Skip to content

පටුනට යන්න

මෘදුකම - අපිට ප්‍රයෝජනවත් වෙන්නේ ඇයි?

මෘදුකම - අපිට ප්‍රයෝජනවත් වෙන්නේ ඇයි?

“මං ලැජ්ජාශීලී කෙනෙක්. ඒ නිසා තමන් ගැන ලොකු විශ්වාසයක් තියෙන, තමන්ගෙම මතේ එල්ලිලා ඉන්න අය එක්ක ඉද්දී මට අපහසුවක් දැනෙනවා. ඒත් නිහතමානී, මුදු මොළොක් අය එක්ක ඉද්දී බය නැතුව මගේ හිතේ තියෙන දේවල්, මගේ ප්‍රශ්න ගැන කියන්න මට පුළුවන්. ඒ වගේ අය තමයි මගේ හොඳම යාළුවෝ.” එහෙම කිව්වේ සාරා. *

අපි මෘදු අය නම් අනිත් අය අපිට ළං වෙන්න කැමතියි කියලා සාරා කියපු දෙයින් තේරෙනවා. මුදු මොළොක් අයට යෙහෝවා දෙවියනුත් කැමතියි. ඒකයි ‘මෘදුකමින් කටයුතු කරන්න’ කියලා බයිබලේ අපිට උනන්දු කරන්නේ. (කොලො. 3:12) මෘදු කෙනෙක් මොන වගේද? යේසුස් මෘදු කෙනෙක් කියලා පැහැදිලි වුණේ කොහොමද? ඒ ගුණාංගය වර්ධනය කරගද්දී අපේ සතුට තවත් වැඩි වෙන්නේ කොහොමද?

මෘදු කෙනෙක් මොන වගේද?

මෘදු කෙනෙක් ඇතුළාන්තයෙන්ම සාමකාමීයි. එයා අනිත් අය එක්ක ආදරෙන්, කාරුණිකව වැඩ කරනවා. කේන්ති යන දේවල් වුණත් එයා සන්සුන්ව ඒවාට මුහුණ දෙනවා.

මෘදු කෙනෙක්ට තමාවම පාලනය කරගන්න හැකියාව තියෙනවා. මෙල්ල කරපු අශ්වයෙක්ව විස්තර කරන්න පාවිච්චි කරලා තියෙන වචනය තමයි ග්‍රීක භාෂාවෙන් “මෘදුකම” කියන්න පාවිච්චි කරලා තියෙන්නේ. අශ්වයෙක්ව මෙල්ල කළා කියලා උගේ ශක්තිය නැති වෙන්නේ නැහැ. ඒකෙන් කරන්නේ උගේ ශක්තිය පාලනය කරගන්න ඌව පුහුණු කරන එකයි. අපිත් මෘදු විදිහට වැඩ කරද්දී අපි කරන්නේ පාපය නිසා අපි තුළ ඇති වෙන නරක ගති පාලනය කරගෙන අනිත් අය එක්ක සාමයෙන් වැඩ කරන එකයි.

‘මං නම් මෘදු කෙනෙක් නෙමෙයි’ කියලා අපිට හිතෙයි. මේ සමාජයේ ඉන්න වැඩිදෙනෙක් කිසිම ඉවසීමක් නැති, රණ්ඩුවට බර අයයි. ඒ නිසා මෘදු විදිහට වැඩ කරන එක අපිට අභියෝගයක්. (රෝම 7:19) ඒ ගුණාංගය වර්ධනය කරගන්න නම් අපේ පැත්තෙන් ලොකු වෑයමක් දරන්න ඕනේ. අපි දරන වෑයම අත්හරින්නේ නැතුව ඉන්න අපිට උදව් කරන්න දෙවියන්ගේ බලයට පුළුවන්. (ගලා. 5:22, 23) ඇයි අපි මෘදුකම වර්ධනය කරගන්න ඕනේ?

මෘදු කෙනෙක්ට ළං වෙන්න අනිත් අය කැමතියි. අපිත් කැමති මුදු මොළොක් අයව ආශ්‍රය කරන්න. මෘදුකම සහ කරුණාවන්තකම සම්බන්ධයෙන් යේසුස් හොඳ ආදර්ශයක් තිබ්බා. (2 කොරි. 10:1) යේසුස්ව වැඩිය අඳුරන්නේ නැති දරුවන් පවා බය නැතුව යේසුස් ළඟට ආවේ ඔහු මෘදු කෙනෙක් වුණ නිසයි.—මාක් 10:13-16.

මෘදු විදිහට වැඩ කරද්දී අපිට වගේම අනිත් අයටත් වෙන්නේ යහපතක්. මෘදු කෙනෙක් ඉක්මනින් කේන්ති ගන්නේ නැහැ. (හිතෝ. 16:32) එයා තව කෙනෙක්ව රිද්දවන්න තියෙන ඉඩකඩ අඩුයි. ඒක එයාට වගේම අනිත් අයටත් ප්‍රයෝජනවත්. මොකද ‘මං නිසා තව කෙනෙක්ගේ හිත පෑරුණා’ කියලා හිතලා එයාට පසුතැවෙන්න වෙන්නේ නැහැ. මෘදු කෙනෙක් එයාගේ හැඟීම්, එයා හැසිරෙන විදිහ පාලනය කරගන්න නිසා අනිත් අය වේදනාවට පත් වෙන්නෙත් නැහැ.

මෘදුකම සම්බන්ධයෙන් වටිනා ආදර්ශයක්

යේසුස්ට බැරෑරුම් වගකීම් තිබුණත් ඔහු කොච්චර කාර්යබහුල වුණත් හැම කෙනෙක්ටම ඔහු සැලකුවේ මෘදු විදිහට. ඒ කාලේ හුඟදෙනෙක් හිටියේ පීඩාවට පත් වෙලයි. ‘මා වෙතට එන්න. මා මෘදු ගුණැති නිහතමානී කෙනෙක්’ කියලා යේසුස් කියද්දී එයාලට කොච්චර සහනයක් දැනෙන්න ඇද්ද!—මතෙ. 11:28, 29.

යේසුස් වගේ මෘදු කෙනෙක් වෙන්න අපිට පුළුවන් කොහොමද? දේවවචනය අධ්‍යයනය කරද්දී යේසුස් අනිත් අයට සලකපු විදිහ ගැන, අමාරු අවස්ථාවලදී ඔහු වැඩ කරපු විදිහ ගැන අපිට ඉගෙනගන්න පුළුවන්. මෘදු විදිහට වැඩ කරන එක අපිට අභියෝගයක් වෙද්දී යේසුස් වැඩ කරපු විදිහ ගැන හිතලා ඒ විදිහට වැඩ කරන්න ඒක අපිට උදව් වෙනවා. (1 පේතෘ. 2:21) මෘදු කෙනෙක් වෙන්න යේසුස්ට උදව් වුණ දේවල් තුනක් බලමු.

යේසුස් නිහතමානියි. තමන් “මෘදු ගුණැති නිහතමානී කෙනෙක්” කියලා ඔහු කිව්වා. (මතෙ. 11:29) බයිබලේ මෘදුකම සහ නිහතමානිකම එකට සඳහන් කරලා තියෙන්නේ ඒ ගුණාංග දෙක එකකට එකක් සම්බන්ධ නිසයි. (එෆී. 4:1-3) එහෙම කියන්නේ ඇයි?

නිහතමානී කෙනෙක් තමන් ගැන ඕනෑවට වඩා හිතන්නේ නැහැ. ‘කෑදර, වයින් බීමට ලොල් වූ කෙනෙක්’ කියලා මිනිසුන් යේසුස්ට චෝදනා කරද්දී ඔහු වැඩ කරපු විදිහ මතකද? යේසුස් කලබල වුණේ නැහැ. ඔහු කිව්වේ “ප්‍රඥාවන්තයෙක් ධර්මිෂ්ඨයි කියා ඔප්පු වන්නේ ඔහු කරන ක්‍රියාවලින්” කියලා. ඔහු ජීවත් වුණ විදිහෙන් ඒ චෝදනා බොරු කියලා ඔහු ඔප්පු කළා.—මතෙ. 11:19.

කෙනෙක් ඔයාගේ ජාතිය, පසුබිම පහත් කරලා කතා කළොත් එහෙම නැත්නම් ඔයා කාන්තාවක් නිසා ඔයාව පහත් කරලා දෙයක් කිව්වොත් ඒ වගේ වෙලාවට මෘදු විදිහට වැඩ කරන්න ඔයාට පුළුවන්ද? දකුණු අප්‍රිකාවේ ඉන්න පීටර් කියන වැඩිමහල්ලා මෙහෙම කියනවා. “කෙනෙක් කියන දෙයක් නිසා මට කේන්ති යද්දී මං මගෙන්ම මෙහෙම අහගන්නවා. ‘මේ වෙලාවේ යේසුස් හිටියා නම් එයා මොනවා කරයිද?’ මං ගැන ඕනෑවට වඩා හිතන්නේ නැතුව ඉන්න ඒක මට උදව් වෙනවා.”

මිනිසුන් අතින් වැරදි, අඩුපාඩුකම් වෙනවා කියලා යේසුස් දැනන් හිටියා. යේසුස්ගේ නියෝජිතයන්ට හරි දේ කරන්න කැමැත්තක් තිබුණත් පාපය උරුම වෙලා තිබුණ නිසා හැම වෙලාවේම හරි දේ කරන්න එයාලට බැරි වුණා. උදාහරණෙකට මිය යන්න කලින් රාත්‍රියේ යේසුස් පේතෘස්ටයි, යාකොබ්ටයි, යොහන්ටයි කිව්වා ඔහුත් එක්ක අවදි වෙලා ඉන්න කියලා. ඒත් එයාලට ඒක කරන්න බැරි වුණා. එයාලව තේරුම්ගත්ත යේසුස් මෙහෙම කිව්වා. “සිත කොතරම් කැමති වුණත් මිනිසුන්ගේ දුර්වලකම එයට ඉඩ දෙන්නේ නැහැ.” (මතෙ. 26:40, 41) නියෝජිතයන් එක්ක කේන්ති ගන්නේ නැතුව වැඩ කරන්න යේසුස්ට පුළුවන් වුණේ ඒ නිසයි.

ඉස්සර සහෝදරි මැන්ඩි අනිත් අය දේවල් තිතටම කරයි කියලා බලාපොරොත්තු වුණ කෙනෙක්. ඒත් දැන් එයා යේසුස් වගේ අනිත් අය එක්ක මෘදු විදිහට වැඩ කරන්න උත්සාහ කරනවා. එයා මෙහෙම කියනවා “අනිත් අය අතින් අඩුපාඩුකම් වෙනවා කියලා මං මතක තියාගන්නවා. යෙහෝවා දෙවියන් වගේ මමත් උත්සාහ කරනවා එයාලගේ හොඳ ගුණාංග දිහා බලන්න.” අනිත් අයට හරි දේ කරන්න බැරි අවස්ථා තියෙයි කියලා යේසුස් වගේ ඔයාත් තේරුම්ගන්නවා නම් අනිත් අයට මෘදු විදිහට සලකන්න ඔයාටත් පුළුවන්.

යේසුස් දෙවියන් ගැන විශ්වාසය තියලා වැඩ කළා. යේසුස් ඔහුට වුණ අසාධාරණකම් දරාගත්තා. මිනිසුන් ඔහුව වැරදියට තේරුම්ගත්තා. ඔහුට නින්දා කළා. වධ හිංසා කළා. ඒත් කේන්ති ගන්නේ නැතුව දිගටම මෘදු විදිහට වැඩ කරන්න යේසුස්ට පුළුවන් වුණේ “ධර්මිෂ්ඨකමින් විනිශ්චය කරන තැනැත්තාණන්ට ඔහු තම ජීවිතය භාර දුන්න” නිසයි. (1 පේතෘ. 2:23) ඒ හැම අසාධාරණයක්ම විඳදරාගන්න දෙවියන් ඔහුට උදව් කරනවා කියලත් ඔහුට නපුරු විදිහට සලකන අයට ඉදිරියේදී දෙවියන් දඬුවම් කරනවා කියලත් යේසුස් දැනන් හිටියා.

අපිට වෙන අසාධාරණයක් නිසා අපි කේන්ති අරන් වැඩ කළොත් ඒකෙන් ප්‍රශ්නේ තවත් දුරදිග යන්න පුළුවන්. “කෝප වීමෙන් මිනිසෙකුට දෙවිගේ ධර්මිෂ්ඨ ප්‍රමිතිවලට අනුව කටයුතු කළ නොහැක” කියලා බයිබලේ කියනවා. (යාකො. 1:20) කේන්ති ගන්න සාධාරණ හේතුවක් අපිට තිබුණත් අපි පව්කාරයන් නිසා කේන්තියෙන් දෙයක් කළොත් අපි අතින් වරදක් වෙන්න පුළුවන්.

ජර්මනියේ ඉන්න සහෝදරි කැතී ඉස්සර හිතුවේ ‘මට වෙන අසාධාරණකම් වෙනුවෙන් මං සටන් කළේ නැත්නම් වෙන කවුරුත් ඒක කරන්නේ නැහැ’ කියලා. ඒත් යෙහෝවා දෙවියන් ගැන විශ්වාසය තියලා වැඩ කරන්න ඉගෙනගද්දී එයා හිතපු විදිහ වෙනස් වුණා. “දැන් අසාධාරණයක් වෙන හැම වෙලාවෙම ඒ වෙනුවෙන් මං සටන් කරන්න ඕනෙ කියලා මං හිතන්නේ නැහැ. මේ ලෝකේ වෙන හැම අසාධාරණයක්ම යෙහෝවා දෙවියන් හරිගස්සනවා. ඒ විශ්වාසය නිසා මෘදු විදිහට වැඩ කරන්න මට පුළුවන් වෙලා තියෙනවා” කියලා එයා කියනවා. ඔයාටත් අසාධාරණයක් වෙලා තියෙනවා නම් යේසුස් වගේ දෙවියන් ගැන විශ්වාසය තියලා වැඩ කරන්න. ඒක ඔයාට උදව් වෙයි දිගටම මෘදු විදිහට වැඩ කරන්න.

“මෘදු ගුණැති අය සන්තෝෂවත්”

අමාරු අවස්ථාවලදී මෘදුකම අපිට උදව් වෙන්නේ කොහොමද?

යේසුස් කිව්වා “මෘදු ගුණැති අය සන්තෝෂවත්” කියලා. (මතෙ. 5:5) අපි මෘදුකම වර්ධනය කරගත්තොත් අපිට සතුට අද්දකින්න පුළුවන්. මෘදු විදිහට වැඩ කරන එක අපිට උදව් වෙන්නේ කොහොමද කියලා දැන් බලමු.

යුවළක් අතරේ ප්‍රශ්න ඇති වෙද්දී ඒක දුරදිග යන්නේ නැතුව විසඳගන්න මෘදුකම උදව් වෙනවා. “මගේ නෝනාගේ හිත රිදෙන විදිහට මං ගොඩක් අවස්ථාවලදී කතා කරලා තියෙනවා. එයාව රිද්දන්න හිතාගෙන නෙමෙයි මං ඒවා කිව්වේ. ඒත් කේන්තියෙන් වචන පිට කළාට පස්සේ ඒවා ආයෙත් ගන්න බැහැ. මං කියපු දේවල් නිසා එයා කොච්චර වේදනාවෙන් ඉන්නවාද කියලා දැක්කාම මට ලොකු දුකක් දැනුණා.” එහෙම කිව්වේ ඕස්ට්‍රේලියාවේ ඉන්න සහෝදර රොබට්.

“අප සියලුදෙනා අතින් නොයෙක් අවස්ථාවලදී වැරදි සිදු වෙයි” කියලා බයිබලේ කියනවා. (යාකො. 3:2) ඒකට අපි හිතන්නේ බලන්නේ නැතුව කියන වචනත් ඇතුළත්. ඒ වගේ වචන නිසා යුවළක් අතරේ තියෙන සමඟිය නැති වෙන්න පුළුවන්. ඒත් මෘදු විදිහට වැඩ කරන යුවළක් ප්‍රශ්න ඇති වුණාම කේන්ති ගන්නේ නැතුව සන්සුන්ව වැඩ කරනවා. දෙයක් කියන්න කලින් හොඳින් හිතනවා.—හිතෝ. 17:27.

ප්‍රශ්නයක් ඇති වෙද්දී සන්සුන්ව වැඩ කරන්න රොබට් ලොකු උත්සාහයක් ගත්තා. මොකක්ද ප්‍රතිඵලය? “අපි දෙන්නා අතරේ එකඟ නොවීම් ඇති වෙද්දී මගේ බිරිඳට හොඳින් ඇහුම්කන් දෙන්න, එයාට කාරුණිකව කතා කරන්න වගේම කේන්ති නොගෙන ඉන්න මං උත්සාහ කරනවා. දැන් අපි දෙන්නා අතරේ ඉස්සරට වඩා හොඳ බැඳීමක් තියෙනවා” කියලා රොබට් කියනවා.

අනිත් අය එක්ක පෑහිලා වැඩ කරන්න මෘදුකම උදව් වෙනවා. අනිත් අය කියන, කරන දේවල් ගැන ඉක්මනින් කේන්ති ගන්න අයට යාළුවෝ අඩුයි. ඒත් අපි ‘අද්දකින එක්සත්කම රැකගන්න’ මෘදුකම උදව් වෙනවා. (එෆී. 4:2, 3) කැතී මෙහෙම කියනවා. “මං මෘදු විදිහට වැඩ කරද්දී අනිත් අයගේ ආශ්‍රයෙන් සතුටක් ලබන්න මට පුළුවන්. සමහර අය එක්ක පෑහිලා වැඩ කරන එක ටිකක් අමාරුයි. ඒත් ඒ අය එක්කත් ප්‍රශ්න ඇති කරගන්නේ නැතුව ඉන්න මෘදුකම උදව් වෙනවා.”

හිතේ සාමය ඇතුව ඉන්න මෘදුකම උදව් වෙනවා. “ස්වර්ගයෙන් පැමිණෙන ප්‍රඥාව” තියෙන කෙනෙක් තුළ මෘදුකම සහ සාමය දකින්න පුළුවන්. (යාකො. 3:13, 17) මෘදු විදිහට වැඩ කරන කෙනෙක්ගේ ‘මනස සන්සුන්.’ (හිතෝ. 14:30) මෘදුකම වර්ධනය කරගන්න උත්සාහ කරපු මාර්ටින් මෙහෙම කියනවා. “හැම වෙලාවෙම අනිත් අය මට ඕනෙ විදිහටම දේවල් කරන්න ඕනෙ කියලා දැන් මං බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ නිසා හිතේ සාමය ඇතුව සතුටින් ඉන්න මට පුළුවන්.”

මෘදු විදිහට වැඩ කරන්න නම් අපිට ලොකු වෑයමක් දරන්න වෙනවා. එක සහෝදරයෙක් මෙහෙම කියනවා. “තාමත් මං කේන්තියෙන් පුපුර පුපුර ඉන්න වෙලාවල් තියෙනවා.” ඒත් යෙහෝවා දෙවියන්ට පුළුවන් ඒ සටන ජය ගන්න අපිට උදව් කරන්න. (යෙසා. 41:10; 1 තිමෝ. 6:11) අපිට ලබා දෙන ‘පුහුණුව අවසන් කරලා’ අපිව ‘ශක්තිමත් කරන්න’ ඔහුට පුළුවන්. (1 පේතෘ. 5:10) එතකොට පාවුල්ට වගේ අපිටත් “ක්‍රිස්තුස්ගේ මෘදුකම සහ කරුණාවන්තකම” අනුකරණය කරන්න පුළුවන්.—2 කොරි. 10:1.

^ 2 ඡේ. සමහර නම් වෙනස් කර ඇත.