Skip to content

පටුනට යන්න

පාඩම් ලිපිය 19

අවසාන කාලයේ “උතුරේ රජ” කවුද?

අවසාන කාලයේ “උතුරේ රජ” කවුද?

“අවසාන කාලයේදී දකුණේ රජ ඔහුට [උතුරේ රජුට] විරුද්ධව පියවර ගන්නේය.”—දානි. 11:40.

ගීතිකාව 150 ගැලවීම දෙවිගෙන් වේ

මේ ලිපියෙන් *

1. බයිබලේ තියෙන අනාවැකි මාර්ගයෙන් අපිට දැනගන්න පුළුවන් මොකක්ද?

යෙහෝවා දෙවියන්ගේ සෙනඟට ළඟදීම මුහුණ දෙන්න වෙන්නේ මොන වගේ දේවලටද? ඒකට උත්තරේ අපි දන්නවා. මොකද ළඟදීම වෙන්න යන දේවල් ගැන බයිබලේ තියෙන අනාවැකි මාර්ගයෙන් අපිට එළිදරව් කරලා තියෙනවා. විශේෂයෙන්ම බයිබලේ සඳහන් එක අනාවැකියක පෙන්නනවා ලෝකේ තියෙන බලවත්ම ආණ්ඩු කරන්න යන්නේ මොනවාද කියලා. ඒ අනාවැකිය තියෙන්නේ දානියෙල් 11වෙනි පරිච්ඡේදයේ. එතන එකිනෙකාට විරුද්ධව සටන් කරන රජවරු දෙන්නෙක් ගැන කතා කරනවා. ඒ රජවරු දෙන්නාව හඳුන්වන්නේ උතුරේ රජ සහ දකුණේ රජ හැටියට. ඒ අනාවැකියෙන් වැඩි ප්‍රමාණයක් මේ වෙද්දී ඉටු වෙලා ඉවරයි. ඒ නිසා ඉතුරු කොටසත් අනිවාර්යයෙන්ම ඉටු වෙයි කියලා අපිට ස්ථිරයි.

2. උත්පත්ති 3:15, එළිදරව් 11:7 සහ 12:17 පෙන්නලා තියෙන විදිහට දානියෙල්ගේ අනාවැකිය අධ්‍යයනය කරද්දී අපි මතක තියාගන්න ඕනෙ වැදගත් දේවල් මොනවාද?

2 දානියෙල් 11වෙනි පරිච්ඡේදයේ සඳහන් අනාවැකිය තේරුම්ගන්න නම් අපි මතක තියාගන්න ඕනෙ වැදගත් දේවල් කීපයක් තියෙනවා. එකක් තමයි ඒ අනාවැකියේ කතා කරන්නේ දෙවියන්ගේ සේවකයන් වැඩිදෙනෙක් ජීවත් වුණ ප්‍රදේශ පාලනය කරපු එහෙම නැත්නම් දෙවියන්ගේ සෙනඟට පීඩා කරපු පාලකයන් සහ ආණ්ඩු ගැන විතරයි කියන දේ. ලෝක ජනගහනයත් එක්ක බලද්දී දෙවියන්ගේ සෙනඟ ඉන්නේ හරිම පොඩි ප්‍රමාණයක්. එහෙමනම් ඒ බලවත් ආණ්ඩුවල අවධානයට දෙවියන්ගේ සෙනඟ ලක් වෙන්නේ ඇයි? ඒකට හේතුව සාතන්ට සහ එයා යටතේ ඉන්න අයට ඕනෙ යෙහෝවා දෙවියන්ට සහ යේසුස්ට සේවය කරන අයව නැත්තටම නැති කරලා දාන්න. (උත්පත්ති 3:15 සහ එළිදරව් 11:7; 12:17 කියවන්න.) අපි මතක තියාගන්න ඕනෙ අනිත් දේ තමයි දානියෙල් පොතේ සඳහන් අනාවැකියේ ඉටු වීම බයිබලේ තියෙන අනිත් අනාවැකිවල ඉටු වීමටත් එකඟ වෙන්න ඕනෙ කියන දේ. ඇත්තටම දානියෙල්ගේ අනාවැකිය හොඳින් තේරුම්ගන්න අපිට පුළුවන් වෙන්නේ ඒක බයිබලේ තියෙන අනිත් තොරතුරු එක්ක සම්බන්ධ කළොත් විතරයි.

3. අපි මේ ලිපියේ සහ ඊළඟ ලිපියේ බලන්නේ මොනවා ගැනද?

3 ඒ කාරණා මතකයේ තියාගෙන අපි දානියෙල් 11:25-39 දක්වා සඳහන් තොරතුරු අධ්‍යයනය කරමු. 1870 ඉඳන් 1991 දක්වා කාලේ උතුරේ රජ සහ දකුණේ රජ විදිහට පෙනී හිටියේ කවුද කියලා අපි බලමු. ඒ වගේම අනාවැකියේ ඒ කොටස ගැන අපි අවබෝධ කරගෙන හිටපු සමහර තොරතුරුවල වෙනසක් කරන්න ඕනෙ ඇයි කියලත් අපි බලනවා. ඊළඟ ලිපියෙන් අපි බලන්නේ දානියෙල් 11:40–12:1 දක්වා තියෙන තොරතුරුයි. ඒ කොටසේ 1991 ඉඳන් හර්–මගෙදොන් යුද්ධය දක්වා දිව යන කාලේදී සිද්ධ වෙන දේවල් ගැන කතා කරනවා. ඒ ගැන අපිට තියෙන අවබෝධය තවත් පැහැදිලි වෙලා තියෙන්නේ කොහොමද කියලත් අපි බලනවා. මේ ලිපි දෙක අධ්‍යයනය කරද්දී “අවසාන කාලේ එකිනෙකාට විරුද්ධව සටන් කරන රජවරු දෙන්නෙක්” කියන රූප සටහන බලන එක ඔයාට උදව් වෙයි. මුලින්ම අපි දැනගන්න ඕනෙ මේ අනාවැකියේ කතා කරන රජවරුන් දෙන්නා කවුද කියලා.

උතුරේ රජුව සහ දකුණේ රජුව හඳුනගන්නේ කොහොමද?

4. උතුරේ රජුව සහ දකුණේ රජුව හඳුනගන්න අපිට උදව් වෙන්නේ මොන කාරණා තුනද?

4 මුලින්ම “උතුරේ රජ” කියන යෙදුම අදාළ වුණේ ඊශ්‍රායෙල් දේශයට උතුරෙන් තිබුණ ප්‍රදේශ පාලනය කරපු කෙනාටයි. “දකුණේ රජ” කියන යෙදුම අදාළ වුණේ ඊශ්‍රායෙල් දේශයට දකුණෙන් තිබුණ ප්‍රදේශ පාලනය කරපු කෙනාටයි. ඒත් පස්සේ ඒක වෙනස් වුණා. එහෙම කියන්නේ ඇයි? දානියෙල්ට මේ අනාවැකිය ගැන දන්වපු දේවදූතයා කියපු දේ බලන්න. ඔහු කිව්වේ ‘මා මෙතැනට ආවේ ඔබේ සෙනඟට සිදු වන දේ ඔබට තේරුම් කර දෙන පිණිසයි’ කියලා. (දානි. 10:14) ක්‍රි.ව. 33 පෙන්තකොස්ත දවස වෙන කල් දෙවියන් ඔහුගේ සෙනඟ හැටියට සැලකුවේ ඊශ්‍රායෙල් ජාතිකයන්ව. ඒත් එදායින් පස්සේ යෙහෝවා දෙවියන් ඔහුගේ සෙනඟ විදිහට සැලකුවේ යේසුස්ගේ විශ්වාසවන්ත අනුගාමිකයන්ව. ඒ නිසා දානියෙල් 11වෙනි පරිච්ඡේදයේ සඳහන් තොරතුරුවලින් වැඩි ප්‍රමාණයක් අදාළ වෙන්නේ ඊශ්‍රායෙල් ජාතිකයන්ට නෙමෙයි යේසුස්ගේ අනුගාමිකයන්ට. (ක්‍රියා 2:1-4; රෝම 9:6-8; ගලා. 6:15, 16) උතුරේ රජුගේ සහ දකුණේ රජුගේ භූමිකාව රඟ දක්වපු පාලකයන් සහ ආණ්ඩු විවිධ කාලවලදී වෙනස් වුණා. ඒත් ඒ හැම පාලකයෙක්ටම පොදු දේවල් තුනක් තිබුණා. (1) ඒ පාලකයන් දෙවියන්ගේ සෙනඟ වැඩිදෙනෙක් ජීවත් වුණ ප්‍රදේශ පාලනය කළා. එහෙම නැත්නම් එයාලට පීඩා කළා. (2) ඒ පාලකයන් දෙවියන්ගේ සෙනඟට සලකපු විදිහෙන් පැහැදිලි වුණා එයාලා සැබෑ දෙවියන් වන යෙහෝවාට වෛර කරනවා කියලා. (3) ඒ රජවරුන් දෙන්නා අතරේ බල අරගලයක් තියෙනවා.

5. ක්‍රි.ව. 100 ඉඳන් 1870 අතර කාලේ උතුරේ රජ කෙනෙක් සහ දකුණේ රජ කෙනෙක් හිටියාද? පැහැදිලි කරන්න.

5 ක්‍රි.ව. 100ට පස්සේ ගත වුණ කාලේදී ක්‍රිස්තියානීන් කියලා මවාපාපු හුඟදෙනෙක් සැබෑ ක්‍රිස්තියානි සභාවට ඇතුල් වෙන්න පටන්ගත්තා. එයාලා උගන්වපු අසත්‍ය ඉගැන්වීම් නිසා බයිබලේ තිබුණ සත්‍යයන් යටපත් වුණා. තිරිඟු යටපත් කරගෙන කිරිඳි වැඩුණා වගේ ක්‍රිස්තියානීන් කියලා මවාපාපු අය එන්න එන්නම වැඩි වුණ නිසා සැබෑ ක්‍රිස්තියානීන්ව හඳුනගන්න බැරි වුණා. (මතෙ. 13:36-43) ඒ නිසා ක්‍රි.ව. 100 ඉඳන් 19වෙනි සියවසේ අගභාගය වෙන කල් දෙවියන් සංවිධානය කරපු සෙනඟක් පොළොවේ හිටියේ නැහැ. ඒ කාරණය අපේ සාකච්ඡාවට වැදගත් වෙන්නේ ඇයි? යම් කාලෙකදී දෙවියන් සංවිධානය කරපු සෙනඟක් පොළොවේ හිටියේ නැත්නම් එයාලට පීඩා කරන්න විදිහකුත් නැහැ. ඒකෙන් පැහැදිලි වෙනවා උතුරේ රජ සහ දකුණේ රජ ගැන සඳහන් තොරතුරු ක්‍රි.ව. 100 ඉඳන් 1870 අතර කාලේ හිටපු පාලකයන්ට හෝ ආණ්ඩුවලට අදාළ වෙන්න බැහැ කියලා. * ඒ වුණත් 1870න් ටික කාලෙකට පස්සේ ආයෙත් උතුරේ රජු සහ දකුණේ රජු මතු වුණා. අපි කොහොමද ඒක දන්නේ?

6. දෙවියන් ආයෙත් ඔහුගේ සෙනඟව සංවිධානය කළේ කොයි කාලේදීද? පැහැදිලි කරන්න.

6 1870 ඉඳන් දෙවියන්ගේ සෙනඟ කණ්ඩායමක් විදිහට ආයෙත් සංවිධානය වෙන්න පටන්ගත්තා. ඒ කාලේදී තමයි චාල්ස් ටේස් රසල් සහ තවත් පිරිසක් එකතු වෙලා බයිබලේ අධ්‍යයනය කරන්න පටන්ගත්තේ. දේවරාජ්‍යය පිහිටුවන්න කලින් “මාර්ගය සූදානම් කරන” පණිවිඩකරුගේ කාර්යය සහෝදර රසල් සහ එයාත් එක්ක හිටපු ඒ පිරිස ඉටු කළා. (මලා. 3:1) දෙවියන් බලාපොරොත්තු වෙන විදිහට ඔහුට නමස්කාර කරන, සංවිධානය වුණ සෙනඟක් ආයෙත් පොළොවේ දකින්න ලැබුණා. ඒ කාලේදී දෙවියන්ගේ සෙනඟට බලපෑමක් කරපු දේශපාලන බලයන් තිබුණාද? ඒ ගැන අපි බලමු.

දකුණේ රජු කවුද?

7. 1වෙනි ලෝක මහා යුද්ධය පටන් අරන් කාලයක් යන කල් දකුණේ රජ වුණේ කවුද?

7 1870 වෙද්දී ලෝකේ විශාලතම අධිරාජ්‍යය වුණේ බ්‍රිතාන්‍යය. බලවත්ම හමුදාව තිබුණෙත් බ්‍රිතාන්‍යයටයි. දානියෙල්ගේ අනාවැකියේ “අං තුනක් උගුලා දමමින්” මතු වෙන “පොඩි අඟක්” ගැන කතා කරනවා. ඒ පොඩි අඟෙන් නියෝජනය වුණේ බ්‍රිතාන්‍යය. උගුලා දමපු අං තුනෙන් නියෝජනය වුණේ ප්‍රංශය, ස්පාඤ්ඤය සහ නෙදර්ලන්තය. (දානි. 7:7, 8) 1වෙනි ලෝක මහා යුද්ධය පටන් අරන් කාලයක් යන කල් දකුණේ රජුගේ භූමිකාව රඟ දැක්වුවේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය. ඔය කාලේදී ලෝකේ ධනවත්ම රට වුණ ඇමරිකා එක්සත් ජනපදය බ්‍රිතාන්‍යය එක්ක සහයෝගයෙන් වැඩ කරන්න පටන් අරන් තිබුණා.

8. අවසාන කාලයේදී දකුණේ රජ හැටියට පෙනී ඉන්නේ කවුද?

8 1වෙනි ලෝක මහා යුද්ධයේදී එක්සත් ජනපදය සහ බ්‍රිතාන්‍යය එක්සත් හමුදාවක් විදිහට සටන් කරපු නිසා එයාලා ගොඩක් බලවත් වුණා. ඒ කාලේ වෙද්දී බ්‍රිතාන්‍යයත් කලින් බ්‍රිතාන්‍යය යටතේ තිබුණ ඇමරිකා එක්සත් ජනපදයත් ලෝකේ තිබුණ බලවත්ම අධිරාජ්‍යය වුණා. ඒක හැඳින්නුවේ බ්‍රිතාන්‍ය හා ඇමරිකානු ලෝක අධිරාජ්‍යය හැටියට. දානියෙල්ගේ අනාවැකියේ සඳහන් වෙන විදිහට ඒ රජු “අතිවිශාල යුධ හමුදාවක්” රැස් කරගත්තා. (දානි. 11:25) අවසාන කාලයේදී දකුණේ රජු හැටියට පෙනී ඉන්නේ බ්‍රිතාන්‍ය හා ඇමරිකානු ලෝක අධිරාජ්‍යය. ඒකේ වෙනසක් වෙන්නේ නැහැ. * එතකොට උතුරේ රජ හැටියට පෙනී හිටියේ කවුද?

උතුරේ රජු කවුද?

9. උතුරේ රජව ආයෙත් දකින්න පුළුවන් වුණේ කොයි කාලේදීද? දානියෙල් 11:25 ඉටු වුණේ කොහොමද?

9 සහෝදර රසල් සහ එයාත් එක්ක හිටපු පිරිස කණ්ඩායමක් විදිහට බයිබලය අධ්‍යයනය කරන්න පටන්ගත්ත අවුරුද්දට පස්සේ අවුරුද්දේ ඒ කියන්නේ 1871දී අලුත් උතුරේ රජ කෙනෙක් පෙනී හිටියා. ඒ අවුරුද්දේදී ඔටෝ ෆොන් බිස්මාක් ප්‍රදේශ ගණනාවක් එකතු කරලා ජර්මනිය කියන බලවත් අධිරාජ්‍යය බිහි කළා. ඒකේ මුල්ම අධිරාජ්‍යයා වුණේ Iවෙනි විල්හෙල්ම්. ඒ ආණ්ඩුවේ මූලිකයා විදිහට වැඩ කරන්න එයා බිස්මාක්ව පත් කළා. * ඊටපස්සේ ගත වුණ දශක කීපය ඇතුළත ජර්මනිය අප්‍රිකාවේ සහ පැසිෆික් සාගරයට අයිති රටවල් කීපයක්ම තමන් යටතට අරගෙන බ්‍රිතාන්‍යයට වඩා බලවත් අධිරාජ්‍යයක් වෙන්න උත්සාහ කළා. (දානියෙල් 11:25 කියවන්න.) ජර්මනිය බලවත් හමුදාවකුත් රැස් කරගත්තා. ඒ වගේම ලෝකේ තිබුණ දෙවෙනි බලවත්ම නාවික හමුදාව තිබුණෙත් ජර්මනිය යටතේ. 1වෙනි ලෝක මහා යුද්ධයේදී ජර්මනිය සතුරන්ට විරුද්ධව සටන් කළේ ඒ හමුදාව යොදාගෙනයි.

10. දානියෙල් 11:25ආ සහ 26 ඉටු වුණේ කොහොමද?

10 ජර්මානු අධිරාජ්‍යයට වගේම ඒක රැස් කරගත්ත හමුදාවට වෙන දේ ගැන දානියෙල්ගේ අනාවැකියේ ඊළඟට සඳහන් වෙනවා. අනාවැකියේ කියන්නේ උතුරේ රජ “වැටෙන්නේය” කියලයි. ඒකට හේතුව මොකක්ද? අනාවැකියේ මෙහෙම කියනවා. “ඔහුට විරුද්ධව උපා යොදන නිසා ඔහු වැටෙන්නේය. ඔහු සමඟ එකට කෑම කන අයම ඔහුව විනාශ කරන්නෝය.” (දානි. 11:25ආ, 26අ) දානියෙල්ගේ කාලේදී රජු “වෙනුවෙන් පිළියෙල කළ භෝජනයෙන්” භුක්ති විඳින්න ලැබුණ අය අතර රජු ‘ඉදිරියට පැමිණ සේවය කරපු’ රාජකීය නිලධාරීනුත් හිටියා. (දානි. 1:5) අනාවැකියේ සඳහන් ඒ අය කවුද? ඒ අය වුණේ ජර්මානු අධිරාජ්‍යයේ හිටපු උසස් නිලධාරීන්. අධිරාජ්‍යයා එක්ක කිට්ටුවෙන් වැඩ කරපු ජෙනරාල්වරු සහ හමුදාවේ උපදේශකයන් ඒ අයට ඇතුළත් වුණා. ඒ අය කරපු දේවල් නිසා ජර්මානු අධිරාජ්‍යය බිඳ වැටිලා අලුත් පාලන ක්‍රමයක් ජර්මනියේ බිහි වුණා. * උතුරේ රජ දකුණේ රජු එක්ක කරපු සටනේ ප්‍රතිඵලය ගැනත් දානියෙල්ගේ අනාවැකියේ සඳහන් වුණා. උතුරේ රජ ගැන අනාවැකියේ කියන්නේ “ඔහුගේ යුධ හමුදාවද විසුරුවාහරිනු ලැබේ. බොහෝදෙනා මැරුම් කන්නෝය” කියලයි. (දානි. 11:26ආ) අනාවැකියේ සඳහන් වුණ විදිහටම 1වෙනි ලෝක මහා යුද්ධයේදී ජර්මානු හමුදාව ‘විසුරුවාහැරියා.’ හුඟදෙනෙක් ‘මැරුම් කෑවා.’ ඉතිහාසයේ වෙන කවදාකවත් යුද්ධයක් නිසා ඒ තරම් මිනිසුන් ප්‍රමාණයක් මිය ගිහින් තිබුණේ නැහැ.

11. උතුරේ රජ සහ දකුණේ රජ කළේ මොනවාද?

11 දානියෙල් 11:27, 28 විස්තර කරලා තියෙන්නේ 1වෙනි ලෝක මහා යුද්ධයට කලින් සිදු වෙන දේවල් ගැනයි. එතන කියන විදිහට උතුරේ රජ සහ දකුණේ රජ “එකම මේසයේ හිඳගෙන එකිනෙකාට බොරු කියනවා.” උතුරේ රජ “බොහෝ සම්පත්” රැස් කරගන්නවා කියලත් එතන කියනවා. ඒ අනාවැකිය ඒ විදිහටම ඉටු වුණා. තමන්ට ඕනෙ සාමය උදා කරන්න කියලා ජර්මනිය සහ බ්‍රිතාන්‍යය එකිනෙකාට කියාගත්තත් 1914දී එයාලා එකිනෙකාට විරුද්ධව සටන් කරද්දී ඒක බොරුවක් කියලා ඔප්පු වුණා. ඒ වගේම 1914 වෙද්දී ජර්මනිය ලෝකේ දෙවෙනි ධනවත්ම රට වෙලා තිබුණා. දානියෙල් 11:29 සහ 30 මුල් කොටසේ සඳහන් වෙන විදිහට ජර්මනිය දකුණේ රජු එක්ක යුද්ධ කරලා පරාජය වුණා.

රජවරු දෙන්නා දෙවියන්ගේ සෙනඟට විරුද්ධව සටන් කරයි

12. 1වෙනි ලෝක මහා යුද්ධයේදී උතුරේ රජයි, දකුණේ රජයි කළේ මොනවාද?

12 1914 ඉඳන් රජවරු දෙන්නා එකිනෙකාට විරුද්ධවත් දෙවියන්ගේ සෙනඟට විරුද්ධවත් තව තවත් වැඩියෙන් සටන් කළා. උදාහරණෙකට 1වෙනි ලෝක මහා යුද්ධය කාලේදී හමුදාවට බැඳිලා සටන් කරන එක ප්‍රතික්ෂේප කරපු දෙවියන්ගේ සේවකයන්ට ජර්මානු ආණ්ඩුව වගේම බ්‍රිතාන්‍ය ආණ්ඩුවත් පීඩා කළා. දේශනා සේවයේ පෙරමුණ අරන් වැඩ කරපු සහෝදරයන්ව එක්සත් ජනපදයේ ආණ්ඩුව මගින් සිරගත කළා. දෙවියන්ගේ සෙනඟ අද්දැක්ක ඒ විරුද්ධවාදිකම් නිසා එළිදරව් 11:7-10 සඳහන් අනාවැකිය ඉටු වුණා.

13. 1930 පස්සේ සහ 2වෙනි ලෝක මහා යුද්ධයේදී උතුරේ රජ කළේ මොනවාද?

13 1930 ගණන්වල සහ විශේෂයෙන්ම 2වෙනි ලෝක යුද්ධය පැවතුණ කාලේදී උතුරේ රජ කිසිම අනුකම්පාවක් නැතුව දෙවියන්ගේ සෙනඟට පීඩා කළා. ජර්මනිය නාට්සි පාලනය යටතට පත් වුණාම හිට්ලර් සහ එයාගේ අනුගාමිකයන් දෙවියන්ගේ සෙනඟගේ වැඩකටයුතු තහනම් කළා. උතුරේ රජ සාක්ෂිකරුවන් 1,500දෙනෙක්ව විතර මරලා දැම්මා. තව දහස් ගාණක්ව ගාල් කඳවුරුවලට යැව්වා. ඒ සිද්ධීන් ගැන දානියෙල් කලින්ම කියලා තිබුණා. උතුරේ රජ දේශනා කිරීමේ කාර්යය තහනම් කරපු නිසා අනාවැකියේ සඳහන් විදිහට එයා “ශුද්ධස්ථානය කෙලෙසුවා.” ඒ වගේම “දිනපතා ඔප්පු කරන පූජාව නැවැත්තුවා.” (දානි. 11:30ආ, 31අ) ජර්මනියේ නායකයා වුණ හිට්ලර් එහේ හිටපු දෙවියන්ගේ සෙනඟව සම්පූර්ණයෙන්ම නැති කරනවා කියලා දිවුරලා පොරොන්දුත් වුණා.

උතුරේ රජ හැටියට අලුත් කෙනෙක්

14. 2වෙනි ලෝක යුද්ධයෙන් පස්සේ උතුරේ රජ වුණේ කවුද? පැහැදිලි කරන්න.

14 2වෙනි ලෝක යුද්ධයෙන් පස්සේ උතුරේ රජ විදිහට පෙනී හිටියේ සෝවියට් සංගමයයි. ජර්මනිය යටතේ තිබුණ විශාල ප්‍රදේශයක් සෝවියට් සංගමය තමන්ගේ පාලනය යටතට ගත්තා. කුරිරු නාට්සි පාලනය වගේම සෝවියට් සංගමයත් ආණ්ඩුවට වඩා දෙවියන්ට කීකරු වුණ හැම කෙනෙක්ටම දැඩි විරුද්ධවාදිකම් එල්ල කළා.

15. 2වෙනි ලෝක යුද්ධය අවසන් වුණාට පස්සේ උතුරේ රජ කළේ මොනවාද?

15 2වෙනි ලෝක යුද්ධය අවසන් වෙනවත් එක්කම අලුත් උතුරේ රජ වුණ සෝවියට් සංගමය දෙවියන්ගේ සෙනඟට පීඩා කරන්න පටන්ගත්තා. ඒ පීඩා එළිදරව් 12:15-17 සමාන කරලා තියෙන්නේ “ගංගාවකටයි.” ඒ අනාවැකියේ කියලා තිබුණ විදිහටම උතුරේ රජ දේශනා කිරීමේ කාර්යය තහනම් කරලා යෙහෝවා දෙවියන්ගේ සෙනඟගෙන් දහස් ගාණක්ව සයිබීරියාවට පිටුවහල් කළා. අවසාන කාලේ ආරම්භයේ ඉඳන්ම උතුරේ රජ දෙවියන්ගේ සෙනඟට දිගින් දිගටම විරුද්ධවාදිකම් එල්ල කළත් එයාලගේ වැඩකටයුතු නවත්වන්න උතුරේ රජුට පුළුවන් වුණේ නැහැ. *

16. දානියෙල් 11:37-39 සඳහන් දේ සෝවියට් සංගමය ඉටු කළේ කොහොමද?

16 දානියෙල් 11:37-39 කියවන්න. උතුරේ රජ “ඔහුගේ පියවරුන්ගේ දෙවියන්ව ගණන් ගන්නේ නැහැ” කියලා පෙන්නුවේ කොහොමද? සෝවියට් සංගමයට ඕනෙ වුණා ආගම් අයින් කරලා දාන්න. ඒ නිසා ආගම්වලට තියෙන බලය අඩු කරන්න එයාලා උත්සාහ කළා. ඒ අරමුණින් 1918 සෝවියට් ආණ්ඩුව නිකුත් කරපු නියෝගයක් නිසා දෙවි කෙනෙක් නැහැ කියන සංකල්පය පාසැල්වල උගන්වන්න පටන්ගත්තා. උතුරේ රජ “බලකොටුවල දෙවියන්ට ගෞරවය දුන්නේ” කොහොමද? සෝවියට් සංගමය එයාලගේ හමුදාව තව ශක්තිමත් කරන්නත් න්‍යෂ්ටික අවි දහස් ගාණක් නිපදවන්නත් විශාල මුදලක් වැය කළා. ඒ හැම දෙයක්ම එයාලා කළේ එයාලගේ බලය තව වැඩි කරගන්න අරමුණින්. උතුරේ රජ වගේම දකුණේ රජත් මිනිසුන් බිලියන ගාණක් විනාශ කරන්න ඇති තරම් අවිආයුධ රැස් කරගත්තා.

සතුරන් දෙන්නෙක් සහයෝගයෙන් වැඩ කළා

17. “විනාශයක් සිදු කරන පිළිකුල් දේ” මොකක්ද?

17 උතුරේ රජ දකුණේ රජු එක්ක සහයෝගයෙන් වැඩ කරන්නේ එක දේකදී විතරයි. ඒ “විනාශයක් සිදු කරන පිළිකුල් දේ” පිහිටුවන්න. (දානි. 11:31) ඒ පිළිකුල් දේ තමයි එක්සත් ජාතීන්ගේ සංවිධානය.

18. එක්සත් ජාතීන්ගේ සංවිධානය “පිළිකුල් දේ” විදිහට හඳුන්වලා තියෙන්නේ ඇයි?

18 එක්සත් ජාතීන්ගේ සංවිධානය “පිළිකුල් දේ” විදිහට හඳුන්වලා තියෙන්නේ දේවරාජ්‍යයට විතරක් කරන්න පුළුවන් දෙයක් තමන්ට කරන්න පුළුවන් කියලා එයා කියන නිසයි. ඒ තමයි ලෝකෙට සාමය උදා කරන එක. ඒ වගේම අනාවැකියේ කියනවා පිළිකුල් දේ “විනාශයක් සිදු කරනවා” කියලා. එහෙම කියන්නේ දෙවියන් ගැන අසත්‍යය උගන්වන හැම ආගමකටම පහර දීලා ඒවා විනාශ කරන්න මුල් වෙලා වැඩ කරන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානය නිසයි.—“අවසාන කාලේ එකිනෙකාට විරුද්ධව සටන් කරන රජවරු දෙන්නෙක්” කියන රූප සටහන බලන්න.

මේ තොරතුරු දැනගන්න එක වැදගත්ද?

19-20. (අ) මේ තොරතුරු අපි දැනගන්න ඕනෙ ඇයි? (ආ) ඊළඟ ලිපියෙන් අපි බලන්නේ මොන ප්‍රශ්නයද?

19 උතුරේ රජු සහ දකුණේ රජු ගැන දානියෙල් කියපු අනාවැකිය 1870 ඉඳන් 1991 දක්වා කාලේදී ඉටු වුණා කියලා අපි බලපු ඒ තොරතුරුවලින් පැහැදිලි වෙනවා. එහෙමනම් අනාවැකියේ ඉතුරු කොටසත් අනිවාර්යයෙන්ම ඉටු වෙයි කියලා අපිට ස්ථිරයි.

20 1991දී සෝවියට් සංගමය බිඳ වැටුණා. එහෙමනම් අද දින උතුරේ රජුගේ භූමිකාව රඟ දක්වන්නේ කවුද? ඒ ප්‍රශ්නෙට උත්තරේ අපි ඊළඟ ලිපියෙන් බලමු.

ගීතිකාව 128 අවසානය දක්වා විඳදරාගන්න

^ 5 ඡේ. “උතුරේ රජ” සහ “දකුණේ රජ” ගැන දානියෙල් කියපු අනාවැකිය ඉටු වෙමින් තියෙනවා කියන්න සාක්ෂි අපිට දකින්න තියෙනවා. ඒක ඒ තරම්ම ස්ථිර විශ්වාසයකින් අපිට කියන්න පුළුවන් ඇයි? ඒ අනාවැකියේ තියෙන තොරතුරු අපි හොඳින් තේරුම්ගන්න ඕනෙ ඇයි?

^ 5 ඡේ. මෙතන කතා කරන හේතුව නිසා රෝම අධිරාජ්‍යයා වුණ ඕරීලියන් (ක්‍රි.ව. 270-275) “උතුරේ රජු” විදිහටත් සනෝබියා රැජින (ක්‍රි.ව. 267-272) “දකුණේ රජු” විදිහටත් පෙනී හිටියා කියන්න බැහැ. ඒ අනුව ‘දානියෙල්ගේ අනාවැකියට අවධානය දෙන්න!’ කියන පොතේ 13 සහ 14 පරිච්ඡේදවල සඳහන් තොරතුරු වෙනස් වෙනවා.

^ 9 ඡේ. 1890දී ජර්මනියේ අධිරාජ්‍යයා වුණ IIවෙනි විල්හෙල්ම් බිස්මාක්ව ඒ තනතුරෙන් ඉවත් කළා.

^ 10 ඡේ. එයාලා කරපු හුඟක් දේවල් නිසා අධිරාජ්‍යය ඉක්මනින්ම බිඳ වැටුණා. උදාහරණෙකට එයාලා අධිරාජ්‍යයාට සහය දෙන එක නතර කළා. යුද්ධය ගැන රහස් තොරතුරු එයාලා අනිත් අය එක්ක බෙදාගත්තා. අධිරාජ්‍යයාට තනතුරෙන් ඉවත් වෙන්න කියලා බල කළා.

^ 15 ඡේ. දානියෙල් 11:34 පැහැදිලි වෙන විදිහට උතුරේ රජ කෙටි කාලෙකට දෙවියන්ගේ සෙනඟට පීඩා කරන එක නැවැත්තුවා. උදාහරණෙකට 1991 සෝවියට් සංගමය බිඳ වැටුණාම ඒ පීඩා නතර වුණා.