්ගන්න එයාට උදව් කරන්න. කියවන බයිබල් පද ගැන එයාට හැඟෙන්නේ කොහොමද කියලා දැනගන්න එයාගෙන් ප්‍රශ්න අහන්න. (ලූක් 10:25-28) උදාහරණෙකට එයාගෙන් මෙහෙම අහන්න. “මේ බයිබල් පදයෙන් ඔයා යෙහෝවා දෙවියන් ගැන ඉගෙනගත්තේ මොනවාද?” “බයිබලෙන් ඉගෙනගත්ත මේ තොරතුරු ඔයාට ප්‍රයෝජනවත් වෙන්නේ කොහොමද?” “ඉගෙනගත්ත තොරතුරු ගැන ඔයාට හැඟෙන්නේ කොහොමද?” (හිතෝ. 20:5) වැදගත් වෙන්නේ ශිෂ්‍යයාට කොච්චර දැනුමක් තියෙනවාද කියන එක නෙමෙයි එයා ඉගෙනගත්ත දේවල් ගැන එයාට ලොකු අගයක් තියෙනවාද ඒවා අදාළ කරගන්නවාද කියන එකයි.

6. අද්දැකීම් තියෙන ප්‍රචාරකයන්ව අපේ බයිබල් පාඩමට එක්කගෙන යන එකේ තියෙන ප්‍රයෝජන මොනවාද?

6 ඔයා බයිබල් පාඩම්වලට යද්දී අද්දැකීම් තියෙන ප්‍රචාරකයන්ව එක්කගෙන යනවාද? එහෙමනම් ඔයාට දියුණු වෙන්න පුළුවන් මොන පැතිවලින්ද කියලත් බයිබලේ තවත් දක්ෂ විදිහට පාවිච්චි කරන්න පුළුවන් කොහොමද කියලත් එයාලගෙන් අහන්න. එහෙම කරන්න නම් ඔයාට නිහතමානිකම තියෙන්නම ඕනේ. (ක්‍රියා 18:24-26 දක්වා බලන්න.) ශිෂ්‍යයාගේ හදවතට කාවදින විදිහට ඔයා පාඩම කළාද කියලත් එයාලගෙන් අහන්න. ඔයාට පාඩමට යන්න බැරි වෙන දවස්වලදී ඒ පාඩම කරන්න කියලා ඔයාත් එක්ක යන අද්දැකීම් තියෙන ප්‍රචාරකයාට කියන්න. බයිබල් පාඩම නොකඩවා කරන්නත් බයිබල් පාඩමේ වටිනාකම ශිෂ්‍යයාට තේරුම්ගන්නත් ඒක උදව් වෙයි. ඔයාට ඕනෙ සත්‍ය මාර්ගයේ ශිෂ්‍යයා දියුණු වෙනවා දකින්නයි. ඒ නිසා “ඒක මගේ බයිබල් පාඩම, ඒක කරන්න ඕනෙ මම විතරයි” කියලා හිතන්න එපා.

උද්‍යෝගයෙන් සහ ස්ථිර විශ්වාසයකින් උගන්වන්න

බයිබල් ප්‍රතිපත්ති අදාළ කරගෙන ජීවිත වෙනස් කරගත්ත අයගේ අද්දැකීම් ශිෂ්‍යයාට කියන්න (7-9 ඡේද බලන්න) *

7. තවත් උනන්දුවෙන් බයිබල් පාඩම කරන්න ශිෂ්‍යයාට උදව් වෙන්නේ මොනවාද?

7 ඔයා බයිබල් පාඩම උද්‍යෝගයෙන් කරන එකත් උගන්වන දේවල් ගැන ඔයාට ස්ථිර විශ්වාසයක් තියෙන එකත් හරිම වැදගත්. (1 තෙස. 1:5) ඔයා එහෙම කරද්දී තවත් උනන්දුවෙන් පාඩම කරන්න ශිෂ්‍යයා පෙලඹෙයි. බයිබලේ තියෙන තොරතුරු ඔයාට ප්‍රයෝජනවත් වුණේ කොහොමද කියලා ශිෂ්‍යයාට කියන්න. බයිබලේ ඉගෙනගන්න දේවල් අදාළ කරගත්තොත් එයාටත් ප්‍රයෝජන ලැබෙනවා කියන දේ තේරුම්ගන්න ඒක එයාට උදව් වෙයි.

8. බයිබල් ශිෂ්‍යයාට උදව් කරන්න ඔයාට කරන්න පුළුවන් තවත් දේවල් මොනවාද? එහෙම කරන එක වැදගත් ඇයි?

8 ශිෂ්‍යයා මුහුණ දෙන අභියෝගවලට සාර්ථකව මුහුණ දීලා තියෙන අයගේ අද්දැකීම් එයාට කියන්න. සභාවේ ඒ වගේ කෙනෙක් ඉන්නවා නම් එයාව පාඩමට එක්කගෙන යන්න. jw.org වෙබ් එකේ “ජීවිත වෙනස් කළ පොතක්” යටතේ එන අද්දැකීම් එයාට කියන්න. * බයිබල් ප්‍රතිපත්ති අදාළ කරගෙන ජීවිතේ වෙනස්කම් කරගන්න එයාටත් පුළුවන් කියලා තේරුම්ගන්න ඒවා එයාට උදව් වෙයි.

9. ඉගෙනගන්න දේවල් පවුලේ අයටයි යාළුවන්ටයි කියන්න ශිෂ්‍යයාව දිරිගන්වන්න ඔයාට පුළුවන් කොහොමද?

9 බයිබල් ශිෂ්‍යයා විවාහක කෙනෙක්ද? එයාගේ සැමියා හරි බිරිඳ හරි පාඩමට හවුල් වෙන්නේ නැත්නම් පාඩමට හවුල් වෙන්න කියලා එයාට ආරාධනා කරන්න. ඉගෙනගත්ත දේවල් පවුලේ අයටයි යාළුවන්ටයි කියන්න කියලා ශිෂ්‍යයාව දිරිගන්වන්න. (යොහ. 1:40-45) ඒක කරන්න පුළුවන් කොහොමද? එයාගෙන් මෙහෙම අහන්න. “ඔයා ඉගෙනගත්ත දේ පවුලේ අයට පැහැදිලි කරන්න ඔයාට පුළුවන් කොහොමද? ඒක ඇත්තක් කියලා යාළුවන්ට පැහැදිලි කරන්න ඔයාට පෙන්නන්න පුළුවන් මොන බයිබල් පදයද?” එහෙම කරන එකෙන් ඔයා කරන්නේ ගුරුවරයෙක් වෙන්න එයාව පුහුණු කරන එකයි. කාලයත් එක්කම සුදුසුකම් ලබාගෙන ප්‍රචාරකයෙක් වෙන්න ඒක එයාට උදව් වෙයි. “බයිබලේ තියෙන දේවල් ඉගෙනගන්න කැමති කාවහරි ඔයා දන්නවාද” කියලා එයාගෙන් අහන්න. එහෙම කෙනෙක් ඉන්නවා නම් එයා එක්ක කතා කරලා බයිබල් පාඩමක් කරන්න සැලසුම් කරන්න. ‘බයිබල් සාකච්ඡාවක් කරන්නේ කොහොමද?’ කියන වීඩියෝ එක එයාට පෙන්නන්න. *

සභාවේ අයව යාළුවන් කරගන්න උදව් කරන්න

සභාවේ යාළුවන් ඇති කරගන්න ශිෂ්‍යයාට උදව් කරන්න (10-11 ඡේද බලන්න) *

10. 1 තෙසලෝනික 2:7, 8 අනුව පාවුල්ව ආදර්ශයට ගන්න අපිට පුළුවන් කොහොමද?

10 ගුරුවරයෙක් විදිහට අපි අපේ ශිෂ්‍යයන් ගැන අවංකවම සැලකිලිමත් වෙන්න ඕනේ. කවදාහරි දවසක එයාලත් අපේ සහෝදර සහෝදරියන් වෙයි කියලා අපි හිතන්න ඕනේ. (1 තෙසලෝනික 2:7, 8 කියවන්න.) ලෝකේ ඉන්න එයාලගේ යාළුවන්ව අත්හරින එකත් ජීවිතේ වෙනස්කම් කරගන්න එකත් එයාලට ලේසි වෙන එකක් නැහැ. ඒ නිසා සභාවෙන් හොඳ යාළුවන් හොයාගන්න අපි එයාලට උදව් කරන්න ඕනේ. පාඩම කරන දවසට අමතරව වෙන දවස්වලත් එයාව බලන්න යන්න. එයාට කෝල් එකක් හරි මෙසේජ් එකක් හරි දාන්න. එහෙම කරද්දී එයාට හොඳ යාළුවෙක් වෙන්න ඔයාට පුළුවන් වෙයි.

11. ශිෂ්‍යයන්ට අපි උදව් කරන්න ඕනෙ මොනවා කරන්නද? ඒ ඇයි?

11 ශිෂ්‍යයෙක් දියුණු වෙන්න සභාවේ හැමෝම දායක වෙනවා. ඒ නිසා තමයි දක්ෂ ගුරුවරු සභාවේ ඉන්න ආදර්ශවත් අයව ශිෂ්‍යයන්ට හඳුන්වලා දෙන්නේ. යෙහෝවා දෙවියන් එක්ක කිට්ටු බැඳීමක් ඇති කරගන්නත් ප්‍රශ්නවලට සාර්ථකව මුහුණ දෙන්නත් එයාලා ශිෂ්‍යයන්ට උදව් කරයි. අපිට ඕනෙ අපේ ශිෂ්‍යයන් අපේ සභාවෙත් ආදරෙන් බැඳුණු ලෝක ව්‍යාප්ත පවුලෙත් කොටසක් කියලා එයාලට දැනෙන්න සලස්වන්න. මොකද අපි දන්නවා ලෝකේ යාළුවන්ව ආශ්‍රය කරන එක නතර කරන්න ඒක එයාලට උදව් වෙනවා කියලා. (හිතෝ. 13:20) ලෝකේ යාළුවන් එයාලව කොන් කළත් එයාලට තනිකමක් දැනෙන එකක් නැහැ. මොකද එයාලා දන්නවා යෙහෝවා දෙවියන්ගේ සංවිධානයෙන් සැබෑ යාළුවන්ව හොයාගන්න එයාලට පුළුවන් කියලා.—මාක් 10:29, 30; 1 පේතෘ. 4:4.

කැප වෙලා බව්තීස්ම වෙන එකේ වැදගත්කම කාවද්දන්න

බව්තීස්ම වෙන්න කැමති ශිෂ්‍යයෙක් ක්‍රමානුකූලව ඒ සඳහා පියවර ගන්නවා (12-13 ඡේද බලන්න)

12. කැප වෙලා බව්තීස්ම වෙන එක ගැන අපි ශිෂ්‍යයා එක්ක කතා කරන්න ඕනෙ ඇයි?

12 අපි මතක තියාගන්න ඕනෙ අපි කෙනෙක් එක්ක බයිබල් පාඩමක් කරන්නේ බව්තීස්ම වෙලා යේසුස්ගේ ගෝලයෙක් වෙන්න එයාට උදව් කරන්නයි කියලා. ඒ නිසා කැප වෙලා බව්තීස්ම වෙන එක ගැන අපි එයාත් එක්ක විවෘතව කතා කරන්න ඕනේ. මේ වෙද්දී බයිබල් පාඩම නොකඩවා මාස ගාණක් කරලා තියෙනවා නම් විශේෂයෙන්ම ශිෂ්‍යයා රැස්වීම් එන්න පටන් අරන් තියෙනවා නම් එයා තේරුම්ගන්න ඕන වැදගත් දෙයක් තියෙනවා. ඒ තමයි අපි එයාත් එක්ක බයිබල් පාඩමක් කරන්නේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක් වෙලා දෙවියන්ට සේවය කරන්න එයාට උදව් කරන්නයි කියන දේ.

13. බව්තීස්ම වෙන්න කැමති ශිෂ්‍යයෙක් කරන්න ඕනෙ මොනවාද?

13 බව්තීස්ම වෙන්න කැමති ශිෂ්‍යයෙක් ඒ සඳහා ක්‍රමානුකූලව පියවර ගන්නවා. මුලින්ම එයා යෙහෝවා දෙවියන්ව දැන හඳුනා ගෙන ඔහුට ආදරේ කරන්නත් ඔහු ගැන විශ්වාසයක් ඇති කරගන්නත් පටන්ගන්නවා. (යොහ. 3:16; 17:3) ඊටපස්සේ එයා යෙහෝවා දෙවියන් එක්කත් සභාවේ අය එක්කත් කිට්ටු බැඳීමක් ඇති කරගන්නවා. (හෙබ්‍රෙ. 10:24, 25; යාකො. 4:8) කාලයක් යද්දී එයා තමන් අතින් වුණු වැරදි ගැන අවංකව පසුතැවිලි වෙලා නරක පුරුදු අත්හරිනවා. (ක්‍රියා 3:19) ඒ විතරක් නෙමෙයි එයා ඉගෙනගන්න බයිබල් සත්‍යයන් ගැන අනිත් අයට කියන්නත් පටන්ගන්නවා. (2 කොරි. 4:13) අන්තිමේදී එයා යෙහෝවා දෙවියන්ට කැප වෙලා බව්තීස්ම වෙනවා. (1 පේතෘ. 3:21; 4:2) ඒ දවසේදී සභාවේ හැමෝම කොච්චර සතුටු වෙයිද! ඒ නිසා ශිෂ්‍යයා බව්තීස්ම වෙන්න එයාට තියෙන ඉලක්කය ජය ගන්න දේවල් කරද්දී මුළු හදවතින්ම එයාව අගය කරන්න. දිගටම සත්‍ය මාර්ගයේ ගමන් කරන්න එයාව දිරිගන්වන්න.

ශිෂ්‍යයා දියුණුවක් ලබනවාද කියලා බලන්න

14. ශිෂ්‍යයා දියුණුවක් ලබනවාද කියලා අපිට බලන්න පුළුවන් කොහොමද?

14 ශිෂ්‍යයාට බව්තීස්මය දක්වා දියුණු වෙන්න උදව් කරද්දී අපි හුඟක් ඉවසීමෙන් වැඩ කරන්න ඕනේ. හැබැයි කාලයක් යද්දී යෙහෝවා දෙවියන්ට සේවය කරන්න එයාට ඇත්තටම ආසාවක් තියෙනවාද කියලා අපි හොයලා බලන්න ඕනේ. උදාහරණෙකට යේසුස් කියපු ආඥාවලට කීකරු වෙන්න එයා වෑයම් කරනවාද, නැත්නම් එයාට ඕනෙ නිකම්ම දැනුම රැස් කරන්න විතරද කියලා අපි හොයලා බලන්න ඕනේ.

15. ශිෂ්‍යයා දියුණුවක් ලබනවාද කියලා තේරුම්ගන්න අපිට උදව් වෙන්නේ මොනවාද?

15 ශිෂ්‍යයා දියුණුවක් ලබලා තියෙනවාද කියලා කාලෙන් කාලෙට හොයලා බලන්න. මේ ප්‍රශ්න ගැන හිතන එක ඒ දේ කරන්න ඔයාට උදව් වෙයි. යෙහෝවා දෙවියන් ගැන එයාගේ හිතේ ආදරයක් තියෙනවා කියලා එයා කියන දේවලින් පැහැදිලි වෙනවාද? එයා යෙහෝවා දෙවියන්ට යාච්ඤා කරනවාද? (ගීතා. 116:1, 2) එයා ආසාවෙන් බයිබලේ කියවනවාද? (ගීතා. 119:97) එයා නොකඩවා රැස්වීම්වලට එනවාද? (ගීතා. 22:22) එයා ජීවිතේ වෙනස්කම් කරගෙන තියෙනවාද? (ගීතා. 119:112) එයා ඉගෙනගන්න දේවල් පවුලේ අයට, යාළුවන්ට කියනවාද? (ගීතා. 9:1) ඇත්තටම එයා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක් වෙන්න කැමතිද? (ගීතා. 40:8) ඒ එක පැත්තකින්වත් එයා දියුණුවක් ලබලා නැත්නම් ඒ ඇයි කියලා හොයලා බලන්න. ඊටපස්සේ ඒ ගැන එයාත් එක්ක කාරුණිකව නමුත් කෙළින් කතා කරන්න. *

16. බයිබල් පාඩමක් නතර කරනවාද නැද්ද කියලා තීරණය කරන්නේ කොහොමද?

16 ශිෂ්‍යයෙක් එක්ක දිගටම පාඩම කරන්න ඕනෙද කියලා තේරුම්ගන්න මෙහෙම හිතන්න. ‘එයා පාඩමට සූදානම් වෙනවාද? රැස්වීම්වලට එන්න එයාට ආසාවක් තියෙනවාද? එයාගේ නරක පුරුදු එයා අත්හැරලාද? අසත්‍යය උගන්වන ආගම්වලට සම්බන්ධ දේවල් කරන එක එයා නවත්තලාද?’ ඒ ප්‍රශ්නවලට උත්තරය “නැහැ” නම් ඔයා කරන්නේ හරියට වතුරට බහින්න අකමැති කෙනෙක්ට පීනන්න උගන්වනවා වගේ දෙයක්. ඉගෙනගන්න දේවල් ගැන කිසිම අගයක් නැති, ජීවිතේ වෙනස්කම් කරන්න කිසිම කැමැත්තක් නැති ශිෂ්‍යයෙක් එක්ක දිගටම බයිබල් පාඩම කරන එකේ තේරුමක් තියෙනවාද?

17. 1 තිමෝති 4:16 අනුව ගුරුවරුන් විදිහට අපි කරන්න ඕනෙ මොනවාද?

17 මිනිසුන්ට යේසුස්ගේ ගෝලයන් වෙන්න උදව් කරන්න අපිට ලැබිලා තියෙන වගකීම අපි සැහැල්ලුවට ගන්නේ නැහැ. අපිට ඕනෙ බව්තීස්මය දක්වා දියුණු වෙන්න ශිෂ්‍යයන්ට උදව් කරන්න. ඕනෑවට වඩා කතා කරනවා වෙනුවට බයිබලේ තියෙන තොරතුරුවලට අවධානය දෙන්නත් උද්‍යෝගයෙන් සහ ස්ථිර විශ්වාසයකින් උගන්වන්නත් අපි වෑයම් කරන්නේ ඒ නිසයි. ඒ වගේම සභාවේ අයව යාළුවන් කරගන්න කියලත් අපි ශිෂ්‍යයන්ට උනන්දු කරනවා. කැප වෙලා බව්තීස්ම වෙන එකේ වැදගත්කම තේරුම්ගන්න අපි එයාලට උදව් කරනවා. ඒ නිසයි ශිෂ්‍යයා දියුණුවක් ලබනවාද කියලා අපි කාලෙන් කාලෙට හොයලා බලන්නේ. (“ බව්තීස්මය දක්වා දියුණු වෙන්න ශිෂ්‍යයන්ට උදව් කරන්න ගුරුවරුන්ට පුළුවන් කොහොමද?” කියන කොටුව බලන්න.) ජීවිත ගලවන මේ වැදගත් කාර්යයට හවුල් වෙන්න ලැබිලා තියෙන එක මොන තරම් වටිනවාද! ඒ නිසා බව්තීස්මය දක්වා දියුණු වෙන්න ශිෂ්‍යයන්ට උදව් කරන්න අපි උපරිමයෙන් වෑයම් කරමු.

ගීතිකාව 79 ස්ථිරව ඉන්න කියා දෙන්න

^ 5 ඡේ. බයිබල් පාඩමකදී යෙහෝවා දෙවියන් කැමති විදිහට හිතන්නත් වැඩ කරන්නත් මිනිසුන්ට උදව් කරන්න අපිට අවස්ථාව ලැබෙනවා. ඒ දේ දක්ෂ විදිහට කරන්න අපි කරන්න ඕන තවත් දේවල් කිහිපයක් අපි මේ ලිපියෙන් බලමු.

^ 4 ඡේ. 2016 සැප්තැම්බර් මාසේ පළ වුණු ‘ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොතේ’ “බයිබල් පාඩමක් සාර්ථකව කරන්න නම්” කියන ලිපිය බලන්න.

^ 8 ඡේ. අපි ගැන > අද්දැකීම් යටතේ බලන්න.

^ 9 ඡේ. ‘JW ලයිබ්‍රරි’ එකේ මීඩියා > අපේ රැස්වීම් සහ සේවය > සේවයට උදව් වෙන දේවල් යටතේ බලන්න.

^ 77 ඡේ. පින්තූරයේ අදහස: අද්දැකීම් තියෙන සහෝදරියක් තව සහෝදරියක් කරන පාඩමකට හවුල් වෙනවා. ඊටපස්සේ වැඩිපුර කතා කරන්නේ නැතුව පාඩම කරන්නේ කොහොමද කියලා ඒ සහෝදරිය පස්සේ වෙලාවක එයාට කියලා දෙනවා.

^ 79 ඡේ. පින්තූරයේ අදහස: හොඳ බිරිඳක් වෙන්න පුළුවන් කොහොමද කියලා ශිෂ්‍යයෙක් පාඩමෙන් ඉගෙනගන්නවා. ඊටපස්සේ එයා ඉගෙනගත්ත දේවල් එයාගේ සැමියාට කියනවා.

^ 81 ඡේ. පින්තූරයේ අදහස: ශිෂ්‍යයායි එයාගේ සැමියායි රැස්වීමේදී මුණගැහුණු සහෝදරියකගේ ගෙදර ගිහින් එකිනෙකාව ආශ්‍රය කරන එකෙන් සතුටක් ලබනවා.