Skip to content

පටුනට යන්න

පාඩම් ලිපිය 22

දෙවියන්ගෙන් ලැබිලා තියෙන නොපෙනෙන තෑගි අගය කරන්න

දෙවියන්ගෙන් ලැබිලා තියෙන නොපෙනෙන තෑගි අගය කරන්න

‘අප නිරතුරුව බලා සිටින්නේ නොපෙනෙන දේවල් දෙසය. මන්ද පෙනෙන දේවල් පවතින්නේ කෙටි කාලයකටය. නමුත් නොපෙනෙන දේවල් සදාකාලිකය.’—2 කොරි. 4:18.

ගීතිකාව 45 මාගේ සිතුවිලි විමසන්න

මේ ලිපියෙන් *

1. ස්වර්ගයේ රැස් කරගන්න වස්තු ගැන යේසුස් කිව්වේ මොකක්ද?

යෙහෝවා දෙවියන් අපිට ගොඩක් වටිනා තෑගි දීලා තියෙනවා. ඒවාවලින් සමහර ඒවා අපේ ඇස් දෙකට පේන්නේ නැහැ. ඇත්තම කිව්වොත් ඒවා තමයි අපිට ලැබිලා තියෙන වටිනාම වස්තු. ධන සම්පත් රැස් කරගන්නවාට වඩා ස්වර්ගයේ වස්තු රැස් කරගන්න එක කොච්චර වටිනවාද කියලා යේසුස් කන්ද උඩ දේශනයේදී කිව්වා. ඊටපස්සේ ඔහු මෙහෙම කිව්වා. “ඔබේ වස්තුව කොතැනද ඔබේ සිතත් ඇත්තේ එතැනමයි.” (මතෙ. 6:19-21) යේසුස් එහෙම කිව්වේ සාමාන්‍යයෙන් අපිට යම් දෙයක් ගොඩක් වටිනවා නම් අපි ඒක කොහොමහරි ලබාගන්න උත්සාහ කරන නිසයි. අනිත් හැම දේටම වඩා වටින ස්වර්ගයේ වස්තු රැස් කරගන්න අපිට පුළුවන් කොහොමද? දෙවියන් ඉදිරියේ හොඳ නමක් ඇති කරගන්න එකෙන් අපිට ඒක කරන්න පුළුවන්. යේසුස් කිව්වේ ඒ වස්තුව කවදාවත් විනාශ කරන්නවත් කාටවත් සොරකම් කරන්නවත් බැහැ කියලයි.

2. (අ) 2 කොරින්ති 4:17, 18 අනුව පාවුල් අපිට උනන්දු කරන්නේ මොකක් කරන්න කියලාද? (ආ) අපි මේ ලිපියෙන් බලන්නේ මොනවා ගැනද?

2 ‘නොපෙනෙන දේවල් දෙස නිරතුරුව බලා සිටින්න’ කියලා පාවුල් අපිට උනන්දු කරනවා. (2 කොරින්ති 4:17, 18 කියවන්න.) ඒ නොපෙනෙන දේවල්වලට පාරාදීසයේදී අපි අද්දකින්න යන හැම ආශීර්වාදයක්මත් ඇතුළත්. දැනුත් අපිට ලැබිලා තියෙන, අපේ ඇස් දෙකට නොපෙනෙන වටිනා තෑගි 4ක් ගැන මේ ලිපියෙන් බලමු. (1) දෙවියන් එක්ක තියෙන මිත්‍රත්වය. (2) යාච්ඤාව. (3) දෙවියන්ගේ බලය මාර්ගයෙන් ලැබෙන උදව්. (4) දේවසේවයේදී යෙහෝවා දෙවියන්ගෙන්, යේසුස්ගෙන් සහ දේවදූතයන්ගෙන් ලැබෙන උදව්. ඒ නොපෙනෙන තෑගි අපි අගය කරනවා කියලා අපිට පෙන්නන්න පුළුවන් කොහොමද කියලත් බලමු.

යෙහෝවා දෙවියන් එක්ක තියෙන මිත්‍රත්වය

3. නොපෙනෙන තෑගි අතරින් වටිනාම තෑග්ග මොකක්ද? ඒ තෑග්ග අපිට ලබාගන්න පුළුවන් වෙලා තියෙන්නේ මොකක් නිසාද?

3 යෙහෝවා දෙවියන් එක්ක අපිට තියෙන මිත්‍රත්වය අපිට ලැබිලා තියෙන නොපෙනෙන තෑගි අතරින් වටිනාම තෑග්ගයි. (ගීතා. 25:14) යෙහෝවා දෙවියන් තරම් ශුද්ධ දෙවි කෙනෙක්ට පාපය උරුම කරගත්ත මිනිසුන් එක්ක මිත්‍රත්වයක් ඇති කරගන්න පුළුවන් වුණේ මොකක් නිසාද? ඔහුට ඒක කරන්න පුළුවන් වුණේ මිනිසුන්ගේ “පාපය නැති කර දමන” යේසුස්ගේ ජීවිත පූජාව නිසයි. (යොහ. 1:29) යේසුස් මිය යන්නත් කලින් දෙවියන් දැනන් හිටියා යේසුස් මරණය දක්වාම විශ්වාසවන්තව ඉඳලා මිනිසුන්ව පාපයෙන් ගලවගන්නවා කියලා. යේසුස් මිය යන්න කලින් ජීවත් වුණ මිනිසුන් එක්ක මිත්‍රත්වයක් ඇති කරගන්න දෙවියන්ට පුළුවන් වුණේ ඒ නිසයි.—රෝම 3:25.

4. යේසුස් පොළොවට එන්න කලින් දෙවියන්ගේ මිත්‍රයන් වුණ කීපදෙනෙක් ගැන කියන්න.

4 යේසුස් පොළොවට එන්න කලින් දෙවියන්ගේ මිතුරන් වුණ කීපදෙනෙක් ගැන බලන්න. ආබ්‍රහම් ඒ අයගෙන් කෙනෙක්. එයාට දෙවියන් ගැන ලොකු විශ්වාසයක් තිබුණා. එයා මිය ගිහිල්ලා අවුරුදු 1,000කට වැඩි කාලයක් ගත වුණාට පස්සෙත් යෙහෝවා දෙවියන් එයාව හැඳින්නුවේ “මාගේ මිතුරා” කියලා. (යෙසා. 41:8) ඒකෙන් තේරෙන්නේ දෙවියන්ගේ යාළුවෙක් මිය ගියත් දෙවියන් දිගටම ඒ කෙනාව තමන්ගේ මිතුරෙක් විදිහට සලකනවා කියලයි. ආබ්‍රහම් අදටත් දෙවියන්ගේ මතකයේ ඉන්නවා. (ලූක් 20:37, 38) දෙවියන්ගේ තවත් යාළුවෙක් තමයි යෝබ්. ස්වර්ගයේ දේවදූතයන් රැස් වුණ වෙලාවක යෙහෝවා දෙවියන් යෝබ් ගැන මෙහෙම කිව්වා. ‘ඔහු අවංක, නිර්දෝෂව හැසිරෙන, මට ගරුබිය දක්වන, වැරදි දෙයින් ඈත් වී සිටින කෙනෙක්.’ (යෝබ් 1:6-8) වෙනත් දේශයක අවුරුදු 80ක විතර කාලයක් දිගටම විශ්වාසවන්තව හිටපු දානියෙල් ගැන දෙවියන්ට කොහොමද හැඟුණේ? මහලු වයසේ හිටපු දානියෙල්ට දේවදූතයන් තුන් වතාවක්ම කිව්වේ “ඔබ බොහෝ ප්‍රේම ලත් තැනැත්තෙක්” කියලයි. (දානි. 9:23; 10:11, 19) මිය ගිය තමන්ගේ යාළුවන්ව නැවත නැඟිටුවන දවස එන කල් දෙවියන් බලන් ඉන්නේ මහත් ආශාවකින්.—යෝබ් 14:15.

නොපෙනෙන තෑගි අපි අගය කරනවා කියලා අපිට පෙන්නන්න පුළුවන් මොන විදිවලින්ද? (5 ඡේද බලන්න) *

5. යෙහෝවා දෙවියන් එක්ක කිට්ටු මිත්‍රත්වයක් ඇති කරගන්න අපි මොනවාද කරන්න ඕනේ?

5 මේ වෙද්දී මිනිසුන් මිලියන ගාණක් දෙවියන් එක්ක කිට්ටු මිත්‍රත්වයක් ඇති කරගෙන තියෙනවා. තමන් දෙවියන්ගේ කිට්ටු මිතුරන් කියලා අද ලෝකේ පුරාම ඉන්න පුරුෂයන්, ස්ත්‍රීන් සහ දරුවන් හුඟදෙනෙක් එයාලා ජීවත් වෙන විදිහෙන් පෙන්නනවා. ඒ ‘අවංක අයට යෙහෝවා දෙවියනුත් ළංව සිටිනවා.’ (හිතෝ. 3:32) යේසුස්ගේ ජීවිත පූජාව ගැන විශ්වාසය තියනවා නම් දෙවියන්ගේ කිට්ටු යාළුවන් වෙලා ඔහුට අපේ ජීවිත කැප කරලා බව්තීස්ම වෙන්න අපිට පුළුවන්. අපි ඒ වැදගත් පියවර ගද්දී ඒ පියවරම අරන් දෙවියන්ට ‘ළංව ඉන්න’ මිලියන ගාණට අපිත් එකතු වෙනවා.

6. දෙවියන් එක්ක අපිට තියෙන මිත්‍රත්වය අපි අගය කරනවා කියලා පෙන්නන්න පුළුවන් කොහොමද?

6 යෙහෝවා දෙවියන් එක්ක අපිට තියෙන මිත්‍රත්වය අපි අගය කරනවා කියලා පෙන්නන්න පුළුවන් කොහොමද? ආබ්‍රහම් සහ යෝබ් අවුරුදු 100කටත් වැඩි කාලයක් පුරා දෙවියන්ට විශ්වාසවන්තව හිටියා. අපිත් මේ දුෂ්ට සමාජයේ කොයි තරම් කාලයක් පුරා යෙහෝවා දෙවියන්ට සේවය කරලා තිබුණත් දිගටම ඔහුට විශ්වාසවන්තව ඉන්න ඕනේ. දානියෙල් එයාගේ ජීවිතේටත් වඩා දෙවියන් එක්ක එයාට තියෙන මිත්‍රත්වය වටින එකක් විදිහට සැලකුවා. අපිට හැඟෙන්න ඕනෙත් ඒ විදිහටමයි. (දානි. 6:7, 10, 16, 22) දෙවියන්ගේ උදව්වෙන් අපිට පුළුවන් ඕනෙම පීඩාවක් දරාගෙන ඔහුත් එක්ක තියෙන මිත්‍රත්වය දිගටම රැකගන්න.—ෆිලි. 4:13.

යාච්ඤාව කියන තෑග්ග

7. (අ) හිතෝපදේශ 15:8 කියන විදිහට අපි කරන යාච්ඤා ගැන යෙහෝවා දෙවියන්ට හැඟෙන්නේ කොහොමද? (ආ) අපේ යාච්ඤාවලට යෙහෝවා දෙවියන් උත්තර දෙන්නේ කොහොමද?

7 නොපෙනෙන තෑගි අතරින් තවත් එකක් තමයි යාච්ඤාව. සාමාන්‍යයෙන් කිට්ටු යාළුවෝ ආසයි එයාලා හිතන දේවල් ගැන, එයාලට හැඟෙන විදිහ ගැන එකිනෙකා එක්ක කතා කරන්න. යෙහෝවා දෙවියන් සහ අපි අතරේ තියෙන යාළුකමටත් ඒක අදාළයිද? ඔව්. දෙවියන් ඔහුගේ වචනය මාර්ගයෙන් ඔහු හිතන විදිහ, ඔහුට හැඟෙන විදිහ ගැන අපිට කියනවා. යාච්ඤාව මාර්ගයෙන් අපි කරන්නේ දෙවියන් එක්ක කතා කරන එකයි. අපිට හැඟෙන, දැනෙන හැම දෙයක් ගැනම අපිට පුළුවන් ඔහුට කියන්න. අපි කතා කරද්දී අපේ ආදරණීය යාළුවා වන යෙහෝවා දෙවියන් අපේ යාච්ඤාවලට ආසාවෙන් ඇහුම්කන් දෙනවා විතරක් නෙමෙයි ඒවාට උත්තරත් දෙනවා. (හිතෝපදේශ 15:8 කියවන්න.) සමහර වෙලාවට ඔහු අපිට ඉක්මනින්ම උත්තර දෙනවා. සමහර කාරණා ගැන අපිට දිගටම යාච්ඤා කරන්න වෙයි. ඒත් අපිට විශ්වාසයි හරිම වෙලාවට, හොඳම විදිහට දෙවියන් අපේ යාච්ඤාවලට උත්තර දෙනවා කියලා. සමහරවිට දෙවියන් දෙන උත්තරේ අපි බලාපොරොත්තු වුණ එකට වඩා වෙනස් එකක් වෙන්න පුළුවන්. උදාහරණෙකට අපි මුහුණ දෙමින් ඉන්න පීඩාවක් අයින් කරනවා වෙනුවට ‘ඒකට හොඳින් මුහුණ දෙන්න’ අවශ්‍ය කරන ප්‍රඥාව සහ ශක්තිය යෙහෝවා දෙවියන් දෙයි.—1 කොරි. 10:13.

(8 ඡේදය බලන්න) *

8. යාච්ඤාව කියන තෑග්ග අපි අගය කරනවා කියලා පෙන්නන්න පුළුවන් කොහොමද?

8 මිල කරන්න බැරි තරම් වටිනා තෑග්ගක් වන යාච්ඤාව අපි අගය කරනවා කියලා පෙන්නන්න පුළුවන් කොහොමද? ඒක අපිට කරන්න පුළුවන් එක විදිහක් තමයි “නොකඩවා යාච්ඤා කරන්න” කියලා යෙහෝවා දෙවියන් අපිට කියලා තියෙන දේට කීකරු වෙන එක. (1 තෙස. 5:17) ඔහුට යාච්ඤා කරන්න කියලා දෙවියන් අපිට බල කරන්නේ නැහැ. මොකද තීරණ ගන්න අපිට තියෙන නිදහසට ඔහු ගරු කරනවා. ඒත් ඔහු අපෙන් ආදරෙන් ඉල්ලන්නේ “නොකඩවාම යාච්ඤා කරන්න” කියලයි. (රෝම 12:12) හැම දවසකම, නිතරම වගේ දෙවියන් එක්ක කතා කරලා ඒ තෑග්ග අපි අගය කරනවා කියලා පෙන්නමු. යාච්ඤා කරද්දී දෙවියන්ට ස්තුති කරන්නත් ඔහුට ප්‍රශංසා කරන්නත් අපි අමතක කරන්න හොඳ නැහැ.—ගීතා. 145:2, 3.

9. එක සහෝදරයෙක්ට යාච්ඤාව ගැන හැඟුණේ කොහොමද? යාච්ඤාව ගැන ඔයාට හැඟෙන්නේ කොහොමද?

9 යෙහෝවා දෙවියන් අපේ යාච්ඤාවලට උත්තර දෙන විදිහ අපි අද්දකින තරමට යාච්ඤාව ගැන අපිට තියෙන අගයත් වැඩි වෙනවා. අවුරුදු 47ක් පුරා පූර්ණකාලීනව දෙවියන්ට සේවය කරන සහෝදර ක්‍රිස්ගේ අද්දැකීම බලන්න. එයා මෙහෙම කියනවා. “උදේ පාන්දරින්ම නැඟිටලා යෙහෝවා දෙවියන් එක්ක කතා කරන්න මං හරි ආසයි. හිරු කිරණ පිනි බිඳු මත වැටිලා ඒවා දිදුලන වෙලාවේ දෙවියන් එක්ක කතා කරද්දී දැනෙන්නේ ලොකු ප්‍රබෝධයක්. යාව්ඤාව ඇතුළුව ඔහු දීපු හැම තෑග්ගක් ගැනම ඔහුට ස්තුති කරන්න මං පෙලඹෙන්නේ නිතැතින්මයි. දවස අවසානයේදී දෙවියන් එක්ක කතා කළාම පිරිසිදු හිතකින් නින්දට යන්න පුළුවන්.”

තෑග්ගක් වන දෙවියන්ගේ බලය

10. දෙවියන්ගේ බලය වටිනා තෑග්ගක් විදිහට අපි සලකන්න ඕනෙ ඇයි?

10 නොපෙනෙන තෑගි අතරින් තවත් එකක් තමයි දෙවියන්ගේ බලය. දිගටම දෙවියන්ගේ බලය ඉල්ලලා යාච්ඤා කරන්න කියලා යේසුස් අපිට කිව්වා. (ලූක් 11:9, 13) දෙවියන්ට පුළුවන් “සාමාන්‍යය ඉක්මවූ බලය” දීලා අපිව ශක්තිමත් කරන්න. (2 කොරි. 4:7; ක්‍රියා 1:8) අපි මුහුණ දෙන ඕනෙම පීඩාවක් විඳදරාගන්නත් දෙවියන්ගේ බලයේ උදව්වෙන් අපිට පුළුවන්.

(11 ඡේදය බලන්න) *

11. දෙවියන්ගේ බලය අපිට උදව් කරන්නේ කොහොමද?

11 අපිට ලැබෙන පැවරුම්, වගකීම් හොඳින් කරන්න දෙවියන්ගේ බලය අපිට උදව් කරනවා. අපිට දැනටමත් තියෙන හැකියාවන් තව දියුණු කරගන්න අපිට උදව් කරන්න දෙවියන්ගේ බලයට පුළුවන්. සේවයේ අපි හොඳ ප්‍රතිඵල ලබද්දී අපි දන්නවා එහෙම වුණේ අපේ දක්ෂතාවයක් නිසා නෙමෙයි යෙහෝවා දෙවියන්ගේ බලයේ උදව් අපිට ලැබුණ නිසයි කියලා.

12. ගීතාවලිය 139:23, 24 අනුව යෙහෝවා දෙවියන්ගේ බලය අපි අගය කරනවා නම් අපි මොනවාද කරන්නේ?

12 දෙවියන්ගේ බලය අපි අගය කරනවා කියලා පෙන්නන්න පුළුවන් විදිහක් තමයි අපේ හිතේ තියෙන වැරදි සිතුවිලි, ආශාවන් හඳුනගන්න අපිට උදව් කරන්න කියලා දෙවියන්ගෙන් ඉල්ලන එක. (ගීතාවලිය 139:23, 24 කියවන්න.) එතකොට එහෙම දෙයක් තියෙනවා නම් ඒක හඳුනගන්න යෙහෝවා දෙවියන් ඔහුගේ බලය මාර්ගයෙන් අපිට උදව් කරනවා. වැරදි සිතුවිල්ලක්, වැරදි ආශාවක් අපි තුළ තියෙනවා කියලා අපිට තේරුණොත් ඒකට විරුද්ධව සටන් කරන්න දෙවියන්ගේ බලය දෙන්න කියලා අපි ඔහුගෙන් ඉල්ලන්න ඕනේ. අපි ඒ විදිහට යාච්ඤා කරද්දී ඒකෙන් පේනවා යෙහෝවා දෙවියන් අපිට බලය දෙන එක නතර වෙන විදිහේ කිසිම දෙයක් කරන්න අපි කැමති නැහැ කියලා.—එෆී. 4:30.

13. දෙවියන්ගේ බලය ගැන අපේ හිතේ තියෙන අගය තවත් වැඩි කරගන්න පුළුවන් කොහොමද?

13 දෙවියන්ගේ බලයේ උදව්වෙන් අපේ කාලේ ඉටු වෙලා තියෙන දේවල් ගැන හොඳට හිතද්දී ඔහුගේ බලය ගැන අපිට තියෙන අගය තව වැඩි කරගන්න පුළුවන්. යේසුස් ස්වර්ගයට යන්න කලින් ඔහුගේ අනුගාමිකයන්ට මෙහෙම කිව්වා. ‘ඔබට දෙවිගේ බලය ලැබුණු විට ඔබ ශක්තිමත් වෙයි. ප්‍රතිඵලයක් ලෙස ඔබ පොළොවේ දුර ඈත කෙළවරවලද මා ගැන සාක්ෂි දරයි.’ (ක්‍රියා 1:8) අද සිද්ධ වෙන්නේ ඒ දේමයි. යෙහෝවා දෙවියන්ගේ බලයේ උදව්වෙන් ලෝකේ අස්සක් මුල්ලක් නෑර හැම තැනින්ම ලක්ෂ 85ක විතර සෙනඟක් ඔහුට නමස්කාර කරන්න එකතු වෙලා ඉන්නවා. “ප්‍රීතිය, සමාදානය, බොහෝ ඉවසිලිවන්තකම, කරුණාවන්තකම, යහපත්කම, විශ්වාසය, මෘදුකම, තමාව පාලනය කරගැනීම” වගේ ගුණාංග වර්ධනය කරගන්න දෙවියන්ගේ බලය අපිට උදව් කරන නිසා සහෝදරයන් අතර ඉද්දී අපිට දැනෙන්නේ අපි දැනටමත් පාරාදීසයේ ඉන්නවා වගේ. (ගලා. 5:22, 23) දෙවියන්ගේ බලය මොන තරම් වටින තෑග්ගක්ද!

සේවයේදී අපිට ලැබෙන සහය

14. සේවයේ හවුල් වෙද්දී අපිට නොපෙනුණත් කාගේ සහයෝගයද අපිට ලැබෙන්නේ?

14 යෙහෝවා දෙවියන් සහ ඔහුගේ සංවිධානයේ ස්වර්ගයේ තියෙන කොටසත් එක්ක “එකට වැඩ කරන්න” ලැබිලා තියෙන එක අපිට ලැබිලා තියෙන වටිනා තෑග්ගක්. (2 කොරි. 6:1) දේවසේවයේ අපි හවුල් වෙන හැම අවස්ථාවකදීම අපි එයාලත් එක්ක එකට වැඩ කරනවා. පාවුල් එයා ගැනත් එයාත් එක්ක එකට සේවයේ හවුල් වුණ අය ගැනත් කිව්වේ “අපි දෙවිගේ හවුල් වැඩකරුවන්” කියලා. (1 කොරි. 3:9) අපි දේශනා සේවයේ හවුල් වෙද්දී අපිට යේසුස් එක්කත් එකට වැඩ කරන්න අවස්ථාව ලැබෙනවා. “සෑම ජාතියකටම අයත් මිනිසුන්ට මගේ ගෝලයන් වෙන්න උපකාර කරන්න” කියන ආඥාව දුන්නාට පස්සේ යේසුස් කිව්වා ‘මම ඔබ සමඟ සැමදා සිටිනවා’ කියලා. (මතෙ. 28:19, 20) අපි දේවදූතයන් එක්ක එකට වැඩ කරන්නේ කොහොමද? ‘පොළොවේ වාසය කරන අයට සදාකාල ශුභාරංචිය’ ගැන අපි කියද්දී ඒකට දේවදූතයන්ගේ මඟ පෙන්වීම් ලැබෙනවා.—එළි. 14:6.

15. දේවසේවයේදී යෙහෝවා දෙවියන් වැදගත් කාර්යයක් කරනවා කියලා පැහැදිලි වෙන බයිබලේ සඳහන් සිද්ධියක් කියන්න.

15 දේශනා සේවයේදී දෙවියන්ගේ සංවිධානයේ ස්වර්ගයේ තියෙන කොටසෙන් ලැබෙන සහය අපිට උදව් වෙන්නේ කොහොමද? අපි බීජ වපුරද්දී ඒවායින් සමහරක් සරු පසේ වැටිලා ඒවා වැඩෙනවා. (මතෙ. 13:18, 23) කෙනෙක්ගේ හදවතේ සත්‍යය බීජ පැළ වෙලා ඒවා පල දරන්න සලස්වන්නේ කවුද? යේසුස් කිව්වේ කෙනෙක්ට ඔහුගේ අනුගාමිකයෙක් වෙන්න පුළුවන් වෙන්නේ ‘පියාණන් ඒ කෙනා තුළ ඒ සඳහා ආශාවක් ඇති කළොත් පමණයි’ කියලා. (යොහ. 6:44) බයිබලේ තියෙන මේ උදාහරණෙන් ඒක පැහැදිලි වෙනවා. දවසක් පාවුල් ෆිලිප්පි නගරයෙන් පිටත හිටපු ස්ත්‍රීන් කණ්ඩායමකට දේශනා කළා. ඒ අය අතරේ ලිදියා කියන ස්ත්‍රියත් හිටියා. එයා ගැන බයිබලයේ මෙහෙම කියනවා. “පාවුල් පවසමින් සිටි දේ පිළිගැනීමට යෙහෝවා දෙවි ඇගේ හදවත තුළ මහත් පෙලඹීමක් ඇති කළා.” (ක්‍රියා 16:13-15) යෙහෝවා දෙවියන් ලිදියාගේ හිතේ මහත් පෙලඹීමක් ඇති කළා වගේ ශුභාරංචිය පිළිගන්න තවත් මිලියන ගාණකගේ හිත්වල පෙලඹීමක් ඇති කරලා තියෙනවා.

16. දේවසේවයේදී අපි ලබන හොඳ ප්‍රතිඵලවලට ප්‍රශංසාව ලැබෙන්න ඕනෙ කාටද?

16 දේවසේවයේදී අපි ලබන හොඳ ප්‍රතිඵලවලට ප්‍රශංසාව ලැබෙන්න ඕනෙ කාටද? පාවුල් කොරින්ති සභාවට ලියපු මේ දෙයින් ඒකට උත්තරේ හොයාගන්න පුළුවන්. “බීජ පැළ කළේ මමය. ඊට වතුර වත් කළේ අපොලොස්ය. නමුත් එය වර්ධනය වුණේ දෙවි නිසාය. එහෙයින් ගෞරවය හිමි විය යුත්තේ බීජ පැළ කළ තැනැත්තාටවත් ඊට වතුර වත් කළ තැනැත්තාටවත් නොව වර්ධනය දුන් තැනැත්තා වන දෙවිටය.” (1 කොරි. 3:6, 7) පාවුල් වගේ අපිත් සේවයේදී අපිට ලැබෙන හොඳ ප්‍රතිඵලවලට ගෞරවය දෙන්න ඕනෙ යෙහෝවා දෙවියන්ට.

17. දෙවියන් එක්ක, යේසුස් එක්ක සහ දේවදූතයන් එක්ක අපිට “එකට වැඩ කරන්න” ලැබිලා තියෙන අවස්ථාව අපි අගය කරනවා කියලා පෙන්නන්නේ කොහොමද?

17 යෙහෝවා දෙවියන් එක්ක, යේසුස් එක්ක සහ දේවදූතයන් එක්ක අපිට “එකට වැඩ කරන්න” ලැබිලා තියෙන වටිනා අවස්ථාව අපි අගය කරනවා කියලා පෙන්නන්න පුළුවන් කොහොමද? ලැබෙන හැම අවස්ථාවක්ම ප්‍රයෝජනයට අරන් උද්‍යෝගයෙන් ශුභාරංචිය ගැන අනිත් අයට කියනවා නම් ඒ වටිනා අවස්ථාව අගය කරනවා කියලා පෙන්නන්න පුළුවන්. ඒක කරන්න පුළුවන් විදි කීපයක්ම තියෙනවා. උදාහරණෙකට “ප්‍රසිද්ධියේ සහ ගෙයින් ගෙට ගිහින්” අපිට ඒක කරන්න පුළුවන්. (ක්‍රියා 20:20) තව හුඟදෙනෙක් අවිධිමත්ව සාක්ෂි දරනවා. එයාලා සාකච්ඡාවක් පටන්ගන්න අරමුණෙන් මඟ තොටේදී හම්බ වෙන අය එක්ක මිත්‍රශීලී වෙලා එයාලා එක්ක කතා කරනවා. එයාලා උනන්දුවක් දක්වනවා නම් දේවරාජ්‍යයේ පණිවිඩය එයාලා එක්ක බෙදාගන්නවා.

(18 ඡේදය බලන්න) *

18-19. (අ) සත්‍යයේ බීජවලට වතුර දාන්න අපිට පුළුවන් කොහොමද? (ආ) බයිබලේ පාඩම් කරපු කෙනෙක්ට යෙහෝවා දෙවියන් උදව් කළේ කොහොමද?

18 ‘දෙවියන්ගේ හවුල් වැඩකරුවන් විදිහට’ අපි සත්‍යයේ බීජ වපුරනවා විතරක් නෙමෙයි ඒවාට වතුර දාන්නත් ඕනේ. උනන්දුව දක්වන කෙනෙක්ව හම්බ වුණොත් එයාත් එක්ක බයිබල් පාඩමක් පටන්ගන්න අරමුණෙන් අපි ආයෙත් එයාව හම්බ වෙන්න කොහොමහරි යන්න ඕනේ. මොකක් හරි හේතුවක් නිසා අපිට යන්න බැරි නම් එයාව හම්බ වෙන්න අපි වෙන කෙනෙක්ව යවන්න ඕනේ. බයිබලේ පාඩම් කරන අයට එයාලගේ සිතුවිලි සකස් කරගන්න යෙහෝවා දෙවියන් උදව් කරන විදිහ දකිද්දී අපිට දැනෙන්නේ ලොකු සතුටක්.

19 දකුණු අප්‍රිකාවේ කට්ටඩියෙක් විදිහට වැඩ කරපු රෆලාලානිගේ අද්දැකීම බලන්න. බයිබලෙන් ඉගෙනගත්ත දේවලට එයා ගොඩක් ආස වුණා. ඒත් මිය ගිය මුතුන්මිත්තන් එක්ක කතා කරන එක ගැන බයිබලේ සඳහන් දේ පිළිගන්න නම් එයාට ටිකක් අමාරු වුණා. (ද්වි. 18:10-12) එයා හිතන විදිහ ටිකෙන් ටික සකස් කරන්න එයා යෙහෝවා දෙවියන්ට ඉඩ දුන්නා. කට්ටඩියෙක් විදිහට වැඩ කරන එක තමයි එයාගේ ජීවන උපාය වෙලා තිබුණේ. ඒත් කාලයත් එක්කම එයා ඒක නතර කළා. රෆලාලානිට දැන් වයස අවුරුදු 60යි. එයා මෙහෙම කියනවා. “යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් මට හුඟක් විදිවලින් උදව් කළා. ඒ හැම දේටම මං එයාලට ගොඩක් ස්තුතිවන්ත වෙනවා. මගේ ජීවිතේ වෙනස් කරගන්න මට උදව් කරපු යෙහෝවා දෙවියන්ට මං ඊටත් වඩා ස්තුතිවන්ත වෙනවා. දෙවියන් මට ඒ විදිහට උදව් කරපු නිසා ඔහුගේ සාක්ෂිකරුවෙක් විදිහට දේවසේවයේ හවුල් වෙන්න දැන් මට පුළුවන් වෙලා තියෙනවා.”

20. ඔයාගේ අධිෂ්ඨානය මොකක්ද?

20 අපිට ලැබිලා තියෙන වටිනා තෑගි 4ක් ගැන අපි මේ ලිපියේ බැලුවා. ඒවා අතරින් වටිනාම එක යෙහෝවා දෙවියන්ව අපේ කිට්ටු යාළුවෙක් කරගන්න අපිට ලැබුණ අවස්ථාවයි. දෙවියන්ගේ කිට්ටු යාළුවෙක් වෙද්දී අපිට පුළුවන් වෙනවා යාච්ඤාවෙන් ඔහුත් එක්ක කතා කරන්න. ඔහුගේ බලය මාර්ගයෙන් ලැබෙන උදව් අද්දකින්න. ඒ වගේම දේවසේවයේදී දෙවියන්ගේ සංවිධානයේ ස්වර්ගයේ තියෙන කොටසෙන් ලැබෙන උදව් අද්දකින්නත් අපිට පුළුවන් වෙනවා. ඒවා තමයි අපි මේ ලිපියේ කතා කරපු අනිත් නොපෙනෙන තෑගි තුන. ඒ නොපෙනෙන තෑගි හතර ගැන අපේ හිතේ තියෙන අගය තවත් වැඩි කරගන්න අපි අධිෂ්ඨාන කරගමු. ඒ වගේම අපේ හොඳම යාළුවා වුණ එක ගැන අපි යෙහෝවා දෙවියන්ට හැමදාම ස්තුති කරමු.

ගීතිකාව 145 පාරාදීසය දෙවිගේ පොරොන්දුවකි

^ 5 ඡේ. යෙහෝවා දෙවියන්ගෙන් ලැබිලා තියෙන තෑගි කීපයක් ගැන අපි කලින් ලිපියේ බැලුවා. මේ ලිපියෙන් අපි බලන්නේ යෙහෝවා දෙවියන් දීලා තියෙන, අපේ ඇස් දෙකට නොපෙනෙන තෑගි කීපයක් ගැන. ඒ තෑගි ගැන අපේ හිතේ තියෙන අගය පෙන්නන්නේ කොහොමද කියලත් අපි බලනවා. ඒ තෑගි ගැන කතා කරද්දී ඒවා අපිට දුන්න යෙහෝවා දෙවියන් ගැන අපේ හිතේ තියෙන අගය තවත් වැඩි වෙයි.

^ 58 ඡේ. පින්තූරයේ අදහස: (1) සහෝදරියක් යෙහෝවා දෙවියන්ගේ නිර්මාණ දිහා බලලා සතුටු වෙන ගමන් එයාට යෙහෝවා දෙවියන් එක්ක තියෙන යාළුකම ගැන හිතනවා.

^ 60 ඡේ. පින්තූරයේ අදහස: (2) ඒ සහෝදරියම සාක්ෂි දරන්න යෙහෝවා දෙවියන්ගෙන් උදව් ඉල්ලනවා.

^ 62 ඡේ. පින්තූරයේ අදහස: (3) දෙවියන්ගේ බලයේ උදව්වෙන් ඒ සහෝදරිය බය නැතුව අවිධිමත්ව සාක්ෂි දරනවා.

^ 64 ඡේ. පින්තූරයේ අදහස: (4) සහෝදරිය ඒ කෙනා එක්ක බයිබල් පාඩමක් කරනවා. දේශනා කිරීමේ සහ උගන්වන කාර්යයේ හවුල් වෙලා සහෝදරිය දේවදූතයන් එක්ක එකට වැඩ කරනවා.