Skip to content

පටුනට යන්න

පාඩම් ලිපිය 14

උතුරෙන් එන ප්‍රහාරයක්!

උතුරෙන් එන ප්‍රහාරයක්!

“ජාතියක් මගේ දේශය ආක්‍රමණය කර ඇත.”—යෝවෙ. 1:6.

ගීතිකාව 95 ක්‍රමක්‍රමයෙන් දීප්තිමත් වන ආලෝකය

මේ ලිපියෙන් *

1. සහෝදර රසල් සහ එයාත් එක්ක හිටපු පිරිස බයිබලේ අධ්‍යයනය කළේ කොහොමද? ඒක හොඳ ක්‍රමයක් කියන්නේ ඇයි?

සියවසකටත් වඩා වැඩි අතීතයකට අපි යමු. සහෝදර චාල්ස් ටේස් රසල් සහ එයාත් එක්ක හිටපු පිරිසට ඕනෙ වුණා යෙහෝවා දෙවියන් ගැන, යේසුස් ගැන, ජීවිත පූජාව ගැන සහ කෙනෙක් මැරුණාට පස්සේ මොකද වෙන්නේ කියන දේ ගැන ඇත්තටම බයිබලේ කියලා තියෙන්නේ මොනවාද කියලා හොයන්න. එයාලා ඒකට සරල ක්‍රමයක් පාවිච්චි කළා. එක් කෙනෙක් ප්‍රශ්නයක් අහනවා. ඊටපස්සේ හැමෝම එකතු වෙලා ඒ විෂය ගැන බයිබලේ තියෙන හැම බයිබල් පදයක්ම හොයලා හොයාගන්න දේ සටහන් කරගන්නවා. යෙහෝවා දෙවියන්ගේ උදව්වෙන් බයිබලේ සඳහන් වටිනා සත්‍යයන් හුඟක් තේරුම්ගන්න ඒ අයට පුළුවන් වුණා. අදටත් අපි විශ්වාස කරන්නේ ඒ සත්‍යයන්.

2. බයිබලේ තියෙන අනාවැකි තේරුම්ගන්න උත්සාහ කරද්දී සමහර වෙලාවට අපි වැරදි නිගමනවලට එන්න පුළුවන් ඇයි?

2 ඒ බයිබල් ශිෂ්‍යයන් තේරුම්ගත්ත දෙයක් තමයි බයිබලේ සඳහන් මූලික ඉගැන්වීමක් තේරුම්ගන්නවාට වඩා බයිබලේ සඳහන් අනාවැකියක් තේරුම්ගන්න එක අමාරුයි කියලා. ඒ ඇයි? මොකද අනාවැකියක් හොඳින්ම තේරුම්ගන්න පුළුවන් වෙන්නේ එක්කෝ ඒක ඉටු වෙමින් තියෙද්දී එහෙම නැත්නම් ඒක ඉටු වුණාට පස්සේ. ඒ වගේම අනාවැකියක් නිවැරදිව තේරුම්ගන්න නම් ඒක අවට තියෙන තොරතුරුත් සැලකිල්ලට ගන්න ඕනේ. අනාවැකියේ සඳහන් එක දේකට විතරක් අවධානය දුන්නොත් අපි වැරදි නිගමනවලට එයි. යෝවෙල් පොතේ සඳහන් අනාවැකියක් තේරුම්ගද්දී වෙලා තියෙන්නේ ඒ වගේ දෙයක්. දැන් අපි ඒ අනාවැකිය ගැන බලමු. ඒ ගැන කලින් අපිට තිබුණ අවබෝධය වෙනස් කරගන්න ඕනෙ ඇයි කියලත් බලමු.

3-4. යෝවෙල් 2:7-9 සඳහන් අනාවැකිය අපි මේ වෙන කල් තේරුම් අරන් තිබුණේ කොහොමද?

3 යෝවෙල් 2:7-9 කියවන්න. ඊශ්‍රායෙල් දේශය සම්පූර්ණයෙන්ම විනාශ කරන පළඟැටි සේනාවක් ගැන අනාවැකියක් යෝවෙල් කිව්වා. ඒ පළඟැටියන්ගේ දත් සහ හකු සිංහයන්ගේ මෙන් ශක්තිමත්. ඊශ්‍රායෙල් දේශයේ තියෙන හැම ගහ කොළක්ම උන් සම්පූර්ණයෙන්ම විනාශ කරනවා. (යෝවෙ. 1:4, 6) අවුරුදු ගාණක් පුරාම අපි ඒ අනාවැකිය අදාළ කළේ යෙහෝවා දෙවියන්ගේ සෙනඟ කරන දේශනා සේවයටයි. කිසි දේකට, කිසි කෙනෙකුට ඒ පළඟැටි සේනාව නවත්තන්න බැහැ වගේ දේශනා කිරීමේ කාර්යයත් නවත්තන්න කිසි කෙනෙකුට බැහැ. ඒ වගේම අපි තේරුම්ගත්තා “දේශයට” ඒ කියන්නේ ආගමික නායකයන්ගේ පාලනයට අහු වෙලා ඉන්න මිනිසුන්ට දෙවියන්ගේ සෙනඟ කරන දේශනා කිරීමේ කාර්යය දරාගන්න බැහැ කියලා. *

4 අපි යෝවෙල් 2:7-9 තියෙන කොටසට විතරක් අවධානය දුන්නොත් ඒ පැහැදිලි කිරීම නිවැරදියි කියලා හිතන්න පුළුවන්. ඒ වුණත් ඒ අනාවැකියට ඇතුළත් හැම කොටසක් ගැනම හොඳට හිතද්දී අපි තේරුම් අරන් තිබුණ දේ වෙනසක් කරන්න ඕනෙ කියලා අපිට පැහැදිලි වුණා. ඒකට හේතු හතරක් දැන් බලමු.

වෙනසට හේතු හතරක්

5-6. (අ) යෝවෙල් 2:20 (ආ) යෝවෙල් 2:25 කියවද්දී අපේ මනසට එන්න පුළුවන් මොන ප්‍රශ්නයද?

5 පළවෙනි හේතුව විදිහට යෙහෝවා දෙවියන් පළඟැටි සේනාව ගැන දුන්න මේ පොරොන්දුව බලන්න. “උතුරෙන් පැමිණෙන සේනාව මම විසුරුවාහරින්නෙමි.” (යෝවෙ. 2:20) පළඟැටියන්ගෙන් නියෝජනය වෙන්නේ දේශනා කරන්න කියලා යේසුස් දුන්න ආඥාවට කීකරු වෙන යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් නම් ඇයි දෙවියන් එයාලව විසුරුවාහරිනවා කියලා පොරොන්දු වෙන්නේ? (එස. 33:7-9; මතෙ. 28:19, 20) යෙහෝවා දෙවියන් ඔහුගේ විශ්වාසවන්ත සේවකයන්ව විසුරුවාහරින්නේ නැහැ. ඒ වෙනුවට ඔහුගේ සෙනඟට සතුරුකම් කරන අයවයි ඔහු විසුරුවාහරින්නේ.

6 දෙවෙනි හේතුව යෝවෙල් 2:25 යෙහෝවා දෙවියන් කියන මේ දෙයින් පැහැදිලි වෙනවා. “මගේ මහත් සේනාව වන පළඟැටියන්වද පිලවුන්වද කැරපොත්තන්වද දළඹුවන්වද එවා අවුරුදු ගණනාවක් පුරා ඔබට පාඩුවක් සිදු කළත් ඊට සරිලන අස්වැන්නක් මම ඔබට නැවත ලබා දෙන්නෙමි.” එතන දෙවියන් පොරොන්දු වෙන්නේ පළඟැටියන් කරන ‘පාඩුවට සරිලන අස්වැන්නක් ලබා දෙනවා’ කියලා. පළඟැටියන්ගෙන් නියෝජන වෙන්නේ දේශනා කිරීමේ කාර්යය කරන යෙහෝවා දෙවියන්ගේ සෙනඟ නම් එයාලා දේශනා කරන පණිවිඩය නිසා මිනිසුන්ට සිදු වෙන්න ඕනෙ හානියක්. ඒත් ඇත්තටම වෙන්නේ ඒ පණිවිඩය නිසා මිනිසුන්ට එයාලගේ ජීවිත ගලවගන්න අවස්ථාවක් ලැබෙන එකයි. දුෂ්ට මිනිසුන්ටත් එයාලගේ වැරදි ගැන පසුතැවිලි වෙන්න පෙලඹීමක් ඒ පණිවිඩය නිසා ඇති වෙනවා. (එස. 33:8, 19) ඒක මොන තරම් යහපත් දෙයක්ද!

7. යෝවෙල් 2:28, 29 “පසුව” කියලා සඳහන් වෙන දෙයින් අපි තේරුම්ගන්නේ මොකක්ද?

7 යෝවෙල් 2:28, 29 කියවන්න. ඒ අනාවැකියේ සිද්ධීන් වෙන අනුපිළිවෙළ දිහා බලද්දී අපිට තුන්වෙනි හේතුව පැහැදිලි වෙනවා. පළඟැටියන්ට භාර දුන්න කාර්යය සම්පූර්ණ කළාට ‘පසුව මම මගේ බලය නොඅඩුව දෙන්නෙමි’ කියලා යෙහෝවා දෙවියන් කියනවා. පළඟැටියන්ගෙන් නියෝජනය වෙන්නේ දේවරාජ්‍යය ගැන දේශනා කරන අය නම් එයාලා ඒ කාර්යය අවසන් කළාට පස්සේ දෙවියන් ඔහුගේ බලය එයාලට දෙන එකේ ප්‍රයෝජනයක් තියෙනවාද? ඇත්තටම එයාලට දශක ගාණක් පුරා විරුද්ධවාදිකම්, තහංචි මැද දේශනා කිරීමේ කාර්යය හොඳින් කරන්න පුළුවන් වෙලා තියෙන්නේ යෙහෝවා දෙවියන්ගේ බලය එයාලට දැනටමත් ලැබෙන නිසයි.

සහෝදර ඡේ. එෆ්. රදෆර්ඩ් සහ සංවිධානයේ මූලිකත්වය අරන් වැඩ කරපු අනිත් අභිෂේක ලත් සහෝදරයන් මේ දුෂ්ට සමාජය පිට ගේන දෙවියන්ගේ විනිශ්චය ගැන නිර්භීතව ප්‍රකාශ කළා (8 ඡේදය බලන්න)

8. එළිදරව් 9:1-11 විස්තර කරන පළඟැටියන්ගෙන් නියෝජනය වෙන්නේ කාවද? (කවරයේ පින්තූරය බලන්න.)

8 එළිදරව් 9:1-11 කියවන්න. දැන් අපි හතරවෙනි හේතුව බලමු. යෝවෙල්ගේ අනාවැකියේ සඳහන් පළඟැටියන්ගෙන් දේශනා සේවයට හවුල් වෙන අයව විස්තර කරනවා කියලා අපි කලින් කිව්වේ ඒ හා සමාන අනාවැකියක් එළිදරව් පොතේ තියෙන නිසයි. ඒ අනාවැකියේ කතා කරන පළඟැටියන්ගේ මුහුණු පුරුෂයන්ගේ මුහුණුවලට සමානයි. උන් “රන් ඔටුනුවලට සමාන යමක්” හිස් මත පැළඳගෙන ඉන්නවා. (එළි. 9:7) උන් මාස පහක් පුරා ඒ කියන්නේ පළඟැටියෙකුගේ සාමාන්‍ය ජීවිත කාලය පුරා “නළල්වල දෙවිගේ මුද්‍රාව නැති මිනිසුන්ට [එනම් දෙවියන්ගේ සතුරන්ට]” වධ දෙනවා. (එළි. 9:4, 5) ඒ අනාවැකියේ විස්තර කරන්නේ දෙවියන්ගේ අභිෂේක ලත් සේවකයන් කියලා කියන්න පුළුවන්. මොකද මේ දුෂ්ට සමාජය පිට ගේන දෙවියන්ගේ විනිශ්චය ගැන එයාලා බය නැතුව කියනවා. ඒක මේ සමාජයේ දේවලට ඇලීගැලී ඉන්න අයට දරාගන්න බැහැ.

9. යෝවෙල් විස්තර කරන පළඟැටියන් සහ යොහන් විස්තර කරන පළඟැටියන් අතර තියෙන වෙනස්කම් මොනවාද?

9 එළිදරව් පොතේ සහ යෝවෙල් පොතේ සඳහන් වෙන අනාවැකි දෙක අතර යම් සමානකම් තිබුණත් ඒ දෙකේ පැහැදිලි වෙනස්කම් තියෙනවා. යෝවෙල්ගේ අනාවැකියේ ඉන්න පළඟැටියන් ගස් වැල් හැම එකක්ම සම්පූර්ණයෙන්ම විනාශ කරනවා. (යෝවෙ. 1:4, 6, 7) ඒත් යොහන්ගේ දර්ශනයේ ඉන්න පළඟැටියන්ට කියනවා ‘පොළොවේ පැළෑටිවලට අනතුරු නොකරන්න’ කියලා. (එළි. 9:4) යෝවෙල් දකින්නේ පළඟැටියන් උතුරෙන් එනවා. (යෝවෙ. 2:20) ඒත් යොහන් දකින පළඟැටියන් එන්නේ අගාධයෙන්. (එළි. 9:2, 3) යෝවෙල් විස්තර කරන පළඟැටියන්ව විසුරුවාහරිනවා. ඒත් එළිදරව් පොතේ සඳහන් වෙන පළඟැටියන්ව විසුරුවාහරින්නේ නැහැ. එයාලගේ කාර්යය අවසන් කරන්න එයාලට අවස්ථාව දෙනවා. එයාලා ගැන යෙහෝවා දෙවියන් අසතුටුයි කියලා බයිබලේ කොහේවත් කියන්නේ නැහැ.—“ පළඟැටියන් ගැන සඳහන් අනාවැකි - සමානකම් තිබුණත් වෙනස්” කියන කොටුව බලන්න.

10. යෝවෙල්ගේ සහ යොහන්ගේ අනාවැකිවල ඉන්න පළඟැටියන්ගෙන් වෙනස් දේවල් නියෝජනය වෙන්න පුළුවන් කියලා ඇයි අපි කියන්නේ? ඒකට බයිබලෙන් උදාහරණයක් දෙන්න.

10 ඒ පැහැදිලි වෙනස්කම් අපිට උදව් කරනවා ඒ අනාවැකි දෙක එකිනෙකට සම්බන්ධ නැහැ කියලා තේරුම්ගන්න. ඒ කියන්නේ යෝවෙල් පොතේ සඳහන් පළඟැටියන්ගෙන් නියෝජනය වෙන දේ සහ එළිදරව් පොතේ සඳහන් වෙන පළඟැටියන්ගෙන් නියෝජනය වෙන දේ සම්පූර්ණයෙන්ම වෙනස්. එකම සංකේතයෙන් වෙනස් දේවල් නියෝජනය වෙන අවස්ථා බයිබලේ තියෙනවා. උදාහරණයක් බලන්න. එළිදරව් 5:5 “යූදා ගෝත්‍රයෙන් පැමිණි සිංහයා” කියලා යොමු දක්වන්නේ යේසුස්ට. ඒත් 1 පේතෘස් 5:8 “ගොරවන සිංහයා” හැටියට යොමු දක්වලා තියෙන්නේ සාතන්ට. මේ වෙන කල් අපි බලපු තොරතුරුවලින් පැහැදිලි වෙනවා යෝවෙල් පොතේ සඳහන් අනාවැකිය ගැන අපි අවබෝධ කරගෙන තිබුණ දේ වෙනස් කරන්න ඕනෙ කියලා.

අදහස් වෙන්නේ මොකක්ද?

11. පළඟැටියන්ගෙන් නියෝජනය වෙන දේ තේරුම්ගන්න යෝවෙල් 1:6 සහ 2:1, 8, 11 අපිට උදව් වෙන්නේ කොහොමද?

11 යෝවෙල්ගේ අනාවැකියට ඇතුළත් අනිත් බයිබල් පදත් හොඳට අධ්‍යයනය කරද්දී අපිට තේරෙනවා එයා කතා කරන්නේ හමුදා ප්‍රහාරයක් ගැන කියලා. (යෝවෙ. 1:6; 2:1, 8, 11) යෙහෝවා දෙවියන් කිව්වා ඔහුගේ “මහත් සේනාව” (බැබිලෝනිය හමුදාව) යොදාගෙන අකීකරු ඊශ්‍රායෙල්වරුන්ට ඔහු දඬුවම් කරනවා කියලා. (යෝවෙ. 2:25) ඒ හමුදාව “උතුරෙන් පැමිණෙනවා” කියලා කියපු දේ නිවැරදියි. (යෝවෙ. 2:20) මොකද ඊශ්‍රායෙල් දේශය යටත් කරගන්න බැබිලෝනිවරුන් ආවේ උතුරෙන්. ඒ හමුදාව හොඳින් සංවිධානය වෙලා ඉන්න පළඟැටි සේනාවකට සමාන කරලා තියෙනවා. ඒ ගැන යෝවෙල් මෙහෙම කියනවා. ‘ඔවුහු එඩිතර මිනිසුන් මෙන් නොනැවතීම ඉදිරියට ගමන් කරන්නෝය. ඔවුහු නුවරට කඩා පැන පවුර මත දිව යන්නෝය. ඔවුහු ගෙවල්වලට නැඟ සොරුන් මෙන් ජනෙල්වලින් ඇතුල් වන්නෝය.’ (යෝවෙ. 2:8, 9) මේ දේ ඔයාගේ හිතින් මවාගන්න පුළුවන්ද? හමුදා භටයින් හැම තැනම. හැංගෙන්න කිසිම තැනක් නැහැ. බැබිලෝනිවරුන්ගේ හමුදාවෙන් බේරෙන්න කාටවත් බැහැ.

12. පළඟැටියන් ගැන යෝවෙල් කියපු අනාවැකිය ඉටු වුණේ කොහොමද?

12 ක්‍රි.පූ. 607දී බැබිලෝනිවරුන් (කල්දිවරුන්) පළඟැටි සේනාවක් වගේ ඇවිත් යෙරුසලම යටත් කරගත්තා. ඒ ගැන බයිබලේ මෙහෙම කියනවා. ‘කල්දිවරුන්ගේ රජු පැමිණ ඔවුන්ගේ තරුණයන්ව මරා දැමීය. තරුණ තරුණියන්ටවත් මහලු හෝ අබලදුබල අයටවත් ඔහුගෙන් කිසිම අනුකම්පාවක් නොලැබුණේය. මෙසේ දෙවි ඔවුන් සියලුදෙනාවම කල්දිවරුන්ගේ රජු අතට හසු වීමට ඉඩහැරියේය. ඔහු සැබෑ දෙවිගේ ගෘහයට ගිනි තබා යෙරුසලමේ පවුරද බිඳ දැමීය. එහි සියලුම බලකොටුද එහි තිබූ වෙනත් වටිනා දේවල්ද ගිනිබත් කරන ලදි. මෙසේ ඔහු සෑම දෙයක්ම විනාශ කර දැමීය.’ (2 ලේක. 36:17, 19) යෙරුසලම දිහා බලපු කෙනෙක්ට කියන්න පුළුවන් වුණේ “කිසි මනුෂ්‍යයෙක්වත් ඔවුන්ගේ සතුන්වත් නැතුව මේ දේශය පාළුවට ගිහින්. එය දැන් අයිති කල්දිවරුන්ට” කියලා විතරයි.—යෙරෙ. 32:43.

13. යෙරෙමියා 16:16, 18 අදහස් වෙන්නේ මොකක්ද?

13 යෝවෙල්ගේ අනාවැකිය කියලා අවුරුදු 200කට විතර පස්සේ යෙහෝවා දෙවියන් යෙරෙමියා මාර්ගයෙන් ඒ ප්‍රහාරය ගැන තවත් තොරතුරක් කිව්වා. දෙවියන් කිව්වා ඊශ්‍රායෙල්වරුන්ව යටත් කරගන්න එන අය දේශයේ අස්සක් මුල්ලක් නෑර ගිහින් දුෂ්ට දේවල් කරපු ඊශ්‍රායෙල්වරුන්ව හොයලා ඒ හැමෝවම අල්ලගන්නවා කියලා. ‘යෙහෝවා දෙවි වන මම මෙසේද පවසමි. “මම ඔවුන් අතරට ධීවරයන්ව යවන්නෙමි. ඔවුහු මසුන් අල්ලන්නාක් මෙන් ඔවුන් වාසය කරන තැන් සොයා ගොස් ඔවුන්ව එකතු කරගන්නෝය. ඔවුන්ව සෙවීම සඳහා මම බොහෝ අයව යවන්නෙමි. ඔවුහු සියලු කඳුවලටද හෙල්වලටද පර්වත විවරවලටද ගොස් සෙනඟව සොයාගන්නෝය. ඔවුන් කළ පව්වලටත් ඔවුන්ගේ දුෂ්ට ක්‍රියාවලටත් ඔවුන් ලැබිය යුතු නිසි දඬුවම මම ඔවුන්ට දෙමි.”’ පසුතැවිලි නොවන ඊශ්‍රායෙල්වරුන්ට කිසිම තැනක අඩුම තරමේ මුහුදේවත් කැලේවත් හැංගිලා බැබිලෝනිවරුන්ගෙන් බේරෙන්න හම්බ වෙන්නේ නැහැ.—යෙරෙ. 16:16, 18.

ප්‍රීති වෙන්න හේතුවක්

14. යෝවෙල් 2:28, 29 ඉටු වුණේ කවදාද?

14 ඊළඟට යෝවෙල් ප්‍රීතිමත් ආරංචියක් ගැන කියනවා. දේශය ආයෙත් සශ්‍රීක වෙනවා. (යෝවෙ. 2:23-26) ඊටපස්සේ අනාගතේ යම් අවස්ථාවක සත්‍යය ගැන අවබෝධයක් ලබාගන්න හුඟදෙනෙකුට අවස්ථාව ලැබෙනවා. යෙහෝවා දෙවියන් මෙහෙම පොරොන්දු වෙනවා. ‘මම සියලු ජනයාට මගේ බලය නොඅඩුව දෙන්නෙමි. එවිට ඔබේ පුත්‍රයෝද ඔබේ දූවරුද අනාවැකි කියනු ඇත. ඒ කාලයේදී දාසදාසීන්ටද මම මගේ බලය දෙන්නෙමි.’ (යෝවෙ. 2:28, 29) බැබිලෝනියෙන් නිදහස් වෙලා ඊශ්‍රායෙල්වරු තමන්ගේ දේශයට ආව ගමන්ම ඒ අනාවැකියේ ඉටු වීම එයාලා අද්දැක්කේ නැහැ. ඒක ඉටු වුණේ ඊට අවුරුදු 600කට විතර පස්සේ. ඒ කියන්නේ ක්‍රි.ව. 33 පෙන්තකොස්ත දවසේදී. එහෙම කියන්නේ ඇයි?

15. ක්‍රියා 2:16, 17 අනුව පේතෘස් යෝවෙල් 2:28 උපුටා දක්වද්දී කරපු වෙනස්කම මොකක්ද? ඒකෙන් පැහැදිලි වෙන්නේ මොකක්ද?

15 පොන්තකොස්ත දවසේ සිද්ධ වුණ පුදුමාකාර දේ පැහැදිලි කරන්න පේතෘස් යෝවෙල් 2:28, 29 සඳහන් දේ යොදාගත්තා. එදා උදේ නවයට විතර දෙවියන් ඔහුගේ බලයෙන් පිරිසක්ව අභිෂේක කළාම ඒ අය “දෙවිගේ බලවත් ක්‍රියා ගැන” කතා කරන්න පටන්ගත්තා. (ක්‍රියා 2:11) පේතෘස් ඒ අවස්ථාවේදී යෝවෙල් පොතේ සඳහන් අනාවැකිය උපුටා දක්වද්දී දෙවියන්ගේ බලයේ මඟ පෙන්වීමෙන් පොඩි වෙනසක් කළා. (ක්‍රියා 2:16, 17 කියවන්න.) යෝවෙල් පොතේ සඳහන් වෙන විදිහට “පසුව” කියලා කියනවා වෙනුවට පේතෘස් කිව්වේ “අන්තිම දවස්වලදී” කියලයි. එයා කතා කළේ යුදෙව් සමාජයේ අවසානය ගැනයි. ඒ කාලේදී දෙවියන් “සියලු ජනයාට” ඔහුගේ බලය ලබා දෙනවා. ඒ කියන්නේ යෝවෙල්ගේ අනාවැකිය ඉටු වුණේ සෑහෙන කාලයක් ගත වුණාට පස්සේ.

16. දෙවියන් ඔහුගේ බලය නොඅඩුව ලබා දුන්න නිසා මුල් සියවසේදී ක්‍රිස්තියානීන්ට කරන්න පුළුවන් වුණේ මොකක්ද? අද ඉන්න දෙවියන්ගේ සෙනඟට කරන්න පුළුවන් වෙලා තියෙන්නේ මොකක්ද?

16 මුල් සියවසේ හිටපු ක්‍රිස්තියානීන්ව යෙහෝවා දෙවියන් ඔහුගේ බලයෙන් අභිෂේක කළාම එයාලා පටන්ගත්ත දේශනා කිරීමේ කාර්යය මුළු පොළොව පුරාම ව්‍යාප්ත වෙන්න නියමිතව තිබුණා. ක්‍රි.ව. 61දී විතර පාවුල් කොලොස්සිවරුන්ට ලිපිය ලියද්දී එයාට කියන්න පුළුවන් වුණා ශුභාරංචිය “අහස්තලය යට ජීවත් වන මුළු මිනිස් වර්ගයා අතර” දේශනා කරලා තියෙනවා කියලා. (කොලො. 1:23) “මුළු මිනිස් වර්ගයා අතර” කියලා කියද්දී එයා අදහස් කළේ එයාටත් අනිත් අයටත් ශුභාරංචිය අරන් යන්න පුළුවන්කම තිබුණ ප්‍රදේශ ගැනයි. අපේ කාලේ වෙද්දී යෙහෝවා දෙවියන්ගේ බලයේ උදව්වෙන් “පොළොවේ ඈත කෙළවර දක්වාම” ශුභාරංචිය ව්‍යාප්ත වෙලා තියෙනවා.—ක්‍රියා 13:47; ‘ මම මගේ බලය නොඅඩුව දෙන්නෙමි’ කියන කොටුව බලන්න.

වෙනස් වුණේ මොකක්ද?

17. යෝවෙල් පොතේ පළඟැටියන් ගැන සඳහන් අනාවැකිය දැන් අපි තේරුම්ගන්නේ කොහොමද?

17 යෝවෙල් 2:7-9 සඳහන් අනාවැකිය තවත් නිවැරදිව අවබෝධ කරගන්න අපිට පුළුවන් වෙලා තියෙනවා. සරලවම කියනවා නම් ඒ පදවල කතා කරන්නේ අපි උද්‍යෝගයෙන් කරන දේශනා සේවය ගැන නෙමෙයි. ඒ වෙනුවට එතන කතා කරන්නේ ක්‍රි.පූ. 607දී බැබිලෝනිය හමුදාව යෙරුසලම යටත් කරගත්ත එක ගැනයි.

18. යෙහෝවා දෙවියන්ගේ සෙනඟ සම්බන්ධයෙන් වෙනස් වෙලා නැත්තේ මොකක්ද?

18 යෝවෙල් 2:7-9 සඳහන් අනාවැකිය අපි තේරුම්ගත්ත විදිහ වෙනස් වෙලා තියෙනවා. ඒත් දේශනා සේවයට තියෙන අපේ උද්‍යෝගය වෙනස් වෙලා නැහැ. යෙහෝවා දෙවියන්ගේ සෙනඟ දිගටම ලෝකේ හැම තැනම, පුළුවන් හැම ක්‍රමයක්ම පාවිච්චි කරලා ශුභාරංචිය දේශනා කරනවා. (මතෙ. 24:14) ඒක නවත්තන්න ආණ්ඩුවලින් පනවන කිසිම තහංචියකට බැහැ. යෙහෝවා දෙවියන්ගේ ආශීර්වාදය තියෙන නිසා වෙන කවරදාකටත් වඩා ධෛර්යවන්තව, උද්‍යෝගයෙන් දේවරාජ්‍යය ගැන ශුභාරංචිය අපි දේශනා කරනවා. බයිබල් අනාවැකි නිවැරදිව තේරුම්ගන්න යෙහෝවා දෙවියන්ගේ උදව් ලැබෙන කල් අපි බලාගෙන ඉන්නේ ආසාවෙන්. මොකද නියමිත කාලයේදී “සත්‍යය ගැන වඩාත් පූර්ණ අවබෝධයක්” දෙවියන් අපිට ලබා දෙනවා කියලා අපිට නිසැකයි.—යොහ. 16:13.

ගීතිකාව 97 අපගේ ජීවිතය රඳා පවතින්නේ දෙව් වදන් මතයි

^ 5 ඡේ. අවුරුදු ගාණක් පුරාම අපි විශ්වාස කළේ යෝවෙල් 1වෙනි සහ 2වෙනි පරිච්ඡේදවල සඳහන් අනාවැකියේ කතා කරන්නේ අපේ කාලේ සිද්ධ වෙන දේශනා කිරීමේ කාර්යය ගැන කියලයි. ඒත් හේතු හතරක් නිසා ඒ අනාවැකිය ගැන අපිට තිබුණ අවබෝධය වෙනස් කරගන්න ඕනෙ කියලා පැහැදිලි වුණා. මොනවාද ඒ හේතු?

^ 3 ඡේ. උදාහරණෙකට 2009 අප්‍රියෙල් 15 ‘මුරටැඹ’ කලාපයේ පළ වුණ “දෙවිගේ ප්‍රඥාව දැකගත හැකි නිර්මාණ” කියන ලිපියේ 14-16 ඡේද බලන්න.