Skip to content

පටුනට යන්න

ඕන්සිමේ සහ ජෙරල්ඩීන්

ආපහු මව්රටට ආපු නිසා ලැබුණු ආශීර්වාද

ආපහු මව්රටට ආපු නිසා ලැබුණු ආශීර්වාද

ධනවත් රටවල්වලට ගිහිං හිටිය සහෝදර සහෝදරියන් හුඟදෙනෙක් ආපහු එයාලගේ මව්රටට ඇවිත් තියෙනවා. එයාලා ඒ දේ කළේ යෙහෝවා දෙවියන් ගැනත් මිනිසුන් ගැනත් තියෙන ආදරේ නිසයි. (මතෙ. 22:37-39) වැඩිපුර සේවයක් කරන අරමුණින් එයාලා ප්‍රචාරකයන් අඩු පළාත්වලට ගිහින් සේවය කරන්න පටන්ගත්තා. ඒ වෙනුවෙන් එයාලා කරපු කැප කිරීම් මොනවාද? එයාලා අද්දැක්ක ආශීර්වාද මොනවාද? ඒ ගැන දැනගන්න බටහිර අප්‍රිකාවේ කැමරූන් කියන රටේ අද්දැකීම් කිහිපයක් අපි බලමු.

“මාළු අල්ලන්න හොඳම තැන”

කැමරූන්වල ජීවත් වුණ සහෝදර ඕන්සිමේ 1998දී වෙන රටකට ගියා. එහේ තමයි එයා අවුරුදු 14ක්ම ජීවත් වුණේ. දවසක් රැස්වීමකදී දේශනා සේවය ගැන සහෝදරයෙක් කියපු උදාහරණයක් එයාගේ හිතට තදින්ම කාවැදුණා. ඒ සහෝදරයා කිව්වේ මෙහෙමයි. “හිතන්න යාළුවෝ දෙන්නෙක් මාළු අල්ලන්න යනවා කියලා. එක යාළුවෙක් මාළු අල්ලන තැනට ගොඩක් මාළු අහු වෙනවා දැක්කොත් අනිත් යාළුවත් එතනට ඇවිත් මාළු අල්ලන්න පෙලඹෙනවා නේද?”

ඒ උදාහරණය ඇහුවාට පස්සේ ඕන්සිමේ හිතුවා ආපහු කැමරූන්වලට යන්න ඕනෙ කියලා. මොකද බයිබලය ගැන ඉගෙනගන්න කැමති හුඟදෙනෙක් එහේ හිටියා. හැබැයි ආපහු කැමරූන්වල ජීවිතයට හුරු වෙන්න පුළුවන් වෙයිද කියන එක ගැන ඕන්සිමේට පොඩි බයක් තිබුණා. ඒ නිසා එයා මුලින්ම මාස හයකට කැමරූන්වලට ගියා. ඊටපස්සේ 2012දී එයා කැමරූන්වල පදිංචියට ගියා.

ඕන්සිමේ මෙහෙම කියනවා. “මං පුරුදු වෙලා හිටියේ සැප පහසු ජීවිතයකට. හැබැයි කැමරූන් කියන්නේ දුප්පත් රටක්. රස්නෙත් වැඩියි. රැස්වීම්වලට ගියාම ඉඳගන්න වුණෙත් බංකුවල. හැබැයි රැස්වීම්වල උගන්වන දේවලට වැඩි අවධානයක් දෙද්දී මං ඉඳන් ඉන්නේ බංකුවල කියලා අමතක කරන්න මට පුළුවන් වුණා.”

2013දී ඕන්සිමේ ජෙරල්ඩීන් එක්ක විවාහ වුණා. ජෙරල්ඩීන් අවුරුදු නවයක්ම ජීවත් වෙලා තිබුණේ ප්‍රංශයේ. දෙවියන්ගේ කැමැත්ත කරන එකට එයාලා මුල් තැන දුන්න නිසා එයාලා අද්දැක්ක ආශීර්වාද මොනවාද? ඕන්සිමේ මෙහෙම කියනවා. “ශුභාරංචිය ප්‍රකාශ කරන්නන්ගේ පාසැලට සහභාගි වෙන්නත් බෙතෙල් එකේ සේවය කරන්නත් අපිට අවස්ථාව ලැබුණා. ගිය අවුරුද්දේ අපේ සභාවේ බයිබල් ශිෂ්‍යයන් 20දෙනෙක් බව්තීස්ම වුණා. මට හිතෙනවා මං දැන් ඉන්නේ ‘මාළු අල්ලන්න’ හොඳම තැන කියලා.” (මාක් 1:17, 18) ජෙරල්ඩීන් මෙහෙම කියනවා. “හීනෙකින්වත් හිතුව නැති ආශීර්වාද ගොඩක් මං අද්දැක්කා.”

ගෝලයන් වෙන්න උදව් කරලා ලබපු සතුට

ජූඩිත් සහ සෑම් කැස්ටල්

එක්සත් ජනපදයේ පදිංචි වෙලා හිටිය ජූඩිත්ටත් වැඩිපුර සේවය කරන්න ලොකු ආසාවක් තිබුණා. එයා මෙහෙම කියනවා. “කැමරූන්වලට ඇවිත් පවුලේ අයව බලලා ආපහු ගිය හැම වතාවකදීම මං හුඟක් ඇඬුවා. මං පටන්ගත්ත බයිබල් පාඩම් දාලා යන්න වුණ එක ගැන මං හුඟක් දුක් වුණා.” හැබැයි ආපහු කැමරූන්වලට ඇවිත් පදිංචි වෙන්න එයාට බයක් දැනුණා. මොකද එයා කරපු රස්සාවෙන් හම්බ කරපු සල්ලි නිසා තමයි එයාගේ තාත්තාගේ ප්‍රතිකාරවලට යන වියදම පියවගන්න පුළුවන් වුණේ. ඒත් එයා යෙහෝවා දෙවියන් ගැන විශ්වාසය තියලා කැමරූන්වල පදිංචියට ආවා. එයා කියනවා එක්සත් ජනපදයේ ඉද්දී එයාට තිබුණු සමහර දේවල් නැති එක ගැන එයාට පුංචි දුකක් දැනෙනවා කියලා. හැබැයි එයා හිතන විදිහ වෙනස් කරගන්න උදව් කරන්න කියලා එයා යෙහෝවා දෙවියන්ට යාච්ඤා කළා. පස්සේ චාරිකා යුවළක් එයාව දිරිගැන්නුවා.

ඒ කාලය ගැන මතක් කරමින් ජූඩිත් මෙහෙම කියනවා. “අවුරුදු තුනක් ඇතුළතදී මගේ බයිබල් ශිෂ්‍යයන් හතරදෙනෙක් බව්තීස්ම වුණා. ඒක මට ලොකු සතුටක්.” ජූඩිත් විවාහ වුණාට පස්සේ සැමියා එක්ක විශේෂ පුරෝගාමි සේවය කරන්න පටන්ගත්තා. දැන් එයා චාරිකා සේවය කරන එයාගේ සැමියා වන සෑම් කැස්ටල්ට එයාගේ උපරිම සහයෝගය දෙනවා. ඒත් එයාගේ තාත්තාට මොකද වුණේ? තාත්තාගේ සැත්කම නොමිලේ කරන්න වෙන රටක රෝහලක් කැමති වුණා. තාත්තාගේ සැත්කම සාර්ථක වුණ එක ගැන එයාලා කොයි තරම් සතුටු වෙන්න ඇද්ද!

යෙහෝවා දෙවියන්ගේ උදව් අද්දැක්ක විදිහ

කැරොලින් සහ වික්ට

සහෝදර වික්ට කැනඩාවට පදිංචියට ගිය කෙනෙක්. උසස් අධ්‍යාපනය ගැන තිබුණු ‘මුරටැඹ’ ලිපියක් කියෙව්වාට පස්සේ එයා ලබමින් හිටපු අධ්‍යාපනය ගැන ආපහු එයා හිතලා බැලුවා. ඊටපස්සේ එයා විශ්වවිද්‍යාලයට යන එක නතර කරලා කෙටි පාඨමාලාවක් හදාරන්න පටන්ගත්තා. එයා ඒ ගැන මෙහෙම කියනවා. “ඒ නිසා මට ඉක්මනටම රස්සාවක් හොයාගන්න පුළුවන් වුණා. ඒ විතරක් නෙවෙයි මං ආසාවෙන් හිටපු පුරෝගාමි සේවය පටන්ගන්නත් මට පුළුවන් වුණා.” කාලයක් යද්දී වික්ට, කැරොලින් එක්ක විවාහ වෙලා නිවාඩුවකට කැමරූන්වලට ගියා. එයාලා එහේ ශාඛා කාර්යාලය බලන්න ගියාම එහේ සහෝදරයන් එයාලව දිරිගැන්නුවා කැමරූන්වලට ඇවිත් සේවය කරන්න කියලා. වික්ට ඒ ගැන මෙහෙම කියනවා. “ඒකට අකමැති වෙන්න අපිට කිසිම හේතුවක් තිබුණේ නැහැ. අපි ගත කළේ සරල ජීවිතයක් නිසා අපි ඒකට කැමති වුණා.” කැරොලින්ට සමහර සෞඛ්‍ය ගැටලු තිබුණත් එයාලා ඒක බාධාවක් කරගත්තේ නැහැ.

වික්ට සහ කැරොලින් කැමරූන්වල ස්ථාවර පුරෝගාමි සේවය කරන්න පටන්ගත්තා. බයිබලය ගැන දැනගන්න කැමති ගොඩක් දෙනෙක්ව එයාලට මුණගැහුණා. එයාලා ළඟ ඉතුරු කරගත්ත සල්ලි තිබුණ නිසා රස්සාවක් කරන්නේ නැතුව සේවය කරන්න එයාලට පුළුවන් වුණා. ඒ සල්ලි ඉවර වුණාට පස්සේ එයාලා මාස කිහිපයකට රස්සාවක් කරන්න කැනඩාවට ගියා. ඊටපස්සේ එයාලා ආයෙත් කැමරූන්වලට ඇවිල්ලා පුරෝගාමි සේවය කරන්න පටන්ගත්තා. එයාලට ආශීර්වාද ලැබුණාද? ඔව්. එයාලට ශුභාරංචිය ප්‍රකාශ කරන්නන්ගේ පාසැලට යන්න අවස්ථාව ලැබුණා. විශේෂ පුරෝගාමි සේවය කළා. දැන් එයාලා ඉදි කිරීම් සේවකයන් විදිහට සේවය කරනවා. වික්ට මෙහෙම කියනවා. “අපි සැප පහසු ජීවිතය අත්හැරලා ආපු නිසා යෙහෝවා දෙවියන්ගේ උදව් අද්දැක්කා.”

අනිත් අයට උදව් කරද්දී ලබපු සතුට

ස්ටෙෆනි සහ ඇලන්

2002දී ජර්මනියේ විශ්වවිද්‍යාලයක අධ්‍යාපනය ලබමින් හිටපු ඇලන්, ‘යෞවනයෙනි ඔබේ ජීවිතේ අපේක්ෂාවන් මොනවාද’ කියන පත්‍රිකාව කියෙව්වා. ඊටපස්සේ එයා අලුත් ඉලක්ක තියාගත්තා. ප්‍රතිඵලයක් විදිහට 2006දී දේවසේවා පුහුණු පාසැලට සහභාගි වෙන්න එයාට පුළුවන් වුණා. ඒකෙන් එයාගේ මව්රට වන කැමරූන්වල සේවය කරන්න එයාට පැවරුමක් ලැබුණා.

කැමරූන්වලට ආවාම සතියට දවස් කීපයක් විතරක් වැඩ කරන්න පුළුවන් රස්සාවක් හොයාගන්න ඇලන්ට පුළුවන් වුණා. කාලයක් යද්දී හොඳ පඩියක් ලැබුණු රස්සාවක් එයාට ලැබුණා. හැබැයි ඒ රස්සාව නිසා කරකර හිටිය සේවය අඩු වෙයිද කියලා එයාට ලොකු බයක් දැනුණා. ඒ නිසා විශේෂ පුරෝගාමි සේවය කරන්න එයාට ආරාධනාවක් ලැබුණාම එයා දෙපාරක් හිතහිතා ඉන්නේ නැතුව ඒ ආරාධනය පිළිගත්තා. ඇලන්ගේ බොස් එයාට කිව්වා එයාගේ පඩිය තවත් වැඩි කරන්නම් කියලා. ඒත් ඇලන් එයාගේ තීරණය වෙනස් කළේ නැහැ. කාලයක් යද්දී ඇලන් ස්ටෙෆනි එක්ක විවාහ වුණා. ස්ටෙෆනි අවුරුදු ගාණක් ජීවත් වෙලා තිබුණේ ප්‍රංශයේ. කැමරූන්වල පදිංචියට ආවාම එයාට අභියෝගවලට මුහුණ දෙන්න වුණාද?

ස්ටෙෆනි මෙහෙම කියනවා. “මට පොඩි පොඩි අසනීප ටිකක් හැදුණා. හැබැයි දිගටම බෙහෙත් ගත්ත නිසා මට සනීප වුණා.” ඒ දෙන්නා විඳදරාගෙන කරපු සේවය අපතේ ගියේ නැහැ. ඇලන් මෙහෙම කියනවා. “ප්‍රචාරකයන් අඩු පළාතක් වුණ කාටේවලට අපි ගියාම බයිබලේ ගැන ඉගෙනගන්න කැමති හුඟදෙනෙක්ව අපිට හම්බ වුණා. පස්සේ අපි දුරකථනයෙන් එයාලත් එක්ක බයිබල් පාඩම් කළා. එයාලගෙන් දෙන්නෙක් බව්තීස්ම වුණා. කාලයක් යද්දී එහේ පුංචි කණ්ඩායමක් පටන්ගත්තා.” ස්ටෙෆනි මෙහෙම කියනවා. “ජීවිතය යෙහෝවා දෙවියන්ට කැප කරන්න කෙනෙක්ට උදව් කරද්දී ලැබෙන සතුට වෙන කිසිම දේකින් ලැබෙන්නේ නෑ. මෙහේ සේවය කරද්දී ඒ සතුට අපිට හුඟක් සැරයක් අද්දකින්න ලැබුණා.” දැන් ඇලන් සහ ස්ටෙෆනි චාරිකා සේවය කරනවා.

“අපි ගත්ත තීරණය හරියටම හරි”

ලියෝන්ස් සහ ජිසෙල්

ඉතාලියේ වෛද්‍ය විද්‍යාලයක ඉගෙනගත්ත කාලේ තමයි ජිසෙල් බව්තීස්ම වුණේ. එයාට පාඩම කරපු යුවළ ගත කරපු සරල ජීවිතය ගැන එයාට ආස හිතුණා. ජිසෙල්ට ඕන වුණා ඒ දෙන්නා වගේ වැඩිපුර සේවයක් කරන්න. ඒ නිසා ඉගෙනගෙන ඉවර වුණ ගමන් එයා ස්ථාවර පුරෝගාමි සේවය පටන්ගත්තා.

කැමරූන්වලට ගිහින් වැඩි සේවයක් කරන්න ජිසෙල්ට ලොකු ආසාවක් තිබුණා. ඒත් එයාට මෙහෙම හිතුණා. ‘මං කැමරූන්වලට පදිංචියට ගියොත් මට ඉතාලියේ පුරවැසිභාවය නැති වෙනවා. පවුලේ අයව, යාළුවන්ව දාලා යන්නත් වෙනවා.’ හැබැයි 2016 මැයි මාසේදී එයා කැමරූන්වලට ගියා. කාලයක් ගියාම එයා ලියෝන්ස් එක්ක විවාහ වුණා. කැමරූන්වල ශාඛා කාර්යාලයෙන් එයාලට කිව්වා ප්‍රචාරකයන් අඩු පළාතක් වුණ ආයෝස්වලට ගිහින් සේවය කරන්න කියලා.

ආයෝස්වල ගත කරපු ජීවිතය ගැන ජිසෙල් මෙහෙම කියනවා. “මෙහේ ගොඩක් වෙලාවට සති ගාණක්ම කරන්ට් එක කපනවා. අපේ ෆෝන් චාජ් කරගන්න බැරි වෙන නිසා හුඟක් වෙලාවට ඒවා වැඩ කළේ නැහැ. මං දර ලිපේ උයන්නත් ඉගෙනගත්තා. රෑ වෙද්දී මිනිස්සු ඒ තරම් නැති නිසා රෑට තමයි අපි ටෝච්, වීල්බැරෝ අරන් වතුර පුරවගන්න ගියේ.” ඒ හැම දෙයක්ම දරාගන්න උදව් වුණ දේවල් ගැන ජිසෙල් මෙහෙම කිව්වා. “යෙහෝවා දෙවියන්ගේ උදව් අපි අද්දැක්කා. අපි දෙන්නා එකිනෙකාට උදව් කරගත්තා. අපේ පවුල්වල අය, යාළුවෝ අපිව දිරිගැන්නුවා. සමහර වෙලාවට එයාලා අපිට සල්ලිත් එව්වා.”

මව්රටට ගිහින් සේවය කරන්න ලැබුණු එක ගැන සතුටු වෙනවාද කියලා ඇහුවාම ජිසෙල් මෙහෙම කිව්වා. “ඔව්, ඇත්තටම අපි ඒ ගැන සතුටු වෙනවා. අපිට සමහර අභියෝගවලට මුහුණ දෙන්න වුණා. අපි අධෛර්යය වුණ වෙලාවලුත් තිබුණා. හැබැයි ඒ හැම දෙයක්ම ජය ගත්තාම මටයි මගේ මහත්තයාටයි හිතුණා අපි ගත්ත තීරණය හරියටම හරි කියලා. අපි යෙහෝවා දෙවියන් ගැන විශ්වාසය තිබ්බා. ඔහුත් එක්ක අපිට තිබුණ බැඳීම කලින්ටත් වඩා දැන් ශක්තිමත් වෙලා කියලා අපිට දැනෙනවා.” ලියෝන්ස් සහ ජිසෙල් ශුභාරංචිය ප්‍රකාශ කරන්නන්ගේ පාසැලට සහභාගි වුණා. දැන් එයාලා තාවකාලික විශේෂ පුරෝගාමීන් විදිහට සේවය කරනවා.

තත්වයන් වෙනස් වුණත් අභියෝග තිබුණත් ධීවරයන් ධෛර්යවන්තව මාළු අල්ලනවා වගේ තමන්ගේ මව්රටට ගිය අයත් කැමැත්තෙන්ම කැප කිරීම් කරලා බයිබලේ තියෙන දේවල් අනිත් අයට කියලා දෙනවා. ඒ අය දෙවියන්ගේ නාමයට පෙන්වපු ආදරේ යෙහෝවා දෙවියන් කවදාවත් අමතක කරන්නේ නැහැ. (නෙහෙ. 5:19; හෙබ්‍රෙ. 6:10) ඔයා ජීවත් වෙන්නෙත් වෙන රටකද? ඔයාගේ මව්රටේ සේවය කරන්න ලොකු අවශ්‍යතාවක් තියෙනවාද? එහෙනම් එහෙට ගිහින් සේවය කරන්න ඔයාට පුළුවන්ද? ඔයා එහෙම කළොත් හිතාගන්නවත් බැරි විදිහට යෙහෝවා දෙවියන් ඔයාටත් ආශීර්වාද කරයි.—හිතෝ. 10:22.