Skip to content

පටුනට යන්න

පාඩම් ලිපිය 41

බව්තීස්මය දක්වා දියුණු වෙන්න බයිබල් ශිෂ්‍යයන්ට උදව් කරන්න (පළවෙනි කොටස)

බව්තීස්මය දක්වා දියුණු වෙන්න බයිබල් ශිෂ්‍යයන්ට උදව් කරන්න (පළවෙනි කොටස)

“ඔබ ක්‍රිස්තුස්ගෙන් ලැබුණු සහතිකපතක් හා සමානය. එය ලියනු ලැබුවේ දේවසේවකයන් වන අප විසිනි.”—2 කොරි. 3:3.

ගීතිකාව 78 ‘දෙවිගේ පණිවිඩය උගන්වමු’

මේ ලිපියෙන් *

බයිබල් ශිෂ්‍යයෙක් බව්තීස්ම වෙනවා දකින එක තරම් තවත් සතුටක් සභාවේ අයට තියෙනවාද! (1 ඡේදය බලන්න)

1. කෙනෙක්ට බව්තීස්මය දක්වා දියුණු වෙන්න උදව් කරන්න අපිට ලැබිලා තියෙන එක වටිනා දෙයක් විදිහට සලකන්න 2 කොරින්ති 3:1-3 උදව් වෙන්නේ කොහොමද? (කවරයේ පින්තූරය බලන්න.)

සභාවේ කෙනෙක් බව්තීස්ම වෙනවා දකිද්දී අපි හැමෝටම ලොකු සතුටක් දැනෙනවා. (මතෙ. 28:19) හිතන්න එයාට පාඩම කළේ ඔයා කියලා. එහෙනම් ඔයාට ඊටත් වැඩිය ලොකු සතුටක් දැනෙයි නේද? (1 තෙස. 2:19, 20) කෙනෙක්ට බව්තීස්ම වෙන්න එයාට පාඩම කරන කෙනා විතරක් නෙවෙයි සභාවේ හැමෝම උදව් කරනවා. ඒ නිසා එයා හරියට සභාවේ හැමෝම හොඳ දේවසේවකයන් කියලා කියන්න ජීවමාන සාක්ෂියක් වගෙයි. ඒ කියන්නේ “සහතිකපතක්” වගෙයි.—2 කොරින්ති 3:1-3 කියවන්න.

2. (අ) අපි හිතලා බලන්න ඕනෙ මොන ප්‍රශ්නය ගැනද? ඒ ඇයි? (ආ) බයිබල් පාඩමක් කියලා කියන්නේ මොකක්ද? (පාදසටහන බලන්න.)

2 පහුගිය අවුරුදු හතර ඇතුළත හැම මාසෙකම සාමාන්‍යයක් විදිහට ලෝකේ පුරා මිලියන 10කටත් වඩා බයිබල් පාඩම් * කරලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි සාමාන්‍යයක් විදිහට හැම අවුරුද්දකම 2,80,000කටත් වඩා වැඩි දෙනෙක් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් විදිහට බව්තීස්ම වෙලා තියෙනවා. ඒක අපිට ලොකු සතුටක්. තාමත් බයිබල් පාඩම් කරන මිලියන ගාණක් දෙනාට බව්තීස්ම වෙන්න උදව් කරන්න අපිට පුළුවන් කොහොමද? යෙහෝවා දෙවියන් තවමත් මිනිසුන්ට යේසුස්ගේ අනුගාමිකයන් වෙන්න අවස්ථාව දීලා ඉවසීමෙන් බලාගෙන ඉන්නවා. ඒ නිසා අපිටත් ඕනෙ අපේ උපරිමයෙන් සේවයේ හවුල් වෙන්න. මොකද අපි දන්නවා තව ඉතුරු වෙලා තියෙන්නේ හරිම ටික කාලයයි කියලා.—1 කොරි. 7:29අ; 1 පේතෘ. 4:7.

3. බයිබල් පාඩම් පවත්වන එක ගැන අපි මේ ලිපියෙන් බලන්නේ මොනවාද?

3 ඉතුරු වෙලා තියෙන මේ ටික කාලේ බව්තීස්මය දක්වා දියුණු වෙන්න බයිබල් ශිෂ්‍යයන්ට උදව් කරන්න පුළුවන් කොහොමද කියලා පාලක මණ්ඩලය ශාඛා කාර්යාල මාර්ගයෙන් හොයලා බැලුවා. අද්දැකීම් තියෙන පුරෝගාමීන්ගෙන්, මිෂනාරිවරුන්ගෙන් සහ චාරිකා සේවකයන්ගෙන් ලබාගත්ත තොරතුරුවලින් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද කියලා අපි මේ ලිපියෙන් සහ ඊළඟ ලිපියෙන් බලමු. * (හිතෝ. 11:14; 15:22) බයිබල් පාඩම් වඩා සාර්ථක විදිහට කරන්න නම් ගුරුවරයා සහ ශිෂ්‍යයා කරන්න ඕනෙ මොනවාද කියලා අපිට එයාලගෙන් ඉගෙනගන්න පුළුවන්. බව්තීස්මය දක්වා දියුණු වෙන්න නම් බයිබල් ශිෂ්‍යයන් කරන්න ඕන දේවල් පහක් ගැන අපි මේ ලිපියෙන් බලමු.

සතිපතා පාඩම කරන්න

ඉඳගෙන පාඩම කරන්න පුළුවන්ද කියලා ශිෂ්‍යයාගෙන් අහන්න (4-6 ඡේද බලන්න)

4. දොරකඩ ළඟ ඉඳන් කරන බයිබල් පාඩම් ගැන අපි තේරුම්ගන්න ඕනෙ මොකක්ද?

4 සහෝදර සහෝදරියන් හුඟදෙනෙක් නිවැසියන්ගේ දොරකඩ ළඟ ඉඳන් බයිබල් පාඩම් කරනවා. බයිබල් පාඩමක් පටන්ගන්න ඒක හොඳ ක්‍රමයක්. ඒත් ඒ විදිහට කරන සාකච්ඡා හරිම කෙටියි. හුඟක් වෙලාවට ඒවා හැම සතියකම කෙරෙන්නෙත් නැහැ. සමහර ප්‍රචාරකයන් ඒ වගේ අයගේ උනන්දුව වැඩි කරන්න ඊළඟ වතාවේ පාඩමට යන්න කලින් බයිබලේ තියෙන ලස්සන තොරතුරු එයාලට කෝල් කරලා කියනවා. එහෙම නැත්නම් මෙසේජ් කරනවා. දොරකඩ ළඟ ඉඳන් කරන ඒ වගේ සාකච්ඡාවන් මාස ගණනක් ඔහේ ඇදිලා යන්න පුළුවන්. ශිෂ්‍යයෙක් බයිබල් පාඩම කරන්න ඊට වඩා වැඩි වෙලාවක් දෙන්නේ නැත්නම්, ඒ වෙනුවෙන් කිසිම වෑයමක් දරන්නෙත් නැත්නම් ඒ වගේ කෙනෙක් බව්තීස්මය දක්වා දියුණු වෙයි කියලා හිතන්න පුළුවන්ද?

5. බයිබල් ශිෂ්‍යයන්ට උදව් කරන්න ලූක් 14:27-33 යේසුස් කියපු දේ උදව් වෙන්නේ කොහොමද?

5 තමන්ගේ ගෝලයෙක් වෙනවා කියන එකෙන් අදහස් වෙන්නේ මොකක්ද කියලා යේසුස් නිදර්ශන දෙකකින් පැහැදිලි කළා. කෙනෙක් කොතක් ගොඩනඟන්න කලින් ඒකට යන ‘වියදම ගණන් බලන්න ඕනෙ’ කියලත් රජෙක් සතුරු හමුදාවක් එක්ක සටනට යන්න කලින් ඒ දේ කරන්න පුළුවන්ද කියලා ‘සාකච්ඡා කරන්න ඕනෙ’ කියලත් ඔහු කිව්වා. (ලූක් 14:27-33 කියවන්න.) ඒ වගේ, යේසුස්ගේ ගෝලයෙක් වෙන්න කෙනෙක් කැමති නම් එයා කරන්න ඕනෙ මොනවාද කියලා තේරුම්ගන්න එක හරිම වැදගත්. ඒ නිසා හැම සතියකම බයිබල් පාඩම කරන්න කියලා අපි අපේ ශිෂ්‍යයන්ට උනන්දු කරන්න ඕනේ. ඒ දේ කරන්න පුළුවන් කොහොමද?

6. බයිබල් ශිෂ්‍යයන්ට දියුණු වෙන්න උදව් කරන්න අපිට කරන්න පුළුවන් මොනවාද?

6 ඔයා දොරකඩ ළඟ ඉඳන් බයිබල් පාඩමක් කරනවා නම් ඒ වෙනුවෙන් වැය කරන කාලය තව වැඩි කරන්න පුළුවන්ද කියලා බලන්න. උදාහරණෙකට ශිෂ්‍යයා එක්ක බයිබල් පදයක් විතරක් සාකච්ඡා කරනවා වෙනුවට බයිබල් පද දෙකක් සාකච්ඡා කරන්න ඔයාට පුළුවන්. වැඩි කාලයක් බයිබල් පාඩම කරන්න ශිෂ්‍යයා හුරු වුණාම එයාගෙන් අහන්න ඉඳගෙන බයිබල් පාඩම කරන්න පුළුවන්ද කියලා. ඒකට එයා දෙන උත්තරෙන් ඔයාට තේරෙයි බයිබල් පාඩම කරන එකේ වැදගත්කම එයා තේරුම් අරන් තියෙනවාද කියලා. කාලයත් එක්කම ශිෂ්‍යයාට දියුණු වෙන්න උදව්වක් විදිහට ශිෂ්‍යයාගෙන් අහන්න සතියකට දෙපාරක් පාඩම කරන්න පුළුවන්ද කියලා. හැබැයි ඒක විතරක් මදි.

හැම පාඩමකටම සූදානම් වෙන්න

බයිබල් පාඩමට හොඳින් සූදානම් වෙන්න. පාඩමට සූදානම් වෙන විදිහ ශිෂ්‍යයාට කියලා දෙන්න (7-9 ඡේද බලන්න)

7. ඔයා කරන හැම පාඩමකටම සූදානම් වෙන්න පුළුවන් කොහොමද?

7 ගුරුවරයා විදිහට ඔයා හැම පාඩමක්ම කරන්න කලින් හොඳින් සූදානම් වෙන්න ඕනේ. මුලින්ම ඔයාට පුළුවන් ලිපියේ තියෙන තොරතුරු සහ බයිබල් පද කියවන්න. මූලික කරුණු පැහැදිලිව තේරුම්ගන්න. පාඩමේ මාතෘකාව, උප මාතෘකා, ප්‍රශ්න, “කියවන්න” කියලා තියෙන බයිබල් පද සහ චිත්‍ර ගැන හොඳට හිතන්න. උගන්වන විෂය තවත් හොඳින් පැහැදිලි කරන්න උදව් වෙන වීඩියෝ තියෙනවාද කියලා බලන්න. ඊටපස්සේ පාඩමේ තියෙන තොරතුරු ශිෂ්‍යයාගේ හිතට කාවදින විදිහට පැහැදිලිව, සරලව උගන්වන්න පුළුවන් කොහොමද කියලා හිතන්න.—නෙහෙ. 8:8; හිතෝ. 15:28අ.

8. ශිෂ්‍යයන් වෙනුවෙන් යාච්ඤා කරන එක ගැන කොලොස්සි 1:9, 10 ඉගෙනගන්න පුළුවන් මොනවාද?

8 ඔයා පාඩමට සූදානම් වෙද්දී ශිෂ්‍යයා ගැනත් එයාගේ අවශ්‍යතා ගැනත් යෙහෝවා දෙවියන්ට කියන්න. ඒ වගේම බයිබලයේ තියෙන තොරතුරු ශිෂ්‍යයාට කාවදින විදිහට උගන්වන්න ඔයාට උදව් කරන්න කියලා දෙවියන්ගෙන් ඉල්ලන්න. (කොලොස්සි 1:9, 10 කියවන්න.) ශිෂ්‍යයාට තේරුම්ගන්න නැත්නම් පිළිගන්න අමාරු දෙයක් පාඩමේ තියෙනවාද කියලා හොඳට හිතන්න. ඔයා ඒ හැම දෙයක්ම කරන්නේ බව්තීස්මය දක්වා දියුණු වෙන්න ශිෂ්‍යයාට උදව් කරන්න කියලා අමතක කරන්න එපා.

9. පාඩමට හොඳින් සූදානම් වෙන්න ශිෂ්‍යයාට උදව් කරන්න ඔයාට පුළුවන් කොහොමද? පැහැදිලි කරන්න.

9 බයිබල් පාඩම නොකඩවා කරද්දී යෙහෝවා දෙවියන් සහ යේසුස් කරලා තියෙන දේවල් ගැන ශිෂ්‍යයාගේ හිතේ ලොකු අගයක් ඇති වෙයි කියලත් තවත් තොරතුරු දැනගන්න එයාට ආස හිතෙයි කියලත් අපි බලාපොරොත්තු වෙනවා. (මතෙ. 5:3, 6) පාඩමෙන් උපරිම ප්‍රයෝජන ගන්න නම් ශිෂ්‍යයා ඉගෙනගන්න තොරතුරුවලට හොඳ අවධානයක් දෙන එක හරිම වැදගත්. පාඩමේ තොරතුරු කලින්ම කියවන එකත් ඒවා ජීවිතයට අදාළ කරගන්න පුළුවන් කොහොමද කියලා හිතන එකත් කොච්චර වැදගත්ද කියලා ශිෂ්‍යයාට පැහැදිලි කරන්න. ඒක කරන්න උදව්වක් විදිහට ඔයාට පුළුවන් ශිෂ්‍යයා එක්ක පාඩමකට සූදානම් වෙන්න. * ප්‍රශ්නයට අදාළ උත්තරේ ඡේදයෙන් හොයාගන්න පුළුවන් කොහොමද කියලා එයාට කියලා දෙන්න. ඊටපස්සේ උත්තර දෙන්න පුළුවන් ප්‍රධාන වචන විතරක් ලකුණු කරන්න පුළුවන් විදිහ එයාට පෙන්නන්න. ඊළඟට එයාට කියන්න උත්තරේ එයාගෙම වචනවලින් කියන්න කියලා. එහෙම කරද්දී ඔයාට තේරෙයි එයා පාඩමේ තොරතුරු කොයි තරම් දුරට තේරුම් අරන් තියෙනවාද කියලා. හැබැයි ඔයා තවත් දෙයක් කරන්න ඕනේ.

හැමදාම යෙහෝවා දෙවියන් එක්ක අදහස් හුවමාරු කරන්න උගන්වන්න

යෙහෝවා දෙවියන් එක්ක කතා කරන්න බයිබල් ශිෂ්‍යයාට උගන්වන්න (10-11 ඡේද බලන්න)

10. ශිෂ්‍යයා හැමදාම බයිබලේ කියවන්න ඕනෙ ඇයි? ඒකෙන් ප්‍රයෝජන ගන්න එයා මොනවාද කරන්න ඕනේ?

10 හැම සතියකම බයිබල් පාඩම කරනවාට අමතරව ශිෂ්‍යයා කරන්න ඕන තව දෙයක් තියෙනවා. ඒක තමයි හැම දවසකම යෙහෝවා දෙවියන් එක්ක කතා කරන එක සහ ඔහුට ඇහුම්කන් දෙන එක. හැම දවසකම බයිබලය කියවන එකෙන් එයාට පුළුවන් යෙහෝවා දෙවියන්ට ඇහුම්කන් දෙන්න. (යොෂු. 1:8; ගීතා. 1:1-3) ඒකට උදව්වක් විදිහට jw.org වෙබ් අඩවියේ තියෙන “බයිබල් කියවීමේ වැඩසටහන” එයාට පෙන්නන්න. * බයිබලය කියවන එකෙන් එයාට ප්‍රයෝජන ගන්න පුළුවන් වෙන්නේ එයා කියවන තොරතුරුවලින් යෙහෝවා දෙවියන් ගැන ඉගෙනගන්න පුළුවන් මොනවාද කියලත් ඒ තොරතුරු ජීවිතයට අදාළ කරගන්න පුළුවන් කොහොමද කියලත් හොඳට හිතලා බැලුවොත් විතරයි. ඒ නිසා එහෙම කරන්න කියලා එයාව දිරිගන්වන්න.—ක්‍රියා 17:11; යාකො. 1:25.

11. හරි විදිහට යාච්ඤා කරන්න ශිෂ්‍යයෙක් ඉගෙනගන්නේ කොහොමද? එයා හැම දවසකම යෙහෝවා දෙවියන්ට යාච්ඤා කරන එක වැදගත් ඇයි?

11 හැම දවසකම යෙහෝවා දෙවියන්ට යාච්ඤා කරන්න ශිෂ්‍යයාට දිරිගන්වන්න. හැම පාඩමක්ම පටන්ගන්න කලිනුත් ඉවර කළාට පස්සෙත් මුළු හදවතින්ම යාච්ඤා කරන්න. ඒ යාච්ඤාවේ ශිෂ්‍යයා ගැනත් කියන්න. එතකොට මුළු හදවතින්ම අවංකව යෙහෝවා දෙවියන්ට යාච්ඤා කරන්න, යාච්ඤාව යේසුස් ක්‍රිස්තුස්ගේ නමින් ඉදිරිපත් කරන්න එයා ඉගෙනගනියි. (මතෙ. 6:9; යොහ. 15:16) හිතන්න ශිෂ්‍යයා හැම දවසකම බයිබලය කියවද්දී ඒ කියන්නේ යෙහෝවා දෙවියන්ට ඇහුම්කන් දෙද්දී සහ හැම දවසකම යාච්ඤා කරද්දී ඒ කියන්නේ ඔහු එක්ක කතා කරද්දී එයාට යෙහෝවා දෙවියන් එක්ක කොයි තරම් කිට්ටු බැඳීමක් ඇති වෙයිද කියලා. (යාකො. 4:8) ශිෂ්‍යයා ඒ දේවල් කරද්දී එයාගේ ජීවිතය යෙහෝවා දෙවියන්ට කැප කරලා බව්තීස්ම වෙන්න එයා පෙලඹෙයි. ඒ දේ කරන්න එයාට උදව් වෙන තවත් දෙයක් තියෙනවා.

යෙහෝවා දෙවියන් එක්ක කිට්ටු බැඳීමක් ඇති කරගන්න උදව් කරන්න

12. යෙහෝවා දෙවියන් එක්ක කිට්ටු බැඳීමක් ඇති කරගන්න ශිෂ්‍යයාට උදව් කරන්න ඔයාට පුළුවන් කොහොමද?

12 අපිට ඕනෙ ශිෂ්‍යයාට යෙහෝවා දෙවියන් ගැන උගන්වන්න. හැබැයි ඉගෙනගන්න දේවල් අදාළ කරගන්න එයා පෙලඹෙන්නේ ඒ තොරතුරු එයාගේ හදවතට කාවැදුණොත් විතරයි. ටිකකට හිතන්න යේසුස් උගන්නපු විදිහ ගැන. ඔහු උගන්නපු දේවල් මිනිසුන් අහගෙන හිටියේ හරිම ආසාවෙන්. මිනිසුන් යේසුස්ගේ අනුගාමිකයන් වෙන්න පෙලඹුණේ ඔහු උගන්නපු දේවල් එයාලගේ හදවත්වලට කාවැදුණු නිසයි. (ලූක් 24:15, 27, 32) බයිබල් ශිෂ්‍යයාට දැනෙන්න ඕනෙ යෙහෝවා දෙවියන් කියන්නේ තමන්ගේ තාත්තා, හොඳම යාළුවා විදිහට කිට්ටු බැඳීමක් ඇති කරගන්න පුළුවන් සැබෑ පුද්ගලයෙක් කියලා. (ගීතා. 25:4, 5) ඒ වෙනුවෙන් ඔයාට කරන්න පුළුවන් මොනවාද? බයිබල් පාඩම කරන හැම වතාවකදීම යෙහෝවා දෙවියන්ගේ ගුණාංග මතු කරලා ගන්න. (නික්. 34:5, 6; 1 පේතෘ. 5:6, 7) ආදරය, කරුණාව, දයානුකම්පාව වගේ යෙහෝවා දෙවියන්ගේ ලස්සන ගුණාංග අගය කරන්න ශිෂ්‍යයාට උදව් කරන්න. යේසුස් කිව්වා ‘උතුම්ම සහ පළවෙනි ආඥාව, ඔබේ දෙවි වන යෙහෝවාට ප්‍රේම කරන්න’ කියලා. (මතෙ. 22:37, 38) ඒ නිසා ශිෂ්‍යයාගේ හදවතේ දෙවියන් ගැන ලොකු ආදරයක් ඇති කරන්න අපි උපරිමයෙන් වෑයම් කරන්න ඕනේ.

13. යෙහෝවා දෙවියන්ගේ පෞද්ගලිකත්වය ගැන අගයක් ඇති කරගන්න බයිබල් ශිෂ්‍යයාට උදව් කරන්න ඔයාට පුළුවන් කොහොමද?

13 ශිෂ්‍යයා එක්ක කතා කරද්දී ඔයා යෙහෝවා දෙවියන්ට ගොඩක් ආදරේ ඇයි කියලා එයාට කියන්න. යෙහෝවා දෙවියන් ගැන ආදරයක් ඇති කරගෙන ඔහුගේ යාළුවෙක් වෙන්න ඒක එයාට උදව් වෙයි. (ගීතා. 73:28) උදාහරණෙකට යෙහෝවා දෙවියන්ගේ ආදරය, ප්‍රඥාව, යුක්තිය, බලය ගැන ඔයාගේ හිතට කාවැදුණු තොරතුරක් පාඩම් කරන ප්‍රකාශනයේ හරි ඔයා පෙන්නපු බයිබල් පදයක හරි සඳහන් වුණාද? එහෙනම් යෙහෝවා දෙවියන් ගැන ආදරයක් ඇති කරගන්න ඒක ඔයාට උදව් වුණේ කොහොමද කියලා එයාට කියන්න. හැබැයි බව්තීස්මය දක්වා දියුණු වෙන්න නම් ශිෂ්‍යයා කරන්න ඕන තවත් දෙයක් තියෙනවා.

රැස්වීම්වලට සහභාගි වෙන්න දිරිගන්වන්න

පාඩම පටන්ගත්ත මුලදීම ශිෂ්‍යයාට රැස්වීම්වලට ආරාධනා කරන්න (14-15 ඡේද බලන්න)

14. හෙබ්‍රෙව් 10:24, 25 අනුව ශිෂ්‍යයෙක්ට සත්‍ය මාර්ගයේ දියුණු වෙන්න උදව් වෙන්නේ මොකක්ද?

14 අපිට ඕනෙ බව්තීස්මය දක්වා දියුණු වෙන්න අපේ ශිෂ්‍යයන්ට උදව් කරන්න. ඒක කරන්න පුළුවන් ප්‍රධානම ක්‍රමයක් තමයි රැස්වීම්වලට එන්න කියලා එයාලව දිරිගන්වන එක. අද්දැකීම් තියෙන ගුරුවරු කියනවා පාඩම පටන්ගත්ත කාලෙදීම රැස්වීම්වලට එන ශිෂ්‍යයන් ඉක්මනින් සත්‍ය මාර්ගයේ දියුණු වෙනවා කියලා. (ගීතා. 111:1) සමහර ගුරුවරු ශිෂ්‍යයන්ට කියනවා බයිබල් පාඩමෙන් දැනගන්න ලැබෙන්නේ නැති හුඟක් තොරතුරු රැස්වීම්වලින් ඉගෙනගන්න පුළුවන් කියලා. ඔයාට පුළුවන් හෙබ්‍රෙව් 10:24, 25 ශිෂ්‍යයා එක්ක කියවලා රැස්වීම්වලට එයා එන එක කොච්චර වැදගත්ද කියලා එයාට පැහැදිලි කරලා දෙන්න. ‘අපේ රැස්වීම්වලදී සිදු වෙන්නේ මොනවාද?’ කියන වීඩියෝ එක එයාට පෙන්නන්න. * හැම රැස්වීමකටම සහභාගි වෙන්න අධිෂ්ඨානයක් ගන්න ශිෂ්‍යයාට උදව් කරන්න.

15. රැස්වීම්වලට දිගටම එන්න ශිෂ්‍යයාට උනන්දු කරන්න පුළුවන් කොහොමද?

15 ඔයාගේ ශිෂ්‍යයා තාමත් රැස්වීමකට ඇවිත් නැද්ද? නැත්නම් එයා රැස්වීම්වලට එන්නේ කලාතුරකින්ද? එහෙනම් රැස්වීමකින් ඔයා ළඟදී ඉගෙනගත්ත දෙයක් ගැන උද්‍යෝගයෙන් එයාත් එක්ක කතා කරන්න. රැස්වීම්වලට එන්න කියලා නිකම්ම කියනවාට වඩා එහෙම කරද්දී එයා රැස්වීම්වලට එන්න ඉඩ තියෙනවා. සතියට අදාළ ‘මුරටැඹ’ සඟරාව හරි ‘ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත’ හරි එයාට දෙන්න. ඊටපස්සේ ඊළඟ සතියේ කරන කොටස එයාට පෙන්නලා එයා වැඩියෙන්ම ආස මොන කොටසටද කියලා අහන්න. එයා රැස්වීම්වලට ආවාම එයාට තේරෙයි මෙච්චර කල් එයා ගිහින් තිබුණු ආගමික මෙහෙයන්වලට වඩා අපේ රැස්වීම් ගොඩක් වෙනස් කියලා. (1 කොරි. 14:24, 25) ඒ විතරක් නෙවෙයි ආදර්ශයට ගන්න පුළුවන් අයව ඇසුරු කරන්නත් එයාට පුළුවන් වෙයි. බව්තීස්මය දක්වා දියුණු වෙන්න එයාලා එයාට උදව් කරයි.

16. ශිෂ්‍යයෙක්ට බව්තීස්මය දක්වා දියුණු වෙන්න උදව් කරන්න ඔයාට පුළුවන් කොහොමද? ඊළඟ ලිපියෙන් අපි බලන්නේ මොනවාද?

16 බව්තීස්මය දක්වා දියුණු වෙන්න බයිබල් ශිෂ්‍යයන්ට උදව් කරන්න පුළුවන් කොහොමද? බයිබල් පාඩම අතපසු කරන්න එපා කියලත් හැම පාඩමකටම කලින් සූදානම් වෙන්න කියලත් එයාලව දිරිගන්වන්න. හැම දවසකම යෙහෝවා දෙවියන් එක්ක කතාබහ කරලා ඔහු එක්ක කිට්ටු බැඳීමක් ඇති කරගන්න එයාලට උනන්දු කරන්න. රැස්වීම්වලට සහභාගි වෙන්න එයාලට ආසාවක් ඇති කරන්න. (“ බව්තීස්මය දක්වා දියුණු වෙන්න ශිෂ්‍යයන් කරන්න ඕනෙ මොනවාද?” කියන කොටුව බලන්න.) බව්තීස්මය දක්වා දියුණු වෙන්න ශිෂ්‍යයන්ට උදව් කරන්න අපිට උදව් වෙන තවත් කරුණු පහක් ඊළඟ ලිපියෙන් බලමු.

ගීතිකාව 76 ඔබට හැඟෙන්නේ කොහොමද?

^ 5 ඡේ. අපි කෙනෙක්ට උගන්වද්දී අපි කරන්නේ වෙනස් විදිහට හිතන්න, වෙනස් විදිහට වැඩ කරන්න එයාට උදව් කරන එකයි. 2020 වාර්ෂික පදයෙන් ඒ කියන්නේ මතෙව් 28:19න් අපිට මතක් කරලා දුන්නා මිනිසුන් එක්ක බයිබල් පාඩම් පවත්වලා යේසුස්ගේ ගෝලයන් වෙන්න එයාලට උදව් කරන එක කොයි තරම් වැදගත්ද කියලා. ඒ වැදගත් කාර්යය තවත් දක්ෂ විදිහට කරන්න පුළුවන් කොහොමද කියලා මේ ලිපියෙන් සහ ඊළඟ ලිපියෙන් අපි බලනවා.

^ 2 ඡේ. පැහැදිලි කිරීමක්: ඔයා නිතිපතා පිළිවෙළකට බයිබලයේ තියෙන දේවල් තව කෙනෙක්ට කියලා දෙනවා නම් ඔයා කරන්නේ බයිබල් පාඩමක් පවත්වන එකයි. ඔයා බයිබල් පාඩමක් කරන විදිහ ගැන විස්තර කරලා දෙවතාවක් පාඩම කළාට පස්සේ ඒ පාඩම දිගටම කරයි කියලා ඔයාට හිතෙනවා නම් ඒක බයිබල් පාඩමක් විදිහට වාර්තා කරන්න ඔයාට පුළුවන්.

^ 3 ඡේ. 2004 ජූලි මාසේ සිට 2005 මැයි මාසේ දක්වා ‘අපගේ රාජ්‍ය සේවාවේ’ පළ වුණු “ප්‍රගතශීලී බයිබල් පාඩම් පැවැත්වීම” කියන ලිපි පෙළේ තොරතුරු මේ ලිපි දෙකට ඇතුළත් කරලා තියෙනවා.

^ 9 ඡේ. ‘සූදානම් වෙන්න ශිෂ්‍යයන්ට උගන්වන්න’ කියන විනාඩි හතරේ වීඩියෝ එක බලන්න. ‘JW ලයිබ්‍රරි,’ මීඩියා > අපේ රැස්වීම් සහ සේවය > සේවයේ දක්ෂ වීමට යටතේ බලන්න.

^ 10 ඡේ. බයිබල් ඉගැන්වීම් > බයිබල් අධ්‍යයනය සඳහා යටතේ බලන්න.

^ 14 ඡේ. ‘JW ලයිබ්‍රරි,’ මීඩියා > අපේ රැස්වීම් සහ සේවය > සේවයට උදව් වෙන දේවල් යටතේ බලන්න.